Wednesday, April 24, 2019

ගී කියන කුරුල්ලා


1467 - 1600 අතර කාලය ජපන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "සෙංගොකු ජිදයි" කියලා. ඒකෙ තේරුම "රණකාමී රාජ්‍යයන් ගේ සමය​" කියන එක​. මේ කාලය එහෙම හැඳින්වුනේ ඒ කාලයේ ජපානයේ මධ්‍යගත පාලනය බිඳ වැටිලා, අධිරාජ්‍යයා ගේ සහ ෂෝගුන් වරයාගේ බලය පිරිහිලා ජපානයේ ප්‍රාදේශීය පාලකයන් (හෙවත් දයිමියෝ වරුන්) ගේ බලය වැඩිවෙලා තිබුනු කාලයක් වීම​. මේ කාලයේ ජපානය ස්වාධීන සහ අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකින් සමන්විත වුනා. මේ රාජ්‍යයන් බලය සහ ධනය වෙනුවෙන් එකිනෙකා සමඟ යුධ වැදුනා.

සෙංගොකු සමයේ අවසන් හරියේදී බලවත් සමුරායි වරු තුන් දෙනෙක් සන්ධානගත වුනා. ඒ තමයි ඔදා නොබුනගා, තොයොතෝමි හිදෙයෝෂි සහ තොකුගවා ඉඑයාසු. මේ තුන් දෙනාම රණ ශූරයෝ. ඒ වගේම එකිනෙකාට වෙනස් චරිත ලක්‍ෂන තිබුනු අය​.

ඔදා නොබුනගා තමයි ඒ කාලයේ ජපානයේ හිටපු විශිෂ්ඨම රණ ශූරයා. ඒ වගේම ඔහු ඉතාම දරුණු අයෙක්. එක සැරයක් ඔහු සතුරු බලකොටුවක් වට කරලා ඒ බලකොටුවේ සිටින සියල්ලන්ම පණපිටින් පිලිස්සී යන විදිහට බලකොටුව ගිනිබත් කලා. තමාට එරෙහිව යුධ වැදුනු හැම කෙනෙක්ම විනාශ කරල දාන්න ඔහු සමත් වුනා.

තොයොතෝමි හිදෙයෝෂි ඊට වඩා වෙනස්. ඔහු විශිෂ්ඨ මිලිටරි ඉංජිනේරුවෙක්. ඒ වගේම කපටි උපායශීලී අයෙක්. තමාට අවාසි අවස්ථාවන් වාසියට පෙරළා ගන්න ඔහු සමතෙක්.

තොකුගවා ඉඑයාසු ඒ දෙන්නටම වඩා වෙනස්. ඔහු විශිෂ්ඨ උපායශීලියෙක්. ඒ වගේම ඉවසිලිවන්තයෙක්. තමාගේ වෙලාව එනතුරු කල් මැරීම තමයි ඔහුගේ ලක්‍ෂනය​.

මේ තුන් දෙනා ගැන ප්‍රසිද්ධ ජපන් කතාවක් තියෙනවා.

මේ තුන් දෙනා දවසක් උද්‍යානයක පිරිවර සමඟ විවේක ගනිමින් හිටියා. ඒ අසල අත්තක "හොතොතොගි" (ජපානයට ආවේනික මිහිරි ගී ගයන්න සමත් කුරුල්ලෙක්) කුරුල්ලෙක් වහල හිටියා. හැමෝම උගේ මිහිරි ගීයක් අහන්න බලාපොරොත්තු වුනත්, ඌ ගී ගැයුවේ නෑ.

"අපි මොකද කරන්නේ?" පිරිවර සමුරායි වරු තමාගේ නායකයන් ගෙන් ඇහුවා.

"කුරුල්ලා ගී ගයන්නේ නැතිනම්, ඌව මරා දාන්න​" ඔදා නොබුනගා අණ කරා.

"කුරුල්ලා ගී ගයන්නේ නැතිනම්, ඌ ලවා ගීය ගයවන්න​" තොයොතෝමි හිදෙයෝෂි උපදෙස් දුන්නා.

"කුරුල්ලා ගී ගයන්නේ නැතිනම්, ඌ ගී ගයන තුරු අපි බලාගෙන ඉමු" තොකුගවා ඉඑයාසු යෝජනා කරා.

මේ කතාව ඇත්ත කතාවකද නැද්ද කවුරුත් හරියටම දන්නෙ නෑ.

නමුත් සියළු සතුරු බල සුණු විසුණු කරලා ජපානයේ ෂෝගුන් වරයා ලෙස පත් වෙන්න ආසන්නයේ හිටියදී 1582 දී ඔදා නොබුනගා ඔහුගේ යටතේ සේවය කළ සමුරායි වරයෙක් මෙහෙයවුනු කැරැල්ලකින් මරා දැමුනා.

ඊට පසුව ජපානයේ අසහාය බලවතා වෙන තොයොතෝමි හිදෙයෝෂි කොරියාවට එරෙහිව අසාර්ථක යුද්ධයක් මෙහෙයවලා බලයෙන් සහ ජනප්‍රියත්වයෙන් පිරිහුනු නායකයෙක් විදිහට 1598 දී මිය ගියා.

එතෙක් පැත්තකට වෙලා උන්නු තොකුගවා ඉඑයාසු බලය බලාගෙන 1600 වෙද්දි ජපානයේ සියළු ප්‍රාදේශීය පාලකයන් තමාගේ අණසකට යටත් කරලා ෂෝගුන් වරයා ලෙස පත් වෙනවා.

1600 ඉඳලා 1867 දක්වා ජපානයේ පාලකයන් වෙන්නේ තොකුගවා වාංශික සමුරායි වරු. මේ කාලය ජපන් ඉතිහාසයේ ලියැවෙන්නේ ඉතාම සාමකාමී කාලයක් විදිහට​.

තොකුගවා ඉඑයාසු කුරුල්ලා ගී ගයන තෙක් බලාගෙන හිටියා.

6 comments:

  1. ##තොකුගවා ඉඑයාසු කුරුල්ලා ගී ගයන තෙක් බලාගෙන හිටියා.##
    අන්න වාක්කිය...

    ReplyDelete
  2. සර් දැන් fb නැද්ද ???
    😓😓😓😓

    ReplyDelete
  3. මෙන්න මූණුපොතේ ගී නොගයන ඉඑයාසු කුරුල්ලා පාදඩ අසපුවේ….

    ReplyDelete
  4. සසැපා ට කරදරයක් වෙලාද ? මොකද අලුත් පොස්ට් නැත්තේ. ෆෙස්බුක් එකෙත් නෑ

    ReplyDelete
  5. ඔන්න අනාවැකිය සත්‍ය වෙලා :)

    ReplyDelete