Thursday, August 30, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 60 (සතෝ සහ යෝධ කකුළුවා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සතෝ සහ යෝධ කකුළුවා

(සත්‍ය කතාවකි)

අද දිවෙහි රාජ්ජේ ස්කූබා කිමිදුම් කරුවෝ ඕන තරම් ඉන්නවා. ඒත් දිවෙහි රාජ්ජෙට ආපු පළවෙනි ස්කූබා කිමිදුම් කරුවන් කීප දෙනාගෙන් එක්කෙනෙක් ගැන කතාව දන්නෙ ඉතාම ටික දෙනයි.

ගොඩ කාලෙකට ඉස්සර "සතෝ" කියල ජපන් ජාතිකයෙක් ඔහුගේ බිරිඳත් එක්ක දිවෙහි රාජ්ජේ දකුණු දිග දූපත් වලට ආව​. ඔහු ආවෙ ඔහුගෙම බෝට්ටුවක​. ඔහු දිවෙහි රාජ්ජෙට එද්දි ඔහුගේ තරුණ විය ගෙවී යමින් තිබුනා. සතෝ ගෙ ඇස් වටේ රැළි මතුවෙලා. හිස දෙපැත්තෙ කොණ්ඩෙ සුදු වෙන්න පට්න් අරන්.

ඔහුගේ බෝට්ටුවෙ යකඩ ඔක්සිජන් බෝතල් ගොඩක් සහ බොහොම සද්දෙන් ක්‍රියා කරන වායු පීඩකයක් තිබුනා. අද දිවෙහි රාජ්ජේ කිමිදුම් කාරයෙක් සතෝ ගෙ උපකරණ දැක්කොත් හිනා වෙයි. ඒත් ඒ කාලෙ දිවෙහි රාජ්ජෙ වැසියො ඔක්සිජන් බෝතල් එක්ක කිමිදෙන හැටි දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා යකඩ බෝතලයක් පිටේ බැඳගෙන වතුරේ ගිලෙන මේ පිටරැටියා බොහෝ වේලාවක් වතුර යට ඉන්න එක ඔවුන් දැක්කෙ විශ්ව කර්ම වැඩක් වගේ.

සතෝ මුහුදේ කිමිදිලා දිවෙහි රාජ්ජේ වැසියන් කවදාවත් දැකල තිබ්බෙ නැති පුදුම හිතෙන දේවල් අරගෙන ආව​. මුහුදු කැකිරි, තාරුකා මාළුවෝ, සිප්පි කටු, මුහුදු පණුවෝ සහ හිරු එළිය නොවැටෙන තරම් පතුලේ ජීවත් වෙන අමුතු මාළු ඔහු ගොඩබිමට ගෙනාව​.

සතෝ ගෙ බිරිඳ ඔහුට වඩා ගොඩක් තරුණයි. දිවෙහි රාජ්ජෙ වැසියන්ට ඇයව පෙනුනෙ ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක් වගේ. ඇය කිමිදුනේ නෑ. බෝට්ටුවට වෙලා සතෝ උඩට එනතුරු සිනාපාමින් බලාගෙන හිටියා. සතෝ වගේම ඔහුගේ තරුණ බිරිඳත් බොහොම කරුණාවන්තයි. ආචාරශීලියි. ඔවුන් හැම වෙලේම කතාබහ කලේ මුහුණේ හිනාවකුත් එක්ක​. ඒක තමයි දිවෙහි රාජ්ජෙ වැසියෙක්ට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය​.

හැමෝම සතෝට සහ ඔහුගේ බිරිඳට ආදරය කලා.

සතෝ බොහොම නිර්භීත මනුස්සයෙක්. ඔහු ඉතාම ගැඹුරු සහ භයානක තැන්වල කිමිදුනා. කාලගුණය මොනවගේ වුනත්, වැස්සත්, සුළං තිබුනත්, මුහුද රළු වුනත් සතෝ කිමිදෙන්න ගියා. බෝට්ටුවෙ ඉඳල මුහුදට පනිද්දි ඔහුගේ මුහුණෙ බයක සේයාවක්වත් තිබුනෙ නෑ.

දිවෙහි රාජ්ජේ අතොළු දෙකක් අතර තියෙන ලොකුම ඕඩය තියෙන්නෙ හුවදූ සහ හද්දුන්මති අතොළු අතර​. ඒ සුවදීව් ඕඩය නැත්නම් හුවදූ ඕඩය (හුවදූ කන්ඩු). ඒ ඕඩය පතුලේ මුහුදෙන් වැහුනු ලොකු කඳු වැටියක් තියෙනවා. කඳු වැටියේ උසම මුදුන හැඳින්වෙන්නෙ "දෙරහා" කියල​. ඒක ඉතාම භයානක තැනක්. එතැන පෙනුනේ තද නිල් පාට සාගරය මැද්දෙ තියෙන ලානිල් පාට ලපයක් වගේ. පේනතෙක් මානෙක ගොඩබිමක් තිබුනේ නෑ.

එතැන කිමිදෙන්න සතෝට උවමනා වුනා. ඔහු බෝට්ටුවත් අරගෙන හුවදු ඕඩය මැද්දට ගියා. පළවෙනි පාර කිමිදිලා ආපහු ගොඩ ආපු සතෝ කිව්වෙ ඔහුට මුහුද යට ගුහාවක් හමු වුන බව​. ඔහු අළුත් ඔක්සිජන් බෝතලයකුත් අරගෙන දෙවැනි පාරටත් කිමිදුනා. වතුරට පනිද්දි වෙනද වගේම ඔහුගේ මුහුණෙ කිසිම බයක් තිබුනෙ නෑ.

ඒත් සතෝ ආපහු ගොඩට ආවෙ නෑ. ඔහුගේ තරුණ බිරිඳ ඔහු එනතුරු බොහෝ වෙලා බලාගෙන හිටියා. ඒත් සතෝ ආපහු ගොඩට ආවෙ නෑ.

දකුණු දිග දූපත් වල වැසියෝ කියන්නෙ සතෝට ගුහාව ඇතුළෙදි යෝධ කකුළුවෙක් හමුවුන බවත්, ඒ කකුළුවා ඔහුව ගිල දැම්ම බවත්෴


(රජයේ වාර්තා පිරික්සල බලද්දි පේන්නෙ සතෝ ආපහු ජපානයට ගිය බව​. ඒත් දකුණු දිග දූපත් වාසීන් අතර තියෙන ජනප්‍රවාද වලට අනුව සතෝ කිමිදුම් අනතුරකින් මිය යනවා. ඇත්තටම සිද්ධ වුන දේ කවුරුත් දන්නෙ නෑ.)

- කතාව කිව්වේ කාරංගේ හුසේන් ඩිඩී (ෆුවා මුලාකු දූපත​)

Wednesday, August 29, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 59 (දෙලිකොළු සහ අළිකොළු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

දෙලිකොළු සහ අළිකොළු (අඟුරු කෙල්ල සහ අළු කෙල්ල​​)


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක ගෑණු ළමයි දෙන්නෙක් ජීවත් වුනා. එක්කෙනෙක් ගෙ නම දෙලිකොළු (අඟුරු කෙල්ල). අනිත් එක්කෙනා අළිකොළු (අළු කෙල්ල​).

එක දවසක් මේ දෙන්න කලගෙඩිත් අරගෙන මුහුදට ගියේ මාළු උයන්න මුහුදු වතුර අරගෙන එන්න​. එදා වඩදිය දවසක්. මුහුද බොහොම සැරයි. කෙල්ලො දෙන්න මුහුදට බහින්න බය වුනා.

"ඔයා ඉස්සෙල්ල බහින්න​"

දෙලිකොළු අළිකොළුට කිව්වා.

"නෑ ඔයා බහින්න​"

"ඔයා ඉස්සෙල්ල බහින්න​"

"නෑ නෑ ඔයා ඉස්සෙල්ල බහින්න​. බය වෙන්න එපා. එක පාරටම පනින්න​."

"නෑ ඉස්සෙල්ල බහින්න ඕනෙ ඔයා"

"නෑ ඔයා ඉස්සෙල්ල බහින්න​. මම ඊට පස්සෙ බහින්නම්."

අන්තිමේදි දෙලිකොළු මෙහෙම යෝජනා කළා.

"හොඳයි. අපි දෙන්නම එක සැරේ බහිමු."

ඔවුන් දෙන්න අත් අල්ලගෙන වතුරට බැස්සා.

ඒත් වතුරට බැස්ස විතරයි අළිකොළු වතුරෙ දිය වෙලා ගියා. දෙලිකොළු වතුරෙ පාවෙලා ගියා.

මුහුදු වතුරෙ පාවෙලා පාවෙලා දෙලිකොළු ගහගෙන ගියේ මාමෙලිෆන්නු කියන තැනට​. මාමෙලිෆන්නු වලදි තමයි මාමෙලි දයිතා (දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන චරිතයක්) ගෙ ගෙදර ඉඳල එන පාර මුහුදු වෙරළට වැටෙන්නෙ. මාමෙලි දයිතා ජීවත් වුනේ එයාගෙ දරුවො හත් දෙනත් එක්ක​.

මාමෙලි දයිතගෙ වැඩිමල් දුව එළිබහින්න මුහුදු වෙරළට ගිය වෙලාවෙ ඇය දැක්කා දෙලිකොළු වෙරළට ගොඩ ගහල ඉන්න හැටි. ඇය පරිස්සමෙන් දෙලිකොළු අතට ගත්තා. දෙලිකොළු කොයිතරම් පුංචිද කිව්වොත් මාමෙලි දයිතා ගෙ දුවගෙ අල්ල උඩ ඇයට සම්පූර්නයෙන්ම ඉන්න පුළුවන් වුනා.

මාමෙලි දයිතා ගෙ දුව බොහොම පරිස්සමෙන් දෙලිකොළු ගෙ ඔළුව අතගාල බැලුව​. ඒත් දෙලිකොළු හෙලවුනේවත් නෑ. ඇය මැරිලා!

මාමෙලි දයිතාගෙ දුව දෙලිකොළු ව අතේ තියාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. ඊට පස්සෙ ඇය මුහුදු වෙරළේ පඳුරු අතර තිබුනු පුංචි ඉඩක අත් දෙකෙන් වලක් හාරලා දෙලිකොළු ව වල දැම්මා.


වල වැහුවට පස්සෙ මාමෙලි දයිත ගෙ දුව තුන් පාරක් හඬ නගල මෙහෙම කිව්වා.

"ඉක්මනට පැල වෙන්න​"

එතකොටම දෙලිකොළු ව වල දාපු තැනින් පුංචි කෙහෙල් පැලයක් පොළවෙන් මතුවෙලා උඩට ආව​.

මාමෙලි දයිතා ගෙ දුවට හරිම සතුටුයි. ඇය සිනා සෙමින් තුන් පාරක් මෙහෙම කිව්වා.

"ඉක්මනට වැවෙන්න​"

බලාගෙන ඉඳිද්දි කොහෙල් පැලේ උස ගිහින් ලොකු කෙහෙල් ගහක් බවට පත් වුනා.

මාමෙලි දයිත ගෙ දුව අත්පුඩි ගහමින් තුන් පාරක් මෙහෙම කිව්වා.

"හලිහා ෆෝවා" (ඉක්මනට ගෙඩි හැදෙන්න)

කොහෙල් ගහේ මුදුනෙන් නයෙක් වගේ දම් පාට කෙහෙල් මලක් එළියට ආව​.

ඒකෙ පෙති එකින් එක දිගහැරිල ගහ මුල වැටුනා. කෙහෙල් කැනේ නැට්ට දිගට කොල පාට කෙහෙල් ගෙඩි පේලි පේලි පෙනෙන්න තිබුනා.

සතුටින් උඩ පනිමින් මාමෙලි දයිත ගෙ දුව තුන් පාරක් මෙහෙම කිව්ව.

"ඉක්මනට ඉදෙන්න​"

එක පාරටම කොළ පාට කෙහෙල් ගෙඩි ලොකු වෙලා කහ පාට වුනා.

ඒත් කෙහෙල් කැන තිබුනෙ ගොඩක් උසින්. ඇයට ඒව කඩාගන්න අත දිග මදි. ඇය උඩ පනිමින් කෙහෙල් ගෙඩි කඩාගන්න උත්සහ කලා. ඒත් බැරිවුනා.

ඒ වෙලෙ එතැනින් පොඩි පිරිමි ළමයෙක් ආව​. මාමෙලි දයිත ගෙ දුවට හොඳ උපායක් කල්පනා වුනා. ඇය පිරිමි ළමයෙක් කතා කරල මෙහෙම කිව්ව​.

"ඔයාට පුළුවන් ද මේ කෙහෙල් ගහ දිගේ නැගල මේ කැනෙන් කෙහෙල් ගෙඩි එකින් එක කඩල බිමට දාන්න​?"

ඒත් පිරිමි ළමයට කෙහෙල් ගෙඩි දෙන්න ඇයට ලෝබයි. ඒ නිසා හනිකට මෙහෙමත් කිව්වා.

"බැරි වෙලාවත් කන්න එහෙම එපා. මේ ගෙඩි කන්න බෑ. මේක බෙහෙත් ගහක්."

පිරිමි ළමය කෙහෙල් ගහ දිගේ නැගල කෙහෙල් ගෙඩියක් කඩල මාමෙලි දයිත ගෙ දුවට දැම්මා. ඇයට ඉවසගෙන ඉන්න බැරුව කෙහෙල් ගෙඩියෙ ලෙලි ඇරල ඒක කෑවා. ඇය කෙහෙල් ගෙඩිය කනව පිරිමි ළමය දැක්කා.

"ඔයාට කන්න පුළුවන් නම් මටත් කන්න පුළුවන්"

ඔහුත් කෙහෙල් ගෙඩියක් කඩාගෙන කෑවා.

ඊළඟට ඔහු තවත් ගෙඩියක් කඩල මාමෙලි දයිත ගෙ දුවට දැම්මා.

"ඔයාට එකයි මට එකයි"

එහෙම කියල ඔහු තවත් ගෙඩියක් කඩාගෙන කෑවා.

ඔහොම ඔහොම මාමෙලි දයිත ගෙ දුවයි පුංචි පිරිමි ළමයයි කෙහෙල් කැනම කෑවා෴


- කතාව කිව්වේ වඩිගේ අමිනාත් දීදී (ෆුවා මුලාකු දූපත​)

අටුවාව​

1. මාමෙලි දයිතා

මාමෙලි දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන චරිතයක්. ඇය නිරූපනය වෙන්නේ තරමක් වයසක කාන්තාවක් විදිහට​. ඇය මනුෂ්‍යය කාන්තාවක් නෙවෙයි - නමුත් හන්ඩි හෙවත් යකින්නකුත් නෙවෙයි. ඇගේ නම දකුණු දිග දූපත් වලදී "මේලියගෙෆන්නො", "මේලියගෙ දයිතා" සහ "මේලියගෙ දියේ" කියල ව්‍යවහාර කෙරෙනවා.

2. දයිතා

දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

Monday, August 27, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 58 (සුදු පාට තැටිය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


සුදු පාට තැටිය​


එකෝමත් එක කාලෙක ලොකු පවුලක් ඒ ගොල්ලන් ගෙදර වාසය කළා. ඒ පවුලේ තරුණ ගෑණු ළමයෙක් හිටියා. ඇගේ නම "සන්ෆා". සන්ෆා හැමදාම හවසට අඬනවා. අඳුර වැටෙනවත් එක්කම සන්ෆා එක්කෝ ලාම්පුව ළඟ ඉඳගෙන, නැත්තම් ඇඳේ හාන්සි වෙලා කිසිම හේතුවක් නැතුව අඬනවා.  මේ ගෑණු ළමයට කිසිම රෝගාබාධයක් තිබුනෙ නෑ. ඒ වගේම ඒ ගෙදර මොකුත් ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. ඒත්, ගෙදර මිනිස්සු හිටියත්, ඇය තනියම හිටියත් සන්ෆා හැම හවසකම ඇඬුවා.

ගෙදර හැමෝම මේ නිසා බොහොම කනස්සල්ලට පත් වුනා. ගෙදර එක්කෙනෙක් හැමදාම අඬනකොට ඒ ගෙදර අනිත් මිනිස්සු සන්තෝසෙන් ඉන්නෙ කොහොමද​? හවස් වරුවෙ ගෙදරට ආපු අමුත්තො ලොකු අපහසුතාවයකට ලක් වුනා. ගෙදර කොහෙ හිටියත් ගෑණු ළමයගෙ ඇඬිල්ල අමතක කරන්න බෑ. ඒ නිසාම ගෙදර ඉන්න එකත් අපහසු තැනට ආව​. ටික දවසක් යද්දි ඒ ගෙදරට අමුත්තෙක් ආවත් ඉක්මනටම ආපහු යන්න පුරුදු වුනා. ටික ටික හැමෝම පුළුවන් තරම් ඒ ගෙදර මග​ඇරල ඉන්න පුරුදු වුනා.

තරුණියගේ දෙමාපියෝ ප්‍රසිද්ධ ෆන්ඩිත කෙනෙක් ගෙන්වලා "මයිතිරි" (ශාන්තිකර්මයක්) කරල බැලුවා ඇයව සුවපත් කරන්න​. ඒත් කිසිම ප්‍රතිඵලයක් අත් වුනේ නෑ. සන්ෆා හැමදාම හවසට  ඇඬුවා. මන්තර ගුරුකම් වැරදුන තැන ඔවුන් සන්ෆා ව සන්තෝසෙන් තියන්න උත්සහ කළා. ඇයත් එක්ක නිතරම කතා බහ කළා. විහිළු තහළු කළා. සෙල්ලම් කළා. සින්දු කිව්වා. ඒත් දවල්ට කොයිතරම් සන්තෝසෙන් හිටියත් සන්ෆා හවස් වෙද්දි ඇඬුවා. අන්තිමේදි සන්ෆා ගේ පියාගෙ ඉවසීම නැතිවෙලා ඔහු සන්ෆාට හොඳටම බැන්නා. ඒකෙන් වුනේ තත්වය තවත් නරක් වුන එක​.  ගෙදර මිනිස්සු හැමෝටම දරුණු මානසික පීඩනයකින් කල් ගෙවන්න සිදු වුනා.

එක දවසක් හවස සන්ෆා සුපුරුදු පරිදි ඇඳේ හාන්සි වෙලා කළුවරේම අඬමින් උන්නා. ඇගේ අක්කා, අමීනා, කාමරයට පොල්තෙල් පහනක් අරගෙන ආවා. ඇය පහන වහලේ එල්ලන්න හදනකොටම හදිසියේ ආව හුළං පාරකින් පහන නිවිල ගියා. කාමරේ කට්ට කළුවරයි. අමීනා ගේ හදවත භීතියෙන් සැලෙන්න වුනා. ඇය සන්ෆා දිහාවට හැරුනා. එතකොට දැකපු දෙයින් ඇය ගල් ගැහුනා.

සන්ෆාට ඉහළින් සුදුපාට තැටියක් පාවෙමින් තිබුනා. කමරේ අඳුරුයි. ඒත් සුදුපාට තැටියෙන් යාන්තමට ආලෝකයක් නිකුත් වුනා.




අමීනා බියෙන් පැකිලෙමින් වුනත් තැටිය ළඟට කිට්ටු කලා. එතකොට ඇය දැක්කා තැටියේ මුහුණත ඉතාම ලස්සන මද සිනා පාන මුහුණක් තියෙන බව​. ඒ මූණේ ඇස්, තොල් සහ නහය ලස්සන තරුණියකගේ වගේ. තැටිය වටේට තද රතුපාට රැස් වලල්ලක් යන්තම් දිලිසෙමින් තිබුනා. තැටිය අහසේ පාවෙමින් තිබුනේ කිසිම ආධාරකයක් නැතුව​.

අමීනා ගෙ බිය වසාගෙන කුතුහලය නැගගෙන ආවා. ඇය තැටිය ළඟට ගිහින් ඒ ඉදිරියෙන් සහ වටේට අත වැනුවා. ඇයට උවමනා කලේ ඒක ප්‍රතිබිම්බයක් හෝ එළියෙන් ආපු ආලෝක කදම්බයක් ද කියල දැනගන්න​. ඒත් කොච්චර අත වැනුවත් තැටියේ කිසිම වෙනසක් වුනේ නෑ. තැටියේ මුහුණේ හිනාවෙ කිසිම වෙන්සක් වුනේ නෑ. තැටිය යටට වෙලා සන්ෆා අඬමින් උන්නා.

අමීනා ආයෙත් බියෙන් තැති ගත්තා. මේ තැටිය මොකක් හරි නපුරු ආත්මයක් වෙන්න ඇති. ඇය නිහඬවම පියා ළඟට ගිහින් රහසින් ඔහුට මේ බව කිව්වේ ගෙදර අනිත් එය බය වෙන එක වලක්වන්න​.

"තාත්තේ, දැන්ම ඇවිත් සන්ෆා ගේ ඇඳ ළඟ බලන්න​."

අමීනා ගේ පියා ඒ වෙලාවෙ ඉස්තෝප්පුවේ ලණු ඇඳට වෙලා විවේක ගනිමින් හිටියේ. ඔහුට නැගිටින්න කම්මැලි හිතුනා.

"ඇයි මොකද්ද​?"

"එතැන මොනවදෝ තියෙනවා. සමහර විට නපුරු ආත්මයක් වෙන්න ඇති."

අමීනාගේ පියා අමනාපයෙන් තොල් මතුරමින් සන්ෆාගේ ඇඳ තිබුන කාමරයට ගියා.

"මට දැන් මොළේ නරක් වෙච්ච කෙල්ලො දෙන්නෙක්ම ඉන්නවද​? කෝ මට මොකවත් පේන්නෙ නෑ නෙ? ඔයා පහන තිබ්බෙ කොහෙද​?"

ඒත් අමීනා ඔහුගේ අමනාපය ගනන් ගත්තෙ නෑ.

"කාමරය ඇතුලට ගිහින් සන්ෆා ගේ ඇඳට උඩින් හොඳට බලන්න​. තාත්තෙ ඔයාට ඒක පේනවද​?"

ඒත් පියා උත්තර දුන්නේ නෑ. ඔහු සුදුපාට තැටිය සහ එහි තිබුන හිනාවෙන මුහුණ දිහා භීතියෙන් වෙව්ලමින් බලාගෙන හිටියා.


ඔහු හනිකට ඔහුගේ කාමරයට දුවල ගිහින් පහනක් සහ කුරානයක් අරගෙන ආවා. ඔහු පහන පත්තු කරලා සන්ෆා ගේ ඇඳ ලඟ බිමින් තිබ්බා. ඊට පස්සෙ කුරානය තියන ලී රඳවනය එතැනම බිමින් තියලා, ඒ උඩින් කුරානය තියලා බිම වාඩි වුනා. ඊට පස්සෙ ඔහු හොඳට දැනගෙන හිටපු පරිච්ඡේද හඬ නගා කියවන්න පටන් ගත්තා.

අමීනාත් පියා ළඟින්ම වාඩි වෙලා හිටියා. ඇය සුදු පාට තැටිය දිහා හොඳින් බලාගෙන හිටියේ. පහනේ ආලෝකය නිසා තැටියෙන් එන එළිය ටිකක් අඩු වෙලා තිබුනත් වෙන කිසිම වෙනසක් වුනේ නෑ.

රෑ වෙද්දි ඇයට නින්ද ගියා.


මැදියම් රැය එළඹුනා. පියා කුරාන පාඨ කියවන ගමන්ම තැටිය දිහා බැලුවා. තැටිය මදක් වෙව්ලමින් තිබුනත්, මුහුණේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. කලින් වගේම එය මද සිනා පාමින් හිටියා. තැටියට යටින් සන්ෆා අඬමින් හිටියා.

ඔහුගේ භීතිය ඔහුගේ ඉවසීම යටපත් කරගෙන ඉහළට මතු වුනා. ඔහු අත් දෙකෙන්ම තැටියට පහර දුන්නා. ඒත් ඒක නිකම්ම හුළඟට ගැහුවා වගේ. තැටියට කිසිම වෙනසක් වුනේ නෑ. ඔහුගේ සිහිය භීතියෙන් විකල් වුනා. ඔහු සන්ෆා ගේ කොට්ටයක් අරගෙන වියරුවෙන් වගේ තැටියට පහර දුන්නා. කොට්ටය ඉරිලා පුළුන් හැම තැනම පියාඹලා ගියා. ඔහුගේ පයක වැදිලා පහන පෙරළිලා නිවිල ගියා. කාමරය සම්පූර්නයෙන්ම අඳුරේ ගිලිලා ගියා.

ඔහු හති දමමින් තැටිය දිහා බැලුවා. ඒත් තැටියේ කිසිම වෙනසක් තිබුනේ නෑ. ඒක සුපුරුදු පරිදි මද සිනා පාමින් තිබුනා. ඒ හිනාව ඔහුට පෙනුනේ ඔහුට කරන සරදමක් වගේ. සන්ෆා පෙරටත් වඩා හයියෙන් අඬමින් හිටියා.


ඔහු ඉතාම මාරුවෙන් සිහි එළවා ගත්තා. කළුවරේම ඉඳගෙන ශබ්ධ නගලා "තක්බීර්" (අල්ලාහ්-හු-අක්බර් හෙවත් දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි) නැවත නැවත කියන්න පටන් ගත්තා.

ටික වේලාවකට පස්සෙ ඔහු තැටිය දිහා බැලුවා. ඔහු දැක්කා ඒක පොඩ්ඩක් පොඩි වෙලා තියෙනවා. ඒකෙන් හිතට දිරිය වඩාගත්ත ඔහු වඩාත් උනන්දුවෙන් නැවත නැවත තක්බීර් කිව්වා. ටික වෙලාවක් යද්දි තැටිය කාසියක ප්‍රමානයට පොඩි වුනා. ඔහුගේ උගුර වේලිලා ලේ රහ වුනා. කටහඬ බැරෑඩි වුනා. ඒත් ඔහු නොනවත්වාම තක්බීර් කිව්වා.

සුදු පාට තැටිය ක්‍රමයෙන් අතුරුදහන් වෙලා ගියා.

මුළු ගෙදරම අඳුරේ සහ නිහඬතාවයේ ගිලිලා තිබුනා. ඔහු කළුවරේම ඇහුම්කන් දීගෙන හිටියා. ඔහුට තේරුනා සන්ෆා ගේ ඇඬීම නැවතිලා කියල​. ඔහු ගින්දර ටිකක් අරගෙන එන්න ගියා.

ඇවිත් පහන පත්තු කළාම ඔහු දැක්කා සන්ෆා ඇඳ උඩ ඉඳගෙන ඉන්න හැටි. ඇයගේ මුහුණ ශාන්තයි. ඇය ඔහුට මද සිනාවක් පෑවා. ඔහු ඇයගේ හිස කරුණාවෙන් අතගාලා ඇයව නින්දට යැව්වා.

ඔහු එළියට ගිහින් බීඩීයක් පත්තු කරා. දැන් එළිය වැටෙන්න ළඟයි. ඔහුගේ ඇඟට පුදුම වෙහෙසක් දැනුනත් හිත ප්‍රීතියෙන් පිරිලා තිබුනා.

සන්ෆා ආයෙ කවදාවත් ඇඬුවෙ නෑ෴




- කතාව කිව්වේ වයිජෙහේගේ අලි දීදී (ෆුවා මුලාකු දූපත​)


අටුවාව​

1. ෆන්ඩිත​

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.


  
 2. මයිතිරි

මයිතිරි කියල හැඳින්වෙන්නෙ නරක ආත්ම වල බලපෑම නැති කරන්න කරන ශාන්ති කර්මයක්. මෙහිදී කරන්නෙ කුරාන පාඨ කියැවීම​. මේ සිරිත ඉස්ලාමයට පෙර ඉඳල පැවත එන බවත්, ඉස්ලාමය දිවෙහි රාජ්ජෙට ආවට පස්සෙ මන්ත්‍ර වෙනුවට කුරාන පාඨ ආදේශ වුන බවත් හිතන්න පුළුවන්.

Thursday, August 23, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 57 (මාකුඹේ)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මාකුඹේ


එකෝමත් එක කාලෙක මාලේ දූපතේ "මාකුඹේ" කියල මනුස්සයෙක් වාසය කළා. ඔහු බොහොම මහතයි. ඒ වගේම කෑමට හරිම කෑදරයි. හැමවෙලේම ඔහු කල්පනා කළේ කෑම ගැන​.

මාකුඹේට දූවරු තුන් දෙනෙකුයි පුත්තු හතර දෙනෙකුයි හිටියා. හත්වෙනි ළමයා ඉපදුනාට පස්සෙ ඔහුගේ බිරිඳ මිය ගියා. ළමයි හත් දෙනාගෙ වැඩපළ තනියම කරන්න වුනේ මාකුඹේට​. ඒ නිසා ඔහු ආයෙත් විවාහ වුනා. ඔහුගේ දෙවැනි බිරිඳ තරුණයි. ඇයට සිහින් සිරුරක් සහ ඉදිරියට නෙරාගිය අවලස්සන දත් තිබුනා. ඒ වගේම ඇය ඉතාම නපුරුයි. ඇය නිතරම මාකුඹේගෙ ළමයින්ට සැරවැර කරා.

එක දවසක් මාකුඹේ බිරිඳට කතා කළා.

"මට හරිම බඩගිනියි. මට "බෝෆොලි" (වෙල්ලවැහුම් වලට සමාන කෑමක්) කන්න ඕනෙ. මම කඩේට ගිහිල්ල ඕනෙ බඩු ගේන්නම්. ඔයා මට බෝෆොලි හදල දෙන්න​."


මාකුඹේ ගෙ බිරිඳ මෙහෙම උත්තර දුන්නා.

"මේ ගෙදර බෝෆොලි නෙවෙයි මොනව හැදුවත් ඔයාට හරියට කන්න ලැබෙන්නෙ නෑ නෙ. ඔයාගෙ ළමයි ටික ඔක්කොම කාල දාවි. ඒගොල්ලො කිසිම දෙයක් අනික් අයට ඉතුරු කරන්නෙ නෑ."

මාකුඹේ ඇයත් එක්ක එකඟ වුනා.

"අපි ළමයින්ට නොකිය ඉමු. මම හොරෙන්ම බඩු ටික කුස්සියට ගේන්නම්. අපි ඒව හංගල තියමු."

කුඩම්මා ළමයි එක්කගෙන දර ඇහිඳින්න ගිය අතරෙ මාකුඹේ කඩේට ගිහිල්ල ලොකු හකුරු බෝතලයක්, හාල්පිටි මුට්ටයක් සහ පොල්ගෙඩි අරගෙන ආවා. ඔහු හති දමමින් ඒවා කුස්සියේ හැංගුවා.

ඉර බැහැල ගියාට පස්සෙ මාකුඹේ ළමයින්ව නිදාගන්න යැව්වා. ඔවුන්ට නින්ද යන තුරු මාකුඹේ සහ බිරිඳ ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සෙ කුඩම්මා කුස්සියට ගිහින් පුළුවන් තරම් සද්ද බද්ද එන්නෙ නැති විදිහට බෝෆොලි හදන්න පටන් ගත්තා. මාකුඹේ ඇයට උදව් කලා. ඔවුන් බෝෆොලි මහ ගොඩක් හැදුවා.

රෑ මැද බාලම පිරිමි ළමයා ඇහැරුනා. ඔහුට එළිබහින්න ඕන වුනා. එළිබහින්න පිළිකන්නට ආවම ඔහු දැක්කා කුස්සියෙ පහන් පත්තු වෙන හැටි. කුස්සියෙ බාගෙට වැහුන දොර අතරින් ඉතාමත් මිහිරි සුවඳක් හමමින් තිබුනා. ඔහු නිදිමතේම කුස්සියට කඩාවැදිලා කෑගැහුවා.

"මටත් බෝෆොලි එකක් දෙන්න​. මට හොඳටම බඩගිනියි."

මකුඹේ ගැස්සිලා ගියා. ඔහු ළමයට බෝෆොලි එකක් දුන්නා.

"අනිත් අයට කියන්නෙ එහෙම නෑ"

කුඩම්මා ඔහුට තරවටු කළා.

ළමයා කුස්සිය මුල්ලෙ ඉඳගෙන බෝෆොලි එක කෑවා. ඊට පස්සෙ ඔහු නිදාගන්න පිටත් වුනා. ඒත් ඔහු නිදාගත්තෙ නෑ. තමන් ළඟම නිදාගෙන හිටපු පොඩි අක්කව කොනිත්තල ඇහැරෙව්වා. ගෑණු ළමය වේදනාවෙන් කෑගහමින් නැගිට්ටා.

"බය වෙන්න එපා මම​"

"ඇයි මාව කෙනිත්තුවෙ?"

"තාත්තයි කුඩම්මයි කුස්සියෙ බෝෆොලි හදනවා. ඒ ගොල්ලො අපිට හොරෙන් ඔක්කොම කන්නයි යන්නෙ."

"ඔයා කෑවද​?"

"ඔව්. මම එකක් කෑවා. හරිම රසයි. ඔයත් කුස්සියට ගිහිල්ල අඬන්න. එතකොට ඔයාටත් එකක් දෙයි. එළිබහින්න ආව වගේ යන්න​."

ගෑණු ළමය කියපු විදිහටම කරා. ඇයටත් බෝෆොලි එකක් ලැබුනා. ඇයත් ආපහු ඇවිල්ලා ඇය ළඟ නිදාගෙන හිටපු සොහොයුරාව ඇහැරෙව්වා. මේ විදිහට එකා ගානෙ හත් දෙනාම කුස්සියට ගිහින් බෝෆොලි කෑවා.

මාකුඹේ තරහෙන් පිපිරෙන්න ගත්තා.

"මේ ළමයි නං හරිම කරදරයක්. දැන් හත් දෙනාම දන්නව අපි බෝෆොලි හදපු බව​. උදේට හත් දෙනාම ආපහු ඉල්ලයි. මට කන්න ඉතුරු වෙන එකක් නෑ."

ඔහු බෝෆොලි ගොඩ දිහා බලාගෙන දුකෙන් සුසුම් හෙළුවා.

"එහෙනං ඒගොල්ලො වැඩි දවසක් මෙහෙ ඉන්න එකක් නෑ. අනිද්ද උදේ වෙද්දි ඒගොල්ලො මෙහෙන් ගිහිල්ල ඉඳියි."

කුඩම්මා නපුරු හඬින් කිව්වා.

මාකුඹේ ගොඩක් වෙලා කුඩම්මා ගෙ වචන ගැන කල්පනා කරා. අන්තිමේදී ඔහුත් ඒකට එකඟ වුනා.

ඔවුන් මුළු රෑ පුරාම මහන්සි වෙලා බෝෆොලි හැදුවා. උදේ වෙද්දි බෝෆොලි මහ ගොඩක් හදල තිබුනා. ඔවුන් ඒ සියල්ලම "මලාෆයි" (ලාක්‍ෂය වැඩ දාපු ලී භාජනයක්) අසුරලා වහලයේ පොල් අතු අස්සෙ හැංගුවා.

ඊට පස්සෙ ඔවුන් දෙන්නා නින්දට ගියා.

මාකුඹේ ඇහැරුනේ පහුවදා මද්දහන් වෙද්දි. ඔහු ළමයි හත් දෙනාටම කතා කළා. ඔහු ඔවුන්ට ළඟ තිබුනු දූපතක දර කපන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. ඔවුන් වෙරළට ගිහින් "කන්දු" ගහක් කපල ලණුවකින් බැඳල පහුරක් හැදුවා. ඔවුන් පහුරේ නැගලා හබල් ගහමින් ටිකෙන් ටික ගැඹුරු මුහුදට ගියා. ටික වෙලාවකින් ළමයින්ට තේරුනා මේ යන්නේ දර කපන්න යන ගමනක් නොවෙන බව​. ඔවුන් මාකුඹේගෙන් මේ යන්නෙ කොහෙද කියල ඇහුවත් මාකුඹේ ඔවුන්ට උත්තරයක් දුන්නේ නෑ. ඔහුගේ ඇස් ඈත මුහුද දිහාවට යොමු වෙලා තිබුනා.

ඔවුන් විලිංගිලි දූපත පහු කළා. ටික වෙලාවකින් මාලේ දූපත ක්‍ෂිතිජයෙන් එහා වැහිල ගියා. එක පාරටම මාකුඹේ වතුරට පැනල ආපහු ගොඩබිමට පීනගෙන ආව​. ඔහු ආපහු හැරිලවත් බැලුවෙ නෑ.

තෙතබරියම් වුන මාකුඹේ ආපහු ගෙදර ආවෙ හවස් වෙද්දි.

"ළමයි අපිට ආපහු කරදර කරන එකක් නෑ. මම උංව පහුරක පාකරල යැව්වා. පහුර මුහුදට පාවෙලා ගියා. එක්කො උං ගිලෙයි, නැත්තං බඩගින්නෙ මැරිල යයි."

"යසයි යසයි"

කුඩම්මා බොල්ලෑ දත් විළිස්සමින් නපුරු හඬින් හිනා වෙමින් කිව්වා.


මේ අතරෙ ළමයි හත් දෙනා පහුර උඩ පාවෙමින් හිටියා. ඔවුන් රළ පහරින් තෙමිලා. හොඳටම බය වෙලා. හැමෝම වැඩිමහල් පිරිමි ළමය දිහාව බැලුව​.

"අයියේ අපිට බඩගිනියි"

කඳුළු වැල් ඔවුන් ගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා.

"බය වෙන්න එපා. අඬන්න එපා. ඉවසගෙන ඉන්න​. ඉක්මනින්ම අපිව ගොඩබිමකට යාවි. අපි තාම පණපිටින් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ."

ඉර බැහැල ගියා. හඳ නැගල ආව​. හඳ එළියේ මහ මුහුද වඩාත් බියකරු පෙනුමක් ගත්තා. අඳුර නිසා ඔවුන්ට තමා ගහගෙන යන පැත්තවත් පෙනුනේ නෑ. තරු දිහා බලල මඟ හොයාගන්න ඔවුන් දැනගෙන හිටියෙ නෑ. මුහුද එන්න එන්නම රළු වුනා. කුඩා පහුර 'කිරි කිරි" හඬින් ඇඹරුනා. කොයි මොහොතේ පහුර කැඩිල යාවිද කියල බියෙන් ඔවුන් රාත්‍රිය ගත කළා.

ඔවුන්ට තිබුන එකම බලාපොරොත්තුව පහුරේ පාවෙමින් සිටීම විතරයි. ඒ නිසා හැමෝම එක අතකින් පහුරත්, අනෙක් අතින් තවත් ළමයෙක්වත් පුළුවන් තරම් හයියෙන් අල්ලගෙන හිටියා.

උදේ වෙද්දි හැමෝම තෙතබරි වෙලා. බඩගින්නෙන් හැමෝම දුර්වල වෙලා. ඒත් පහුර කැඩුනේ නෑ. ඔවුන් දිගටම රළු මුහුදේ පාවෙමින් හිටියා. දෙවියන්ගේ පිහිටෙන් වැඩි වෙලා නොගිහින් ඔවුන් දූපතකට ගහගෙන ආව​.

ළමයින්ට කියාගන්න බැරි තරම් සතුටුයි. හැමෝම වෙරළේ දිගාවෙලා මහන්සි නිවාගත්තා. පැය කීපයක්ට පස්සෙ ඔවුන් නැගිටලා දූපත පරික්‍ෂා කරල බැලුව​. දූපතක් කිව්වට ඒක ලොකු වැලි පරයක්. මුළු දූපතටම තිබුනේ වැලි විතරයි. අඩුම ගානෙ පඳුරක් වත් තිබුනේ නෑ. ඈත දූපත් කීපයක් පෙනුනත්, පීනල යන්න බැරි තරම් ඒවා ඈතයි.

බාලම පිරිමි ළමයට තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා.

"අයියේ මට හොඳටම බඩගිනියි"

ඊළඟ ළමයත් අඬන්න පටන් ගත්තා. ටිකකින් හය දෙනාම වැඩිමලා වටේ ඉඳගෙන අඬන්න පටන් ගත්තා.

"ඉවසල ඉන්න​. අපි බේරුන එක ගැන සන්තෝස වෙන්න​. මේ දූපත හමුවුනේ නැත්තම් අපි තාම මුහුදෙ පාවෙනවා. අපි දූපතේ ඇවිදල බලමු කන්න මොනවහරි තියෙයිද කියල​."

දෙවියන් ගේ පිහිටෙන් ඔවුන්ට වෙරළේ තිබිල ඉදුනු පැපොල් ගෙඩියක් හමුවුනා. ඒක අවට දූපතකින් ගහගෙන ආපු එකක්. වැඩිමලා පැපොල් ගෙඩිය තියුණු දාරයක් සහිත සිප්පි කටුවකින් සමාන කෑලි හතකට කැපුවා.

"ඇට ටික විසිකරන්න එපා. අපි ඒව දූපත මැද පැල කරමු."

හැමෝම දූපත මැද සමාන පරතරයක් තියෙන විදිහට පැපොල් ඇට පැළ කරා.

මේ විදිහට ටික කාලයක් ගතවුනා. ඔවුන් ජීවත් වුනේ වෙරළට පාවෙලා ආපු දෙයක් කාල​. පැපොල් ගස් ක්‍රමයෙන් ලොකු වුනා. ඒවගෙ සුදු පාට මල් පිපෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ පුංචි ගෙඩි ගස් කඳන් වල හට ගත්තා.

පොඩිම ළමයට පැපොල් ගෙඩි කන්න උවමනා වුනා. හැමෝම ඒක අනුමත කළා. ඒත් වැඩිමලා ඒකට එකඟ වුනේ නෑ.

"ඉවසන්න​. අපි එනකොට දූපත තිබුන හැටි මතකද​? වල් පැලයක් වත් තිබුනේ නෑ. ඒත් දැන් ඒක පැපොල් ගස් වලින් පිරිලා. අඩුම ගානෙ අපිට හෙවනක් වත් තියෙනවා."

එක දවසක් අසල්වැසි දූපතකින් යන රුවල් ඔරුවක් පාළු දූපතක ළමයි ටිකක් ඉන්නව දැකල දූපත ළඟ නැංගුරම් දැම්මා. බෝට්ටුවෙ ආපු අය ගොඩබිමට ගියා. ළමයි හඬා වැලපෙමින් අමුත්තන්ට කිව්වේ ඔවුන්ට ගොඩාක් බඩගිනි බව​. ඔවුන් ගේ තත්වය දැකල ඔරුවේ නියමුවාට දුක හිතුනා. ඔහු යන්න කලින් තමාගෙ ඔරුවෙ තිබ්බ කරවල සහ පොල් ගෙඩි ගොඩක් දූපතෙන් බෑවා. ඒ විදිහට ළමයින්ට ටික කාලයක් කෑම ඇති තරම් ලැබුනා. ඒත් ඉක්මනින්ම ඒ කෑම ඉවර වුනා. කෑම ඉවරවෙද්දිම පැපොල් ගෙඩි ඉදිල. ඔවුන් පැපොල් ගෙඩි කඩාගෙන කෑවා. ඒ තරම් රස පැපොල් ගෙඩි ඔවුන් කවදාවත් කාල තිබුනෙ නෑ.

ඔවුන්ට කන්න බැරි තරම් පැපොල් ගෙඩි හැදිල තිබුනා. ඒ නිසා ඔවුන් පහුර අළුත්වැඩියා කරගෙන පැපොල් ගෙඩි පහුරෙ පටවගෙන අසල්වැසි දූපතකට ගියා. එහිදී ඔවුන්ට පැපොල් දීලා පොල් අතු, ලොකු ලී දඬු සහ කොහුලණු ගන්න පුළුවන් වුනා.

ඒවායින් ඔවුන් ඔවුන් ගේ පුංචි දූපතේ පුංචි ගෙවල් හතක් හැදුවා. ඔවුන් ටිකෙන් ටික දූපතේ පොල් ගස් සහ වෙනත් ගස් වර්ග පැළ කලා. ඒවායින් ඔවුන් ගේ පැපොල් වගාවට හෙවන ලැබුනු නිසා පැපොල් වගාව තවත් සරු වුනා.

ටික කාලයක් යද්දි ඔවුන් ගේ පැපොල් මුළු අතොලුවේම ප්‍රසිද්ධ වුනා. ඒ තරම් රස පැපොල් කිසිම කෙනක් කවදාවත් කාල තිබුනෙ නෑ. ඔවුන්ට පැපොල් විකුනල ලොකු මුදලක් එක් රැස් කරගන්න පුළුවන් වුනා. ඔවුන් ඒ මුදලින් බෝට්ටුවක් ගත්තා. ඊට පස්සෙ පොල් අතු ගෙවල් වෙනුවට ගල් වලින් ගෙවල් හතක් හදාගත්තා. ඔවුන් දැන් ගජ පොහොසත්තු.


එක දවසක් ඔවුන් පැපොල් විකුණන්න අසල්වැසි දූපතකට ගියා. එහිදී ඔවුන්ට දැනගන්න ලැබුනා ඔවුන් ගේ පියා, මාකුඹේ, මිය ගිහිල්ල කියල​. ඔවුන් ලහි ලහියේ ෆාතිහා කියවීමට (මළවුන් සඳහා පැවැත්වෙන වතාවතක්) ලෑස්ති වුනා.

ඒත් මාකුඹේ ඇත්තටම මිය ගිහිල්ල නෑ. ඔහුත් හරියට එදාම ළමයි වෙළඳාමේ ආපු දූපතේමයි හිටියෙ. ඔහුට දැනගන්න ලැබුනම ඔහුගේ ළමයි මිය ගිහින් නැති බවත්, ඔවුන් දැන් ධනවත් වෙළෙන්දන් බවත්, ඔහු මනුස්සයෙක්ට සල්ලි දීල බොරුවට තමා මියගිය බව ළමයින්ට කියන්න කියල කිව්වා. ඔහුට උවමනා වුනා මේකෙන් මොකක් හරි වාසියක් ලබා ගන්න​.

එදා රෑ ඔහු කුඩා රුවල් ඔරුවක නැගල ළමයින් ගේ දූපතට ගියා. දූපතට ගොඩබැස්සම ඔහු ගල් වලින් හදපු ලස්සන ගෙවල් සහ සරුවට වැවුනු පැපොල් වගාව දැකල පුදුමයට පත් වුනා.

ළමයි ඒ වෙලාවෙ ෆාතිහා උත්සවයට එන අමුත්තන්ට කෑම උයමින් හිටියේ. කෑම සුවඳ ආව හැටියෙ මාකුඹේ ගෙ කටින් කෙළ බේරෙන්න පටන් ගත්තා. ඔහුට ඉවසගෙන ඉන්න බැරි වුනා. ඔහු හෙමින් හෙමින් පළවෙනි ගෙදරට ලං වෙලා දොරට තට්ටු කලා.

"කවුද​?"

"මම මාකුඹේ, උඹලගෙ තාත්තා"

මාකුඹේ ගෙ පුතාට සතුට උහුලගන්න බෑ. මියගියා කිව්ව තාත්තා පණපිටින් ඇවිල්ල ඉන්නව​. ඔහු හනිකට මාකුඹේව ගෙට ගත්තා.

"තාත්තේ, මට හරිම සතුටුයි. අපි මේ හෙට අවමගුලට කෑම හදනව​."

මාකුඹේ කුස්සිය පුරා තිබ්බ කෑම වර්ග දිහා කෑදරකමින් බැලුවා.

"මගෙ මළගෙදරට තාම කල් වැඩියි. ඒත් කෑම ලෑස්තියි නම් මම ටිකක් කන්නං. අහකදාන එක අපරාදෙ නෙ."

කෑම හරිම රසයි. මාකුඹේ කෑම ටික ඔක්කොම කෑවා.

මේ විදිහට මාකුඹේ ගෙවල් හතටම ගිහින් කෑම කෑවා.

වැඩිමල් පුතාගෙ ගෙදරින් එළියට එද්දි ඔහුට බඩ උස්සගෙන ඇවිදින්න බැරි ගානයි. ඔහුගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔහු කල්පනා කලා මුහුදු වෙරළට යන්න​. අමාරුවෙන් ඔහු වෙරළ පැත්තට ඇවිද්දා.

වෙරළේ කොනක ලෙලි ගහන්න සූදානම් කරපු පොල්ගෙඩි ගොඩ ගහල තිබුනා. මාකුඹේ ඒ පැත්තට ගියා. ඔහුගේ බඩ කොයිතරම් ලොකුද කිව්වොත් ඔහුට පොල් ලෙලි ගහන්න පාවිච්චි කරන ලී පොල් උල හිටවල තියෙනව පෙනුනෙ නෑ.

පොල් උල් මාකුඹේ ගෙ බඩේ ඇණුන විතරයි ඔහුගේ බඩවැල් සේරම එළියට පැන්නා. වේදානවෙන් සිහි විකල් වෙමින් මාකුඹේ පොල් ලෙලි ගොඩ උඩට වැටුනා. ඔහු අවසන් හුස්ම හෙළුවේ බඩවැල් වලින් එලියට ඇවිත් තිබුනු රසවත් කෑම වලට මැදි වෙලා.

පහුවදා උදේ ළමයින්ට මාකුඹේගෙ මළ සිරුර හමු වුනා. ඔවුන්ට ඒ පාර ඇත්තටම ෆාතිහා උත්සවය පවත්වන්න සිද්ධ වුනා෴


- කතාව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත​)


අටුවාව

1. බෝෆොලි

"බෝෆොලි" කියන්නෙ පොල්, හකුරු සහ හාල්පිටි යොදාගෙන හදන වෙල්ලවැහුම් වලට සමාන කෑමක්. දිවෙහි රාජ්ජේ සමහර ආගමික උත්සව වලට බෝෆොලි හදනවා. ඒ දවස් හැඳින්වෙන්නේ "බෝෆොලි දුවස්" කියල​.


2. මලාෆයි

ලී වලින් හදපු ලොකු භාජනයක්. මේ භාජන ලාක්‍ෂය වැඩ වලින් අලංකාර කරල තිබුනා. මේවා පාවිච්චි කලේ කෑම අසුරල තියන්න​.


3. කන්දු

තරමක් උසට වැවෙන පලාටු ගහට නෑකම් කියන ගහක්.


4. පැපොල්

දිවෙහි බසින් පැපොල් හැඳින්වෙන්නෙ "ෆලු" කියල​. දිවෙහි රාජ්ජේ කටුක දේශගුණය සහ වැලි සහිත පස නිසා පළතුරු වර්ග හැදෙන්නෙ බොහොම අඩුවෙන්. පැපොල් ඒ අතළොස්සෙන් එකක්. මේ නිසා පැපොල් කියන්නෙ දිවෙහි රාජ්ජේ වැසියන්ට දිව්‍ය භෝජනයක්. ඔවුන් ගේ ජනකතා වලට අනුව දිවෙහි රාජ්ජේ එක්සත් කරපු පළවෙනි රජතුමා වන කොයිමාල කාලෝ මාලේ දූපතේ පළවෙනියටම හදන්නෙ පැපොල් ගහක්. මේ කතාවෙත් ඊට සමාන දෙයක් දකින්න පුළුවන්.


5. ෆතිහා කියවීම​

කෙනෙකුගේ මරණයක සංවත්සරයක් වෙනුවෙන් (අවුරුද්දක්, අවුරුදු තුනක් වැනි) ගෙදරට නෑදෑ හිත මිතුරන් රැස් කරලා ඔවුන්ට ආහාරා පාන වලින් සංග්‍රහ කරලා කුරානයේ පාඨ හඬ නගා කියැවීමේ සිරිතක් දිවෙහි රාජ්ජේ තියෙනවා. මේ උත්සව වලදී කියවන්නේ කුරානයේ පළවෙනි පරිච්ඡේදය වන අල්-ෆතිහා පරිච්ඡේදය නිසා මේ උත්සවය හැඳින්වෙන්නේ ෆතිහා කියවීම කියලා. මේ උත්සවය දූපත් වාසීන් ගේ වැදගත්ම සංස්කෘතික උත්සවයක්. මේක අපේ දානෙ ගෙදරකට ඉතා සමානයි.

Wednesday, August 15, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 56 (ඇටකටු වැඩිපුර තිබුන මාළුවා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ඇටකටු වැඩිපුර තිබුන මාළුවා


බොහෝම ඉස්සර කාලෙ දවසක මාළු දෙන්නෙක් මුණ ගැහුනා. එකෙක් "බේංගු" මාළුවෙක්. අනිකා "ෆිලෝමදි" මාළුවෙක්.

මාළු දෙන්නගෙම ඇඟේ පොඩි කටු රාශියක් තිබුනා. ඒ නිසා දිවෙහි රාජ්ජෙ වැසියො මේ මාළු දෙන්නව අල්ලන්න ඒ තරම් ප්‍රිය කලේ නෑ. මේ මාළු කෑමට ගත්තේ වෙනත් කෑම වර්ග නොතිබුන අවස්ථා වල පමණයි.

මාළු දෙන්නා හමුවෙලා කතා බහට වැටුනා. මේ මාළුන් ට කවුරුත් සැලකිල්ලක් දක්වන්නෙ නැති නිසා උන්ට පුරසාරම් කියන්න වැඩි දෙයක් තිබුනේ නෑ. ඒ නිසා උන් තමාගෙ ඇඟේ තිබුන කටු ගැන කතා වුනා. වැඩිපුර කටු තියෙන්නෙ කාගෙද කියන එක ගැන දෙන්නා අතරේ ලොකු වාදයක් ඇති වුනා.


මෙහෙම වාද කරමින් ඉන්නකොට මේ දෙන්නා දැක්කා බෝට්ටුවක් ඒ අසලින් යනවා. කටු ගාණ පිළිබඳ අවසාන තීරණය මේ බෝට්ටුවෙ ගිය ධීවරයන් ගෙන් ලබා ගන්න දෙන්නම එකඟ වුනා. මාළු දෙන්නම බෝට්ටුව ළඟට පීනගෙන ගියා.

"බේබේ (අයියා), අපි දෙන්නගෙන් වැඩිපුර කටු තියෙන්නෙ කාගෙ ඇඟේද​?"

ධීවරයා ටිකක් වෙලා කල්පනා කලා.

"බේංගු ගේ ඇඟේ කටු වැඩියි"

බේංගු ප්‍රීතියෙන් වරල් විහිදාගෙන පීනගෙන ගියා. උගේ මූණේ ඇඳිච්ච හිනාව අදත් ඒ විදිහටම තියෙනවා.

ඒත් ෆිලෝමදි බොහෝම ලැජ්ජාවට පත් වුනා. ඌ කොරල් පරයේ මුල්ලක හැංගිලා අඬන්න පටන් ගත්තා. කොච්චර ඇඬුවද කියනව නං උගේ ඇස් දෙක මූණේ එක පැත්තකට ගියා. ඌ ලැජ්ජාව නිසා නිදහසේ පීනන්න ගියේ නෑ. කොරල් පරයේ වැලි අස්සේ හැංගිලා ජීවත් වුනා.

ඒ විදිහට තමයි බේංගුට හිනා වෙන මූණක් සහ ෆිලෝමදි ට දුක්බර මූණක් ලැබුනේ.


- කතාව කිව්වේ කරංගේ ෆත්මා ඩීඩී (ෆුවාමුලාකු දූපත​)

අටුවාව​

1. බේංගු

ඉංග්‍රීසියෙන් "milkfish" ලෙසත්, සිංහලෙන් "වයික්කයා" ලෙසත් හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "බේංගු" කියලා. බේංගු අඩි 3-4 පමණ දිගට වැඩෙන තරමක් විශාල මාළුවෙක්. බේංගු ගේ කට පිහිටලා තියෙන අමුතු ආකාරය නිසා මුහුණ පේන්නෙ හිනාවේගෙන ඉන්නව වගේ


2 ෆිලෝමදි
 

ඉංග්‍රීසියෙන් "tropical flounder" ලෙස, හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "ෆිලෝමදි" කියලා. ෆිලෝමදි ජීවත් වෙන්නෙ කොරල් පර ආශ්‍රිතව​. මුහුදු පතුලට කිට්ටුවෙන් වැලි අතරේ ඉන්න ෆිලෝමදි ගේ ඇඟ පැතලි හැඩයක් ගන්නවා. ෆිලෝමදි ගේ විශේෂත්වය තමයි උගේ ඇස් දෙකම පිහිටලා තියෙන්නෙ සිරුරේ එකම පැත්තේ වීම​.


3. බේබෙ

බේබෙ කියන්නෙ තරමක් වැඩිහිටි පිරිමියෙක් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "මාමා" නැත්තම් "අයියා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

Sunday, August 12, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 55 (කුල්ලවා ෆලු රාණි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

කුල්ලවා ෆලු රාණි (කිරල​ කැලේ රැජිණ​)


එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොනේ අතොළුවක තිබුන විශාල දූපතක දුප්පත් තරුණ යුවලක් වාසය කළා. මේ දූපතේ භූමිය වගුරු සහිත එකක්. දූපතෙන් බාගයක් විතර වහගෙන විශාල කිරල​ කැලයක් මේ වගුරු සහිත බිමේ සරුවට වැවිලා තිබුනා. වගුරු බිමේ මැසි මදුරුවන් යහමින් වාසය කළ නිසා දූපත් වාසීන් කිරල​ කැලය සැලකුවේ මිනිස් වාසයට නුසුදුසු බිමක් විදිහට​. ඒත් තරුණ යුවල ජීවත් වුනේ කඩොල් කැලය මැද හදාගත්ත පුංචි පැලක​.

ඔවුන් බොහෝම දුප්පත් නිසා එදාවේල හම්බ කරගත්තේ බොහොම අමාරුවෙන්. ගොඩක් දවස් වලට ඔවුන් ගේ ආහාරය වුනේ කිරල ගෙඩි. කලාතුරකින් පොල් ගෙඩියක් කඩාගන්නත්, නොගැඹුරු දියේ ඉන්න කුඩා මාළුවෙක් අල්ලගන්නත් ඔවුන්ට හැකි වුනා. ඒත් ඔවුන් ගේ ප්‍රධාන ආහාරය වුනේ කිරල ගෙඩි.

ඔවුන් දුප්පත් වුනත්, බොහොම අමාරුවෙන් ජීවත් වුනත්, සතුටින් ජීවත් වුනා. දූපතේ එහා කෙළවර තිබුන ගමට ඔවුන් ගියේ බොහොම කලාතුරකින්. ඔවුන් ජීවත් වුන මැසි මදුරුවන් පිරුන වගුරට දූපත් වාසීන් කවදාවත් ආවෙ නෑ.

තරුණිය ගැබ් ගත්තා. ඔවුන් හොඳ දරුවෙක් ලබාදෙන්න කියල දෙවියන්ට කන්නලව් කළා. දේව කරුණාවෙන් ඔවුන්ට ඉතාම ලස්සන දියණියක් ලැබුනා. දියණිය තමයි එදා පටන් ඔවුන්ගෙ ජීවිතයේ සතුට වුනේ.

මේ දියණියගේ මුළු ජීවිතයම කිරල කැලයත් එක්ක බැඳිල තිබුනා. ඇගේ දෙමාපියන් කිරල ගෙඩි කඩද්දි ඇය කිරල ගහක් යට හෙවනේ නිදා ගත්තා. නැතිනම් කිරල ගහක් යටට වෙලා තනියම සෙල්ලම් කළා. ඇය මව්කිරි හැර වෙනත් කෑම ගන්න වයසට ආවම ඇගේ මව ඉදුනු කිරල ගෙඩි අතින් පොඩි කරල ඒ යුෂ ඇයට පෙව්වා.

ඇය දුවපැන ඇවිදින වයසට ආවම දෙමාපියන් ඇයට කිරල කැලේ නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. කිරල කැලේ භයානක සත්තු හිටියෙ නැති නිසා ඇයට බයක් වෙන්න හේතුවක් තිබ්බෙ නෑ. ඇය මඩේ බැහැගෙන සහ කිරල ගස් උඩ නැගගෙන කිරල ගෙඩි කමින් මුළු දවසම ගත කළා. ඉර බැහැගෙන යද්දි ගෙදර ඇවිත් කිරල ගෙඩිවලින් ඇගේ මව හදල තිබුන මොකක් හෝ කෑමක් කාල නින් දටගියා.

කාලය ගත වුනා. දැරිය දැන් කදිම තරුණියක්. ඇය ඉතාමත් ලස්සනයි. ඒ වගේම කිරල කැලේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇයට හුරු පුරුදුයි. ඇයට ඕනම කිරල ගහකට නගින්නත්, අතු නොබිඳෙන විදිහට අතු අගට ගිහින් කිරල ගෙඩි කඩන්නත් පුළුවන් වුනා. හොඳම ගෙඩි හැදෙන ගස් ඇය කටපාඩමින් දැනගෙන හිටියා. ගෙඩි වල හැඩයෙන් ඒවායේ රස වෙනස් වෙන හැටි කියන්න ඇයට පුළුවන් වුනා.

තරුණිය මුළු දවසම ගත කලේ කිරල කැලේට වෙලා. ඇය ගෙදර ගියේ නිදාගන්න විතරයි. ඇයට ලියන්න කියවන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ජීවිතේ බලාපොරොත්තු තිබුනේ නෑ. ඇයට ඕන කරපු එකම දේ මුළු ජීවිත කාලෙම කිරල කැලේට වෙලා ජීවත් වෙන්නත්, හවසට ගෙදර ඇවිත් නින්ද යන තුරු දෙමාපියන් එක්ක සින්දු කියන්නත්, විහිළු කතා කියන්නත්.

එක දවසක් විශාල නැවක් දූපත අසල නැංගුරම් දැම්මා. ඒ රදුන් (රජතුමා) ගේ නැව​. තමාගේ රාජධාණියේ උතුරු දිග දූපත් වල සංචාරයක නිරත වෙමින් සිටි රදුන් ආපහු මාලේ බලා යමින් හිටියා. ඔහු නැවේ තට්ටුවට වෙලා සරුවට වැවුනු කැලෑව දිහා බැලුවා.

"මොනවද අර ගස් ජාතිය​"

"ඒ කිරල ගස් රජතුමණි. මේ දූපත බොහොම දුප්පත්. ඒත් මුළු රාජධාණියේම විශාලම කිරල කැලෑව තියෙන්නෙ මේ දූපතේ."

තමාගේ රාජධාණියේ විශාලම කිරල කැලෑව බලන්න රදුන්ට ආසාවක් ඇති වුනා.

"අපි පොඩ්ඩකට දූපතට ගොඩ බහිමු. මට මේ කැලෑවේ ඇවිදින්න ඕනෙ."

ඔවුන් කුඩා බෝට්ටුවකින් ගොඩබිමට ආවා. දූපත් ප්‍රධානියාව හමු වෙලා ඔහුගේ පිළිගැනීම භුක්ති වින්දට පස්සෙ රදුන් කිරල කැලය බලන්න යන්න සූදානම් වුනා.

රදුන් තරුණයෙක්. ඔහු ත්‍රාසජනක ක්‍රීඩා වලට ආසයි. ඒ නිසා ඔහු කැලයට පිටත් වුනේ තනිවම​. පිරිවර සෙනඟ කොයිතරම් විරුද්ධ වුනත් ඔහු ඒවා තුට්ටුවකට මායිම් කලේ නෑ.

නුපුරුදු වගුරු බිමේ රදුන් ඉතාම අමාරුවෙන් ඉදිරියට ගමන් කළා. ඔහු එකපාරටම කැලයේ ඈත අපැහැදිලි ඡායාවක් දැක්කා. ඉතාම පරිස්සමෙන් සද්දයක් නොනැගෙන විදිහට ඔහු ඒ පැත්තට කිට්ටු කලා.

ඔහු දැක්කේ තමාගේ ජීවිතේටම දැකපු ඉතාම ලස්සනම තරුණිය​. ඇය ඔහුට පිටුපාලා බිම ඉඳගෙන කුඩා වට්ටියකට කිරල ගෙඩි එකතු කරමින් හිටියා. රදුන් හිටිතැනම ගල් ගැහිලා බලාගෙන හිටියේ ඇගේ ලස්සනෙන් වශී වෙලා.

එකපාරටම ඔහුට කල්පනා වුනා මේ යක්‍ෂනියක් වෙන්න පුළුවන් කියල. ඔහු ඒ සිතුවිල්ලෙන් තිගැස්සුනා. තිගැස්සුනු පාර ඔහුට පෑගුනු දිරාගිය අත්තක් බිඳිල ගියා. ඒ සද්දෙන් තරුණිය හැරිල බැලුවා. ඇය දැක්කා කවුදෝ අමුත්තෙක් ඇය දිහා බලාගෙන ඉන්න හැටි. ඇය සැනෙකින් කිරල කැලය ඇතුලට අතුරුදහන් වුනා.

රදුන් ආපහු ගමට ගිහින් තමා දැකපු දේ කිව්වා. ගම් වාසීන් ඔහුට කැලය මැද ජීවත් වෙන පවුල ගැනත්, ඒ පවුලේ ඉතාම ලස්සන දියණිය ගැනත් විස්තර කිව්වා. මග පෙන්වන්න ගම් වාසියෙකුත් එක්ක රදුන් තමාගේ පිරිවර සමඟ කැලය මැද තිබුණු පැල හොයාගෙන පිටත් වුනා.

ඔවුන් එනවා දැකපු තරුණිය මහා හඬින් විලාප තියාගෙන පැල ඇතුළට ගිහින් හැංගුවා. රදුන් ගේ පිරිවරට සහ ඇගේ දෙමාපියන්ට ඇයව සන්සුන් කරන්න සෑහෙන උත්සහයක් දරන්න සිද්ධ වුනා. අන්තිමේදී ඇය සන්සුන් වුනාට පස්සෙ රදුන් ඇයව විවාහ කරගන්න කැමති බව ඇගේ දෙමාපියන්ට කිව්වා.

ඇගේ දෙමාපියන්ට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. රදුන් ඇයව තමාගෙ නැවට කැඳවාගෙන යන හැටි ඔවුන් කඳුළු පිරුනු දෙනෙතින් බලාගෙන හිටියා.

ජීවිතයේ පළමු වතාවට තරුණිය කිරල කැලයෙන් එළියට අඩිය තිබ්බා.

මාලේ දක්වා නැව් ගමන ඇයට ඉතාම අසීරු වුනා. ඇයට හැම දෙයක්ම නුපුරුදුයි. මිනිස්සු ළඟට එනවට ඇය කැමති වුනේ නෑ. කවුරුහරි ඇය අසලට ආවම ඇය මහා හඬින් විලාප තියා හඬා වැටුනා. නැවේ තිබුනු කිසිම දෙයක් ඇය කෑමට ගත්තේ නෑ. ඇයට ඕන වුනේ කිරල ගෙඩි. යන්තම කැඳ ටිකක් ඇයට පොවන්න සේවකයන්ට අමාරුවෙන් පුළුවන් වුනා. නැවේ මුල්ලකට වෙලා භීතියෙන් වෙව්ලමින් හඬා වැටෙන ඇය දිහා රදුන් බැලුවේ අනුකම්පාවෙන්.

මාලේ දූපතට ඇවිත්, මාළිගයට ආවට පස්සෙ මාළිගාවේ සේවිකාවෝ ඇය සෝදල පවිත්‍ර කරලා වටිනා සළු පිළි ඇන්දුවා. රසවත් ආහාර කෑමට දුන්නා. සුවඳ විලවුන් ඇඟ ගැල්වුවා. ඇගේ ලස්සන දැකපු හැමෝම විශ්මයට පත් වුනා.

හෙමින් හෙමින් ඇය මාළිගාවේ ජීවිතයට පුරුදු වුනා. රදුන් ගේ සේවිකාවෝ ඇයට ලියන්න කියවන්නත්, ප්‍රභූන් එක්ක කතාබහ කරන්නත්, උත්සව අවස්ථාවලදී හැසිරෙන්න ඕන විදිහත් කියල දුන්නා. රැජිණක් ඇවිදින්න ඕන විදිහ සහ කතාබහ කරන්න ඕන විදිහ ඇය ටිකෙන් ටික ඉගෙන ගත්තා.

ඔය විදිහට ටික කාලයක් ගතවුනා.

ඇගේ දූපතේ වෙළඳ කණ්ඩායමක් මාලේ දූපතට වෙළඳාමේ ආවා. ඔවුන්ට ආසාවක් ඇති වුනා තමාගේ දූපතේ උපත ලබපු, දැන් මුළු දිවෙහි රාජ්ජේම අග රැජිණිය බැහැ දකින්න​.

ඔවුන් දැනගෙන හිටියා ඇය කිරල ගෙඩි කන්න කොයිතරම් ආසද කියලා. ඒ නිසා ඔවුන් ඇයට තෑගි විදිහට පොල්කොළ වලින් වියපු විශාල පෙට්ටියක් පුරවල කිරල ගෙඩි අරගෙන ගියා.

මාළිගයේදී මුරකාරයො ඔවුන්ව රැජිණිය ඉදිරිපිටට අරගෙන ගියා. ඉතාම වටිනා සළු පිළි වලින් සැරසුන රැජිණිය ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. ඇය කියන්න බැරි තරම් ලස්සනයි.

ඔවුන් ඇයට කියා හිටියා ඔවුන් ඇගේ දූපතේ ඉඳල ආපු බවත්, ඇයට තෑගි ගෙනාපු බවත්. ඇය ඔවුන් අතින් පෙට්ටිය අරගෙන පියන ඉවත් කරල බැලුවා.

"අපි හිතුවා ඔබතුමිය කිරල ගෙඩි කන්න ආස වෙයි කියල​. ඒවා මාලෙ දූපතේ වැවෙන්නෙ නෑ නොවැ."

රැජිණිය ඇගේ ලස්සන ඇඟිලිතුඩු වලින් කිරල ගෙඩියක් අරගෙන ඒ දිහා හොඳින් බැලුවා. ඇගේ ලස්සන ඇස් විස්මයෙන් ලොකු වුනා. ඇය කිරල ගෙඩිය ඒ මේ අත හරවමින් හොඳට ඒ දිහා බැලුවා.

"මේක හරිම අපූරු ගෙඩියක් නෙ. මේ ගෙඩියෙ නැට්ට තියෙන්නෙ මේ පැත්තෙද අනික් පැත්තෙ ද​?"


කවුරුහරි කෙනෙක් පොහොසත් වුනාට පස්සෙ තමාගෙ මුල අමතක කරනව නම්, තමාගේ දුප්පත් නෑදෑයන් ගැන ලැජ්ජා වෙනව නම් දිවෙහි රාජ්ජේ වැසියො කියන්නෙ "එයා හරියට කිරල කැලේ රැජිණ වගේ" කියල.෴

- කතාව කිව්වේ ගාගේ අයීෂා නාස්නීන් (මාලේ දූපත​)

 

අටුවාව​

1. කිරල​

දිවෙහි බසින් "කුල්ලවා" කියල හැඳින්වෙන්නේ සිංහලෙන් කිරල කියල හැඳින්වෙන ගහ​. කඩොලාන ශාකයක් වන මේ ගහ නොගැඹුරු කලපු වල සහ වගුරු බිම් ආශ්‍රිතව හැදෙන ගහක්. කිරල ගහේ ගෙඩිය දිවෙහි රාජ්ජේ වගේම ලංකාවේත් ආහාරයට ගන්නවා.




Monday, August 6, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 54 (තෝෂලි තකුරු ට වැහුනු හොල්මන)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

තෝෂලි තකුරු ට වැහුනු හොල්මන


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක "තෝෂලි තකුරු" කියල මනුස්සයෙක් වාසය කලා. එක දවසක් හවස ඔහු කැලයට ගියා ලී දඬු ටිකක් කපා ගන්න​.

කැලයේදි ඔහුට හමුවුනා අත හැරල දාපු සොහොන් බිමක්. ඒක බොහොම කාලෙකට ඉස්සර මැරිච්ච මිනිස්සු මිහිදන් කරන්න පාවිච්චි කරල, පස්සෙ කාලෙක කාටත් අමකත වෙලා ගිය තැනක්. සොහොන් ගල් ඒ මේ අත ඇද වෙලා. සොහොන් වහගෙන වල් වැවිලා.


එකපාරටම තෝෂලි තකුරු ට දැනුනා ඔහු පිටිපස්සෙ කවුදෝ ඉන්නව වගේ. ඔහු පිටිපස්ස හරිල නොබල ඉන්න උත්සහ කළත්, ටික වෙලාවක් ගතවුනාම ඔහුට තේරුනා කවුරුහරි ඔහු පිටිපස්සෙ ඉන්නවා කියලා. ඔහු ඔළුව සම්පූර්නයෙන්ම හරවන්නෙ නැතුව යන්තම් ඇස් කොණෙන් පිටිපස්ස බැලුව​. ඔව්. ඔහුට හිතුන හරි. ඔහු පිටිපස්සෙන් "විගනි" (හොල්මනක්) හිටියා.

විගනි ඔහුට ඉතාම සමීපයෙන් පොළවට පොඩ්ඩක් ඉහළින් අහසේ පාවෙමින් හිටියා. තකුරු විගනි නොදැකපු බවක් අඟවමින් දිගටම ඇවිදගෙන ගියා. වේගය වැඩිත් නොකර, අඩුත් නොකර ඔහු ආපු වේගයෙන්ම ගමන් කරන්න තකුරු උත්සහ කලා. කොයි මොහොතේ හරි විගනි ඔහුගේ බෙල්ලට පහරදීලා මරා දායි කියන සිතුවිල්ල ඔහුගේ හිත භීතියට පත් කළා.

ඒත් විගනි ඔහුට මොකවත් කළේ නෑ.

විගනි ඔහු අතහැර යන්න කියල දෙවියන්ට කියමින් ඔහු ලී දඬු කපන්න පටන් ගත්තා. ඒත් විගනි ඔහු අතහැර ගියෙත් නෑ. ඔහුට අඩියක් පමණ දුරින් පාවෙමින් හිටියා. ඔහුව අල්ලන්න තරම් ලං වුනෙත් නෑ.

ඉර බැහැගෙන ගියා. ටික ටික අඳුර වැටෙද්දි තකුරුට බය හිතුනා. ඔහු වේගයෙන් ගෙදර පැත්තට දුවන්න පටන් ගත්තේ විගනි ව මඟ හැර ගන්න අදහසින්. ඒත් කොච්චර වේගෙන් දිව්වත් විගනි ඔහු අසලින්ම ආවා. ඔහු ගෙදරට ඇතුල් වුනේ හති දමමින් සහ දාඩිය පෙරමින්. ගෙට ඇතුල් වුන වහාම ඔහු දොර වහල දැම්මා. විගනි ගේ ඇතුලට ආවෙ නෑ.

තකුරු සැනසුම් සුසුම් හෙළුවේ විගනිගෙන් ගැලවුනා කියල හිතාගෙන​. ඒත් රෑ එළිබහින්න හිතාගෙන එළියට ආව වහාම විගනි ආයෙත් ඔහු පසු පසින් හිටියා. රාත්‍රී අඳුරේ උගේ ස්වරූපය වඩාත් බියකරු පෙනුමක් ගත්තා.

ඊළඟට ගතවුන දින කීපයේදී ඔහු ගෙදරින් එළියට ආව වහාම විගනි ඔහු පසුපසින් පාවෙමින් හිටියා. ඔහු යන හැමතැනම ඔහුට අඩියක් විතර පසුපසින් ඔහු පස්සෙන්ම ආවා. ඒත් කිසිම වෙලාවක ඔහුට අනතුරක් කළේ නෑ.

ටික දවසක් යද්දි තකුරු කොයිතරම් අසහනයට පත් වුනාද කිව්වොත්, විගනි ඔහුට පහරදීලා ඔහුව මරල දායි කියල ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා.

අදටත් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක විසඳෙන්නෙත් නැතුව​, ලොකු කරදරයක් වෙන්නෙත් නැතුව ඇදි ඇදී යනව නම්, ඒ නිසාම ප්‍රශ්නය ඇති වුන කෙනා ඒකෙන් විශාල පීඩාවක් විඳිනව නම් දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "තෝෂලි තකුරා ජෙහුනු විගනි" (තෝෂලි තකුරු ට වැහුණු විගනි වගේ) කියල​෴

- කතාව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත​)



අටුවාව​

1. විගනි

"විග්න​" කියන සංස්කෘත වචනයෙන් බිඳිල ආව දිවෙහි වචනයක් වන "විගනි" වලින් අදහස් කෙරෙන්නෙ මියගිය කෙනෙක්ගෙ ආත්මයක්.

Friday, August 3, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 53 (දූපත කෙළවරේ ගහ​)

 (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 දූපත කෙළවරේ ගහ


එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොණේ දූපතක "කලේෆානු" කියල මනුස්සයෙක් වාසය කළා. කලේෆානු තමයි ඒ දූපතේ ප්‍රධානියා වගේම මුළු අතොළුවේම පෝසත්ම කෙනා. ඔහුට බෝට්ටු තුනක් සහ පොල් ගස් රාශියක් අයිති වුනා.

කලේෆානු ගේ ප්‍රියතම පුතාගෙ නම "තුත්තු කලේෆානු". තුත්තු කලේෆානු බොහොම කඩවසම් ඉලන්දාරියෙක්. ඔහුගේ තත්වයේ කෙනෙක්ට ගැලපෙන විදිහටම තුත්තු  කලේෆානු ඉතාම විනීත සහ ආචාරශීලී ගති පැවතුම් තිබුනු කෙනෙක්.

එක උදෑසනක තේ බොන ගමන් කලේෆානු තුත්තු ට කතා කරල මෙහෙම කිව්වා.

"තුත්තු, මම අද උදේ දූපතේ දකුණු කෙළවරේ තියෙන අපේ පොල්ගස් බලන්න යන්න ඕනෙ. ඒත් මට "රාජ්ජෙබලි" (හන්දිපත් රුදාව​) හැදිලා, වැඩි දුර ඇවිදින්න බෑ. උඹ ගිහිල්ල ගස් ටික බලල වරෙන්. පොල් ගෙඩි කඩන්න මිනිස්සු හවසට යවන්න ඕනෙ."

තුත්තු කලේෆානු පියාට බොහොම කීකරුයි. ඔහු තේ බීල ඉවරවුන හැටියෙම දූපතේ දකුණු පැත්තට යන්න පිටත් වුනා. පහුගිය දවස් කීපයේ ඔවුන් ගේ දූපතට තද සුළං හැමුවා. සුළඟෙන් පොල්ගස් වලට හානි වෙලාද කියල බලන එක තමයි ඔහුගේ ගමනේ අරමුණ වුනේ.

පාළුවට ගිය කැලෑ පාරවල් ඔස්සේ තුත්තු දූපතේ දකුණු කෙළවරට ළඟා වුනා. දූපතේ අන්තිම කෙළවරේ පොල් ගස් කීපයකට සුළඟෙන් හානි වෙලා තිබුනත්, බොහොමයක් පොල්ගස් හොඳින් තිබුනා. මේ සතුටුදායක පුවත කලේෆානුට කියනකං තුත්තු ට ඉවසිල්ලක් තිබුනේ නෑ.

දූපතේ දකුණුම කෙළවර බොහොම පටුයි. එතැන සිහින් දිග වැලි තීරයක් මුහුද දිහාවට විහිදිලා තිබුනා. තුත්තු ඒ වැලි තීරය මතට වෙලා කොරල් පරය දිහා බැළුවා. එදා වළාකුළු පිරිච්ච දවසක්. මද්දහනට කිට්ටු වෙලා තිබුනත් රස්නයක් තිබුනේ නෑ. වළාකුළු තිබුනත්, වැස්සක ලකුණක් තිබ්බෙ නෑ. ඉතාම සනීපදායක සුළඟක් මුහුද පැත්තෙ ඉඳන් හමමින් තිබුනා.

තුත්තු හිටපු තැනට අසල්වැසි දූපත හොඳින් පෙනුනා. ඒ දූපත පිහිටලා තිබුනෙත් තුත්තු ගෙ දූපත තිබුන කොරල් පරයේ මයි. අසල්වැසි දූපත බොහොම දුප්පත්, වරායක්වත් නැති කුඩා දූපතක්. තුත්තු කවදාවත් ඒ දූපතට ගිහිල්ල තිබුනෙ නෑ. ඒ දූපත වටේටම තිබුන නොගැඹුරු කලපුව නිසා බෝට්ටුවක් දියත් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එහෙම පුළුවන් වුනත්, ඒ දූපතේ කාටවත් බෝට්ටුවක් හදන්නවත්, මිලදී ගන්නවත් වත්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඒ දූපතේ වැසියන් මුහුදු ගියේ නෑ. ඔවුන් කොරල් පරයේ ඉන්න කුඩා මාළු කීපදෙනක් අල්ලගෙන කෑමට ගත්තා. ඔවුන් ජීවත් වුනේ කුඩා පැල් කොට වල​. කොටින්ම ඒ දූපතේ ගහක්වත් හරියට හැදුනේ නෑ.

එකපාරටම තුත්තුට ඒ දූපතට යන්න ආසාවක් ඇති වුනා. ඔහු නොගැඹුරු මුහුදට බැහැල ඒ දූපත පැත්තට ඇවිදින්න පටන් ගත්තා.


හැතැම්මක විතර ගමනකින් පස්සෙ තුත්තු කලේෆානු අනෙක් දූපතේ වෙරළට ආවා. මුළු වෙරළ පුරාම තිබුනේ "මගූ" පඳුරු විතරයි. ඒ පඳුරු අස්සෙ පුංචි කකුළුවෝ හිටියා.

තුත්තු වෙරළට ගොඩ වෙලා දූපත ඇතුළට ගියා. ඔහුට ශබ්ධයක් ඇහුනා. මගූ පඳුරු අතරින් සද්දෙ ඇහෙන පැත්තට ඇවිදගෙන ගියා. ඔහු දැක්කා වේලුණු ගස් මුලක් ළඟ ඉඳගත්ත තරුණියක් ඒක දරට ගන්න කපන හැටි.

තරුණිය ඔහුව දැක්ක විතරයි බිරාන්ත වෙලා පැනල දුවන්න හැදුවා. ඒත් තුත්තු ඇයව සන්සුන් කලා.

"බයවෙන්න එපා. මම එහා දූපතේ ඉන්නෙ. මේ දූපතේ හැටි බලන්න ආවෙ."

තරුණිය තුත්තු දිහා හොඳට බැලුවා. ඔහුගේ කඩවසම් මුහුණ දැකපු ඇයට හිතුනා ඔහු අවංක කෙනෙක් වෙන්න ඇති කියලා.

"අපි වාඩිවෙමු"

තුත්තු බිම වාඩි වෙලා තමන් ගෙ මඩිස්සලෙන් බුලත් විටක් අරගත්තා. ඔහු තමාට විටක් හදාගෙන තරුණියටත් විටක් හදල දුන්නා. ඇය ඒක පිළිගත්තා.

"ඔයාගෙ නම මොකද්ද​?"

"හව්වාෆුලු"

ඔවුන් බුලත් හපමින් කතාබහ කළා. ඇය ඔහුට ඇයගේ දූපතේ දුෂ්කර ජීවිතය ගැන විස්තර කළා.

"අපිට ළිං වල බොන වතුර නෑ. ඒ නිසා මම හැමදාම උදේට පොල් කටුවකින් වලක් හාරල වතුර හොයාගන්නවා. වතුර ගත්තට පස්සෙ ඒ වල වහල දානව​. පහුවදා උදේට ආපහු වෙන වලක් හාරන්න ඕනෙ."

ඇය බොහොම චතුර විදිහට කතා කලා. කතාවෙන් පෙණුනේ ඇය ඉතාම බුද්ධිමත් බව​. ඒක තුත්තුට පුදුමයක් වුනා. ඔහු හිතාගෙන හිටියේ දුප්පත් මිනිස්සු ඔහුගේ පියාගේ පොල් වතු වැඩ කරපු මිනිස්සු සහ ඔවුන් ගේ ගෙදර කුස්සියේ වැඩ කරපු කාන්තාව වගේ නීරස​, උදාසීන මිනිස්සු කියලා. ඒත් මේ තරුණිය බොහොම සිත්ගන්නා සුළුයි.

ඔවුන් සෑහෙන වෙලාවක් කතාබහ කරමින් හිටියා. සීතල මුහුදු හුළං ඔවුන් ගේ සිරුරු හරහා හමා ගියා.

"මම දැන් යන්න ඕනෙ. අපිට මේ මගූ පඳුරු අස්සෙ දර හම්බවෙන්න බොහොම ටිකයි. තව පරක්කු වුනොත් අම්ම කලබල වෙයි."

හව්වාෆුලු ඈත පේන තුත්තු ගෙ දූපත දිහාවට ඇඟිල්ල දික් කලා.

"අර දූපතේ නම් ගොඩක් ගස් තියෙනවා. ගොඩක් දර තියෙනවා."

"ඔයා ඒ දූපතට ගිහිල්ල තියෙනවද​?"

"නෑ. ඒත් මට කියන්න පුළුවන්"

හව්වාෆුලු මද සිනා පාමින් කිව්වා.

තුත්තු ගෙ හදවතේ ගැස්ම ටිකක් වැඩි වුනා වගේ ඔහුට දැනුනා.

"අපි ආයෙ හමුවෙමුද​?"

"සමහර විට​. මට ගොඩක් වැඩ තියෙනවා. "

තුත්තු ටිකක් වෙලා කල්පනා කළා.

"හරි මට හොඳ අදහසක් ආවා. ඔයා අපේ දූපතට එන්න​. එහෙදි ඔයාට ඕන තරම් දර හොයාගන්න පුළුවන්. දර හොයන අතරෙ අපිට කතා කරන්න පුළුවන්."

"එහෙ ඉන්න ගෑණු ළමයි මට දර හොයන්න ඉඩ දෙයි ද​?"

තුත්තුට හිනා ගියා.

"එහෙ ගෑණු ළමයි කවුරුත් නෑ. ඔය පේන හරිය අයිති මගේ තාත්තට​. එයා කාටවත් එහෙ එන්න දෙන්නෙ නෑ."

හව්වාෆුලු එකපාරටම ඔහුදිහා පරික්‍ෂාවෙන් බැලුවා. ඇගේ ඇස් දෙක ලොකු වුනා.

"ඔයා කලේෆානු ගෙ පුතා ද​?"

"ඔයා එයාව දන්නවද​?"

හව්වෆුලු අමනාපෙන් ඇස් හකුළුවාගත්තා.

"හැමෝම එයාව දන්නවා. ඔයා මොනවද මෙහෙ කරන්නෙ? මම හිතුවෙ ඔයා සාමාන්‍යය කෙනෙක් කියල​. ඔයා මාව විහිළුවකට ගන්නවද​?"

"මම ඔයාව විහිළුවකට ගත්තෙ නෑ. මම ඔයාට කැමතියි."

හව්වාෆුලු හුස්ම ඉහළට ඇදගත්තා.

"මම බොහොම දුප්පත්. කෙට්ටුයි. කළුයි. ඔයා ලස්සනයි. උගත්. පෝසත්. මම හිතන්නෙ ඔයා මාව රවට්ටන්න හදනවා."

ඇය නැගිටලා යන්න පිටත් වුනා.

තුත්තු ඇය පස්සෙන් යමින් ඔහු කරන්නෙ බොරුවක් නොවෙන බව ඇයට ඒත්තු ගන්වන්න ගොඩක් උත්සහ කළා. ගොඩාක් වෙලාවකට පස්සෙ ඇය ඔහුගේ දූපතට එන්න කැමති වුනා.

"මම දවල්ට ආවොත් මිනිස්සු දකීවි. ඒ නිසා මම ඉර බැහැල් ගියාට පස්සෙ එන්නම්. අපේ අම්මට හොඳටම නින්ද යනවා."

පහුවදා හවස හව්වාෆුලු සීතල මුහුදු වතුරට බැහැල තුත්තු ගෙ දූපත දිහාවට ඇවිදගෙන ගියා. මුහුද බොහොම නොගැඹුරුයි. වතුර තිබුනේ යන්තම් ඇගේ ඉණ ගාවට විතරයි. අඳුර වැටිල තිබුන නිසා ඇයට බයක් දැනුනත්, තුත්තු හමුවෙන්න තිබුනු ආසාව නිසා ඇය හිත දැඩි කරගෙන දිගටම ඇවිදගෙන ගියා.

තුත්තු මුළු හවස් වරුවෙම පොල් වත්ත පුරා ඇවිදිමින් දර එකතු කරල මිටිය බැඳල තිබුනා. ඔහු දර මිටියත් එක්ක දූපත කෙළවරේ තිබුන තනි ගහ යට ඉඳගෙන හව්වාෆුලු එනතුරු බලාගෙන හිටියා. ඇය එයි ද නැද්ද කියල ඔහුගේ හිතේ තිබුනේ දෙගිඩියාවක්.

එක පාරටම ඔහු දැක්කා අඳුර මැදින් මුහුද දිහාවෙන් ඡායාවක් ඔහු දිහාට එන හැටි. ඔහු රහසින් ඇයට කතා කළා.

"හව්වාෆුලු..."

ඇය එකපාරටම තිගැස්සුනත්, හෙමිහිට වෙරළට ගොඩ වෙලා ඔහුගේ ගහ ළඟට ඇවිත් ඔහු ළඟින් වාඩි වුනා.

ඔවුන් බොහෝ වෙලාවක් තිස්සේ කතා කරමින් හිටියා.


ඔවුන්ට ඇහුනා කොහා කෑගහන සද්දෙ.

"උදේ වෙලා. මම දැන් යන්න ඕනෙ."

ඇය නැගිට්ටා. තුත්තු දර මිටිය ඇගේ හිස මත සමබර කරල දුන්නා.

"මම හෙටත් මේ වෙලාවට එන්නම්"

ඇය වතුරට බැහැල ඈතට ඇවිදගෙන ගියා.

 ඇගේ අඳුරු ඡායාව නොපෙනී යනතුරු තුත්තු බලාගෙන හිටියා. ඊට පස්සෙ ඔහු ගෙදර දිහාවට ඇවිදගෙන ගියා. ඔහුගේ හදවත උණුසුම් බවකින් පිරිල තිබුනා.

ඊළඟ දවස් කීපය ගතවුනේ හීනෙන් වගේ. ඔවුන් හැමදාම දූපත කෙළවර තිබුනු තනි ගහ යටදී හමුවුනා. ඒ ගහ බොහොම පරණ​, මහළු ගහක්. කුණාටු වලට අහුවෙලා බැට කාපු එකක්. ගහේ කඳ ඒ මේ අත ඇඹරිලා තිබුනා. ගහේ අතු ගොඩක් මැරිල ගිහින්. ඒත් රාත්‍රි කාලෙට ඔවුන්ට හෙවණක් ඕන වුනේ නෑ. අතු තිබුනෙ නැති නිසා රෑ අහසේ තරු වඩා හොඳින් දකින්න ඔවුන්ට පුළුවන් වුනා.

එක දවසක් තුතතු ගහ යටට ආවෙ බොහොම දුකෙන්.

"මම අපේ තාත්ත එක්ක කතා කළා. තාත්ත මගෙන් ඇහුව මම දැන් කෙල්ලො ගැන උනන්දුවක් නැත්තෙ ඇයි කියල​. මම කිව්වා කසාද බඳින්න නියම කාලෙ ආවම මම බඳින්නම් කියලා. ඊට පස්සෙ මම විහිළුවට වගේ ඇහුවා තාත්තෙ මම දුප්පත් කෙල්ලක් කසාද බඳින්න ද කියලා. ඒත් තාත්ත ඒ විහිළුවට කැමති වුනේ නෑ. එයාගෙ මූණ අඳුරු වුනා. එයා කිව්ව මම මෝඩ වැඩක් කරන්නෙ නැති වෙයි කියල එයා විශ්වාස කරනව කියල​. මම ජීවිතේ තෝර ගන්න දේවල් ගැන පරිස්සම් වෙන්න කියලත් කිව්වා."

හව්වාෆුලු දිග සුසුමක් හෙළුවා. ඇය ගොඩක් වෙලා යනතුරු කතා කලේ නෑ.

තුත්තු ආපහු කතා කළා.

"මම ඔයාට මුලදිම කිව්වා මම ඔයාව අතාරින්නෙ නෑ කියල​. ඒත් දැන් වැඩේ ටිකක් අමාරුයි වගේ. අපේ තාත්ත මට ගොඩක් ආදරෙයි. ඒ නිසා මම හිතුවෙ එයාව ලේසියෙන් නම්ම ගන්න පුළුවන් වෙයි කියල​. ඒත් ඒක එච්චර ලේසි නෑ වගේ."

හව්වාෆුලු හෙමීට කතා කලා.

"මම පොඩි කාලෙ ඉඳලම ජීවත් වුනේ බොහොම අමාරුවෙන්. ඔයාව මුණගැහුනම මම හිතුව ඒක වෙනස් වෙයි කියල​. ඒත් එහෙම වෙන්නෙ නැති වෙයි වගේ."

ඇය ගහ යටින් නැගිටලා යන්න පිටත් වුනා. දර මිටිය වත් අරගත්තෙ නෑ.

ඇගේ අඳුරු ඡායාව හෙමින් හෙමින් රාත්‍රී අඳුරට මුහු වෙලා යන හැටි තුත්තු කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් බලාගෙන හිටියා.


පහුවදා හවස තුත්තු ගහ යටට ආව​. කවදාවත් නැතුව එදා හව්වාෆුලු ඔහු එන්නත් කලින්ම ගහ යටට ඇවිල්ල හිටියා. තරු එළියෙන් ඔහුට ඇගේ ඡායාව පෙනුනා.

ඇය ඉන්නව දැක්කම ඔහුගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. ඔහු හෙමින් හෙමින් ඇය ළඟට කිට්ටු කලා.

"හව්වාෆුලු, ඔයා ආපු එක ගැන මට හරිම සතුටුයි. ඔයා ඊයෙ ගියේ ගොඩක් දුකෙන් නිසා මම හිතුවෙ ඔයා ආයෙ කවදාවත් එන එකක් නෑ කියල​."

හව්වාෆුලු කතා කලේ නෑ.

තුත්තු ඇයට ළංවෙලා ඇගේ උරහිසට අත තිබ්බා. ඇය හෙමීට ඔහු පැත්තට හැරිලා ඇගේ කට ඇරියා.

තුත්තු කලේෆානු භීතියෙන් ගල් ගැහුනා. ඔහු ඉදිරියේ හිටියේ හව්වාෆුලු නෙවෙයි. කටපුරා උල්දත් වැවුනු යකින්නක්. අඳුර අතරින් යකින්නගේ විශාල කට සහ සුදුපාට දත් ඔහුට පෙනුනා. යකින්න ටික ටික ලොකු වෙලා පොල් ගහක් තරමට උස වුනා.

තුත්තුට පැනල දුවන්න ඕන වුනත්, බය නිසාම අඩියක් වත් උස්සන්න පුළුවන් වුනේ නෑ. ඔහු භීතියෙන් බිම වැටිල යකින්න දිහා බලාගෙන හිටියා.

යකින්න හෙමිහිට තුත්තු දිහාවට පහත් වුනා.

පහුවදා උදේ කලේෆානු දැක්කා තුත්තු ඇඳේ නැති බව​. ඔහු කොහෙද කියල කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.

මිනිස්සු මුළු දූපත පුරාම තුත්තු ව හෙව්වා. ඒත් ඔවුන්ට හමුවුනේ දූපතේ දකුණු කෙලවරේ තිබුන මහළු ගහ යට තිබ්බ ලේ පැල්ලම් කීපයක් විතරයි.


- කතාව කිව්වේ හුසෙයින් කොයිබේ (හොලුදූ දූපත​, දකුණු මිලදුන්මදුළු අතොළුව​)

අටුවාව​

1. ධනවත් කම​

ඉස්සර දිවෙහි රාජ්ජේ මිනිස්සුන් ගෙ ධනවත් කම මැන්නේ කාරණා දෙකකින්. ඒ බෝට්ටු සහ පොල් ගස්. දිවෙහි රාජ්ජේ තිබුනු දූපත් බොහොම පොඩි නිසා විශාල ඉඩම් හිමියන් හෝ ගොවියන් හිටියෙ නෑ. ඒ වගේම හරක බාන ඇති කරන්න සුදුසු බිම් තිබුනෙත් නෑ. ඒ නිසා මිනිස්සුන් ගෙ ප්‍රධාන ජීවනෝපාය වුනේ ධීවර කර්මාන්තය සහ පොල් ගහ ආශ්‍රිත කර්මාන්ත​.

2. රාජ්ජෙබලි

"රාජ්ජෙබලි" කියන දිවෙහි වචනයේ තේරුම "දේශීය රෝගය​" කියන එක (රාජ්ජෙ = දේශීය​, බලි = රෝගය​). රාජ්ජෙබලි කියල හැඳින්වුනේ හන්දිපත් රුදාව​. දිවෙහි රාජ්ජෙ එළවළු පළතුරු වැවෙන්නෙ බොහෝම අඩුවෙන් නිසා දිවෙහි රාජ්ජෙ වැසියන්ට සමබල ආහාර වේලක් ගන්න අවස්ථාව ලැබුනෙ අඩුවෙන්. මේ නිසා ඔවුන් අතර හන්දිපත් රුදාව ඉතාම සුලබ රෝගයක්. ඒ නිසාම තමයි ඒක "දේශීය රෝගය​" කියල හඳුන්වන්න ඔවුන් පෙළඹුනේ.


3. මගූ

"මගූ" කියල දිවෙහි බසින් හැඳින්වෙන්නේ "තක්කඩ​" කියල සිංහලෙන් හඳුන්වන පඳුරු විශේෂය​. මේ පඳුරු මීටර් 4 විතර උසට වැඩෙනවා. වැලි සහ ලුණු සහිත පසේ වැවෙන ශුෂ්ක ගස් වර්ගයක් වන මගූ සාගත කාලෙට දිවෙහි රාජ්ජෙ වැසියන් කෑමට අරගෙන තියෙනවා.