Wednesday, June 14, 2017

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 5 (ඔමොතෙනෂි)


ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

පස්වෙනි වචනය : ඔමොතෙනෂි

ඔමොතෙනෂි කියන එක සරළව "ආගන්තුක සත්කාර​" කියල පරිවර්තනය කරන්න පුළුවන්. ඒක අතීතයේදී යෙදුනේ අමුතෙක් වෙනුවෙන් කරන ආගන්තුක සත්කාර සඳහා.

නමුත් ඔමොතෙනෂි කියන වචනයේ වචනාර්ථය ගත්තොත් ඒකෙ තියෙන්නෙ "හදවතින්ම​" කියන තේරුම​. ඒකෙන් අදහස් කෙරෙන්නෙ "ආපසු යමක් බලාපොරොත්තු නොවී හුදෙක් ආගන්තුක සත්කාර කිරීමේ අරමුණෙන් ම පමණක් ආගන්තුක සත්කාර කිරීම​" කියන එක​.

ඔමොතෙනෂි වලට අනුව අපි ආගන්තුක සත්කාර කරන්න ඕනෙ ගෞරවයෙන්, සුහදශීලීව සහ ආගන්තුකයාගේ ඕනෑ එපා කම් තේරුම් අරගෙන​. එතැනදි බලාපොරොත්තු වෙනවා අමුත්තා ට අවශ්‍යය දේ ඔහු ඉල්ලා සිටින්න කලින් අපි තේරුම් අරගෙන ඒවා ලබා දිය යුතුයි කියලා.



ඔමොතෙනෂි සංකල්පය ඉතාමත් හොඳ උදාහරණයක් ජපානයේ සාම්ප්‍රදායික සංස්කෘතික සංකල්ප ආර්ථික ක්‍රියාවලීන් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්.

වර්තමාන ව්‍යාපාරික ලෝකයේදී ඔමොතෙනෂි සංකල්පය ජපන්නු ඉතා තදින් යොදා ගන්නවා. එතැනදි අමුත්තාගේ තැන ගන්නේ පාරිභෝගිකයා.

ඇත්තෙන්ම ජපන් භාෂාවේ "පාරිභෝගිකයා (customer)" සහ "අමුත්තා (guest)" යන වචන දෙකටම පාවිච්චි වෙන්නෙ එක වචනයක් (ඔකියකුසමා). ජපන් ව්‍යාපාර වලදි පාරිභෝගිකයා කියන්නෙ අමුත්තෙක්. ඔහුට ගෞරවයෙන්, මිත්‍රශීලීව සහ ඔහුගේ අවශ්‍යතා තේරුම් අරගෙන සැලකීම තමයි ජපන් ව්‍යාපාරිකයාගේ අරමුණ වෙන්නෙ.

ඉතාම පොඩි නූඩ්ල්ස් වෙළඳ සැලක ඉඳලා මිත්සුබිෂි, තොයොතා වගේ දැවැන්ත ව්‍යාපාර දක්වාම මේ සංකල්පය ක්‍රියාත්මකයි.

අපි ජපානයේ මොකක් හරි වෙළඳසැලකට - කුඩා තේ කඩයක සිට සුපර් මාකට් එකක් දක්වා - ගියොත් අපිට ඒ අත්දැකීමේ සුවිශේෂී ජපන් සලකුණක් දැනෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඔමොතෙනෂි සංකල්පය​.

එදිනෙදා දේවලදී ජපන්නු ඔමොතෙනෂි සංකල්පය යොදා ගන්න හැටි උදාහරණ කීපයක් :

ආපන ශාලාවකට ඇතුල් වෙද්දි කොච්චර කාර්‍ය බහුල වුනත්, කොච්චර සෙනඟ පිරිල හිටියත්, සේවකයෙක් ඔබව "ගොසයිමස්" කියල පිළි ගන්නවා. සමහරවිට දොර ළඟ ඉඳලා හිස නවලා ආචාර කරලා. සමහරවිට කාමරයේ අනික් පැත්තෙ ඉඳලා මහා හඬින් කෑ ගහල​.


කෑමට මේසයට වාඩි වුනාම ශීතල දවසක් නම් උණුවතුරෙන් තෙත් කළ කුඩා තුවායක් ලැබෙනවා. උණුසුම් දවසක් නම් සීතල වතුරන් තෙත් කල තුවායක්. ඒ මුහුණ සහ අත් පිසදා ගන්න​.


ජපන් ආපනශාලා වල මේස ඉතා කුඩායි. ඒ නිසා ඔබේ බෑග් එක ආදී ආම්පන්න තියාගන්න ඉඩ නෑ. ඒ වෙනුවෙන් මේසය යට හෝ පැත්තක පොඩි කූඩයක් තියෙනවා.




වේටර් වරයා හෝ වේටර් වරිය ඔබෙන් කෑම ඇණවුම ලබා ගද්දි ඔබ ළඟ හිට ගෙන (හෝ දණ ගහගෙන​) ඔබේ ඇණවුම කුඩා පොතක සටහන් කරගන්නවා. ඇණවුම ඉවරවුනාට පස්සෙ ඒක නැවත ආපහු ඔබට කියවනවා. ඒ වැරදීමක් වෙලා නෑ කියල සහතික කරගන්න​. ඊට පස්සෙ "මම දැන් කෑම ගේන්නම්" කියල හිස නවලා ආචාර කරල තමයි  එතනින් යන්නෙ. ඒ වගේම රෙස්ටුරන්ට් එකක දි සාමාන්‍යයෙන් වේටර් ට ටිප් එකක් දෙන්නෙ නෑ. ඒකට හේතුව ඔවුන් පාරිභෝගිකයට සලකන්නෙ ආපසු යමක් බලාපොරොත්තුවෙන් නොවීම. ටිප් එකක් දුන්නොත් තරමක් අගෞරවයක් කරා වගේ.


හෝටලයකට ඇතුල් වෙද්දි පිළිගැනීමේ නිලධාරිනිය අනිවාර්‍යෙන්ම ඔබට හිනා වෙලා හිස නවලා ආචාර කරලා "ගොසයිමස්" කියලා පිළිගන්නවා (ගොසයිමස් කියන එක තේරුම "මම ඔබට ගරු කරමි" වගේ එකක්). ඔබ හෝටලයෙන් පිට වෙද්දි සේවාව ඇගයීමේ ෆෝරමයක් ලැබුනොත්, ඒකෙ පිළිගැනීමේ නිලධාරිනිය ඔබව පිළිගන්න හැටිත් අගයන්න තියෙනවා. ඒකෙන් පේනවා ඔවුන් ඒකට දෙන වැදගත් කම​.

වෙළඳසැලකින් බඩු අරගෙන සල්ලි දීලා ආපහු ඉතුරු සල්ලි දෙද්දි, දෙන්න ඕනෙ ගාන කීය වුනත් ඔවුන් ගාව අනිවාර්‍යෙන්ම මාරු කාසි තියෙනවා. "යෙන් විස්සක් නැද්ද​?" කියල අපෙන් අහන්නෙ නෑ කවදාවත්ම​. ඉතුරු සල්ලි දෙද්දි නෝට්ටු එක උඩ එක ඉතා පිළිවෙලට තියලා (වැඩිම වටිනාකම තියෙන නෝට්ටු යටටත්, අඩු වටිනාකම් නෝට්ටු උඩටත් තියෙන විදිහට පිළිවෙලට සකස් කරල​) ඒ උඩ කාසි තියෙල අත් දෙකෙන්ම තමයි දෙන්නෙ. දෙන ගමන් අනිවාර්‍යෙන්ම හිස නවල ආචාර කරලා "අරිගතෝ ගොසයිමස්" කියනවා. සමහර තැන්වල ඒ සඳහාම භාවිතාවන කුඩා ට්‍රේ එකක් තියෙනවා. ඉතුරු සල්ලි තියන්නෙ ඒ ට්‍රේ එක උඩ​.


සුපර්මාකට් එකකින් බඩු ගද්දි කවුන්ටරයේදී බඩු ටික මල්ලකට දාලා මල්ලේ කට පොඩි සෙලෝටේප් කෑල්ලකින් අලවලා (කට ඇරෙන්නෙ නැති වෙන්න) අඬු දෙක අපේ අතට එන විදිහට තමයි බෑග් එක අපිට දෙන්නෙ.


ටැක්සි රියැදුරෝ ඔබ ටැක්සියට නගිද්දි සහ බහිද්දි දොර ඇරල දෙනවා. ඒ සඳහා ඔහුගේ අසුන ළඟ පොඩ් ලීවරයක් තියෙනවා. ඒකෙන් ස්වයංක්‍රීයව දොර ඇරෙනවා සහ වැහෙනවා. ඔබට කවදාවත් දොර අල්ලන්න අවශ්‍යය වෙන්නෙ නෑ. ඒ වගේම ඔබේ බඩු ටැක්සියට පටව ගන්න සහ බාගන්න අනිවාර්‍යයෙන්ම උදව් කරනවා.


ෂින්කන්සෙන් (බුලට් දුම්.රිය​) ගමනාන්තයකදී ඊළඟ ගමන් වාරය පටන් ගන්න මගීන් නගින්න කලින් පිරිසිදු කිරීමේ කාර්‍ය මණ්ඩලයක් නැගලා මුළු දුම්.රියම පිරිසිදු කරනවා. මේ සඳහා වැය වෙන්නෙ විනාඩි 15 වගේ කෙටි කාලයක්. ඒ කාලය ඇතුලත මුළු දුම්.රියම වැකියුම් කරලා, සීට් කවර මාරු කරලා ඇතුළත එයාර් ෆ්‍රෙෂ්නර් විදිනවා. දුම් බොන කාමර වල තියෙන අළු බඳුන් (වතුර පිරවූ බාල්දි) මාරු කරනවා. අළුත් මගීන් නගින්නෙ අළුත්ම දුම්.රියකට​. මේ පිරිසිදු කිරීමේ කාර්‍ය මණ්ඩලය දුම්.රියක් වේදිකාවට එද්දි වේදිකාව දිගට පෝලිමට හිටගෙන හිස නවලා ආචාර කරල තමයි දුම්.රිය පිළිගන්නෙ.





මේ වගේ කොතැන ගියත් ජපානයේ ඔමොතෙනෂි සලකුන දකින්න පුළුවන්. ජපානයේ ව්‍යාපර වල පාරිභෝගිකයාට සැලකීමට දෙන සැලකිල්ල ජපන් ව්‍යාපාර වල සාර්ථකත්වයට ඉතා ප්‍රභල හේතුවක් වෙලා තියෙනවා.

ඒ වගේම එදිනෙදා ජීවිතයේ දී පොඩි පොඩි දේවල් කරගන්න එක (කඩේකින් බඩුවක් ගන්න එක වගේ) ඉතාමත් ප්‍රියජනක අත්දැකීම් වෙනවා. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී මානසික ආතතිය දැනෙන්නෙ ඉතා අඩුවෙන්.

5 comments:

  1. බ්ලොගර් පලෝවරය දාපං

    ReplyDelete
  2. ෆලෝ කරන්නෙ පොලීසියෙන්ද? 😳

    ReplyDelete
  3. මචං මමත් හීනියට බ්ලොගෙකක් කරණවා. පුලුවන් වෙලාවක ගොඩ්වැදිලා බලපං. ඒක කියන්න නෙවෙයි මේ ලියන්න ගත්තේ. මේක සුපිරිම බ්ලොග් එකක්. මචං සමාජය ඥාණනය කිරීම දැනුවත් එවුන්ගෙන් විය යුතුම දෙයක්. බොහොමත්ම ස්තූත්යි! අඩ ඉඳන් පටන් ගන්න ඕන කියවන්න! thattayagekolama.blogspot.com

    ReplyDelete
  4. නියමයි ,හොඳ ලිපියක් දිගටම ලියන්න මේ වගේ හරවත් රසවත් දේවල්ම. සුභ පැතුම්!

    ReplyDelete