Monday, February 15, 2016

සිංහල භාෂාව දුප්පත් ද​?

සිංහල භාෂාව දුප්පත් ද​?



ලංකාව අද පත්ව ඇති ඌන සංවර්ධිත තත්වයට හේතුව ලෙස සමහර දෙනෙක් දක්වන හේතුවක් වන්නේ සිංහල භාෂාවයි. සිංහල භාෂාවේ අඩුපාඩු ලෙස ඔවුන් දක්වන හේතු කීපයක් මෙසේය​.

1. අකුරු ගණන වැඩි වීම​
2. ඉස්පිලි, ඇලපිලි ආදිය වැඩි වීම​
3. පර්‍යාය පද වැඩි වීම​
4. කතා කරන භාෂාව සහ ලියන භාෂාව දෙකක් වීම​
5. ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගණන වැඩි වීම​

බොහෝ විට මේ සංසන්දනය කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමඟය​. නමුත් ඔලුගෙඩි තුල ඇති හීනමානය පසෙකින් තබා තරමක් හොඳින් විමසා බැලුවොත් පෙනී යන්නේ සිංහල භාෂාව, විශේෂයෙන්ම ඉංග්‍රීසියට සාපේක්‍ෂව ඉතාමත් දියුණු සහ විද්‍යාත්මක භාෂාවක් බවයි.

අක්‍ෂර මාලාව 

ලිඛිත භාෂාවේ තැනුම් ඒකකය වන්නේ හෝඩිය හෙවත් අක්‍ෂර මාලාවයි. අද ලෝකයේ ඇති හෝඩි ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වනු ලැබේ

1. Alphabetic - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ස්වර සහ ව්‍යංජන කීපයක එකතුවෙනි. උදාහරන : ඉංග්‍රීසි, ග්‍රීක්, ලතින්

2. Abjad - ව්‍යංජන සඳහා පමනක් සංකේත ඇත​. ස්වර සඳහා සංකේත නැත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ එහි ව්‍යංජනාක්‍ෂර වලින් පමනි. අවස්ථාව අනුව ස්වර කවරේදැයි කියවන්නා උපකල්පනය කළ යුතුය​. උදාහරන : අරාබි, හිබෲ

3. Abugida - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත​. ශබ්ධයක් නිරූපනය කරන්නේ ව්‍යංජනාක්‍ෂරය සඳහා අමතරව එක් කරන "පිළි" මගිනි. උදාහරණ : සිංහල​, දෙමළ​, ඉතියෝපියානු, තායි

4. Logographic - ශබ්ධ සඳහා සංකේත නැත​. එක් එක් භාෂාමය අදහසක් සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරන : චීන, කන්ජි (ජපන්)

5. Syllabic - එක් එක් ශබ්ධය සඳහා වෙන වෙනම සංකේත ඇත​. උදාහරණ : කනා (ජපන්)

මේ වර්ගීකරනය අනුව ඉංග්‍රීසි Alphabetic හෝඩියක් වන අතර සිංහල Abugida හෝඩියකි.

වඩා විද්‍යාත්මක ලිවීමේ ක්‍රමය වන්නේ Abugida බව අමුතුවෙන් කිව යුතු නැත​.

Alphabetic ක්‍රමයේදී, උදාහරණයකට ඉංග්‍රීසි භාෂාවේදී, ශබ්ධයක් නිරූපනය කිරීම සඳහා අක්‍ෂර කීපයක එකතුවක් යොදාගත යුතු වේ. උදාහරණයකට "බි" ශබ්ධය නිරූපනය සඳහා "bi" යන අක්‍ෂර දෙකේ එකතුවක් යොදා ගනී. සිංහල භාෂාවේදී එය කරන්නේ මූලික ව්‍යංජනාක්‍ෂරය වන "බ​" සඳහා පිල්ලමක් යෙදීමෙනි.

ඉංග්‍රීසියේදී මෙය කර ඇත්තේ එහෙම්පිටින්ම අච්චාරුවක් ආකාරයෙනි. උදාහරන කීපයකින් මෙය මනාව පෙන්වාදිය හැක​.

"ඉ" ශබ්ධය "i" මගින් නිරූපනය කෙරෙන විට "ඊ" නිරූපනය කෙරෙන්නේ "ee" මගිනි. තර්කානුකූලව නම් එය "ii" විය යුතුය​.

"උ" ශබ්ධය "u" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඌ" නිරූපනය කෙරෙන්නේ "oo" මගිනි. තර්කානුකූලව නම් එය "uu" විය යුතුය​.

"ඔ" ශබ්ධය "o" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඕ" සඳහා සමහර විට "oa" යෙදෙන අතර (oak) සමහර විට "o" යෙදේ (dog).

"a" අකුර සමහරවිට "අ" සඳහා යෙදෙන අතර (normal) සමහරවිට "ආ" සඳහා යෙදේ (arm). සමහරවිට "ඇ" සඳහා යෙදේ (bat). සමහරවිට "ඒ" සඳහා යෙදේ (save).

සමහර අවස්ථා වලදී තාර්කික භාවයට එහෙම්පිටින්ම පයින් ගසා "අ" ශබ්ධය සඳහා "u" යොදා ගනී (but).

බොහෝ අක්‍ෂර වින්‍යාසයන් කුමන අවස්ථාවේ කුමන ආකාරයෙන් යෙදේදැයි කියවන්නා හෝ ලියන්නා දැනගත යුත්තේ මතකයෙන් පමනි. එහි කිසිම තාර්කික බවක් නැත​. "cat" කට් නොවී කැට් වන්නේත්, "cut" කුට් නොවී කට් වන්නේත් ඇයිදැයි දන්නේ ඉංග්‍රීසි භාෂාව හැදූ එකාගේ බාප්පා පමණි.

මේ විකාර සහගත භාවිතය නිසා බොහෝ ශබ්ධකෝෂ වල ඉංග්‍රීසි වචන උච්චාරනය කළ යුතු ආකාරය දැක්වීමට වෙනම සංකේත පද්ධතියක් භාවිතා කෙරේ (water - wɔːtə).

මෙවැනි උදාහරණ දහස් ගණනක් දැක්විය හැක​.

නමුත් සිංහල භාෂාවේ මතක තබා ගත යුත්තේ අකුරු පණස් හතර සහ පිල්ලම් යෙදෙන ආකාරය පමණි. පිල්ලම්‍ යෙදෙන ආකාරය අවස්ථා සුළු ගණනක (නු සහ කු වැනි) හැරුණු විට සම්පූර්නයෙන්ම ඒකමිතිකය​. තාර්කිකය​. මේ අකුරු සහ පිල්ලම් යෙදෙන ආකාරය දැනගත් අයෙකුට තමා කිසි දිනෙක නොඇසූ ශබ්ධයක් පවා 90% අවස්ථා වල නිවැරදිව ලිවීමේ හැකියාව ඇත.

ඉංග්‍රීසියේ ඇති "spelling bee" තරග සිංහලෙන් තැබිය නොහැක්කේ ඇයි දැයි මදකට සිතා බලන්න​.

මේ හැරුණු විට මිනිස් දිවකට වර නැගියහැකි සියළුම ශබ්ධ පාහේ සිංහලෙන් ලිවිය හැක​. එසේ නොහැකි ශබ්ධ අතලොස්සෙන් එකක් වූ "F" සඳහා දැන් "ෆ" අකුර හඳුන්වාදී ඇත​. "Z" සඳහා පමණක් තවම අකුරක් නැත​. එය හඳුන්වාදීමත් මහ ලොකු කාරියක් නොවේ. ඊට අමතරව සමහර අප්‍රිකානු භාෂා වල ඇති "ක්ලික්" ශබ්ධ සඳහා සිංහල අකුරු නැත​.

නමුත් ඉංග්‍රීසි භාෂාවේ නොයෙදෙන ශබ්ධ එමටය​. ඒ ශබ්ධ ඉංග්‍රීසි දිවට නුහුරුය​. උදාහරණයකට "මඤ්ඤොක්කා" "පිට්ඨමාංසිකයා" වැනි වචන ඉංග්‍රීසි කතා කරන්නෙකුට නිවැරදිය උච්චාරනය කිරීම සිහිනයකි. එපමනක් නොව ඒ වචන හැරි හැටි ලිවීමට පවා ඉංග්‍රීසියේ පහසුකම් නැත​. "ඨ​" ශබ්ධය ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද​?

ප්‍රාදේශීය ප්‍රබේධ ගතහොත් ඉංග්‍රීසිය යනු එහෙම්පිටින්ම කැඳ හැළියකි. නමුත් මෙය එතරම් සාධාරන කතාවක් නොවන්නේ ඉංග්‍රීසිය ලොව පුරා පැතිරී ඇති හෙයිනි. කෙසේ නමුදු ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව ඉංග්‍රීසිය ලියන ආකාරය (colour - color) උසුරුවන ආකාරය (බැට්‍රි - බැටරි) පමණක් නොව යෙදුම් පවා හාත්පසින්ම වෙනස් ය​. ඇමරිකාවේ ගෙටෝ වාසී කලු ජාතිකයෙකු කතා කරන (එබොනික්ස් යන අවමන් සහගත පදයෙන් හඳුන්වන​) ඉංග්‍රීසි භාෂාව අපිට තේරුම් ගත නොහැකි තරම් වෙනස් ය​.

"නිවැරදි" ඉංග්‍රීසිය කුමක්දැයි සිතා ගත නොහැකි තරමට මේ වෙනස් කම් ප්‍රචලිත වී ඇත​. තාර්කිකව ගතහොත් "නිවැරදි" ඉංග්‍රීසිය විය යුත්තේ එංගලන්තයේ කතා කරන ඉංග්‍රීසිය වුවත්, පරිගණක වල "colour" ලෙස ටයිප් කල වචනයක් නිවැරදි වචනයක් ලෙස හඳුනා නොගනී. ඒ ඇමරිකන් කාරයාගේ මුදලේ බලයට පින් සිදු වන්නටය​.

පර්‍යාය පද


පර්‍යාය පද (සමාන වචන​) වැඩි වීම නිසා සිංහල භාෂාව අනවශ්‍යය ලෙස සංකීර්න වී ඇති බව තවත් චෝදනාවකි.

ඉංග්‍රීසි භාෂාවේ පර්‍යාය පද නැතැයි යමෙකුට සිතිය හැකි වුවත් ඒ ඉංග්‍රීසියට කරන නිගරුවකි. පර්‍යාය පද නොමැති වීමට තරම් ඉංග්‍රීසිය දුප්පත් බසක් නොවේ. උදාහරණයකට "water" යන්නට පර්‍යාය පද ලෙස "aqua" සහ "hydro" දැක්විය හැක​.

ඇත්තටම පර්‍යාය පද අවශ්‍යය වන්නේ ඇයි?

"වතුර" යන සංකල්පය අපිට සැමවිටම එකම ආකාරයේ හැඟීම් ජනිත නොකරයි. ජල ගැල්මකදී වතුර ගැන ඇතිවන හැඟීම පිපාසයෙන් පෙළෙන කෙනෙකුට දෙන වතුර වීදුරුවකින් ඇති නොවේ. ඒ සම්පූර්නයෙන්ම වෙනස් හැඟීම් දෙකකි. මේ වෙනස් හැඟීම් ඇඟවීමට පර්‍යාය පද යොදා ගනු ලැබේ. ඒ මගින් කියවන්නාට වඩා පැහැදිලි ලෙස පණිවුඩය සන්නිවේදනය කළ හැක​.

"පිරිත්වතුර" කියා දෙයක් කොහෙවත් නැත​. ඒ වගේම "පැන් ගැල්මක්" කොතැනවත් ඇති නොවේ. "පැන්" වචනයෙන් අඟවන්නේ ප්‍රියජනක හැඟීමකි. "වතුර​" සහ "ජල​" යෙදුම් ඊට වඩා අපක්‍ෂපාතීය​. අරක්කු පානයෙහි ප්‍රිය අයෙක් "මත්පැන්" ලෙස හඳුන්වන දේ අමධ්‍යප පුද්ගලයෙක් "මත්වතුර" ලෙස හැඳින්වූ විට ඔහු අරක්කුවලට දක්වන විරෝධය ඉන් මැනවින් සන්නිවේදනය වේ.

ඉංග්‍රීසිය මේ තරම් දියුණු නැත​. නමුත් ඉංග්‍රීසියේ පර්‍යාය පද නැති බවක් ඉන් අදහස් නොකෙරේ. "water power plant" ලොව කොහෙවත් නැත​. ඇත්තේ "hydro power plant" ය​.

පර්‍යාය පද අඩු වීමෙන් බස වඩා සරළ වී තාක්‍ෂනික භාවිතයට වඩා සුදුසු බව කියැවේ. මෙය සම්පූර්නයෙන්ම වැරදි මතයකි.

සිංහලයේද තාක්‍ෂනික යෙදුම් සඳහා භාවිතා කෙරෙන්නේ චවන අතලොස්සකි. කොත්මලේ ඇත්තේ "ජල විදුලි බලාගාරයකි". "පැන් විදුලි බලාගාරයක්" නොවේ. "දිය විදුලි බලාගාරත්" කොහෙවත් නැත​. තාක්‍ෂනික භාවිතයට පමණක් සිංහලය යොදා ගන්නා කෙනාට ඒ සඳහා යෙදෙන වචන අතලොස්ස දැන ගැනීම පමණක් සෑහේ. සිංහලයේ වතුරට පර්‍යාය පද විසි ගණනකි. නමුත් ජල විදුලි බලාගාර ගැන කියවන්නට "ජලය​" පමණක් දැන් ගැනීම ප්‍රමානවත් ය​.

කියන බස සහ ලියන බස​


සිංහලයේ කතා කරන බස සහ ලියන බස දෙකකි. ඉංග්‍රීසියේද එසේය​. ඒ එසේ නොවේ කියන්නා හරි හැටි ඉංග්‍රීසි නොදන්නා පුද්ගලයෙකි.

ඉංග්‍රීසියෙන් තාක්‍ෂනික පොතක් ලියන්නේ යාළුවන් සමඟ හවසට බාර් එකේ අඩියක් ගසන ගමන් කතා කරන ඉංග්‍රීසියෙන් නොවේ. "above mentioned items were tested more than two years ago" ලෙස ලිවිය යුතු තැන "dude, you know the stuff I was talking about before, we tested them like two years ago" ලෙස ලිව්වොත් එය විහිළුවක් වේ.

එකම වෙනස වන්නේ කතා කරන ඉංග්‍රීසි භාෂාවේ වියරණ පිළිබඳ කතා කරන සිංහල භාෂාවට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වීමයි. එය ඉංග්‍රීසි ලිවීමට ලෙහෙසියක් නොව කතා කිරීමට අපහසුවක් පමණි.


සිංහල සමඟ දියුණු විය නොහැකි ද​?



සිංහල බසේ අඩු පාඩු නිසා දියුණු විය නොහැකියි කියන වැරදි මතය බිඳීමට උදාහරණ දෙකක් දිය හැක​. ඒ චීනය සහ ජපානයයි.

චීන හෝඩිය "logographic" හෝඩියකි. එනම් සෑම අදහසක් සඳහා වෙන වෙනම අකුර බැගින් ඇත​. සාම්ප්‍රදායික චීන හෝඩියේ අකුරු දහස් ගණනක් ඇත​. ඊට අමතරව ඉතිහාසයේ වරින් වර විවිධ උගතුන් මේ හෝඩිය වඩා සරළ කිරීමට ගත් උත්සහයන් නිසා "සරළ කරන ලද​" චීන හෝඩි ගණනාවක් ද ඇත​.

ජපන් හෝඩි තුනක් ඇත​. ප්‍රධාන හෝඩිය වන කන්ජි හෝඩිය චීන බස මත පදනම් වූ "logographic" හෝඩියකි. එහි නිතර භාවිතා වන අකුරු 2000 පමණ ඇති අතර සාමාන්‍යය උගතෙක් අකුරු 5000 පමණ භාවිතා කරයි. මුළු කන්ජි අකුරු ගණන 50,000 පමණ වේ.

කන්ජි අකුරු වලින් ප්‍රකාශ කළ නොහැකි අදහස් ප්‍රකාශ කිරීම සඳහා "හිරගනා" නම් අකුරු 46 ක වෙනත් හෝඩියක් යොදා ගැනේ. මෙය "syllabic" ආකාරයේ හෝඩියකි.

විදේශීය භාෂා වලින් ණයට ගත් වචන ලිවීම සඳහා අකුරු 46 ක "කතකනා" නම් තවත් හෝඩියකි. එයත් "syllabic" ආකාරයේ හෝඩියකි.

ජපන් බසින් ලිවීමේදී මේ හෝඩි තුනේම අකුරු මිශ්‍රව භාවිතා වේ. ඊට අමතරව ජපන් බසේ තිත්, කොමා වැනි විරාම ලක්‍ෂන​, වචන කැඩීම අදිය නැත​. මේ නිසා ජපන් ලියැවිල්ලක් පෙනෙන්නේ එක ගොඩට ලියූ අකුරු සමූහයක් ලෙසිනි.

ජපන් බස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ලෝකයේ අමාරුම බස ලෙසයි.

අද ලෝකයේ තාක්‍ෂනික නිපැයුම් වලින් අඩක පමණ මුල් බිම චීනයයි. ජපානය අද ලෝකයේ තාක්‍ෂනික සහ ආර්ථික දැවැන්තයෙකි. ඉතින් මේ සා අතාර්කික අපහසු භාෂා සමඟ මෙවැනි තාක්‍ෂනික ජයග්‍රහන ලැබීමට ජපනුන්ට සහ චීනුන්ට හැකි නම්, සිංහල වැනි තාර්කික​, පහසු, විද්‍යාත්මක බසක් සමඟ තාක්‍ෂනයට මුහුණ දිය නොහැකියි කියන්නේ අදක්‍ෂ​, නිර්මානශීලි නොවන පුස්සන් පමණි.


තාක්‍ෂනික සිංහල​


සිංහලෙන් තාක්‍ෂනික අදහස් පළ කළ නොහැකියි යන මතයට ප්‍රධාන හේතුවක් වන්නේ "transformer"එකට "තරාපැවිය​"ත් "universal joint" එකට "සර්වලෝක පූට්ටුව"ත් ලෙසින් තාක්‍ෂනික යෙදුම් සැදූ පඬියන් ය​.

වෙනත් භාෂා වලින් වචන ණයට ගැනීම කිසිසේත්ම ලැජ්ජාවට කාරණයක් නොවේ. සිංහලෙන් මටසිළුටු සහ කියන විට අරුත වැටහෙන සරළ වචනයක් (transformer - පරිණාමකය​, bicycle- පාපැදිය​) සෑදිය නොහැකි නම් කල යුත්තේ විදෙස් වචනය සිංහල ආරට ඔපමට්ටම් කර පාව්ච්චි කිරීමය​. එසේ නොමැතිව කියවන විට දිව උළුක් වන කුණුහරුපයක් නිර්මානය කිරීම නොවේ.

beer වෙනුවට "බීර​" යන්න එලෙස ඔපමට්ටම් කර තැනූ කදිම චවනයකි. මෙය අපි අනාදිමත් කලක සිට කර ඇත​. කමිස, කලිසම්, කොකිස්, සපත්තු, අල්මාරි, කුස්සි පමණක් නොව කක්කුස්සි ද පර භාෂා වලින් අපි ණයට ගත් වචනයි. නමුත් දැන් ඒවා සිංහල වචනයි.

මේ සඳහා අවශ්‍යය ලස්සන මට​සිළුටු වචන නිර්මානය කළ හැකි සිංහල උගතුන් සහ​, ඒ වචන උගෙන ඉංග්‍රීසි තාක්‍ෂනික පොත් සිංහලට පරිවර්තනය කල හැකි තාක්‍ෂනික උගතුන් පමනි.

ජපනා ඉංග්‍රීසි වචනයක් වත් නොදැන ලොව දෙවන විශාලම ආර්ථිකය ගොඩ නැංවුයේ නම්, මේසා අනගි බසක් සමඟ අපිට ඉන් බාගයක් වත් දියුණු විය නොහැකි නම් මඩු වලිගයකින් තලා ගත යුත්තේ අපටම මිස බසට නොවේ.

3 comments:

  1. අවුල සිංහලයේ නොවේ, සිංහලයාගේ චින්තනයයි. නව සංකල්ප, නව නිර්මාණ වෙනුවට "අපි මෙච්චරකල් හිටියෙ ඔය මුකුත් නැතුව" නම් "ලද දෙයින් සතුටුවන්න නොහොත් කම්මැලි කම වරදක් නොවේ" යන කාලකන්නි චින්තනයයි. එය වසා ගැනීමට උන් බණ්ඩාට බනිති.

    ReplyDelete
  2. ලස්සන ලිපියක්... ශ්‍රී ලාංකිකයන් දුප්පත් වී සිටින්නේ සිංහල බස නිසා බව නම් මා අසා නැත... ඉහතදී ඉන්දික කියා ඇති පරිදි අවුල සිංහල බසෙහි නොව සිංහලයා සිතන පතන විදිය හා පුරුදු වී ඇති සංස්කෘතිය තුලයි පවතින්නේ (මේ ගැන කතා කරන්නට ගියොත් නවුතෙට දේශපාලනයත් කතා කරන්නට සිදු වේවි)...

    ඇත්තටම ව්‍යවහාරික භාෂා සැසඳීම ශාස්ත්‍රියව සිදු කළ හැකි දෙයක් වුවත්, යම් බසක් තවත් බසකට වඩා උසස් හෝ පහත් යැයි ඔප්පු කළ නොහැකි යැයි මාගේ කල්පනාවයි. ඒ ඒ බසක් සංවර්ධනය වී තිබෙන්නේ එම බස ව්‍යවහාර කළ අය හා පාරිසරික සාධක අනුවයි.

    මා කැමතියි ඔබ ලියා ඇති සමහර කරුණු කිහිපයක් ගැන අදහස් දක්වන්නට. ප්‍රාදේශික ව්‍යවහාරයන් (dialects) තිබීම විශාල ගැටලුවක් නොවේ. ස්වාභාවිකවත් ජනසන්නිවේදන මාධ්‍යයවල දියුණුවත් සමගම ප්‍රාදේශික ව්‍යවහාරයන්ට ස්වාභාවික මරණය අත්වෙමින් පවතිනවා. එහෙත් සම්මතයන් අනුගමනය නොකිරීම නම් විශාල ප්‍රශ්නයක්. උදාහරණයක් ලෙස, ඇමරිකාවේ මිනුම් සඳහා භාවිතා වන්නේ අන්තර්ජාතික සම්මත (එස් අයි) ක්‍රම නොවන නිසා, ඇමරිකාවේම වාර්තා අනුව වසරකට ඩොලර් බිලියන ගණනක පාඩුවක් ඔවුන් ඉන් ලබනවා. (එහෙත් එය භාෂාවේ ප්‍රශ්නයක් නොවේ)...

    ඔබ කියන පරිදි ඇල්ෆබටික් ක්‍රමයට වඩා අබුජිඩා ක්‍රමය උසස් (හෝ පහත් නැත). ඒවා නිකංම ක්‍රම දෙකක් පමණි. ඉංග්‍රිසි බස ෆොනෙටික් නොවීම හා සිංහලය ෆොනෙටික් වීම වෙනමම කතාවකි. එස්පැරැන්ටෝ හෝඩිය ඇල්ෆබටික් මෙන්ම ෆොනෙටික් ද වේ. තවත් අතකින් පහසුව අතින් සලකා බැලුවොත් ඇල්ෆබටික් ක්‍රමය වඩා පහසු වේ (නැවතත් මා කියන්නේ ෆොනෙටික් කතාන්දරය වෙනස් දෙයක් බවයි).

    සිංහලෙන් ඕනෑම ශබ්දයක් කිව හැකි යැයි කිව්වත් එසේ බැරිය. සිංහලට පමණක් නොව ඉංග්‍රිසියට හෝ වෙනත් ඕනෑම බසකට එම හැකියාව නැත. එනිසා එය අමුතුවෙන් බසක දුර්වලකම හො පොහොසත්කම දැක්වීමට සාධකයක් ලෙස නොගත යුතුය. සිංහලෙන් ශබ්ද කළ නොහැකි ශබ්ද ඕනෑ තරම් තිබේ. යම් ශබ්දයක් බසකට අවශ්‍ය නම් එය ඇතුලු කර ගැනීමට බාධාවක්ද නැත.

    කියන බස හා ලියන බස නම් විශාල ප්‍රශ්නයක්. එය අපට පිළිගැනීමට සිදු වෙනවා. උගත්කම, සන්දර්භය ආදී සාධක මත යම් අදහසක් ප්‍රකාශ කරන විදියේ වෙනස්කම් මෙහිදී වැඩක් නැත. ලිඛිතය හා වාචිකය ලෙස ආකාර දෙකක් පැවතීම හා ඒ දෙක අතර විශාල පරතරයක් තිබීම ප්‍රශ්නයක්. ඒ ගැන අපට සුද්දන්ගෙන් වාර්තා අවශ්‍ය නැත. අපොස සාමාන්‍ය පෙළ සිංහල විෂය සමත්වන අයුරු සැලකීමම ප්‍රමාණවත්ය.

    සිංහලයේ අනවශ්‍ය සොහොන් අකුරු ගොඩක් පවතී. ඒවා ඉවත් කර, අමුතුවෙන් එකතු කළ යුතු අක්ෂර කිහිපයත් එකතු කර, ලිඛිත ව්‍යාකරණයක් තවදුරටත් සරල කර අපේ සිංහල බස තවදුරටත් පෝෂණය කළ හැකියි. එය කරන ආකාර කිහිපයක් ගැන මා මගේ බ්ලොගයේ ලියා තිබේ. අපේ බස ශුද්ධ පවිත්‍ර කර ගන්නට ඕන අපමයි. එනිසා අතීතය හා වංශය කබල් නොගා අපි අදට හා හෙටට හොබින අපේ බස සකස් කර ගැනීමයි උචිත වන්නේ.

    ReplyDelete
  3. කට් හා බට් ගැනත් දෙයක් කීමට සිතුණා... cut හා but යන දෙක උසුරුවන විදිය ඇත්තෙන්ම (ෆොනෙටික් නොවීම) තාර්කික නැත. එම ප්‍රශ්නය සිංහලේද තිබේ. ඩ්‍රැගන් යන්න "ඩ්‍රැගන්" ලෙස ශබ්ද කරන්නත්, ධ්‍රැවය යන්න "දෘවය" ලෙස ශබ්ද කරන්නත් හේතුව අර බාප්පාගෙන්ම තමයි අහගන්නට වෙන්නේ. හාහාහා... තන හා තණ දෙකක් තිබෙන්නේ ඇයිද යන්නත් ඔහුගෙන්ම අහල බලමු.

    ReplyDelete