Thursday, March 5, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 5 (මක්කාවේ ඉස්ලාමය සහ මුස්ලිම් වරුන්ට එරෙහි මර්ධනය​)


මුහම්මද් තුමා ප්‍රසිද්ධියේ ඉස්ලාමය දේශනා කිරීම ඇරඹීමත් සමඟම මක්කා නගරයේ ප්‍රධානීන් ඉස්ලාමය මර්ධනය කරන්න තීරණය කළා. මේ නිසා මුල් කාලයේ මුස්ලිම් වරුන්ට මක්කා නගරයේදී විවිධ හිංසා පීඩා වලට ගොදුරු වීමට සිද්ධ වුනා.

එවකට පැවති අරාබි සිරිත් අනුව යම් කිසි කෙනෙකුට එදිරිවාදිකමක් සිදු වුනොත්, ඔහුගේ පවුලේ සාමජිකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු වුනා. මේ නිසා බලවත් සහ ධනවත් පවුල් වල මුස්ලිම් වරුන්ට තමාගේ පවුලේ ආරක්‍ෂාව ලැබුනු නිසා කෙලින්ම හානියක් කරන්න මක්කා වැසියන් පෙළඹුනේ නෑ. මේ හේතුව නිසා මුහම්මද් තුමා, කදීජා, අලී, උත්මාන්, අබ්ද් අල් - රහ්මන් වැනි මුස්ලිම් වරු පීඩාවට ලක් වුනේ සාපේක්‍ෂව අඩුවෙන්. නමුත් දුප්පතුන් දරුණු හිංසා පීඩා වලට ලක් වුනා.

අබු දාර් අල්-ගෆාරි


අබු දාර් අල්-ගෆාරි හෙවත් ජුන්දුබ් කියන්නේ බැනු ගෆාර් ගෝත්‍රයට අයත් තරුණ බෙදුවියන් වරයෙක්. බැනු ගෆාර් ගෝත්‍රයේ ප්‍රධාන ජීවිකාව වුනේ තවලම් මංකොල්ල කෑම​. මේ නිසා ඔවුන් සම්බන්ධයෙන් මක්කා නගරයේ වෙළඳුන් තුල තිබුනේ භීතිය මුසු වුනු හැඟීමක්.

බැනු ගෆාර් ගෝත්‍රයේ හිංසාකාරී ජීවන රටාව නිසා කළකිරීමෙන් සිටි අබු දාර් ට මුහම්මද් තුමා ගැන අහන්න ලැබුනා. ඔහු මුහම්මද් තුමා සොයාගෙන මක්කාව වෙත ආවා. මුහම්මද් තුමා හමුවෙන අදහසින් ඔහු කාබාව අසල ගැවසෙමින් සිටියා. එහිදී ඔහුට ගැටවරයෙක් හමුවුනා. අබු දාර් මේ ගැටවරයාගෙන් මුහම්ම්ද් තුමා පිළිබඳ විමසා සිටියා.

"ඔව් මම මුහම්මද්ව දන්නවා" යැයි පැවසූ ගැටවරයා අබු දාර් ව මුහම්මද් තුමා වෙත කැඳවාගෙන ගියා. එහිදී මුහම්මද් තුමා සමඟ කළ සංවාදයකින් පසුව අබු දාර් ඉස්ලාමය වැළඳ ගත්තා.

මේ වන විට ඉස්ලාමය වැළඳගත් පිරිස දහයකටත් අඩු ගණනක්. මුහම්මද් තුමා තවමත් ප්‍රසිද්ධියේ දේශනා කිරීම අරඹා තිබුනේ නෑ. මේ නිසා අබු දාර් නික්ම යාමට පෙර මුහම්මද් තුමා ඔහු ඉස්ලාමය වැළඳගත් බව කිසිවෙකුටත් නොපවසන ලෙසට පොරොන්දු කර ගත්තා.

"බය වෙන්න එපා. මම කාටවත් මේ ගැන කියන්නේ නෑ" යනුවෙන් සහතික කළ අබු දාර් මුහම්මද් තුමාගේ නිවසින් පිටත්ව ගියා.

සුළු වේලාවකට පසු නිවසින් බැහැරව ගිය ගැටවරයාට කාබාව දෙසින් විශාල කලබගෑණියක ශබ්ධයක් ඇසෙන්න වුනා. ඔහු වහාම ඒ දෙසට දිව ගියා. එහිදී ඔහුට දකින්න ලැබුනේ කාබාව අසල විශාල පිරිසක් එක් රැස් වී සිටින අයුරු.

අබු දාර් කාබාව මත නැගී මහා හඬින් කෑ ගසමින් සිටියා.

"මගේ නම ජුන්දුබ්. අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නෑ. මුහම්මද් අල්ලාහ් ගේ දූතයා"

එක් රැස් වී සිටි පිරිස කෝපයෙන් දැවෙමින් අබු දාර් ට ශාප කළා. සුළු මොහොතකින් ඔවුන් අබු දාර් ව පහතට ඇද බිම පෙරළා හොඳටම පහර දුන්නා.

එතැනට පැමිණි මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු අබු සුෆියාන් කෝලහලය වැලැක්වීමේ අරමුණෙන් අබු දාර් ව අතහරින ලෙස නාගරිකයන් ගෙන් ඉල්ලා සිටියා. ඒත් කිසිවෙක් ඔහුට ඇහුම් කන් දුන්නේ නෑ. ඔවුන් දිගටම අබු දාර්ට ගුටි බැට දුන්නා.

"නුඹලා දන්නවද මේ කවුද කියලා? ඔහු බැනු ගෆාර් ගෝත්‍රයේ සාමාජිකයෙක්"

අබු දාර් ගේ ගෝත්‍රය ගැන ඇසූ සැනින් මක්කා වැසියන් භීතියට පත් ව ඔහුව අත හැර විසිර ගියා. ඒ නිසා අබු දාර් ගේ ජීවිතය ගැලවුනා. ගැටවරයා අබු දාර් ගේ තුවාල වලට සාත්තු කර ඔහු පිටත් කර හැරියා.

අබු දාර් ට කාබාව අසලදී හමු වුනු ගැටවරයා අලී ඉබ්න් අබු තාලිබ්. ඒ අලී සහ අබු දාර් අතර ජීවිත කාලයක් පැවතුනු මිතු දමක ආරම්භය​.


සුමයියා, යාසිර් සහ අම්මාර්


යාසිර් ඉබ්න් ආමර් යෙමනයේ සිට මක්කාවට සංක්‍රමන වූ දුප්පතෙක්. ඔහු මක්කා නගරයේදී සුමයියා නම් කාන්තාවක් විවාහ කර ගත්තා. ඔවුනට අම්මාර් ඉබ්න් යාසිර් නම් පුතෙක් සිටියා. මේ තිදෙනාම මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්) ගේ වහලුන් ලෙස සේවය කලා.

යාසිර් සහ සුමයියා මහළු වියට පත් වුනු පසු, ඔවුන් ගේ පුතාත් සමඟම ඉස්ලාමය වැළඳ ගත්තා. ඔවුන් ගේ ස්වාමියා වුනු ආමර් ඉබ්න් හිෂාම් මේ පිළිබඳව දැනගත් පසු කෝපයෙන් වියරු වැටුනා. ආමර් ඉබ්න් හිෂාම් සහ ඔහු ගේ සොහොයුරියගේ පුතා වුනු උමර් ඉබ්න් අල්-කත්තබ් යාසිර්, සුමයියා සහ අම්මාර් හට යකඩ සන්නාහ අන්දවා ගිනි අව්වේ සිටුවා තැබුවා. අව්වෙන් රත් වුනු යකඩ සන්නාහ නිසා ඔවුන් ගේ සිරුරු පිළිස්සෙන්නට වුනා.

නමුත් ඔවුන් ඉස්ලාමය අත හැරීමට එකඟ නොවුනු නිසා ආමර් ඉබ්න් හිෂාම් හෙල්ලයකින් සුමයියා ගේ රහස් පෙදෙසට ඇණ ඇය මරා දැමුවා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදූ පළමු පුද්ගලයා ලෙස සැලකෙන්නේ සුමයියා. ටික වෙලාවකට පසු යසීර් දරුණු වධ බන්ධන නිසා මරණයට පත් වුනා. වධ වේදනා වලින් සිහි විකල් ව සිටි අම්මාර් ඉස්ලාමය අත හැරීමට කැමැත්ත පළ කිරීම නිසා ඔහු ගේ ජීවිතය ගැලවුනා.

අම්මාර් ඉස්ලාමය අත හරින බව ප්‍රකාශ කලේ ජීවිතය ගලවා ගැනීමට නිසා සහ ඔහු හදවතින් ඉස්ලාමය අත් නොහැරි නිසා ඔහු තවමත් මුස්ලිම් වරයෙක් බව මුහම්මද් තුමා ප්‍රකාශ කළා. මේ මුස්ලිම් වරුන් අතර ඇති "අල් තකියා" (ජීවිතය ගලවා ගැනීම සඳහා ඉස්ලාමය අත හරින බව පැවසීමට අවසර දීම​) සම්ප්‍රදායේ ආරම්භය.

පසු කලක අම්මාර් ඉබ්න් යාසිර් මුහම්මද් තුමාගේ සහ අලී ගේ ඉතාමත් විශ්වාසවන්ත සගයෙක් බවට පත් වුනා.


බිලාල් ඉබ්න් රබා


බිලාල් ඉබ්න් රබා ඉතියෝපියානු (කළු) ජාතික වහලෙක්. ඔහු ගේ ස්වාමියා වුනේ මක්කා නගරයේ ප්‍රධානියෙක් වුනු උමයියා ඉබ්න්  කලාෆ්.

බිලාල් ඉස්ලාමය වැළඳගත් බව දැනගත් උමයියා ඔහු දරුණු වධ බන්ධනයන්ට පත් කළා. ඔහු බිලාල් ගේ අත් පා බැඳ දමා නගරය පුරා ඇදගෙන ගියා. නමුත් ඉස්ලාමය අත හැරීම ප්‍රතික්‍ෂේප කළ බිලාල් දිගින් දිගටම "අහද්, අහද්" (දෙවියන් පරිපූර්ණයි) යනුවෙන් හඬ නැගුවා.

උමයියා ඊළඟට කලේ බිලාල් නිරුවත් කර පොළවේ සිටවූ ලී කුඤ්ඤ හතරක ඔහුගේ අත් පා ගැට ගසා ඔහුට කස පහර දීම​. ඉන් පසු ඔහුට ගිනියම් වූ පොළව මත වැතිරී ඉන්න සැලැස්වුවා. නමුත් බිලාල් දිගින් දිගටම "අහද්, අහද්" යනුවෙන් හඬ නැගුවා. උමයියා එවිට රත් කරන ලද විශාල ගලක් බිලාල් ගේ පපුව මත තැබුවා. එහි බරින් මිරිකී ගිය බිලාල් ට හුස්ම ගැනීමට අපහසු වීම නිසා ඔහු සෙමින් සෙමින් මරණය වෙත ළඟා වුනා.

එවිට එහි පැමිණි ඉස්ලාමය වැළඳ ගත් වෙළෙන්දෙක් වූ අබු බකර් උමයියා වෙතින් බිලාල් මිලදී ගෙන ඔහුව වධ බන්ධනයන් ගෙන් සහ වහල් බවින් නිදහස් කළා. එයින් බිලාල් ගේ ජීවිතය ගැලවුනා.

පසු කලෙක බිලාල් ඉස්ලාමයේ පළමු "මුආසින්" වරයා (නැමදුම​ සඳහා කැඳවන්නා) තනතුර ලැබුවා.

බිලාල් නැමදුම​ සඳහා කැඳවීමේ පණිවුඩය දීම​

මුහම්මද් තුමා සහ අබු බකර්


මීට අමතරව අනෙකුත් මුස්ලිම් වරුන්ටත් නොයෙක් හිංසා පීඩා වලට ගොදුරු වීමට සිදු වුනා.

වරක් අබු බකර් ඉස්ලාමය වැළඳගත් බව ආරංචි වුනු තරුණයන් පිරිසක් මක්කා නගරයේ වීදියකදී අබු බකර්ට සිහි සුන් වනතුරු පහර දුන්නා. තවත් වරෙක අබු බකර් සහ තවත් ඉස්ලාමය වැළඳගත් තරුණයෙක් වුනු තල්හා ඉබ්න් උබයිදුල්ලා ලණුවකින් එකට ගැටගසා ගිනි අව්වේ සිටුවා තැබුවා.

මේ හිංසාවන් ගෙන් මුහම්මද් තුමාටත් ගැලවීමක් ලැබුනේ නෑ. මුහම්මද් තුමාට එරෙහිව වඩාත්ම හිංසාවන් කලේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්) සහ මුහම්ම්ද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්.

වරක් මුහම්මද් තුමා කාබාව අසල දණ ගසාගෙන් දෙවියන් නමදිමින් සිටියදී ආමර් ඉබ්න් හිෂාම් මිය ගිය ඔටුවෙකුගේ අතුණු බහන් ඔහුගේ සිරුර මත හෙළුවා. රුධිරයෙන් සහ වෙනත් අපද්‍රව්‍යයන් ගෙන් නෑවී ගිය මුහම්මද් තුමා දණගසාගෙනම සිටියදී බලා සිටි පිරිස මහා හඬින් සිනා සෙන්නට වුනා. එවිට එතැනට පැමිණි මුහම්මද් තුමාගේ කුඩා දියණිය වුනු ෆාතිමා අතුණු බහන් ඔහුගේ සිරුරෙන් ඉවත් කොට ඔහු පිරිසිදු කළා.

තවත් වරෙක මුහම්මද් තුමා කාබාව අසල දෙවියන් නමදිමින් සිටියදී ආමර් ඉබ්න් හිෂාම් විශාල ගලක් ගෙන "මම මේ ගලෙන් මුහම්මද් ගේ ඔළුව දෙපළු වෙන්න ගහනවා" යැයි වහසි බස් දොඩමින් ඔහු වෙත ගියා. නමුත් විශාල ඔටුවෙක් ඔහු යන මග අවුරා සිටි නිසා මුහම්මද් තුමාට හානියක් වුනේ නෑ.

අබු ලැහැබ් ගේ බිරිඳ වුනු උම් ජමිල් මුහම්මද් තුමා යන මග කටු සහිත දර දැමීම පුරුද්දක් කර ගත්තා. මුහම්මද් තුමා නොයෙක් වර මේ දර කැබලි වල පැටලී බිම වැටුනා. ඔහුට තුවාල සිදු වුනා.


හම්සා ඉබ්න් අබ්ද්-අල් මුත්තාලිබ්

හම්සා කියන්නේ මුහම්මද් තුමාගේ පියාගේ බාල සොහොයුරා. ඔහු මක්කා නගරයේ ප්‍රසිද්ධ වුනේ ඉතාමත් නිර්භීත​, ඉතාමත් ශක්තිමත් යුධ ශිල්පයේ කෙළ පැමිණි අයෙක් විදිහට​. හම්සා වැඩිපුර කල් ගත කලේ මක්කා නගරය අවට කඳු, කාන්තාර සහ කැලෑ වල දඩයමේ නිරත වෙමින්. ඔහු නගරයට ආවේ ඉඳ හිට​.

වරක් මුහම්මද් තුමා වීදියකදී හමු වුන විට ආමර් ඉබ්න් හිෂාම් ඔහුට දරුණු ලෙස අපහාස කළා. මුහම්මද් තුමා ඔහු මගහැර යන්න උත්සහ කළත් ආමර් ඉබ්න් හිෂාම් දිගින් දිගටම ඔහු පසු පස යමින් ඔහුට අපහාස කලා. දඩයම් සවාරියකින් පසුව මක්කා නගරයට පැමිණි හම්සාට මේ බව ආරංචි වුනා. ඔහු වහාම ආමර් ඉබ්න් හිෂාම් සොයා ගියා. ඔහු හිටියේ දඩයම් සඳහා රැගෙන ගිය දුන්න උරහිසේ පැළඳගෙන​.

ආමර් ඉබ්න් හිෂාම් සහචරයන් පිරිසක් සමඟ කතා කරමින් සිටිනු දැක්ක හම්සා ඔහු ළඟට ගිහින් දුන්නෙන් මුහුණ හරහා වැරෙන් පහරක් දුන්නා. පහරේ වේගයට ආමර් ඉබ්න් හිෂාම් බිම වැටුනු අතර​, හම්සා ඔහුට අභියෝග කළා.

"මම මුහම්මද් ගේ ආගම වැළඳ ගත්තොත් උඹ දිගටම ඔහුට අපහාස කරයි ද​? පුළුවන් නම් මට ගහපන්"

ආමර් ඉබ්න් හිෂාම් ගේ සහචරයන් හම්සාට එරෙහිව අතක් ඔසවන්න බය වුනු නිසා ඔවුන් මොකවත් කළේ නෑ. හම්සා එවෙලේම මුහම්මද් සොයා ගිහින් ඉස්ලාමය වැළඳ ගත්තා.  මක්කාවේ ප්‍රභල චරිතයක් වුනු හම්සා ඉස්ලාමය වැළඳගැනීම මුස්ලිම් වරුන්ට විශාල ශක්තියක් වුනා.


ඉතියෝපියාවට සංක්‍රමනය වීම​


මේ කාලයේදී ඉතියෝපියාවේ පැවතුනේ අක්සුම් රාජධාණිය​. ඔවුන් ක්‍රිස්තියානි ආගම ඇදහූ පිරිසක්. අක්සුම් රාජධාණිය සහ අරාබිය වෙන්වුනේ පටු මුහුදු තීරයක් වුනු රතු මුහුදෙන්. මුස්ලිම් වරුන්ට මක්කා නගරයේ ඇතිවුනු හිංසා පීඩා එන්න එන්නම අධික වන විට මුහම්මද් තුමා ඔවුන්ට අක්සුම් රාජධාණියට සංක්‍රමනය වන ලෙස උපදෙස් දුන්නා. ඒක දේව ආගමක් වන ක්‍රිස්තියානිය අදහන ඉතියෝපියානුවන් මුස්ලිම් වරුන්ට සහනශීලි වනු ඇතැයි මුහම්ම්ද් තුමා බලාපොරොත්තු වුනා.

ඒ අනුව ක්‍රි.ව​. 613 දී පිරිමින් 12 සහ කාන්තාවන් 4 කගෙන් සමන්විත වුනු 16 දෙනෙකුගේ පිරිසක් රහසේම මක්කා නගරයෙන් පිට වී රතු මුහුද තරණය කරන වෙළඳ නැවක නැගී ඉතියෝපියාව බලා පිටත් වුනා.

පිරිසේ නායකත්වය දැරුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරාගේ පුතා සහ අලී ගේ වැඩිමල් සොහොයුරා වුනු ජෆර් ඉබ්න් අබු තාලිබ්. පිරිස වුනේ:

1. ජෆර් ඉබ්න් අබු තාලිබ් - මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා. අලීගේ වැඩිමල් සොහොයුරා.
2. සාද් ඉබ්න් අබු වක්කාස්
3. ජාෂ් ඉබ්න් රියාබ්
4. අබ්ද් අල්ලාහ් ඉබ්න් ජාෂ් - ජාෂ් ඉබ්න් රියාබ් ගේ පුතා
5. උත්මාන් ඉබ්න් අෆ්ෆාන් - 35 හැවිරිදි ධනවත් වෙළෙන්දෙක්
6. රක්කයා බින්ට් මුහම්ම්ද් - මුහම්මද් තුමාගේ දියණිය සහ උත්මාන් ගේ බිරිඳ​
7. අබු හුදයිෆා ඉබ්න් උත්බා
8. සලා බින්ට් සුහයිල් - අබු හුදයිෆා ගේ බිරිඳ​
9. සුබායිර් ඉබ්න් අල් අවම් - මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරෙල්
10. මූසාබ් ඉබ්න් උමයිර්
11. අබ්දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් - 32 හැවිරිදි ධනවත් වෙළෙන්දෙක්
12. අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද්
13. උම් සලමා - අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් ගේ බිරිඳ​
14. උත්මාන් ඉබ්න් මසූන්
15. අමීර් ඉබ්න් රබියා
16. ලයිලා බින්ට් අබු අස්මා - අමීර් ඉබ්න් රබියා ගේ බිරිඳ​

මුස්ලිම් වරු අක්සුම් රජු බැහැදැකීම​
මේ පිරිස අක්සුම් රාජධාණියේ රජතුමා ගේ රැකවරණය යටතේ ඉතියෝපියාවේ පදිංචි වුනා. මේ සංක්‍රමනය ගැන ආරංචි වුනු මක්කා වැසියන් ඔවුන් ගේ නියෝජිතයන් දෙදෙනෙක් (ආමර් ඉබ්න් අල්-අස් සහ අබ්ද්-අල්ලාහ් ඉබ්න් රබියා) අක්සුම් රජු වෙත යැව්වා. ඒ මුස්ලිම් වරු නැවත භාර දෙන මෙන් ඉල්ලා. නමුත් අක්සුම් රජු ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා.

ඉතියෝපියාවට සංක්‍රමනය වුනු මුස්ලිම් වරු සාර්ථකව එහි පදිංචි වී සාමකාමී දිවියක් ගත කරන බව ආරංචි වුනු මුස්ලිම් වරු විශාල පිරිසක් ඉතියෝපියාවට සංක්‍රනය වීමට කැමැත්ත පළ කලා. ඒ අනුව වසර දෙකකට පසු ක්‍රි.ව​. 615 දී පිරිමි 83 ක් සහ කාන්තාවන් 19 ක ගෙන් සමන්විත පිරිසක් ඉතියෝපියාවට සංක්‍රමනය වුනා.


උමර් ඉබ්න් අල්-කත්තබ්


මුස්ලිම් වරුන්ට මක්කාවේ සිටි ප්‍රධානම විරුද්ධවාදියා වුනේ ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල්. ඔහුගේ සොහොයුරියගේ පුතා වුනේ උමර් ඉබ්න් අල්-කත්තබ්. යසීර් සහ සුමයියා හට වධ දීමට ආමර් ඉබ්න් හිෂාම්ට සහය වුනේ උමර්. උමර් ඉතාමත් උස සහ ශක්තිමත් පුද්ගලයෙක්. ඔහු තදින් කිපෙන​, දරුණු ගති පැවතුම් ඇති අයෙක්. ඒ වගේම මල්ලව පොර ශූරයෙක් විදිහට ඔහු මක්කාවේ ප්‍රසිද්ධව සිටියා.

ක්‍රි.ව​. 616 වන විට මුස්ලිම් වරු 100 ක් පමණ ඉතියෝපියාවට සංක්‍රමනය වෙලා හිටියා. මක්කා නගරයේ තවත් මුස්ලිම් වරු සිය දෙනෙක් පමණ ඉතිරිව හිටියා. ඉස්ලාමය පිළිබඳ ආරවුල් නිසා බොහෝ පවුල් දෙකඩ වී තිබුනා. මේ පිළිබඳව උමර් හිටියේ මුහම්මද් තුමා පිළිබඳව දැඩි කෝපයෙන්. නමුත් බැනු හෂීම් ගෝත්‍රයේ, විශේෂයෙන්ම බැනු හෂීම් ගෝත්‍රයේ ප්‍රධානියා වූ අබු තාලිබ් ගේ, ආරක්‍ෂාව මුහම්මද් තුමාට ලැබුනු නිසා ඔහුට එරෙහිව යමක් කිරීම අපහසු වුනා.

එක් දිනක් උමර් ගේ කෝපය ඉහ වහා ගියෙන්, ඔහු මුහම්මද් තුමා මරා දමා මේ ඉස්ලාමය පිළිබඳ ආරවුල සදහටම අවසන් කිරීමට ඉටා ගෙන​, තම කඩුවද රැගෙන මුහම්මද් තුමා සොයා ගෙන ගියා. එසේ යන අතරමගදී ඔහුට දැන ගන්න ලැබුනේ ඔහුගේ සොහොයුරිය සහ ඇගේ සැමියාත් රහසින් ඉස්ලාමය වැළඳගෙන ඇති බවයි. ඔහුගේ කෝපයට නිමි හිම් නැති වුනා. ඔහු වහාම ගමන වෙනස් කොට සොහොයුරියගේ නිවස වෙත ගියා.

ඔහු එහි යන විට සොහොයුරිය සහ ඇගේ සැමියා වුනු සයීද් ඉබ්න් සයිද් කුරානයේ පාඨ කීපයක් කොළයක ලියා එය හඬ නගා කියවමින් සිටියා. උමර් එහි කඩා වැදී සයීද්ට පහර දෙන්න උත්සහ කළා. උමර් ගේ සොහොයුරිය සැමියා ආරක්‍ෂා කිරීමට උත්සහ කළ අතර උමර් ඇගේ මුහුණට වැරෙන් පහරක් දුන්නා. එම පහරින් සොහොයුරිය බිම ඇද වැටුනු අතර ඇගේ මුවින් ලේ ගලා ගියා.

සොහොයුරියගේ ලේ දුටු උමර් මදක් සන්සුන් වී, ඔවුන් කියවමින් සිටි කුරාන පාඨයන් ලියූ කොළය ගෙන එය කියවා බැලුවා. එම පාඨයන් ගේ තිබුණු කවීත්වය දුටු උමර් එයින් විශ්මයට පත් වුනා. එවැනි කවීත්වයක් සහිත යමක් නිර්මාණය කළ හැක්කේ දෙවියන්ට පමණක් බව තීරණය කළ උමර් ඉස්ලාමය වැළඳ ගත්තා.

මක්කාවේ ප්‍රධානම පවුලක ප්‍රභල සාමාජිකයෙක් වුනු උමර් ඉබ්න් අල්-කත්තබ් ඉස්ලාමය වැළඳ ගැනීම මුස්ලිම් වරුන්ට විශාල ජයග්‍රණයක් වුනා. උමර් ශක්තිමත් සහ දරුණු පුද්ගලයෙක් වීම නිසත්, ඔහුගේ පවුල් සබඳතාවය නිසාත් ප්‍රසිද්ධියේ ඔහුට එරෙහි වීමට මක්කා වැසියන් පැකිලුනා. මේ නිසා උමර් ප්‍රසිද්ධියේම කාබාව ඉදිරිපිට දෙවියන් නැමදීමට පටන් ගත්තා.මෙය මුස්ලිම් වරුන් ගේ ධෛර්‍යය වැඩි කිරීමට හේතු වුනා.

උමර් මුහම්මද් තුමාගේ ප්‍රධාන සහචරයෙක් වුනු අතර, පසු කළෙක ඉස්ලාමයේ ඉතාමත් වැදගත් චරිතයක් බවට පත් වුනා.


අලී ඉබ්න් අබු තාලිබ්


මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා වුනු අබු තාලිබ් බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනා. ඔහුගේ පුතා වුනු අලී හැදී වැඩුනේ මුහම්මද් තුමා ළඟ​. මුහම්මද් තුමා අලීට සැලකුවේ තමාගේ පුතෙකුට​ වගේ.

ඉස්ලාමයේ පණිවුඩය ලැබුනු මුල් දින වල මුහම්මද් තුමා බැනු හෂීම් වංශයේ සාමාජිකයන් 40 දෙනෙකුට පමණ භෝජන සංග්‍රහයකට ආරාධනා කොට ඔවුන්ට ඉස්ලාමය වැළඳගැනීමට ආරාධනා කළා. කිසිවෙකුත් ඉස්ලාමය වැළඳගැනීමට කැමති වුනේ නෑ. අබු තාලිබ් ගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ් එහිදී මුහම්මද් තුමාට තදින් අපහාස කළා. අබු තාලිබ් සහ ඔහුගේ තවත් සොහොයුරන් දෙදෙනෙක් වුනු හම්සා සහ අබ්බාස් ඉස්ලාමය වැළඳ ගැනීමට අකැමැති වුනත්, ඔවුන් මුහම්මද් වෙනුවෙන් පෙනී සිටියා.

එම අවස්ථාවේදී මුහම්මද් තුමා තමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් දහතුන් හැවිරිදී අලී නම් කළා. මෙය අබු ලැහැබ් ඇතුළු බැනු හසීම් වංශයේ බොහෝ ප්‍රධානීන් ගේ හාස්‍යයට ලක් වුනා. අලී මුහම්මද් තුමාගේ කිට්ටුම විශ්වාස වන්තයා විදිහට සැලකෙන්න පටන් ගත්තේ මේ සිද්ධියෙන් පසුව​. මේ සිද්ධිය ඉස්ලාමීය ඉතිහාසයේ හැඳින්වෙන්නේ "දවාතුල් අෂීරා" නමින්.

ක්‍රි.ව​. 616 පමණ වන විට අලී 16 හැවිරිදි ගැටවරයෙක්. ඔහු කඩු ශිල්පයේ ශූරයෙක් වුනා. ඒ වගේම නිර්භීත කම සහ බුද්ධිමත් කම අතින් ඔහු සිටියේ තමාගේ වයසට වඩා බොහෝ ඉදිරියෙන්. මුහම්මද් තුමා සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීම නිසා ඔහුට ඉස්ලාම් දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද තිබුනා. මුහම්මද් තුමා ඔහු ගැන පැවසුවේ "මම දැණුමේ නගරයක්, අලී එහි දොරටුව​" ලෙසින් සහ "මම සහ අලී අල්ලාහ් ට කැමතියි, අලී සහ අල්ලාහ් මට කැමතියි, මම සහ අල්ලාහ් අලීට කැමතියි" යනුවෙන්.

මුහම්මද් තුමාට එරෙහිව එදිරිවාදී කම් වලින් ඔහු ආරක්‍ෂා කරමින් මුහම්මද් තුමාගේ ආරක්‍ෂකයා විදිහට කටයුතු කළේ අලී. අලී ගේ කඩු හරඹ හැකියාව ගැන දැන සිටි මක්කා වැසියන් ඔහුට කෙළින්ම අභියෝග කිරීම මරණයට අත වැනීමක් බව දැන සිටියා. මේ නිසා බොහෝ අවස්ථා වල ඔවුන් අලී සමඟ ගැටෙන්න ගිය් නෑ. ඒත් මේ 16 හැවිරිදි ගැටවරයා ප්‍රසිද්ධියේ මක්කා නගරයේ ප්‍රධානීන්ට ප්‍රසිද්ධියේ අභියෝග කිරීම ගැන ඔවුන් අලී සමඟ දැඩි වෛරයෙන් පසු වුනා.


බැනු හෂීම් වංශය වර්ජයන කිරීම​


ඉස්ලාමය ක්‍රමයෙන් මක්කා වැසියන් අතරේ පැතිර යද්දී මක්කා නුවර ප්‍රධානීන් එය වැලැක්වීමට උපක්‍රමයක් යෙදුවා. ඒ බැනු හෂීම් වංශය වර්ජනය කිරීම​. ඒ අනුව බැනු හෂීම් වංශය සමඟ වෙළඳ ගනු දෙනු කිරීම හෝ විවාහ සබඳතා පැවැත්වීම අනෙකුත් වංශ වලට සම්පූර්නයෙන්ම තහනම් කළා. මේ වර්ජනයේ අරමුණ වුනේ බැනු හෂීම් වංශය තනි කිරීම මගින් ඔවුන් ගේ ආදායම් මාර්ග අවහිර කොට​, මුහම්මද් කෙරෙහි ඇති බැනු හෂීම් වංශයේ ආරක්‍ෂාව ඉවත් කිරීමට බල කිරීම​.

ඒ අනුව ක්‍රි.ව​. 616 දී බැනු හෂීම් වංශයේ කිසිම අයෙකු සමඟ වෙළඳාම් කිරීම හෝ විවාහ සබඳතා පැවැත්වීම තහනම් කරමින් ආඥාවක් පැනවුනා. අබු ලැහැබ් කෙරෙහි පමණක් මේ වර්ජනය බලපැවැත්වුනේ නෑ.. ඒ ඔහු ඉස්ලාමයට එරෙහිව කටයුතු කළ නිසා.

මුහම්මද් තුමා, කදීජා සහ ඔවුන් ගේ පවුලේ අය වාසය කළේ කාබාවට නැගෙනහිරින් පිහිටි කුඩා නිම්නයක. මේ නිම්නය හැඳින්වුනේ අබු තාලිබ් ගේ නිම්නය නමින්.  ඒ බැනු හෂීම් වංශයේ නායකයා වුනු අබු තාලිබ් එහි වාසය කළ නිසා.

ක්‍රි.ව​. 616 සිට මුහම්මද් තුමා සහ ඔහුට හිතවත් වුනු බැනු හෂීම් වාංශිකයන් අබු තාලිබ් ගේ නිම්නයට කොටු කරනු ලැබුවා. ඔවුන්ට නගරයට ඇවිත් කිසිවක් මිලදී ගන්න ඉඩ ලැබුනේ නෑ. ඔවුන් සමඟ කිසි කෙනෙක් සබඳතා පැවැත්වූයේ නෑ. අඩුම තරමින් ආහාර හෝ වතුර මිලදී ගැනීමට පවා ඔවුන්ට නොහැකි වුනා. මේ නිසා ඔවුන් දැඩි පීඩාවට පත් වුනා.

අනෙක් මුස්ලිම් වරු සහ මුහම්මද් තුමාට හිතවත් සමහර මුස්ලිම් නොවන අයත් රහසින් ඔවුන්ට ආහාර සහ වතුර විකිණීමට ඉදිරිපත් වුනත්, මක්කා ප්‍රධානීන්ත හොරෙන් එය රහසිගතව කළ යුතු වීම නිසා එයත් අසීරු කටයුත්තක් වුනා.

මුහම්ම්ද් තුමා සහ පවුලේ අය බොහෝ විට කල් ගත කළේ කුසගින්නේ. රහසිගතව මිල දී ගත් දෙයක්, හිතවතෙක් හොරෙන් ඔවුන්ට ගෙනදුන් දෙයක් නොලැබුනු දින වල ඔවුන් කුසගිනි නිවා ගත්තේ තණකොළ සහ වෙනත් කොළ වර්ග ආහාරයට ගනිමින්. කදීජා බොහෝ දිනවල තිබුනු ආහාරයක් දරුවන්ට ලබා දී කුසගින්නේ ගත කළා. ආහර හිඟ කම නිසා කදීජා සහ මහළු අබු තාලිබ් රෝගාතුර වුනා.

ඔවුන්ට වෙළඳාම හෝ වෙනත් ජීවිකාවක නිරත වීමද තහනම් කෙරුනු නිසා ඔවුන්ට ආදයමක් තිබුනේත් නෑ. මේ වන විට කදීජා සෑහෙන තරම් ධනවත් කාන්තාවක්. ඇයගේ එක් රැස් කර තිබූ ධනය ඔවුන්ට එදිනෙදා වියදම් කිරීම සඳහා වැය වුනා.

බැනු හෂීම් වර්ජනයට අවුරුදු 3 ක් සම්පූර්ණ වෙද්දී මුහම්මද් තුමා සහ පවුලේ සාමාජිකයන් සිටියේ හොඳටම හෙම්බත් වෙලා. විශේෂයෙන්ම මහළු වයසින් සහ ආහාර හිඟකමින් පීඩා විඳිමින් සිටි කදීජා සහ අබු තාලිබ් තදින් රෝගාතුර වුනා. නිසි ප්‍රතිකාරයක් කිරීමට හැක්සියාවක් නොතිබුනු නිසා ඔවුන් දෙදෙනාම මිය ගියා.

කිසිදා තම පියා නොදැක සිටි මුහම්මද් තුමාට පියෙක් වුනේ අබු තාලිබ්. කදීජා ඔහුගේ වැඩිහිටි ජීවිතයේ සියල්ල වුනා. මේ දෙදෙනාම හදිසියේ මිය යාම ඔහුට දරා ගැනීමට ඉතා අපහසු වුනා. මේ නිසා ඔහු පසු කලෙක ක්‍රි.ව​. 619 හැඳින්වූයේ "ශෝකයේ වසර" නමින්.


වර්ජනය අවසන් වීම සහ ආරක්‍ෂාව අහිමි වීම​


බැනු හෂීම් වංශයේ නායකයා වුනු අබු තාලිබ් මිය ගිය පසු ඒ තැනට පත් වුනේ අබු ලැහැබ්. ඉස්ලාමයේ දැඩි සතුරෙක් වුනු ඔහු බැනු හෂීම් වංශයෙන් මුහම්මද් තුමාට  ලැබී තිබුනු ආරක්‍ෂාව ඉවත් කළා. ඒ එක්කම බැනු හෂීම් වර්ජනය තව දුරටත් මක්කා ප්‍රධානීන්ට අවශ්‍යය වුනේ නෑ. ඔවුන් වර්ජනය අවසන් කළා.

බැනු හෂීම් වංශයේ ආරක්‍ෂාව නැතිවීමත් සමඟම මුහම්මද් තුමාගේ ජීවිතයට එල්ල වුනේ දැඩි තර්ජනයක්. ඔහුගේ සතුරන් ප්‍රසිද්ධියේම ඔහුට ශාරීරික හිංසා කළා. කොයි මොහොතේ හෝ මරණීය ප්‍රහාරයක් තමාට එල්ල විය හැකි බව ඔහු වටහා ගත්තා.

මක්කාවට නුදුරින් පිහිටි නගරයක් වුනේ තායිෆ්. එහි පදිංචි වී සිටියේ බැනු තකීෆ් ගෝත්‍රයේ සාමාජිකයන්. මුහම්මද් තුමා තායිෆ් නගරයට ගොස් ඔවුන්ට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළා. ඔහුගේ අරමුණ වුනේ තායිෆ් නගරයේ වැසියන් ඉස්ලාමය වැළඳගත් පසු මක්කා නගරයේ මුස්ලිම් වරු සමඟ එහි පදිංචි වීමට​. නමුත් මුහම්මද් ගේ ආරාධනාව තායිෆ් නගරයේ ප්‍රධානින් ප්‍රතික්‍ෂේප කළා. තායිෆ් නගරයේ වැසියන් ඔහුට අපහාස කර ගල් ගසා නගරයෙන් පන්නා දැමුවා.

තායිෆ් නගරයේ සිට නැවත මක්කාවට පැමිණි මුහම්මද් තුමා බැනු නව්ෆාල් වංශයේ ප්‍රධානියා වුනු මුතාඉම් ඉබ්න් ආදී ගෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටියා. මුතාඉම් ඔහුට බැනු නව්ෆාල් වංශයේ ආරක්‍ෂාව ලබා දෙන්න පොරොන්දු වුනා. එයින් මුහම්මද් තුමාට තාවකාලික අස්වැසිල්ලක් ලැබුනා.



ක්‍රි.ව​. 620 වන විට මක්කා නගරයේ 200 කට කිට්ටු පිරිසක් ඉස්ලාමය වැළඳගෙන සිටියා. ඉන් 80 ක් පමණ වාසය කළේ ඉතියෝපියාවේ. මුහම්මද් තුමා පුද්ගලිකව සිටියේ ඉතා අසීරු තැනක​. ඔහුගේ සමීපතමයන් වුනු කදීජා සහ අබු තාලිබ් මිය ගිහින්. ඔහුට ආදායම් මාර්ගයක් තිබුනේ නෑ. ඒ වගේම ඔහුගේ ජීවිතයට දැඩි තර්ජන එල්ල වී තිබුනා.

මුහම්මද් තුමාගේ මෙන්ම ඉස්ලාමයේ ගමන් මග සම්පූර්නයෙන්ම වෙනස් කරන සිද්ධියක් සිදු වුනේ ඒ මොහොතේදී.

Saturday, February 29, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 4 (ඉස්ලාමයේ මුල් දවස්​)



පළමු මුස්ලිම් වරු


මුහම්මද් තුමා තමාගේ දේව පණිවුඩය මුලින්ම කීවේ පවුලේ අයට​. ඔහුගේ පණිවුඩය පිළිගෙන මුලින්ම ඉස්ලාමය වැළඳ ගත්තේ කදීජා. මේ නිසා කදීජා පළමු මුස්ලිම් වරයා ලෙස පිළිගැනෙනවා.

ඊළඟට ඉස්ලාමයේ පණිවුඩය පිළිගත්තේ මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා වුනු, ඔහුගේ පුතා ලෙස ඔහු ඇසුරේ හැදී වැඩුනු අලී ඉබ්න් අබු තාලිබ්. ඔහු එවකට දහ හැවිරිදි දරුවෙක්. මේ නිසා අලී පළමු මුස්ලිම් පිරිමියා ලෙස පිළිගැනෙනවා.

තුන්වැනියට ඉස්ලාමය වැළඳ ගත්තේ කදීජා සහ මුහම්මද් තුමා විසින් පුතෙකු ලෙස හදා වඩාගත් සයීද් ඉබ්න් හරිතා. ඔහු කලින් කදීජා ගේ මෙහෙකරුවෙක්.

ඉන්පසුව මුහම්මද් තුමාගේ සහ කදීජාගේ දියණියන් වන සයිනාබ්, රකායා, උම් කුතුම් සහ ෆාතිමා ඉස්ලාමය වැළඳගත්තා. මේ අය සියල්ලෝම මුහම්මද් තුමාගේ පවුලේ සාමාජිකයන්.

පවුලේ අයගෙන් පසු මුහම්මද් තුමා ඉතාම පරිස්සමෙන් තෝරාගත් විශ්වාසවන්තයන් කීප දෙනෙකුට තමාගේ "රහස​" ප්‍රකාශ කළා. මේ අයත් ක්‍රමයෙන් ඉස්ලාමයට හැරුනා.

පවුලෙන් පිට කෙනෙකු ලෙස මුලින්ම ඉස්ලාමය වැළඳ ගත්තේ මුහම්මද් තුමාගේ කිට්ටු මිතුරෙක් වුනු අබු බකර්. ඔහු එවකට 37 හැවිරිදි වෙළන්දෙක්. ඉස්ලාමය වැළඳගත් පළමු වැඩිහිටි පිරිමියා ලෙස සැලකෙන්නේ අබු බකර්.

ඊළඟට​ අබු බකර් ගේ මිතුරු ධනවත් වෙළෙන්දෙක් වුනු උත්මාන් ඉබ්න් අෆ්ෆන් අබු බකර් විසින් ඉස්ලාමයට හරවා ගත්තා. උත්මාන් ඒ වන විට 32 හැවිරිදි තරුණයෙක්.

613 දී දෙවියන් ගෙන් ලැබුනු උපදෙසක් අනුව මුහම්මද් තුමා ප්‍රසිද්ධියේ තම ආගම දේශනා කිරීම ඇරඹුවා.

ඉන්පසුව ක්‍රමයෙන් එකා දෙන්නා මුහම්මද් තුමාගේ පණිවුඩය පිළිගත්තා. මුලින්ම ඉස්ලාමය වෙත ඇදී ආවේ දුප්පතුන්, ගැටවරයන් සහ කාන්තාවන්. මේ අය එවකට පැවති අරාබි සංස්කෘතිය අනුව සමාජයේ පීඩාවට ලක් වුනු අය​. කෙනෙකුගේ උසස් පහත් බව තීරණය වන්නේ උපත​, ධනවත් බව, වයස හෝ ස්ත්‍රී-පුරුෂ බව අනුව නොව දෙවියන් කෙරෙහි ඇති භක්තිය අනුව බව මුහම්මද් තුමා විසින් ප්‍රකාශ කිරීම මේ අය ඉස්ලාමය වෙත ආකර්ශනය වීමට හේතුවක් වුනා.

මේ කාලයේ ඉස්ලාමය ප්‍රචලිත වුනේ දුප්පතුන් ගේ සහ කාන්තාවන් ගේ ආගමක් විදිහට​. මෙය මක්කා නගරයේ ධනවතුන් සහ බලවතුන් ඉස්ලාමය පහත් කර දැකීමට හේතුවක් කර ගත්තා.


මුලින්ම ඉස්ලාමය වැළඳගත් අය වුනේ මේ අය​:

කදීජා බින්ට් කුවයිලිඩ් :
මුහම්මද් තුමාගේ බිරිඳ​. ධනවත් වෙළෙන්දෙක්.

අලී ඉබ්න් අබු තාලිබ් :
මුහම්ම්ද් තුමාගේ ඥාති සොහොයුරා. 10 හැවිරිදි දරුවෙක්.

සයීද් ඉබ්න් හරිතා :
කදීජා ගේ හදා ගත් පුතා.

සයිනාබ් :
කදීජා ගේ දියණිය​. 11 හැවිරිදි දැරියක්.

රකායා :
කදීජා ගේ දියණිය​. 9 හැවිරිදි දැරියක්.

උම් කුතුම් :
කදීජා ගේ දියණිය​. 8 හැවිරිදි දැරියක්.

ෆාතිමා :
මුහම්මද් තුමා සහ කදීජා ගේ දියණිය​. ඇය උපදින විට මුහම්මද්ට දේව පණිවුඩය ලැබී අවසානයි. ඇය උපතේ සිටම හැදී වැඩෙන්නේ ඉස්ලාමයට අනුව​.

අබු බකර් :
මුහම්මද් තුමාගේ මිතුරෙක්. 37 හැවිරිදි වෙළෙන්දෙක්.

උත්මාන් ඉබ්න් අෆ්ෆාන් :
අබු බකර් ගේ මිතුරෙක්. 32 හැවිරිදි වෙළෙන්දෙක්.

අබු දාර් අල්-ගිෆාරි :
බැනු ගිෆාර් ගෝත්‍රයේ සාමාජිකයෙක්. දුප්පත් බෙදුවියන් වරයෙක්.

යාසිර් ඉබ්න් අමීර් :
දුප්පත් මක්කා වැසියෙක්. මහල්ලෙක්

සුමයියා :
යාසිර් ඉබ්න් අමීර් ගේ බිරිඳ​. දුප්පත් මක්කා වැසියෙක්. මැහැල්ලක්

අම්මාර් ඉබ්න් යාසිර් :
යාසිර් සහ සුමයියා ගේ පුතා. 40 හැවිරිදි දුප්පත් මක්කා වැසියෙක්.

සාද් ඉබ්න් අබි වක්කාස් :
17 හැවිරිදි තරුණයෙක්.

ලුබාබා බින්ට් අල්-හරිත් :
මුහම්මද් තුමාගේ පියා ගේ සොයුරෙක් වුනු අබ්බාස් ගේ බිරිඳ​.

අබ්ද් අල් - රහ්මන් ඉබ්න් අව්ෆ් :
29 හැවිරිදි තරුණයෙක්. වෙළෙන්දෙක්.

අබ්ද් අල්ලාහ් ඉබ්න් මසූද් :
17 හැවිරිදි තරුණයෙක්. එඬේරෙක්.

ජෆර් ඉබ්න් අබි තාලිබ් :
මුහම්ම්ද් තුමාගේ ඥාති සොහොයුරා. අලී ගේ සොහොයුරා. 20 හැවිරිද් තරුණයෙක්.

බිලාල් ඉබ්න් රබා :
31 හැවිරිදි ඉතියෝපියානු (කළු) ජාතික වහලෙක්.

සුබායිර් ඉබ්න් අල්-අවම් :
මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරෙක්. 17 හැවිරිදි තරුණයෙක්. "නාහෙට නාහන​" කලහකාරයෙක් ලෙස ප්‍රසිද්ධ ගැටවරයෙක්.

තල්හා ඉබ්න් උබයිදුල්ලා :
18 හැවිරිදි තරුණයෙක්.

අබු උබයිදා ඉබ්න් අල්-ජරා :
28 හැවිරිදි තරුණයෙක්. වෙළෙන්දෙක්.

අස්මා බින්ට් අබි බකර් :
අබු බකර් ගේ දියණිය. 16 හැවිරිදි තරුණියක්.

අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් :
මුහම්මද් තුමාගේ ඥාති සොහොයුරා. තරුණයෙක්.

උම් සලමා :
අබ්ද් අල්ලාහ් ඉබ්න් අබ්ද් අල් අසාද් ගේ බිරිඳ​. 15 හැවිරිදි තරුණියක්.

මක්දාද් ඉබ්න් අස්වාද් :
යෙමනයේ සිට මක්කාව වෙත සංක්‍රමනය් වුනු දුප්පත් තරුණයෙක්.


ඉස්ලාමයේ මුල් අවධිය​


ක්‍රි.ව​. 613 දී මුහම්මද් තුමා ඉස්ලාමයේ පණිවුඩය ප්‍රසිද්ධියේ ලබා දීම ඇරඹුවා. මේ වන විට ඉස්ලාමය වැළඳගත් 20-30 ක පමණ පිරිසක් මක්කා නගරයේ හිටියා. දුප්පතුන්, වහලුන්, ගැටවරයන් සහ කාන්තාවන්ගෙන් වැඩිපුර සමන්විත වුනු මේ අය ගැන වැඩි දෙනෙක් ලොකු අවධානයක් යොමු කරේ නෑ. මක්කා නගරයේ ධනවතුන් ඉස්ලාමය දැක්කේ "නොවැදගත් පුද්ගලයන් ගේ නොවැදගත් එකතුවක්" සහ "මුහම්මද් ගේ පිස්සු වැඩක්" විදිහට​.

මේ කාලයේදී මුස්ලිම් වරුන්ට යාඥා කරන්න පල්ලියක් තිබුනේ නෑ. ඔවුන් එක් රැස් වුනේ "අල්-අර්කම් ඉබ්න් අබි ල්-අර්කම්" නම් පුද්ගලයෙක් ගේ නිවසේ. පටු වීදියක පිහිටා තිබුනු මේ නිවසට කාගේවත් අවධානයට ලක් නොවී ඇතුල් වෙන්න සහ පිටවෙන්න හැකි වුනා. මුහම්මද් තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මේ නිවසේ එක් රැස් වෙලා මුහම්මද් තුමාට​ ලැබුනු දේව පණිවුඩය ගැන සාකච්ඡා කළා.

ක්‍රි.ව​. 614 දී මුහම්මද් තුමාට ලැබුණු පණිවුඩයකට අනුව ඔහු බහු දේව වන්දනාව සහ විශේෂයෙන්ම පිළිම වන්දනාවට එරෙහිව දේශනා කිරීමට පටන් ගත්තා. බහු දේව වන්දනාව හෙවත් අල්ලාහ් දෙවියන්ට සමානයන් ඇති බව ඇදහීම​, සහ පිළිම වන්දනාව ඉස්ලාමයේ හැඳින්වෙන්නේ "ෂිර්ක්" නමින්. ෂිර්ක් සිදු කරන පුද්ගලයෙක් (හෙවත් පිළිම වන්දනා කරුවෙක් හෝ බහු දේව වන්දනා කරුවෙක්) හැඳින්වුනේ "මුෂරික්" නමින්. ඉස්ලාමයේ එන පාපයන් අතරින් වඩාත්ම බරපතල පාපය ලෙස සැලකෙන්නේ ෂිර්ක්.

බහු දේව වන්දනාවට එරෙහිව මුහම්මද් තුමා දේශනා කිරීම ඇරඹීමත් සමඟම මක්කා නගරයේ ධනවතුන් සහ බලවතුන් කලබල වුනා. මක්කා නගරයේ වැදගත්කම, කිර්තිය සහ ධනය ගලා එන මාර්ග සම්පූර්නයෙන්ම වගේ රඳා පැවතුනේ මක්කා නගරයට වාර්‍ෂිකව පැවැත්වුනු වන්දනා ගමන මත​. මුහම්මද් තුමා දේශනා කරන්නේ ඒ වන්දනා ගමනේ හරයට එරෙහිව​. එමගින් ඔහු තර්ජනය කරන්නේ මක්කා නගරයේ ධනවත් වෙළඳුන් ගේ ධනයට සහ බලයට​.

ඉස්ලාමය තව දුරටත් "මුහම්මද් ගේ පිස්සු වැඩක්" නොවන බවත්, අතිශය භයානක ආගමික කල්ලියක් බවත් ඔවුන් තීරණයක කළා.


මක්කා නගරයේ පාලනය​


මක්කා නගරයේ බලය අත් කරගෙන හිටියේ බැනු කුරෙයිෂ් ගෝත්‍රය​. බැනු කුරෙයිෂ් ගෝත්‍රය වංශ 14 කින් සමන්විත වුනා. මේ වංශ අතරින් වඩාත් බලවත් වුනේ බැනු උමයියා, බැනු මක්සුම් සහ බැනු හෂීම් වංශ​. මුහම්මද් තුමා අයත් වුනේ බැනු හෂීම් වංශයට​.

මක්කා නගරය පාලනය වුනේ විවිධ වංශ වල ප්‍රධානීන් ගෙන් සමන්විත වුනු පාලන සභාවක් මගින්. මේ පාලන සභාව එක් රැස් වුනේ කාබාවට යාබදව තිබුණු "දාර් අල්-නද්වා" (රැස්වීම් ශාලාව​) නමින් හැඳින්වුනු ගොඩනැගිල්ලක​. මේ පාලන සභාවට කුරෙයිෂ් ගෝත්‍රයේ වංශයන් විසින් තමාගේ නියෝජිතයන් එව්වා. ඔවුන් එකතු වෙලා සාමූහිකව තීරණ ගත්තා. පාලන සභාවට පත් කෙරුනේ වයසින් අවුරුදු 40 ට වැඩි, බුද්ධිමත් සහ පිළිගැනීමක් සහිත පුද්ගලයන්.

බලවත් වංශ වලට පාලන සභාවේ වැඩි බලයක් හිමි වුනා. එවකට මක්කා නගරයේ ප්‍රධාන නායකයන් වුනේ:

බැනු මක්සුම් වංශය :
වලීඩ් ඉබ්න් අල්-මුගිරා (නායකයා)
ආමර් ඉබ්න් හිෂාම්

බැනු උමයියා වංශය :
අබු සුෆියාන් ඉබ්න් හාර්බ් (නායකයා)
උත්බා ඉබ්න් රබියා
උක්බා ඉබ්න් අබු-මුඅයිට්
හින්.ද් බින්ට් උත්බා (අබු සුෆියාන් ගේ බිරිඳ සහ උත්බා බින්ට් රබියා ගේ දියණිය​)

බැනු හෂීම් වංශය :
අබු තාලිබ් ඉබ්න් අබ්ද් අල් මුත්තාලිබ් (නායකයා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා)
අබු ලැහැබ් ඉබ්න් අබ්ද් අල් මුත්තාලිබ් (මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරා)
නෆ්ලා ඉබ්න් කුවයිලිඩ් (කදීජා ගේ සොහොයුරා)

බැනු සුහ්.රා වංශය :
අල් අක්නාස් ඉබ්න් ෂුරයික්

බැනු සහ්ම් වංශය :
අල් අස් ඉබ්න් වයිල්

බැනු ජුමාහ් වංශය :
උමයියා ඉබ්න් කලාෆ්

බැනු මක්සුම් වංශයේ නායකයා වුනු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මක්කා නගරයේ නායකයා ලෙස පිළිගැනුනා. ඔහුගේ සොහොයුරාගේ පුතා වුනු ආමර් ඉබ්න් හිෂාම් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකුනා. ආමර් ඉබ්න් හිෂාම් වයස අවුරුදු 40 සම්පූර්ණ වෙන්නත් පෙර සිටම පාලන සභාවට ඇතුල් වුනු ඉතාමත් දක්‍ෂ සහ බුද්ධිමත් අයෙක්. ඔහුගේ බුද්ධිමත් බව නිසා "අබු අල්-හකම්" (බුද්ධිමත් විනිශ්චයේ පියා) යන නම ඔහුට පටබැඳුනා.

මක්කාවේ අනාගත නායකයා විදිහට මුහම්මද් තුමාට සහ ඉස්ලාමයට එරෙහිව වඩාත්ම තදින් ක්‍රියාත්මක වුනේ ආමර් ඉබ්න් හිෂාම්. ඒ නිසා ඉස්ලාමීය ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ "අබු ජහල්" (අඳුරේ පියා) නමින්.

මේ නම් ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් චරිත බවට පත් වුනු අය​.

Friday, February 28, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 3 (දිව්‍යමය පණිවුඩය​)



මුහම්මද් නිදහස් කාලයක් ලැබුණු විට මක්කා නගරයට කිලෝමීටර 3-4 පමණ දුරින් පිහිටි කන්දකට ගොස් හුදෙකලාව කල් ගත කිරීමට පුරුදු වී හිටියා. මේ කන්ද අද හැඳින්වෙන්නේ "ජබල් අල් නූර්" (ආලෝකයේ කන්ද​) නමින්. මේ කන්ද තරණය කිරීම ඉතාමත් අපහසු ආකාරයට පිහිටා තිබීම නිසා මක්කා වැසියන් එහි ගියේ කලාතුරකින්. මේ නිසා හුදෙකලාව දෙවියන් සහ ලෝකය පිළිබඳ ගැඹුරින් හිතන්නත්, භාවනාවේ නිරත වෙන්නත් මුහම්මද්ට එය කදිම ස්ථානයක් වුනා.

ජබල් අල් නූර් කන්ද
සමහර විට ඔහු දින ගණනාවක් එක දිගට ජබල් අල් නූර් කන් දේ ගත කළා. මීටර් 650 ක් පමණ උසින් යුත් මේ කන්දේ මීටර් 270 ක පමණ උසින් "හිරා" නමින් හැඳින්වෙන කුඩා ගල් ගුහාවක් පිහිටා තියෙනවා. ජබල් අල් නූර් කන්දේ රාත්‍රිය ගත කරන දින වලදී මුහම්මද් නිදා ගත්තේ මේ ගුහාව ඇතුලත​.

හිරා ගුහාව​

දිව්‍යමය පණිවුඩය


ක්‍රි.ව​. 610 අගෝස්තු 6 වැනිදා සිකුරාදා දවසක්. මුස්ලිම් වරුන් ගේ කැලැන්ඩරයට අනුව ඒ රාමදාන් මාසයේ 17 වැනිදා. එදා රෑ මුහම්මද් සුපුරුදු පරිදි හිරා ගුහාවේ නිදාගෙන උන්නා.

එක් වරම ඔහු ඉදිරියේ ආගන්තුකයෙක් දර්ශනය වුනා.

"ඉක්‍රා!" (කියවන්න​!) ආගන්තුකයා ඔහුට අණ කළා.

"මට කියවන්න බෑ" මුහම්මද් පිළිතුරු දුන්නා.

ආගන්තුකයා ඔහුව ඉතා තදින් වැළඳ ගත්තා. මුහම්මද්ට වේදනා ගෙන දෙන තරමට​. මුහම්මද්ට හුස්ම ගන්නත් අපහසු වුනා. මුළු ඇඟම වේදනාවෙන් වෙලී ගියා. තව දුරටත් වැළඳගැනීම දරා ගැනීමට අපහසු වෙද්දී ආගන්තුකයා ඔහු අතහැරියා.

"ඉක්‍රා!" ආගන්තුකයා නැවතත් අණ කළා.

"මට කියවන්න බෑ" මුහම්මද් නැවත පිළිතුරු දුන්නා.

නැවතත් ආගන්තුකයා ඔහුව වැළඳ ගත්තා. ආයෙත් වැළඳ ගැනීම වේදනාකාරී වෙද්දී ආගන්තුකයා ඔහු අතහැරියා.

"ඉක්‍රා!"

"මට කියවන්න බෑ"

ආගන්තුකයා නැවතත් ඔහුව වැළඳ ගත්තා. ආගන්තුකයාගේ වේදනාකාරී ග්‍රහනයෙන් මුහම්මද් නිදහස් වෙද්දීම ආගන්තුකයා නැවතත් ඔහු ඇමතුවා.


"මා කියන දේ කියවන්න​"

ඊට පස්සෙ ආගන්තුකයා පාඨයක් හඬ නගා කිව්වා. මුහම්මද් එය පුනරුච්ඡාරණය කළා.

"කියවන්න​! නිර්මාණය කළ දෙවියන් ගේ නාමයෙන්.

මවගේ ගැබට ඇලී ඇති ලේ කැටියකින් මිනිසා නිර්මාණය කළ දෙවියන් ගේ නාමයෙන්.

කියවන්න​! ඔබේ දෙවියන් ඉතාමත් ත්‍යාගශීලීය​.

පෑන පාවිච්චි කිරීමට කියාදුන් දෙවියන්

මිනිසා නොදත් දේ ඔහුට කියා දුන් දෙවියන්"

මුහම්මද් ඒ පාඨය කියවා අවසන් කළ පසු ආගන්තුකයා අතුරුදහන් වුනා.

මේ සිදු වීමෙන් භීතියට පත් වුනු මුහම්මද් මොහොතක්වත් එතැන නොරැඳී ගෙදර බලා දිව ගියා. ඔහු හිතුවේ ඔහුට මායා දර්ශන පෙනෙන බව​. ගෙදර ආ විගස ඔහු තම බිරිඳ කදීජාට මේ ගැන පැවසුවා.

මුහම්මද් හමුවට ආ ආගන්තුකයා දේව දූතයෙක්. ඔහු ඉස්ලාමයේ හැඳින්වෙන්නේ "ජිබ්‍රාඊල්" නැත්තම් "ජිබ්‍රිල්" නමින්. ක්‍රිස්තියානියේ "ගේබ්‍රියල්" නමින් හැඳින්වෙන්නේ මේ දේව දූතයාමයි.

ඔහු මුහම්මද්ට කියවීමට දුන් පාඨය අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද්ට ලබා දුන් පළමු දේව වාක්‍යය. එය අද කුරානයේ 96 වැනි පරිච්ඡේදයේ පළවෙනි පාඨයන් පහ ලෙස සටහන් කර තිබෙනවා.

දේව දූතයා කියවන්න ලෙසින් කළ අන කිරීමට මුහම්මද් මට කියවන්න බෑ ලෙස පිළිතුරු දීම නිසා මුහම්මද් ලිවීමේ කියවීමේ හැකියාව නොතිබූ අයෙක් ලෙස සමහර අර්ථ කථනයන් ගේ දැක්වෙනවා. නමුත් මුහම්මද් ගේ පසුබිම ගැන සිතා බැලීමේදී ඔහු වැනි සාර්ථක වෙළෙන්දෙක්, මක්කා නගරයේ ප්‍රධාන පවුලක සාමාජිකයෙක්, මක්කා නගර වැසියන් අතර බුද්ධිමතෙක් ලෙස නම් දරා සිටි අයෙක් ලිවීමේ කියැවීමේ හැකියාව නොමැති අයෙක් වීමට හැකියාව අඩුයි.

මුහම්මද් ගේ පිළිතුරේ අරුත දේව දූතයා කියවන්න අණ කළ නමුත්, කියවන්නේ කුමක්දැයි නොපැවසූ නිසා "මම කුමක් කියවන්නදැයි නොදන්නා" බව ලෙස සිතීම වඩා තාර්කිකයි.


පණිවුඩයෙන් පසු


මුහම්මද් ඔහුගේ අත්දැකීම කදීජාට කී පසු කදීජා ඔහුව තමාගේ ඥාති සොහොයුරා වෙත රැගෙන ගියා. වරකා ඉබ්න් නව්ෆාල් නම් වූ කදීජා ගේ ඥාති සොහොයුරා නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයෙක්.

වරකා ඉබ්න් නව්ෆාල් මහළු වියේ සිටි අයෙක්. මුහම්මද් ගේ කතාවට ඇහුම්කන් දුන් ඔහු කියා සිටියේ මුහම්මද්ට දර්ශනය වූ දේවදූතයා මූසා (මෝසස්) දර්ශනය වූ දේව දූතයාම බවත්, මුහම්මද් ව දෙවියන් ගේ දූතයෙක් ලෙස තෝරාගෙන ඇති බව ඔහුට හැඟී යන බවත්. ඔහු තව දුරටත් කියා සිටියේ ඔහු තරුණ වියේ සිටියේ නම් මුහම්මද්ට දේව පණිවුඩය පැතිරවීමට උදව් කරන බවත්, ඔහු මහළු වියේ නිසා එය කල නොහැකි වීම ගැන දුක් වන බවත්.

වරකා ඉබ්න් නව්ෆාල් ගේ අදහස් දැක්වීමෙන් පසු මුහම්මද් සන්සුන් වුනා. යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් වල එන තනි මැවුම්කාර දෙවියන් විසින් තමා දේව දූතයෙක් ලෙස තෝරාගෙන ඇති බව ඔහු පිළිගත්තා. මේ තනි මැවුම්කාර දෙවියන් අරාබි බසින් හැඳින්වුනේ "දෙවියන්" යන අරුත ඇති "අල්-ඉලාහ්" නැතිනම් "අල්ලාහ්" යන වචනයෙන්.

පළමු දේව පණිවුඩයෙන් පසු ක්‍රමයෙන් අවස්ථාවට අනුව මුහම්මද්ට තවත් පණිවුඩ ලැබෙන්න පටන් ගත්තා. ඔහු මේ පණිවුඩ කට පාඩම් කරගත්තා.


ඉස්ලාමය​


මුහම්මද් තමාට ලැබෙන දේව පණිවුඩ අනෙකුත් අයට ප්‍රකාශ කළේ නෑ. ඔහු මුලින්ම ඒ ගැන කීවේ පවුලේ අයට පමණයි.

ඔහු තමාගේ ආගම හැඳින්වූයේ "ඉස්ලාම්" යන නමින්. එහි අරුත "ස්ව කැමැත්තෙන් දෙවියන්ට යටත් වීම​" යන්න​. ඉස්ලාමය අනුගමනය කරන කෙනෙක් හැඳින්වුනේ "ස්ව කැමැත්තෙන් දෙවියන්ට යටත් වූ කෙනා" යන අරුත ඇති "මුස්ලිම්" යන වචනයෙන් හෝ "විශ්වාස කරන්නා" යන අරුත ඇති "මුමිනින්" යන වචනයෙන්.

මුහම්මද් ඉස්ලාමය දුටුවේ අළුත් ආගමක් විදිහට නෙවෙයි. ඔහු එය හඳුන්වා දුන්නේ මූසා (මෝසස්), ඊබ්‍රහිම් (ඒබ්‍රහිම්) වැනි යුදෙව් දේව දූතයන් සහ ඊසා (යේසුස්) වැනි ක්‍රිස්තියානි දේව දූතයන් විසින් ලබා දුන් දේව වාක්‍යයේම දිගුවක් විදිහට​. ඔහුගේ දෙවියන් වුනේ යුදෙව් සහ ක්‍රිස්තියානි දෙවියන්මයි. නමුත් යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් දේව පණිවුඩය විකෘති කර ඇති බව සහ එය නිවැරදි කර අවසාන පණිවුඩය ලෙස ලබා දීම තමාගේ වගකීම බව ඔහු ප්‍රකාශ කළා. ඒ නිසා ඔහු තමා හඳුන්වා දුන්නේ දෙවියන් ගේ අවසාන පණිවුඩකරුවා විදිහට​.

මුහම්මද් දෙවියන් ගේ පණිවුඩ කරුවා බැවින් ඔහු අරාබි බසින් හැඳින්වුනේ "රසූලු අල්ලාහ්" නමින්.

කෙනෙක් දේව පණිවුඩය පිළිගෙන මුස්ලිම් වරයෙක් බවට පත් වීමට නම් "විශ්වාසයේ ප්‍රකාශයක්" කළ යුතු වුනා. මෙය අරාබි බසින් හැඳින්වුනේ "ෂහදා" නමින්.



"අෂ්හදු අල් ලා ඉලාහා ඉල්ලා ලාහ්, වා අෂ්හදු අන්න මුහම්මදුන් රසූලු ල්ලාහ්"
(අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සහ මුහම්මද් අල්ලාහ් ගේ පණිවුඩකරු බවට මම සාක්‍ෂි දරමි)

මේ වාක්‍යය ස්ව කැමැත්තෙන් සහ හඬනගා කීමෙන් කෙනෙක් මුස්ලිම් වරයෙක් බවට පත් වුනා.


ෂහදාවේ අඩංගු වෙන්නේ ඉස්ලාමයේ මූලික කරුණු දෙක​. ඒ දෙවියන් (අල්ලාහ්) තනි දෙවියකු බවත්, වෙනත් දෙවිවරු නොමැති බවත්, මුහම්ම්ද් දෙවියන් ගේ දූතයා බවත්.

මේ ඒක දේව සංකල්පය අරාබීන් ගේ බහු දේව වන්දනාවට කෙලින්ම එදිරිව යන්නක් නිසා මුහම්මද්ට මක්කා වැසියන් ගෙන් විශාල ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිදු වුනා.

Sunday, February 16, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 2 (මුහම්මද් තුමා ගේ උපත සහ තරුණ කාලය​)


බැනු කුරෙයිෂ් ගෝත්‍රය​


මුහම්මද් තුමා උපත ලබන්නේ මක්කා නගරයේ ජීවත් වුනු බැනු කුරෙයිෂ් ගෝත්‍රයට අයත් පවුලක​.

බැනු කුරෙයිෂ් ගෝත්‍රය පැවත එන්නේ "කුසේයි ඉබ්න් කිලාබ්" නම් අයෙකුගෙන්. ක්‍රි.ව​. 400 දී පමණ කුසේයි උපත ලබන විට ඔහුගේ ඥාතීන් මක්කා නගරය අවට සංචාරක දිවි පෙවෙතක් ගත කළ එඬේරුන් වශයෙන් ජීවත් වුනා. එවකට මක්කා නගරයේ බලය අත්වී තිබුනේ බැනු කුසා ගෝත්‍රයට​. එම ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු හුලායිල් ඉබ්න් හුබ්‍ෂියියා කාබාවේ භාරකාරයා ලෙස කටයුතු කළා. කුසේයි ඔහුගේ දියණිය වුනු හුබ්බා විවාහ කර ගත්තා.

හුලායිල් ගේ මරණයෙන් පසු ඔහුට පුතුන් නොසිටි බැවින් කාබාවේ භාරකාරත්වය කුසේයි ට හිමි වුනා. ඔහු තම ඥාතීන් මක්කා නගරයේ පදිංචි කළා. ක්‍රමයෙන් ඔවුන් මක්කා නගරයේ සහ එයට ඇදී ආ වාර්‍ෂික වන්දනා ගමන වටා වුනු වෙළඳාම තමන් අතට ගත්තා. මේ වෙළඳාම මගින් ඔවුන් ක්‍රමයෙන් ධනයෙන් සහ බලයෙන් වර්ධනය වුනා.

මේ තමයි බැනු කුරෙයිෂ් ගෝත්‍රයේ ආරම්භය​.

බැනු කුරෙයිෂ් ගෝත්‍රය සමන්විත වුනේ වංශ 14 කින්.

1. බැනු අල්-හරිත්
2. බැනු අමීර්
3. බැනු ආදි
4. බැනු තයිම්
5. බැනු සහ්ම්
6. බැනු ජුමාහ්
7. බැනු මක්සුම්
8. බැනු සුහ්.රා
9. බැනු අබ්ද් අල්-දාර්
10. බැනු උමයියා
11. බැනු නව්ෆාල්
12. බැනු හෂීම්
13. බැනු මුත්තාලිබ්
14. බැනු අසාද්

මේ වංශයන් අතරින් ධනවත්ම සහ බලවත්ම වංශය වුනේ බැනු උමයියා වංශ සහ බැනු මක්සුම් වංශ​​. නමුත් කාබාවේ භාරකාරත්වය සහ වන් දනාකරුවන්ට වතුර සැපයීමේ වගකීම හිමි වුනේ බැනු හෂීම් වංශයට​.


බැනු හෂීම් වංශය​


බැනු හෂීම් වංශයේ පූර්වජයා වෙන්නේ ක්‍රි.ව​. 464 දී උපත ලැබූ "හෂීම් ඉබ්න් අබ්ද් මනාෆ්". ඔහුට පුතුන් දෙදෙනෙක් හිටියා. ඔහුට කාබාවේ සහ කාබාවට පැමිණෙන වන්දනා කරුවන් සමඟ කළ වෙළඳාම භාර වුනා. හෂීම් ට පුතු දෙදෙනෙක් හිටියා. ඒ අසාද් සහ අබ්ද් අල්-මුත්තාලිබ්.

අබ්ද් අල්-මුත්තාලිබ් කුඩා කලම ඔහුගේ පියා මිය ගියා. ඔහු හැදී වැඩුනේ ඔහුගේ පියාගේ බාල සොහොයුරා වූ මුත්තාලිබ් ළඟ​. මේ නිසා ඔහුට "මුත්තාලිබ් ගේ සේවකයා" යන අරුත ඇති "අබ්ද් අල්-මුත්තාලිබ්" යන නම පට බැඳුනා.

හෂීම් ගෙන් පසු බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුත්තාලිබ්. මුත්තාලිබ් මිය ගිය පසු අබ්ද් අල්-මුත්තාලිබ් ඒ තනතුරට පත් වුනා. ඒ එක්කම ඔහුට කාබාවේ සහ කාබාව ආශ්‍රිත වෙළඳාමේ භාරකාරත්වයත් හිමි වුනා. නමුත් බැනු උමයියා වංශයේ ප්‍රධානියා වුනු හාර්බ් ඉබ්න් උමයියා මේ අයිතිය වෙනුවෙන් ඔහු සමඟ තරග වැදුනා. නමුත් අවසානයේ කාබාවේ භාරකාරත්වය රැක ගන්න අබ්ද් අල්-මුත්තාලිබ් සමත් වුනා.

අබ්ද් අල්-මුත්තාලිබ් මක්කාවේ වැසියන් අතර ඉමහත් ගෞරවයක් අත් කරගත් අයෙක්.

අබ්ද් අල්-මුත්තාලිබ් ට බිරියන් හය දෙනෙක් හිටියා. මේ බිරියන්ට දාව ඔහුට පුතුන් දොළොස් දෙනෙක් සහ දියණියන් හය දෙනෙක් හිටියා.

1. ෂුම්.රා : අල්-හාරිත්
2. ෆාතිමා : අල්-සුබායිර්, අබු තාලිබ්, අබ්ද්-අල්ලාහ්, උම් හකීම්, බර්.රා, අර්වා, අටිකා, උමමා
3. ලුබ්නා : අබ්ද් අල්-උස්සා
4. හලා : හම්සා, සෆියා, අබ්ද් අල්-කාබා, අල්-මුගීරා
5. නටිලා : අල්-අබ්බාස්, ඩිරාර්, කුතුම්
6. මුමන්නා : මුසාබ්

අබ්ද්-අල් මුත්තාලිබ් ගේ පුතෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉපදුනේ ක්‍රි.ව​. 546 දී. ඔහු විවාහ වුනේ බැනු සුහ්.රා වංශයේ අමීනා බින්ට් වහාබ් සමඟ​. ක්‍රි.ව​. 570 දී ඔහු වෙළඳ තවලමක් සමඟ සිරියාව බලා ගියා. නමුත් අතරමගදී තදින් රෝගාතුර වුනු ඔහු නැවත මක්කාවට එන්න පෙර අතරමගදී මිය ගියා.

 අබ්ද්-අල්ලාහ් මිය යාමෙන් මාස හයකට පසු අමීනා ට පුතෙක් ඉපදුනා. ඔහුගේ නම මුහම්මද්.


අලියා ගේ වසර​


මුහම්මද් උපත ලැබූ ක්‍රි.ව​. 570 වසරේ මක්කා නගරයේ ඉතාමත් වැදගත් සිදුවීමක් සිදුවුනා.

මේ කාලයේ ඉතියෝපියාවේ "අක්සුම් රාජධාණිය​" නම් ඕතඩොක්ස් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබුනා. යෙමනයේ ක්‍රිස්තියානින්ට සිදුවුනු පීඩාවන් හෙන් ඔවුන් බේරා ගැනීමේ අරමුණෙන් අක්සුම් රජවරු ක්‍රි.ව​. 523 දී යෙමනය යටත් කර ගත්තා. මේ සඳහා ඔවුන්ට බයිසැන්ටයින් රාජධාණියේ සහය ලැබුණා.

අක්සුම් රාජධාණිය

මේ කාලයේදී අරාබි ජාතිකයන් අතර ප්‍රධානම වන්දනා ගමන වුනේ මක්කා නගරයට සිදු කළ වන්දනා ගමන​. යෙමනයේ සනා නගරයටත් වාර්‍ෂික වන්දනා ගමනක් පැවැත්වුනා.  යෙමනයේ අක්සුම් ආණ්ඩුකාරවරයා වුනු "ආබ්‍රහා" ට අවශ්‍ය වුනා සනා වන්දනා ගමන ප්‍රධාන වන්දනා ගමන බවට පත් කිරීමට​. ඒ අරමුණෙන් ඔහු සනා නගරයේ අල්-කුලයිස් නමින් විශාල සහ අලංකාර ක්‍රිස්තියානි දෙව් මැදුරක් ඉඳි කළා. නමුත් මක්කා නගරයේ සිට සනා නගරයට පැමිණ සිටි වෙළඳුන් පිරිසක් මේ දෙව් මැදුර ඇතුලත මූත්‍රා කිරීමෙන් සහ මළපහ කිරීමෙන් එය අපහාසයට ලක් කළා.

මේ සිදුවීමෙන් කෝප වුනු ආබ්‍රහා මක්කා නගරය ආක්‍රමනය කළා. මේ සඳහා ඔහු 40,000 ක විශාල හමුදාවක් සමඟ මක්කා නගරයට ගියා. මේ හමුදාවට යුධ ඇතෙක්ද ඇතුලත් වුනා  (සමහර වාර්තා අනුව ඇතුන් අට දෙනෙක්). ඔහු මුලින්ම මක්කා නගරයට පණිවුඩයක් යැව්වා ඔහු බලාපොරොත්තු වන්නේ කාබාව විනාශ කිරීමට පමණක් බවත්, නමුත් මක්කා නගර වැසියන් ඔහුට එරෙහි වුනොත් මුළු නගරයම විනාශ කරන බවත් දන්වා.

මක්කා නගරය වෙනුවෙන් අබ්‍රහා සමඟ සාකච්ඡා කිරීම පැවරෙන්නේ කාබාවේ භාරකරු වුනු අබ්ද් අල්-මුත්තාලිබ් ට​. ඔහු සාකච්ඡාව අවසානයේ "මේ පූජ්‍යස්ථානයේ හිමි කරු එහි ආරක්‍ෂකයා. ඔහු එය සතුරන් ගෙන් බේරාගනීවි" ලෙස පවසා නැගිට ගියා.

අබ්‍රහා ගේ දැවැන්ත හමුදාව සහ යුධ ඇතා දකින මක්කා නගර වැසියන් අවට කඳු වලට පලා ගියා. අබ්‍රහා යුධ ඇතා යොදාගෙන කාබාවට පහර දුන්නා. ඉස්ලාමීය පුරාවෘතයන්ට අනුව ඒ මොහොතේදී "අබදිල්" නමින් හැඳින්වෙන කුරුළු රංචුවක් කාබාවට ඉහල අහස වසා ගත්තා. ඒ කුරුල්ලන් විසින් යුධ ඇතාට සහ ආබ්‍රහ ගේ හමුදාවට ගල් වලින් පහර දුන්නා. බිය වෙන හමුදාව පලා ගියා.

ආබ්‍රහ ගේ හමුදාව කාබාවට පහර දීම​
සමහර විට අවට කඳු වලට පළා ගිය මක්කා නාගරිකයන් උස් කඳු වල සිට සතුරු හමුදාවට ගල් වලින් පහර දෙන්න ඇති.

මේ සිද්ධිය නිසා අරාබි ඉතිහාසයේ ක්‍රි.ව​. 570 හැඳින්වෙන්නේ "අලියා ගේ වසර​" නමින්. සමහර නූතන ඉතිහාසඥයන් මේ සිදුවීම සිදු වුනු වසර විදිහට සලකන්නේ ක්‍රි.ව​. 550 හෝ ඒ ආසන්න අවුරුද්දක්.

ක්‍රි.ව​. 575 දී පර්සියානු අධිරාජ්‍යයේ උදව්වෙන් අරාබීන් විසින් මක්සූම් අධිරාජ්‍යයාගේ හමුදාවන් යෙමනයෙන් සම්පූර්නයෙන්ම පළවා හැරියා.

මුහම්මද් ගේ ළමා කාලය​


මුහම්මද් උපත ලබන්නේ ක්‍රි.ව​. 570 දී. අබ්ද්-අල්ලාහ් මිය ගිය නිසා අමීනා සහ ළදරු මුහම්ම්ද් අබ්ද් අල්-මුත්තාලිබ් ගේ භාරකාරත්වය යටතට පත් වුනා.

මුහම්මද් ට වයස හයක් වන විට ඔහුගේ මව අමීනාත් මිය ගියා. එතැන් සිට ඔහුව සම්පූර්නයෙන්ම රැක බලා ගන්නේ ඔහුගේ සීයා වන අබ්ද් අල්-මුත්තාලිබ්. නමුත් මුහම්මද්ට වයස අවුරුදු අටේදී අබ්ද් අල්-මුත්තාලිබ් මිය ගියා.

ඉන්පසුව ඔහුව හදා වඩා ගන්නේ ඔහුගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු තාලිබ් විසින්. අබු තාලිබ් අබ්ද් අල්-මුත්තාලිබ් ගේ පුතුන් අතරින් දෙවැනි වැඩිමලා. ඒ වගේම අබ්ද් අල්-මුත්තාලිබ් ගෙන් පසුව කාබාවේ භාරකාර තනතුර සහ බැනු හෂීම් වංශයේ ප්‍රධානත්වය දැරුවේ ඔහු.

මේ වන විට බැනු හෂීම් වංශය ධනයෙන් සහ බලයෙන් පිරිහිලා තිබුනා. අබු තාලිබ්ට දරුවන් අට දෙනෙක් සිටියා. මුහම්මද් සහ ඔහුගේ දරුවන් අට දෙනා හදා වඩා ගැනීමට අබු තාලිබ්ට විශාල උත්සහයක් දරන්න සිදු වුනා. මේ නිසා මුහම්මද් ගේ ළමා කාලය ගෙවුනේ ඉතා දුප්පත් පරිසරයක​.

අබු තාලිබ් සිරියාව දක්වා කළ වෙළඳ ගමන් වලදී මුහම්මද් කැටුව ගියා. මේ ගමන් වලදී අවට ලෝකය ගැන සහ වෙළඳාම ගැන හොඳ අවබෝධයක් ලබන්න මුහම්මද්ට හැකි වුනා. ඒ වගේම දක්‍ෂ කවියෙක් ලෙස නම් දරා උන් අබු තාලිබ් ගේ ඇසුරෙන් මුහම්මද්ට කවීත්වය පිළිබඳ හොඳ දැණුමක් ලැබුනා.

සිරියාව දක්වා කළ එක් වෙළඳ ගමනකදී අබු තාලිබ්ට සහ මුහම්මද්ට හුදෙකලාව කල් ගෙවූ ක්‍රිස්තියානි පූජකයෙක් හමු වුනා. ළමා මුහම්මද් දුටු මේ පූජකයා ඔහු කෙදිනක හෝ දෙවියන් ගේ දූතයෙක් වනු ඇතැයි අනාවැකියක් පළ කළා.


මුහම්මද් ගේ තරුණ විය​


තරුණ වියට එළැඹුනු මුහම්ම්ද් වෙළෙන්දෙකු ලෙස ජීවිකාව කරගෙන ගියා. මක්කා නගර වැසියන් අතර ඔහු ප්‍රසිද්ධ වුනේ අවංක​, ඍජු සහ සත්‍ය ගරුක තරුණයෙක් විදිහට​. මේ නිසා ඔහුට "අල්-අමීන්" (විශ්වාසවන්ත​​) සහ "අල්-සදීක්" (සත්‍යගරුක​) යන නම් පටබැඳුනා. මක්කා නගර වැසියන් තමා අතර ඇති වුනු ආරවුල් විසඳීමට මුහම්මද් සොයා ආවා. ඒ ඔහුගේ බුද්ධිමත් බව සහ අපක්‍ෂපාතීබව නිසා.

එවැනි එක සිද්ධියක් කාබාවේ අළුත්වැඩියා කිරීමක් අරබයා ඇති වුනා. කාබාව අළුත්වැඩියා කිරීම සඳහා එහි තිබූ දේව රූප තාවකාලිකව ඉන් අවත් කෙරුණු අතර​, අළුත්වැඩියාවෙන් පසු නැවත ඒවා තැන්පත් කෙරුනා. නමුත් වඩාත්ම වැදගත් සහ වඩාත්ම පූජනීය වූ කළු පාෂාණය නැවත තැන්පත් කිරීමේ ගෞරවය ලබා ගැනීමට වංශ කීපයක් ම ඉදිරිපත් වුනා. ඔවුන් අතර ඇති වුනු ආරවුන විසඳා ගැනීමට අපොහොසත් වූ නිසා ඔවුන් තීරණයක් ලබා දීම මුහම්මද්ට බාර කළා. මුහම්ම්ද් ප්‍රශ්නය නිරාකරණය කළේ විශාල රෙදි කඩක් රැගෙන කළු පාෂාණය එහි මැද තබා සියළුම වංශ වලින් එක් අයෙකු බැගින් රෙදි කඩේ කොන් වලින් අල්ලාගෙන කළු පාෂාණය කාබාව තුලට රැගෙන යන ලෙසට යෝජනා කිරීමෙන්. ඒ මගින් සියළුම වංශ වලට ඔවුන් බලාපොරොත්තු වුනු ගෞරවය ලබා ගැනීමට හැකි වුනා. මේ සිද්ධියෙන් පසු මුහම්මද්ගේ බුද්ධිමත් බව සහ අපක්‍ෂපාතීත්වය මක්කා නගර වැසියන් අතර ප්‍රසිද්ධ වුනා.

කළු පාෂාණය කාබාවේ තැන්පත් කිරීම​
මුහම්මද් කටයුතු කළේ යෙමනය සහ සිරියාව අතර වෙළඳාමේ යෙදුනු තවලම් වල භාරකරුවෙක් විදිහට​. ධනවත් වෙළඳුන් මේ කාන්තාරය හරහා කෙරුණු දුෂ්කර වෙළඳගමන් වල තමාම යෙදෙනු වෙනුවට භාරකරුවන් ඒ සඳහා පත් කළා. මුහම්මද් ගේ අවංක භාවය නිසා ඔහු බොහෝ වෙළඳ තවලම් වල භාරකරු විදිහට කටයුතු කළා. මේ මගින් තරමක ධනයක් උපයා ගැනීමට ඔහුට හැකි වුනා.

මුහම්මද් යටතේ තමාගේ තවලම් භාර කළ එක් ධනවත් වෙළෙන්දෙක් වුනේ කදීජා බින්ට් කුවයිලිඩ් නම් ධනවත් කාන්තාවක්.


කදීජා


කදීජා බින්ට් කුවයිලිඩ් එවකට මක්කා නගරයේ සිටි ධනවත්ම වෙළෙන්දෙක්. ඇයගේ ජීවිතයේ මුල් කාලය පිළිබඳ එකිනෙකට පරස්පර විස්තර රැසක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පැහැදිලි චිත්‍රයක් නෑ.

සමහර වාර්තාවන්ට අනුව ඇය ඒ වන විට දෙවරක් විවාහ වෙලා, ඒ සැමියන් දෙදෙනාම මිය ගිහින්. සමහර වාර්තාවන්ට අනුව ඇය ඒ වෙද්දි විවාහ වෙලා හිටියෙ නෑ. සමහර වාර්තා වලට අනුව කලින් විවාහ වලින් ඇයට දරුවන් තුන් දෙනෙක් හිටියා. සමහර වාර්තා වලට අනුව ඒ ඇගේ සොයුරියගේ දරුවන්. සමහර වාර්තා වලට අනුව ඇය ඒ වෙද්දි 28 හැවිරිදියි. සමහර වාර්තා වලට අනුව 40 හැවිරිදියි.

ඇය ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වූ නිසා ඇගේ වයස 28 ට වඩා 40 ට ළං වුනු බවත්, වයස 40 වන තුරු අවිවාහකව සිටීම අසාමාන්‍යය නිසා ඇය කලින් විවාහ වී සිටි බවත් අනුමාන කරන්න පුළුවන්.

ඇගේ ඥාති සොහොයුරා නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයෙක්. ඇගේ ආගම පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත්, බොහෝ අරාබීන් මෙන් ඇයත් බහු දේව ඇදහිලි වල යෙදුනු බව අනුමාන කරන්න පුළුවන්. සමහර විට ඇගේ ඥාති සොහොයුරා මෙන් ඇයත් ක්‍රිස්තියානි ආගම ඇදහුවා වෙන්නත් පුළුවන්.

කෙසේ නමුත් තමාගේ තවලම් භාරව කටයුතු කළ බුද්ධිමත් සහ අවංක තරුණයා පිළිබඳ පැහැදුනු කදීජා ඔහුව විවාහ කරගත්තා. ඒ ක්‍රි.ව​. 595 දී. එතකොට මුහම්මද්ට වයස අවුරුදු 25 යි.

මුහම්මද් සහ කදීජා ගේ විවාහය​
කදීජා සහ මුහම්මද්ට දරුවන් කීප දෙනෙක් සිටියා. ඔවුන් ගේ පළමුව් පුතා වුනේ කාසීම් (මේ නිසා මුහම්මද්ට "අබු කාසීම්" යන පටබැඳි නාමය ලැබුනා). කාසීම් දෙහැවිරිදි වියේදී මිය ගියා. ඉන්පසු ඔවුන්ට දූවරු හතර දෙනෙක් ලැබුනා. ඒ සයිනාබ්, රකයියා, උම් කුතුම් සහ ෆාතිමා. අවසානයේ ලැබුනු අබ්ද්-අල්ලාහ් නම් පුතා ද ළදරු වියේදී මිය ගියා.

සමහර වාර්තා වලට අනුව දූවරු හතර දෙනාගෙන් මුහම්මද්ට දාව ලැබුනේ ෆාතිමා පමණයි. අනෙක් තිදෙනා කදීජා ගේ පෙර විවාහ වල දරුවන් හෝ ඇගේ සොයුරියන් ගේ දරුවන්. ඇගේ වයස පිළිබඳව සිතා බලද්දී එහි කිසියම් සත්‍යතාවයක් ඇති බව හිතන්න පුළුවන්.

මේ දරුවන්ට අමතරව තවත් පිරිමි ළමුන් දෙදෙනෙක් ඔවුන් ළඟ හැදී වැඩුනා. එක් අයෙක් කළක් කදීජා ගේ මෙහෙකාරයෙක් ලෙස කටයුතු කළ සයීද්. පසුව කදීජා ඇය පුතෙක් ලෙස හදා වඩා ගත්තා. අනෙකා මුහම්මද් ගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු තාලිබ් ගේ පුතා වුනු අලී.


අලී ඉබ්න් අබු තාලිබ්


මේ වන විට බැනු හෂීම් වංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ අබු තාලිබ්. නමුත් ඔහු ධනවත් කමින් පිරිහිලා සිටි නිසා මුහම්මද් ඔහුගේ බාලම පුතා වුනු අලී ඉබ්න් අබු තාලිබ් තමා ඇසුරේ හදා වඩා ගත්තා. නෑ කමින් අලී මුහම්මද් ගේ ඥාති සොහොයුරා වුනත්, තමාට වඩා වයසින් අවුරුදු 30 ක් බාල වුනු අලීට මුහම්මද් සැලකුවේ තමාගේ පුතා විදිහට.

පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසයේ දෙවැනියට වැදගත්ම පුද්ගලයා වෙන්නේ අලී ඉබ්න් අබු තාලිබ්.



ක්‍රි.ව​. 610 වන විට මුහම්මද් ගේ වයස අවුරුදු 40 යි. ඔහු සෑහෙන තරම් ධනයක් සහ කීර්තියක් අත් කරගෙන සිටි මක්කා නගරයේ වැදගත් පුද්ගලයෙක්. ඔහුගේ සහ කදීජා ගේ විවාහය ප්‍රීතිමත් එකක්.

නමුත් ඒ සියල්ල වෙනස් කරන සිදු වීමක් සිදු වුනා.

Saturday, February 8, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 1 (ඉස්ලාමයේ උපතට පෙර​)



ක්‍රි.ව​. 6 වන සියවසේ මැද පෙරදිග පැවතුනේ තරමක සංකීර්න දේශපාලන - ආගමික - සංස්කෘතික තත්වයක්.


දේශපාලන සහ ආර්ථික තත්වය​




කලාපයේ බලවතුන් දෙදෙනා වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය​.

වර්තමාන තුර්කිය​, සිරියාව​, ලෙබනනය​, ඊශ්‍රායලය​, පලස්තීනය සහ ජෝර්දානය අයත් ප්‍රදේශ අයත් වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යයට​. මැද පෙරදිග ප්‍රධාන වෙළඳ නගර වුනු දමස්කස්, පැල්මයිරා, පෙත්‍රා වැනි නගර මේ ප්‍රදේශයට අයත් වුනා.

වර්තමාන ඉරාකය සහ ඉරානයට අයත් ප්‍රදේශ පර්සියානු අධිරාජ්‍යයට අයත් වුනා. මේ වන විට පර්සියාවේ බලය අත්කරගෙන හිටියේ සැසනිඩ් වාංශිකයන්.

බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් එකිනෙකා සමඟ නිරන්තරයෙන් යුධ වැදුනු අතර​, ඒ නිසාම දෙරටේම බලය පිරිහෙමින් පැවතුනා.

මේ අධිරාජ්‍යයන් දෙකට අයත් ප්‍රදේශ වල පර්සියන්, අරාබි, යුදෙව්, අරාමියන්, ඇසිරියන් වැනි විවිධ ජනවර්ග වාසය කළා. ඔවුන් මූලික වශයෙන් විශාල නගර වටා ගොඩ නැගුනු වෙළඳ සහ කෘෂිකාර්මික ආර්ථිකයක් පවත්වාගෙන ගියා.

බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් තමාගේ බල ප්‍රදේශ වල දේශසීමාවේ පදිංචිව උන් අරාබි ගෝත්‍ර සමඟ මිතුරු ගිවිසුම් ඇති කරගෙන හිටියා. මේ අරාබි ගෝත්‍රයන් තමාගේ මිතුරු අධිරාජ්‍යයන් ගේ දේශසීමා මුරකරුවන් වශයෙන් කටයුතු කළා.

අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවර හෙවත්, වර්තමාන යෙමනයේ තිබුනේ විශාල වෙළඳ නගර සහිත නාගරික ආර්ථිකයක්. ඉන්දියාවේ සිට මුහුදු මගින් එන වෙළඳ නැව් ගොඩබසින විශාල වරාය නගර යෙමනයේ පැවතුනා. යෙමනයේ වැසියන් බහුතරය අරාබි ජාතියකයන් වුනු අතර​, පලස්තීනය රෝමයට යටත් වුනු පසු පළා ආ යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වී හිටියා.

ඊට උතුරින් වූ ප්‍රදේශය ප්‍රධාන වශයෙන් වාසභූමි වුනේ අරාබි ජාතිකයන්ට​. අරාබි අර්ධද්වීපයේ මුළුමනින්ම වගේ විවිධ අරාබි ගෝත්‍ර වාසය කළා. ඔවුන් මූලික වශයෙන් සංචාරක දිවි පෙවතක් ගත කළ එඬේරුන්. මේ සංචාරක දිවි පෙවතක් ගෙවූ අරාබි ජාතිකයන් හැඳින්වුනේ "බෙදුවියන්"නමින්.

අතරින් පතර පිහිටි ක්‍ෂේම භූමි වල සුළු වශයෙන් ගොවිතැන් සිදු කෙරුනා. රතු මුහුදට සමාන්තරව දකුණේ තිබූ වරායන් සහ උතුරේ තිබූ විශාල වෙළඳ නගර යා කරන වෙළඳ මාර්ග වැටී තිබුනා. මේ වෙළඳ මාර්ගය ඔස්සේ කුඩා නගර ගොඩ නගාගත් වෙළඳ ප්‍රජාවන් ජීවත් වුනා. ඔවුන් තමාගේ වෙළඳාම සිදු කළේ ඔටු තවලම් මගින්.

යෙමනයේ සිට උතුරට සංක්‍රමනය වූ යුදෙව්වන් අරාබි අර්ධ ද්වීපයේ බටහිර වෙරළ ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා.


ආගමික තත්වය​


බයිසන්ටයින් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජීවත් වුනු අරාමියන් සහ ඇසිරියන් ජාතිකයන් ගේ ආගම වුනේ ක්‍රිස්තියානිය​. ඊට අමතරව සමහර අරාබි ගෝත්‍ර ක්‍රිස්තියානියන වැළඳගෙන හිටියා. ඔවුන් ප්‍රධාන වශයෙන් පෙරදිග ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් වුනත්, නෙස්තෝරියන් ඇතුළු වෙනත් ක්‍රිස්තියානි නිකායන් ගණනාවකුත් ඒ එක්කම පැවතුනා. ක්‍රිස්තියානිය වැළඳගත් අරාබි ගෝත්‍ර අතර බැනු ගසාන් ගෝත්‍රය ප්‍රධානයි.

වර්තමාන යෙමනයේ ප්‍රධාන වශයෙන් වාසය කළේ ක්‍රිස්තියානිය වැළඳ ගත් අරාබි ජාතිකයන්. ඔවුන් ක්‍රිස්තියානි කරණය වුනේ අසල්වැසි ඉතියෝපියාවේ තිබූ අක්සුම් රාජධාණියේ බලපෑමෙන්. ඔවුන් අයත් වුනේ ඉතියෝපියානු ඕතඩොක්ස් නිකායට​.

පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රධාන ආගම වුනේ සොරෝස්ත්‍රියන් ආගම​. පර්සියානු ජාතිකයන් සම්පූර්නයෙන්ම පාහේ සොරෝස්ත්‍රියානු ආගමට අයත් වුනා.

යුදෙව්වන් ප්‍රධාන වශයෙන් වාසය කලේ පලස්තීනය අවට සහ යෙමනයේ. රෝම අධිරාජ්‍යය විසින් පලස්තීනය යටත් කරගත් පසු පළාගිය යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වෙලා හිටියා. මේ අයගෙන් සමහරු නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා. අවුරුදු සිය ගණනක් අරාබීන් අතරේ ජීවත් වුනු මේ යුදෙව්වන් අරාබි සංස්කෘයේ බොහෝ ලක්‍ෂන අවශෝෂනය කරගෙන හිටියා. ඔවුන් ගේ නම් පවා අරාබි ඌරුවට සැකසුනු ඒවා. ඔවුන් කතා කලේ අරාබි බස​.

අරාබි ජාතිකයන්ගේ බහුතරයකගේ ආගම වුනේ දේව වන්දනාව​. ඔවුන් විවිධ දෙවිවරු ඇදහූ අතර, මේ දෙවිවරුන් ගේ පිළිම වලට පුද පූජා පැවැත්වූවා. දේව වන්දනාව පැවැත්වුනු නගර අතරින් පෙත්‍රා නගරය ප්‍රමුඛ තැනක් ගත්තා.

විවිධ ගෝත්‍රයන් විවිධ දෙවිවරු විශාල ප්‍රමානයක් ඇදහුවා. සමහර දෙවිවරු එක ගෝත්‍රයකට විශේෂ වුනු අතර​, සමහර දෙවිවරු ගෝත්‍ර ගණනාවක් විසින් ඇදහුවා. මේ දෙවිවරු අතරින් "හුබල්", "දුෂාරා", "මනාත්", "අල් උස්සා" සහ "අල් ලාත්" ප්‍රධානයි.

 මේ දෙවි වරුන් ගේ ප්‍රතිමා සහ ඔවුන් සංකේතවත් කිරීමට යොදා ගත් වෙනත් භෞතික වස්තූන් තැන්පත් කළ ගොඩනැගිලි සමහර නගර වල පිහිටලා තිබුනා. මේ ගොඩනැගිලි අරාබි දේව වන්දනා කරුවන් විසින් පූජනීයත්වයෙන් සලකනු ලැබුවා. සමහර නගර වලට වාර්‍ෂික වන්දනා ගමන් පැවැත්වුනා. යෙමනයේ මආරිබ් නගරයට, උතුරු අරාබියේ පෙත්‍රා නගරයට සහ බටහිර අරාබියේ මක්කා නගරයට සිදු කළ වාර්‍ෂික වන්දනා ගමන් මේ අතරින් ප්‍රධානයි.


ඉස්ලාමයට පෙර අරාබි සංස්කෘතිය​


අරාබි ජාතිකයන් ගේ සමාජ සංවිධානය සකස් වෙලා තිබුනේ ගෝත්‍ර මත​. ගෝත්‍රයක් සමන්විත වුනේ එක පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. ගෝත්‍රය හැඳින් වුනේ පොදු පූර්වජයාගේ නමින්. උදාහරණයකට "තමීම් ඉබ්න් මුර්" නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන් සමන්විත ගෝත්‍රය හැඳින්වුනේ "බැනු තමීම්" කියලා. "බැනු තමීම්" කියන එකේ තේරුම "තමීම් ගේ පුතුන්" කියන එක​.

ගෝත්‍ර ඇතුලේ තිබුනු අනු ඒකක හැඳින්වුනේ "වංශ​" කියලා. වංශයක් සමන්විත වුනෙත් පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. මේ අය ගෝත්‍රය ඇතුලේ යම්කිසි ස්වාධීනත්වයකින් කටයුතු කරන්න පටන් ගත්තම ඔවුන් වෙනම වංශයක් විදිහට හැඳින්වුනා. යම් කිසි අවස්ථාවක ඔවුන් ගෝත්‍රයෙන් වෙන් වෙලා වෙනම ඒකකයක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත්, ඔවුන් වෙනම ගෝත්‍රයක් විදිහට සැලකුනා. උදාහරණයකට "බැනු කුරෙයිෂ්" ගෝත්‍රය ඇතුලේ හිටපු "බැනු උමයියා" වංශය ගන්න පුළුවන්. එය සමන්විත වුනේ "උමයියා ඉබ්න් අබ්ද් ෂැම්ස්" සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන්.

මේ විදිහේ අරාබි ගෝත්‍ර විශාල ප්‍රමානයක් මැදපෙරදිග පුරාම විසිරිලා හිටියා.


අරාබි ජාතියන් අතර පැවතුනු ප්‍රස්ථාව පිරුළක් වුනේ "මගේ සොහොයුරන් මට එරෙහිව​. මම සහ මගේ සොහොයුරන් මගේ ඥාති සොහොයුරන්ට එරෙහිව​. මම​, මගේ සොහොයුරන් සහ මගේ ඥාතු සොහොයුරන් ලෝකයට එරෙහිව​". මේ කියමනෙන් තහවුරු වෙන්නේ අරාබි ජාතියා තුල පවුලට ඇතු බැඳීම​. ඇත්තෙන්ම මුළු අරාබි සමාජ සංවිධානයම රඳා පැවතුනේ පවුල සහ ඊට ඇති බැඳීම වටා. අනෙක් සියළු දෙයට වඩා ඔවුන්ට එය වැදගත් වුනා. තමාගේ ඥාතියෙක් මරා දැමූ කෙනෙක් ගෙන් පළි ගැනීමට ඇති අයිතිය ඔවුන් තදින් විශ්වාස කළා. මේ විශ්වාසය නිසා දශක ගනන් ඈතට ඇදී යන පවුල් ආරවුල් ඔවුන් අතර තිබුනා.

උතුරු සහ දකුණු අරාබියේ ප්‍රධාන වෙළඳ මාර්ග ආශ්‍රිතව වාසය කළ අරාබීන් විශාල නගර පදනම් කරගෙන ජීවත් වුනා. ඔවුන් රජවරු සහ රජවරුන් ගේ ආණ්ඩුකාරයන් විසින් පාලනය කෙරුනු නගර සහ ප්‍රාන්ත සහිත දේශපාලන සංවිධාන ඇති කරගෙන හිටියා.

නමුත් උතුරට සහ දකුණට මැදින් පිහිටි ප්‍රදේශයේ වාසය කළ අරාබීන් ගත කළේ ඊට වඩා බෙහෙවින් ස්වාධීන ජීවිතයක්. ඔවුන් ගේ එකම දේශපාලන සංවිධානය වුනේ ගෝත්‍රය​. බොහෝ ගෝත්‍ර සංචාරක එඬේරුන් විදිහට ජීවත් වුනා. ඒ අය හැඳින්වුනේ "බෙදුවියන්" කියලා. සමහර ගෝත්‍ර ඔටු තවලම් වලින් වෙළඳාම් කලා. ඒ අය කුඩා නගර වල ජීවත් වුනා. බෙදුවියන් වරු සමහර වෙලාවට මේ ඔටු තවලම් සහ නගර කොල්ල කෑවා. මේ ගෝත්‍ර ගෝත්‍ර ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන් කීප දෙනෙක් ගෙන් සමන්විත වුනු නායකත්ව මණ්ඩලයක් යටතේ පාලනය වුනා. ඔවුන් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනිකව ස්වාධීනව ජීවත් වුනා.


ඔවුන් ගතකළේ රණකාමී ජීවිතයක්. අරාබි ජාතියන් කෙනෙකුගේ අගය කළ කරුණු තුනක් තිබුනා. ඒ රණකාමීත්වය​, ත්‍යාගශීලීත්වය සහ කවීත්වය​. කවියන් අරාබි සමාජයේ ඉතා වැදගත් තැනක් ඉසිලුවා. ලේඛණ කලාවට වැඩි තැනක් නොලැබුනු අරාබි සංස්කෘතියේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වගේ සටහන් කෙරුනේ කවියන් සහ කතා කරුවන් විසින් වාචික ඉතිහාසයක් විදිහට​. මේ අය අරාබීන් ගේ ඉතිහාසය සහ එදිනෙදා ජීවිතය තමාගේ කවි සහ කතා වල සටහන් කරලා තිබ්බා.


අරාබි නම්


අරාබි නම් වල වාසගම් තිබුනේ නෑ. නමක් සමන්විත වුනේ තමාගේ නම සහ පියාගේ නම එකට ඈඳීමෙන්. පුතෙක් නම් "අහවලාගේ පුතා" යන අරුත දෙන "ඉබ්න්" පදයෙනුත්, දුවක් නම් "අහවලාගේ දුව​" යන අරුත දෙන "බින්ට්" පදයෙනුත් මේ සම්බන්ධ කිරීම සිද්ධ වුනා.

උදාහරණයකට හෂීම් කියල කෙනෙකුට යූසුෆ් කියල පුතෙක් සහ ෆාතිමා කියලා දුවක් ඉන්නවා නම්, ඔවුන් ගේ නම වුනේ "යූසුෆ් ඉබ්න් හෂීම්" සහ "ෆාතිමා බින්ට් හෂීම්". සමහර විට​, විශේෂයෙන් ගෑණු ළමයින්, හැඳින්වුනේ පියාගේ නමින් වෙනුවට මවගේ නමින්. උදාහරණයකට "සයිනාබ් බින්ට් ෆාතිමා".

සමහර විට කෙනෙක් හැඳින්වුනේ ඔහුගේ නියම නමින් වෙනුවට ඔහුගේ දරුවෙක් ගේ නමින්. උදාහරණයකට අලී කියල කෙනෙකුට හසන් කියල පුතෙක් හිටියා නම් අලීව "අබු හසන්" කියන පටබැඳි නමින් හැඳින්වුනා. "අබු" කියන එකේ තේරුම "අහවලාගේ පියා". කාන්තාවක් නම්, "අහවලාගේ මව​" කියන අරුත දෙන "උම්" පදය මෙහිදී භාවිතා වුනා. උදාහරණයකට "උම් සලමා". මේ විදිහට දරුවෙක් ගේ නමින් යෙදෙන පටබැඳි නම හැඳින්වුනේ "කුන්‍යා" කියලා.

සමහරු තමාගේ උපන් ගමේ හෝ නගරයේ නමින්, එහෙම නැත්තම් වෙනත් චරිත ලක්‍ෂනයක් අනුව යොදාගත්ත පටබැඳි නමකින් හැඳින්වුනා. උදාහරණයකට බග්දාද් නගරයෙන් ආ හුසේන් නම් පුද්ගලයෙක් "හුසේන් අල් බග්දාදි" කියල හඳුන්වන්න පුළුවන්. අලී නම් පුද්ගලයෙක් බොහෝ සත්‍යගරුක කෙනෙක් කියල ප්‍රසිද්ධ වුනොත් ඔහු "සත්‍යවාදී අලී" යන අරුත ඇති "අලී අල් සදීක්" නමින් හඳුන්වන්න පුළුවන්.


මක්කා නගරය​


දකුණු සහ උතුරු අරාබියේ වෙළඳ නගර යා කරමින් රතු මුහුදු වෙරළ ඔස්සේ වැටී තිබුනු වෙළඳ මාර්ගයක "මක්කා" කියල නගරයක් තිබුනා. මේ නගරය අයිති වෙන්නෙ වර්තමාන සවුදි අරාබියට​. මක්කා නගරය පිහිටා තියෙන්නෙ කඳුවැටි කිහිපයක් අතර තියෙන නිම්නයක​.

මේ නගරයේ විශේෂත්වය වුනේ අරාබීන් වන්දනා කළ දෙවිවරුන්ට අයත් දේව රූප විශාල ප්‍රමානයක් සහිත ගොඩනැගිල්ලක් පිහිටා තිබීම​. හතරැස් පෙට්ටියක හැඩය ගත් මේ ගොඩනැගිල්ල හැඳින්වුනේ "කාබා" නමින්. කාබාවේ විවිධ දේව රූප තුන්සිය හැටක් තිබුනු බව කියැවෙනවා. ඒ අතරින් වඩාත්ම පූජනීය වුනේ "කළු පාෂානය​" නමින් හැඳින්වෙන ගලක්.

ඉස්ලාමීය පුරාවෘයන්ට අනුව මක්කා නගරය ගොඩ නංවන්නේ ඊබ්‍රහීම්, ඔහුගේ බිරිඳ වුනු හැගර් සහ ඔවුන් ගේ පුතා වුනු ඉෂමයිල්. ඊබ්‍රහිම් විසින් ඉඳි කළ "සැම් සැම්" නමින් හැඳින්වුනු ළිඳක් මක්කා නගරයේ පිහිටා තියෙනවා.

අරාබියේ විවිධ ප්‍රදේශ වල ඉඳලා වන්දනා කරුවන් විශාල ප්‍රමානයක් කාබාව වන්දනා කිරීම සඳහා වාර්‍ෂික වන්දනා ගමනක යෙදුනා. මේ වන්දනා සමයේදී කිසිම ආකාරයක ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම තහනම් වුනා. මේ නිසා කාබාව ආශ්‍රිත ප්‍රදේශය හැඳින්වුනේ "තහනම් දෙවොල​" යන අරුත දෙන "මස්ජීද් අල් හරාම්" යන නමින්. මේ වන්දනා ගමන ඉස්ලාමයට පෙර තිබුනු වන්දනා ගමන් වලින් විශාලම සහ ප්‍රධානම වන්දනා ගමනක්. වන්දනා නඩවලට කෑම සහ වෙනත් දේ විකිණීම මක්කා නගරයේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වුනා. මේ නිසා මක්කා නගරය අවට තිබුණු අනෙක් නගර වලට වඩා ධනවත් නගරයක් වුනා.

ක්‍රි.ව​. පස්වෙනි සියවසේදී "බැනු කුරෙයිෂ්" ගෝත්‍රය විසින් මක්කා නගරයේ බලය තහවුරු කරගන්නවා. ඔවුන් වන්දනා ගමන ආශ්‍රිතව තිබුනු වෙළඳාම සහ උතුරු - දකුණු වෙළඳ මාර්ග හරහා කෙරුනු කුළුබඩු වෙළඳාම තමන් අතට ගන්නවා. මේ නිසා විශාල ධනයක් රැස් කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කුරෙයිෂ් ගෝත්‍රය ක්‍රි.ව​. හයවෙනි සියවසේ තිබුනු ධනවත්ම සහ බලවත්ම අරාබි ගෝත්‍රයක්.

මක්කා නගරයේ ජනගහනය සම්පූර්නයෙන්ම අරාබි ජාතියකයන් ගෙන් සමන්විත වුනා. ඔවුන් ගෙන් බහුතරය දේව වන්දනා කරුවන්. ඊට අමතරව නෙස්තෝරියානු සහ වෙනත් ක්‍රිස්තියානින් සුළු ප්‍රමානයකුත් මක්කා නගරයේ හිටියා. ධනවත් වෙළෙන්දන් තමාගේ සේවය සඳහා ඉතියෝපියාවෙන් ගෙන්වූ අප්‍රිකානු ජාතික වහලුන් සහ මෙහෙකරුවන් තියාගෙන හිටියා.


ක්‍රි.ව​. 570 දී මේ සියල්ල සදහටම උඩු යටිකුරු කරන සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ බැනු කුරෙයිෂ් ගෝත්‍රයට අයත් පවුලක "මුහම්මද්" නම් දරුවෙක් ඉපදීම​.

පාදඩයා අරක්කු පැන්නුව හැටි




මම කාලයක් මුස්ලිම් රටක රස්සාව කරා. ඒ රටේ මත්පැන් පාවිච්චි කරන්න තහනම්. තහනම් කියන්නෙ ලෙසටම තහනම්. හිස් අරක්කු බෝතලයක් තිබිල අහුවුනත් උසාවි දානවා. මාස හත අටකට හිරේ ඉන්න පුළුවන් වැරැද්දක්. අරක්කු එක්ක බෝතලයක් අහුවුනොත් හිතා ගන්න පුළුවන් නෙ.

එහෙමයි කියල අපි අරක්කු නොබී ඉන්නවද​? නෑ නේ. නෑ නේ. අපි විවිධ ක්‍රම වලට අරක්කු බොනවා. එයාපෝට් එකේ බාර් එකෙන් බොනවා. ටුවරිස්ට් හොටෙල් වලින් බොනවා. ඒ දෙකම ඉතා මිල අධිකයි. ඒ වුනාට අපි බොනවා. සමහර එවුන් හොරෙන් කසිප්පු පෙරනවා. රටඉඳි වලින්. අපි නං ඒක ට්‍රයි කරේ නෑ.

වැඩියෙන්ම බොන්නෙ ටුවරිස්ට් හොටෙල් වලින් පන්නන අරක්කු. හොටෙල් වල වැඩ කරන ලංකාවෙ එවුන් බෝතල් පන්නල අපිට විකුණනවා. ඒව ලැබෙන්න සහන මිලට​. හැබයි පට්ට රිස්කි වැඩක්. අහුවුනොත් ගස්.

එක දවසක් ආරංචියක් ආව හොර වොඩ්කා බෝතල් හයක් එනව කියල​. ඔරිජිනල් ගානෙන් හාෆ් ප්‍රයිස් එකට දෙන්නෙ. හැබැයි හයම එකට ගන්න ඕනෙ. අපි කවදාවත් එක බෝතලේකට වඩා අරං නෑ. හයක් එක්ක අහුවුනොත් මොනාවයිද කියන්න බෑ. බෝතල් හයක් හංගගෙන පාරෙ අරං එන්නත් බෑ. ඒත් අතාරින්න හිතෙන්නෙත් නෑ.

බෝතල් එන්නෙ බෝට්ටුවකින් බීච් එකට​. එතනට ගිහිල්ල ගන්න ඕනෙ. අපේ එකෙක්ට ස්කූටර් එකක් තිබ්බා. ඒකෙන් ගිහිල්ල ගන්න ප්ලෑන් කරේ. බෝතල් හයක් බස් එකේ හෝ පයින් හංගගෙන එන්න බෑ නෙ. අරූ ස්කූටරේ පදිනවා. මම පිටිපස්සෙ බෑග් එකක් කරේ දාගෙන යනවා. බෝතල් හය බෑග් එකේ. ඕක තමයි ප්ලෑන් එක​.

බඩු එනවා කියල කෝල් එක ආව​. රෑ නවයට විතර ඇති. අරුයි මායි ස්කූටරේ ගියා. තිත්ත කළුවර​. එකෙක් බෝට්ටුවකින් කළුවරේම හබල් ගාගෙන ආව​. සල්ලි ගත්ත​. බඩු දුන්නා. ඌ ගියා. වචනයක් වත් කතා කරේ නෑ. අපි බෝතල් ටික කළුවරේම බෑග් එකට දාගෙන ආපහු ආව​.

ආපහු එද්දි රෑ මුර සංචාරයේ යන පොලිස් කාරයො පාරෙ. නිකමට හරි උන්ට සැක හිතුනොත් මුං දෙන්න රෑ බීච් එකේ ඉඳන් එන්නෙ ඇයි කියල අපි ඉවරයි. මගෙ පපුව ගැහෙනව නිකං කම්මල වගේ. අරූ වෙව්ලනව කියල උගෙ කටහඬින් තේරෙනවා. මට තව බයයි මූ බයටම ස්කූටරේ ඇණ ගනියි කියල​. කෝකටත් මාර හෙමිං ආවෙ.

අන්තිමට ගෙදර එද්දි අපි දෙන්නම මැරිල ඉපදිල වගේ.
 
 
එදා රෑ තමයි මගේ ජීවිතේට වැඩියෙන්ම බීපු දවස​. රෑ දහයට විතර පටන් අරගෙන පාන්දර හතර වෙනකං බිව්ව​. හතර දෙනෙක් ලීටර් 1.1 බෝතල් දෙකයි. ඔය පින්තූරෙ තියෙන බ්‍රෑන්ඩ් එක​. ෂැන්ඩි කරේ දෙහි ජූස් වලින්.

අරුයි මායි දෙන්නම දැන් ලංකාවෙ ඉන්නෙ. අපි දෙන්නම දැන් බොන්නෙ හරි කලාතුරකින්. ගෑණු බර බරේ දාන නිසා.

Friday, November 1, 2019

බොන්සයි - 3 (බොන්සයි කලාවේ මූලික නීති රීති​)



බොන්සයි ගසක උස​


බොන්සයි ගසක ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ එහි ඇති කුඩා බව​.

බොන්සයි කලාවේදී ගස් වල ප්‍රමානය​ අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.

මේ විදිහට වර්ග කරද්දි සාමාන්‍යය රීතියක් විදිහට ගසේ උස සඳහන් කළත්, යම්කිසි ගසක් ප්‍රමානය අනුව වර්ග කිරීමේදී එකම සාධකය වෙන්නෙ උස නෙවෙයි. ඒ සඳහා ගසේ මහත​, අතු ප්‍රමානය​, සිටුවා ඇති බඳුනේ ප්‍රමානය​, ගසක් ඔසවා ගැනීමේ පහසුව වගේ කරුණු කීපයක්ම බලපානවා.

1. කුඩා ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 1 සහ 10 අතර​
2. මධ්‍ය ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 10 සහ 36 අතර​
3. විශාල ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 30 සහ 80 අතර​

මේ ප්‍රධාන කොටස් අනු කොටස් වලට බෙදෙනවා.

කුඩා ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කෙෂිත්සුබො (පොපි ඇට ප්‍රමානය) - උස අඟල් 1 සහ 3 අතර​
2. ෂිතො (ඇඟිලි තුඩු ප්‍රමානය) - උස අඟල් 2 සහ 4 අතර​
3. මමෙ (අල්ලේ ප්‍රමානය​) - උස අඟල් 2 සහ 6 අතර​
4. ෂෝහින් - උස අඟල් 5 සහ 8 අතර​
5. කොමොනො - උස අඟල් 6 සහ 10 අතර​

මධ්‍යම ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. කදතෙ-මොචි - උස අඟල් 10 සහ 18 අතර​
2. චුමොනො - උස අඟල් 16 සහ 36 අතර​
3. චිචු - උස අඟල් 16 සහ 36 අතර​

විශාල ප්‍රමානයේ බොන්සයි වර්ග​



1. ඔමොනො - උස අඟල් 30 සහ 48 අතර​
2. දයි - උස අඟල් 30 සහ 48 අතර​
3. හචි-උයෙ - උස අඟල් 40 සහ 60 අතර​
4. ඉන්පෙරියරු (රාජකීය​) - උස අඟල් 60 සහ 80 අතර​


අපිට සාමාන්‍යයෙන් බොන්සයි කිව්වම හිතේ මැවෙන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගස්. වඩාත්ම බහුල වෙන්නෙත් මධ්‍යම ප්‍රමානයේ බොන්සයි. ඒ වගේම බොන්සයි කලාවේ තාක්‍ෂනය කුඩා සහ විශාල ප්‍රමානයේ බොන්සයි වලට යොදද්දි තරමක් වෙනස් වෙනවා.

ඒ නිසා මේ ලිපියේ කතා කරන්නෙ මධ්‍යම ප්‍රමානයේ බොන්සයි ගැන​.


බොන්සයි ගසක පෙනුම​


බොන්සයි ගසකින් බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් කුඩා ගසකට විශාල ගසක පෙනුම ලබා දීම​.



බොන්සයි ගසක "ඉදිරිපසක්" තියෙනවා. ගස තියල තියන්න ඕනෙ ඉදිරිපස නරඹන්නාගේ පැත්තට තියෙන විදිහට​. ගසක් දිහා බලන කෝනයෙන් ගසක පෙනුම විශාල වශයෙන් වෙනස් වෙන නිසා තමාගේ ගසේ "ඉදිරිපස​" තෝරා ගැනීම ඉතාම වැදගත්. සමහරවිට බොන්සයි කලාවේ වැදගත්ම අංගය ඒක වෙන්න පුළුවන්. ගස හැඩ ගැන්වීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ ගසේ ඉදිරිපස තෝරාගැනීම මත​.

ගසේ කඳ ඉහලට යන විට ක්‍රමයෙන් සිහින් වෙන්න ඕනෙ.

ගසේ මුදුන නරඹන්නා දෙසට තරමක් නැවිල තියෙන්න ඕනෙ. හරියට ගස නරඹන්නාට හිස නවා ආචාර කරනවා වගේ.

ගසේ කඳ තුවාල වී නොතිබිය යුතු අතර​, පාසි ආදිය නොබැඳී පිරිසිදු තත්වයේ තියෙන්න ඕනෙ.

ගසේ අතු බෙදෙන්න පටන් ගන්න ඕනෙ ගසේ සම්පූර්න උසෙන් තුනෙන් එකක උසකදී. ඒ කියන්නෙ ගසේ උසෙන් පළවෙනි තුනෙන් එක කඳ පමනක විය යුතු අතර​, ඉතුරු තුනෙන් දෙක අතු සහිත විය යුතුයි.

ගසේ ඉහළට යනකොට අතු වල ප්‍රමානය (මහත සහ දිග​) ක්‍රමයෙන් අඩු වෙන්න ඕනෙ.

ගසේ "ඉදිරිපසින්" බලනකොට ප්‍රධාන අතු කඳ හරස් වෙන විදිහට තියෙන්න බෑ.

අතු බෙදෙනකොට නරඹන්නා දෙසට අතු බෙදෙන්න බෑ.

එකම උසකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

එකම තැනකින් අතු දෙකක් බෙදෙන්න බෑ.

හැකි සෑම විටම අතු බෙදෙන දිශාව වමට​, දකුණට සහ පිටුපසට අතර මාරු වෙන්න ඕනෙ. ඒ කියන්නෙ එක ළඟ අතු දෙකක් එකම පැත්තට බෙදෙන්න බෑ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර පොඩි දිගක් නරඹන්නාට පේන විදිහට මතුවෙලා තියෙන්න ඕනෙ.

ගසේ මුල් පොළව තුලට යාමට පෙර හොඳින් විහිදිලා තියෙන්න ඕනෙ. ඒවා විහිදෙන වට ප්‍රමානය ගසේ කඳට වඩා පළල් වෙන්න ඕනෙ.

මුල් පේන්න තියෙන හරියෙදි එකිනෙකා පැටලිලා තියෙන්න බෑ.

ගසේ කොළ ගසට සාපේක්‍ෂව කුඩා වෙන්න ඕනෙ.

මියගිය​, වියළුනු සහ රෝගී වුනු කොළ තියෙන්න බෑ.

ගසේ ඉදිරිපසට වඩා පසුපස කොළ වැඩිපුර තියෙන්න ඕනෙ.

කොළ වල මකුළු දැල්, කෘමි සතුන් ගේ අපද්‍රව්‍යය, තැන්පතු ආදිය නැතුව පිරිසිදුව තියෙන්න ඕනෙ.

මල් සහ් ගෙඩි තියෙනව නම්, අඩු පාඩු නොමැති පරිපූර්ණ තත්වයේ තියෙන්න ඕනෙ.

එක බඳුනක ගස් කීපයක් තියෙන අවස්ථාවක​, ඒ සියළුම ගස් එකම වර්ගයේ ගස් විය යුතුයි.

(මේ සමහර නීති සමහර බොන්සයි රටාවන් වලදි බිඳ වැටෙනවා)


බඳුන


බොන්සයි ගසක් අනිවාර්‍යයෙන්ම හිටවන්නෙ බඳුනක​. මේ බඳුන ගසට සාපේක්‍ෂව කුඩා ප්‍රමානයේ එකක් විය යුතුයි.

බඳුන පැතලි විය යුතු අතර​, වටකුරු, ඕවලාකාර හෝ හතරැස් හැඩයෙන් තියෙන්න ඕනෙ.

බඳුන චාම් වෙන්න ඕනෙ. විවිධ වර්ණයන් හෝ විසිතුරු කැටයම් ආදිය තියෙන්න බෑ. බොහෝ විට බඳුන කළු හෝ දුඹුරු පැහැය ගන්නවා.

බඳුන පිරිසිදු වෙන්න ඕනෙ.
බොන්සයි ගස (හෝ ගස්) සහ කලාකරුවා විසින් තෝරාගත් පාසි හැරුණු විට වෙනත් කිසිම ශාඛයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි පස​, කලාකරුවා විසින් තෝරාගත් සොබාවික පෙනුමැති ගල් කීපයක් හැරුණුවිට වෙනත් කිසිම දෙයක් බඳුනේ තියෙන්න බෑ.

බොන්සයි ගස බඳුන තුල ස්ථානගත කරන්නෙ බඳුනේ හරි මැදින් මදක් පසුපසට සහ පැත්තකට වෙන්න​. ගස ස්ථානගත කරද්දි බඳුන සමඟ ගසේ සමබරතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. උදාහරණයකට ගසේ කඳ වමට ඇල වෙනව නම්, ගස මදක් දකුණට වෙන්න ස්ථානගත කරන්න ඕනෙ.

බඳුන කිසිම විටෙක ගස අභිබවා නොයා යුතු අතර​, ගසේ පෙනුම සමඟ මුහු වෙමින් එහි පෙනුම වඩා ඉස්මතු කරන්න ඕනෙ.