Thursday, June 28, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 3 (සකාත්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


තුන්වැනි කුළුණ - සකාත් (දානය​)



සකාත් ලෙස හැඳින්වෙන්නේ සියළුම මුස්ලිම් වැඩිහිටියන් විසින් කළ යුතු දන් දීම​.

මේ දානය අනිවාර්‍ය දානයක් නිසා සමහර අවස්ථා වලදී බද්දක් ලෙසත් හැඳින්වෙනවා. දන් දිය යුතු ප්‍රමානය තීරණය වෙන්නේ තමාට හිමි වත්කම් වලින් ප්‍රතිශතයක් විදිහට​.

සකාත් මගින් මුස්ලිම් සමාජයේ සාමූහික බව ශක්තිමත් කෙරෙන අතර, යම්කිසි පුද්ගලයෙක් ගේ පුද්ගලික ධනය කෙරෙහි සමාජයට අයිතිවාසිකමක් ඇත යන්න තහවුරු කෙරෙනවා. මේක ඉතාම වැදගත් සංකල්පයක්.


නිසාබ්


සකාත් ගෙවීමට සුදුසුකම් ලැබීමට නම් මුස්ලිම් වරයෙක්ට තිබිය යුතු අවම ධනය "නිසාබ්" කියල හැඳින්වෙනවා

ඒ ඒ වත්කම අනුව පනලවා තියෙන නිසාබ් සීමාව මේ වගේ.

මුදල් - රන් කාසි (දිනාර්) 20 හෝ රිදී කාසි (දිරාම්) 200
ධාන්‍යය - වස්ක් 5 (කිලෝග්‍රෑම් 610)
ඔටුවන් - 4
හරක් - 30
එළුවන් සහ බැටළුවන් - 40

ව්‍යාපාර වලින් ලැබෙන ආදායම සහ වැටුප් සකාතයෙන් නිදහස්.


සකාත් ගණනය කිරීම​


සකාත් දිය යුතු ප්‍රමානය ගණනය කරන්නේ වත්කමේ ප්‍රතිශතයක් විදිහට​. මේ ප්‍රතිශතය වත්කම අනුව වෙනස් වෙනවා. මෙය මුදල් වලට නම් 2.5% ක්. ධාන්‍යය සහ සතුන් සඳහා මේ ප්‍රතිශතය 2.5% සිට 20% දක්වා වෙනස් වෙනවා.


සකාත් දීම​


සකාත් දානය එකතු කිරීම සඳහා විශේෂ කමිටු පිහිටුවලා තියෙනවා. සමහර රටවල මේ කමිටු රාජ්‍ය ආයතන හැටියටත් අනෙක් රටවල මේවා සිවිල් සංවිධාන විදිහටත් පවත්වාගෙන යනවා. මේ කමිටු මගින් එක් කරන දානය ඔවුන් සකාත් ලැබීමට සුදුසු පුද්ගලයන් අතරේ බෙදා දෙනවා.

සකාත් ලැබීමට සුදුසු පුද්ගලයන් ලෙස ඉස්ලාමයේ දැක්වෙන්නේ පහත සඳහන් අය​.

1. දුප්පතුන්. ජීවත් වීමට ක්‍රමයක් නොමැති අය​.
2. තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අපොහොසත් අය​.
3. සකාත් එකතුකරන්නන්.
4. ඉස්ලාමයට හිතවත් (මුස්ලිම් නොවන​) අය​, ඉස්ලාමය වැළඳගැනීමට බලාපොරොත්තු වන අය​, අළුතින් ඉස්ලාමය වැළඳගත් අය​.
5. වහලුන් (වහල් සේවයෙන් නිදහස් කිරීම සඳහා)
6. තමාගේ මූලික අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා ණය වූ අය​.
7. දෙවියන් විසින් සටන් කරන අය​.
8. අතරමං වූ, අසරණ වූ සංචාරකයන්.

තමාගේ ළඟ ඥාතීන්ට සහ මුහම්මද් තුමාගේ පවුලේ අයට සකාත් ලබාදීම නොකළ යුතුයි.


සදකා


සදකා නමින් හැඳින්වෙන්නේ සකාත් දන් දීමට අමතරව මුස්ලිම් වරයෙක් විසින් කළ හැකි ස්වේච්චාවෙන් සිදු කරන දන් දීම්. මේ දන් දීම් තමාට කැමති ප්‍රමානයකින් ලබා දිහ හැකියි.

No comments:

Post a Comment