Sunday, April 8, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 35 (වැලි මඩුවා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

වැලි මඩුවා


දූපතේ අනික් ගෑණුන්ට ළමයි ගොඩක් හිටියත්, සම්පා මැණිකෙට හිටියෙ එකම එක පුතයි. ඒ අලී මනිකු.

එක දවසක් වෙනත් දූපතක ඉඳලා ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්) ඔවුන් ගේ දූපතට ආවා. සම්පා මැණිකේ ඔහුගෙන් ඉල්ලා හිටියා අලී මනිකු ගේ අත බලල සාස්තරයක් කියන්න කියලා. අලී මනිකු ගේ අතේ රේඛා දිහා බොහෝ වෙලාවක් බලාගෙන හිටපු ෆන්ඩිත ගැඹුරු කල්පනාවකට වැටුනා. ඔහුගේ මූණේ තිබුනෙ බැරෑරුම් පෙනුමක්.

ෆන්ඩිත ගේ පෙනුම දැකපු සම්පා මැණිකේ බය වුනා. සාස්තරයෙන් කියවුනේ මොනවද කියල ඇය ෆන්ඩිත ගෙන් ඇහුවා. ඒත් ෆන්ඩිත මොකුත් කිව්වෙ නෑ. සම්පා මැණිකේ දිගින් දිගටම ඒ ගැන ඇහුවට පස්සෙ ෆන්ඩිත අකැමැත්තෙන් ඔහු දැකපු දේ කිව්වා.

"මම කැමති නෑ ඔහේට දුකක් දෙන්න​. මම දන්නවා මේ ළමයා ඔහේගෙ එකම ළමයා කියල​. ඒත් ළමයාගෙ රේඛා සාස්තරයට අනුව මේ ළමයා වැඩිහිටි වයසට එන්න කලින් මැරෙනවා. මාළුවෙක් අතින්."

සම්පා මැණිකේ විලාප තියලා ඇඬුවා.

එදා ඉඳලා සම්පා මැණිකේ අලී මනිකුට මුහුද ළඟට යන්න දුන්නේ නෑ. අලී මනිකු මුළු ළමා කාලයම ගත කලේ දූපත ඇතුලේ. ඔහු මුහුද දැක්කෙ දුර ඉඳල විතරයි.

අවුරුදු ගාණක් ගත වුනා. අනික් ළමයි මුහුදු ගිහින් මාළු අල්ලන්න ඉගෙන ගත්තා. බෝට්ටු වල නැගලා දූපත් අතර ගමන් කරන හැටි ඉගෙන ගත්තා. ඒත් අලී මනිකුට රැල්ල පාගන්නවත් සම්පා මැණිකෙ ඉඩ දුන්නේ නෑ.

"උඹ මුහුද ළඟට යන්නෙ නැති තාක් කල​, උඹට කරදරයක් වෙන්නෙ නෑ."

අලී මනිකු මේකට කැමති වුනේ නෑ. ඔහුට බෝට්ටුවක ගමන් කරන්නවත් සම්පා මැණිකේ අවසර දුන්නේ නෑ.

"බෝට්ටුවෙ ගියාට මොකෝ වෙන්නේ අම්මා?"

සම්පා මැණිකේ ආදරෙන් පුතාට කියල දුන්නා බෝට්ටු පෙරළෙන්න පුළුවන් බවත්, බෝට්ටුව ගැස්සෙන වෙලවක ඔහුව වතුරට වැටෙන්න පුළුවන් බවත්, එතකොට මාළුවෙක්ට ඔහුට අනතුරක් කරන්න පුළුවන් බවත්.

එක දවසක් දූපතේ අනික් ළමයි මුහුදේ නාන්න ගියා. අලී මනිකු ට ඔවුන් එක්ක යන්න අවසර ලැබුනේ නෑ. අනිත් ළමයි මුළු දවසම මුහුදේ නාමින් වෙරළේ ඒ මේ අත දුවමින් සෙල්ලම් කරන හැටි අලී මනිකු ගහක් යට ඉඳගෙන බලාගෙන හිටියා.

ඒ වෙලාවෙ එතැනින් ගියා වයසක මනුස්සයෙක්. ඔහුගේ නම දොන් හසම්බේ.

"දොන් හසම්බේ! මාමා කොහෙද මේ යන්නේ"

"මම මේ මාළු දැල එලන්න කොරල් පරයට යනවා පුතා"

"මාත් එන්න ද​?"

"උඹට මුහුදට යන්න එපා කියල නේද තියෙන්නෙ?"

අලී මනිකු ගේ මූණ දුකෙන් පිරුනා.

"ඇයි ඒ?"

"උඹ ගොඩක් පොඩි කාලෙ ෆන්ඩිත කෙනෙක් උඹේ අත බලලා සාස්තරයක් කිව්වා උඹ මාළුවෙක් අතින් මැරෙනව කියලා. උඹ මොනා කිව්වත් උඹේ අම්ම හරි. මගේ ළමයෙක් නං මම කරන්නෙත් ඒකම තමයි."

අලී මනිකු අඬන්න පටන් ගත්තා. දොන් හසම්බේ ට දුක හිතුනා.

"මම දැල් එලන හරියෙ මුහුද ගොඩක් ගැඹුරු නෑ. එතන ඉන්නෙ පොඩි මාළු. උන්ට මනුස්සයෙක් ට අනතුරක් කරන්න බෑ. අපි යමු."

අලී මනිකු උඩ පැනලා නැගිට්ටා.

දොන් හසම්බේ ඔහුට පොල් කොහු වලින් හදපු ලණුවක් දුන්නා. ඒකෙ එක කොනකට උල් කරපු පොල් කීරක් අමුනලා.

"මම අල්ලන මාළු උඹ මේ ලණුවෙ අමුණ ගන්න ඕනෙ. මේ පොල් කීර මාළුවගෙ ඇහැ හරහා යන්න ඇනපන්."

ටික වෙලාවකින් ඔවුන් දෙන්නා දණක් ගැඹුරු මුහුදු වතුරේ බැහැල මාළු අල්ලන්න පටන් ගත්තා. රළ පාරත් එක්ක සමබරතාවය රැකගෙන වතුරේ හිටගෙන ඉන්න හැටි දොන් හසම්බේ ළමයට කියල දුන්නා.  මුහුදු රළ බිඳනකොට වතුර බිඳිති ඔවුන් ගේ මූණට විසි වුනා. අලී මනිකු ප්‍රීතියෙන් ඉපිලුනා.

එදා හොඳ දවසක්. දොන් හසම්බේ ට මාළු ගොඩක් අහුවුනා. ටික වෙලාවකින්ම අලි මනිකු අතේ තිබුන ලණුව මාළුවන් ගෙන් පිරුනා. දොන් හසම්බේ තීරණය කරා ආපහු යන්න​.

"අදට ඇති පුතා. අපි ආපහු ගොඩට යමු."

"අනේ තව ටිකක් ඉමු. මට ආසයි එක පාරක් දැල එලන්න​. මම මාමා දැල එලන හැටි බලාගෙන හිටියෙ. මට එක පාරක් දැල එලන්න දෙන්න​. ඊට පස්සෙ අපි යමු."

දොන් හසම්බේ අලී මනිකුට දැල දුන්නා.

පළවෙනි පාර අලී මනිකුට හරියට දැල විසි කරන්න බැරි වුනා. දොන් හසම්බේ ඔහුට නිවැරදිව දැල විසි කරන හැටි කියල දුන්නා. දෙවෙනි පාර අලි මනිකු හරියට දැල විසි කරා. දැල රවුමට වැටුනා. අලී මනිකු ප්‍රීතියෙන් දැල ආපහු අදින්න පටන් ගත්තා. ඔහු වතුර ඇතුලට අත දැම්මම දැක්කා මොකෙද්දෝ ලොකු සතෙක් වතුර යට ඉන්නවා.

"මෙතැන මොකෙද්දෝ ලොකු සතෙක් ඉන්නවා"

එක පාරටම ඔහුගේ අත හරහා රත් කරපු යකඩ ඇණයක් යනව වගේ ඔහුට දැනුනා. ඔහු වේදනාවෙන් කෑ ගැහුවා. එතැන වතුර සැනෙකින් රතු පාට වුනා.

"මට අත ආපහු ගන්න බෑ"

අලී මනිකු කෑ ගහමින් ඇඬුවා.

දොන් හසම්බේ බැලුවා මොකද වුනේ කියලා. දැල යට විශාල වැලි මඩුවෙක්. ඔහු දැලයි, මඩුවයි එක්ක ළමයාගේ අත එළියට ගත්තා.

වැලි මඩුවාගේ වලිගයේ උල ළමයා ගේ අත පසාරු කරගෙන ගිහින් තිබුනා. ඒක පොඩි පිහියක් තරම් ලොකුයි. ඒක දිගටම කියතක දත් වගේ උල් දත්. ඒ දත් අතේ මස් වලට කිඳා බැහැල තිබුනා. උල ඇදල දාන්න බැරි බව දොන් හසම්බේට තේරුනා.


දොන් හසම්බේ මඩුවයි දැලයි අලී මනිකු ගේ අත ළඟින්ම අල්ලගෙන ළමයව පරිස්සමෙන් ගොඩට අරගෙන ආවා. මඩුව දඟලන හැම පාරම​, ඔවුන් වලකට අඩිය තියල අත ගැස්සුන හැම පාරම අලී මනිකු වේදනාවෙන් විලාප තිබ්බා.

දොන් හසම්බේ ළමයව අරගෙන ගියේ මාවඩි හුසේන් ගෙ ගෙදරට​. මාවඩි හුසේන් තමයි දූපතේ වඩුවා. ඔහු ළඟ ආයුධ ගොඩක් තිබුනා.

මාවඩි හුසේන් පරිස්සමෙන් ළමය ගෙ අත වඩු බංකුව උඩ තිබ්බා. ඊට පස්සෙ තුවාලය පරික්‍ෂා කරල බැලුවා. අත නිදහස් කර ගන්න නං මඩුවා ගේ උල කපන්න වෙනවා. ඔහු පොඩි කියතක් අරගෙන පරිස්සමෙන් උල කැපුවා. ඊට පස්සෙ හෙමින් උල ඇදල දැම්මා.

මේ අතරෙ මාවඩි හුසේන් ගෙ ගෙදරට විශාල පිරිසක් එක් රැස් වෙලා හිටියෙ සිද්ධ වුන දේ බලන්න​. එක පාරටම සම්පා මැණිකෙ එතැනට කඩා වැදුනා. ඇය බයෙන් සහ කෝපයෙන් වියරු වැටිලා හිටියේ. ඇය කෙලින්ම දොන් හසම්බේ ගෙ මූණට කඩා පැන්නා.

"තමුසෙ මොනාද මගේ ළමයට කරේ? කවුද තමුසෙට මගේ ළමයව මුහුදට අරන් යන්න කිව්වේ?"

දොන් හසම්බේ මූණ බිමට හරවගෙන කකුලේ ඇඟිලි වලින් පොළව හෑරුව විතරයි. වචනයක් වත් කිව්වේ නෑ.

සම්පා මැණිකෙ අලී මනිකු වත් එක්කරගෙන ගෙදර ගියා. අලී මනිකු ඉකි ගහමින් සුසුම් හෙළමින් සම්පා මැණිකෙ පස්සෙන් ඇවිදගෙන ගියා. ගෙදර ගියාට පස්සේ සම්පා මැණිකේ තුවාලයට බෙහෙත් දාල රෙදි කඩකින් ඒක වෙලුවා.

ඒත් කොච්චර හොඳින් තුවාලය පරිස්සම් කරත් තුවාලය පැසවලා සැරව පිරුනා. දවස්ක් දෙකකින් අලී මනිකු ගේ මුළු අතම ඉදිමුනා. සම්පා මැණිකේ කොයිතරම් උත්සහ කරත් මාසයක් ගත වෙන්න කලින් අලී මනිකු මැරුණා෴


- කතාව කිව්වේ හසන් දීදී (ෆිනිෆෙන්මාගේ, ෆුවාමුලාකු දූපත​)

අටුවාව​

1. වැලි මඩුවා

ඉංග්‍රීසියෙන් "Sting Ray" කියල හැඳින්වෙන වැලි මඩුවා සෙන්ටිමීටර් 75 ක් විතර දිගට හැදෙන විශාල මාළුවෙක්. වැලි මඩුවා සාමාන්‍යෙයෙන් ඉන්නේ මුහුදු පතුලේ වැලි යට හැංගිලා. වලිගයත් එක්ක තියෙන කියත් දත් වගේ උල් දත් ඇති උල් එකක් හෝ දෙකක් තියෙන නිසා වැලි මඩුවා භයානක සතෙක් විදිහටයි සැලකෙන්නේ.



2. මාවඩි

"මාවඩි" කියන දිවෙහි වචනයේ තේරුම "මහ වඩුවා". මහ වඩුවා විදිහට පිළිගැනුනේ දක්‍ෂ වඩුවෙක්. මහ වඩුවෙක් වෙන්න නම් ප්‍රධාන සුදුසුකම විදිහට සැලකුනේ බෝට්ටු හදන්න හැකියාව තිබීම​. මහ වඩුවෙක් කියන්නෙ දිවෙහි රාජ්ජේ ඉතාම වැදගත් රස්සාවක්.

No comments:

Post a Comment