Friday, July 6, 2018

මැග්යාර් මායාකාරයෝ - 2



මධ්‍යම යුරෝපියානු කුසලානය - 1949


මැග්යාර් මායාකාරයන් ගේ ආරම් භය විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ 1949 මධ්‍යම යුරෝපියානු කුසලාන තරගාවලිය​. ඒ තරගාවලිය තමයි ගුස්ටාව් සෙබෙස් කණ්ඩායම බාරගත්තට පස්සෙ පැවැත්වුන පළමු තරගාවලිය​.

මධ්‍යම යුරෝපියානු කුසලානය කියන්නේ ඒ කාලයේ පැවැත්වුන මධ්‍යම යුරෝපයේ රටවල් කීපයක් සහභාගී වුන තරගාවලියක්. මෙහි විශේෂත්වය වුනේ මේ තරගාවලිය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වීම​. 1948 ඇරඹුන තරගාවලිය අවසන් වුනේ 1953.

1948 - 53 තරගාවලියට සහභාගී වුනේ හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, චෙකොස්ලොවැකියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය කියන රටවල් පහ​. 1948 දී පැවැත්වුන ස්විට්සර්ලන්තය සහ චෙකොස්ලොවැකියාව සමඟ  තරග වලින් හන්ගේරියාව ජයගෙන තිබූ අතර ඔස්ට්‍රියාව සමඟ පැවැත්වුනු තරගයෙන් ඔවුන් පරාජයට පත් වුනා.

හන්ගේරියාව "මායාකාරයෝ" විදිහට සකස් වුනාට පස්සෙ පැවැත්වුන පළමු තරගය තිබුනේ ඔස්ට්‍රියාවත් සමඟ බූදපෙස්ට් නගරයේ. ඒ තරගයෙන් 6-1 ලෙස ජය ගන්න "මායාකාරයෝ" සමත් වුනා. මේ තරගයේ දී නායක පුස්කාස් ගෝල ත්‍රිත්වයක් ලබා ගන්න සමත්වුනා.

ඊළඟට පැවැත්වුන තරගය පැවැත්වුනේ බූදපෙස්ට් නගරයේම ඉතාලියත් සමඟ​. එහිදී තරගය 1-1 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

මේ තරග දෙකත් එක්ක මධ්‍යම යුරෝපියානු කුසලාන තරගාවලියේ මුල් තැන ගන්න හන්ගේරියාවට පුළුවන් වුනා.


1950 - 52 කාලය​


1950 - 52 කාලයේදී හන්ගේරියාව යුරෝපය පුරා තරග ගණනාවකට සහභාගී වුනා.

මුලින්ම ඔවුන් තරග වැදුනේ ස්වීඩනය සමඟ. එම තරගය 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ඊළඟට පිළිවෙලින් පෝලන්තය 8-2 වශයෙන්, ඔස්ට්‍රියාව 4-3 වශයෙන්, බල්ගේරියාව 5-0 වශයෙන්, ස්වීඩනය 5-0 වශයෙන් සහ චෙකොස්ලොවැකියාව 5-0 වශයෙන් පරාජය කරන්න හන්ගේරියාව සමත් වුනා.

මේ ජයග්‍රහන මාලාවත් එක්ක හන්ගේරියාව පාපන්දු ලෝකයේ අවධානය දිනා ගත්තා. ඔවුන් ගේ ආක්‍රමන්ශීලී සහ ආකර්‍ෂනීය ක්‍රීඩා විලාශය ප්‍රේක්‍ෂකයන් අතර ඔවුන්ට ඉමහත් ජනප්‍රියත්වයක් ලබා දෙන්න සමත් වුනා.

ඊළඟ තරගය ඔවුන් 3-5 ලෙස ඔස්ට්‍රියාව හමුවේ පරාජය වුනත්, පෝලන්තය සමඟ 3-2, ඇල්බේනියාව සමඟ 12-0 සහ ඔස්ට්‍රියාව සමඟ 4-3 ලෙසින් ඊළඟ තරග තුන ජයගන්න මායාකාරයෝ සමත් වුනා.

ඊටපසුව තිබ්බ බල්ගේරියාව සමඟ තරගය 1-1 ලෙස නිමා වුනත්, ඊළඟට තිබ්බ තරග පිළිවෙලින් පෝලන්‍තය 6-0, චෙකොස්ලොවැකියාව 2-1, ෆින්ලන්තය 8-0, නැගෙනහිර ජර්මනිය 5-0, පෝලන්‍තය 5-1 සහ ෆින්ලන්තය 6-1 වශයෙන් ජය ගන්න ඔවුන් සමත්වුනා.

1952 ඔලිම්පික්


1952 ඔලිම්පික් උළෙල පැවැත්වුනේ ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර​.

ඔලිම්පික් නීති රීති අනුව මේ තරගවලට සහභාගී වෙන්න පුළුවන් වුනේ ආධුනික හෙවත් මුදලට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්ට පමණයි. මේක කොමියුනිස්ට් රටවලට විශාල වාසියක් වුනා. ඒ ඔවුන් ගේ සියළුම ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා නොකරන අය වීම නිසා. මේ නිසා කොමියුනිස්ට් නොවන රටවලින් දෙවැනිපෙළ කණ්ඩායමක් තරගාවලියට සහභාගී වන විට ඔවුන්ට එරෙහිව සිටියේ කොමියුනිස්ට් රටවල් වල පළමුපෙලේ ජාතික කණ්ඩායම​.

තරගාවලිය ජයග්‍රහයනය කරනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වුනේ සෝවියට් දේශය​. නමුත් හන්ගේරියාව තරගාවලියේ කළු අශ්වයා විදිහට කාගෙත් අවධානයට ලක් වුනා.

තරගාවලියේ නීති - රීති අනුව එය පැවැත්වුනේ පිළුමලුන් පිටු දැකීමේ ක්‍රමයට​.

හන්ගේරියාවට එරෙහිව පළමු තරගය තිබුනේ රුමේනියාවට සමඟ​. තරගය ඇරඹී පළවෙනි මිනිත්තුව ඇතුලතහන්ගේරියානු පිලේ ප්‍රහාරක ක්‍රීඩක හිඩෙග්කුටි රතු කාඩ් පතක් ලබා තරගයෙන් ඉවත් කෙරුනා. ඒ නිසා හන්ගේරියාව මුළු තරගය පුරාවටම ක්‍රීඩා කලේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන්. නමුත් 2-1 විදිහට තරගය ජය ගන්න ඔවුන්ට එය බාධාවක් වුනේ නෑ.

දෙවැනි වටයේදී හන්ගේරියාවට මුණ ගැහුනේ ඉතාලිය​. 3-0 ක පහසු ජයක් ලබන්න හන්ගේරියාව සමත් වුනා. මේ වටයේදී සෝවියට් දේශය පරාජය කරන්න යුගොස්ලාවියාව සමත්වීම විශේෂයක්.

අර්ධ අවසන් පූර්ව තරගයේදී හන්ගේරියාවේ ප්‍රතිවාදියා වෙන්නේ තුර්කිය​. තුර්කි කණ්ඩායම 7-1 විදිහට විනාශ කරන්න හන්ගේරියාව සමත් වුනා. මෙහිදී පුස්කාස් සහ කොචිස් ගෝල 2 බැගින් ලබා ගත්තා.

අවසන් පූර්ව තරගයේදී හන්ගේරියාව තරග කරන්නේ ස්වීඩනය සමඟ​. කොචිස් ගේ ගෝල දෙකක් සමඟ 6-0 ලෙස තරගය ජය ගන්න ඔවුන් සමත් වුනා. ජර්මනිය පරාජය කරමින් අනෙක් පසින් අවසන් තරගයට එන්නේ යුගොස්ලාවියාව​.

අවසන් තරගයේදී පෙරලිකාර හන්ගේරියාව සහ සෝවියට් දේශය පරාජය කළ යුගොස්ලාවියාව ගැටුනා. එහිදී පුස්කාස් සහ සීබොර් ගේ ගෝල දෙකක් සමඟින් 2-0 විදිහට තරගය ජයගෙන රන් පදක්කම ලබා ගන්න හන්ගේරියාව සමත් වුනා.


තරගාවලිය පුරාවටම හන් ගේරියාව ගෝල 20 ක් ලබා ගන්නා අතර​, ප්‍රතිවාදින්ට ලබා දෙන්නේ ගෝල 2 ක් පමණයි. සන්ඩෝර් කොචිස් ගෝල 6 ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා වුනා. මේ විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟම හන්ගේරියානු කණ්ඩායම ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම විදිහට පොදු පිළි ගැනීමට ලක් වුනා.


ඔලිම්පික් වලින් පසු


ඔලිම්පික් ජයග්‍රහනයෙන් පසුව මධ්‍යම යුරෝපියානු කුසලානයේ ඉතුරු තරග පැවැත්වුනා. එහිදී ස්විට්සර්ලන්තය 4-2 ලෙසත් ඉතාලිය 3-0 ලෙසත් පරාජය කරමින් කුසලානය දිනා ගන්න හන්ගේරියාව සමත් වුනා.

ඉන්පසුව ආයෙත් මායාකාරයෝ සුහද තරග මාලාවකට සහභාගී වෙමින් යුරෝපය පුරා සංචාරය කරා. එහිදී ඔස්ට්‍රියාව සමඟ 1-1 ලෙසත්, බල්ගේරියාව සමඟ 1-1 ලෙසත්, ස්වීඩනය සමඟ 2-2 ලෙසත් ජය පරාජයෙන් තොරව තරග අවසන් කරන්නත්, ස්වීඩනය සමඟ 4-2 ලෙසත්, චෙකොස්ලොවැකියාව සමඟ 5-1 ලෙසත්, ඔස්ට්‍රියාව සමඟ 3-2 ලෙසත් ජය ගන්න ඔවුන් සමත් වුනා.

මේ වෙද්දි මායාකාරයෝ යුරෝපයේ ජනප්‍රියම පාපන්දු පිල බවට පත් වෙලා අවසන්.


සියවසේ තරගය​


නමුත් හන්ගේරියාවට කිරුළ ලබා දෙන්න පාපන්දු ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නු එංගලන්තය කැමැති වුනේ නෑ. ශ්‍රේණිගත කිරීම් වල මොනවා වුනත් එංගලන්තය සැලකුවේ තමාගේ ක්‍රීඩකයන් ලෝකයේ තාක්‍ෂනය අතින් විශිෂ්ඨම ක්‍රීඩකයන් බව​. මුළු ඉතිහාසයටම එංගලන්ත පිලක් එංගලන්තයේදී බ්‍රිතාන්‍යය නොවන කණ්ඩායමක් අතින් පරාජය වෙලා තිබුනේ එකම එක වතාවක් පමණක් වීම ඒ විශ්වාසය වඩාත් තහවුරු වෙන්න හේතුවක් වුනා.

මේ නිසාම එංගලන්තය තමාගේ විශිෂ්ඨ බව තහවුරු කරන්න හන් ගේරියාවට පාපන්දු තරගයක් සඳහා අභියෝග කලා. ඒ අනුව 1953 නොවැම්බර් මාසයේදී මායාකාරයෝ එංගලන්තය බලා පිටත් වුනා.

තරගය පැවැත්වුනේ 1953 නොවැම්බර් 23 වෙනිදා ලන්ඩනයේ වෙම්.බ්ලි ක්‍රීඩාංගනයේදී. ඒ අතිවිශාල 105,000 ක ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ. තරගය හැඳින්වුනේ "සියවසේ තරගය" නමින්.



එංගලන්ත පිළ සාම්ප්‍රදායික WM සැකැස්මට අනුව තරග වැදුනා. ඔවුන් තමාගේ බලාපොරොත්තු තැබුවේ ප්‍රහාරක ක්‍රීඩක ස්ටැන්ලි මැතිව්ස් සහ ස්ටැන් මෝර්ටෙන්සන්, දැල රකින ගිල් මෙරික් සහ ආරක්‍ෂක ක්‍රීඩක ඇල්ෆ්‍රඩ් රැම්සි මත​. මේ ක්‍රීඩකයන් හතර දෙනා එවකට ලෝකයේ සිටි දක්‍ෂම ක්‍රීඩකයන් විදිහට සැලකුනා. විශේෂයෙන් මැතිව්ස් සහ රැම්සි නයිට් නාමයෙන් පවා පුද ලැබූ අදත් ලෝක ඉතිහාසයේම විශිෂ්ඨ ක්‍රීඩකයන් විදිහට සැලකෙන ක්‍රීඩකයන්.

හන්ගේරියාව තමාගේ සුපුරුදු 2-3-3-2 සැකැස්ම අනුව තරග වැදුනා. ලෝකයේ අංක එකේ කණ්ඩායම වුනත්, ඔවුන් තවමත් එංගලන්තය වැනි ප්‍රභල ප්‍රතිවාදියෙක්ට මුහුණ දීල තිබුනේ නෑ.


තරගය පටන් ගෙන පළමුවැනි විනාඩියේදීම හන්ගේරියානු මධ්‍ය ප්‍රහාරක හිඩෙග්කුටි පළමු ගෝලය වාර්තා කලා. එතැන් පටන් එංගලන්ත පිලේ දෘඩ WM සැකැස්ම වටා රිංගා යමින් දිගින් දිගටම එංගලන්ත ගෝලය ආක්‍රමනය කරන්න හන්ගේරියානුවන් සමත් වුනා.

හිඩෙග්කුටි ගේ පළමු ගෝලය​
15 වැනි විනාඩියේදී ජැකී සෙවෙල් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් ලකුණු සම කළත්, වැඩි වෙලා නොගිහින් හන්ගේරියානුවන් ගේ තාක්‍ෂනික උසස් බව ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා.


එංගලන්ත ආරක්‍ෂකයන් පිටිය පුරා දිව යන හන්ගේරියානු ප්‍රහාරකයන් පසුපස යන්නද​, නැතිනම් තමාගේ වසම ආරක්‍ෂා කරන්නද යන්න හිතාගැනීමට නොහැකිව අන්ද මන්ද වුනා. කෙටි පන්දු ස්ථානගත කිරීම් ඔස්සේ එංගලන්ත ආරක්‍ෂක පෙළ සම්පූර්නයෙන්ම විනාශ කර දාන්න මායාකාරයන්ට හැකි වුනා.

ඒ අනුව 20 වැනි විනාඩියේදී හිඩෙග්කුටි දෙවැනි වරටත් ගෝලයක් ලබා ගත් අතර​, 24 වැනි විනාඩියේදී පුස්කාස් හන්ගේරියාව වෙනුවෙන් තුන්වැනි ගෝලය ලබා ගත්තා.

පුස්කාස් (10) ගේ තුන්වැනි ගෝලය​
විනාඩි තුනකට පසු බොෂික් ගේ නිදහස් පහරක් නැවතත් එංගලන්ත ගෝලය තුලට යවන්න පුස්කාස් සමත්වුනා.

38 වැනි විනාඩියේදී මෝර්ටෙන්සන් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා.

පළමු භාගය නිමා වෙද්දි ලකුණු පුවරුව කියැවුනේ 4-2 විදිහට​.

දෙවැනි භාගයේදී තරගය ආරම්භ වෙලා විනාඩි 7 ක් ගත වෙද්දී බොෂික් හන්ගේරියානු පිලේ පස් වැනි ගෝලය වාර්තා කළා.


තවත් විනාඩි තුනක් ගත වෙද්දී එංගලන්ත ගෝලය මුවවිටේ සිදු කළ පන්දු හුවමාරු කිරීම් 10 ක් අවසානයේදී හිඩෙග්කුටි තමාගේ තුන්වැනි ගෝලයත් ලබා ගත්තේ ප්‍රේක්‍ෂකයන් විශ්මයෙන් මුසපත් කරමින්. ලකුණු තත්වය 6-2.

57 වන විනාඩියේදී එංගලන්තයට ලැබුණු දඬුවම් පහරකින් රැම්සි එංගලන්තය වෙනුවෙන් තුන්වැනි ගෝලය ලබා ගන්න සමත් වුනා.

එතැන් සිට හන්ගේරියාව කලේ කෙටි පන්දු ස්ථානගත කිරීම් පිළිබඳ ප්‍රදර්ශනයක්. එංගලන්ත ක්‍රීඩකයන්ට පන්දුව ලැබුනේ ඉතාම කලාතුරකින්. පැය බාගයක් පුරා හන්ගේරියානුවන් උනුන් අතර පන් දුව හුවමාරු කර ගනිමින් පිටිය පුරා නිදහසේ සැරි සැරුවේ ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිස ඉදිරියේ එංගලන්ත පිළ අවමානයට ලක් කරමින්.

අවසාන ලකුණු පුවරුව කියැවුනේ 6-3 විදිහට​.

එංගලන්තය එංගලන්තයේදීම පරාජය කිරීමත් එක්කම හන්ගේරියාව පාපන්දු ලෝකයේ අද්වීතිය තැනක් ලබා ගත්තා.

ඊජිප්තුව 3-0 ලෙසත්, ඔස්ට්‍රියාව 1-0 ලෙසත් පරාජය කිරීමෙන් අනතුරුව හන්ගේරියාව නැවතත් එංගලන්තය සමඟ තරග වැදුනා. ඒ හන්ගේරියාවේ බූදපෙස්ට් නගරයේදී.

මෙවර එංගලන්තය පරාජය වුනේ 7-1 විදිහට​. හන්ගේරියාව වෙනුවෙන් පුස්කාස් සහ කොචිස් ගෝල 2 බැගිනුත්, ලැන්ටොස්, හිඩෙග්කුටි සහ ටොත් එක ගෝල බැගිනුත් වාර්තා කළා.

ඒ ජයත් එක්කම මායාකාරයන් ගේ දක්‍ෂතාවය ගැන කිසිම සැකයක් ඉදිරිපත් වුනේ නෑ.

1954 ස්විට්සර්ලන්තයේ පැවැත්වුන පාපන් දු ලෝක කුසලානයට හන්ගේරියාව ඉදිරිපත් වුනේ කුසලානය ජයගැනීමට වඩාත්ම ඉඩක් තිබුනු කණ්ඩායම වශයෙන්.

No comments:

Post a Comment