Wednesday, December 23, 2015

රුවන්ඩාව​ - 1



රුවන්ඩාව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි.

භූමි ප්‍රමානය : වර්ග කිලෝමීටර​ 26,338 (ලංකාව මෙන් 40%)
ජනගහණය : මිලියන 11.26 (ලංකාව මෙන් 56%)
ජනගහණ ඝනත්වය : වර්ග කිලෝමීටරයට​ 445
අගනුවර : කිගාලි
භාෂා : කින්.යාරුවන්ඩා, ප්‍රංශ, ඉංග්‍රීසි
ජනවර්ග : හුටු (85%) ටුට්සි (13%) ට්වා(1%)
ආගම් : කතෝලික (57%) ප්‍රොතෙස්තන්ත (26%) වෙනත් ක්‍රිස්තියානි (11%) මුස්ලිම් (5%)


රුවන්ඩාවේ අසල්වැසි රාජ්‍යයන් වන්නේ කොංගෝව​, උගන්ඩාව​, ටැන්සානියාව සහ බුරුන්ඩි යන රාජ්‍යයන් ය​.
අප්‍රිකාණු මහද්වීපය තුළ රුවන්ඩාවේ පිහිටීම​

යටත් විජිත සමයට පෙර ඉතිහාසය​

රුවන්ඩාවේ මුල්ම මිනිස් ජනාවාස ඇරඹෙන්නේ ක්‍රි.පූ. 3000 දී පමණ ට්වා (පිග්මි) ගෝත්‍රිකයන් එරටට පැමිණීමෙනි. ඉන්පසු හුටු සහ ටුට්සි ලෙස හැඳින්වෙන ජන කණ්ඩායම් ද පසුකාලීනව එරටට සංක්‍රමනය වූහ​. මේ සියළුම ජන කණ්ඩායම් වල එකතුවෙන් බන්.යරුවන්ඩා (රුවන්ඩාවේ මිනිසුන්) නම් සංස්කෘතික ඒකකය නිර්මානය වූ අතර​, ට්වා, හුටු සහ ටුට්සි වරු එය තුළ උප කණ්ඩායම් ලෙස පැවතිනි.

බන්.යරුවන්ඩා වරු කින්.යාරුවන්ඩා නම් එකම භාෂාවක් කතා කළ අතර ඔවුන් ගේ සංස්කෘතිය ද බොහෝ දුරට සමාන විය​. නමුත් ට්වා වරු ජීවනෝපාය ලෙස නියැලුනේ දඩයම වූ අතර ටුට්සි චරු එඬේරුන් ලෙසද හුටු වරු ගොවියන් ලෙසද කටයුතු කළහ​.

ටුට්සි - හුටු බෙදීම ජනවාර්ගික බෙදීමක ලක්‍ෂන මෙන්ම සමාජ​-ආර්ථික බෙදීමක ලක්‍ෂනත් සහිත වූ සංකීර්ණ එකක් විය​. ටුට්සි වරු එඬේරුන් වූ අතර හුටු වරු ගොවියන් වූහ​. නමුත් මෙම දෙපිරිස අතර ආවහ​-විවාහ ඇති වූ අතර​, හරකුන් යම්කිසි ප්‍රමානයක් අත්කර ගැනීමෙන් හුටු වරයෙක්ට ටුට්සි වරයෙක් බවට පත්විය හැකි විය​. එමෙන්ම තමා සතු හරකුන් අහිමි වූ ටුට්සි වරයෙක් හුටු වරයෙක් බවට පත්විය​. විශේෂයෙන්ම ධනවත් ටුට්සි වරු සහ ධනවත් හුටු වරු අතර වෙනස ඉතා අල්ප වූ නමුත්, ධනවත් ටුට්සි වරු සහ දුප්පත් ටුට්සි වරු අතර වෙනස පැහැදිලි එකක් විය​.

එඬේරුන් වූ ටුට්සි වරු ක්‍රමයෙන් අනෙකුත් කණ්ඩායම් දෙකට වඩා ධනය සහ දේශපාලන බලය වර්ධනය කර ගත් අතර​, එකොළොස් වන සියවස වන විට වර්තමාන රුවන්ඩාවට අයත් ප්‍රදේශය රුවන්ඩාව නම් ටුට්සි පාලකයෙක් යටතේ පාලනය වුනු රාජධානියක්ව පැවතිනි. මෙම පාලකයා හඳුන්වන ලද්දේ "ම්වාමි" යන නමිනි.

ට්වා, හුටු සහ ටුට්සි වරු රුවන්ඩාවට දකුණින් පිහිටි ප්‍රදේශ වලට ද සංක්‍රමනය වූ අතර​, එම ප්‍රදේශ බුරුන්ඩි නමින් වෙනම රාජධානියක් ලෙස පැවතුනු අතර​, එහි පාලකයා වූයේද ටුට්සි වරයෙකි. රුවන්ඩාව සහ බුරුන්ඩි දේශපාලනිකව වෙනම ඒකකයන් වුවත්, සංස්කෘතික වශයෙන් සම්පූර්නයෙන්ම පාහේ එකිනෙකාට සමාන විය​.

ම්වාමි වරයා ප්‍රධාන කරගත් මධ්‍යගත පාලන ක්‍රමයක් රුවන්ඩා රාජධානියේ පැවතුනු අතර, ඔහුට උපදෙස් දීමට ජන ප්‍රධානීන් ගෙන් සමන්විත කවුන්සිලයක් විය​. මෙම කවුන්සිලයට හමුදා ප්‍රධානීන් මෙන්ම​, ප්‍රාදේශීය නායකයන් ඇතුළත් විය​. හමුදා ප්‍රධානීන් බොහෝ විට ටුට්සි වරු වූ අතර​, ප්‍රාදේශීය ප්‍රධානීන් හුටු සහ ටුට්සි දෙපිරිසටම අයත් වූහ​.


ම්වාමි කිගේලි රුවබුගිරි සහ ටුට්සි වරුන් ගේ බලය වර්ධනය වීම​

ම්වාමි වරයාගේ බලය වැඩිවීමත් සමඟම ඔහු තමා සතු ඉඩම් තම අනුගාමිකයන් ට පවරා දීමේ සම්ප්‍රදායක් ඇති විය​. මෙම ඉඩම් ලබා ගත් බොහෝ දෙනා ටුට්සි වරු වූයෙන් ක්‍රමයෙන් ටුට්සි වරුන් ගේ ධනය සහ දේශපාලන බලය හුටු වරු අභිභවා වර්ධනය වන්නට පටන් ගත්තේය​. දහ අටවන ශත වර්‍ෂය අග භාගය වන විට ටුට්සි වරු හුටු වරුන්ට වඩා පැහැදිලි බලයක් රුවන්ඩා රාජධානිය තුළ ලබා ගෙන සිටියහ​.

රුවන්ඩා රාජධානියේ ධජය​

1853 දී ම්වාමි වරයා ලෙස කිගේලි රුවබුගිරි පත් විය. ඔහු රණකාමී සහ ප්‍රභල පාලකයෙක් වූ අතර​, ඔහුගේ පාලන සමය තුළ ප්‍රධානියෙක් සතු ඉඩම් වල පදිංචි වීමට සහ වගා කිරීමට නම් වැසියන්ට ප්‍රධානියා වෙනුවෙන් ශ්‍රමය ලබා දීමට සිදුවන පරිද්දෙන් නව නීතියක් හඳුන්වා දෙන ලදී. බොහෝ ප්‍රධානින් ටුට්සි වරු සහ බොහෝ ගොවීන් හුටු වරු වූ නිසා මේ ක්‍රමය යටතේ හුටු වරු ටුට්සි වරුන් ගේ ප්‍රවේනි දාසයන් ගේ තත්වයට පත් කෙරිනි.

මේ වනවිට ජර්මන් ජාතියන් රුවන්ඩාවට පැමිණි අතර​, කිගේලි රුවබුගිරි ඔවුන් ගෙන් ගිනි අවි මිලදී ගෙන තම හමුදාව සන්නද්ධ කළේය​. මෙම ප්‍රභල රුවන්ඩා හමුදාව බටහිරින් පිහිටි කුඩා රාජ්‍යයන් යටත් කර ගනිමින් එම රාජ්‍යයන් තම රාජධානියට ඈඳා ගත්හ​. මෙම නව ප්‍රදේශ වල සිටි ජනතාව රුවන්ඩා රාජධානියට එක් වූ පසු ඔවුන් සැලකුනේ හුටු වරුන් ලෙසිනි. මෙමගින් ද තව දුරටත් තහවුරු වන්නේ හුටු-ටුට්සි යන්න වාර්ගික බෙදීමකට වඩා සමාජ​-ආර්ථික බෙදීමක් බවයි.

කිගේලි රුවබුගිරි 1889 දී මිය යන විට රුවන්ඩාව ප්‍රභල මෙන්ම ශක්තිමත් මධ්‍ය පාලනයක් සහිත සමෘධිමත් දේශයක් විය​. නමුත් ඒ වන විටත් බටහිර යටත් විජිත වාදීන් ගේ අවධානය රුවන්ඩාවට යොමු වී තිබිණි.


කිගේලි රුවබුගිරි


යටත් විජිත සමය​

කිගේලි රුවබුගිරි ගෙන් පසු ම්වාමි තනතුර සඳහා රාජකීය පවුලේ බල අරගලයක් ඇති වූ අතර​, මෙම අරගලයෙන් රාජ්‍යයේ බලය දුර්වල විය​. ජර්මන් ජාතික ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන් 2500 ක හමුදාවක් සමඟ අප්‍රිකාවට පැමිණෙන්නේ මේ අතරය​.

1890 දී බ්‍රසල්ස් හි පැවති සම්මන්ත්‍රනයකින් වර්තමාන රුවන්ඩාව, බුරුන්ඩි සහ ටැන්සානියාව අයත් ප්‍රදේශය ජර්මනියට පවරා දීමට යුරෝපීය ජාතිහු එකඟ වූහ​. මෙම ප්‍රදේශය හැඳින්වුනේ ජර්මන් නැගෙනහිර අප්‍රිකාව නමිනි. ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ පළමු ආණ් ඩුකාරයා ලෙස ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන් 1893 දී රුවන්ඩාවට පැමිනියේය​.

ගුස්ටාව් ඇඩොල්ෆ් වොන් ගොට්සන්

මේ වනවිට රුවන්ඩාවට බටහිරින් පිහිටි කොංගෝව බෙල්ජියමේ යටත් විජිතයක් බවට පත්ව තිබූ අතර​, උතුරින් (වර්තමාන උගන්ඩාවේ) බුගන්ඩා නමින් ප්‍රභල රාජ්‍යයක් පැවතිනි. රුවන්ඩා රාජධානියේ පාලකයන් ගෙන් සමහරක් බෙල්ජිමෙන් සහ බුගන්ඩාවෙන් පැමිණෙන අනතුරට එරෙහිව ජර්මන් වරු සමඟ මිත්‍ර විය යුතු බවට යෝජනා කළ අතර​, තවත් පිරිසක් ජර්මන් වරුන්ට එරෙහිවිය යුතු බවට යෝජනා කළහ​. මෙම බෙදීම ප්‍රයෝජනයට ගත් ජර්මන් වරු රුවන්ඩාව තම අණසකට පත් කළහ​.

නමුත් ම්වාමි වරයා දිගටම බලයේ රැඳුනු අතර​, රුවන්ඩාවේ සාම්ප්‍රදායික සමාජ​-ආර්ථික​-දේශපාලන ව්‍යූහයේ විශාල වෙනසක් සිදු නොවිනි. ජර්මන් වරු පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ම්වාමි වරයාට ඉඩදුන් අතර බදු අය කිරීම පමණක් කළහ​. ඊට අමතරව කතෝලික මිෂනාරි වරු රුවන්ඩා ජාතියනව ක්‍රිස්තියානියට හැරවීමට පටන් ගත්හ​.

ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ ධජය​


1 comment:

  1. හුටා! මං හිතුවෙ මුං දෙගොල්ලම මුස්ලිම් කියල

    ReplyDelete