Thursday, December 14, 2017

දිවෙහි රාජ්ජේ ජන කතා - 5 (ලේ බිඳිති)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ලේ බිඳිති

එක හවස් වරුවක අරි අතොළුවේ නැගෙනහිර පැත්තේ දූපතක වාසය කළ මනුස්සයෙක් මාළු අල්ලන්න ගිහින් ආපහු ගෙදර ආවා. ඔහු බොහොම කඩවසම්, ධනවත් තරුණයෙක්. ඔහු ගෙදර ආව ගමන් කළේ දොරවල් ඔක්කොම වහල අගුළු දාන්න කියලා තමාගේ බිරිඳට කියපු එක​. ඔහුගේ බිරිඳ​, කම්බුලෝ, මේ කතාවෙන් පුදුමයට පත් වුනා. දිවෙහි රාජ්ජේ සිරිත් අනුව ගෙදර දොරවල් අගුළු දාන්නේ නිදා ගද්දි විතරයි. අනෙක් හැම වෙලාවෙම අමුත්තන් පිළිගැනීමේ සූදානමෙන් ගෙදර දොරවල් ඇරලයි තියෙන්නෙ.

සාමාන්‍යයෙන් නිර්භීත මනුස්සයෙක් වුන තමාගේ සැමියා බියෙන් තැතිගෙන වෙව්ලන බව දැකපු කම්බුලෝ තිගැස්සුනා.

"මොකද වුනේ" ඇය සැමියාගෙන් ඇහුවා.

"අපි ඈත මුහුදේ මාළු අල්ලමින් හිටියා. තවත් මස්දෝනියක් (ධීවර බෝට්ටුවක්) අපේ මස්දෝනිය අසලින් ගියා. ඒ බෝට්ටුවේ හිටියා මම අඳුනන මනුස්සයෙක්. ඔහු මගේ නම කියලා මට කතා කළා"

දිවෙහි රාජ්ජේ වැසියන් ගේ පිළිගැනීම අනුව භූතාත්මයක් ට කෙනෙක් ගේ නම දැනගත්තොත්  ඔහුට හෝ ඇයට පහසුවෙන් හානි කරන්න පුළුවන්.

"අපි ඒ වෙලාවේ යාත්‍රා කරමින් හිටියේ ඉතා ගැඹුරු අඳුරු මුහුදක. ඒ මුහුදේ නපුරු භූතාත්ම ඕනෑ තරම් සැරිසරන්න ඇති"

කම්බුලෝ බියපත් වුනත් ඇය ඒ බව සැමියාට පෙන්නුවේ නෑ. ඇය ඔහු කැමතිම කෑම පිළියෙල කරලා ඔහුව සනසන්න උත්සහ කළා.

රාත්‍රිය උදා වුනා. කම්බුලෝ ගේ සැමියා බියෙන් වෙව්ලමින් පසු වුනා. ගෙදරින් එළියේ ඇහෙන ඉතාමත් කුඩා ශබ්ධයකින් පවා ඔහු තැති ගත්තා. මූත්‍රා කරන්න වත් ගෙදරින් එළියට යන්න ඔහු කැමති වුනේ නෑ. කම්බුලෝ ඔහුට එළිබහින්න ලොකු මුට්ටියක් ගෙනත් දීලා ඔහු ළඟින්ම ඉඳගෙන ඔහුව සනසන්න උත්සහ කළා. ඒත් එළිවන තුරු ඔහුට නින්දක් ලැබුනේ නෑ.

පහුවදා උදේ ඔහු මුහුදු ගියේ නෑ. ඒ වෙනුවට ගෙදර දොරවල් අගුළු ලාගෙන ගේ ඇතුලෙම හිටියා. කම්බුලෝ දූපතේ ෆන්ඩිත (යකැදුරා) කැඳවාගෙන ආවා. ෆන්ඩිත කම්බුලෝ ගේ සැමියාට සහ ඔවුන් ගේ නිවෙසට ආරක්‍ෂාවක් කළා.

දින තුනක් මේ විදිහට ගත වුනා. කම්බුලෝ ගේ සැමියා ගෙදරින් එළියට වත් බැස්සේ නෑ. දූපතේ මිනිස්සු ඔහුට පිස්සු හැදිලා කියල තැන තැන කතා වෙන්න පටන් ගත්තා. ඒත් කම්බුලෝ ඒක විශ්වාස කළේ නෑ. ඇය හැම විටම සැමියා සනසන්න උත්සහ කරමින් ඔහු ළඟින්ම උන්නා.

පස් වෙනි දවසේ ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරුනා. එදා තමයි ඔහුගේ පියා මිය ගිහින් අවුරුද්දක් සම්පූර්න වෙන දවස​. කෙනෙක් ගේ මරණ සංවත්සරයක් වෙනුවෙන් ෆතිහා කියවීම (කුරාන පාඨ කියවීමේ උත්සවයක්) පැවැත්වීම දිවෙහි රාජ්ජේ සිරිතක්.

"අද ෆතිහා කියවීම වෙනුවෙන් අපි ඔයාලගෙ මහ ගෙදර යන්න ඕනෙ"

කම්බුලෝ සැමියාට කිව්වා. ඒත් ඔහු ගෙදරින් එළියට යන්න බය වුනා.

"අද රෑ උත්සවය වෙනුවෙන් ගෙදර වැඩ ගොඩක් තියෙයි. අමුත්තන් වෙනුවෙන් ගොඩක් කෑම උයන්නත් වෙයි. ඒ නිසා මම යන්නම ඕනේ. මම ගියේ නැත්තම් ඔයාගේ නෑයෝ මම ගැන ආඩපාලි කියාවි"

සැමියාගේ මුහුණේ තිබ්බ බය කම්බුලෝ දැක්කා.

"බය වෙන්න එපා. දැන් දවස් පහක් ම ගත වුනත් මොකුත් වුනේ නෑ නොවැ"

කම්බුලෝ දොර ඇරලා එළියට බැස්සා. හොඳින් ඉර පායලා අව්ව වැටිලා තිබ්බත් සැමියා කම්බුලෝ එළියට ගිය සැනෙන් දොර වහලා අගුළු දාගත්තා. දොරට හේත්තු වුන ඔහු ගැහෙන හදවතින් යුක්තව ක්‍රමයෙන් ඈත් වෙන කම්බුලෝ ගේ පියවර හඬ අහගෙන හිටියා.

කම්බුලෝ උත්සවයට සහබාගී වුනා. ඇයට ගොඩාක් වැඩ​. උයන්න​, වළං පිඟන් හෝදන්න​, අමුත්තන් පිළිගන්න​. ඇයගේ සැමියා ගැන ගොඩක් දෙනා ඇහුවා. ඇය කිව්වේ ඔහු අසනීපයෙන් ඉන්න නිසා එන්න බැරිවුන බව පමණයි.

රාත්‍රිය ගෙවී යන කොට උත්සවය අවසන් වෙලා අමුත්තෝ එකා දෙන්නා බුලත් විට හපමින් යන්න පිටත් වුනා. අමුත්තන් සියළුම දෙනා ගියාට පස්සේ කාන්තාවෝ ගෙදර අස් පස් කරා.

වැඩ ඔක්කොම ඉවර වෙද්දි මැදියමට ළං වෙලා. කම්බුලෝ ට හොඳටම මහන්සියි. ඒත් ඇය සැමියා බලන්න යන්නම ඕනෙ නිසා ඔහු වෙනුවෙන් කෙසෙල් කොලයක ඔතා ගත්ත ඉස්තරම් කෑම පාර්සලයකුත් අරගෙන අඳුරු පාරවල් ඔස්සේ හනි හනික ගෙදර බලා පිටත් වුනා.

කම්බුලෝ ගෙදර එනකොට ගෙදර දොර "හායි ගාලා" ඇරල දාල තිබ්බා. ගේ ඇතුලෙ පහන නිවිලා. මුළු ගෙදරම අඳුරෙන් පිරිලා. ඇය සැමියාට කතා කරා. ඒත් කිසි උත්තරයක් ලැබුනේ නෑ. ඇය ගෙට ඇතුල් වෙලා පහන පත්තු කරා. ගේ ඇතුලේ කවුරුත් නෑ. ඇය බියෙන් ගැහෙමින් ඇඳ පරික්‍ෂා කරා.

ඇඳ උඩ තිබ්බේ ලොකු ලේ පැල්ලමක් විතරයි.

කම්බුලෝ බිම හොඳට පරික්‍ෂා කරලා බැලුවා. ලේ බිඳිති ඇඳේ ඉඳලා දොර දක්වා වැටිලා තියෙනවා ඇය දැක්කා. ඇය පහනේ ආලෝකයෙන් ලේ පාර දිගේ ගියා. ලේ පාර ගෙදරින් එළියට ඇවිත් මුහුද දිහාවට දිවෙනවා ඇය දැක්කා. ඇය දිගටම ලේ පාර දිගේ ඇවිදගෙන ගියා.

ලේ පාර මුහුදු වෙරළ ළඟටම තිබ්බා. ඇය වෙරළට ආවා. පාළු රාත්‍රියේ ශබ්ධයකට ඇහුනේ මුහුදේ රළ බිඳෙන හඬ විතරයි. මුහුදු රළ ඇගේ දෙපා ළඟටම ආවා. එකපාරටම ආපු හුළං රළකින් ඇගේ පහන නිවිලා ගියා. තරු එළියෙන් ඇයට පෙනුනේ අඳුරු වළාකුලෙන් වැහුනු ක්‍ෂිතිජය විතරයි.

කම්බුලෝ සැමියාට කෑගහලා කතා කරා. ඇයට පිළිතුරු වශයෙන් ලැබුනේ කොරල් පරයේ හැපිලා බිඳෙන රළ වල දුක්මුසු හඬ විතරයි.

උණුසුම් කඳුළු වැල් ගංගාවක් වගේ ඇගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා෴



- කතාව කිව්වේ මුහම්මදු නූරි (ෆුවා මුලාකු දූපත​)

අටුවාව​

1. නම​

දිවෙහි රාජ්ජේ වැසියන් ගේ පිළිගැනීම අනුව භූතාත්මයක් ට කෙනෙක් ගේ නම දැනගත්තොත්  ඔහුට හෝ ඇයට පහසුවෙන් හානි කරන්න පුළුවන්. මේ නිසා කෙනෙක් ගේ නියම නමින් ඔහුට කතා කෙරුනේ ඉතාම කලාතුරකින්. ඒ වෙනුවට කොක්කො, තුත්තු, තුත්තා, දොම්බේ, බේබේ වගේ සුරතල් නාම තමයි කෙනෙක් අමතන්න භාවිතා වුනේ. මේ සිරිත අදත් දකින්න පුළුවන්.

2. මස්දෝනි

මසුන් මරන්න යන මුහුදු ගමන් වලට පාවිච්චි කරන ධීවර බෝට්ටු. දිවෙහි මසින් "මස්" කියන්නෙ මාළු. "දෝනි" කියන්නෙ බෝට්ටුව​. මස්දෝනියක් මසුන් මරන්න පාවිච්චි කරන විවෘත තට්ටුවකින් සහ නිදාගන්න පාවිච්චි කරන වහලයකින් ආවරණය වුන කොටසකින් යුක්තයි. වර්තමාන මස්දෝනි මෝටර් වලින් ක්‍රියාත්මක වුනත්, පැරණි මස්දෝනි පණගැන්වුනේ රුවල් වලින්

3. ෆතිහා කියවීම​

කෙනෙකුගේ මරණයක සංවත්සරයක් වෙනුවෙන් (අවුරුද්දක්, අවුරුදු තුනක් වැනි) ගෙදරට නෑදෑ හිත මිතුරන් රැස් කරලා ඔවුන්ට ආහාරා පාන වලින් සංග්‍රහ කරලා කුරානයේ පාඨ හඬ නගා කියැවීමේ සිරිතක් දිවෙහි රාජ්ජේ තියෙනවා. මේ උත්සව වලදී කියවන්නේ කුරානයේ පළවෙනි පරිච්ඡේදය වන අල්-ෆතිහා පරිච්ඡේදය නිසා මේ උත්සවය හැඳින්වෙන්නේ ෆතිහා කියවීම කියලා. මේ උත්සවය දූපත් වාසීන් ගේ වැදගත්ම සංස්කෘතික උත්සවයක්. මේක අපේ දානෙ ගෙදරකට ඉතා සමානයි.

4. බුලත් විට​

ඕනෑම කෑම වේලකින් පස්සෙ බුලත් විටක් කෑම දිවෙහි රාජ්ජේ වැසියන් ගේ සිරිතක්. දිවෙහි බසින් බුලත් වලට කියන්නේ "බිලේ". පුවක් වලට කියන්නේ "ෆුවා". අදටත් මාලදිවයිනේ ඕනෑම අවන්හලකින් කෑම වේලක් ගත්තම බුලත් විටක් නොමිලේ ලැබෙනවා. දිවෙහි රාජ්ජේ බුලත් විට සමන්විත වෙන්නේ බුලත්, පුවක්, හුණු, කරාබු නැටි සහ "හීර පන්නා" නමින් හැඳින්වෙන රසකාරල කුඩු වර්ගයකින්.

2 comments: