මෝරා ගේ බඩේ හිටිය ගෑණු ළමයා
(සත්‍ය කතාවක් ඇසුරෙනි)
එකෝමත් එක කාලෙක හුවදූ අතොළුවේ ෆියෝරි දූපතේ ගෑණු ළමයෙක් වාසය කරා. ඇය පවුලේ එකම දරුවා. ඇය ඉතාම ලස්සන වගේම ඉතාම ආචාරශීලී ගෑණු ළමයෙක්. ඇගේ දෙමාපියන් ඇයව ඇහැක් වගේ බලා ගත්තා. ඒ ඇය ඔවුන් ගේ එකම දියණිය වුන නිසා. සමහර වෙලාවට ඇයට මේක දැණුනේ කරදරයක් වගේ. ඇය දූපතේ අනික් ගෑණු ළමයි වගේ නිදහසේ ඉන්න ආසා කරා.
අක දවසක් ඇය ඇගේ අම්මාට කතා කලා.
"අම්මේ, මම හැමදාම ගේ ඇතුලෙමයි ඉන්නෙ. මගේ යාළුවො හැමෝම ලුණු හදන්න මුහුදු වතුර ගේන්න මුහුදට යනවා. ඒක හරිම විනෝදයි ලු."
"ඔයා ලුණු හදන්න වතුර ගේන්න යන්න ඕනෙ නෑ. අපිට සල්ලි තියෙනවා. අපිට පුළුවන් කාට හරි සල්ලි දීල ඒක කරවගන්න."
ඒත් ගෑණු ළමයා දිගටම අම්මට පින්සෙන්ඩු වුනා.
"අනේ අම්මේ........."
එතකොට අම්මා ඇයට කතාවක් කිව්වා.
"ඔයා ගොඩක් පුංචි කාලෙ වාදූ දූපතේ ඉඳල සාස්තර කාරයෙක් මෙහෙ ආවා. එයා හැමෝගෙම අල්ල බලල සාස්තර කිව්වා. එයා මගෙයි තාත්තගෙයි අත් බලල කිව්වා ඔයා තමයි අපිට ඉන්න එකම ළමය කියල. අපිට ආයෙ කවදාවත් ළමයි ඉන්නෙ නෑ කිව්වා. ඊට පස්සෙ එයා ඔයාගෙ පුංචි අත බලල කිව්වා ඔයා තරුණ වයසට එන්න කලින් ඔයාට අනතුරක් වෙන බව. අපි ඇහුවා මොකද්ද ඒ කියල. ඒත් එයාට ඒක කියන්න බැරි වුනා. ඒත් ඔයාව පරිස්සමෙන් බලා ගන්න කියල අපිට කිව්වා."
ගෑණු ළමයා කතාව අහල ටිකක් බය වුනත් මුහුදේ සෙල්ලම් කරන්න තිබ්බ ආසාව නිසාම ආයෙත් අම්මට කරදර කරා. අම්ම අවසර දුන්නෙ නැති වුනාම ඇය අඬන්න පටන් ගත්තා. ඇය අඬනවා දැකල දුක හිතුන අම්මා ඇයට යන්න අවසර දුන්නා.
අම්මා ඇයට "ගුලි" (මැටි මුට්ටියක්) දුන්නා.ඇය අනිත් ගෑණු ළමයිනුත් එක්ක "අඩ්ඩනාහුට්ටා" කියල හැඳින්වුන වෙරළකට ගියා මුහුදු වතුර එකතු කරන්න. ඔවුන් මුළු දවසම හොඳට විනෝද වුනා. හවස් වෙද්දි ඔවුන් මුහුදට ගියා වතුර පුරව ගන්න. අනිත් ගෑණු ළමයි හැමදාම මුහුදේ සෙල්ලම් කරන නිසා ඔවුන්ට නොගැඹුරු මුහුදේ ඇවිදින එක ලේසි දෙයක්. ඒත් අපේ කතා නායිකාවට ඒ වැඩේ පුරුදු නෑ. ඒ නිසා ඇයට වතුර පුරව ගන්න ගොඩක් වෙලා ගියා. ටිකකින් අනිත් ගෑණු ළමයි සේරම ගොඩට ඇවිල්ලා වතුර මුට්ටිත් අරගෙන ගෙදර යන්න පිටත් වුනා. අපේ ගෑණු ළමයා තාම වතුරේ.
අනිත් ළමයි නෑ කියල දැකපු ඇය කලබල වුනා. ඉක්මනට වතුර මුට්ටියක් පුරව ගන්න හිතපු ඇය මුහුදේ ඈතට ඇවිදගෙන ගියා. එක පාරටම ලොකු රළ පාරකට අහුවෙලා ඇය ඇදගෙන වැටුනා. එතන වතුර ගැඹුරු නැති නිසා වැඩි කරදරයක් නැතුව හිස් මුට්ටිය මුනින් නවලා අල්ලගෙන ආපහු උඩට මතු වෙන්න ඇයට පුළුවන් වුනා.
ඒත් ටික වෙලාවකින්ම ඇය රළ පාරට අහුවෙලා මුට්ටියත් එක්ක ටික ටික දියඹට ගහගෙන ගියා. ටිකකින් මුහුද ඇයට පය බිම ගහල ඉන්න බැරි තරමට ගැඹුරු වුනා. ඇය හොඳටම කලබල වෙලා අත් පා ගහමින් ආපහු වෙරළ දිහාවට එන්න උත්සහ කළත් සැර රළ පාර ඇයව ඈතට ඇදගෙන ගියා. එක පාරටම ඇය දැක්කා මුහුද ලානිල් පාට ඉඳලා තද නිල් පාට දක්වා වෙනස් වෙනවා. දැන් ඇය ඉන්නෙ ගැඹුරු මුහුදේ. ඇය විලාප තියමින් කෑගැහුවත් ඒ විලාප අහන්න කවුරුවත් හිටියෙ නෑ. ඇය තවත් ඈතට ඇදිලා ගියා. ටික වෙලාවකින් ගොඩබිම නොපෙනී ගියා. ඇය වටේටම තිබ්බෙ මහා හිස් ජල කඳ විතරයි. ඇය මුට්ටිය තදින් අල්ලගෙන ඇස් දෙක පියාගෙන නිහඬවම ඉකි ගහමින් ඇඬුවා.
මුහුදේ සැරිසරමින් හිටපු විශාල මෝරෙක් දැක්කා මුහුද මතුපිට පාවෙන කුඩා දෙයක්. ඌ හෙමින්ම ගෑණු ළමයට කිට්ටු කරල ඇයව එක කටට ගිලල දැම්මා.
දවස් ගණනාවක් ගත වුනා. මාලදිවයිනේ උතුරට වෙන්න පිහිටි අතොළුවක ධීවර කණ්ඩායමක් මෝරු දඩයම් කරන්න ඈත දියඹට ගියා. ඔවුන් මෝරු දඩයම් කරේ මෝරා ගෙ තෙල් ලබා ගන්න. මෝර තෙල් හොඳ මිලකට විකුණන්න පුළුවන්. දිවෙහි රාජ්ජේ බෝට්ටුවල වතුරෙන් යට කොටස වතුර කාන්දු නොවෙන විදිහට සකසන්න පාවිච්චි වෙන්නෙ මෝර තෙල්.
එදා ඔවුන් ලොකු මෝරෙක් ඇල්ලුවා. හැමෝටම සතුටුයි. ඔවුන් හෙමින් හෙමින් දැලට අහුවෙලා හිටපු මෝරාව බෝට්ටුවට අදින්න පටන් ගත්තා.
එක පාරටම "කෙවුලු" (ධීවර නඩයේ නායකයා) කෑගැහුවා.
"ආං බලපල්ලා, ඌ බඩ පැත්ත උඩට හරවනවා."
අනික් ධීවරයෝ කුතුහලයෙන් ඒ දිහා බැලුවා.
"ඌ එහෙම කරන්නෙ ඇයි කෙවුලුබේ?"
කෙවුලු මෝරාගේ සුදුපාට බඩ දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. ඔහු අන්තිමේදී කතා කරා.
"මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ. ඒත් මම අහල තියෙනවා පරණ මිනිස්සු කියනවා ඌ එහෙම කරන්නෙ උගේ බඩේ මනුස්සයෙක් ඉන්නකොට කියලා."
ධීවරයෝ ඔවුන් ගේ ඇවුලුම් බිලි මෝරා දිහාවට විසි කලා. ඔවුන් පරිස්සම් වුනා මෝරාගේ බඩ බේරලා කරමල් වලට ඇවුලුම් බිලි එල්ල කරන්න. මෝරාගේ කරමල් වලින් ගඟක් වගේ ලේ ගලාගෙන ගියා. අන්තිමේදී උගේ දැඟලිල්ල නැති වෙලා ගියා. ධීවරයෝ මෝරාව බෝට්ටුවේ බැඳගෙන ළඟම තිබුන පොඩි දූපතකට යාත්‍රා කරා.
මෝරව ගොඩබිමට ඇදල ගත්තු ධීවරයෝ පරිස්සමෙන් මෝරාග බඩ පැළුවා. ඇතුලේ තිබුන දේ දැකල ඔවුන් විස්මයට පත් වුනා. ගෑණු ළමයෙක් මැටි මුට්ටියක් බදාගෙන ඉන්නවා. ඇය තාමත් ජීවත් වෙනවා!
ගෑණු ළමයා ඇස් ඇරල බැලුවා. ඇය ඉතාම බියපත් වෙලා හිටියේ. ධීවරයෝ ඇයට කතා කළත් ඇය වචනයක් වත් පිට කලේ නෑ. ධීවරයෝ ඇයව මුහුදු වතුරෙන් නාවලා බෝට්ටුවට අරගෙන ගියා. ඔවුන් ආපහු ඔවුන් ගේ දූපතට යාත්‍රා කල මුළු ගමන පුරාවටම ගෑණු ළමයා වචනයක් වත් කතා කලේ නෑ. ඇය නිහඬවම මුල්ලකට වෙලා ඉඳගෙන හිටියා.
මෝරු අල්ලන්න මූදු ගිය ධීවර නඩය ආපහු ගෑණු ළමයෙකුත් එක්ක එනව දැකපු මිනිස්සු පුදුම වුනා. කෙවුලු ඇයව තමාගේ ගෙදර අරගෙන ගියා. කෙවුලු ගේ බිරිඳ ගෑණු ළමයා දැකල ඇයට වෙච්ච දේ කෙවුලු ගෙන් අහගෙන බොහොම කම්පාවට පත් වුනා. ඇය ගෑණු ළමයට කන්න දීලා නින්දට යැව්වා.
ගෑණු ළමයා දිගටම කෙවුලු ගේ ගෙදර හිටියා. ඒත් ඇය වචනයක් වත් කතා කලේ නෑ. මාස ගානක් ගත වුනාට පස්සේ ඇය ඉතා අමාරුවෙන් ගොත ගහමින් වචනයක් දෙකක් කතා කලා. ඒත් කවුරු හරි ඇයගෙන් ඇගේ දූපත ගැන හරි මෝරගෙ බඩට ආපු හැටි ගැන හරි ඇහුවොත් ඇය භීතියෙන් සුදුමැලි වෙලා ඔහේ බලාගෙන හිටියා. ඇයගේ අතීතය ගැන කිසි දෙයක් ඇයට මතක තිබුනේ නෑ.
අවුරුදු ගාණක් ගත වුනා. ගෑණු ළමයා කෙවුලු ගෙ ගෙදර ඔහුගේ දුවක් විදිහට ජීවත් වුනා. ඇය තරුණ වයසට පත් වුනාම කෙවුලු ගේ පුතෙක් එක්ක විවාහ වුනා. ඇයට ළමයි ඇති වුනා. කෙවුලු ඉතාම සන්තෝසයට පත් වුනා.
කාලයක් ගත වෙද්දි ඇයටත්, දූපතේ අනික් අයටත් තමාගේ මුල ගැන අමතක වුනා. ඇය තවත් එක් සාමාන්‍යය තරුණියක් බවට පත් වුනා. ඇය ගැන තිබ්බ එකම අමුතු දෙය ඇය මුහුදට බිය වීම පමණයි. ඇය කකුල් තෙමාගන්න වත් මුහුදට යන්න බය වුනා.
එක දවසක් බත්තෙලි (ලොකු වෙළඳ බෝට්ටුවක්) ඔවුන් ගේ දූපතට ආවා. ඒක ආවෙ හුවදූ අතොළුවේ ඉඳලා.
මේ වෙළඳ පිරිස අතරෙ හිටියා වයසක මනුස්සයෙක්. ඔහු ඉතාම මහළුයි. ඉහ නිකට සුදු වෙලා. ඔහුට දීර්ඝ මුහුදු ගමනෙන් බොහොම තෙහෙට්ටුයි. කෙවුලු ඔහුට තමාගෙ ගෙදරට ආරාධනා කරා.
කෙවුලු ගෙ ගෙදර ආව වයසක මනුස්සයා "උන්දෝලියේ" (පැද්දෙන ලණු ඇඳක්) වාඩි වෙලා විවේක ගත්තා. ඔහු බොන්න වතුර ටිකක් ඉල්ලුවාම වතුර එක අරගෙන ආවෙ ඔහුගේ දුව.
තරුණිය දැක්කා විතරයි වයසක මනුස්සයගෙ හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා. ඔහු තරුණිය දිහා ඉතාම පරික්‍ෂාවෙන් බැලුවා.
"කවුද මේ ගෑණු ළමයා?"
ඔහු කෙවුලු ගෙන් ඇහුවා.
කෙවුලු තරුණියව කුස්සියට පිටත් කරල ඇරලා ඇයව හමුවුන පුදුම සහගත කතාව වයසක මනුස්සයාට කිව්වා.
වයසක මනුස්සයගෙ රැළි වැටුන කම්මුල් දිගේ කඳුළු කැට ගලා බහින්න පටන් ගත්තා.
"ඇයි ලොකු උන්නැහේ?"
වහසක මනුස්සයා කෙවුලුට කිව්වා ඔහුගේ දුව දවසක් මුහුදේ සෙල්ලම් කරන්න ගිහින් අතුරුදහන් වුන හැටි. මාස ගාණක් ඇයව හෙව්වට පස්සෙ ඔවුන් ඇය මිය ගියා කියල හිත හදාගත්තු හැටි.
කෙවුලු එවෙලේම තරුණියට කතා කලා.
"දුව දන්නවද මේ කවුද කියලා?"
තරුණිය ඇස් පුංචි කරල මහල්ලා දිහා බැලුවා.
"නැහැ"
වයසක මනුස්සයා කඳුළු අතරින් ඔහුගේ දුව ගේ කතාව කිව්වා.
එක පාරටම ඇයට මතක් වුනා. ඇගේ ආදරණීය අම්මා සහ තාත්තා. ෆියෝරි දූපත. ඇගේ යෙහෙළියෝ. ඔවුන් මුහුදේ සෙල්ලම් කරන්න ගිය හැටි. හැම දෙයක් ම.
හැමෝම ඔවුන් දෙන්නා දිහා බලාගෙන හිටියා. එකපාරටම තරුණිය ගේ ඇතුලට දිව්වා. කුස්සියේ මුල්ලක ඉඳගත්තු ඇය ඉකි ගහමින් අඬන්න පටන් ගත්තා. මහල්ලා ගෙදර ඉදිරිපිට ඉඳගෙන දිගටම ඇඬුවා. අනෙක් හැමෝම නිහඬව බලාගෙන හිටියා.
දීර්ඝ වෙලාවකට පස්සේ තරුණිය කඳුළු පිහගෙන ඉස්සරහට ආවා. ඇය මහල්ලා එක්ක හිනාවුනා. ඉතාම ආඩම්බරයෙන් තමාගේ දූ දරුවන් කැඳවලා මහල්ලාට පෙන්නුවා. මහල්ලා තමාගේ මුණුපුරු මිණිපිරියන් ආදරයෙන් සිප ගත්තා.
"අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස. මම ආපහු ෆියෝරි දූපතට ගිහින් උඹලගෙ අම්මව එක්කරගෙන එන්නම්. උඹව දැක ගන්න එයා ගොඩක් සතුටු වෙයි."෴
- කතාව කිව්වේ අහමද් ඩීඩී (අලිෆුලුගේ, ෆුවාමුලාකු දූපත)
මේ කතාව සත්‍ය කතාවක් ලෙස තමයි දිවෙහි රාජ්ජේ වැසියො සලකන්නේ. සමහරවිට ඇත්තටම මුහුදුබත් වුන දැරියක ගේ කතාවකට මෝරෙක් එකතු කරලා හැදුනු කතාවක් වෙන්න පුළුවන්.
අටුවාව
1. ගුලි
ලොකු කටක් සහිත මැටි මුට්ටියක්. බොහෝ වෙලාවට මේක භාවිතා කරන්නෙ ආහාර වර්ග දාල තියන්න.
2. කෙවුලු
දිවෙහි භාෂාවෙන් "කෙවුලු" කියල හඳුන්වන්නේ ධීවර නඩයක නායකයා. ඔහු මාලදිවයිනේ ඉතාම වැදගත් පුද්ගලයෙක්. කෙවුලු කියන ඇමතීමට තවත් ගෞරවයක් එක් කරන්න "කෙවුලුබේ" කියල පාවිච්චි කරනවා. ඒකෙ තේරුම "කෙවුලු අයියා" කියන එක.
3. උන්දෝලි
දිවෙහි රාජ්ජේ අදටත් ඉතාම ජනප්‍රිය ලණු ඇඳන් වර්ගයක්. මේවා ලණු දෙකකින් උඩක එල්ලලා තියන වර්ගයක් සහ ලී හෝ යකඩ රාමුවක බැඳපු ලණු දැලක් විදිහට තියෙන වර්ගයක් විදිහට වර්ග දෙකකින් තියෙනවා. හවසට හුළං වදින තැනක තියපු උන්දෝලියකට වෙලා විවේක ගැනීම දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ සිරිතක්.
++++++++++++++
ReplyDeleteGreat...
ReplyDelete