Tuesday, July 17, 2018

මැග්යාර් මායාකාරයෝ - 4


ලෝක කුසලාන පරාජයෙන් පසු


ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වුනු පසු හන්ගේරියානු පිල නැවත සියරට බලා ආවා. ඒත් හන්ගේරියානු ක්‍රීඩා ලෝලීන් ගෙන් සහ හන්ගේරියානු රජයෙන් ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමක් නෙවෙයි.

ලෝක කුසලාන අවසන් තරගය දවසේ හන්ගේරියාවේ අගනුවර විශාල මහජන කැරලි ඇති වුනා. පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා ලෝලීන් වීදි බැහලා රජයේ ආයතන වලට පහර දුන්නා. විශාල පිරිසක් ගුවන් විදුලිය පිහිටි ගොඩනැගිල්ල වටකරලා විස්තර විචාරකයන් මරා දමන බවට තර්ජනය කළා.

මේ කැරලි වලින් හන්ගේරියානු රජය කලබල වුනා. මෙය ඔවුන් දැක්කේ රජයට එරෙහි නැගිටීමක් විදිහට​. ඒ වගේම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් කොමියුනිස්ට් සමාජයේ උසස් බව ලෝකයට කියාපෑමේ අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි වුනා. මේ කාරනා නිසා රජයත් පාපන්දු කණ්ඩායම කෙරෙහි දැක්වුයේ සතුරු ආකල්පයක්.

හන්ගේරියානු පාපන්දු පිළ සියරට බලා ආ විට දුම්‍.රිය පොළේ දී ඔවුන්ව පිළිගනිමින් හන්ගේරියානු රජයේ නායක රාකොස්කි ප්‍රකාශ කලේ "මේ තරගය වෙනුවෙන් ඔබ කිසි කෙනෙක්ට අපි දඬුවම් කරන්නේ නෑ" යනුවෙන්. එමගින් ඔහු ඉඟි කලේ ක්‍රීඩකයන් රාජ්‍යයට එරෙහිව කටයුතු කළ බව​.

පරාජයේ චෝදනා මූලික වශයෙන් එල්ල වුනේ කළමණාකාර සෙබෙස් සහ නායක පුස්කාස් වෙත​. විශේෂයෙන්ම පුස්කාස් අවසාන තරගයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කිරීම බොහෝ දෙනෙක් ගේ දැඩි විවේචනයට හේතු වුනා.

ඒත් නොබෝ කළකින්ම හන්ගේරියානු රජය සියළු වරද දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් වෙත එල්ල කලා. බටහිර ජර්මනිය ගෝල තුනක් ලබාගත්තේ ඔහුගේ දැල රැකීමේ දුර්වලතා නිසා බව චෝදනා කළ ඔවුන් ඔහු ඊට අමතරව බටහිර ධනවාදී රටවල් වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුනු බවට චෝදනා කළා. මේ සඳහා දඬුවම වශයෙන් ඔහුව ඈත කුඩා නගරයකට පිටුවහල් කරා. අවුරුද්දක කාලයක් ඔහුට පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුනා.


නැවතත් සුපුරුදු ගමනට​


පරාජයේ වේදනාවත් සමඟම මාස දෙකක විවේක කාලයකින් පසු මායාකාරයෝ නැවතත් පිටියට බැස්සා. ඒ රුමේනියාවට එරෙහිව 5-1 ක ජයක් ලබමින්. ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ සෝවියට් දේශයත් සමඟ​. මේ වන විට සෝවියට් දේශයත් හන්ගේරියාව අනුව යමින් ඉතා ශක්තිමත් පාපන්දු කණ්ඩායමක් ගොඩගනාගෙන හිටියා. තරගය 1-1 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

ඊට පස්සේ ස්විට්සර්ලන්තය 3-0 වශයෙන්, චෙකොස්ලොවැකියාව 4-1 වශයෙන් සහ ඕස්ට්‍රියාව 4-1 වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ ස්කොට්ලන්තයට එරෙහිව ග්ලාස්ගෝ නගරයේ. මේ තරගය ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ පැවැත්වුනා. දෙපිලෙන්ම ඉතාමත් ආක්‍රමන්ශීලී තරග රටාවක් දකින්න ලැබුනු මේ තරගය අවසානයේ 4-2 වශයෙන් ජයගන්න හන්ගේරියාව සමත් වුනා. ඒ ජයත් එක්ක නැවතත් ලෝකයේ පළමුවන කණ් ඩායම විදිහට හන්ගේරියාව ඉදිරියට ආවා.

ඊළඟට මායාකාරයෝ තවත් යුරෝපෝය තරග මාලාවකට සහභාගී වුනා. ඒවායින් නෝර්වේ 5-0, ස්වීඩනය 7-3, ඩෙන්මාර්කය 6-0, ෆින්ලන්තය 9-1, ස්කොට්ලන්තය 3-1 සහ ස්වීඩනය 4-2  වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඊළඟට සෝවියට් දේශයත් සමඟ පැවති තරගය නිම වුනේ ජය පැරදුමෙන් තොරව​. ඒ 1-1 වශයෙන්.


මධ්‍යම යුරෝපීය තරගාවලිය​


මේ අතර 1955 දී නැවතත් මධ්‍යම යුරෝපියානු තරගාවලියක් ආරම් භ කෙරුනා. එයට සහභාගී වුනේ චෙකොස්ලොවැකියාව​, හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, යුගොස්ලාවියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය​.

හන්ගේරියාව සහභාගී වුන පළවෙනි තරගය ඔස්ට්‍රියාවත් සමඟ 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ස්විට්සර්ලන්තයත් සමඟ තරගයෙන් 5-4 ලෙස තියුණු ජයක් ලබන්න හන්ගේරියාවට හැකි වුනා. ඊළඟට චෙකොස්ලොවැකියාව 3-1 වශයෙනුත් ඔස්ට්‍රියාව 6-1 වශයෙනුත් ඉතාලිය 2-0 වශයෙනුත් පරාජය කරමින් ලකුණු සටහනේ මුල් තැන ගන්න හන්ගේරියාව සමත් වුනා.


හන්ගේරියාවේ දේශපාලන තත්වය​


හන්ගේරියාවේ දේශපාලන බලය 1949 දී කොමියුනිස්ට් වරු අතට පත් වුනා. කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වුනේ මාතියාස් රාකොස්කි. ඔහු තමාව හඳුන්වාගත්තේ "ස්ටාලින් හේ හොඳම ගෝලයා" විදිහට​. ස්ටාලින් ගේ පන්නයේ ඉතා දැඩි මර්ධනකාරී පාලනයක් ඔහු හන්ගේරියාවේ ගෙනිච්චා. ඔහුගේ මර්ධනයට කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළත වගේම ඉන් පිටත් ඉන්න දේශපාලන විරුද්ධවාදීන් ලක් වුනා. මේ නිසා ඔහුගේ රජය මහජනයා අතර දැඩි අප්‍රසාදයක් දිනා ගත්තා.

මේ තත්වය වෙනස් වෙන්නේ 1953 දී ස්ටාලින් මිය යාමත් සමඟම​. සෝවියට් දේශයේ බලයට පත්වෙන කෘෂයෙව් ස්ටාලින් ගේ ප්‍රතිපත්ති ලිහිල් කරා. ඒ එක්කම හන්ගේරියාව තුල රාකොස්කි ගේ බලය පිරිහුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 1954 දී රාකොස්කි බලයෙන් පහ කරලා මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට් පාක්‍ෂිකයෙක් වන ඉම්.රේ නාගි හන්ගේරියාවේ අගමැති ධූරයට පත් වුනා. ඔහු රාකොස්කි ගේ පාලය සමයේ තිබුනු මර්ධනකාරී ප්‍රතිපත්ති බොහොමයක් නවතා දැම්මා.


නමුත් 1955 දී ස්ටාලින් වාදීන් නැවතත් කොමියුනිස්ට් පක්‍ෂය තුළ බලවත් වුනා. ඔවුන් නාගි අගමැති ධූරයෙන් පහ කරලා ඒ වෙනුවට අන්.ද්‍රාස් හෙගෙඩුස් පත් කරගත්තා. මේ බල පෙරළිය හන්ගේරියානු ජනතාවගේ සතුටට හේතුවක් වෙන්නේ නෑ. ඒ වගේම සෝවියට් හමුදාව තවමත් හන් ගේරියාවේ රැඳී සිටීමත් ඔවුඞේ දැඩි අප්‍රසාදයට ලක් වුනා. ඔවුන් ඒක දැක්කේ හන් ගේරියාවේ ස්වෛරී භාවයට කරන හානියක් විදිහට​. මේ නිසා හන්ගේරියානු ජනතාව තුළ දැඩි සෝවියට් විරෝධයක් ගොඩ නැගෙමින් තිබුනා.

සෝවියට් - හන්ගේරියා තරගය​


මේ අතර හන්ගේරියානු පාපන්දු පිළ බෙලිජියම අතින් 4-5 විදිහට පරාජය ලැබුවා. කළමණාකරු සෙබෙස් ගෙන් පලිගන්න අවස්ථාවක් බලමින් සිටි රජයට මේක හොඳ අවස්ථාවක් වුනා. ඔවුන් සෙබෙස් කළමණාකාර තනතුරෙන් ඉවත් කළා. මායාකාරයන්ට පළමු වරට තමාගේ නිර්මාතෘ වරයා අහිමි වුනා.

හන්ගේරියාවේ මීළඟ තරගය තිබුනේ සෝවියට් දේශයත් සමඟ​. සෝවියට් පාපන් දු කණ්ඩායම මේ වෙද්දී ඉතාමත් ප්‍රභල තැනක සිටියා. ඔවුන් හන්ගේරියාවත් සමඟ මීට පෙර පැවැත්වුන තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමා කරන්න සමත් වුනා. සෝවියට් දේශය දැක්කේ ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම තමා බව​. ඒ වගේම කොමියුනිස්ට් කඳවුරේ නායකයා විදිහට ඔවුන් හන්ගේරියාව තමාට ඉදිරියෙන් සිටීම ඉවසුවේ නෑ.

මේ නිසා තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය පැවැත්වුනේ මොස්කව් නුවර ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරිපිට​. ඉතාම තියුණු සහ රළු තරගයක් වුන මේ තරගයේ වාර්තා වුන එකම ගෝලය වුනේ සීබොර් 16 වැනි විනාඩියේදී ලබා ගත් ගෝලය​. හන්ගේරියාව 1-0 වශයෙන් තරගය ජය ගත්තා.

මේ ජය හන්ගේරියානු ජනතාවට ඉමහත් ආශ්වාදයක් ගෙන දුන්නා. සෝවියට් දේශය යනු පරාජය කළ හැකි බලවේගයක් බව ඔවුන්ට ඒත්තු ගියා.



විප්ලවය​


1956 ශිෂ්‍යය අරගලයක් හේතුවෙන් හන්ගේරියාවේ දේශපාලන තත්වය ඉතාම උණුසුම් සොබාවයක් ගත්තා. ඔක්තෝබර් 23 වැනිදා බූදපෙස්ට් නගරයේ එක්‍ රැස් වන 20,000 ක පමණ පිරිසක් ජාතිකවාදී ගී ගයමින් "විදේශ බලවේග​" වලට එර්හිව සටන් කරන බවට ප්‍රකාශ කළා. සවස් වෙද්දී මේ පිරිස ලක්‍ෂ 2 ක පිරිසක් බවට වර්ධනය වුනා. මේ පිරිස කොමියුනිස්ට් පක්‍ෂයේ සහ රජයේ ගොඩනැගිලි වට කරන්න පටන් ගත්තා. ඔවුන් මර්ධනය කිරීම සඳහා එවන හන්ගේරියානු හමුදා සේනාංක උද්ඝෝෂන කරුවන්ට එක් වීමත් සමඟම තත්වය කැරැල්ලක් දක්වා වර්ධනය වුනා.

රට පුරාම ජනතාව "කම්කරු කවුන්සිල​" සහ ජනතා මිලිෂියා සංවිධානය කරන්න පටන් ගත්තා. මේ කවුන්සිල සහ මිලිෂියාවන් ප්‍රාදේශීය පාලනය අත්පත් කර ගත්තා. බූදපෙස්ට් නගරයේදී කැරලි කරුවන් සෝවියට් හමුදාවත් සමඟ සටන් වැදුනා. ඔවුන් සෝවියට් හමුදා සේනාංක බැරැක්ක තුළට සීමා කරන්න සමත් වුනා.


ඒ එක්කම දැඩි මතධාරී කොමියුනිස්ට් පක්‍ෂ නායකයන් සෝවියට් දේශය වෙත පලා ගියා. පක්‍ෂයේ බලය නැවතත් නාගි ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරින් අතට පත්වුනා. නාගි නැවතත් අගමැති තනතුරට පත්වුන අතර​, යානොස් කාදාර් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා බවට පත් වුනා.

සෝවියට් දේශය විප්ලවය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නෑ. සෝවියට් හමුදා නැවත කැඳවන්න ඔවුන් තීරණය කළා. නාගි තමාගේ බලය තහවුරු කරගැනීමත් එක්කම රට නැවතත් සාමකාමී වුනා. නාගි නැවතත් තමාගේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.


ඒත් ඔක්තෝබර් 31 වැනිදා හන්ගේරියානු රජය වෝර්සෝ ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කිරීමත් සමඟම තත්වය වෙනස් වුනා. මෙය සෝවියට් දේශය දැක්කේ තමාගේ ආරක්‍ෂාවට තර්ජනයක් විදිහට​. ඔවුන් හන්ගේරියාව ආක්‍රමනය කරන්න තීරණය කළා.

ඒ අනුව නොවැම්බර් 1 වැනිදා යුධ ටැංකි ප්‍රමුඛ කරගත්ත විශාල සෝවියට් හමුදාවක් හන්ගේරියාව ආක්‍රමනය කළා. හන්ගේරියාවේ කුඩා හමුදාවට ඔවුන් සමඟ සටන් වදින්න හැකියාවක් තිබ්බේ නෑ. නොවැම්බර් 4 වැනිදා වෙද්දී සෝවියට් හමුදා හන්ගේරියාවේ බලය සම්පූර්නයෙන්ම තහවුරු කර ගත්තා.

ගැටුම් වලින් හන්ගේරියානු ජාතිකයන් 2500 සහ සෝවියට් සෙබළු 700 මිය ගියා.


සෝවියට් හමුදා විසින් යානොස් කාදාර්ට අගමැති තනතුර බාර ගන්න ආරාධනා කරනවා. ඔහු එය පිළිගත්තා. අත් අඩංගුවට පත් වෙන නාගිට 1958 දී මරණ දඬුවම හිමිවුනා.


මායාකාරයන් ගේ අවසානය​


විප්ලවය සිදුවෙද්දී හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෙන් අතිබහුතරය අයත් වුන හොන්වේඩ් ක්‍රීඩා සමාජය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ස්පාඤ්ඤයට ගිහිල්ලා හිටියා. තමාගේ රට සෝවියට් දේශය විසින් ආක්‍රමනය කිරීම පිළිබඳව කම්පාවට පත් වුන ක්‍රීඩකයන් ගෙන් බහුතරය විරෝධය පෑමක් විදිහට නැවත සියරට බලා නොයාමට තීරණය කළා.

දේශපාලනය මතින් බිහි වෙලා අවුරුදු හතක් පුරාවට පාපන්දු ලෝකය දෙවනත් කරමින් තම අනසක පැතිරවූ මැග්යාර් මායාකාරයන් ගේ අවසානය ඒ විදිහට දේශපාලනය මතින්ම සිදු වුනා.

1949 සිට 1956 දක්වා කාලය තුළදී මායාකාරයෝ තරග 62 කට සහභාගී වෙනවා. ඉන් තරග 50 ක් ම ජය ගන්න ඔවුන් සමත්වෙනවා. තරග 9 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වෙන අතර​, පරාජයට පත් වෙන්නේ තරග 3 ක් පමණයි.

1950 මැයි 14 වැනිදා සිට 1954 ජූලි 4 වැනිදා දක්වා තරග 32 ක අපරාජිත වාර්තාවක් තබා ගන්නත් ඔවුන් සමත් වෙනවා.

මේ කාලසීමාව තුල ඔවුන් ලබා ගත් ගෝල ගණන 264 ක්. තරගයකට ගෝල සාමාන්‍යය අදහාගත නොහැකි 4.26 ක් විදිහට වාර්තා වෙනවා. ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ගෝල 77 පමණයි.

මේ අද්විතීය වාර්තාව සහ ඔවුන් ගේ ආක්‍රමනශීලී අලංකාර ක්‍රීඩා රටාව නිසා අදටත් එතෙක් මෙතෙක් ලොව බිහිවුන හොඳම පාපන්දු කණ් ඩායම විදිහට සැලකෙන්නේ මැග්යාර් මායාකාරයන්ව​.


පසු කතාව​


යානොස් කදාර් ගේ නායකත්වය යටතේ හන්ගේරියාව 1989 දක්වා පාලනය වුනා. හන්ගේරියාව සැලකුනේ නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවල් අතරින් මර්ධනය සාපේක්‍ෂව අඩු රටක් විදිහට.


හන්ගේරියානු පිළෙන් ඉවත් වීමෙන් පසු ක්‍රීඩකයන් විවිධ මාර්ග වල ගමන් කළා.

නායක පුස්කාස් 1958 දී ස්පාඤ්ඤයේ රෙයාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. එහිදී ඔහු ආජෙන්ටිනා ජාතික ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ සමඟ එක්ව ලොව බිහිවූ විශිෂ්ඨතම ප්‍රහාරක සුසංයෝගයක් බිහි කළා. ඔවුන් දෙදෙනාගේ සහයෙන් රෙයාල් මැඩ්‍රිඩ් කණ්ඩායම යුරෝපීය කුසලාන හතරක් සහ ස්පාඤ්ඤය ලීග ශූරතා හතක් දිනා ගත්තා. පසුව ඔහු ස්පාඤ්ඤය පුරවැසිභාවය ලබාගෙන ස්පාඤ්ඤ්‍ය වෙනුවෙන් තරග හතරකට සහභාගී වුනා. ඉන් තුනක් 1962 ලෝක කුසලානයේ. නමුත් මේ තරග වලදී ඔහුට එක ගෝලයක්වත් ලබා ගන්න හැකි වෙන්නේ නෑ.

ක්‍රීඩාවෙන් සමුගත් පසු කළමණාකරුවෙක් විදිහට යුරෝපීය ක්‍රීඩා සමාජ ගණනාවක සේවය කරන පුස්කාස් නැවත හන් ගේරියාවට එන්නේ 1993 දී. ඔහු ඇල්සයිමර් රෝගය වැළඳීමෙන් 2006 දී මිය ගියා. අද ඔහු සැලකෙන්නේ හන්ගේරියාවේ ජාතික වීරයෙක් විදිහට​.

සාන්ඩෝර් කොචිස් 1958 දී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. බාසිලෝනා පිළ වෙනුවෙන් තරග 75 කට සහභාගී වෙන කොචිස් 1965 දී ක්‍රිඩාවෙන් ගත්තා. කළමණාකරුවෙක් විදිහට කෙටි කලක් කටයුතු කරන ඔහු ලියුකේමියාව සහ ආමාශයේ පිළිකාවක් වැළඳී ප්‍රතිකාර ගන්නා අතර 1979 දී බාසිලෝනා හි රෝහලක හතරවැනි තට්ටුවෙන් වැටීමෙන් මිය ගියා. බොහෝ දෙනා සිතන්නේ එය දිවි නසා ගැනීමක් බවයි. කොචිස් නැවතත් කිසි දිනෙක හන්ගේරියාවට යන්නේ නෑ.

නාන්ඩෝර් හිඩෙග්කුටි හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයෙක් නොවන නිසා හන්ගේරියාව හැර යන්නේ නෑ. නමුත් ඔහු 1958 දී ක්‍රීඩාවෙන් සමුගත්තා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ ගණනාවක කළමණාකරුවෙක් විදිහට කටයුතු කරන ඔහු මිය යන්නේ 2002 දී.

සොල්තාන් සීබොර් කොචිස් සමඟම 1958 දී බාසිලෝනා සමාජයට එක් වුනා. 1961 වන තුරු එහි ක්‍රීඩා කරන සීබොර් 1965 වන තුරු තවත් සුළු සමාජ ගණනාවක ක්‍රීඩා කළා. නැවත හන්ගේරියාවට එන සීබොර් 1997 දී මිය ගියා.

ජෝෂෙෆ් බොෂික් වර්ජනයට සහභාගී වුනේ නෑ. ඔහු නැවත හන්ගේරියාවට ඇවිත් දිගටම ජාතික කණ්ඩායමට සහ හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කළා. 1962 දී ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු හොන්වේඩ් සහ ජාතික කණ්ඩායම් වල කළමණාකරු විදිහට කටයුතු කළා. ඔහු 1978 දී හෘදයාබාධයකින් මිය ගියා.

දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් බටහිර යුරෝපයේ ජීවත් වෙන්න උත්සහ කළත් එය සාර්ථක වුනේ නෑ. ඔහු නැවතත් 1958 දී හන්ගේරියාවට ආවා. නමුත් ඔහුට හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කරන්න රජය ඉඩ දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහුව කුඩා ක්‍රීඩා සමාජයකට මාරු කෙරුනා. 1962 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තා. පෙණහළු වා සහ හදවතේ රෝග වලින් පීඩා විඳි ග්‍රොචිස් 2014 දී මිය ගියා.

හන්ගේරියාව නැවතත් කිසි දිනෙක් පාපන්දු ලෝකයේ බලවතෙක් වුනේ නෑ. 1962 සහ 1966 ලෝක කුසලාන වල අර්ධ අවසන් පූර්ව තරග දක්වා යාමට ඔවුන් සමත් වුනත්, එතැනින් එහාට යන්න ඔවුන්ට හැකි වෙලා නෑ. 1990 සිට අද දක්වා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට පවා ඔවුන් අසමත් වෙලා තියෙනවා.


1 comment:

  1. අපි ප්‍රාර්තනා කරමු 1995-2015 කාලයේ ලංකා ක්‍රිකට් කන්ඩායම ගැන අනාගතයේ දී ලියන කෙනෙක්ට ඔබේ අවසාන චේදය භාවිතා කරන්ඩ නොවේවා කියල...ශ්‍රී ලංකා කන්ඩායම නැවත කිසිදාක....වශයෙන්.

    ReplyDelete