Thursday, February 1, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 19 (පෙරේත රජු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


පෙරේත රජු



එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ හිටපු හොඳම ෆන්ඩිත (යකැදුරා) වුනේ ඔඩිතාන් කලේගේ කියල මනුස්සයෙක්. ඔහු වැඩ රාජකාරි වලට මාලේ දූපතට ආවම නැවතිලා හිටපු ගෙදර හැඳින්වුනේ "කෙයොගේ" කියල​. මාලේ දූපත තමයි දිවෙහි රාජ්ජේ අගනුවර​. ඔඩිතාන් කලේගේ මාලේ දූපතට ආව කියල ආරංචි වුනාම ගොඩක් දෙනා විවිධ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඔහුව හොයාගෙන ආවා.

එක දවසක් රජ වාසල උසස් නිලධාරියෙක් ඔඩිතාන් කලේගේ හොයාගෙන ආව​. ආගිය කතා ඉවර වුනාට පස්සෙ ඔහු බොහොම බැරෑරුම් හඬකින් මෙහෙම කිව්වා.

"රජ වාසලේ අමුතු අමුතු වැඩ සිද්දවෙනවා. හැමදාම රෑට රදුන් (රජතුමා) එළු කොටුවට ඇතුල් වෙනවා. එළු පට්ටිය බලාගන්න මනුස්සය කියන විදිහට නිතර නිතර එළුවො අත්භූත විදිහට අතුරුදහන් වෙනව​. තියෙන එකම සලකුණ එළු කොටුව ඇතුලෙ බිම තියෙන ලේ පැල්ලම් කීපයක් විතරයි."

නිලධාරියා පිටත් වුනාට පස්සෙ ඔඩිතාන් කලේගේ ඔහු කියපු දේ ගැන කල්පනා කරා. දවල් වෙද්දි ඔහු පාරට බැහැල රදුන් ගේ පල්ලිය දිහාවට ඇවිදගෙන ගියා.

එදා සිකුරාදා දවසක්. සිකුරාදා ජුම්මා යාඥාවට රදුන් පිරිවරත් එක්ක මාළිගාවේ ඉඳල පල්ලිය දිහාවට යනවා. මග දෙපස සෙනඟ රැස් වෙලා ඒක බලාගෙන ඉන්නවා. ඔඩිතාන් කලේගේ සෙනඟ අස්සෙ මුහු වෙලා රදුන් දිහා හොඳ පරීක්‍ෂාවෙන් බැලුවා.


රදුන් "හයික්කොලු" (ලොකු, සුදු කුඩයක්) යටින් බොහොම ගාම්භීර විදිහට ඇවිදගෙන ගියා. ඔහු පස්සෙන් වාසල නිලධාරීන්. වටේට අත වැසියෝ. පෙරහැර බලන්න ලස්සනයි. ඒත් ඔඩිතාන් කලේගේ ට පෙරහැරේ ලස්සන පෙනුනේ නෑ. ඔහු ගැඹුරු කල්පනාවකට වැටිලා ආපහු ගෙදර ගියා.

ඔහු කා එක්කවත් වැඩිය කතා කලේ නෑ. දවල්ට සුළුවෙන් ආහාරයක් ගත්ත ඔහු පොඩ්ඩක් නිදා ගත්තා. ආපහු ඇහැරුනේ හවස් වෙලා. නැගිට්ට හැටියෙ ඔහු හොඳට නාගෙන අළුත් ඇඳුමක් ඇඳ ගත්තා.

ඉර බැහැගෙන යද්දි ඔඩිතාන් කලේගේ වරාය ළඟ තියෙන වෙළඳපොලට ගියා. එතැනදී ඔහු උස් හඬින් කතා කරල මිනිස්සු ඔහු ළඟට කැඳව ගත්තා. ලොකු පිරිසක් එක් රැස්වුනාට පස්සෙ ඔඩිතාන් කලේගේ ඔවුන්ට කිව්ව ඉතාම වැදගත් දෙයක් කියන්න තියෙන බව​.

"මේ අහපල්ලා, අපේ රදුන් මනුස්සයෙක් නෙවෙයි. ෆුරේතයෙක් (අමනුෂ්‍යය විශේෂයක්)."

මිනිස්සු බොහොම කලබල වුනා.

"උන්නැහේ කොහොමද එහෙම කියන්නෙ? පරිස්සමෙ වෙනවා! මේ බව රදුන්ට ආරංචි වුනොත් ඔහුට බොහොම තරහ යයි."

ඔඩිතාන් කලේගේ ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ.

"මොන රදුන් ද​? මේ දූපතේ රදුන් කෙනෙක් නෑ. ඉන්නෙ ෆුරේතයෙක්. මට ඌව අල්ලන්න සැලැස්මක් තියෙනවා. තමුසෙල මට උදව් කරනවද​?"

මිනිස්සු කසු කුසු ගාන්න පටන් ගත්තා.

ඔවුන් රදුන් ව කෝප කරන්න බය වුනා. ඒත් ඔඩිතාන් කලේගේ කියන්නෙ ඉතාම දක්‍ෂ යකැදුරෙක්. ඔවුන් ඔහුට බොහොම ගරු කරා.

ඔඩිතාන් කලේගේ දිගටම කතා කලා.

"මට දැම්ම මොකුත් ඔප්පු කරන්න බෑ. ඒත් තමුසෙල මට උදව් කරොත් හෙට උදේ වෙද්දි මම කියන්නෙ ඇත්තද බොරුද කියල තමුසෙලට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. හැබැයි තමුසෙලට මහන්සි වෙන්න වෙයි. මොකද ඉර බහින්න කලින් ඔක්කොම ලෑස්ති කරල ඉවර වෙන්න ඕනෙ."

මිනිස්සු අකැමැත්තෙන් වුනත් එකඟ වුනා.

"හරි. අපි මොකද කරන්න ඕනෙ?"

ඔඩිතාන් කලේගේ ගේ උපදෙස් වලට අනුව මිනිස්සු වැඩේ පටන් ගත්තා. මුලින්ම ඔවුන් වෙළඳපොළ මැද්දෙ ලොකු වලක් හෑරුවා. ඊට පස්සෙ ඔවුන් ලොකු පොල් කඳක් ගෙනත් වළ ඇතුලෙ හිටෙව්වා. ඊට පස්සෙ ලොකු යකඩ කොක්කක් පොල් කඳට හයි කරා.

මේ වැඩ ටික කරල ඉවර වෙද්දිම මාළු බෝට්ටු එක දෙක වරායට එන්න පටන් අරගෙන​. ඒව පිරෙන්න ටූනා මාළු. ඔඩිතාන් කලේගේ ධීවරයන්ට කිව්වා මාළු සුද්ද කරල ඉතුරු වෙන කරමල​, වරල්, බොකු බඩවැල් ඔක්කොම වලට දාන්න කියල​. ටික වෙලාවකින් වල මාළු සුන්බුන් වලින් පිරුනා.

වල පිරුණට පස්සෙ මිනිස්සු ඔඩිතාන් කලේගේ කියපු විදිහට තුනී වැලි තට්ටුවකින් වල වැහුවා. එතකොටම තමයි ඉර බැහැල ගියේ.

මේ ගැන කිසිදෙයක් කාටවත් නොකියන්න මිනිස්සුන්ව පොරොන්දු කත ගත් ඔඩිතාන් කලේගේ ආපහු ගෙදර ගියා. ගෙදර ගිහින් ඔහු රාත්‍රී ආහාරය අරගෙන නින්දට ගියා.

පහුවදා උදේම මිනිස්සු වෙළඳපොළට ආවා. වෙළඳපොළ පැත්තෙන් පුදුම අප්‍රසන්න දුගඳක් හැමුවා. ඈත තියාම කාටත් පෙනුනා වල මතුවෙලා තියෙන බව​. ඔවුන් පරිස්සමෙන් වලට කිට්ටු වෙලා ඇතුල බැලුවා.

වලේ තිබ්බ මාළු බොකු බඩවැල් වැඩි හරිය අතුරුදහන් වෙලා තිබ්බා. වල මැද යකඩ කොක්ක කටින් හපාගත්තු ඉතාම අවලක්‍ෂන ෆුරේතයෙක් මැරිල වැටිල හිටියා.


වටේ රැස් වෙලා හිටිය සෙනඟට ඔඩිතාන් කලේගේ පැහැදිලි කලා යකඩ කොක්ක ජීවම් කරපු එකක් බව​. හැමෝම සැනසුම් සුසුමක් හෙළුවා.

රජ වාසල හැමතැනම පරික්‍ෂා කරල බැලුවත් රදුන් පේන්න හිටියෙ නෑ. වල ඇතුලෙ මාළු බොකු බඩවැල් වලට යටවෙලා තිබිල රාජකීය සළු පිළි සහ තුප්පොට්ටිය හම්බුනාට පස්සෙ කවුරුත් සැක හැරල දැන ගත්ත රදුන් වෙසින් හිටියෙ ෆුරේතයක් කියල​.

මිනිස්සු වැඩි කලබලයක් නොකරම වල ඇතුලෙම ෆුරේතයව වැලලුවා. ඊට පස්සෙ ඔවුන් අළුත් රදුන් කෙනෙක් පත් කර ගත්තා.

හැමෝම ඔඩිතාන් කලේගේ ට ප්‍රශංසා කරා. අළුත් රදුන් ඔහුට රාජකීය භෝජන සංග්‍රහයකට ආරාධනා කලා. එහිදී ඔහුට වටිනා තෑගි බෝග ලැබුනා෴


- කතාව කිව්වේ බන්දේරි අබ්දුර් රහ්මානු (මාලේ දූපත​)

අටුවාව​

1. ෆන්ඩිත​
"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.
 
 

2. ඔඩිතාන් කලේගේ
දිවෙහි රාජ්ජේ ජනකතා වල එන ඉස්සර කාලේ හිටපු ඉතා දක්‍ෂ යකැදුරෙක්.

3. රදුන්
දිවෙහි රාජ්ජේ බෞද්ධ කාලයේදී රජතුමා හැඳින්වුන නම​. දිවෙහි රාජ්ජේ ඉස්ලාමයට හැරවුනාට පස්සේ රජතුමා ගේ නිල නාමය "සුල්තාන්" කියල වෙනස් වුනා. ඒත් බොහොමයක් රජවරු "රදුන්" කියන පදයත් පාවිච්චි කලා.
 
සුල්තාන් මුහම්මද් ෂාම්සුද්-දින් ඉස්කැන්ඩර් හෙවත් ශ්‍රී කුල සුන්දර කතිරි බුවන මහා රදුන් (1902 - 1934) ඔහුගේ නිලධාරීන් සමඟ​
 
 4. වරාය ළඟ තියෙන වෙළඳපොල
මාලේ දූපතට බොහොමයක් දේ ගේන්නෙ බෝට්ටු වලින් සහ නැව් වලින්. ඒ නිසා වෙළඳපොළ තියෙන්නෙ වරාය ළඟ මයි. අදත් ඒක එහෙමයි. වරායෙන් පාරෙන් පැනපු ගමන් මාළු බෝට්ටු වලින් බාපු ගමන් පණ ගැහෙන මාළු කූරි බිම දාගෙන විකුණන මාළු වෙළඳපොළත්, ඊට පොඩ්ඩක් එහායින් තියෙන එළවළු - පළතුරු වෙළඳපොළත් දැකගන්න පුළුවන්.
 
 
 
5. ෆුරේත​
දිවෙහි රාජ්ජේ ජනකතා වල එන අමනුස්ස කොට්ඨාශයක්. දිවෙහි බසට "ෆුරේත" කියන එක ඇවිත් තියෙන්නෙ සිංහල "පෙරේත​" කියන එකෙන්.

3 comments:

  1. රජු මාරු කරන්න කරපු කුමන්ත්‍රණයක් වගේ පේන්නැද්ද?

    ReplyDelete