Friday, September 26, 2014

සුන්නි - ෂියා - 2 (සුන්නි ෂියා බෙදීමේ ඉතිහාසය​)


මුහම්මද් තුමාගෙන් පසු කාලිෆ් වරු

අබු බකර් සහ උමර්


වෙනත් ආගමික නිකායන් බෙදීමේදී මෙන් නොව, සුන්නි-ෂියා බෙදීම ආගමික ස්වරූපයකට වඩා දේශපාලන ස්වරූපයක් ගනී.

මුහම්මද් තුමා ජීවත්ව සිටි කාලයේ සියළුම මුස්ලිම් වරු අතර නිකාය බේදයක නොතිබුනු අතර​, සියළුම මුස්ලිම් වරු අතර නායකයා ලෙස එතුමා අවිවාදයෙන් පිළිගැනිනි. නමුත් මුහම්මද් තුමාගේ මරණයෙන් පසු මුස්ලිම් ප්‍රජාවේ නායකයා හෙවත් කාලිෆ් වරයා ලෙස කවුරුන් තෝරා ගත යුතුදැයි මතබේදයක් ඇතිවිය​.

එක් පිරිසක් කාලිෆ් වරයා ලෙස මුහම්මද් තුමාගේ ළඟම සහචරයා, එතුමාගේ ජේෂ්ඨතම අනුගාමිකයා සහ එතුමාගේ ප්‍රියතම බිරිඳ වූ අයිෂා ගේ පියා වූ අබු බකර් සුදුසු යැයි යෝජනා කළ අතර තවත් පිරිසක් ඒ සඳහා මුහම්මද් තුමාගේ දියණියන් ගේ සැමියා සහ මුහම්මද් තුමා කුඩා කළ හදාවඩා ගත් අබු තාලිබ් ගේ පුත්‍රයා වූ අලී වඩාත් සුදුසු බවට යෝජනා කළහ​.

අලී සහ මුහම්මද් තුමාගේ පවුලේ සාමාජිකයන් එතුමාගේ අවමංගල්‍යය කටයුතු සම්පාදනය කරන අතර​, මුහම්මද් තුමාගේ ළඟම සහචරයන් පිරිසක් රැස්වීමක් පවත්වා අබු බකර් කාලිෆ් වරයා ලෙස තෝරා ගත්හ​. නමුත් අලී ඔහු කාලිෆ් වරයා ලෙස පිළිනොගත් අතර අබු බකර් ගේ අනුගාමිකයන් සහ අලී ගේ අනුගාමිකයන් අතර ඇති වූ මතබේදය ආරවුලක් දක්වා දුර දිග ගියේය​.

ෂියා වරුන්ට අනුව මේ ආරවුලේදී ඇති වූ තුවාල හේතුවෙන් අලී ගේ බිරිඳ (මුහම්මද් තුමාගේ දියණිය​) වූ ෆාතිමා මිය ගිය අතර ඇය ඒ වනවිට ගැබ් ගෙන සිටියාය​. කෙසේ වුවත් සුන්නි වරු මෙය ප්‍රතික්‍ෂේප කරති.

කාලයක් යනතුරු අලී කාලිෆ් රාජ්‍යයේ පාලන කටයුතු වලින් ඈත්ව සිටියත්,අබු බකර් ගේ මරණයෙන් පසු කාලිෆ් වරයා වූ උමර් ගේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය​.ඉස්ලාමීය කැලන්ඩරයේ ආරම්භක දිනය වශයෙන් මුහම්මද් තුමා මක්කමේ සිට මදීනාවට පලායාම තෝරා ගන්නා ලෙස උමර්ට උපදෙස් දෙන ලද්දේ අලී විසිනි.

උමර් ගේ මරණයෙන් පසු නැවතත් කාලිෆ් වරයා තෝරා ගැනීම පිළිබඳ ගැටළුව ඇති විය (අබු බකර් මිය යාමට පෙර තමාගෙන් පසු කාලිෆ් වරයා ලෙස උමර් ව නම් කර තිබූ නිසා එම අවස්ථාවේ එම ගැටළුව ඇති නොවීය​).

කාලිෆ් වරයා තෝරා ගැනීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර කමිටුව විසින් එම හය දෙනාගෙන් අයෙක් තෝරාගත යුතු විය​. මෙම කමිටුවට අලී සහ මුහම්මද් තුමාගේ තවත් සහචරයෙක් වූ උත්මාන් ද ඇතුළත් වූහ​. අවසනදී කමිටුව විසින් අලී සහ උත්මාන් අතරින් කාලිෆ් වරයා තෝරාගැනීම පිණිස ඔවුන් දෙදෙනා වෙත ප්‍රශ්නයක් යොමු කරන ලදී. ඒ "ඔබ ඔබට කලින් සිටි කාලිෆ් වරුන් ගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද​?" යන්නයි. උත්මාන් මෙයට "ඔව්" කියා පිළිතුරු දුන් නමුත් අලී පිළිතුරු දුන්නේ "මා අනුගමනය කරන්නේ කුරානය සහ මුහම්මද් තුමාගේ ක්‍රියාමාර්ගයි" ලෙසිනි. එබැවින් කමිටුව විසින් උත්මාන් තෝරා ගන්නා ලදී.

අලී ගේ මේ පිළිතුර පසුකාලීනව ෂියා වරුන් ගේ ආගමික විශ්වාසයන් සඳහා දැඩි බලපෑමක් ඇති කළේය​.

උත්මාන්ට එරෙහි කැරැල්ල​

උත්මාන් කාලිෆ් වරයා ඔහුට පෙර වූ කාලිෆ් වරුන් මෙන් නොව තමාගේ ගෝත්‍රයට (බානු අබ්ද්-ෂාම්) සහ නෑදෑයන්ට වාසි දායක ක්‍රියා පිළිවෙතක් ගෙනගිය අතර මේ නිසා ඔහුගේ ගෝත්‍රයේ සාමාජිකයන් විශාල දේශපාලන බලයක් ලැබූහ​. මේ නිසා මුස්ලිම් වරු අතර උත්මාන් ගේ ජනප්‍රියත්වය බිඳ වැටිනි. අලී ද ආගමික සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් කීප වරක් උත්මාන් සමඟ මතභේද ඇති කරගත්තේය​.

ඊජිප්තුවේ උත්මාන් ට එරෙහිව ඇති වූ කැරැල්ලක් මර්ධනය කිරීමට උත්මාන් අපොහොසත් වූ අතර කැරළි කරුවන් මදීනාවට පැමින උත්මාන් ගේ නිවෙස වට කළහ​. මේ අවස්ථාවේදී උත්මාන් ගේ ආධාර කරුවන් කැරලි කරුවන්ට එරෙහිව සටන් කිරීමට ඔහුගේ අවසරය ඉල්ලා සිටියද​, මුස්ලිම් වරුන් අතර යුද්ධයක් ඇති වීම වැළැක්වීමට උත්මාන් එය ප්‍රතික්‍ෂේප කළේය​. මුහම්මද් තුමා ගේ බිරිඳ සහ අබු බකර් ගේ දියණිය වූ අයිෂා කැරළි කරුවන්ට එරෙහිව සටන් කළ යුතුය යන මතයේ තදින්ම සිටි අතර​, අලී ගේ පුතුන් දෙදෙනා වූ හසන් සහ හුසේන් ද උත්මාන් ගේ නිවස ආරක්‍ෂා කිරීමට එක් වූහ​.

නමුත් පසුපස දොරකින් නිවෙසට ඇතුල් වූ කැරළි කරුවෝ උත්මාන් මරා දැමූහ​.

අලී කාලිෆ් තනතුරට පත්වීම​


උත්මාන් ගේ මරණයෙන් පසු කැරළි කරුවන් කාලිෆ් තනතුර සඳහා අලීට ආරාධනා කළ අතර අලී එය ප්‍රතික්‍ෂේප කලේ කැරළි කරුවන් සමඟ ගනුදෙනු කිරීමට අකැමැති වූ බැවිනි. නමුත් කාලිෆ් වරයෙක් පත් නොවීම නිසා අරාජික තත්වයක් ඇති වූ හෙයින් පසුව ඔහු කාලිෆ් තනතුර භාර ගත්තේය​.

මුස්ලිම් වරුන් ගෙන් බහුතරය අලී කාලිෆ් වරයා ලෙස පිළිගත් නමුත්, උත්මාන් ගේ ගෝත්‍රයේ සාමාජිකයන් ඔහු නොපිළිගත්හ​.

අයිෂා සහ උත්මාන් ගේ ගෝත්‍රයේ සාමාජිකයන් කැරළි කරුවන්ට දඬුවම් දෙන ලෙස අලී ගෙන් ඉල්ලා සිටි නමුත්, ගැටුම් දුරදිග යන නිසා අලී එය ප්‍රතික්‍ෂේප කළේය​. එවිට ඔවුහු විශාල හමුදාවක් රැස් කොට බස් රා නගරය අසළ කඳවුරු ලෑහ​. මුස්ලිම් සමාජයේ ප්‍රධාන සහ වැදගත් පුද්ගලයන් රැසක් ඔවුන් හා එක් වූහ​.

අලී තම හමුදාවත් රැගෙන පැමිණි අතර​, දෙපිරිස අතර විශාල සටනක් ඇතිවිය​. මෙය අද හැඳින්වෙන්නේ "ඔටුවා ගේ සටන (Battle of the Camel)" ලෙසිනි. ඒ කැරළි හමුදාව මෙහෙයවූ අයිෂා ඔටුවෙක් පිට නැගී සටන් බිමට ආ හෙයිනි. මේ සටනින් අලී ජයගත් අතර​, කැරළි නායකයන් විශාල ප්‍රමානයක් මිය ගියද අයිෂා ට අනතුරක් නොවිනි.

මේ සටනින් පසු අලී මුස්ලිම් වරු අතර විශාල ජනප්‍රියත්වයක් අත් කරගත් අතර ඔහු ගේ දේශපාලන ප්‍රතිපත්ති සහ බදු සංශෝධන ඒ සඳහා බෙහෙවින් බලපෑවේය​. අලී ගේ අධාර කරුවන් හැඳින්වුනේ "ෂියා අලී" හෙවත් "අලී ගේ පාර්ශවය​" නමිනි.

සිරියාව ආශ්‍රිතව විසූ උත්මාන් ගේ ආධාර කරුවෝ මුආවියා ප්‍රධාන කර ගනිමින් කැරැල්ලක් ආරම්භ කලහ​. ඊජිප්තුවේ ප්‍රධානියෙක් වූ අමර් ද ඔවුන්ට සහය පලකළේය​. මෙය පළමු ෆිත්නාව හෙවත් පළමු සිවිල් යුද්ධය ලෙස හැඳින් වේ.

පළමු ෆිත්නාව (උපුටා ගැනීම විකිපීඩියා)
කොළ - අලී, රතු - මුආවියා, නිල් - අමර්


සටන් කිහිපයකින් පසු ස්ථිර ජයක් ලැබීමට දෙපක්‍ෂයම අපොහොසත් වූ නිසා සාකච්ඡා ඇති වූ නමුත්, එයින් ද ප්‍රතිඵලයක් නොලැබිනි. අලී කැරලි කරුවන්ට එරෙහිව යුද්ධ කිරීමට අකැමැති බව පෙනුනු නිසා දැඩි මතධාරීන් පිරිසක් අලී ගේ පක්‍ෂයෙන් ඉවත් වූහ​. අවුන් හැඳින්වුනේ "කරිජයිට්" වරු නමිනි.

කරිජයිට් වරු අලී සහ මුආවියා දෙදෙනාටම එරෙහිව සටන් කල අතර​, 661 දී කරිජයිට් ඝාතකයෙක් විසින් අලී මරා දැමිනි.

අලී ගේ මරණයෙන් පසු පලමු කාලිෆ් රාජ්‍යය වූ "රෂිදුන් කාලිෆ් රාජ්‍යය​" සමය අවසන් වන අතර​, ඉන් පසු ඇරඹෙන්නේ උමමයියාඩ් කාලිෆ් රාජ්‍යයයි.


උමයියාඩ් කාලිෆ් රාජ්‍යය සමය​

අලී ගේ මරණයෙන් පසු කාලිෆ් වරයා වශයෙන් ඔහුගේ වැඩිමල් පුතා වූ හසන් තෝරා ගැනුනු අතර හසන් මුආවියා සමඟ සටන් කිරීම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් සෙවීමට උත්සහ කළේය​. ඒ අනුව හසන් සහ මුආවියා ගිවිසුමකට එලැඹුනහ​. ගිවිසුමේ කොන්දේසි අනුව​,
1. මුආවියා කාලිෆ් වරයා වශයෙන් පත්වේ
2. මුආවියාගෙන් පසු හසන් කාලිෆ් වරයා වශයෙන් පත්වේ.
3. ඊට පෙර හසන් මියගියහොත් ඔහුගේ සොයුරු හුසේන් කාලිෆ් වරයා වශයෙන් පත් වේ.

ඒ අනුව හසන් කාලිෆ් තනතුරෙන් ඉවත් වී මුආවියා ඒ තනතුරට පත් කෙරිනි. මෙය උමයියාඩ් කාලිෆ් රාජ්‍යයයේ ඇරඹුමයි.

හසන් මදීනාවේ පදිංචියට පැමිණි අතර​, ඔහු මුආවියාගේ ආධාර කරුවන් ගේ මෙන්ම තමාගේ ආධාර කරුවන් ගේ ද අපවාදයට ලක් විය​. හසන් 670 දී මිය ගිය අතර, ෂියා වරුන්ට අනුව ඔහු මිය ගියේ මුආවියා විසින් වස දීමෙනි.

හසන් ගේ මරණයෙන් පසු මුආවියා ගිවිසුම බිඳ දමමින් තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පුතා වූ යසීද් නම් කළේය​.

හුසේන් ගේ මරණය​

680දී මුආවියා මිය ගිය අතර යසීද් කාලිෆ් වරයා වශයෙන් පත්විය​. හුසේන් මෙයට එරෙහි වූ අතර ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ මදීනාවෙන් මක්කමට පලා ගොස් එහිදී යසීද් ට එරෙහිව පිරිස් රැස් කරන්නට විය​. අලී තම අගනුවර ලෙස තෝරාගත් ඉරාකයේ කුෆා නගරයේ වැසියන් හුසේන්ට එහි පැමිණෙන ලෙස ආරාධනා කල අතර​, හුසේන් කුෆා නගරයට පැමිණියහොත් එහි තමාට විරුද්ධව කැරැල්ලක් ඇතිවේ යැයි බිය වූ යසීද් ඔහු කුෆා නගරයට පැමිනීම වැලැක්වීමට හමුදාවක් එවීය​.

කර්බාලා නගරය ආසන්නයේදී යසීද් ගේ හමුදාවට හුසේන් සහ ඔහුගේ සහචරයන් හමුවූ අතර එහිදී ඔවුන් සියල්ලන්ම සමූල ඝාතනය කෙරිනි.

මින් පසු පළමු කාලිෆ් වරයා වූ අබු බකර් ගේ මුණුපුරා වූ සුබායිර් මක්කමේ සිට තවත් කැරැල්ලක් ආරම්භ කළේය​. හුසේන් ගේ ඝාතනය ගැන කිපී උන් විශාල පිරිසක් ඔහුට සහය දුන් අතර​, දකුණු අරාබිය සහ ඉරාකය ඇතුළු විශාල ප්‍රදේශයක සිය බලය පැතිරවීමට ඔහු සමත්විය​. නමුත් පසුව ඔහු ගේ කැරළි හමුදාවන් පරාජය කරනලද අතර​, සුබායිර් ද මරා දමන ලදී.

සුන්නි ෂියා බෙදීම​

සුන්නි සහ ෂියා ලෙස බෙදීම ප්‍රධාන වශයෙන් ඇරඹෙන්නේ හුසේන් ගේ මරණයත් සමඟිනි. අලී සහ ඔහුගේ පුතුන් වූ හසන් සහ හුසේන් (හසන් සහ හුසේන් ගේ මව මුහම්මද් තුමාගේ දියණිය වූ ෆාතිමා වූ හෙයින් මොවුන් මුහම්මද් තුමාගේ මුණුබුරන් වූහ​) නියම කාලිෆ් වරු වශයෙන් පිළිගත් මුස්ලිම් වරු "ෂියා අලී" (අලී ගේ පාර්ශවය​) ලෙස හැඳින්වුනු අතර ඔවුහු පසුව ෂියා වරු ලෙස හැඳින්විනි.

උමයියාඩ් කාලිෆ් වරුන් ගේ බලය පිළිගත් මුස්ලිම් වරු සුන්නි මුස්ලිම් වරු ලෙස හැඳින්විනි. උමයියාඩ් වරුන්ට රාජ්‍ය බලය තිබූ හෙයින් ඔවුන් වඩා ප්‍රභල වූ අතර ෂියා වරු සුළුතරයක් වූහ​.

No comments:

Post a Comment