Friday, December 1, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 3 (ෆියලා බොලා ඔඩි දුව්වි)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ෆියලා බොලා ඔඩි දුව්වි (ෆියලා ගේ හිස දෙසට ගමන් කරනු!)


බොහොම කාලෙකට ඉස්සර අරි අතොළුවේ (atoll) ෆෙරිදූ දූපතේ හිටියා බොදු නියාමි තකුරුෆානු කියලා ඉතාමත් දක්‍ෂ නියමුවෙක් (navigator).

දවසක් බොදු නියාමි තකුරුෆානු නාවික පිරිසක් එක්ක වෙළඳ සංචාරයක් ගියා. ඔවුන් ගියේ ලොකු නැවකින්. ගමනේ තුන්වෙනි දවසේදී මහ කුඹගහ උඩ නැගලා මග සලකුණු බලන තකුරුෆානු දැක්කා ලොකු ෆියලා මාළුවෙක්. ඔහු කෑගහලා නැවියන්ට ඒ බව දැණුම් දුන්නා. නැවියෝ මාළුවා අල්ලගත්තා. ඌ ඉතාම විශාල​, ලස්සන මාළුවෙක්. නැවියෝ මාළුවා උයල කෑමට සූදානම් වුනා. තකුරුෆානු කුඹගහ උඩ ඉඳගෙනම කිව්වා මාළුවගේ ඔළුව ඔහු වෙනුවෙන් ඉතිරි කරන්න කියලා.

පැයක් හමාරක් ගතවුනා. තකුරුෆානුට හොඳටම බඩගිනියි. ඔහු තමාගේ උපකරණ ටිකත් අරගෙන කුඹ ගහෙන් බැස්සේ මාළු ඔළුව කන්න හිතාගෙන​. ඒත් බැහැල ඇවිත් බලද්දි කවුදෝ මාළුවගෙ ඔළුව කාලා. ඔළුව කාපු නාවිකයා ඔළු කට්ට මුහුදට විසි කරලා. කටුවක් වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.

තකුරුෆානු කේන්තියෙන් වියරු වැටුනා. මුළු මාලදිවයිනේම ප්‍රසිද්ධ නියමුවෙක් වන තමාගේ ඉල්ලීම පැහැර හැරලා. ඔහුට අපහාස කරලා. ඒ මදිවට ඔහුට හොඳටම බඩගිනියි. කෝප වුන තකුරුෆානු තව දුරටත් නැවට මග පෙන්වීම ප්‍රතික්‍ෂේප කළා. නැවේ කප්පිත්තා ඔහුගෙන් මග ඇහුවම තකුරුෆානු දුන්නේ එකම උත්තරයක්.

"ෆියලා ගේ ඔළුව දිහාට පදවපන්!"



මග පෙන්වන්නෙක් නැතිව නැව ඔහේ ඉබාගාතේ ගියා. දවස් අසූ අටක් මේ විදිහට ඉබාගාතේ ගිය නැවියෝ අසූ අටවෙනි දවසෙදි ලොකු "එන්දෙරි" (කළු කොරල්) ගහක් දැක්කා.  මේක දැකපු නාවිකයෝ භීතියෙන් පිස්සු වැටුනා. ඒ තිබ්බෙ "දගස්" හෙවත් ලෝකාන්තයේ තියෙන ගහ​. එතැනින් තමයි ලෝකය කෙලවර වෙන්නේ. ගහට ඔබ්බෙන් තියෙන්නෙ දැවැන්ත ප්‍රපාතයක්. මුහුද ප්‍රපාතයෙන් පහළට වැටෙනවා. එතැන මුහුද ඉතාම රළුයි. නැව වේගයෙන් ප්‍රපාතය දිහාට ඇදිලා ගියා. නාවිකයෝ ලොකු ලණුවක් අරගෙන නැව ප්‍රපාතයෙන් වැටෙන්න කලින් එන්දෙරි ගහේ ගැට ගැහුවා.

භීතියෙන් මුසපත් වුන නැවියෝ තකුරුෆානු ඉදිරියේ දණින් වැටිලා ඔහුගෙන් සමාව ඉල්ලලා ඔවුන්ව බේර ගන්න ලෙස ආයාචනා කරා. නාවිකයෝ බය වෙලා හිටපු තරම දැක්ක තකුරුෆානු ගේ තරහ නිවිලා ගියා. ඔහු නැව බේරගන්න එකඟ වුනා. නමුත් එතැන මුහුද යාත්‍රා කරන්න තරම් සැර වැඩියි. තකුරුෆානු කිව්වා මුහුද නිසල වෙනකං එතැන ඉන්න වෙන බව​.

නැවියෝ භීතියත් බලාපොරොත්තුවත් මුසු වුන රැයක් එන්දෙරි ගහ යට ගත කරා.

පහුවෙනිදා උදේ ඇහැරිලා බලද්දි මුහුද සන්සුන් වෙලා. ඔවුන් කවදාවත් දැකල නැති අමුතුම මාළු අහිනක් එන්දෙරි ගහ අවට පීනනවා. මාළු දැක්ක තකුරුෆානුට හිතුනා "මේ මාළුවා බොහොම හැඩ වැඩ ඇති එකෙක්. මුගේ මස් කෑමට සුදුසු ඇති" කියලා.

ඔහු කඩදාසියක් අරගෙන මාළුවගෙ පින්තූරයක් ඒකෙ ඇන්දා. ඊට පස්සෙ මාළුවාගේ ආත්මය කඩදාසියට එන විදිහට ඒකට මැතිරුවා. මාළුවගේ ආත්මය කඩදාසියට ආවට පස්සේ තකුරුෆානු කඩදාසිය නවලා උණ බම්බුවකට දාල ඒකෙ කට මුද්‍රා තිබ්බා.

දවස් තුනක් ඔවුන් එන්දෙරි ගහ යට ගත කළා. තුන්වෙනි දවසෙදි හුළං හමන්න ගත්තා. තකුරුෆානු තීරනය කළා දැන් යාත්‍රා කරන්න සුදුසු වෙලාව කියලා. ඔවුන් නැවත දිවෙහි රාජ්ජේ බලා ගමන් ඇරඹුවා. අර මාළු අහිනත් නැව පස්සෙම ආවා.

දවස් අසූ අටකට පස්සෙ ඔවුන්ට මාලදිවයිනේ උතුරු කොන වුන තිලදුම්මති අතොළුව පේන්න පටන් ගත්තා. නැවියෝ ප්‍රීතියෙන් ඉපිළ ගියා. මේ වෙද්දි මාළු අහින නැව වටේට මුහුද පේනතෙක් මානයේ වහ ගන්න තරම් ලොකුයි. සමහර මාළු නැව ඇතුලට පවා පැන්නා.

ක්‍රමයෙන් ඔවුන් බරවෙලි ඕඩය පහු කරමින් ඔවුන් ගේ නිවහන වුන අරි අතොළුව බලා ගමන් කරා. එක පාරටම ඔවුන් දැක්කා මුහුද දෙබෑ කරගෙන ලොකු කඳු දෙකක් මතු වෙනවා. තකුරුෆානු දැනගත්තා ඒ තාපස කකුළුවන් ගේ රැජිණ බව​. කඳු දෙකක් වගේ ඔවුන් දැක්කේ ඇයගේ අඬු. ඇය මුහුදු පතුලේ තමාගේ වාසස්ථානයෙන් මුහුදු මතුපිටට ඇවිත් තියෙන්නෙ මාළු අහින දැකලා.

තකුරුෆානු ට තේරුනා වහාම මාළු අහින මුහුදු පතුලට යවන්න ඕනෙ කියලා. නැත්තම් කකුළු රැජිණ ගේ අඬු වලට මැදිවෙලා නැව සුන් වේවි.

ඔහු වහාම මුද්‍රා තැබූ උණ බම්බුවෙන් මාළුවගෙ රූපය ඇඳපු කඩදාසිය එළියට ගත්තා. ඒකෙ බරක් ගැට ගහලා ඔහුට පුළුවන් තරම් ඈතට ඒක විසි කලා. මාළු අහින කඩදාසිය පස්සෙන් මුහුදු පතුල දිහාට ගමන් කළා. කකුළු රැජිනත් ඒ එක්කම නොපෙනී යනවා දැකපු නාවිකයෝ සැනසුම් සුසුම් හෙළුවා.

ආපහු ෆෙරිදූ දූපතට ආපු නාවිකයෝ සතුටෙන් තමාගේ නිවෙස් බලා ගියා. පහුවෙනිදා උදේ කුඩා බෝට්ටුවක නැග ගත්තු තකුරුෆානු දූපතෙන් බටහිර දිශාවට මුහුද මැදට ගිහින් උණ් බම්බුව මුහුදට දැම්මා.

එදා ඉඳලා අද වෙනතුරු දිවෙහි රාජ්ජේ අවට මුහුදේ කවදාවත් බල මාළු හිඟ වුනේ නෑ෴

- කතාව කිව්වේ නිහානි රිසා (මාලේ දූපත​)

 අටුවාව​

1. නියමුවා
නැවක නියමුවා හෙවත් "navigator" ගේ කාර්‍යය වෙන්නේ නැවට මග පෙන්වීම​. මේ සඳහා ඔහු ඉර සහ තාරකා යොදා ගන්නවා. නියමුවා ගණිත ශාස්ත්‍රයේ ඉතා දක්‍ෂයෙක් වෙන්න ඕනේ. නැවක සියළු දෙනාගේම ජීවිතය රඳා පවතින්නේ නියමුවා අතේ නිසා ඔහු ඉතාම වැදගත් පුද්ගලයෙක් විදිහටයි සැලකුනේ. දිවෙහි බසින් නියමුවා හඳුන්වන්නේ "මාලිමි" කියලා. ඒ ඔහු පාවිච්චි කරන මාලිමාව ඇසුරෙන්.

2. අතොළුව​
අතොළුව කියන්නේ දූපත් පොකුරක්. විශාල කොරල් පරයක මැද කොටස ඛාදනය වීමෙන් එහි දාරය වටේට නිර්මානය වෙන දූපත් මාලාව තමයි අතොළුවක් විදිහට හඳුන්වන්නේ. දිවෙහි බසින් අතොළුවට කියන්නේ "අතොල්හු". ඒකෙන් තමයි අතොළුවේ ඉංග්‍රීසි නම වෙන "atoll" හැදිල තියෙන්නේ.

මාලදිවයින සමන්විත වෙන්නේ මේ වගේ අතොළු 26 කින්. මේ අතොළු 26 දූපත් 2000 කින් යුක්ත වෙනවා.


3. බොදු නියාමි තකුරුෆානු
බොදු නියාමි කියන්නේ තකුරුෆානුට දුන්නු ගෞරව නාමයක්. දිවෙහි බසින් "බොදු" කියන්නෙ "ලොකු" නැත්තං "මහ​". "නියාමි" කියන්නෙ "නියමුවා". බොදු නියාමි නම තකුරුෆානුට ලැබුනේ ඔහු දක්‍ෂ නියමුවෙක් නිසා.

4. ෆියලා
ෆියලා නමින් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ ඉංග්‍රීසියෙන් "Mahi-Mahi" නැත්තං "Dolphinfish" කියල හැඳින්වෙන අඩි පහක් විතර දිග ලොකු මාළුවෙක්. වේගයෙන් පිහිනන්න සමත් ශක්තිමත් මාළුවෙක් නිසා විනෝදයට මාළු බෑමේ ක්‍රීඩාවේදී ජනප්‍රිය මාළුවෙක්.


5. එන්දෙරි
එන්දෙරි කියල දිවෙහි බසින් හැඳින්වෙන්නේ ගැඹුරු මුහුදේ හැදෙන හැඩයෙන් ගහකට සමාන කොරල් විශේෂයක්. ඒවා කළු පාටයි.


6. දගස්
මාලදිවයින් ජනවහරට අනුව ලෝකය කෙලවර වෙන තැන තියෙන ගහ තමයි "දගස්" කියන්නේ.

7. තාපස කකුළුවා
ඉංග්‍රීසියෙන් "Hermit Crab" නමින් හැඳින්වෙන තාපස කකුළුවා මාලදිවයිනේ දූපත් වල සහ අවට මුහුදේ බෙහෙවින් දකින්න පුළුවන් කකුළු වර්ගයක්. 


8. බලයා
මාලදිවයිනේ ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඉංග්‍රීසියෙන් "Tuna" නමින් හැඳින්වෙන මාළු පවුලේ සාමජිකයන් දෙන්නෙක් මත​.

පළමුවැන්නා සිංහලෙන් බලයා ලෙස හැඳින්වෙන "Skipjack Tuna". මූ දිවෙහි බසින් හැඳින්වෙන්නේ "කලුබිලමස්" කියලා. මාලදිවයිනේ වැඩියෙන්ම අල්ලන මාළුවා බලයා. අඩි තුනක් විතර දිගට වැඩෙන බලයා කිලෝ ග්‍රෑම් 20 ක් විතර බරයි.

දෙවැන්නා සිංහලෙන් කෙලවල්ලා ලෙස හැඳින්වෙන "Yellowfin Tuna". මූ දිවෙහි බසින් හැඳින්වෙන්නේ "කන්නෙලි" කියලා. කෙලවල්ලා අඩි 7 ක් විතර දිග කිලෝ ග්‍රෑම් 200 ක් විතර බර දැවැන්ත මාළුවෙක්.

මීට අමතරව තවත් Tuna මාළු වර්ග ගණනාවක් මාලදිවයින අවට මුහුදේ ඉන්නවා.

බලයා හෙවත් කලුබිලමස් කියන්නේ දිවෙහිරාජ්ජේ වැසියන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඔවුන් ගේ ප්‍රධානම ආහාරයක් වගේම​, ඔවුන් ගේ ප්‍රධානම අපනයනයක්. ඔවුන් ගේ ජීවිතයට බලයා ගේ ඇති වැදගත් කම නිසාම බලයා වෙනුවෙන්ම ජනකතාවක් නිර්මානය වෙලා තියෙනවා.

1 comment:

  1. හරි රසවත් විස්තරයක්...

    ඉතා කලාතුරකින් ලංකා මුහුදෙදි හම්බ වෙන කිලෝ 200 ක් වගේ බර බ්ලූෆින් ටුනා මාලුවෙක් මේ ලඟදි කෝටි 2 කට විකුණලා තිබ්බා...
    අපේ රට වටේම මුහුද තිබ්බත් ඒකෙ නිසි ප්‍රයෝජන ගන්නේ නැති රටක් අපි...

    ReplyDelete