රෝනු එදුරු (කොහු ලණු ගුරුන්නාන්සේ)
එකෝමත් එක කාලෙක මාලෙ දූපතේ මනුස්සයෙක් වාසය කළා. ඔහු දවසක් දැක්කා තමාගෙ ගෙදර දකුණු පැත්තෙ හෙවනැල්ල අවුරුද්දේ කාලයත් එක්ක වෙනස් වෙන බව. ඔහු මේ ගැන ගොඩක් කල්පනා කරා. අන්තිමේදී ඔහු මේ සංසිද්ධිය වඩා හොඳට නිරීක්‍ෂනය කරන්න උපායක් යෙදුවා.
ඔහු ගෙදර මිදුලෙ හොඳට අව්ව වැටෙන තැනක කෝටු දෙකක් හිටෙව්වා. ඊට පස්සෙ කෝටු දෙක අතරෙ කොහු ලණුවක් ගැට ගැහුවා. ඒ ලණුව නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේ තියෙන විදිහට. ඊට පස්සෙ ඔහු හැමදාම හෙවනැල්ල වෙනස් වෙන විදිහ නිරීක්‍ෂනය කරා. ඒ අනුව ඉරේ ගමන් මාර්ගය වෙනස් වෙන හැටි දැනගන්න ඔහුට පුළුවන් වුනා.
ඔහු දැක්කා අවුරුද්දේ දවසත් එක්ක හෙවනැල්ල වැටෙන තැන වෙනස් වෙන හැටි. හෙවනැල්ල වඩාත්ම දකුණට යන්නේ "දොෂ" සහ "මුල" "නකායි" වලදී බව (දිවෙහි රාජ්ජේ දින දර්ශකයේ එන කාල පරිච්ඡේද). ඔහු එතැන ගල් කැටයකින් ලකුණු කරා. ඒ වගේම හෙවනැල්ල වඩාත්ම උතුරට යන්නේ "මියහෙලි" සහ "අද" "නකායි" වලදී බවත් ඔහු දැක්කා. ඔහු එතැනත ගල් කැටයකින් ලකුණු කරා.
ටික කාලයකින්ම ඔහුට අවුරුද්දේ ඕනම දවසක ඉර තියෙන්නෙ කොතැනද කියල හරියටම කියන්න පුළුවන් කම ලැබුනා.
ඒ එක්කම ඔහුගේ ඔළුවට මහන්තත්ත කමක් ආවා. ඔහු හිතුවේ ඔහු මහා සොයාගැනීමක් කරා කියල. ඔහු අවස්ථාව ලැබුන හැම වෙලාවකම තමාගෙ සොයාගැනීම ගැන මහ ඉහළින් පාරම් බෑවා. තමා "එදුරු" (ගුරුන්නාන්සේ) විදිහට හඳුන්වා ගත්තා. ටික කාලෙකින්ම අදාල නැති තැන් වලදිත් තමාගේ සොයාගැනීම ගැන කියවන්න ඔහු පුරුදු වුනා.
ඒ විතරක් නෙවෙයි, තමා නොදන්නා දේවල් ගැනත් දන්නව වගේ කියවන්නත් ඔහු පුරුදු වුනා.
ටික කාලයක් යද්දි මිනිස්සුන්ට මේ මනුස්සයගෙ කියවිල්ල කරදරයක් වුනා.
ඔවුන් ඔහුට "රෝනු එදුරු" (කොහු ලණු ගුරුන්නාන්සේ) කියල නමක් පටබැන්දා.
අදටත් කවුරු හරි කෙනෙක් තමා දන්න ටික මහා ගොඩක් වගේ පෙන්නල පුරසාරම් දොඩවද්දි හරි නොදන්න දෙයක් ගැන දන්නව වගේ කියවද්දි දිවෙහි රාජ්ජේ වැසියෝ එයාට කියන්නෙ "රෝනු එදුරු" කියල෴
- කතාව කිව්වේ බෂිමාගේ මුහම්මදු රෂීදු (මාලේ දූපත)
අටුවාව
1. දිවෙහි රාජ්ජේ දින දර්ශකය
දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ ජීවිතය එකට ගැටගැහිල තියෙන්නෙ මෝසම් සුළං සහ මෝසම් වැහි එක්ක. ඒ නිසා ඔවුන් ගේ සාම්ප්‍රදායික දින දර්ශකය හැදිල තියෙන්නෙ මෝසම් සුළඟේ වෙනස්කම් අනුව.
ඔවුන් මුලින්ම අවුරුද්ද කොටස් දෙකකට බෙදුවා. ඒ ඉරුවයි සහ හුළංගු කියල. ඉරුවයි කියන වචනයේ තේරුම "ඊශාන".ඉරුවයි අයිති වෙන්නෙ ඊශාන දිග මෝසමට. හුළංගු කියන වචනයේ තේරුම "බටහිර". හුළංගු අයිති වෙන්නෙ නිරිත දිග මෝසමට.
ඊළඟට ඔවුන් මේ කාල පරිච්ඡේද දවස දහතුනේ ඒකක වලට කැඩුවා. ඒ එක ඒකකයක් හැඳින්වුනේ "නකායි" කියල. නකායි කාලයක් තරු රාශියක් එක්ක සමපාත වෙනවා. නකායි කාල වල කාලගුණය තියෙන්නෙ එක විදිහට කියල ඔවුන් නිරීක්‍ෂනය කරා. මුහුදේ හැසිරීම සහ ධීවර කර්මාන්තයට සුදුසු - නුසුදුසු බව ඔවුන් ඒ අනුව තීරනය කලා.
ඉරුවයි පටන් ගන්නෙ දෙසැම්බර් 10 වෙනිදා. ඉරුවයි වලට අයත් නකායි එන්නෙ මේ විදිහට :
දෙසැම්බර් 10 - දෙසැම්බර් 22 : මුල
දෙසැම්බර් 23 - ජනවාරි 5 : ෆුරහල
ජනවාරි 6 - ජනවාරි 18 : උතුරුහල
ජනවාරි 19 - ජනවාරි 31 : හුවාන්
පෙබරවාරි 1 - පෙබරවාරි 13 : දිනෂ
පෙබරවාරි 14 - පෙබරවාරි 26 : හියවිහ
පෙබරවාරි 27 - මාර්තු 11 : ෆුරබදුරුව
මාර්තු 12 - මාර්තු 25 : ෆස්බදුරුව
මාර්තු 26 - අප්‍රේල් 7 : රේව
හුළංගු පටන් ගන්නෙ අප්‍රේල් 8 වෙනිදා. හුළංගු වලට අයත් නකායි එන්නෙ මේ විදිහට :
අප්‍රේල් 8 - අප්‍රේල් 21 : අස්සිද
අප්‍රේල් 22 - මැයි 5 : බුරුනු
මැයි 6 - මැයි 19 : කේති
මැයි 20 - ජූනි 2 : රෝනු
ජූනි 3 - ජූනි 16 : මියහෙලියා
ජූනි 17 - ජූනි 30 : අද
ජූලි 1 - ජූලි 14 : ෆුනෝස්
ජූලි 15 - ජූලි 28 : ෆුස්
ජූලි 29 - අගෝස්තු 10 : අහුලිහ
අගෝස්තු 11 - අගෝස්තු 23 : මා
අගෝස්තු 24 - සැප්තැම්බර් 6 : ෆුර
සැප්තැම්බර් 7 - සැප්තැම්බර් 20 : උතුර
සැප්තැම්බර් 21 - ඔක්තෝබර් 3 : අත
ඔක්තෝබර් 4 - ඔක්තෝබර් 17 : හිත
ඔක්තෝබර් 18 - ඔක්තෝබර් 30 : හේ
නොවැම්බර් 1 - නොවැම්බර් 13 : විහ
නොවැම්බර් 14 - නොවැම්බර් 26 : නොර
නොවැම්බර් 27 - දෙසැම්බර් 9 - දොෂ
2. එදුරු
එදුරු කියන්නෙ අතීතයේ ගුරුවරයා කියන එකට පාවිච්චි වුන දිවෙහි වචනය. වර්තමානයේ මේ වචනය පාවිච්චි වෙන්නෙ නෑ. මේක ගුරුන්නාන්සේ කියල පරිවර්තනය කරන්න පුළුවන්.
kiyewwa...
ReplyDeleteනකායි වල නම් ජ්‍යෙතිෂයෙ තියන නැකත් වල නම් වගේ. නැකත් පිලිවෙලටමයි තියෙන්නෙ
ReplyDeleteඅනිවා .. නැකැත් වෙන්නම ඕනි. ඒත් එකක් අඩුයි වගේ නේද?
Delete