Wednesday, January 3, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා -12 (සෆරු කයිද්දා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සෆරු කයිද්දා


එක දවසක් හවසක කාන්තාවක් තමාගෙ දුවට කතා කරල මෙහෙම කිව්වා.

"දුවේ නිදාගන්න කලින් "වලුදානි" සහ (ළිඳකින් වතුර ගන්න පාවිච්චි කරන දිග රිටක් සවි කළ භාජනයක්) "ෆුන්ඩා දායි" (මිරිස් ගල​) හංගපන්"

"ඒ මොකෝ අම්මෙ ඒව හංගන්නෙ?"

"දුවේ අද සෆරු මාසෙ (ඉස්ලාමීය මාස ක්‍රමයේ දෙවැනි මාසය​) පාළොස් වෙනිදා. අද පුර හඳ තියෙන දවසක්. අද රෑට සෆරු කයිද්දා එයාගෙ දූවරු හත් දෙනත් එක්ක එනවා. එක දුවකගෙ ඇහැක් නෑ. ඒ නිසා අපි ඒව හංගන්නම ඕනෙ" (සෆරු කයිද්දා කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන යකින්නක්)

"මට තේරෙන්නෙ නෑ අම්මෙ. අපි ඒව හැංගුවෙ නැත්තං මොකද වෙන්නෙ?"

අම්මා ඇස් ලොකු කරගෙන රහසෙන් දුවට කතාව කිව්වා.

ගොඩක් ඉස්සර දවසක​, මම දුව වගේ පොඩි ළමයෙක් කාලෙ, අපි සෆරු මාසෙ පාළොස් වෙනිදා ඒව හංගන්නෙ නැතුව නිදා ගත්තා. එදා රෑ සෆරු කයිද්දා ආව​. එයා මිරිස් ගලේ දාල එයාගෙ දුවලට බෙහෙත් ඇඹරුවා. ඊට පස්සෙ මුළු රෑ පුරාම වලුදානියෙන් වතුර ඇද ඇද දූවරු හත් දෙනාව නෑව්වා. අපි මුළු රෑම වතුර අදින සද්දෙ අහගෙන හිටියෙ.


උදේ පාන්දර එළිය වැටීගෙන එද්දි සෆරු කයිද්දා ගියා. අපි එළියට ඇවිත් බැලුවා. ළිඳ ළඟ කුණු ජරාව පිරිල​. මොකද සෆරු කයිද්දා එයාගෙ දුවලව නාවන්නෙ සෆරු මාසෙ පාළොස් වෙනිදට විතරයි. අපි ළිඳ ළඟ සුද්ද කරාම මඩ අස්සෙ තිබිල රත්තරං "ගිලෆටි" (මාලයක්) හම්බුනා. ඒක අඳුනගන්න බැරි තරං කුණු වලින් වැහිල තිබ්බෙ. මගේ නැන්දා ඒක පිරිසිදු කරල ගේ ඇතුලෙ හැංගුවා.

ඊළඟ අවුරුද්දෙ සෆරු මාසෙ පාළොස් වෙනිදත් සෆරු කයිද්දා ආව​. එයාට හොඳටම තරහ ගිහිල්ල තිබුනෙ. එයා අත් මිට මොළවලා ගෙදර බිත්ති වලට ගැහුවා.

"මගේ දුවගෙ ගිලෆටිය කෝ? ඒක ආපහු දීපල්ලා"

අපි ගේ ඇතුලෙ බයෙන් ගුලි වෙලා හිටියෙ. කවුරුවත් වචනයක් වත් කතා කරේ නෑ.

"උඹල ගිලෆටිය දුන්නෙ නැත්තං මම උඹල එකෙක් ගෙ ඇහැක් ගලවල ගන්නව මගේ දුවට කන්න​."

ඊට පස්සෙ එයා ඇඟ හිරිවැටෙන හඬකින් හූ කිය කිය ගෙදර බිත්ති දෙදරන තරම් හයියෙන් බිත්ති වලට ගැහුවා. එක පාරටම ගෙදර දොර "බරාස්" ගාල ඇරුනා. සෆරු කයිද්දා මහා සද්දෙන් හිනා වෙවී ඇවිත් මගේ නැන්ද ගෙ ඇහැ ගලවල ගත්තා. ඊට පස්සෙ එයා හූ හඬ තියාගෙන යන්න ගියා.

මගෙ දුවේ, සෆරු මාසෙ පාළොස් වෙනිදට වලුදානියයි මිරිස් ගලයි හැංගුවෙ නැත්තං වෙන දේ දැක්ක නේද​? අපි ඒ දෙක හංගල නිදා ගන්න යමු෴

- කතාව කිව්වෙ ගා ගේ නයිමා (මාලේ දූපත​)

අටුවාව​

1. වලුදානි

මාලදිවයිනේ ළිං වලින් වතුර ගන්න පාවිච්චි කරන දිග රිටක් හයි කරපු භාජනයක්. නළ ජලය එන්න කලින් ඕනම ගෙදරක අනිවාර්‍යයෙන් තිබ්බ උපකරණයක්. 






2. ෆුන්ඩා දායි

මිරිස් ගල​. කුස්සියේ උයන්න ඕන දේවල් අඹර ගන්න පාවිච්චි කළ මේ මිරිස් ගල අපේ කුස්සියෙ තියෙන මිරිස් ගල මයි.





3. සෆරු

ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව අවුරුද්දේ දෙවෙනි මාසය​. මේක අරාබි බසින් "සෆර්" කියල හැඳින්වෙනවා. ඒක දිවෙහි බසට ඇවිල්ල තියෙන්නෙ "සෆරු" කියල​. සෆර් මාසෙ පාළොස් වෙනිදා පුර හඳ තියෙන දවසක්.

4. සෆරු කයිද්දා

සෆර් මාසෙ පාළොස් වෙනිදට එළි බහින යකින්නක්. මේ යකින්නට දූවරු හත් දෙනෙක් ඉන්නවා. දිවෙහි රාජ්ජෙ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්.

5. ගිලෆටි

ඉස්සර කාලෙ දිවෙහි රාජ්ජෙ කාන්තාවො පැළඳපු මාලයක්. මේ මාලය බෙල්ලට තද වෙන්න තමයි බැඳල තියෙන්නෙ. "ගිලෆටි" කියන එක ඇවිල්ල තියෙන්නෙ "ගෙල පටිය​" කියන එකෙන් කියල හිතන්න පුළුවන්.

2 comments: