Friday, October 27, 2017

ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 6 (වබි සහ​ සබි)


ජපානයේ පැරණි අගනුවර වන ක්‍ යෝතෝ නගරයේ තියෙනවා ඉතා පැරණි සහ ඉතා පූජනීය පන්සල් දෙකක්. මින් එකක නම කින්කකු-ජි (රන් විහාරය​). අනෙක ගින්කකු-ජි (රිදී විහාරය​).

රන් විහාරය කියන්නෙ පිටත බිත්ති වලට රන් පත්‍ර අල්ලපු ඉතාමත් ශෝභන සහ උත්කෘෂ්ට නිර්මානයක්. නමුත් රිදී විහාරය ලී වලින් නිම කරපු බොහොම චාම් පෙනුම තියෙන නිර්මානයක්. ඒකට හේතුව රිදී විහාරය නිම කරන්න කලින් ජපානයේ ඇතිවුන යුද්ධයක් නිසා ඒක සම්පූර්න කරන්න එහි නිර්මාන ශිල්පියාට නොහැකි වීම​.

රන් විහාරය​
රිදී විහාරය​

මේ නිර්මාන දෙකෙන් එක නිර්මානයක් සැලකෙන්නෙ කලාත්මක බවින් ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක් හැටියට​. බැලූ බැල්මට අපිට හිතෙයි ඒ රන් විහාරය කියලා. නමුත් ඇත්තෙන්ම විශිෂ්ඨ කලා නිර්මානය විදිහට සැලකෙන්නෙ රිදී විහාරය​.

ඒ "වබි" සහ "සබි" කියන ජපන් සංකල්ප දෙක නිසා. ජපන් සංස්කෘතියේ ඕනෑම නිර්මානයක සෞන්දර්‍යය රඳා පවතින්නේ මේ වබි සහ සබි සංකල්ප මත​.

වබි සහ සබි ජපානයේ හැම තැනම යොදා ගන්නා සංකල්ප​. අපිට ඕනෑම දෙයක් (පිඟානක්, කෝප්පයක්, ගොඩනැගිල්ලක්, මේසයක්, මල් බඳුනක්, ගෙවත්තක්, කවියක්) දැක්ක පමණින් "මේක ජපන් එකක්" කියල හිතෙනවා නම්, ඒ වබි සහ සබි නිසා. ඒත් මේ සංකල්ප විදේශීය භාෂාවලට පරිවර්තනය කරන්න ඉතාම අපහසුයි. විශේෂයෙන්ම බටහිර භාෂා වලට​.

වබි


 
වබි කියන යෙදුමෙන් අදහස් කෙරෙන්නෙ චාම් බව​. නොයිඳුල් බව​. නිහඬ බව​. යම් කිසි දෙයක් නිර්මානය කරද්දි එහි ඇතිවෙන කඩතොලු සහ අසමමිතික බව​. අසම්පූර්ණ බව​. දෝෂ සහගත බව​.

උදාහරණයකට තේ කෝප්පයක් හරියටම රවුමට නොතිබී යම් කිසි ඇදයක් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. ලෑලි කීපයකින් හැදුන මේසයක ලෑලි හරියට නූලටම එකට හා නොවී ඒ අතර හිදැස් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. මල් බඳුනක් දීප්තිමත්ව වර්ණ ගන්වන්නෙ නැතුව චාම් දුඹුරු පාටකින් වර්ණ ගන්වලා තිබ්බොත්,  ඒ එහි තියෙන වබි ගුණය​. ගෙවත්තක් නිහඬ නිස්කලංක බවින් යුක්ත නම්, ඒ එහි තියෙන වබි ගුණය​.


 සබි


සබි යෙදුමෙන් අදහස් වෙන්නෙ යම් කිසි දෙයක ඇති අනිත්‍යය සොබාවය​. කාලය ගතවීමත් සමඟම යම් කිසි දෙයක් ක්‍රමයෙන් දිරාපත් වීම සමඟ එහි ඇති වන ශාන්ත, ගූඪ සුන්දරත්වය​.

උදාහරණයකට පාසි බැඳුන පිළිමයක්, දිරා ගිය ගස් කඳක්, කීරි ගැලවුන ලෑල්ලක්, කොන් නැවුන කඩදාසියක්, ඉරි තැළුනු පිඟානක් අපිට හඟවන්නෙ සබි ගුණය​.

වබි සහ සබි ගුණයන් ගෙන් යුක්ත නිර්මානයක් තමයි කලාත්මක බවින් උසස් නිර්මානයක් විදිහට ජපන් සංස්කෘතියේ සැලකෙන්නෙ. මේ සංකල්ප දෙක එදිනෙදා ජීවිතයේ මෙන්ම විවිධ සංස්කෘතික අංග වලදී යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. වබි සහ සබි සංකල්ප යෙදෙන අවස්ථා කීපයකට උදාහරණ විදිහට​,

සාම්ප්‍රදායික ජපන් සංගීතය​
සාම්ප්‍රදායික ජපන් කවි - විශේෂයෙන් හයිකු කවි
ඉකිබානා හෙවත් මල් සැරසිලි කලාව​
බොන්සායි හෙවත් කුරු ගස් කලාව​
ගෙවතු අලංකරනය​
ගෘහ නිර්මාන ශිල්පය​
ගෘහ භාණ්ඩ​
පිඟන් කෝප්ප​
නාම පුවරු

දක්වන්න පුළුවන්.

සියුම්ව යොදා ගත්ත වබි සහ සබි මගින් හදවත මිරිකා දමන කාන්සියක් සහ දුකක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජපානයේ ගම්බද ප්‍රදේශයකදි මේ හැඟීම ඉතා තදින් දැනෙන්නේ අවට ඇති හැම දෙයක්ම වබි සහ සබි ගුණයෙන් යුක්ත වෙන නිසා. ඒක මනස සන්සුන් කරවන සුළු ඉතාමත් සියුම් ආශ්වාදයක් ඇති කරවන සුවිශේෂී අත්දැකීමක්.


විශේෂයෙන් සලකන්න ඕනෙ කරුණක් තමයි, වබි ගුණය කියන්නෙ දුප්පත් කම හෝ සබි ගුණය කියන්නෙ විනාශ වීම නෙවෙයි කියල​. ඒක දුප්පත් කම විසින් බලෙන් ඇති කළ ගුණයක් නෙවෙයි - චාම් බව විසින් ස්වකැමැත්තෙන් තෝරා ගත් දෙයක්.

වබි සහ සබි සංකල්ප වල මූලය සෙන් බුදු දහම​. වබි සහ සබි මගින් ඇති කරන පාළු, ගූඪ, නිස්කලංක කාන්සිය කියන්නෙ ලෞකික බැඳීම් තුනී කිරීම නිසා ඇති වෙන නිරාමිස ආස්වාදයක්. මේ ලෞකික බැඳීම් තුනී කිරීම භාෂාමය විදිහට ප්‍රකාශ කිරීම අපහසු නිසා මේ වගේ කලාත්මක නිර්මාන වලින් ඇඟවීම සෙන් භික්‍ෂූන් විසින් තෝරාගෙන තියෙනවා. වබි මගින් සරළ චාම් බවේ ඇති සුන්දරත්වය දකින්නත්, සබි මගින් අනිත්‍යය බව පිළිකෙව් නොකර ඒක ආස්වාදය කරන්නත් සෙන් දහම උගන්වනවා.

ධනය සහ බලය ප්‍රදර්ශනය කරන රන් විහාරය උසස් කලා නිර්මානයක් නොවී චාම් රිදී විහාරය උසස් කලා නිර්මානයක් වෙන්නෙ ඒ නිසා.

1 comment: