Thursday, March 1, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 27 (කුඩ තුත්තු ඩීඩී ගෙ ඇණ​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

කුඩ තුත්තු ඩීඩී ගෙ ඇණ


ගොඩක් ඉස්සර කාලෙ මාලෙ දූපතේ වංශවත් මනුස්සයෙක් ජීවත් වුනා. ඔහුගේ නම කුඩ තුත්තු ඩීඩී.

ඒ කාලෙ මාලේ වංශවතුන් ගෙ ගෙවල් හැදුවෙ ලී වලින්. ඒ ගෙවල් වල ඉස්තෝප්පුවෙ ඉඳල ගේ ඇතුලට යන ප්‍රධාන දොර හැදුවෙ පැත්තට තල්ලු කරන දොරක් (sliding door) විදිහට​. ඒ දොර රඳවල තිබ්බෙ තරමක් උස ලී රාමුවක​. දොර තල්ලු කරන්න ලී වලින් හදපු පටියක් දොරේ පැත්තකට හයි කරල තිබුන​.

දවසක් කුඩ තුත්තු ඩීඩී ගෙ ගෙදර දොරේ මේ ලී පටිය ගැලවුනා. වඩුවෙක් ට කතා කරල වැඩේ කරගන්නව වෙනුවට කුඩ තුත්තු ඩීඩී කල්පනා කරා තමාම ලී පටිය හයි කරන්න​.

ඔහු වෙළඳපොළ ට ගිහිල්ල ඇණ ගොඩක් මිලදී ගත්තා. ඊට පස්සෙ මිටියකුත් අරගෙන වැඩේට බැස්සා.

ලී පටිය උඩිනුයි යටිනුයි ඇණ දෙකක් ගැහුව නං දොරට හයි කරන්න පුළුවන් කියල තීරනය කළ කුඩ තුත්තු ඩීඩී උඩ ඇණේ ගහන්න පටන් ගත්තා. ඒත් දොර හදල තිබ්බෙ ඉතාම තද නිරළු (පොල්) ලී වලින්. කොච්චර උත්සහ කරත් ඇණේ ගහගන්න කුඩ තුත්තු ඩීඩී ට බැරි වුනා. ඇණ ගොඩක් නැවිල ගියා.

ඊට පස්සෙ කුඩ තුත්තු ඩීඩී ලී පටියෙ පහල හරිය බැලුවා. එතැන ලීය තරමක් දිරල ගිහින්. පළවෙනි ඇණේම පහසුවෙන් ලීයට වැදුනා. කුඩ තුත්තු ඩීඩී ඉතුරු ඇණ ටික ඔක්කොම එතැනට ගැහුවා. ලී පටිය දොරට හයි වෙලා තිබුනත්, වැඩේ බලන්න කැතයි.

ගෙදරට ආපු මිනිස්සු දොර හදල තියෙන හැටි දැක්කා. ටික දවසකින්ම මාලේ හැමෝම කුඩ තුත්තු ඩීඩී දොර හදපු හැටි දැන ගත්තා.

අදටත් කවුරුහරි වැඩක අමාරු හරිය මග ඇරල ලේසි ටික විතරක් කරනව නං දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "කුඩ තුත්තු ඩීඩී ගෙ මොහොරු හෙන්" (කුඩ තුත්තු ඩීඩී ගෙ ඇණ වගේ) කියල​෴


- කතාව කිව්වේ බෂිමාගේ මුහම්මදු රෂීදු (මාලේ දූපත​)

No comments:

Post a Comment