Monday, February 26, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 26 (හමේ රෝගය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හමේ රෝගය​


එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ඉතාම ලස්සන තරුණියක් ජීවත් වුනා. ඇය දීග යන වයසේ හිටියත්, තරුණයන් ගෙන් ලැබුන හැම විවාහ යෝජනාවක් ම ප්‍රතික්‍ෂේප කරා.

මේ කාලයේ හැම අවුරුද්දකම බංගලිදේසෙන් වෙළඳ නැව් පන්තියක් මාලේ දූපතට එනවා. එක දවාසක් තරුණිය හැන්දෑ වරුවක වරාය අසලින් යද්දි බංගලිදේසෙන් ආව නැවක හිටපු නාවිකයෙක් දැක්කා. මේ බංගලි ජාතික නාවිකයා දිවෙහි රාජ්ජේ වැසියෙක්ට වඩා උස කඩවසම් ශක්තිමත් අයෙක්. දැකපු ගමන් තරුණියගේ හිත ඔහුට ඇදිල ගියා. තරුණිය ඔහුට හිනාවක් පෑවා. තමා එක්ක හිනා වෙන මේ ලස්සන තරුණිය දැකපු බංගලි නැවියාගේ හිතත් ඇයට ඇදිලා ගියා. ඔවුන් දෙන්නා ප්‍රේමයෙන් බැඳුනා.

ඔවුන් දෙදෙනා හැමදාම හවසට මුණගැහිලා ලොකු අඹ ගහක් යට තිබුන බංකුවක වාඩි වෙලා ඉර බහිනකං බුලත් විට හපමින් අල්ලාප සල්ලාපයේ යෙදුනා.

ටික දවසකින්ම බංගලි ජාතිකයාට ආපහු සියරට බලා යන්න දවස ආව​. එදා හවස තරුණිය ඔහු හමුවෙන්න ආවම ඔහු බැරෑරුම් හඬකින් තරුණියට මෙහෙම කිව්වා.

"හෙට රෑ තමයි මම මෙහෙ ගත කරන අවසාන රැය​. අනිද්දා උදේම අපි ආපහු බංගලිදේසෙට යනවා. හැබැයි මම යන්න කලින් ඔයා මාව විවාහ කරගන්න පොරොන්දු වෙන්න ඕනෙ."

තරුණිය බොහොම කැමැත්තෙන් එකඟ වුනා. තරුණයා ප්‍රීතියෙන් පිනා ගියා.

"හොඳයි. මම හෙට හවස ඔයාගෙ ගෙදර එන්නම්. මම එනකොට ඇඳුම්, සුවඳ විලවුන් සහ කුළුබඩු අරගෙන එනවා. ඔයාගෙ අම්ම එක්ක මේක කතා කරල වැඩේ තීන්දු කර ගමු."

පහුවදා තරුණිය ගෙදරට වෙලා තරුණයා එනතුරු නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටියා. ඒත් ඔහු ආවෙ නෑ. තරුණිය බොහොම කනස්සල්ලට පත් වුනා. අඳුර වැටීගෙන එද්දි ඇගේ ඇස් කඳුලෙන් පිරුනා.


ඇයට එක පාරටම මතක් වුනා ඔවුන් හමුවෙන අඹ ගහ​.

"සමහරවිට එයා ගෙදර එන්නෙ නැතුව අඹ ගහ යටට යන්න ඇති"

ඇය ඊ ගහක් වගේ අඹ ගහ දිහාවට දුවගෙන ගියා. ඈත තියාම ඇය දැක්කා අඳුරේ බංගලි ජාතිකයා ගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඇය හෙමින් හෙමින් එතැනට ගිහින් ඔහු ළඟින් වාඩි වුනා. ටික වෙලාවක් ඇය ඔහු ළඟ වාඩි වෙලා උන්නත් ඔහු වචනයක් වත් කතා කරේ නෑ.

තවත් ඉවසන්න බැරි තැන ඇය කටහඬ අවදි කලා.

"ඔයා මෙච්චර දවස් මාත් එක්ක බොහොම ආදරෙන් හිටියනෙ. ඇයි මේ අන්තිම දවසෙ මාත් එක්ක තරහ වෙලා?"

එහෙම අහන ගමන් ඔහු ඇගේ බාහුවට අත තිබ්බා.

අත තිබ්බ සැනින් ඇය භීතියෙන් සහ පිළිකුලෙන් පස්සට පැන්නා. ඒ අත සෙවලයි. කොරපොතු පිරිලා. ඇය තරුණයා දිහා හොඳට බැලුවා. ඒත් බංකුවේ වාඩි වෙලා හිටියෙ ඇගේ පෙම්වතා නෙවෙයි. ඉතාම පිළිකුල් සහගත ෆුරේතයෙක් (අමනුෂ්‍යයෙක්). උගේ මුළු ඇඟම සැරව ගලන ගඩු සහ සෙවල පෙරෙන කොරපොතු වලින් වැහිලා.




තොල් අතරින් උල් දත් යන්තම් පේන විදිහට දත් විළිස්සාගෙන​, ඇස් දෙක දොට්ට පනින තරම් ලොකු කරගෙන ෆුරේතයා ඇය දිහා බලාගෙන හිටියා.

එදා ඇත්තෙන්ම බංගලි ජාතිකයා​ එන්න සූදානම් වුනත්, නැවේ කපිතාන් ඔහුට යන්න අවසර දුන්නෙ නෑ. පහුවදා නැව ආපහු යාත්‍රා කරන්න සූදානම් කරන්න ඕන නිසා වැඩ ගොඩක් කරන්න තිබුනා. ඒ අවසරයෙන් ෆුරේතයෙක් ඔවුන් ගේ බංකුවේ වාඩිවෙලා.

තරුණිය ඇයට පුළුවන් තරම් වේගෙන් ආපහු ගෙදර දිව්වා. 

ගෙදර ආපු සැනින් ඇය තමාගේ කාමරයට ගිහින් ඇඳට පැනල මහා හඬින් අඬන්න පටන් ගත්තා. ඇගේ අම්මා කලබල වෙලා ලාම්පුවක් පත්තු කරගෙන ඇවිත් බැලුවා. තරුණියගේ ඇඟේ කුඩා ගඩු මතු වේගෙන එන බව ලාම්පුවේ මද එළියෙන් අම්මා දැක්කා.

දවස් ගානක් යනකං තරුණිය ඇඳෙන් බැස්සෙ නෑ. ඇය මුළු දවසම අඬමින් උන්නා. ඇයට කොයිතරම් ප්‍රතිකාර කරත් දවස් දෙක තුනක් යද්දි ගඩු පිපිරිල සැරව එළියට ආව​. ඇගේ මුළු ඇඟම සැරව පිරුණු වණයක් බවට හැරුනා. ගඩු පිපිරිච්ච තැන් විශාල තුවාල බවට පත් වුනා. ඒ තුවාල වලින් ඉවසන්න බැරි තරම් ගඳක් හැමුවා.

ඇගේ දරුණු රෝගය ගැන ආරංචි වුන අසල්වැසියන් නිලධාරීන්ට ඒ බව දැණුම් දුන්නා. නිලධාරීන් ඇවිත් ඇයව පරික්‍ෂා කරල ඇයව පිටුවහල් කරන්න නියම කලා.


ඇයව යැව්වේ මාලේ දූපතේ ගිණිකොන අන්තයේ තිබුන "ලොනුසියාරයික්කොලු" කියල හැඳින්වුන තැනකට. එතැනට නම ලැබුනේ "සියාරායි" කියල මුණිවරයෙක් ගෙ සොහොන පිහිටා තිබීම නිසා. එතැන ඝන කැලයෙන් වැසුන බිම් කඩක් තිබුනා. මිනිස්සු මුහුදු වෙරළ ළඟ ඇය වෙනුවෙන් කුඩා පැලක් හැදුවා. ඇය මේ පැලේ තනියම ජීවත් වුනා. ඇයව බලන්න එන්න අවසර තිබුනේ ඇගේ මවට විතරයි. ඇගේ මව හැමදාම කෑම සහ වතුර අරගෙන ඇවිත් ඇගේ තුවාල හෝදලා බෙහෙත් දැම්මා. නමුත් ටික කාලෙකින් අනෙක් අයට ඇය හිටියද කියලත් අමතක වුනා.

අවුරුද්දක් ගත වුනා. බංගලිදේසෙන් එන වෙළඳ නැව් පන්තිය ආපහු මාලේ වරායට සේන්දු වුනා. තරුණ බංගලි නාවිකයාත් ඒ පිරිස අතරෙ හිටියා. ඔහු බංගලිදේසෙන්, ඉන්දියාවෙන් සහ ලංකාවෙන් වටිනා තෑගි රැසක් මිලදී ගෙන හිටියෙ තරුණියගේ පවුලට ඒවා තෑගි කරල තරුණියට විවාහ යෝජනා කරන බලාපොරොත්තුවෙන්.

නැව නැංගුරම් ලන පරක්කුවෙන් ඔහු තරුණියගේ ගෙදර හොයාගෙන ගියා. එහිදී ඔහුට තරුණිය ගේ මව හමුවුනා.

"එයා එදා හවස ඔයා එනකං බලාගෙන හිටියා. ඔයා ආවෙ නැති නිසා එයා ඔයාව හොයන්න පිටත් වුනා. ආපහු ආවෙ හරිම කලබලෙන්. ඇඟ පුරාම ගඩු ඇවිත් තිබුනා. ඒත් ඒ ගැන වචනයක් වත් අද වෙනකං ඇය කිව්වෙ නෑ."

"මට ඇය හමුවෙන්න ඕනෙ"

"ඒක කරන්න බෑ. රජතුමාගෙ නිලධාරින් ඇයව කාටවත් හමුවෙන්න තහනම් කරල තියෙන්නෙ."


ඒත් තරුණ නාවිකයා අධෛර්‍යයට පත් වුනේ නෑ. ඔහු ලේසියෙන් පසු බසින කෙනෙක් නෙවෙයි. ඔහු එඩිතරයි. ඒ වගේම උදාර හදවතක් තිබුන කෙනෙක්. මාලේ කඩ වීදි ගානේ ඇවිදිමින් ඔහු මාලේ වැසියන් ගෙන් ඇහුව මාලේ දූපතේ හොඳම "ෆන්ඩිත" (යකැදුරා) ඉන්නෙ කොහෙද කියල. මිනිස්සු ඔහුව ෆන්ඩිත කෙනෙක් ගාවට අරගෙන ගියා. ඒ ෆන්ඩිත දිවෙහි රාජ්ජේ දකුණු දිග අතොළුවකින් ආව ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්.

තරුණ නාවිකයා ඔහුගේ ප්‍රශ්නය ෆන්ඩිත ට කිව්වා. තරුණයාගේ කතාවට ඉතාම හොඳින් ඇහුම්කන් දුන්න ෆන්ඩිත මෙහෙම කිව්වා.

"ඔබේ මිතුරියට හැදිල තියෙන්නෙ සාමාන්‍යය ලෙඩක් නෙවෙයි. මොකෙක් හරි බලගතු අමනුෂ්‍යයෙක් ඇයට බැල්ම දාගෙන ඉන්නවා. ඌ ඇයව නිදහස් කරන්නෙ නෑ."

තරුණයා තමාගේ පෙම්වතිය සුවපත් කරල දුන්නොත් විශාල මුදලක් ෆන්ඩිතට දෙන්න​ පොරොන්දු වුනා. ෆන්ඩිත තරුණයා දිහා හොඳින් බැලුවා. ඔහු දැක්කා තරුණයා ගේ එඩිතර බව සහ අවංක කම​. ඔහු මේ බාරදූර වැඩේට අතගහන්න කැමති වුනා.

 "මේක ලේසි සෙල්ලමක් නෙවෙයි. මට වැඩේ වරදින්නත් පුළුවන්. වැඩේ හරිගියොත් විතරක් සල්ලි දෙන්න​."

ෆන්ඩිත වැඩේ බාර ගැනීම ගැන තරුණ නාවිකයා ප්‍රීතියෙන් ඉපිල ගියා.

"අපි දැන් මොකද කරන්න ඕනෙ?"

"අපිට ඕනෙ ශක්තිමත් මිනිස්සු දොළොස් දෙනෙක්. ඔවුන්ට "අවෙලි" (හුණුසල්) වලින් හදපු හොඳ කෑම වේලක් දෙන්න ඕනෙ. ඔවුන් හොඳට කෑවොත් ඔවුන් බියපත් වෙන එකක් නෑ. ඊට පස්සෙ අපි ඔවුන්ට "කුරෙදි" ලීයෙන් හදපු හොඳ සවිමත් පොලු දොළහක් දෙන්න ඕනෙ. උඹ මේ පොලු ගත්ත මිනිස්සු දොළොස් දෙනා එක්ක ගෑණු ළමය ඉන්න කැලෑව ළඟට අද රෑ ඉර බැස්සට පස්සෙ එන්න ඕනෙ. මම උඹලව එතනදි හමු වෙන්නං"


එදා හවස තරුණයා මාලේ කඩපිල් වල ඇවිදලා ශක්තිමත් මිනිස්සු දොළොස් දෙනෙක් තෝර ගත්තා. ඊට පස්සෙ ඔහු හුණුසල් වලින් බතක් උයල ඔවුන්ට බඩපිරෙන්න කන්න දුන්නා. ඊට පස්සෙ කුරෙදි ලීයෙන් හදපු පොල්ල බැගින් ඔවුන් අතට දුන්නා. ඉර බහිද්දිම ඔහු තමාගේ සගයන් දොළොස් දෙනා එක්ක තරුණිය ඉන්න කැලෑව අද්දරට ආව​.

ෆන්ඩිත ඒ වෙනකොටත් එතැනට ඇවිල්ලා හිටියෙ. ඔහු තමාගෙ "මස්දයිෆ්ෆියෝහි" පිහිය අතට අරගෙන පිරිසේ පෙරමුණ ගත්තා.

"මේ පිහිය මම අතේ තියෙනකං මොන අමනුස්සයෙක්ටවත් අපි කාටවත් අනතුරක් කරන්න බෑ"



ඔවුන් නිහඬවම ලොනුසියාරයික්කොලු කැලයට ඇතුල් වුනා. ටික වෙලාවකින්ම ඔවුන්ට ලාම්පුවක එළියෙන් යන්තම් ආලෝකමත් වුන පැල්කොටය පේන්න පටන් ගත්තා. ෆන්ඩිත අනිත් අයට නවතින්න සංඥා කරා. ඔහු රහසින් පිරිසට කිව්වා මොන දේ වුනත් බය නොවෙන ලෙසත්, ඔහු ගේ සංඥාව ලැබුන වහාම කිසි දෙයක් හිතන්නෙ නැතුව පහර දෙන්න පටන් ගන්න ලෙසත්.

ඔවුන් කැලේ අස්සෙ ඉඳගෙන පැල දිහාව නිහඬව බලාගෙන හිටියා. කිසි කෙනෙක් වචනයක් වත් කියන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන්ට ඇහුනේ මුහුදේ රළ බිඳෙන සද්දෙ විතරයි.



සෑහෙන වෙලාවක් මෙහෙම බලාගෙන ඉන්නකොට ඔවුන් දැක්කා ඈත අඳුරු ඡායාවක් වගේ පේන හුලුල්ලේ දූපතේ වෙරළේ කවුදෝ ඇවිදිනවා. ටිකකින් ඒ ඇවිදපු දෙය වෙරළේ නතර වුනා. ඊට පස්සෙ ඒක ටික ටික උසෙන් වැඩි වෙන්න පටන් ගත්තා. පිරිස අඳුන ගත්තා ඒ ෆුරේතයෙක් බව​. උගේ දෙපය හුලුලේ දූපතේ තියෙද්දිම කඳ ටික ටික දික් වෙලා මාලේ දූපත දිහාවට ඇදෙන්න පටන් ගත්තා. ටිකකින් උගේ ඔලුව තරුණියගේ පැල ට ළං වුනා. දැන් ෆුරේතය ගේ ඔලුව පැල ළඟ​. දෙපය හුලුලේ දූපතේ වෙරළේ. කඳ මුහුද උඩින්.

ෆුරේතයා ඔලුව පැල ඇතුලට දැම්මා. එතකොටම ෆන්ඩිත සංඥාව දුන්නා.


පිරිස එකා වගේ කුරෙදි පොලුත් අරගෙන ඉස්සරහට පැන්නා. ඔවුන් ෆුරේතයාට දිගට හරහට පහර දුන්නා. ඒ එක්කම ෆන්ඩිත තමාගෙ පිහියෙන් ෆුරේතයා ගෙ ඔලුවට ඇන්නා. පිහි පාරත් එක්ක ෆුරේතයා අඩපන වුනා. ඌට දිගටම පොලු පාරවල් වැදුනා. ෆුරේතයා මෙල්ල වුනා කියල ෆන්ඩිතට තේරුනාම ඔහු පිහිය ආපහු ඇදල ගත්තා. එතකොටම ෆුරේතයා ආපහු හුල්ලේ දූපතට පැනලා ගියා.

ෆුරේතයා ගියාට පස්සෙ ඔවුන් පැලට ඇතුල් වෙලා බැලුවා.

තරුණිය බොහොම ශාන්ත විදිහට නිදාගෙන හිටියා. ඇගේ ගඩු එකක් වත් පේන්න තිබුනෙ නෑ. ඇගේ හම ඉස්සර වගේම බොහොම ලස්සනට තිබුනා. තරුණ නාවිකයා ඇය නිදාගෙන ඉද්දිම ඔසව ගත්තා. පිරිස ආපහු ආව​.

ඔවුන් තරුණිය ගෙ ගෙදරට එද්දිත් තරුණිය නිදි.

පහුවදාම බංගලි තරුණයා සහ තරුණිය විවාහ වුනා. ඔහු නාවික රස්සාවට සමු දීලා මාලේ නගරයේ වෙළඳසැලක් පට්න් ගත්තා.

ඔවුන් බොහොම දිග කාලයක් සතුටින් ජීවත් වුනා෴




- කතාව කිව්වේ හුසේන් කොයිබේ (හොලුදූ දූපත​, දකුණු මිලදුම්මදුළු අතොළුව​)

අටුවාව​

1. බංගලි වෙළඳ නැව්

ඉස්සර කාලේ මාලදිවයින ගමනාන්තය කරගෙන වෙළඳ නැව් ආවෙ නෑ. අරාබිය​, අප්‍රිකාව, ඉන්දියාව සහ ලංකාව අතර ගමන් කරපු වෙළඳ නැව් මාලේ වරාය අතරමග නැවතුම් පොළක් විදිහට යොදා ගත්තා. බොහෝ වෙලාවට වුනේ මාලදිවයිනේ වැසියෝ වෙනත් රටවලට යාත්‍රා කරල වෙළඳාම් කරපු එක​. නමුත් බංගලිදේසෙ ඉඳල හැම අවුරුද්දෙම වෙළඳ නැව් පන්තියක් මාලේ වරායට ආවා. බංගලිදේසෙ තමයි මාලදිවයින ගමනාන්තය කරගෙන වෙළඳ නැව් එවපු එකම රට​.

2. පිටුවහල් කිරීම​

ඉස්සර කාලෙ දිවෙහි රාජ්ජේ වැසියන්ට දරුණු බෝවෙන රෝගයක් හැදුනම මිනිස්සු ජීවත් නොවෙන දූපත් වලට ගෙනිහින් දාන සිරිතක් තිබිලා තියෙනවා. රෝගය සුව වෙනකන් ඒ දූපතේ තනියම ජීවත් වෙන්න ඕනෙ. රෝගියාගේ නෑදෑ හිත මිතුරන් ඉඳහිට කෑම බීම අරගෙන ඒ දූපතට යනවා. ලාදුරු සහ සමේ රෝග හැදුන අය තමයි වැඩිපුරම මේ ඉරණමට ගොදුරු වුනේ. මාලේ වගේ ලොකු දූපතක නම් වෙනම දූපතක් වෙනුවට දූපතේම කවුරුත් පදිංචි නොවුන පාළු කොණක් මේ සඳහා භාවිතා වුනා. දූපත් වල එකිනෙකාට ඉතා ළඟින් ජීවත් වෙද්දි බෝවෙන රෝග පිළිබඳ නිරන්තර බයකින් තමයි දිවෙහි රාජ්ජේ වැසියන් ඉඳල තියෙන්නෙ.

3. ලොනුසියාරයික්කොලු

මාලේ දූපතේ ගිණිකොන කෙලවර ඉස්සර කාලෙ හැඳින්වුනේ මේ නමින්. ඒ සියාරායි කියන මුණිවරයෙක් ගෙ සොහොන පිහිටා තිබීම නිසා. ඉස්සර මේ හරිය ඝන කැලෑවක්. වර්තමානයේ මෑතක් වනතුරු මෙතැන "හෙනෙවේරු" නමින් හැඳින්වෙන උද්‍යානයක් තිබුනා. නමුත් ළඟදී ඒක එතැනින් ඉවත් කරල. මාලදිවයිනේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටි හුලුලේ දූපතට මේ කොණේ ඉඳල තියෙන්නෙ කෙටි දුරක්.

4. ෆන්ඩිත​

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.

5. කුරෙදි

ඉතාමත් ශක්තිමත් ලී සහිත ගහක්. තරමක් පොඩි පඳුරු විදිහට තියෙන මේ ගස් සිංහලෙන් "කෙරල​" කියල හැඳින්වෙනවා. වගුරු බිම් සහ වෙරළාශ්‍රිතව තමයි බහුලව වැවෙන්නෙ. මන්තර ගුරුකම් වලට බහුලව යොදා ගන්න ලීයක්.

6. මස්දයිෆ්ෆියෝහි

"මස්දයිෆ්ෆියෝහි" කියන දිවෙහි වචනයේ තේරුම "මාළු දත් පිහිය​". මේ නමින් හැඳින්වුනේ ෆන්ඩිත ල පාවිච්චි කරපු විශේෂ පිහි වර්ගයක්. මේ පිහියේ මිට තල්මස් දත් වලිනුත්, තලය ලෝහ වර්ග හතක් මිශ්‍ර කරල හදපු මිශ්‍ර ලෝහයකිනුත් හදල තිබුනා.

7. හුලුලේ දූපත​

හුලුලේ දූපත තමයි මාලේ දූපතට කිට්ටුවෙන්ම පිහිටි දූපත​. මේක අතීතයේ මිනිස්සු වාසය නොකළ දූපතක්. අඳුරු, ගුප්ත මැසි මදුරුවන් ගෙන් පිරුණු මේ දූපත දිහා මාලේ වැසියන් බැලුවෙ බයෙන් සහ සැකයෙන්. වර්තමානයේ හුලුලේ දූපතේ තමයි මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවතොටුපොළ පිහිටල තියෙන්නෙ. ලොනුසියාරයික්කොලු කැලේ පිහිටි තැන ඉඳල හුලුලේ දූපතට දුර කිලෝමීටර එකහමාරක් විතර​.



1 comment: