Tuesday, February 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 22 (උකුණුමනා සහ ලීමනා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 උකුණුමනා සහ ලීමනා


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක කෙල්ලො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගෙ ඔළුවෙ උකුණො පිරිලා. මිනිස්සු එයාට කිව්වෙ "උකුණුමනා" කියල​. අනිත් එක්කෙනා ගෙ ඔළුවෙ ලේඬි පිරිලා. මිනිස්සු එයාට "ලීමනා" කිව්වා.

මේ කෙල්ලො දෙන්න හරිම කම්මැලියි. නාල තෙල් ගාල කොණ්ඩෙ පිරිසිදුවට තියාගන්න කිසිම උනන්දුවක් නෑ. කොණ්ඩෙ පීරන්නෙ නෑ. ඉතින් දෙන්නෙගෙම කොණ්ඩ වල උකුණු සහ ලේඬි හොඳට බෝ වුනා.

කෙල්ලො දෙන්නගෙ ප්‍රියතම රාජකාරිය වුනේ පැත්තක වාඩි වෙලා එකිනෙකාගේ කොණ්ඩ වලින් උකුණො සහ ලේඬි ඇහිඳින එක​. ඇහිඳගත්ත උකුණා හෝ ලේඬියව මහපට ඇඟිලි දෙකේ නියපොතු වලට තද කරල පොඩි කරන්න මේ දෙන්න පුරුදු වෙලා හිටියා. එතකොට ඇහෙන "ටික්" සද්දෙට මේ දෙන්න හරි ආසයි.

මේ නිසා මේ දෙන්නගෙ කොණ්ඩෙ හැම වෙලේම අවුලක්. අත් වල ලේ පැල්ලම් සහ වේලිච්ච උකුණු සහ ලේඬි කෑලි. බලන්න අප්පිරියයි.


මේ දෙන්න උදේ ඉඳන් රෑ වෙනකං කරේ උකුණො ඇහිඳින එක​.

දූපතේ අනිත් වැඩිහිටි කාන්තාවෝ මේ දෙන්නට නිතරම අවවාද කලා. ඒ වුනාට මේ දෙන්නෙ නෙවෙයි ඒව කනකට වත් ගත්තෙ. හැම වෙලේම මිනිස්සු තමන්ට අවවාද කරන එක මේ දෙන්න සැලකුවේ කරදරයක් විදිහට​.

එක දවසක් උකුණුමනා යි ලීමනා යි මුහුදු වෙරළේ ඉන්නකොට ඔවුන් දැක්ක වෙරළේ හැඩය වෙනස් වෙලා "කන්දොබිස්සාවැලි" (කුඩා වැලි පරයක්) හැදිල තියෙන බව​.

"අපි දෙන්න අර වැලි පරයට යමු. එතන උකුණො බලන්න හොඳ තැනක් වගේ"

උකුණුමනා ලීමනා ට කිව්වා.

"ඔව් ඔව්. එතනට වෙලා කාගෙන් වත් කරදරයක් නැතුව උකුණො බලන්න පුළුවන් වෙයි"

ලීමනා එකපාරටම එකඟ වුනා.

වැලිපරය හැඩකාර විදිහට වක් වුන ලස්සන සුදු වැලි තීරයකින් ගොඩබිමට යා වෙලා තිබ්බා. ඒක දෙපැත්තෙම ලානිල් පාට නිශ්චල මුහුද​. වැලි තීරය කෙළවර පොඩියට වැලි පරය තිබුනා. උදේ නිසා වැලි රත් වෙලා තිබ්බෙ නෑ. යන්තම් උණුසුමක් තිබුනා. මුහුදු හුළඟ සීතලයි. හරිම සනීපයි.

කෙල්ලො දෙන්නා සනීපෙට වැල්ල උඩ දිගෑදිලා උකුණො බලන්න පටන් ගත්තා.

වඩදිය නැගගෙන ආවා. වැලි තීරය හෙමින් මුහුද විසින් ගිල ගත්තා. වෙරළේ හිටිය මිනිස්සු වගයක් කෙල්ලො දෙන්නට කෑ ගහල කතා කරත් ඔවුන් දෙන්නට ඒක ඇහුනෙ නෑ.

ටික ටික වැලි පරය වහගෙන මුහුද ඉහළ නැගුනා. කෙල්ලො දෙන්න ඒක දකිනකොට වැලි පරය සම්පූර්නයෙන්ම යට වෙලා ඉවරයි. ආපහු වෙරළට එන්න විදිහක් තිබුනෙ නෑ. කෙල්ලො දෙන්න මුහුදට යටවෙලා යන හැටි වෙරළේ හිටපු මිනිස්සු අසරණ වෙලා බලාගෙන හිටියා෴


- කතාව කිව්වේ කතීබු ගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවාන්ඩු ගම​, ෆුවා මුලාකු දූපත​)

අටුවාව

1. කන්දොබිස්සාවැලි
හදිසියේ ඇති වෙලා හදිසියේ නැති වෙලා යන පොඩි වැලි පර​. කුණාටුවක් නිසා මේ වැලි පර හැදෙන්න පුළුවන්. තරමක් දුර්ලභ සිද්ධියක් වශයෙන් තමයි කන්දොබිස්සාවැලි සැලකෙන්නෙ. බිස්සොවැලි කියල හැඳින්වෙන ස්ථිර වැලි පර වර්ගයකුත් තියෙනවා. ඒවා හැදෙන්න වගේම නැති වෙන්නත් දීර්ඝ කාලයක් යනවා.


No comments:

Post a Comment