Sunday, January 7, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 14 (හන්ඩි දොන් කමනා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හන්ඩි දොන් කමනා (දොන් කමනා​)


බොහොම ඉස්සර කාෂිදූ දූපතේ හිටියා "දොන් අහමදු" කියලා බොහොම හැඩකාර තරුණයෙක්. මේ තරුණයා ජීවිකාව විදිහට කරේ වඩු කර්මාන්තය​. දොන් අහමදු ට නෑයෝ කවුරුවත් හිටියෙ නෑ. ඔහු තමාගෙ කුඩා ගෙදර තනියම ජීවත් වුනා. ගෙදර පැත්තකම තමයි ඔහුගේ වඩු මඩුව පිහිටලා තිබ්බෙත්.

දොන් අහමදු බොහොම මහන්සියෙන් වැඩ කරපු කෙනෙක්. ඔහු හැමදාම උදේට තමාගෙ ආයුධත් අරගෙන කැලේට යනවා හොඳ ගස් තෝරාගන්න​. ඊට පස්සෙ ඔහු ඒ ගස් කපලා ලී අරගෙන වඩු මඩුවට එනවා.

එක දවසක් දොන් අහමදු උදේ වරුවම ගස් කපලා දවල් කෑමට ගහක් යට වාඩි වුනා. ඔහුට බොහොම මහන්සියි. කාල ඉවර වෙලා ඔහු බුලත් විටක් හපමින් ගහ යටම මහන්සි ඇරියා. මෙහෙම ඉන්න ගමන් "රයිවරු" (දිවෙහි රාජ්ජෙ වැසියෝ ගායනා කරන ජන ගී විශේෂයක්) කියන්න පටන් ගත්තා.

එක පාරටම ඔහුට ඔහුගේ රයිවරු ගීයට පිළිතුරු ගීයක් ඇහුනා. ඒ ගෑණු කටහඬකින්. ඒ විදිහේ කටහඬක් ඔහු කවදාවත් අහල තිබුනෙ නෑ.

"කවුද මේ දූපතේ මෙහෙම රයිවරු කියන්න පුළුවන් කාන්තාව​?"

ඔහු තමාගෙන්ම අහගත්තා.

මේ විදිහට ඔහුගේ රයිවරු ගීතයන්ට පිළිතුරු ගී ලැබීම දවස් කීපයක්ම සිද්ධ වුනා. දොන් අහමදු ට මේ මිහිරි හඬින් රයිවරු කියන කාන්තාව ගැන ආදරයක් ඇති වුනා.

"මට මේ කාන්තාව විවාහ කර ගන්න ඇත්නං"

ඔහුට එහෙම හිතුනා.

හිතුනා විතරයි එක පාරටම කැලේ මැද්දෙන් ඉතාම සුරූපී තරුණියක් දොන් අහමදු ඉස්සරහට ආව​. දොන් අහමදු කොච්චර තිගැස්සුනාද කියනව නං බිම නොවැටී බේරුනේ අනූ නවයෙන්.

මේ තරුණිය තරම් ලස්සන තරුණියක් දොන් අහමදු කවදාවත් දැකල තිබුනෙ නෑ. ඇය රතුපාට ඇඳුමක් ඇඳලා කොණ්ඩෙ මල් ගහල හිටියා. ඇගේ ඉණ වටා "ෆේලි" (ඉණ සළුවක්) බැඳල තිබුනා.

"මම ඔයාව කවදාවත් දැකල නෑ නෙ? ඔයා මේ දූපතේ කෙනෙක් ද​?"

දොන් අහමදු සන්සුන් බවක් මවාගෙන ඇහුවා.

"ඔව්. ඔයා වැඩිය දූපතේ ඇවිදින්න යන්නෙ නැති පාටයි"

තරුණිය හිනා වෙමින් පිළිතුරු දුන්නා.

දොන් අහමදු වැඩිත දූපතේ ඇවිදින්න යන්නෙ නෑ. ඔහුගේ කාලයෙන් වැඩි කොටස ගත වුනේ කැලේ ගිහින් ගස් කපන්නයි වඩු මඩුවේ වැඩ කරන්නයි.

"ඔයා තරම් ලස්සන කෙල්ලො කාෂිදූ දූපතේ ඉන්න බව මම දැනගෙන හිටියෙ නෑ නෙ. මම ඔයාගෙ කට හඬට වශී වෙලා හිටියෙ. දැන් රූපෙටත් වශී වෙලා."

ඔවුන් දෙන්නා දැන හඳුන ගත්තා.  ඇගේ නම දොන් කමනා.

ටික දවසකින් දොන් අහමදු ඇයට විවාහ යෝජනා කලා. දොන් කමනා කැමති වුනා. නමුත් ඇය කොන් දේසි හතරක් ඉදිරිපත් කලා.

"එක​, මම ළිඳට ගිහිල්ල ඉන්නකොට ඔයා මම දිහා බලන්න බෑ. දෙක​, මම කුස්සියෙ ඉන්නකොට ඔයා මම දිහා බලන්න බෑ. තුන​, මම මාළු සහ අනිත් කෑම හොයාගන්නෙ කොහෙන් ද කියල ඔයා කවදාවත් මගෙන් අහන්න බෑ. හතර​, ඔයා හැමදාම මම කැමති ඇඳුම් අඳින්න දෙන්න ඕනෙ"

ආදරයෙන් මත් වෙලා උන්නු දොන් අහමදු කොන්දේසි වලට කැමති වුනා. පහු වෙනිදම ඔවුන් විවාහ වුනා.

තරුණ යුවල බොහොම සන්තෝසෙන් ජීවත් වුනා. ඒ තරම් හැඩකාර ජෝඩුවක් කාෂිදූ දූපතේ විතරක් නෙවෙයි මුළු අතොළුවේම හිටියෙ නෑ කියලයි මිනිස්සු කතා වුනේ. දොන් කමනා හැමදාම ඇන්දෙ ඇය විසින්ම තෝර ගත්ත රතු පාට ඇඳුම්. ඇය හැම වෙලේම සුවඳ හමන මල් කොන්ඩේ ගැහුවා. මේකෙන් ඇගේ ලස්සන තවත් වැඩි වුනා.

මුළු ජීවිතේම තනියම හිටපු දොන් අහමදුට තමාගෙ වාසනාව අදහ ගන්න බැරි වුනා. ඔහුගේ බිරිඳ ඉතාම ලස්සනයි. ගෙදර දොරේ වැඩටත් හපනි. වැඩි කල් නොගිහින් ඔවුන්ට පුතෙක් සහ දොන් කමනා වගේම ලස්සන දූවරු දෙන්නෙක් ලැබුනා. ඔවුන් ඉතාම ප්‍රීතියෙන් කල් ගෙව්වා.


මේ විදිහට අවුරුදු දොළහක් ගතවුනා.

එක දවසක් දොන් අහමදු මුහුදු වෙරළේ ඉන්නකොට වෙළඳ යාත්‍රාවක් නැංගුරම් දාන හැටි දැක්කා. ඔහු ළඟ හිටපු කෙනෙක් ගෙන් ඇහුවා ඒ බෝට්ටුව කාගෙද කියලා.

"මේක දකුණෙ ඉඳන් ආපු බෝට්ටුවක්. මම හිතන්නෙ මේක තකුරුෆානු ගෙ බෝට්ටුව​"

තකුරුෆානු කියන්නෙ මුළු මාලදිවයිනේ ම ප්‍රසිද්ධ වෙළෙන්දෙක් සහ ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්). දොන් අහමදු ඔහුව තරමක් අඳුනනවා. ඔහු බෝට්ටුවට ගියා තකුරුෆානු හමු වෙන්න​.

"දොන් අහමදු! තමුසෙව දැකපු කල්! තමුසෙට දැන් ජයයි වගේ. කොහෙද මෙච්චර කල් හිටියෙ?"

"මම මගේ දූපතේමයි හිටියෙ. අපි හම්බුනේ අවුරුදු ගානකින් නේද​?"

"හ්ම්! තමුසෙ ඉස්සර නං මාව බලන්න මගේ දූපතට එනවා. දැන් තමුසෙව දකින්නවත් නෑ නෙ. තමුසෙ මැරිල ද හිටියෙ?"

තකුරුෆානු බොරු තරහක් මවාගෙන ඇහුවා.

"මම කසාද බැන්ද නොවැ. අපි යමුද ගොඩට​?"

ඔවුන් ගොඩට ඇවිත් දොන් අහමදු ගෙ ගෙදරට ගියා. ගෙදර හාත්පස බලපු තකුරුෆානු ගෙදර දොරේ පිළිවෙල දැකල බොහොම සතුටු වුනා.

"තමුසෙට අපූරු ගෙයක් නොවැ තියෙන්නෙ? තමුසෙ කොහෙවත් යන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි. තමුසෙට​ හොඳ හාමිනේ කෙනෙක් ලැබිල තියෙන පාටයි. හැම දෙයක්ම හරිම පිළිවෙලයි. ගෙදරක පොහොසත් බව මනින්න පුළුවන් ගෙදර තියෙන බඩු වල වටිනාකමෙන් නෙවෙයි. බඩු කොච්චර පිළිවෙලට තියෙනවද කියන එකෙන්. ඉතින් කෝ තමුසෙගෙ හාමිනේ? එයා වැඩකාරියෙක් වගේම හැඩකාරියෙක් ද​?"

තකුරුෆානු වගේ වැදගත් පුද්ගලයෙක් ගෙන් ලැබුන මේ ප්‍රශංසාවෙන් දොන් අහමදු බොහොම සතුටට පත් වුනා.

"'පිහියක් ලස්සන ඒකෙ මුවහත තියෙනකොට​; බිරිඳක් ලස්සන එයා කරුණාවන්ත නං' කියල කියමනක් තියෙනවනෙ. මගේ බිරිඳ කරුණාවන්ත විතරක් නෙවෙයි. බොහොම ලස්සනයි"

දොන් අහමදු ගෙ ප්‍රීතිය දැකල තකුරුෆානු ට හිනාවක් ගියා.

"එහෙනං එන්න කියනවකො අපිටත් බලන්න​"

දොන් අහමදු දොන් කමනා ට කතා කරා. දොන් කමනා ගෙදර ඉස්තෝප්පුවට ඇවිත් බොහොම විනීත විදිහට දොර උළුවස්සට හේත්තු වෙලා හිට ගත්තා. තකුරුෆානු බොහොම උනන්දුවෙන් ඇය දිහා බැලුවා. දොන් කමනා දැක්කා තකුරුෆානු ඇය දිහා බලන හැටි. ඇය අහක බලාගෙන හිනා වෙන්න උත්සහ කලත්, ඇයට හිනාවෙන්න බැරි වුනා. බොහොම තද ශෝකයකින් ඇගේ ලස්සන මුහුණ වැහිල ගියා.

තකුරුෆානු සහ දොන් කමනා ගල් ගැහිල වගේ බලාගෙන ඉන්න හැටි දැකපු දොන් අහමදු ටිකක් කලබල වුනා. ඔහු දොන් කමනා ව අමුත්තට සංග්‍රහ කරන්න තේ ගේන්න පිටත් කරල ඇරියා.

"කොහොමද එයා ලස්සනයි ද​?"

දොන් කමනා ගියාට පස්සෙ තකුරුෆානු දිහාවට හැරුන දොන් අහමදු හිනාවක් පාන ගමන් ඇහුවෙ අපහසු ගතිය මග ඇරෙන්නත් එක්ක​.

ඒත් තකුරුෆානු ගෙ මූණේ තිබ්බ භීතිය දැකපු දොන් අහමදු ගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.

"මොනවද තමුසෙ මේ කර ගත්තෙ? කොහෙන් ද තමුසෙට මේ ගෑණි හම්බුනේ?"

"මම කැලේ දර කපද්දි. ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ?"

"මේ ගෑණි මනුස්ස දුවක් නෙවෙයි. තමුසෙ කසාද බැඳල ඉන්නෙ මනුස්ස දුවක් නෙවෙයි"

"මොනවා? එහෙනං එයා කවුද​?"

"යකින්නක්"

දොන් අහමදු ගේ මුළු ඇඟම දාඩියෙන් පෙඟිලා ගියා.

"තකුරුෆානු මම දැන් මොකද කරන්නෙ? මට ඒ ගෑණිගෙන් ළමයිනුත් ඉන්නවා"

"මාත් එක්ක එනවා​"

තකුරුෆානු දොන් අහමදු ව දූපත් ප්‍රධානියා ගේ ගෙදරට එක්කරගෙන ගියා. එතැනදි තකුරුෆානු ඔහුට ඉතාම බලවත් ආයුධයක් දුන්නා. ඒ උල් කරපු "කුරෙදි" (කෙරල - ඉතා ශක්තිමත් ලීයක්) ලීයක්. ඒකෙ බලගතු මන්තරයක් කොටල තිබුනා.

"මේ උල ගෙදර "වරුවා" (වයඹ​) කොනේ පොළවට ඇනපන්. යකින්නට ගෙදරින් පිට වෙන්න සිද්ධ වෙයි"

දොන් අහමදු තවමත් බියෙන් මුසපත් වෙලා හිටියෙ.

"එයාට තරහ ගියොත්?"

"ඇයි තමුසෙ ඒ ගෑණිට එච්චර බය​? තමුසෙ මට නොකියපු මොනා හරි තියෙනවද​?"

"ඔව්. එයා මට එයා ළිඳ ළඟ ඉන්නකොටයි කුස්සියෙ ඉන්නකොටයි එයා දිහා බලන්න තහනම් කරල තියෙන්නෙ"

"ඉතිං තමුසෙ ඒකට කැමති වුනාද​? මොන මෝඩයෙක් ද​?"

දොන් අහමදු බිම බලාගත්තා.

"මම ඒකිට ආදරෙයි"

තකුරුෆානු දොන් අහමදු ගෙ ශෝකය දැක්කා. ඒත් ඔහු ඒක ගණන් ගත්තෙ නෑ.

"තමුසෙ ගෙදර ගියාම ඒ ගෑණි ළිඳ ළඟයි කුස්සියෙයි මොනවද කරන්නෙ කියල හොරෙන් බලනවා. ඊට පස්සෙ මට කියනවා"

දොන් අහමදු කුරෙදි ලීයත් අරගෙන ගෙදර ගියා. බිරිඳ නැති වෙලාවක් බලල කුරෙදි ලීය ගෙදර වයඹ කොනේ පොළවට ඇන්නා. ඊට පස්සෙ බිරිඳ ළිඳ ළඟට යනකං බලාගෙන හිටියා.

ටික වෙලාවකින් දොන් කමනා ළිඳට ගියා. දොන් අහමදු හොරෙන්ම ඇය පස්සෙන් ගිහින් ළිඳ ළඟ මොකද වෙන්නෙ කියල බැලුවා.

ඒත් බලපු හැටියෙම ඔහු තමා කරපු දේ ගැන පසු තැවුනා.

දොන් කමනා ළිඳට එබිල හිටියෙ. ඒත් එතැන හිටියෙ දොන් අහමදු ගෙ ලස්සන බිරිඳ නෙවෙයි. කොණ්ඩෙ කඩා ගත්තු උල් දත් තියෙන යකින්නක්. ඇය ගෙ දෑත් දෙපය හතර අතට නැවෙන සුළුයි. ඒ අත පය වලින් ඇය ළිඳේ ගැට්ට අල්ලගෙන බියකරු මූණ ළිඳට යොමු කරගෙන හිටියා. එක පාරටම ඇය ළිඳට එබිලා ආපහු උඩට මතු වුනා. ඇගේ කටේ හිටියෙ ටූනා මාළුවෙක්. ඇගේ උල් දත් වලට අහුවුන මාළුවා දඟලමින් උන්නා.

දොන් අහමදු භීතියෙන් වෙව්ලමින් හිටපු තැනම ඉඳ ගත්තා. තව දුරටත් ඇය දිහා බලන්න ඔහුට ශක්තියක් තිබ්බෙ නෑ. ඔහු බොහෝ වෙලාවක් තිස්සෙ එතැන වැටිලා උන්නා.

බොහෝ වෙලාවකට පස්සෙ දොන් අහමදු ආයෙත් දහිරිය වඩගෙන ගෙදර පැත්තට ආව​. ඔහුට ඇහුනා දොන් කමනා කුස්සියේ උයන සද්දෙ. ඔහු හොරෙන්ම කුස්සියට ළං වෙලා දොරෙන් එබිල බැලුවා.

දොන් කමනා කුස්සියේ ලිප ළඟ බිම වාඩි වෙලා හිටියා. ඇගේ දෙපය තිබුනෙ ලිප අස්සෙ. ලිපට දර දාල තිබ්බෙ නෑ. ඒත් දොන් කමනා ගේ දෙපය ගිනි පෙනලි දෙකක් වගේ ඇවිලෙමින් තිබ්බා. ලිප උඩ තිබ්බෙ මාළු හොද්දක්. දොන් කමනා හොද්ද හැඳිගාමින් හිටියා.

පින්තූරය ඔරිජිනල් පොතෙන්

දොන් අහමදු ගෙ ඇඟ දාඩියෙන් වැහුනා. ඔහු ගෙදරට දුවගෙන ගිහින් ඉස්තෝප්පුවේ බංකුව උඩ වාඩී වුනා.

ටික වෙලාවකින් දොන් කමනා ආවා.

"ඔයාට බඩගිනි ද​?"

ඇය හැමදාමත් කතා කරන​​, ඔහු ඉතාම ප්‍රිය කරපු ආදරබර කටහඬින් ඇය ඇහුවා.

දොන් අහමදු තිගැස්සුනා.

"නෑ"

"ඒ මොකෝ?"

දොන් කමනා කනස්සලු ගතියකින් ඇහුවා.

දොන් අහමදු ගෙ මුළු ඇඟම වෙව්ලන්න පටන් ගත්තා.

"මට සනීප නෑ වගේ"

"ඔයාට මොකද වුනේ? ඔයා කවදාවත් මෙහෙම ඉඳල නෑ. ඔයා වෙව්ලනවා"

ඇය කරුණාවෙන් ඇහුවා.

දොන් අහමදු උත්තර දුන්නෙ නෑ. ඔහුට ඇගේ මූණ බලන්න ශක්තියක් තිබුනෙ නෑ.

දොන් කමනා දුකෙන් පිරුණ හඬකින් කතා කරන්න පටන් ගත්තා.

"ඔයා හිතන්න එපා මම සිද්ද වුන දේ දන්නෙ නෑ කියලා. තකුරුෆානු ව දැක්ක වෙලේම මම දැන ගත්තා නපුරක් සිද්ද වෙයි කියලා. අපි අවුරුදු දොළහක් පවුල් කෑවෙ නැද්ද​? ඔයාට ඒක වටින්නෙ නැද්ද​? අවුරුදු දොළහක් අපි සතුටින් ගත කරපු ජීවිතය​, අපේ ළමයින් ගෙ සතුට ඔයා අර මිනිහගෙ හිස් වචන වෙනුවෙන් නැති කරගන්න යනවා. ඇයි අපේ ගෙදරට අද ආපු අමුත්තෙක් ගෙ වචන වලට ඔය තරම් වටිනාකමක් දෙන්නෙ? ඔයා මට ආදරේ නං ඔයා පිළිගන්නෙ මගේ වචනෙ, පිට මිනිහෙක් ගෙ වචනෙ නෙවෙයි"

දොන් කමනා ගෙ හඬේ තිබුන දුක්බර ගතියෙන්ම දොන් අහම්දු දැනගත්තා ඇය කොයිතරම් වේදනාවෙන් ද ඉන්නෙ කියලා. ඔහු දොන් කමනා ගේ ලස්සන මුහුණ දිහා බැලුවා. ඇය අමාරුවෙන් කඳුළු නවත්තගෙන හිටියා. ඔහුට පහුගිය අවුරුදු දොළහ පුරාවට ඔවුන් ගතකරපු ප්‍රීතිමත් ජීවිතය මතක් වුනා. ඔහු ගේ හිතේ නැවතත් ආදර හැඟීම් ඇති වෙන්න පටන් ගත්තා.

දොන් කමනා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

"ඒක ඇත්ත​. මම යකින්නක්. ඒත් මම මනුස්ස දුවක් නොවුනා කියල ඔයාට අඩුපාඩුවක් වුනාද​? ඔයා මාත් එක්ක සතුටින් හිටියෙ නැද්ද​? මගේ අනික් ස්වරූපය ඔයාට නොපෙනෙන්නයි අපි බඳින්න කලින් මම කොන්දේසි දැම්මෙ. ඔයා වෙනුවෙන් මනුස්ස දුවක් වෙන්න මට ඕන වුනා"

දොන් අහමදු සුසුම් හෙළුවා. ඔහුට තේරුනා ඔහු විශාල වැරැද්දක් කරගත්ත බවත්, ඒක ආපහු හදන්න බැරි බවත්.

"මම දන්නවා ඔයා මාව ගෙදරින් යවන්න මන්තරක් කරපු බව​. ඒ නිසා මම යන්නම ඕනෙ. මට ලේසියෙන්ම ඔයාගෙන් පළිගන්න පුළුවන්. ඒත් මට එහෙම කරන්න ඕනකමක් නෑ. මම තවමත් ඔයාට ආදරෙයි"

දොන් කමනා අඬන්න පටන් ගත්තා. දොන් අහමදුත් ඇය එක්ක ඇඬුවා.

"මට සමාවෙන්න​. යන්න එපා. මම ඔයාට ආදරෙයි"

"බෑ. මම යන්නම ඕනෙ. මම අපේ ළමයින් ගෙන් බාගයක් අරගෙන යනවා. මම හිටපු බවට වෙන සලකුණක් වත් තියෙන එකක් නෑ. හැම දෙයක් ම මම එන්න කලින් තිබ්බ වගේ තියේවි. ඔයාට කරදරයක් වුනා නම් මට සමාවෙන්න​. මම ආයෙත් ඔයාට කරදර කරන්නෙ නෑ"

දොන් කමනා ඇගේ ළමයි තුන් දෙනාත් අරගෙන මුහුදු වෙරළට ගියා. දොන් අහමදු ඒ පස්සෙන් ගියේ හීනෙන් වගේ. ඇය එක ගෑණු ළමයෙක් ගත්තා. පිරිමි ළමයා දොන් අහමදු ට දුන්නා. ඊට පස්සෙ ඇය කතිවාලියක් (වක් පිහියක්) අරගෙන අනෙක් ගෑණු ළමයා දෙපළු වෙන්න දික් අතට කැපුවා. ඇය එක පළුවක් අතින් අල්ල ගත්තා. අනෙක් පළුව වෙරළේ බිම වැටිල එසැනින්ම මැරුනා. ඒත් දොන් කමනා අල්ල ගත්ත පළුව මැරුනෙ නෑ. ඒක දොන් කමනා ළඟින්ම හිටගෙන උන්නා.

දොන් කමනා හෙමීට මුහුද දිහාවට ඇවිදගෙන ගියා. ගැහැණු ළමයා සහ අනෙක් ගෑණු ළමයාගෙ පළුව ඇය පස්සෙන් ඇවිදහෙන මුහුදට ගියා. ඔවුන් කෙමෙන් මුහුදේ ගිලෙමින් නොපෙනී ගියා.

දොන් අහමදු වැල්ල තෙමෙන හරියට යනකං ඔවුන් පස්සෙ දුවගෙන ගියා. ඊට පස්සෙ සුදු පාට වැල්ල උඩ වැතිරිලා මහා හඬින් විලාප තියමින් ඇඬුවා. ඔහුගේ පුතාත් ඔහු ළඟ බිම වාඩි වෙලා අඬමින් උන්නා.

ගෑණු ළමයාගේ මිය ගිය පළුව කුණු වෙන්න පටන් ගනිමින් තිබ්බෙ. දොන් අහමදු ඒක නුදුරු තැනක වැළලුවා.

දොන් අහමදු ඊට පස්සෙ කාත් එක්කවත් වැඩිය කතා බහ කළේ නෑ. ඔහු ඉක්මනට වයසට ගියා.  මිනිස්සු ඔහු සැලකුවේ පිස්සෙක් විදිහට. හැම දවසකම ඔහු  මිය ගිය දියණිය ගෙ මිනී වල ළඟට ඇවිත් දොන් කමනා සහ ඔහුගේ අනෙක් දියණිය මුහුදට ඇවිදගෙන ගිය තැන දිහා බලාගෙන පැය ගාණක් හඬා වැලපුනා.

ඒත් දොන් කමනා ආයෙ කවදාවත් ආවෙ නෑ෴


(දොන් කමනා සහ දොන් අහමදු ජීවත් වුන තැන අදත් කාෂිදූ දූපතේ තියෙනවා. එතැන හඳුන්වන්නෙ "හන්ඩි ගන්දුවාරු" (යකින්නගේ නිවහන​) කියලා. මෑතක් වෙනකම්ම ඔවුන් ගේ ගෙදර නටබුන් දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් අද ඒවත් මැකිල ගිහින්.)

- කතාව කිව්වේ ගා ගේ නයිමා (මාලේ දූපත​)


අටුවාව​

1. කාෂිදූ

මාලේ දූපතට තරමක් උතුරින් පිහිටි දූපතක්.කාෂිදූ දූපත බෞද්ධ ආරාම සංකීර්නයක නටබුන් වලට ඉතා ප්‍රසිද්ධයි.


කාෂිදූ දූපතේ ඇති බෞද්ධ නටබුන්

2. රයිවරු

මාලදිවයිනේ ප්‍රකට ජන ගී විශේෂයක්. වචන වල අකුරු මාරු කරමින් සහ දෙනෙක් එකිනෙකාට උත්තර දෙමින් තමයි රයිවරු ගායනා කරන්නෙ. රයිවරු ගීත මුලින්ම ගායනා කරල තියෙන්නෙ පොල් රා මදින්නන්. පොල් රා මදිනන්න් දිවෙහි බසින් හඳුන්වන්නේ "රා වෙරියා" කියල​. ඒකෙන් තමයි රයිවරු කියන නම ඇවිත් තියෙන්නෙ.

3.
ෆන්ඩිත​

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.



4. හන්ඩි

දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන යකිනියන් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "හන්ඩි" කියලා. හන්ඩි ගෙ සැබෑ ස්වරූපය බිය ජනකයි. කොණ්ඩය කඩා දාපු උල් දත් තියෙන කාන්තාවක් විදිහට තමයි හන්ඩි හඳුන්වන්නෙ. ඒත් සමහර යකිනියන් ලස්සන කාන්තාවන් වගේ වෙස් මාරු කර ගන්නවා. හන්ඩි රතු පාට ඇඳුම් අඳින්නත් හිසේ මල් පළඳින්නත් ප්‍රිය කරන බව කියැවෙනවා. ඒ වගේම තමාගේ දෙපයින් ගිනි මති කරන්න සහ ඒ ගින්නෙන් ආහර පිසින්න මේ යකිනියන්ට පුළුවන්.


5. කුරෙදි

ඉතාමත් ශක්තිමත් ලී සහිත ගහක්. තරමක් පොඩි පඳුරු විදිහට තියෙන මේ ගස් සිංහලෙන් "කෙරල​" කියල හැඳින්වෙනවා. වගුරු බිම් සහ වෙරළාශ්‍රිතව තමයි බහුලව වැවෙන්නෙ.


කුරෙදි ගස
6. කතිවලි

අපේ වක් පිහියට ඉතා සමාන ලොකු පිහියක්. මේ පිහියෙන් දර කැපීමේ ඉඳලා මාළු කැපීම දක්වා ගෙදර දොර වැඩ රාශියක් දිවෙහි රාජ්ජෙ වැසියො කර ගන්නවා


1 comment: