Friday, October 6, 2017

කඳුකර යක්‍ෂයා


කාලය : 1901

තැන : ලංකාව​

බෝයර් යුද්ධයේ සටන් කරල තුවාල ලබපු හමුදා සෙබළෙක් වන ලුතිනන් විලියම් ස්ටේන් විවේක ගන්න ලංකාවට එනවා. ඔහු නවතින්නේ ඔහුගේ ළමා කාලයේ මිත්‍රයෙක් වන දොස්තර ග්‍රෙගරි මිඩ්වින්ටර් එක්ක​. දොස්තර මිඩ්වින්ටර් සේවය කරන්නෙ තලවකැලේ ආශ්‍රිත ප්‍රදේශයක වෛද්‍යවරයෙක් හැටියට​.

ලුතිනන් ස්ටේන් බෝයර් යුද්ධයේ කෲර කම දෑසින් දැකලා අධිරාජ්‍යවාදය ගැන තිබ්බ විශ්වාසය නැති කරගත්ත සුද්දෙක්.

දොස්තර මිඩ්වින්ටර් ගෙ රෝගීන් අතර වැඩිපුර ඉන්නෙ තේවතු වල සේවය කරන දෙමළ කම්කරුවන් සහ කොත්මලේ ආශ්‍රිත ගම් වල සිංහල ගැමියන්. වසංගත රෝග වලින් මේ මිනිස්සු මැස්සො වගේ මැරෙනවා. මේ මිනිස්සුන් ගෙ ජීවන තත්වය උසස් කරන්න දොස්තර මිඩ්වින්ටර් අවංක උත්සහයක් දරනවා. ඒක බටහිර ශිෂ්ඨාචාරයේ වගකීමක් කියල ඔහු විශ්වාස කරනවා.

දොස්තර මිඩ්වින්ටර් සුදු ජාතික වැවිළි කාරයොන් ගෙ සමාජයක සාමජිකයෙක්. ලුතිනන් ස්ටේන් තමාගෙ මිත්‍රයා එක්ක මේ සමාජ ශාලා වලට යනවා. එතන බිලියඩ් සෙල්ලම් කරන්න එන වැවිළිකාර සුද්දො ඔහුට වැඩිය දිරවන්නෙ නෑ. මේ වැවිලිකාරයො ස්වදේශිකයන්ට සලකන්නෙ සත්තුන්ට වගේ. ඒ නිසාම ලුතිනන් ස්ටේන් වැවිලිකාරයො එකක් ආරවුල් කීපයකුත් ඇති කර ගන්නවා

මේ අතරෙ මිනී කන කොටි දෙන්නෙක් අවට ගම් වල සැරිසරන්න පටන් ගන්නවා. මුං දෙන්නා වතු කම්කරුවන්ව සහ සිංහල ගැමියන්ව මරනවා. මුළු ප්‍රදේශයම ත්‍රාසයෙන් මුසපත් වෙනවා. වැවිලිකාරයො කොටි දෙන්න දඩයම් කරන්න උත්සහ කරනවා. ඒත් කොටි දෙන්නා ඉතාම කපටියි. කොටි දෙන්නගෙ ගොදුරු ගාන 50 පනිනකොට තේවතු වල නිෂ්පාදනයටත් ඒක බලපානවා. මිනිස්සු වැඩට යන්න බය වෙනවා.

කොටි දඩයම් කරන්න යන වැවිලිකාරයෙක් කොටින්ට ගොදුරු වුනාට පස්සෙ වැවිලිකාරයො අකැමැත්තෙන් ලුතිනන් ස්ටේන් ගෙ උදව්ව ඉල්ලනවා. මිනිහ කැමති වෙන්නෙ නෑ.

එක දවසක් ලුතිනන් ස්ටේන් දොස්තර මිතුරා එක්ක කොටින්ට ගොදුරු වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරන​ 16 හැවිරිදි ගෑණු ළමයෙක් බලන්න යනවා. ගෑණු ළමය මැරෙනවා. ඒත් සිද්ධියෙන් කම්පනය වෙන ලුතිනන් ස්ටේන් කොටින්ව දඩයම් කරන්න කැමති වෙනවා.

ඊට පස්සෙ තියෙන්නෙ ලුතිනන් ස්ටේන් කැලේ, ගම් සහ තේ වතු අස්සෙ රිංගගෙන කොටි දෙන්න ලුහුබඳින හැටි. කොටි දෙන්න ලුතිනන්ට වෙට්ටු දදා බේරෙනවා. ලුතිනන් ගේම අතාරින්නෙත් නෑ.

හැබැයි මාසයක් විතර ගතවෙද්දි ලුතිනන් ට කොටි දෙන්න ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒ එක්කම ප්‍රදේශයේ අහුමුළු නෑර කරක් ගහද්දි ඔහු දකිනවා කොටි අතින් විඳිනවට වඩා දුකක් යටත්විජිත වාදය නිසා මිනිස්සු විඳින බව​. ඔහුගෙ සහයට එන දොස්තර මිඩ්වින්ටර්ටත් ඒක ඒත්තු යනවා.

මාස තුනක දඩයමකින් පස්සෙ කොටි දෙන්නවම මරන්න ස්ටේන් සමත් වෙනවා. හැබැයි ඔහු ඒ ගැන දුක් වෙනවා. කොටින් ගෙ හම ගලව ගන්න එන වැවිලිකාරයෙක්ට ලුතිනන් ස්ටේන් වෙඩි තියන්න තර්ජනය කරනවා. කොටි දෙන්නව තමාගෙ අතින්ම හාරපු වලක වළලලා ඔහු පහුවදා උදේම කෝච්චියෙන් කොළඹ යන්නෙ එංගලන්තය බලා නැව් නගින්න​.

මිතුරාව ඇරලලා ආපහු හැරෙන දොස්තර මිඩ්වින්ටර් ට දුම්.රිය වේදිකාවෙදි වත්තක වැඩ කරන මනුස්සයෙක් කතා කරනවා.

"යක්‍ෂයාගෙන් අපිව බේර ගත්තට ඔබේ මිතුරාට ස්තූති කරන්න​"

"යක්‍ෂයා තාම ඉන්නවා"

දොස්තර මිඩ්වින්ටර් දුම්.රිය වේදිකාව දිගේ ඇවිදගෙන යද්දි පසුබිමෙන් කැලෑවෙන් වැහුන උස් කඳුගැට දර්ශනය වෙනවා. ඒවා දොස්තර මිඩ්වින්ටර් ට වඩා ගොඩාක් උසයි.

1 comment: