Monday, January 29, 2018

ජපානයේ තේ බොන හැටි - 3


ජපානයේ විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. කලින් ලිපියෙන් කියැවුනේ බහුලව හාවිතා වන​ තේ වර්ග ගැන විතරයි. මේ ලිපියෙන් කියන්න යන්නෙ එතරම් බහුලව භාවිතා නොවන අනෙකුත් තේ වර්ග ගැන​.

ජපානයේ භාවිතා වන සියළු තේ වර්ග ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්

1. කොළ තේ (Green Tea)
2. බැදපු තේ (Roasted Tea)
3. කළු තේ (Black Tea)
4. "තේ නොවන තේ"


1. කොළ තේ (Green Tea)

  කොළ තේ හදන ක්‍රමවේදය මෙහෙමයි

1. තේ දළු නෙලා ගන්නවා
2. නෙළපු තේ දළු හුමාලයෙන් තප්පර 30-60 ක් පමණ කාලයක් තම්බනවා.
3. තම්බපු තේ දළු වේලනවා
4. වේලපු තේ දළු රෝල් කරනවා


අරචා (aracha) - "රළු තේ"

 


අරචා කියල හඳුන්වන්නෙ සකසන ලද​, ඒත් කොළ සහ අතු රිකිලි වෙන් නොකළ තේ. සෙන්චා, බන්චා වගේ තේ වර්ග හදනකොට කොළ සහ අතු රිකිලි වෙන් කරලා කොළ පමණයි පාවිච්චි කරන්නෙ. අරචා වල කොළ වගේම අතු රිකිලිත් මිශ්‍රව අඩංගුයි.

අරචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි.

ෆුකමුෂිචා (fukamushicha) - "තදින් හුමාලය ඇල්ලූ තේ"

 


සාමාන්‍යයෙන් කොළ තේ හදද්දි තේ කොළ තප්පර 30 - විනාඩියක් අතර කාලයක් හුමාලයට අල්ලනවා. ෆුකමුෂිචා කියල හඳුන්වන්නේ විනාඩි 1 - 2 හුමාලයට ඇල්ලූ තේ. සෙන්චා, බන්චා, ග්‍යෝකුරෝ වගේ ඕනෑම කොළ තේ වර්ගයක් හදද්දි හුමාලයට අල්ලන කාලය වැඩි කිරීමෙන් ෆුකමුෂිචා හදන්න පුළුවන්. එතකොට ඒවාගෙ නමට මුලින් "ෆුකමුෂි" කියල එකතුවෙනවා. උදාහරණයකට "ෆුකමුෂි සෙන්චා" නැත්තම් "ෆුකමුෂි බන්චා".

ෆුකමුෂිචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි.


අසමුෂිචා (asamushicha) - "මදක් හුමාලය ඇල්ලූ තේ" 



තප්පර 30 කට වඩා අඩු කාලයක් හුමාලයට ඇල්ලේමෙන් හදන තේ තමයි අසමුෂිචා කියල හඳුන්වන්නේ. සෙන්චා, බන්චා, ග්‍යෝකුරෝ වගේ ඕනෑම කොළ තේ වර්ගයක් හදද්දි හුමාලයට අල්ලන කාලය වැඩි කිරීමෙන් ෆුකමුෂිචා හදන්න පුළුවන්. එතකොට ඒවාගෙ නමට මුලින් "අසමුෂි" කියල එකතුවෙනවා. උදාහරණයකට "අසමුෂි සෙන්චා" නැත්තම් "අසමුෂි බන්චා".

අසමුෂිචා ලා කොළ පැහැයෙන් යුක්තයි.


ෆුන්මත්සුචා (funmatsucha) - "කුඩු කළ තේ"



ෆුන්මත්සුචා හදන්නෙ ප්‍රමිතියෙන් අඩු තේ කොළ ඇඹරුම් ගලක අඹරා ගැනීමෙන්. මෙතැනදී තේ කොළ සම්පූර්නයෙන්ම කුඩු බවට පත් වෙනතුරු අඹරනවා. ෆුන්මත්සුචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි. ඒ වගේම තිත්ත රසය සහ සැර අධිකයි.


 ගෙන්මයිචා (genmaicha) - "දුඹුරු හාල් තේ"



ගෙන්මයිචා කියල හඳුන්වන්නේ තේ සහ බැදපු සහල් 1:1 අනුපාතයට මිශ්‍ර කරල හදපු තේ වර්ගයක්. පැහැයෙන් ලා කොළ පාට මේ තේ අමුතුම රසයකින් යුක්තයි.

කමයිරිචා (kamairicha) - "තැටියේ බැදපු තේ"



කමයිරිචා කියන්නෙ චීන ක්‍රමයට හදපු කොළ තේ. මේ තේ හුමාලයට ඇල්ලීම වෙනුවට කෙරෙන්නෙ තැටියක රත් කිරීම​. මේ තේ ජපන් තේ වලට වඩා වෙනස් රසයකින් යුක්තයි. පැහැයෙන් ලා කහ - කොළ පාටයි.

කොනචා (konacha) - "තේ කුඩු"



කොනචා කියන්නෙ සෙන්චා හෝ ග්‍යෝකුරෝ හදල ඉතිරි වුන තේ කොළ කැබැලි සහ කුඩා අතු රිකිලි වලින් හදන තේ වර්ගයක්. තේ කුඩු කිව්වට ඇත්තෙන්ම මේවා කුඩු නෙවෙයි. මේ තේ වර්ගය ඉතා අධික තිත්ත රසයකින් සහ සැරකින් යුක්තයි. පැහැයෙන් මඩ කොළ පාටයි. මේ තේ බහුලව පාවිච්චි කරන්නෙ සෂිමි (අමු මාළු) හෝ සුෂී (අමු මාළු සමඟ බත්) එක්ක.


කුකිචා (kukicha) - "රිකිලි තේ"



වෙනත් තේ වර්ග හදල ඉතිරි වුන අති රිකිලි වලින් හදන තේ. මේවායේ තේ කොළ අඩංගු වෙන්නෙ නෑ. ඊටම ආවේනික සුවඳකින් යුක්ත මේ තේ තරමක් පැණි රසයි. පැහැයෙන් ලා දුඹුරු-කොළ පාටයි.


තමරියොකුචා (tamaryokucha) - "බෝල කොළ තේ"



හුමාලය අල්ලල වේල ගත්තට පස්සෙ තේ කොළ රෝල් කරනව වෙනුවට කැරකෙන සිලින්ඩරයක් ඇතුලට දාල හදන තේ වර්ගයක්. මේවා හදන්නෙ සෙන්චා හදන්න පාවිච්චි කරන තේ කොළ වලින්. කැරළි ගැහුන හැඩයෙන් යුක්තයි. දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත මේ තේ සෞම්‍යය රසයෙන් යුක්තයි.


සකුරාචා (sakuracha) - "සකුරා තේ"




සෙන්චා සමඟ සකුරා මල් මිශ්‍ර කරල හදන තේ වර්ගයක්. විශේෂ අවස්ථා වලදී පාවිච්චි කරන මේ තේ පැහැයෙන් රතු-දුඹුරු පාටයි.

ජැස්මින්චා (jasminecha) - "පිච්ච තේ"


සෙන්චා සමඟ පිච්ච මල් මිශ්‍ර කරල හදන තේ වර්ගයක්. පිච්ච මලේ සුවඳින් යුක්තයි.


මෙචා (mecha) - "අංකුර තේ"



ග්‍යෝකුරෝ හදද්දි ඉවත දමන තේ අංකුර වලින් හදන තේ වර්ගයක්. ප්‍රමිතියෙන් උසස් මේ තේ මඩ කොළ පාටයි. ඉතා සැර සුවඳකින් සහ රසකින් යුක්තයි.

මච්චා (matcha) - "සිහින් කුඩු තේ"



"ජපන් තේ අතර රජු" කියල හඳුන්වන්න පුළුවන් මච්චා තමයි ජපානයේ ඉතාම වැදගත් සංස්කෘතික අංගයක් වන තේ පිළිවෙත (tea ceremony) සඳහ යොදා ගන්නෙ.

මච්චා හදන්නෙ ග්‍යෝකුරෝ හදන ක්‍රමයටමයි. නමුත් අන්තිම පියවරේදී තේ කොළ රෝල් කරනව වෙනුවට ඒවායේ අතු - ඉති - රිකිලි ඉවත් කරල තේ කොළය පමණක් තෝරා ගන්නවා. එතකොට ලැබෙන්නෙ "තෙන්චා" කියල හඳුන්වන තේ පියලි.


මේ තේ පියලි ඇඹරුම් ගලක අඹරා ගැනීමෙන් තමයි මච්චා ලැබෙන්නෙ. මේ ඇඹරුම් ගල අපේ කුරහන් ගලකට ඉතා සමානයි. සාම්ප්‍රදායිකව මච්චා ඇඹරුවෙ අතින්. නමුත් දැන් යන්ත්‍රානුසාරයෙනුත් අඹරනවා.

මච්චා සකස් කරන ක්‍රම දෙකක් තියෙනවා. "උසුචා" (දියාරු තේ) සහ "කොයිචා" (උකු තේ) කියල තමයි ඒ ක්‍රම දෙක හැඳින්වෙන්නේ.


මච්චා වෙනත් තේ වලට වඩා උකුයි. ඒ වගේම දීප්තිමත් කොළ පැහැයෙන් යුක්තයි.


2. බැදපු තේ (Roasted Tea)


බැදපු තේ හදන්නෙ කොළ තේ උඳුනක බැද ගැනීමෙන්. බැදපු තේ වල කැෆේන් ප්‍රමානය කොළ තේ වලට වඩා අඩුයි. ඒ නිසා සුවඳින් සහ රසයෙන් සැර ගතිය අඩුයි.

හෝජිචා (houjicha) - "බැදපු තේ"



හෝජිචා තමයි මූලිකම බැදපු තේ වර්ගය​. බන්චා තේ කොළ ආවරනය කළ උඳුනක බැද ගැනීමෙන් තමයි හෝජිචා හදන්නෙ. අඩු කැෆේන් ප්‍රමානය නිසා තිත්ත රස සහ සැර අඩුයි. මේ තේ පැහැයෙන් රතු - දුඹුරු පාටයි. කුඩා ළමුන් සහ වයසක අය අතර හෝජිචා ජනප්‍රියයි.


හකුතා බන්චා (hakuta bancha) - "හකුතා තේ"



හකුතා ප්‍රදේශයේ පමණක් නිපදනව මේ තේ හදන ක්‍රමය තරමක් වෙනස්. හුමාලයට ඇල්ලූ තේ කොළ සාමාන්‍යය ක්‍රමයට වගේ ගෙයක් ඇතුලේ වේලන්නෙ නැතුව හිරු එළියේ වේලනවා. ඊට පස්සෙ මද උෂ්නත්වයක බැද ගන්නවා. මෙහිදී තේ කොළ රෝල් කිරීමක් වෙන්නෙ නෑ. කැෆේන් ප්‍රමානයෙන් අඩු මේ තේ තිත්ත රසයෙන් අඩුයි. පැහැයෙන් රතු - දුඹුරු පාටයි.


කගෙබොෂි බන්චා (kageboshi bancha) - "හෙවනේ වේලපු තේ"



නෙළා ගත්ත තේ කොළ මිටි බැඳලා හෙවනේ වේලීමෙන් තමයි කගෙබොෂි බන්චා ලැබෙන්නෙ. මේ තේ හුමාලයට ඇල්ලීමක් හෝ බැද ගැනීමක් වෙන්නෙ නෑ. වාණිජ්‍ය මට්ටමෙන් මේ තේ හදන්නෙ නෑ. පිටිසර පළාත් වල පුද්ගලික පාවිච්චියට තමයි කගෙබොෂි බන්චා හදන්නෙ.


කන්චා (kancha) - "ශීත ඍතු තේ"



කන්චා කියන්නෙත් වාණිජ්‍යය මට්ටමෙන් හදන්නෙ නැති තේ වර්ගයක්. මේ තේ නෙළා ගන්නෙ කැලෑවේ හැදෙන තේ ගස් වලින් වීම විශේෂයක්. තේ ගස් වලින් ශීත ඍතුවේදී කඩා ගන්න තේ කොළ හුමාලයට අල්ලල​, අතු ඉති වෙන් කරලා හිරු එළියේ වේලීමෙන් තමයි කන්චා ලැබෙන්නෙ. කැෆේන් ප්‍රමානයෙන් ඉතා අඩු කන්චා පැණි රසයෙන් යුක්තයි. පැහැයෙන් දුඹුරු - කහ පාටයි.


ක්‍.යෝබන්චා (kyobancha) - 'ක්‍.යෝතෝ තේ"



ක්.යෝතෝ නගරය ආශ්‍රිතව නිපදවෙන තේ වර්ගයක්. මෙහිදී හුමාලයට අල්ලපු තේ කොළ හිරු එළියේ වේලලා ඉහළ උෂ්නත්වයකදී බැද ගන්නවා. කොළ රෝල් කිරීමක් කරන්නෙ නෑ. මේ තේ රන්වන් පැහැයෙන් යුක්තයි. දුම් සුවඳක් තියෙනවා. කැෆේන් ඉතාමත් අඩුයි. ඒ නිසාම තිත්ත රසය ඉතාමත් අඩුයි.


මිමසක බන්චා (mimasaka bancha) - "මිමසක තේ"



මිමසක ප්‍රදේශයේ පමණක් හදන තේ වර්ගයක්. මුට්ටියක් ඇතුලේ හුමාලය ඇල්ලීමෙන් පසු තේ කොළ හිරු එළියේ වේලීමෙන් තමයි මිමසක තේ හදන්නෙ. රතු - දුඹුරු පාට මිමසක තේ සෞම්‍යය රසයෙන් යුක්තයි.


යොෂිනෝ නික්කං බන්චා (yoshino nikkan bancha) - "යොෂිනෝ අව්වේ වේලපු තේ"



යොෂිනෝ ප්‍රදේශයේ පමණක් හදන තේ වර්ගයක්. මේ තේ හුමාලයට අල්ලල​, ඉර අව්වේ වේලලා උඳුනක බැද ගැනීමෙන් තමයි නිපදවන්නෙ. රන්වන් දුඹුරු පාටයි.


හෝජිකොනචා (houjikonacha) - "බැදපු කුඩු තේ"


කොනචා උඳුනක බැද ගැනීමෙන් තමයි හෝජිකොනචා හදන්නෙ. කැෆේන් ප්‍රමානය ඉතාමත් අඩුයි, ඒ නිසාම තිත්ත ගතිය සහ සැර අඩුයි. අහාර පිසීමේදී බහුලව භාවිතා කරනවා.


කගා බවුචා (kaga boucha) - "බැදපු රිකිලි තේ"


කුකිචා උඳුනක බැද ගැනීමෙන් තමයි කග බවුචා හදන්නෙ. තිත්ත රසය ඉතාමත් අඩුයි. කර සුවඳක් සහ රසක් තියෙනවා. රතු - දුඹුරු පාටයි.

 

3. කළු තේ (Black Tea)


කළු තේ කියන්නෙ ලංකාවෙ තියෙන අපිට හුරු පුරුදු තේ වර්ගය​. මේවා හදන්නෙ තේ කොළ ඔක්සිජනීකරණයට ලක් කිරීමෙන්. කොළ තේ වල තියෙන තිත්ත රස සහ සැර ගතිය සම්පූර්නයෙන්ම වගේ නැති කරන්න ඔක්සිජනීකරණයෙන් පුළුවන්. ඒත් කොළ තේ වල තියෙන සෞඛ්‍යය සම්පන්න බවත් ඒ එක්කම නැති වෙනවා.

ඌලොං තේ (oolong tea) - "කළු මකර තේ"



චීනයෙන් ආපු තේ හදන ක්‍රමයක්. ඌලොං තේ හදන්නෙ ඔක්සිජනීකරණය කළ තේ කොළ හුමාලයට  ඇල්ලීමෙන් හෝ උඳුනක බැද ගැනීමෙන්. මෙහිදී ඔක්සිජනීකරණය අතරමගදී නවතින නිසා ඌලොං තේ වල කැෆේන් තරමක් ඉතිරි වෙනවා. මේ තේ අඳුරු කහ පාටකින් යුක්තයි. රසයෙන් සහ සුවඳින් අපිට හුරු පුරුදු තේ වලට සමානයි. තෙල් සහිත ආහාර එක්ක තමයි ඌලොං තේ බහුලව පානය කරන්නෙ.


කෝචා (kocha) - "රතු තේ"



කෝචා හදද්දි ඌලොං තේ හදද්දි වගේ අතරමගදි ඔක්සිජනීකරණය නවත්තන්නෙ නෑ. ඒ නිසා තිත්ත රස තවත් නැති වෙනවා. කෝචා අපි දන්න තේ වලට සම්පූර්නයෙන්ම වගේ සමානයි. රතු - දුඹුරු පැහැයෙන් යුක්තයි.

4. "තේ නොවන තේ"


තේ නොවන, ඒත් තේ වලට සමාන ආකාරයට සකස් කරල පානය කරන පාන වර්ගත් ජපානයේ තියෙනවා. මේවා තේ නොවුනට ජපන්නු මේවා හඳුන්වන්නෙ තේ කියල​.

මුගිචා (mugicha) - "බාර්ලි තේ"



බැදපු බාර්ලි ඇට උණු වතුරේ තම් බා ගැනීමෙන් තමයි මුගිචා ලැබෙන්නෙ. මුගිචා වල කැෆේන් නෑ. ඒ නිසා ළමයින්ට සුදුසු පානයක් කියල සැලකෙනවා. මුගිචා පානය කරන්නෙ සම්පූර්නයෙන්ම නිවුනට පස්සෙ. මුගිචා රතු - දුඹුරු පාටයි


කොංබුචා (kombucha) - "කොංබු තේ"



කොංබු නමින් හැඳින්වෙන මුහුදු පැලෑටියක් වේලල, කුඩු කරල ඒ කුඩු උණු වතුරේ දිය කිරීමෙන් තමයි කොංබුචා ලැබෙන්නෙ. මේ කොංබු පැලෑටිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නෙ "kelp" කියල​. කොංබු තේ මද ලුණු රසයකින් යුක්තයි. කොංබුචා කහ - දුඹුරු පාටයි.

No comments:

Post a Comment