Wednesday, March 21, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 33 (හිමිච්චා එරි ෆුරේත​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හිමිච්චා එරි ෆුරේත (හිමිති දිවයිනේ අමනුෂ්‍යයා)


(සත්‍ය කතාවකි)

එක්දාස් නවසිය පණස් ගණන් වලදි මාලදිවයිනේ රජයට නිලන්දේ අතොළුවේ හිමිති දූපතෙන් පණිවුඩයක් ආවා ඒ දූපතට ෆුරේත (අමනුෂ්‍යයෙක්) ඇවිත් කියලා.

මේ විදිහේ පණිවුඩ ලැබෙන එක තරමක් සුලභ දෙයක් නිසා සාමාන්‍යයෙන් නං රාජ්‍ය නිලධාරීන් මේ වගේ පණිවුඩ නොසලකා හරිනවා. ඒත් මේ හිමිති අමනුෂ්‍යයාව බොහෝ දෙනෙක් දැකල තිබ්බ නිසා ඔවුන් මේ ගැන සැලකිලිමත් වුනා. මේ පිළිබඳව හොයල බලන්න පැවරුනා ඒ වෙද්දි මාලදිවයින් රජයේ සේවය කරපු උගත් සහ බොහෝ දෙනෙක් ගේ ගෞරවයට පාත්‍ර වුන නිලධාරියෙක්ට. ඔහු ඊබ්‍රහිම් හිල්මි ආකකාගේ.

ඊබ්‍රහිම් හිල්මි ආකකාගේ
ඊබ්‍රහිම් හිල්මි හිමිති දූපත බලා පිටත් වුනා. ඔහුව පිළිගන්න දූපතේ වැසියෝ කුඩා උත්සවයක් සංවිධානය කරල තිබ්බා. එහිදී ඊබ්‍රහිම් හිල්මි සමඟ කතා කරපු බොහෝ දෙනෙක් අමනුෂ්‍යයාව දැකලා තිබුනා. ඔහු බලාපොරොත්තු වුනේ මේ කතාව තරමක් දුර දිග ගිය විහිළුවක් හෝ කට කතාවක් වෙන්න ඇති කියලා. ඒත් දූපත් වාසින් ගේ කතා වලට සවන් දුන්න ඔහුට මේකෙ ඊට වඩා ගැඹුරක් තියෙන බව වැටහුනා.

දූපත් වාසින්ට අමනුෂ්‍යයා ගේ දින චර්‍යාව ගැන හොඳ අවබෝධයක් තිබුනා. මේ වෙලාවෙ මැදියම් හිරු ගේ දැඩි රශ්මියෙන් බේරෙන්න ඌ ඉන්නෙ දූපත ඇතුලෙ තියෙන ලඳු කැලෑ වල කියල ඔවුන් කිව්වා. ඌ ඉන්න පුළුවන් කියල සැක කරන තැනත් ඔවුන් ඔහුට කිව්වා. ඔවුන් අතරින් නිර්භීත දෙතුන් දෙනෙක් තැන පෙන්වන්න එන්න කැමති වුනා. ඊබ්‍රහිම් හිල්මි සහ මග පෙන්වන්නෝ කුඩා ඩිංගියක (හබල් ගාන කුඩා බෝට්ටුවක්) අමනුෂ්‍යයා ඉන්න තැන බලා පිටත් වුනා.

ඔවුන් දූපතේ එක්තරා තැනකට ආවා. මග පෙන්වන්නෝ බෝට්ටුවේ ඉඳගෙනම අමනුෂ්‍යයා ඉන්නවා යැයි ඔවුන් විශ්වාස කළ තැන පෙන්නුවත්, ඒ එකෙක් වත් ගොඩබිමට එන්න නිර්භීත වුනේ නෑ. ඊබ්‍රහිම් හිල්මි තනිවම ගොඩබිමට ගියා.

වෙරළේ දී දැකපු දෙයින් ඔහු විශ්මයටත් තිගැස්මටත් පත් වුනා. වෙරළේ දිගට ඇදී ගිය අමුතු අඩි සලකුණු රාශියක් ඔහු දැක්කා. ඒ අඩි පාර වෙරළ ට නුදුරින් තිබ්බ ලඳු කැලෑව දිහාවට විහිදුනා. අමනුෂ්‍යයා ඉන්නවා කියල මග පෙන්වන්නෝ පෙන්නුවෙ ඒ ලඳු කැලෑව​.

හිල්මි ඉතාම පරිස්සමෙන් ලඳු කැලෑවට ඇතුල් වුනා. අමනුෂ්‍යයා ඔහුට පහර දෙයි කියන බියෙන් ඔහුගේ හිත සැලුනත්, ඒ බව පිටතට නොපෙන්වා ඔහු නිහඬවම කැලෑවට ඇතුල් වුනා.

එක පාරටම පඳුරක් අස්සේ යම්කිසි ලොකු දෙයක් තියෙන බව ඔහු දැක්කා. ඒ දෙය සෙලවුනා. ඊබ්‍රහිම් හිල්මි ගේ හදවත කටින් පනින තරම් වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔහු දිරිය වඩාගෙන ඒ දෙය දිහා සැලකිල්ලෙන් බැලුවා.

ඒ සීල් මත්ස්‍යයෙක්!


ඌ වියළි කොල උඩ සන්සුන්ව වැතිරිලා විවේක ගනිමින් හිටියා. ඌ අළු පාටයි; ගොඩක් මහතයි. ඌ ඊබ්‍රහිම් හිල්මි දිහා හොඳට බැලුවා. ඒත් හිටපු තැනින් හෙලවුනේ වත් නෑ. ඔහුට ඌ එතරම් අවධානයක් යොමු කරේ නෑ.

හිල්මි ආපහු බෝට්ටුවට ඇවිත් දූපත් ප්‍රධානියා හමුවෙන්න ගිහින් ඔවුන් දැකල තියෙන්නෙ අමනුෂ්‍යයෙක් නොවන බවත්, ඒ අතරමං වුන සීල් මත්ස්‍යයෙක් බවත් ඔවුන්ට පැහැදිලි කරල දුන්නා.

ඊට පස්සෙ ඔහු ආපහු මාලේ දූපතට ඇවිත් නිල වාර්තාව ලියන්න පටන් ගත්තා෴

- කතාව කිව්වේ ඊබ්‍රහිම් හිල්මි අකකාගේ (මාලේ දූපත​)

අටුවාව​

1. සීල් මත්ස්‍යයා.
ඉන්දියන් සාගරයේ දකුණට වෙන්න ජීවත් වෙන දකුණු දිග අලි සීල් (Southern Elephant Seal) ගැනයි මේ කතාවෙ කියැවෙන්නේ. සාමාන්‍යයෙන් මේ සත්තු උණුසුම් වතුරට එන්නෙ නැති වුනත්, ඉතාම කලාතුරකින් අතරමං වුන එකෙක් මාලදිවයින අවට වතුරේ දකින්න පුළුවන්.

No comments:

Post a Comment