ගස යට තිබූ හිස් කබල
එකෝමත් එක කාලෙක මාදිවයිනේ උතුරට වෙන්න තිබ්බ දූපතක ඊබ්‍රහිමු කියල ඉතාම දුප්පත් මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු කොයිතරම් දුප්පත් ද කිව්වොත් ඔහු බඩගින්නක් ආවම කෑමක් හොයා ගත්තෙ එහෙ මෙහෙ ඇවිදලා.
දවසක් ඔහුට ගමේ කොතනින් වත් කෑම ටිකක් හොයා ගන්න බැරි වුනා. ඔහුට බඩගින්න ඉවස ගන්න බෑ. ඔහු ඇවිදගෙන ආවා ගම කෙලවර තියෙන මිදිලි (කොට්ටම්බා) ගහ යටට. ගහේ ගෙඩි තිබ්බෙ නෑ.
බලාපොරොත්තු සුන් වුන ඔහු කෑමක් හොයා ගන්න අරමුනෙන් කැලයට ඇතුල් වුනා. කැලයේ ඇතුලටම ගමන් කළ ඔහුට ලොකු ගහක් යට සුදු පාටින් බබලන මොකද්දෝ දෙයක් දකින්න ලැබුනා. බයෙන් බයෙන් ගහ යටට ආව ඔහු සුදු පාට දේ දිහා හොඳට බැලුවා. ඒ ඉර එළියට පිච්චිලා සුදු පාට වුන මිනිස් හිස් කබලක්.
ඔහු ළං වෙද්දිම හදිසියේ ඇහුන කටහඬකින් ඔහු තිගැස්සුනා.
"ළඟට එන්න"
ඒ කතා කලේ හිස් කබල.
ඊබ්‍රහිමු බයෙන් තැති ගත්තා.
"ඔබ කතාකරනවා? මට පුදුමයි"
"ළඟට එන්න මිත්‍රයා. මම ඔබට හානියක් කරන්නේ නෑ. මම මෙතැන දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නවා. මට කවදාවත් කවුරුවත් හමු වෙලා නෑ. මට හරි කාන්සියි. කියන්න, ඔබ කොහෙද මේ යන්නේ?"
"මම දුප්පත් මිනිහෙක්. මම මේ කන්න යමක් හොයනවා. මේ දූපතේ කෑම හරි හිඟයි"
"අහා ඔබට බඩගිනියි ද? බය වෙන්න එපා. මේ ගහ පිටිපස්සෙ තියෙන කරා (කොමඩු) වැලෙන් කොමඩු කඩාගෙන කන්න"
"මේ කැලේ මැද කොමඩු වැලක්?" ඊබ්‍රහිමු පුදුමයෙන් හිතුවා. ඒත් හිස් කබල කිව්ව වගේම ගහ පිටිපස්සේ විශාල ලස්සන කොමඩු ගෙඩි පිරිච්ච කදිම කොමඩු වැලක් තිබ්බා.
"ඔබට ඇති තරම් කන්න. හැබැයි ඔබ හැමදාම ඇවිත් මාත් එකක් කතා කරන්න ඕනෙ"
කොමඩු ගෙඩි කදිමයි. ඊබ්‍රහිමු බඩ පිරෙන්නම කෑවා. ඔහු යන්න ලෑස්ති වෙද්දි හිස් කබල නැවතත් ඔහුට මතක් කරා.
"ඔබ කාපු කොමඩු ගැන හෝ මේ ගහ යට ඉන්නෙ කවුද කියල හෝ කාටවත් කියන්න එපා. මතක තියාගන්න. අපි දැන් යාළුවෝ"
"මම ඒක මතක තියා ගන්නම්"
ඊළඟට එලඹුනේ ඊබ්‍රහිමුට ඉතාම සතුටු දායක කාලයක්. ඔහු හැමදාම කැලයට ගිහින් හිස් කබල එක්ක කතා කරල බඩ පිරෙන්නම කොමඩු කෑවා. හැමදාම ඊබ්‍රහිමු යද්දි හිස් කබල තමා ගැන හෝ කොමඩු ගැන කිසි කෙනෙක්ට කියන්න එපා කියල මතක් කරා.
එක දවසක් ඊබ්‍රහිමු හිස් කබලෙන් මෙහෙම ඇහුවා.
"මම දැන් ගොඩක් දවසක් තිස්සේ මෙතැනට ඇවිත් ඔබත් එක්ක කතා කරනවා. ඔබ මට කියන්න ඕනෙ ඔබ කවුද කියල සහ ඔබට මෙහෙම වුනේ ඇයි කියලා"
"අහා. ගොඩක් ඉස්සර මම ධනවත් වැදගත් මිනිහෙක්. ඒත් මගේ කට මාව මැරුවා"
"ඔබේ කට කොහොමද ඔබව මරන්නේ?"
"ඒක එහෙම තමයි සිද්ධ වුනේ. ඒ ගැන ආයෙ මගෙන් අහන්න එපා" හිස් කබල අකැමැත්තෙන් කිව්වා.
ඊබ්‍රහිමු එදා පිටත් වුනේ අතෘප්තියෙන්.තවත් දවස් ගණනාවක් ගත වුනා. හිස් කබල දවසක් ඊබ්‍රහිමු ට මෙහෙම කිව්වා.
"දැන් අපි දෙන්නා හොඳ යාළුවෝ. ඔබ දැන් ඉස්සරට වඩා හොඳින් කාල බීලා ඉන්න බව බැලූ බැල්මට පේනවා. මිනිස්සු ඔබෙන් ඒ කොහොමද කියල අහන්න පුළුවන්. ඔව හැමදාම කැලේට එනවා මිනිස්සු දැකල ඇති. මිනිස්සු ඒ ගැනත් අහන්න පුළුවන්. කවුරු මොනවා ඇහුවත් මම ගැනවත් කොමඩු ගැනවත් කිසි දෙයක් නොකියන්න ඔබ පොරොන්දු වෙන්න ඕනෙ"
"මම කාටවත් කිසි දෙයක් කියන්නෙ නෑ" ඊබ්‍රහිමු පොරොන්දු වුනා.
මේ විදිහට කාලය ගත වෙලා ගියා.
දවසක් මද්දහනේ තමාගේ ගෙදරට වෙලා මුහුදෙ සද්දෙට ඇහුම් කන් දීගෙන හිටපු ඊබ්‍රහිමු හිස් කබල තමාට කිව්ව කතාව ගැන කල්පනා කරන්න පටන් ගත්තා.
"මොන තරම් පුදුමයක් ද? ඔහු කිව්වේ ඔහුගේ කට ඔහුව මැරුවා කියල. මම මේ ගැන රදුන් (රජතුමා) ට කියන්න ඕනෙ. තමාගේ රටේ මේ වගේ පුදුම දේවල් වෙනව කියල දැනගන්න එතුමා ගොඩක් ආස වෙයි. එතුමා හරි ත්‍යාගශීලියෙක්. මට ලොකු තෑග්ගක් දෙන්නත් බැරි නෑ"
දවසක් ඔහු මාලදිවයිනේ අගනුවර වුන මාලේ දූපත බලා යන බෝට්ටූවක නැගලා රදුන් හමුවෙන්න ගියා. සම්පූර්න කතාවම එතුමාට කිව්වා.
රදුන් පුදුමයෙන් පුදුමයට පත් වුනා.
"මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ද?" රදුන් තමාගේ ඇමතිවරුන් ගෙන් ඇහුවා.
ඇමතිවරු ඊබ්‍රහිමු ව විශ්වාස කරේ නෑ.
"මේ පිස්සෙක් ගේ පිස්සු කතා වලට ඔබ වහන්සේ කන් දෙන්න එපා"
රදුන් ඊබ්‍රහිමු ගෙන් මෙහෙම ඇහුවා.
"හොඳයි. ඔබේ දූපතේ කැලේ ගහක් යට කතා කරන හිස් කබලක් තියෙනව කියලත්, ඒ ගහ පිටිපස්සෙ හැමදාම කොමඩු ගෙඩි හටගන්න කොමඩු වැලක් තියෙනව කියලත් දිවුරන්න ඔබට පුළුවන් ද?"
"ඔව්. මම සෑහෙන දවසක් තිස්සේ එතැනට යනවා. මම හැමදාම ඉතාම රසවත් කොමඩු කනවා. ඒ හිස් කබල කියන විදිහට ඔහුව මරලා තියෙන්නේ ඔහුගේම කට. මේ හැම දෙයක්ම ඇත්ත රජතුමනී"
රදුන් ගේ මුහුණ බැරෑරුම් ස්වරූපයක් ගත්තා.
"උඹ මාව රවට්ටන්න හදනවා නෙවෙයි නේද?"
"ඔබ වහන්සේ රැවටෙන්නෙ නෑ" ඊබ්‍රහිමු හිනාවෙලා කිව්වා.
රදුන් තමාගේ ඇමතිවරුනුත් එක්ක රාජකීය නැවේ නැගලා ඊබ්‍රහිමු ගේ දූපත බලා යාත්‍රා කලා. ඔවුන් ගොඩ බැස්සට පස්සෙ ඊබ්‍රහිමු රදුන් සහ පිරිවර කැඳවාගෙන හිස් කබල තිබ්බ තැනට ගියා.
ඒත් එතන තිබ්බෙ ලොකු ගහක් විතරයි. කතා කරන හිස් කබලක් වත් කොමඩු වැලක් වත් පේන්න තිබ්බෙ නෑ.
ඔවුන් හැම තැනම හෙව්වා. ඒත් කාටවත් කිසි දෙයක් හමුවුනේ නෑ.
ඇමතිවරු ඊබ්‍රහිමු දිහා කෝපයෙන් බැලුවා.
"උඹ බොරු කාරයා"
ඊබ්‍රහිමු භීතියෙන් ගල් ගැහිලා ඔවුන් දිහා බලාගෙන හිටියා.
රදුන් ගේ මුහුණ කෝපයෙන් දැඩි වුනා.
"ඇයි උඹ මට බොරු කිව්වේ? තමාගේ රදුන්ට බොරු කියන්න තරම් නිර්භීත වෙන කෙනෙක්ට මොකද වෙන්නෙ කියල උඹට දැන් දැනගන්න ලැබෙයි"
ඊබ්‍රහිමු හඬා වැලපෙමින් තමා බොරු නොකිව්ව බව දිවුරන්න පටන් ගත්තා.
"මොහුට අනුකම්පා කරන්න එපා රජතුමනී. අපි හැමෝටම පැහැදිලියි මේ මිනිහා කිසිම බයක් හැකක් නැතුව බොරු කිව්වා කියල. ඒත් මූ තාමත් ඒ බව පිළිගන්න ලෑස්ති නෑ. මූ තාමත් හිතන්නෙ අපිව රවට්ටන්න පුළුවන් කියලා."
ඇමතිවරු නොඉවසිල්ලෙන් රදුන්ට කියා හිටියා.
රදුන් ගේ මුහුනේ කිසිම අනුකම්පාවක් ඇති වුනේ නෑ. ඊබ්‍රහිමු ව ගහට තියල ගැට ගහන්න ඔහු තමාගේ සෙබළුන්ට අණ කරා. ඊට පස්සෙ රදුන් සහ පිරිවර ගමට ඇවිත් සියළු දෙනාම කැඳවලා ඊබ්‍රහිමු ට උදව් කරන එක රාජ අණ කැඩීමක් බවත්, කවුරු හරි රාජ අණ කැඩුවොත් ඔහුටත් ඊබ්‍රහිමුට අත් වුන ඉරණම ම අත්වන බවත් ප්‍රකාශ කලා.
ගහේ ගැට ගහල කැලේ මැද තනි වුන ඊබ්‍රහිමු හඬා වැලපුනා. හදිසියේම ඔහුට වියරු හිනාවක් ඇහුනා. වටපිට බලද්දි ඔහු දැක්කා ගහ යට හිස් කබල තියෙන හැටි.
"මගේ කට මාව මැරුවා. උඹේ කට උඹව මැරුවා"
"උඹ කොහෙද ගිහින් හිටියේ? මාව බේර ගනින්"
"නෑ. නෑ. උඹ කිසි විශ්වාසයක් තියන්න බැරි මෝඩයෙක්. මම උඹේ යාළුවා. මම උඹට හැමදාම කොමඩු කන්න දුන්නා. ඒත් උඹ මට වුන පොරොන්දුව කඩ කලා. උඹත් එක්ක කතා කරන්නවත් වටින්නෙ නෑ. අපි පොරොන්දුවකින් බැඳිලා හිටියේ. උඹ ඒක කැඩුවා. උඹට ඔය දඬුවම සුදුසුයි"
ආපහු වියරු හඬින් හිනා වුන හිස් කබල අතුරුදහන් වුනා.
- කතාව කිව්වේ ගා ගේ අයිෂාත් නස්නීන් (මාලේ දූපත)
අටුවාව
1. මිදිලි
කොට්ටම්බා. මාලදිවයිනේ ලුණු මිශ්‍ර වැලි පොළවේ වැවෙන්නේ ගස් වර්ග කීපයක් විතරයි. කොට්ටම්බා ඉන් එකක්. කොට්ටම්බා ගෙඩි වලට දිවෙහි බසින් කියන්නෙ "කනමදු".
2. කරා
කොමඩු. මාලදිවයිනේ වැවෙන පළතුරු අතලොස්සෙන් එකක් කරා හෙවත් කොමඩු. මාලදිවයිනේ උෂ්ණාධික දේශගුණයට කොමඩු කියන්නෙ කදිමට ගැලපෙන පළතුරක්.
3. රදුන්
රජතුමා. මාලදිවයිනේ පාලකයා දිවෙහි බසින් හැඳින්වුනේ "රදුන්" කියලා. මාලදිවයිනේ පාලකයන් ඉස්ලාමය වැළඳගත්තට පස්සෙ ඔවුන් "සුල්තාන්" කියන පදවිය භාවිතා කලා. ඒත් සාම්ප්‍රදායික දිවෙහි ක්‍රමයටත් තමාව හඳුන්වා ගත්තා.
උදාහරණයකට 1306 ඉඳලා 1341 වෙනකං මාලදිවයින පාලනය කළ පාලකයා ඉස්ලාමීය ක්‍රමයට "සුල්තාන් අබ්දුල් ෆාත් ජලාලුදීන් ඔස්මාර්" ලෙසත් දිවෙහි ක්‍රමයට "වීරු සිරි ලෝකාභරන මහා රදුන්" ලෙසත් හැඳින්වුනා.
++++++++++
ReplyDeleteඑළ...
ReplyDeleteඅපි අහල තියෙන ජනකතා වලට වඩා වෙනස් ආරක කතා ඔබ නිසා අහන්න ලැබෙනවා...
ස්තුතියි...
මේ ජාතියෙම කෙන්යානු ජනකතාවක් තියෙනවා. ඒක ආශ්‍රයෙන් එඩ්වඩ් ලෝබරි කියන ඉංග්‍රීසි කවියා ලියනවා කවියක් The Huntsman කියලා. ඒ අපූරු කවිය මේ පාර අලුත් සිලබස් එකේ ඕලෙවල් English Literature වලට නිර්දේශ කරලා තියෙනවා.
ReplyDeleteKagwa hunted the lion,
ReplyDeleteThrough bush and forest went his spear.
One day he found the skull of a man
And said to it, "How did you come here?"
The skull opened its mouth and said,
'Talking brought me here.'
Kagwa hurried home;
Went to the king's chair and spoke:
'In the forest I found a talking skull.'
The king was silent. Then he said slowly,
'Never since I was born of my mother
Have I seen or heard of a skull which spoke.'
The king called out his guards:
'Two of you now go with him
And find this talking skull;
But if his tale is a lie
And the skull speaks no word,
This Kagwa himself must die'
They rode into the forest;
For days and nights they found nothing.
At last they saw the skull; Kagwa
Said to it, "How did you come here?"
The skull said nothing. Kagwa implored,
But the skull said nothing.
The guards said, 'Kneel down.'
They killed him with sword and spear.
Then the skull opened its mouth;
'Huntsman, how did you come here?'
And the dead man answered,
'Talking brought me here.'