(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)
තෙලෙබගුදි කොයේ (කැවුම් කෙල්ල)
එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ජීවත් වුනා ඉතාම දුප්පත් කාන්තාවක්. ඇය ජීවත් වුනේ මිනිස්සුන් ගෙ මිදුල අතුගාල දීල ඒකෙන් හම්බුවෙන සුළු කුලියකින්.
දවසක් ඇය මිදුලක් අතුගාද්දි ඇයට "බොදුලාරි" (ලාරි 4 ක වටිනාකම ඇති කාසියක්) හමුවුනා. ඇය කාසිය අරගත්තෙ ඇගේ එකම දුව "කොයේ" ට දෙන්න හිතාගෙන. කොයේ තෙලෙබගුදි (අතිරස/හැඳි කැවුම්) කන්න හරිම ආසයි. ඒත් ඔවුන් ඉතාම දුප්පත් නිසා ඇයට කවදාවත් තෙලෙබගුදි මිලදී ගන්න සල්ලි තිබ්බෙ නෑ.
බොදුලාරි කාසිය දැක්ක ගමන් කොයේ ඒකත් අරගෙන කඩපිලට දුවල ගියා තෙලෙබගුදි මිලදී ගන්න. තෙලෙබගුදි ගොඩක් ගන්න හිතාගෙන ගියත් ඒ කාසියට ඇයට ගන්න පුළුවන් වුනේ එකම එක කැවුමක් විතරයි.
ඒකත් අරගෙන ආපහු ගෙදර එද්දි ඇයට ඉවසගෙන ඉන්න බැරි වෙලා හෙමින් හෙමින් තෙලෙබගුදි පොඩි පොඩි කෑලි කන්න පටන් ගත්තා.
ඇය වෙරළ අසලින් යනකොට ඇයට මූත්‍රා කරන්න අවශ්‍යය වුනා. තාමත් කැවුමෙන් බාගයක් ඉතුරුයි. ඇය පිරිසිදු තැනක් හොයාගෙන, ලොකු කොලයක් අරගෙන කැවුම ඒකෙන් ඔතලා එතන පරිස්සමෙන් තිබ්බා. ඊට පස්සෙ කොරල් කෑල්ලක් කැවුම උඩින් තියලා ඇගේ වැඩේ කරගත්තා.
ආපහු ඇවිත් බලනකොට කැවුම ඇය ඒක තිබ්බ තැන තිබ්බෙ නෑ! එච්චර පරිස්සමෙන් තියල ගිය කැවුම! ඇයට ගොඩාක් දුක හිතුනා. ඇය හැමතැනම කැවුම හෙව්වා. එතකොට ඇය දැක්කා පොඩි කකුළුවෙක් ඇගේ කැවුම හෙමින් හෙමින් උගේ ගුලට ඇදගෙන යනවා. ඇය කකුළුවා පස්සෙ පන්නගෙන ගියත්, ඌ කැවුමත් එක්ක උගේ ගුලට රිංගලා අතුරුදහන් වුනා. කොයේ බොහෝම දුකෙන් ආපහු ගෙදර ගියා.
දවස් තුනකට පස්සෙ කොයේ ඒ හරියෙන් යමින් හිටියා. ඇය හදිසියේම කකුළුවා ගෙ ගුලෙන් ඇය කවදාවත් නොදැකපු අමුතුම පැලයක් මතුවෙලා තියෙනවා. ඇය ඉතාම සතුටට පත් වුනා. මේ ගැන කාටවත්ම නොකියා ඉන්න ඇය තීරනය කරා.
හැමදාම ඇය එතැනට ඇවිත් පැලේ කොච්චර ලොකු වෙලාද කියල බලනවා. පැලේ ඉක්මනින් ලොකු වුනා. ටික දවසකින් එතැන තිබ්බෙ අතු පතර විහිදුන රූස්ස ගහක්.
එක දවසක් ගහ බලන්න ගිය කොයේ ගහේ අතු වල තෙලෙබගුදි හැදිල තියෙන දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තෙලෙබගුදි ගහක්! දැන් ඇයට හැමදාම තෙලෙබගුදි කන්න පුළුවන්! ඇය හනි හනිකට ගහට නැගල අත්තක් උඩ වාඩිවෙලා තෙලෙබගුදි කඩාගෙන කන්න පටන් ගත්තා. ඒ තෙලෙබගුදි කඩෙන් ගන්න ඒවට වඩා බොහෝම රසයි. ඇය දිගටම තෙලෙබගුදි කෑවා. තවත් කන්න බැරි වෙනකම්ම. ගහෙන් ආපහු බැහැපු කොයේ දැක්කා ඇය කොයිතරම් තෙලෙබගුදි කඩාගෙන කෑවත් ආයෙත් ගහේ අතු පිරෙන්න තෙලෙබගුදි තියෙන බව. ඇය ඉතාම සතුටෙන් හෙමින් හෙමින් ගෙදර ගියා.
එදා ඉඳල හැමදාම කොයේ උදේ පාන්දරම තෙලෙබගුදි ගහ ළඟට ගියා. ඉර බහිනකම්ම ගහට නැගල තෙලෙබගුදි කඩාගෙන කෑවා.
එක දවසක් කොයේ මෙහෙම තෙලෙබගුදි කකා ඉන්නකොට ගෑණු කෙනෙක් එතැනට ආව. කොයේ තිගැස්සුනා. මේ මුහුදු වෙරළ අයිනෙ පාළු තැන ඉන්න කාන්තාව කවුද? ඊටත් වඩා එයා තෙලෙබගුදි ගහේ රහස දැන ගනියි ද? කොයේ ගහේ කොල ඈත් මෑත් කරල කාන්තාව දිහා බැලුවා. ඒත් ඇයට හරියට පෙනුනෙ නෑ.
ගහ මුල හිටියෙ කොන්ඩෙ කඩා ගත්තු බිහිසුනු පෙනුමක් තියෙන ගෑණියෙක්. ඇගේ කටේ උල් දත්. ඒවා තොල් අතරින් එළියට නෙරල. ඇඟිලි වල උල් නියපොතු. ඒ හිටියෙ "මිනිකා දයිතා" (මිනිකා දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන මිනී මස් කන යකින්නක්).
"මටත් එකක් දීපන් කො දුවේ"
යකින්න මිහිරි හඬකින් කිව්වා.
කොයේ තෙලෙබගුදියක් කඩලා යකින්නට දැම්මා.
"ඒක බිම වැටිල වැලි ගෑවුනා දුවේ. තව එකක් දාපන් කො"
කොයේ තවත් තෙලෙබගුදියක් යකින්නට දැම්මා.
"ඒක මුහුදට වැටුන දුවේ. තව එකක් දාපන් කො"
මෙහෙම තෙලෙබගුදි කීපයක් ම කඩල දැම්මත් යකින්න ඒ හැම සැරේම බොරු කිව්වා.
"දුවේ මට උඹ දාන තෙලෙබගුදි එකක් වත් අල්ලගනන් බෑ. අපරාදෙ නාස්ති වෙනවා. උඹ එකක් කකුලෙ ඇඟිලි වල රඳවගෙන කකුල පල්ලෙහාට දාපන්. මම ඒක ගන්නං"
කොයේ කකුල පල්ලෙහාට දැම්ම විතරයි යකින්න ඇගේ කකුලෙන් අල්ලල ඇයව ගහෙන් පහළට ඇදල දැම්මා. කොයේ ව ලොකු ගෝනියක දාගත්තු යකින්න ගෙදර ගියා.
ගෙදර ආපු යකින්න ගෝනිය ඉස්තෝප්පුවෙ තියලා, දුවට කතා කරල මෙහෙම කිව්වා.
"කෙල්ලේ මම අද හොඳ කෑමක් ගෙනාව. උඹ උයන්න ලෑස්ති කරපන්. මම ඉකමනට නාගෙන එන්නං"
මිනිකා දයිතා නාන්න ගල් පොකුණට ගියා. ඒ අතර තුරේ ඇගේ දුව ලිප පත්තු කරන්න පටන් ගත්තා. ලිප පත්තු කරල වතුර හැලියක් ලිපේ තිබ්බට පස්සෙ ඇයට ලොකු ආසාවක් ආව ගෝනියෙ තියෙන්නෙ මොනවද බලන්න. ඇය හොඳට ඇහුම් කන් දීගෙන හිටියා මිනිකා දයිතා නාන්න පටන් ගන්න කං. ඊට පස්සෙ ඇය හෙමින් හෙමින් ඉස්තෝප්පුවට ඇවිල්ලා ගෝනියෙ කට ඇරල බැලුවා.
මල්ල ඇතුලෙ හිටියෙ ගෑණු ළමයෙක්. ඇය කොයේ එක්ක හිනාවුනා. බියකරු යකින්න වෙනුවට තමාගෙ වයසෙම කෙල්ලක් ඉන්න එක ගැන කොයේ ටත් සතුටු හිතුනා. ඇයත් කෙල්ල එක්ක හිනා වුනා.
මිනිකා දයිතා ගෙ දුව කොයේ දිහා හොඳට බැලුවා.
"ඔයා කොයිතරං ලස්සන ද? අපි දෙන්න සෙල්ලම් කරමු ද?"
කොයේ ගෝනියෙන් එළියට ඇවිල්ලා කෙල්ල ගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.
"හොඳයි. අපි දෙන්න එකම උස. අපි ඇඳුම් මාරු කරගෙන බලමු. මගේ ඇඳුම් ඇඳල මගේ මාල වළලු දැම්මම ඔයත් මම වගේම ලස්සනට ඉඳියි."
කෙල්ලො දෙන්න ඇඳුම් ආයිත්තම් මාරු කරගෙන බැලුවා.
"දැන් අපි තව සෙල්ලමක් කරමු. ඔයා නිදාගත්තමත් මේ වගේම ලස්සනද බලමු. ඔයා බිම දිගාවෙල ඇස් දෙක වහගන්න. සද්ද කරන්න එපා"
කොයේ මිනිකා දයිතා ගෙ දුවට කිව්වා.
කෙල්ල බිම දිගාවෙලා ඇස් දෙක පියාගත්තා විතරයි කොයේ ළඟ තිබ්බ "කතිවලි" (වක් පිහියක්) අරගෙන එක පාරින්ම කෙල්ල ගෙ බෙල්ල කඳෙන් වෙන් වෙලා යන්න පාරක් ගැහුවා. කෙල්ලට "මීක්" කියන්නවත් ඉඩක් ලැබුනේ නෑ.
ඊට පස්සෙ කොයේ කෙල්ලගෙ ඇඟ පොඩි පොඩි කෑලි වලට කැපුවා. ඊට පස්සෙ ඇය පිහියයි, ඉස්තෝප්පුවෙ බිමයි ඇගේ අත් දෙකයි ලේ බින්දුවක් වත් ඉතුරු නොවෙන්න හේදුවා. ඊට පස්සෙ කුස්සියෙ ලිපේ තියල තිබ්බ ලොකු වතුර හැලියට මස් ටික දාල තැම්බෙන්න ඇරියා.
මිනිකා දයිතා නාගෙන ගෙට ආවා. යකින්න දැක්කා කොයේ ගෙ "කන්ඩිකි" (ඉණ සලුව), "උලා" (වළලු) සහ "ෆත්තරු" (හවඩිය) කුස්සියෙ දොර ළඟ තියෙනවා. ලිපේ තියෙන හැලියෙන් හොඳට තැම්බුන මස් සුවඳක් ආවා. මිනිකා දයිතා ගෙ කටට කෙල ඉණුවා. ඇය පිඟානකට මස් බෙදාගෙන තලු මරමින් කන්න පටන් ගත්තා.
"දුවේ මේ මස් බොහොම රසයි. වරෙං කාපං. උඹට බඩගිනි නැද්ද?"
යකින්න දුවට කතා කරා.
"මම පස්සෙ කන්නං අම්මේ මටත් ටිකක් ඉතුරු කරන්න"
කුස්සියෙ දොර අස්සෙ හැංගිලා හිටපු කොයේ කෙල්ල ගෙ කටහඬින් උත්තර දුන්නා.
මිනිකා දයිතා උස්මුරුත්තාවට එනකං මස් කෑවා. ඊට පස්සෙ පිඟාන හෝදන්න පිළිකන්නට ගියා. ඒ අවසරයෙන් කොයේ කුස්සියෙන් එළියට පැනල ගේ ළඟ තිබ්බ උස ගහකට නැග ගත්තා.
මිනිකා දයිතා දැක්කා ගේ ළඟ තියෙන උස ගහේ අත්තක ඉඳගෙන කවුදෝ සින්දුවක් කියනවා.
"තමාගෙම දුවගෙ මස් කාල මේ ගෑණි පිඟන් හෝදන්න යනවා......."
මිනිකා දයිතා හිතුවේ ඒ ඇගේ දුව කියලා.
"දුවේ උඹ කා ගැනද මේ සින්දුව කියන්නෙ?"
"මම මේ කපුටට කිව්වේ"
කොයේ ආපහු සින්දුව කිව්වා.
"දුවේ උඹ කා ගැනද මේ සින්දුව කියන්නෙ?"
"මම මේ වවුලට කිව්වේ"
මේ විදිහට කොයේ දිගටම සින්දුව කිව්වා. මිනිකා දයිතා ඒ ගැන අහන හැම සැරේම කොයේ සතෙක් ගෙ නමක් කිව්වා. ටික වෙලාවක් යද්දි මිනිකා දයිතා ට සින්දුව කරදරයක් වුනා.
"දුවේ ඔය විකාර සින්දුව නවත්තපං"
"මම උඹේ දුව නෙවෙයි. මම මේ සින්දුව කියන්නෙ උඹ ගැන. උඹ මාව ගෝනියෙ දාල ගෙදර අරං ආවට පස්සෙ මම උඹේ දුව රවට්ටල ගෝනියෙන් එළියට ආව. අපි ඇඳුම් මාරු කර ගත්තා. ඊට පස්සෙ මම උඹේ දුවගෙ බෙල්ල කපල මැරුවා. ඊට පස්සෙ මම උඹේ දුව කෑලි වලට කපල ඉව්වා. උඹ කෑවෙ ඒ මස්."
ඒක අහුව විතරයි මිනිකා දයිතා වියරු වැටුනා. ඇගේ ඇස් ගොරක මද වගේ රතු පාට වුනා. කඩා දාපු කෙස් කෙලින් වුනා. උල් දත් විලිස්සුවා. කට දෙපැත්තෙන් සෙම බේරෙන්න පටන් ගත්තා. යකින්න බියකරු හඬින් විලාප තියමින් කොයේ නැගල හිටපු ගහ පහුරු ගාන්න පටන් ගත්තා.
පින්තූරය ඔරිජිනල් පොතෙන් |
යකින්න ගෙ කෝපය වැඩි වෙද්දි ඇගේ වේගයත් වැඩි වුනා. එන්න එන්නම කොයේ සහ යකින්න අතර පරතරය අඩු වෙන්න පටන් ගත්තා. කොයේ එක පාරටම වංගුවක් හැරිලා දුවන දිශාව වෙනස් කරා. යකින්නට ආපු වේගෙට හැරෙන්න බැරුව පාරෙන් එළියට විසි වුනා. ඇය වැටුනේ පාර අයිනෙ තිබ්බ අළුහුණු වලකට.
කොයේ ඈතට වෙලා මිනිකා දයිතා අළුහුණු වලේ පිච්චෙන හැටි බලාගෙන හිටියා. යකින්න මැරුන බව සහතික වුනාට පස්සෙ ඇය හෙමින් හෙමින් ගෙදර පැත්තට ඇවිදගෙන ගියා෴
- කතාව කිව්වේ ගා ගේ නයිමා (මාලේ දූපත)
අටුවාව
1. බොදුලාරි
දිවෙහි බසින් "ලාරි" කියන්නෙ "කාසි" නැත්තම් මුදල් කියන අර්ථය. පැරණි මාලදිවයිනේ භාවිතා වුන මුදල් ඒකකය ලාරි. වර්තමාන මාලදිවයිනේ රුෆියා සහ ලාරි භාවිතා වෙනවා (ලාරි 100 = රුෆියා 1). පර්සියානු කාසියක් වන "ලැරින්" ඇසුරෙන් තමයි "ලාරි" හැදිල තියෙන්නෙ. බොදු ලාරි කියන්නෙ ලාරි 4 ක වටිනාකමක් ඇති කාසියක්.
2. තෙලෙබගුදි
හාල් පිටි සහ පොල් පැණි වලින් හදන රස කැවිලි වර්ගයක්. අපේ අතිරස හෙවත් හැඳි කැවුම් වලට ඉතා සමානයි.
3. මිනිකා දයිතා
මිනිකා දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන මිනී මස් කන යකින්නක්. දිවෙහි බසින් "මිනිකා" කියන්නෙ "මිනී මස් කන" කියන අරුත. දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට "මිනිකා දයිතා" කියන එක "මිනී කන නැන්දා" කියල පරිවර්තනය කරන්න පුළුවන්.
4. ගල් පොකුණ
පැරණි මාලදිවයිනේ වැසියන් නාන්න පාවිච්චි කරේ උල්පත් වටේට ගල් වැටි අල්ලල හදපු ගල් පොකුණු. මේවා දිවෙහි පසින් "වෙයො" කියල හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් රවුම් හැඩයක් ගත්ත මේ ගල් පොකුණු එක පැත්තකින් පොකුණට බහින්න පුළුවන් විදිහට හදල තිබුනා.
5. කතිවලි
අපේ වක් පිහියට ඉතා සමාන ලොකු පිහියක්. මේ පිහියෙන් දර කැපීමේ ඉඳලා මාළි කැපීම දක්වා ගෙදර දොර වැඩ රාශියක් දිවෙහි රාජ්ජෙ වැසියො කර ගන්නවා.
6. ඇඳුම් - ආයිත්තම්
මාලදිවයින් කාන්තාවන් ගෙ සාම්ප්‍රදායික ඇඳුම වුනේ කළු පාට සායක් සය ඊට උඩින් ඇඳපු රතුපාට දිග කමිසයක්.
කමිසයේ කර රන් හෝ රිදී පාටින් වැඩ දාල තිබ්බා. මේ ඇඳුමත් එක්ක ඔවුන් ආභරනත් පැළඳුවා. මේ කතාවේ එන "කන්ඩිකි" කියන්නෙ ඉණ වටේ බඳින සළුවක්. ඒක රඳව ගන්න ඒකට උඩින් "ෆත්තරු" කියල හැඳින්වුන රිදී හවඩියක් බැන්දා. වළලු හැඳින් වුනේ "උලා" කියල. ඊට අමතරව මාල වර්ග ගණනාවකුත් ඔවුන් පැළඳුවා.
දිවෙහි රාජ්ජෙ කාන්තාවො කොණ්ඩය බැන්දෙ හිසේ දකුණු පැත්තට වෙන්න. ඒක සාමාන්‍යයෙන් කලාපයේ දකින්න නැති සිරිතක්.
කොයේ ගෙ අම්මා දුප්පත් කාන්තාවක් වුනාට කොයේ හොඳට ඇඳ-පැළඳලා හිටපු බව තමයි කතාවෙන් පේන්නෙ.
දැන් නම් දිවෙහි රාජ්ජෙ කාන්තාවෝ මේ විදිහට අඳින්නෙ නෑ. ඔවුන් අඳින ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා.
1. බටහිර ඇඳුම්
2. ටී ෂර්ටය සහ කලිසම සමඟ හිජාබය
3. හිජාබය සමඟ අබායාව
4. මුහුණ සමඟ මුළු සිරුරම වැහෙන විදිහට අඳින නිකාබය
No comments:
Post a Comment