Monday, February 8, 2016

රුවන්ඩාව - 2


රුවන්ඩාව - 2





ජර්මන් යටත් විජිත පාලනය​


1899 වනවිට ජර්මන් වරු රුවන්ඩාව සහ යාබද සහෝදර රාජ්‍යය වන බුරුන්ඩි සම්පූර්නයෙන්ම ග්‍රහනයට ගෙන සිටියහ​.

නමුත් රුවන්ඩාවේ සමාජ​-ආර්ථික​-දේශපාලන ව්‍යූහයේ විශාල වෙනසක් සිදු නොවිනි. ජර්මන් වරු පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ම්වාමි වරයාට ඉඩදුන් අතර බදු අය කිරීම පමණක් කළහ​. ඊට අමතරව කතෝලික මිෂනාරි වරු රුවන්ඩා ජාතියනව ක්‍රිස්තියානියට හැරවීමට පටන් ගත්හ​.

ජර්මන් ජාතිකයන් සැලකිය යුතු වෙනස්කම් දෙකක් පමණක් සිදු කළහ​. ඒ මෙතෙක් කල් පැවතුනු ලෙස කෘෂි නිෂ්පාදන වලින් බදු අය කිරීම වෙනුවට මුදලින් බදු අයකිරීම සහ වෙළඳ බෝගයක් ලෙස කෝපි වගාව හඳුන්වාදීමයි. මෙමගින් කෘෂිකර්මය සහ ගවපාලනය මත පදනම් වූ රුවන්ඩාවේ සමාජ​-ආර්ථික​-දේශපාලන පද්ධතිය ක්‍රමයෙන් උඩු යටිකුරු වීම ඇරඹිනි.

මේ අතර ජර්මන් වරු යුරෝපයේ ජාතීන් පිළිබඳ අදහස් රුවන්ඩාවට යෙදීමට පටන් ගත්හ​​. යුරෝපයේ ජාතීන් අතර බෙදීම් මුළුමනින්ම පාහේ වාර්ගික බෙදීම් විය​. උදාහරණයකට යමෙක් ජර්මන් ජාතිකයෙක් වූයේ උපතින් වූ අතර ඔහුට කවදාවත් ප්‍රංශ ජාතිකයෙක් වීමට නොහැකි විය​. මේ නිසා රුවන්ඩාවේ පැවති ජාතීන් අතර සංකීර්න බෙදීම් ජර්මන් වරුන්ට අවබෝධ කරගත නොහැකි විය​.

තමාට අවබෝධ කරගත නොහැකි ඕනෑම දෙයක් පිළිබඳ දක්වන යුරෝපීය ආකල්පය මෙතැනදීද යොදා ගැණුනු අතර​, ජර්මන් වරු හුටු-ටුට්සි-ට්වා බෙදීම ද වාර්ගික එකක් බවට පත් කළ අතර ඒ වෙනුවෙන් ව්‍යාජ ඉතිහාසයක් හා ව්‍යාජ විද්‍යාත්මක ප්‍රවාද නිර්මානය කෙරිනි.

මේ සඳහා පාදක කරගන්නා ලද්දේ 1868 දී බ්‍රිතාන්‍යය ජාතික ජෝන් හැනිං ඉදිරිපත් කළ "හැම්ටික් ප්‍රවාදයයි".
ජෝන් හැනිං

හුටු-ටුට්සි-ට්වා බෙදීම පිළිබද යුරෝපීය ප්‍රවාද​


හුටු-ටුට්සි-ට්වා බෙදීම වාර්ගික මෙන්ම සමාජ​-ආර්ථික ලක්‍ෂන ද සහිත එකක් බව ඉහත සඳහන් කෙරිනි. ප්‍රධාන වශයෙන් ටුට්සි වරු එඬේරුන් ද​, හුටු වරු ගොවියන් ද ට්වා වරු දඩයක්කරුවන් ද වූහ​.

මේ කණ්ඩායම් අතර අහාර පුරුදු වල වෙනස් කම් නිසා ශාරීරික වෙනස් කම් පැවතිනි. දඩයක්කරුවන් වූ ට්වා වරු තම ආහාරයේ පෝෂන ඌනතා නිසා ඉතා මිටි වූහ​. ජර්මානුන් ට්වා වරු පරිණාමයේ පහල අඩියක උන් අර්ධ මනුෂ්‍යයන් ලෙස සැලකූ අතර ඔවුන් හැඳින්වීමට ට්වා යන යෙදුම වෙනුවට අපහාසාත්මක "පිග්මි" යන යෙදුම පාවිච්චි කරන ලදී. පිග්මින්ට කිසිම සමාජ ආර්ථික වරපරසාදයක් නොලැබිනි.

ගොවියන් වූ හුටු වරු තම ප්‍රධාන කෘෂි බෝග මත පදනම් වූ ආහාරය නිසා තරමක් මිටි සහ මහත සිරුරු ඇත්තෝ වූහ​. ඒ අතර ටුට්සි වරු ගව මස් සහ කිරි බහුල ආහාරයක් ගත් නිසා ඔවුහු උස, කෙට්ටු සහ ශක්තිමත් සිරුරු ඇත්තෝ වූහ​.
හුටු ටුට්සි සහ ට්වා වරු අතර වෙනස් කම් දැක්වෙන චිත්‍රයක්

ජර්මන් වරු මෙය වර්ගීකරණය කළේ හුටු වරු ස්වදේශික බන්ටු වරු වන අතර​, ටුට්සි වරු ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් සංක්‍රමනය වූ හැම්ටික් වර්ගයට අයත් ගෝත්‍රයක් ලෙසිනි. හැම්ටික් ගෝත්‍රිකයන් වූ ටුට්සි වරු යුරෝපීයයන්ට සමීප බවත්, ඔවුන් ගේ දිගටි මුහුණු, දික් වූ නාසා සහ උස් සිරුරු වලින් යුත් හැඩහුරුකම වඩා යුරෝපීය බව කියැවිනි.

මේ ව්‍යාජ විද්‍යාත්මක ප්‍රවාද වලින් තුන් ආකාරයකට රුවන්ඩානු සමාජය බෙදීමකට ලක් විය​. තමා හුටු වරුන්ට වඩා උසස් ය යන හැඟීම ටුට්සින්ට ඇති වූ අතර​, ටුට්සින් යනු පිටින් පැමිණි ආක්‍රමනිකයන් පිරිසක් යන හැඟීම හුටු වරුන්ට ඇති විය​. ඒ අතර මේ බෙදීම් වාර්ගික කරණය කළ නිසා එදිරිවාදිකම් වඩා ආක්‍රමනශීලී ස්වරූපයකට පත් කෙරිනි.

ආර්ථික සමාජයීය පෙරළි


මුදල් සහ කෝපි හඳුන්වාදීම නිසා ටුට්සි වරුන් ගේ ගව සම්පතට එතෙක් තිබූ තැන ක්‍රමයෙන් අහිමි වූ අතර ටුට්සි බලය පිරිහීමක්ට ලක් විය​. නමුත් පාලක ටුට්සි පන්තිය විරුද්ධ කර ගැනීම තම පාලනයට අහිතකර බව වටහා ගත් ජර්මානුවෝ ඒ වෙනුවට ටුට්සින් ගේ වාර්ගික උසස් බව පිළිබඳ මිත්‍යාව වැපිරීමෙන් සහ යුරෝපයේ තිබූ ආකාරයේ ප්‍රවේනි දාස ක්‍රමයක් ඇති කර හුටු වරු ටුට්සීන් ගේ ප්‍රවේනි දාසයන් බවට පත් කිරීමෙන් ටුට්සින් තමා වෙත නමා ගත්හ​. ඒ අතර හුටු වරුන්ට මෙතෙක් තිබූ දේශපාලන බලය සම්පූර්නයෙන්ම ටුට්සි වරු අතට පත් කරන ලදී.

මේ ක්‍රමය කෙරහි හුටු විරෝධය වර්ධනය වූ අතර 1911 දී උතුරු රුවන් ඩාවේ හුටු කැරැල්ලක් ඇති විය​. එය ජර්මන් සහයෙන් මැඩලීමට ම්වාමි වරයා සමත් විය​. නමුත් ජර්මන් වරු සමඟ එක්ව හුටු වරුන්ට පහර දීම නිසා ටුට්සි වරු යුරෝපීය යටත් විජිත වාදයේ ඉත්තන් යන හැඟීම හුටු වරු අතර තහවුරු විය​.

බෙල්ජියම් පාලනය​


පළවෙනි ලෝක යුද්ධයේ ජර්මන් පරාජයත් සමඟම ජර්මානු යටත් විජිත ජයග්‍රාහික රටවල් අතර බෙදා දෙන ලදී. රුවන්ඩාව සහ බුරුන්ඩි රාජ්‍යයන් දෙක අයත් වන ලද්දේ අසල් වැසි කොංගෝවේ විශාල යටත් විජිතයකට හිමිකම් කියූ බෙල්ජියමටයි. බෙල්ජිම් වරු මේ රාජ්‍යයන් දෙකම එක් පාලන ප්‍රදේශයක් ලෙස "රුවන්ඩා-උරුන්ඩි" නමින් පාලනය කළහ​.

රුවන්ඩා-උරුන්ඩි ධජය​

බෙල්ජියම් වරු ජර්මන් වරුන්ට වඩා ඉතා දැඩි වශයෙන් මේ රාජ්‍යයන් ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වූහ​. මේ හේතුවෙන් බෙල්ජියම් පාලනය යටතේ රුවන්ඩාවේ සමාජය විශාල පරිවර්තනයකට ලක් විය​.

කෝපි වගාව වඩා ප්‍රචලිත කරන ලද අතර​, ඊට අමතරව මඤ්ඤොක්කා, ඉරිඟු සහ අර්තාපල් වගාවන් ද හඳුන්වා දෙන ලදී. සියළුම ගොවියන්ට තාම් ඉඩම් වලින් යම්කිසි ප්‍රතිශතයක කෝපි වගා කරන ලෙස බල කරන ලද අතර​, බෙල්ජිම් පාලකයන් ටුට්සි ප්‍රාදේශීය නායකයන් හරහා මේ නීති ඉතා දැඩි ලෙස පනවන ලදී. මේ නිසා වරින් වර රුවන්ඩාවේ සාගතයන් ඇති විය​. ජනගහණයෙන් විශාල පිරිසක් මිය යන ලදී.

සාගතයෙන්, ප්‍රාදේශීය කැරලි වලින්, සහ දරුණු බෙල්ජියම් පාලනයෙන් මිදීමට රුවන්ඩා ජාතිකයන් අසල්වැසි කොංගෝවට සහ උගන්ඩාවට පලා යන ලදී. මීට අමතරව රුවන්ඩා ජාතියන් පතල් කම්කරුවන් ලෙස කොංගෝවට ගෙන යාමටද බෙල්ජියම් වරු කටයුතු කළහ​. මේ රුවන්ඩා ඩයස්පෝරාව "බන්‍.යරුවන්ඩා" ලෙස හැඳින්වේ.

කොංගෝවේ පතලක වැඩ කරන රුවන්ඩා ජාතික කම්කරුවන්

බෙල්ජියම් පාලනය යටතේ හුටු-ටුට්සි බෙදීම්


බෙල්ජියම් වරු ජර්මන් පාලනය යටතේ ඇරඹුනු වාර්ගික බෙදීම වඩා තීව්‍ර කරමින් සෑම පුද්ගලයෙක්ටම "වාර්ගික හැඳුනුම්පතක්" ලබා දීමට කටයුතු කළහ​. මේ සඳහා සෑම පුද්ගලයෙක්ම හුටු හෝ ටුට්සි වශයෙන් පැහැදිලිව හඳුනාගැනීම අවශ්‍යය වූ නිසා මිනිසුන් ගේ හිස් කබලේ ධාරිතාව​, නාසයේ දිග, ඇස් වල හැඩය, උස ආදී ශාරීරික ලක්‍ෂන මැනීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී. මෙලෙසින් එක් රැස් කරන ලද දත්ත අනුව ටුට්සි වරයෙක් වීමේ "ශාරීරික සුදුසුකම්" අර්ථ දක්වන ලදී.

රුවන්ඩා ජාතිකයෙක් ගේ නාසයේ දිග සහ ඇසේ හැඩය මැනීම​

එක් රැස් කරන ලද දත්ත​
නමුත් මේ නිගමන ව්‍යාජ ප්‍රවාදයන් මත පදනම් වූ නිසා සත්‍ය වශයෙන් ක්‍රියාවට නැංවීමේදී නොයෙක් ගැටළු මතු විය​. බොහෝ ටුට්සි වරු ටුට්සි වරයෙක් වීමේ "සුදුසුකම්" සපුරා ලීමට අපොහොසත් වූහ​. එබැවින් ඉහත සුදුසුකම් වලට අමතරව හරකුන් දහයක් හෝ වැඩි ගණනක් හිමි වීමද "සුදුසුකමක්" වශයෙන් සලකන ලදී. 

1926 දී මෙම වාර්ගික හැඳුනුම්පත් නිකුත් කරන ලද අතර, එතැන් පටන් සියළුම රුවන්ඩා ජාතිකයන් වෙනස් කළ නොහැකි ලෙස හුටු හෝ ටුට්සි වරයෙක් ලෙස වර්ග කරන ලදී. සාම්ප්‍රදායික බෙදීම මුලිනුපුටා දමා හුටු-ටුට්සි බෙදීම පිරිසිදු වාර්ගික බෙදීමක් කිරීමේ ක්‍රියාවලිය එලෙස සම්පූර්න විය​.

වාර්ගික හැඳුනුම්පතක්


රෝමානු කතෝලික පල්ලිය රුවන්ඩාවේ ව්‍යාජ ඉතිහාසය ස්ථාපනය කිරීමේ විශාල කාර්‍ය භාරයක් කළේය​. රටේ අධ්‍යාපනය මුළුමනින්ම පාහේ භාර වූ කතෝලික පල්ලියට වූ අතර​, ඔවුන් මෙම නිර්මානය කරන ලද ව්‍යාජ ඉතිහාසය තම මිෂනරි පාසැල් වල ඉගැන්වූය​. අධ්‍යාපනය මුළුමනින්ම පාහේ ටුට්සි වරුන්ට සීමා කරන ලදී.

සාගත​​


බලෙන් පටවන ලද කෝපි වගාව නිසා ඇතිවූ සාගතයන් ගෙන් හුටු ගොවිබිම් විනාශ වූ අතර එය ටුට්සි ඉඩම් හිමියන්ට ද තදින් බලපාන ලදී.  1928-29 කාලයේ ඇති වූ සාගතයකින් පසු ම්වාමි වරයා වූ යුහී මුසින්ගා ප්‍රමුඛව ටුට්සි වරු බෙල්ජියම් පාලනයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර​, 1931 දී බෙල්ජියම් වරු එය පහසුවෙන් මැඩ පැවැත්වූහ​. කැරැල්ල අවසානයේ යුහී මුසින්ගා බලයෙන් පහ කරන ලද අතර ඔහුගේ වැඩිමල් පුත් චාල්ස් මුටාරා ම්වාමි වරයා ලෙස පත්කරන ලදී.

යුහී මුසින්ගා
චාල්ස් මුටාරා 1943 දී කතෝලික සමය වැළඳ ගත්තේය​. කතෝලිකයන්ට විශේෂ වරප්‍රසාද ලැබෙන තත්වයක් යටතේ රටේ විශාල පිරිසක් ම්වාමි වරයා අනුගමනය කළහ​.

චාල්ස් මුටාරා
1943-44 කාලයේ දී රුවන්ඩාවේ නිපදවන ආහාර කොංගෝවට යැවීමේ බෙල්ජියම් ප්‍රතිපත්තිය නිසා තවත් සාගතයක් ඇතිවිය​. එය අද හැඳින්වෙන්නේ "රුසගයුරා සාගතය" නමිනි. පණස් දහසකට අධික ප්‍රාමානයක් මිය ගිය අතර​, ලක්‍ෂයක් පමණ පිරිසක් අසල්වැසි උගන්ඩාවට පලා ගියහ​.

හුටු බලයේ වර්ධනය


දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමඟම රුවන්ඩාව සහ බුරුන්ඩි එක්සත් ජාතීන් ගේ සංවිධානයට අයත් පාලන ප්‍රදේශයක් බවට පත් කරන ලද අතර එහි පරිපාලකයා ලෙස බෙල්ජියම දිගටම කටයුතු කළේය​.

එක්සත් ජාතීන් ගේ පාලනය යටතේ චාල්ස් මුටාරා ඉඩම් ප්‍රතිසංකරණ ක්‍රියාත්මක කරන ලද අතර​, එමගින් හුටු වරුන්ට වඩා වැඩි බලයක් හිමි වන ලදී. මේ අතර රහස් ඡන්ද මගින් මහජන නියෝජිතයන් පත්කර ගැනීම පටන් ගන්නා ලදී. එමගින් හුටු බලය තව දුරටත් වර්ධනය විය​. හුටු වරු වැඩි වැඩියෙන් කතෝලික ආගම වැළඳ ගන්නා තත්වයක් යටතේ කතෝලික පල්ලියද හුටු වරුන්ට වැඩි දේශපාලන සහ ආර්ථික බලයක් ලබා දීමට පක්‍ෂව කටයුතු කිරීමට පටන් ගත්තේය​.

1954 දී එතෙක් ක්‍රියාත්මක වූ ප්‍රවේනි දාස ක්‍රමය අහෝසි කරන ලදී. 


No comments:

Post a Comment