Tuesday, February 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 23 (අරුෆ්ෆන්නෝ ෆුරේත​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


අරුෆ්ෆන්නෝ ෆුරේත (අරුෆ්ෆන්නෝ හි පෙරේතයා)



බොහොම ඉස්සර කාලෙ දවසක් ෆුවා මුලාකු දූපතේ බටහිර වෙරළේ අරුෆ්ෆන්නෝ කියල හැඳින්වෙන වරාය ළඟින් ෆුරේතයෙක් (අමනුෂ්‍යයෙක්) ගොඩබිමට ආවා.

ඌ ගොඩබිමට එන හැටි ඒ අසල මුහුදේ මාළු දැල් එලමින් සිටි මිනිස්සු වගයක් දැක්කා. ෆුරේතයා පෙනුනේ කොරල් පරය උඩින් ඇදෙන විශාල අපැහැදිලි ගිනි දළුවක් වගේ.

ෆුරේතයා ගොඩබිමට රිංගගෙන දවල් කාලයේ හැංගිලා හිටියා. අසල තිබුන දිගුවාන්ඩු ගම තමයි ඌ ගොදුරු බිම හැටියට තෝර ගත්තෙ. රෑට රෑට ඌ එළියට ආවා. ගම් මැද්දට ගිහින් තනියම එළි පහළියට යන මිනිස්සු මරල ලේ බිව්වා. ගෑණු, පිරිමි, ළමයි ගොඩක් දෙනෙක් ෆුරේතයට බිලි වුනා. මිනිස්සු දිගුවන්ඩු ගම අත ඇරල යන්න පටන් ගත්තා.

ෆුවා මුලාකු දූපතේ හිටියා බොහොම ප්‍රසිද්ධ ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්). ඔහුගේ නම එදුරුතක්කාන් ගේ මුහම්මද් ඩීඩී. ඔහුට මේ කතාව ආරංචි වෙලා දිගුවාන්ඩු ගමට ආව​. ඔහු කොරල් පරයට ගිහින් දවල් රෑ ගණනාවක් එක දිගට මන්තර ගුරුකම් කරා.

ඒත් ෆුරේතයා දිගටම මිනිස්සු මැරුවා.

එක දවසක් මුහම්මද් ඩීඩී ඉතාම බලගතු ගුරුකමක් කරා. ෆුරේතයා ඒ ගුරුකමට අහුවුනා. ඌ ලොකු කොරල් ගලක් බවට හැරුනා.

මේ කොරල් ගල අදත් ෆුවාමුලාකු දූපතේ අරුෆ්ෆන්නෝ වරාය ළඟ තියෙනවා. එතැන කොරල් පරය පැතලියි. නමුත් එක කොරල් ගලක් විතරක් කැපී පේන විදිහට ඉහළට නෙරලා ඇවිත් තියෙනවා. ඒ තමයි ෆුරේතයා.

මිනිස්සු ඒකට කියන්නෙ "ෆුරේත ගල්" (පෙරේත ගල​). ඒ ගලට කවුරු හරි යකඩයකින් හයියෙන් පාරක් ගැහුවොත් රතුපාට දියරයක් ගලෙන් එළියට එනවා. ඒ ෆුරේතය ගෙ ලේ කියලයි මිනිස්සු කියන්නෙ෴


ෆුරේත ගල් (පෙරේත ගල​) - ඡායාරූපය අහ්මද් නයිෆ්
- කතාව කිව්වේ මාරියම් ෆාරුගු (ෆුනාදු, ෆුවා මුලාකු දූපත​)

මාරියම් ෆාරුගු කියන්නෙ මාලදිවයිනේ ඉතාමත් ප්‍රසිද්ධ උගතෙක් සහ ලේඛකයෙක් වන මාගීදුරු ගේ ඊබ්‍රහිම් ඩීඩී ගේ මිනිපිරියක්.

1 comment:

  1. super... koment nokalata hamadama kiyewwa. digatama liyanna. me wage katha kiyawanna godak kamathi...

    ReplyDelete