Thursday, June 28, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 51 (උපාසක බළලා​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

උපාසක බළලා


දවසක් පූසෙක්ට රිහාකුරු (මාළු වලින් හදන කෑමක්) දාපු වීදුරු භාජනයක් හම්බ වුනා. ඒ භාජනයේ කට පොඩියි. ඒත් රිහාකුරු සුවඳ ඉවසගෙන ඉන්න බැරි වුන පූසා අමාරුවෙන් ඔළුව ඇතුලට දාලා ඇති වෙනකං රිහාකුරු කෑවා. පූසට තමන් කරපු මෝඩකම තේරුනේ ආපහු ඔළුව එළියට ගන්න බැරි වුනාම​. ඌ බයවෙලා පිස්සුවෙන් වගේ ඒ මේ අත දඟලද්දි භාජනය බිත්තියක හැප්පිලා කැඩුනා. පූසගෙ ඔළුව නිදහස් වුනත් භාජනයේ කට පූසගෙ බෙල්ල වටේට මාලයක් වගේ රැඳිල තිබුනා.

කරගන්න දෙයක් නැති නිසා පූසා භාජනයේ කට බෙල්ල වටේ තියෙද්දිම යන්න ගියා. ඒත් හදිසියේම පාරෙ තිබ්බ වතුර වලකින් ඌ උගේ ඡායාව දැක්කා. ඉර එළියට වීදුරු කටු දිලිසෙනවා. තමන් හරිම ලස්සනයි කියල පූසට හිතුන​. ඌ එතැන ඉඳල ඇවිදගෙන ගියේ හරිම ආඩම්බරෙන්.

ඇවිදගෙන යද්දි පූසට මීයෙක් හම්බ වුනා. පූසා දැකපු මීය බයවෙලා දුවන්න හැදුවා. ඒත් පූසා නිවුනු කටහඬකින් මීයට කතා කලා.

"ඇයි උඹ දුවන්නෙ? උඹ මට බය වුනාද​?"

"උඹ පූසෙක් නෙ. උඹ මාව කයි"

පූසා හිනා වුනා.

"මම වෙන පූසො වගේ නෙවෙයි. මම බොහොම ආගම දහමට ලැදි පූසෙක්. බලපන් මගේ බෙල්ල වටේ තියෙන "තස්බිහා" (යාඥා සඳහා යොදාගන්න ඇට මාලයක්) දිහා. මම දවල් කාලය ගත කරන්නෙ උපවාසයෙන්. රාත්‍රී කාලය ගත කරන්නෙ යාඥා කරමින්. ඉතින් මම කොහොමද උඹට කරදරයක් කරන්නෙ."

මීය ටිකක් හිතල බැලුව​. මේ පූසා වෙන පූසො වගේ නෙවෙයි. ඇවිදගෙන ආවෙ බොහොම උජාරුවන්. බෙල්ල වටේ තස්බිහා මාලයක් තියෙනවා. කතා කරන්නෙ බොහොම නිවිච්ච විදිහට​. ඒ මදිවට හැමදාම දවල්ට උපවාස කරනවා!

"හොඳයි අපි ඇවිදින ගමන් කතා කරමු. උඹ කොහෙද යන්නෙ?"

"මම ආවෙ දුර බැහැර දූපතක ඉඳලා. අපේ නැන්දගෙ දුවට මේ දවස් වල බබා හම්බෙන්න ළඟයි. මම ආවෙ ඒකට උදව් කරන්න​. ඒත් එයාලගෙ ගෙදර අමුත්තො පිරිලා. මට රෑ නවතින්න තැනක් නෑ. මම මේ නවතින්න තැනක් හොයන ගමන්. මට උඹේ ගෙදර නවතින්න පුළුවන් ද​?"

මීය කැමති වුනා. මේ වගේ වැදගතෙක් තමාගෙ ගෙදර නවතින එක මීය සැලකුවේ ලොකු ගෞරවයක් විදිහට​. ඌ පූසව තමාගෙ ගෙදරට එක්කරගෙන ගියා.

මීයට කිරි බොන වයසෙ පොඩි පැටව් හත් දෙනෙක් හිටිය​. ඒ නිසා ගෙදර ඉඩකඩ ටිකක් මදි වුනත් මීය බඩු මුට්ටු එහෙ මෙහෙ කරල පූසට නිදාගන්න තැනක් හදල දුන්නා.

පහුවදා උදේ බලද්දි මී පැටියෙක් අඩුයි. මීය බොහොම කලබල වෙලා පූසගෙන් ඒ බව ඇහුවා.

"මම උඹට කිව්ව නෙ මම දවල් කාලය උපවාසයෙන් සහ රාත්‍රී කාලය යාඥාවෙන් ගත කරන බව​? ඉතින් මම කොහොමද උඹේ පැටියෙක්ට අනතුරක් කරන්නෙ. මම ඊයෙ රෑ පල්ලියටත් ගියා. ඉතින් මම කොහොමද මේ වගේ අපරාධයක් කරන්නෙ. මම කැමති නෑ මේ වගේ චෝදනා කරන තැනක තව දුරටත් ඉන්න​. මම අදම වෙන තැනක් හොයා ගන්නවා."

පූසා බොහොම වේදනාවෙන් කිව්වා.

මීයා කණගාටුවුනා මේ වගේ ආගම දහමට ලැදි වැදගතෙක් සැක කිරීම ගැන​.

"මට සමාවෙන්න​. මම ආයෙ උඹව සැක කරන්නෙ නෑ. මගේ ගෙදරින් යන්න එපා."

පූසා ටිකක් හිතල බලල දිගටම නවතින්න කැමති වුනා.

හැමදාම රෑට මී පැටියෙක් අතුරුදහන් වුනා. ඒත් මීය පූසව සැක කරේ නෑ. ඔය විදිහට සතියක් ගත වුනා. මී පැටව් හත් දෙනාම අතුරුදහන් වුනා.

අටවෙනි දවසෙ රෑ මීයා එක පාරටම රෑ මැද අවදි වුනේ තමා ළඟ කවුදෝ ඉන්නව දැනිල​. ඒ පූසා. ඌ මීය ළඟටම ඇවිත් තොල කට ලෙවකකා බලාගෙන ඉන්නවා.

"උඹ මොකද මේ කරන්නෙ?"

"මම උඹව කන්නයි යන්නෙ."

මීයට තමන් කරපු මෝඩකම වැටහෙද්දි පූසගෙ දත් පාරවල් උගේ බෙල්ල වටේට තද වෙලා ඉවරයි෴



- කතාව කිව්වේ ගාගේ නයිමා (මාලේ දූපත​)

අටුවාව

1. රිහාකුරු සහ ගරුදිය

රිහාකුරු සහ ගරුදිය කියන්නෙ මාලදිවයිනටම විශේෂ කෑම වර්ග දෙකක්. ඒවා හදන්නෙ බලමාළු වලින් උම්බලකඩ හදද්දි අතුරු ඵලයක් විදිහට​.

උම්බලකඩ හදන්නෙ ටූනා මාළු කූරි දීර්ඝ කාලයක් ලුණු වතුරේ තම්බලා. තැම්බිල ඉවර වුනාම මාළු කූරි වතුරෙන් ඉවත් කරල අව්වේ වේලනවා. මාළු තම්බපු වතුර ලුණු රසැති සුප් එකක් විදිහට ඉතුරු වෙනවා. මාළුවගේ ලේ සහ වෙනත් කොටස් මේ වතුරට කාවැදිල තියෙන නිසා මේක පෝෂන ගුණයෙන් උසස්. මේ මාළු සුප් එකට බැද්පු මිරිස්, සුදුළූණු, ළූණු, කරපිංචා, දෙහි සහ තම්බපු මාළු කෑලි එක් කරගැනීමෙන් තමයි "ගරුදිය​" හදන්නෙ. ගරුදිය බත් හෝ රොෂී (තුනී රොටී වර්ගයක්) එක්ක කෑමට ගන්න පුළුවන්.



මාළු සුප් එක ගරුදිය හදන්න පාවිච්චි කරන්නෙ නැතුව ඒකට "බොන්ඩි"හෙවත් මාළුකටු වලින් සූරා ගන්න මාළු කොටස් වලින් හදපු බෝල එක් කරලා වතුර සම්පූර්නයෙන්ම වගේ හිඳෙනකන් මද ගින්නේ දීර්ඝ කාලයක් තැම්බීමෙන් තමයි රිහාකුරු හදන්නෙ. රිහාකුරු වල පාට සහ සොබාවය මාමයිට් වලට සමානයි.  තරමක තිත්ත රසක් සහ මාළු රස මුසු වුන රසයකින් යුක්තයි. බත්, රොෂී, අල හෝ දෙල් වගේ ප්‍රධාන කෑමක් කනකොට රස කාරකයක් විදිහට රිහාකුරු පාවිච්චි කරනවා.



2. තස්බිහා

"තස්බි" කියල හඳුන්වන්නේ ඉස්ලාමයේ එන භාවනා ක්‍රමයක්. මෙහිදී කරන්නේ "අල්ලහ් හු අක්බර්" (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි), "අල් හම්දු ලිල්ලාහ්" (දෙවියන්ත ස්තූති වේවා) "සුභානා ල්ලාහ්" (දෙවියන්ට කීර්තිය අත්වේවා) වගේ පාඨයක් නැවත නැවත කීම​. මෙහිදී සමහර වෙලාවට ඇටමාලයක් පාවිච්චි කරනවා. මේ ඇට මාලය හඳුන්වන්නේ "තස්බිහා" නමින්. 


No comments:

Post a Comment