Thursday, January 25, 2018

ජපානයේ තේ බොන හැටි - 1


ජපානයේ සංස්කෘතියත් එක්ක තේ පානය තදින්ම බැඳිලා තියෙනවා. මේ කියන්න යන්නෙ ජපානයේ තේ බොන හැටි සහ ඒ එක්ක බැඳුන වෙනත් සංස්කෘතිකාංග ගැන​.

ඉතිහාසය​

ජපානයට මුලින්ම තේ එන්නෙ චීනයේ ඉඳල​. ඒ 9 වෙනි සියවසේදී. මුලින්ම තේ පානය ජනප්‍රිය වෙන්නෙ බෞද්ධ භික්‍ෂූන් අතරේ. ඊට පස්සෙ ඒක ක්‍රමයෙන් රජ වාසලට සහ එතැනින් සමුරායි වරු අතරට පැතිරුනා. ඒ එක්කම ජපානයේ තේ වගාවත් ක්‍රමයෙන් දියුණු වුනා. තේ පානය සාමාන්‍යය ජනතාව අතරට පැතිරුනේ 12 වෙනි සියවසේදී.

1900 පමණ වෙනකොට තේ කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම පටන් ගත්තා.

අද වෙනකොට විවිධ ක්‍රම වලට වගා කරන සහ නිපදවන තේ වර්ග ගණනාවක් ජපානයේ තියෙනවා.

අද ලෝකයේ තේ නිෂ්පාදය අතින් 10 වෙනි ස්ථානයේ ඉන්නෙ ජපානය​. ඒ ලෝක නිෂ්පාදනයෙන් 2% ක්.


තේ වගාව​

ජපානයේ තියෙන්නෙත් ලංකාවෙ තියෙන තේ ගහ මයි. නමුත් ඔවුන් ඒක වගා කරන්නෙ ලංකාවේ වවන ප්‍රමානයට වඩා තරමක් කුඩාවට සහ තේ පඳුර ගෝලාකාර හැඩයකට එන විදිහට​. තේ වතු තියෙන්නෙ ලංකාවෙ වගේම කඳු බෑවුම් වල​.


තේ දළු නෙලීම අතින් වගේම යන්ත්‍රානුසාරයෙනුත් කෙරෙනවා.

ජපානයේ තේ වගාව බහුලව සිදු වෙන්නෙ දකුණට වෙන්න​. ඒ උතුරු ජපානය තේ වගාවට සුදුසු නොවන තරම් ශීතල නිසා. ජපානයේ තේ වගාවෙන් 40% ක් ම සිද්ධ වෙන්නෙ ශිසුඕකා ප්‍රාන්තයේ.

ජපානයේ තේ දළු නෙලීම අවුරුද්දකට හතර වතාවක් කෙරෙනවා. පළවෙනි අස්වැන්න නෙලන්නෙ වසන්ත ඍතුවේ ආරම්භයත් එක්ක​. ඊට පස්සෙ දින 45 ක පරතරයකින් දෙවන​, තුන්වන සහ හතරවන අස්වනු නෙලීම් සිද්ධ වෙනවා. හතරවෙනි අස්වැන්න නෙලීමෙන් පස්සෙ සරත් ඍතුව එළැඹීමත් එක්කම තේ ගස් වල කොල හැලිලා සිසිරතරණයට (hibernate) පත්වෙනවා. ආපහු අස්වැන්න නෙලන්නෙ ඊළඟ අවුරුද්දේ.

ඉස්තරම්ම තේ ලබාගන්නෙ අවුරුද්දේ පළවෙනි අස්වැන්නෙන්. දෙවැනි තුන්වැනි සහ හතරවැනි අස්වනු ක්‍රමයෙන් අඩු ප්‍රමිතියක් සහිත තේ තමයි ලබා දෙන්නෙ. ඒ ඒ අස්වැන්න අනුව ලබා ගන්න තේ හැඳින්වෙන නම් තියෙනවා.

පළවැනි අස්වැන්න - ඉචිබන්චා
දෙවැනි අස්වැන්න - නිබන්චා
තුන්වැනි අස්වැන්න - සන්බන්චා
හතරවැනි අස්වැන්න - යොන්බන්චා


තේ හදන්න භාවිතා වෙන උපකරණ​

තේ කෝප්පයක් හදාගන්න එක ආවට ගියාට කරන්න බෑ. එක එක තේ වර්ගය අනුව තේ කෝප්පයක් හදන විදිහ වෙනස්. ඒ වගේම භාවිතා වෙන උපකරණත් වෙනස්. මේ ජපානයේ තේ සංස්කෘතිය​.

තෙත්සුබින් (කේතලය)

තේ හදද්දි මුලින්ම ඕන වෙන්නෙ වතුර උණු කරගන්න​. මේකට භාවිතා වෙන්නෙ "තෙත්සුබින්" කියල හඳුන්වන චීනචට්ටි කේතලයක්.


තේ පෝච්චිය​

ඊළඟට තේ පෝච්චිය​. තේ පෝච්චිය වතුර උණු කරන්න පාවිච්චි කරන්නෙ නෑ. තේ පෝච්චිය ඕන වෙන්නෙ තේ කොළ උණු වතුරට දාල පැහෙන්න අරින්න​. තේ පෝච්චි ජපන් භාෂාවෙන් හැඳින්වෙන්නෙ "ක්‍යුසු" කියල. සාමාන්‍යෙයෙන් මේවා හදන්නෙ මැටි හෝ පෝසිලේන් වලින්. සාම්ප්‍රදායික ක්‍යුසු වල අඬුව තියෙන්නෙ පැත්තකින්. ඒත් උඩින් හෝ පිටුපසින් අඬුව තියෙන තේ පෝච්චිත් තියෙනවා.


තේ කෝප්පය​

ඊළඟට තේ කෝප්පය​. ජපන්නු තේ බොන්න පාවිච්චි කරන්නෙ "චවන්" කියල හඳුන්වන සරළ රවුම් අඬුවක් රහිත කෝප්පයක්. ජපන්නු බොන්නෙ අපි බොනවට වඩා අඩු උෂ්නත්වයක තියෙන තේ නිසා අඬුවක් නැති එකේ අඩුපාඩුවක් දැනෙන්නෙ නෑ.


වතුර භාජනය​

සමහර තේ වර්ග පැහෙන්න අරින්නෙ අඩු උෂ්නත්වයකදි. ඒ තේ වර්ග හදන්න කලින් වතුර ටිකක් නිවෙන්න අරින්න ඕනෙ. ඒ වැඩේට පාවිච්චි කරන විශේෂ භාජනයක් තියෙනවා. ඒක හඳුන්වන්නෙ "යුසමෂි" කියලා.



මේ කිව්වෙ සාමාන්‍යය එදිනෙදා බොන්න තේ හදද්දි අවශ්‍යය වෙන උපකරණ ගැන විතරයි. ජපන් සංස්කෘතියේ තියෙනව "තේ පිළිවෙත​" (Tea Ceremony) කියල එකක්. ඒක ඉතාම සංකීර්න ක්‍රමවේදයක්. ඒක ගැන වෙනම කියන්නම්.

1 comment:

  1. අවුරුද්දට 4 පාරයි? ඒ ඇයි? දලු එනවනෙ ඊට වඩා

    ReplyDelete