Sunday, August 21, 2016

හයිකු කවි - 3 (හයිකු කවියේ නීති)



ඔන් හෙවත් මාත්‍රා

මෙයින් සාකච්ඡා කෙරෙන්නෙ හයිකු කවියේ දෙවැනි නීතිය පිළිබඳවයි. ඒ කවියේ මාත්‍රා ගණනයි. මෙය හයිකු කවි පිළිබඳ නීති වලින් වඩාත්ම ප්රසිද්ධ නීතියයි.

මාත්‍රාවක් යනු වචනයක් උච්ඡාරනය කරන විට ඇති වන ශබ්ධයකි. මෙය ජපන් බසින් "ඔන්" යන නමින් හැඳින්වේ.

උදාහරණයකට, "රත්නපුර" යන වචනයේ මාත්‍රා 5 කි. ඒ "ර.ත්.න.පු.ර" ලෙසිනි. හල් අකුරක් ද මාත්‍රාවක් ලෙස සැලකේ.

දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකක් ලෙස සැලකිය යුතුය. උදාහරණයකට "කුරුණෑගල" යන වචනයේ මාත්‍රා 6 කි. ඒ "කු.රු.ණෑ(2).ග.ල" ලෙසිනි.

හයිකුවක ආකෘතිය


හයිකුවක් හැම විටම පද තුනකින් සමන්විත වේ. ඒ ඒ පදයට තිබිය යුතු මාත්‍රා ගණන නියම කොට ඇත.

පළමු පදය - ඔන් 5 යි
දෙවන පදය - ඔන් 7 යි
තෙවන පදය - ඔන් 5 යි

ජපන් හිරගනා හෝඩියෙන් අකුරු ලිවීමේදී හැම විටම එක් මාත්‍රාවකට එක අකුරක් බැගින් යෙදෙන නිසා ජපන් බසින් හයිකු ලිවීමේදී මාත්‍රා ගණන් කිරීම ඉතා පහසු වේ.

සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ කලාතුරකින් මේ ඔන් 5-7-5 ආකෘතිය වෙනස් කොට 6-7-5 හෝ 5-7-6 ලෙස ලියන අවස්ථා ද ඇති බවයි. නමුත් මාත්‍රා ගණන බොහෝ වැඩි වන ලෙස හයිකු ලිවීම නොකළ යුතුය.

පළමු පදය සහ තෙවන පදයට වඩා දෙවෙනි පදයේ මාත්‍රා ගණන වැඩි වුවත්, හයිකුව හඬ නගා කියැවීමේදී පද තුනටම වැය කළ යුත්තේ සමාන කාලයකි. එබැවින් දෙවෙනි පදය කියවීමේදී අනෙක් පද දෙකට වඩා තරමක් ඉක්මනින් කියැවිය යුතුය.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණ" හයිකුව ගමු.

ෆුරුයිකෙ යා
කවසු තොබිකොමු
මිසු නො ඔතෝ

පළමු පදය - ඔන් 5 යි ( ෆු.රු.යි.කෙ.යා )
දෙවන පදය - ඔන් 7 යි ( ක.වා.සු.තො.බි.කො.මු )
තෙවන පදය - ඔන් 5 යි (මි.සු.නො.ඔ.තෝ)

(මෙහි "යා", "වා" සහ "තෝ" සඳහා මාත්‍රා දෙක බැගින් යොදා නැත්තේ, ඒවා ලිවීමේදී දීර්ඝ අක්ෂර ලෙස ලියුවද, ජපන් බසින් උච්චාරනයේදී කෙටි අක්ෂර ලෙස උච්චාරනය කරන බැවිනි. ජපන් බසේ දීර්ඝ අක්ෂර යෙදෙන්නේ කලාතුරකිනි).



සිංහල හයිකුවක මාත්‍රා

සාමාන්යයෙන් ජපන් වචන සිංහල වචන වලට වඩා තරමක් කෙටි වේ. මාත්‍රා දෙකේ සහ තුනේ වචන සිංහලයේ යෙදෙන්නේ කලාතුරකින් වුවද ජපන් බසේ ඒවා ඉතාමත් බහුලව යෙදේ. ඒ නිසා ජපන් බසින් කතා කිරීමේදී අඩු මාත්‍රා ගණනකින් වැඩි අදහස් ප්රමානයක් ඉදිරිපත් කළ හැක.

මේ නිසා සිංහලෙන් හයිකු ලිවීමේදී 5-7-5 ආකෘතිය අනුව යාම අපහසු වනවා සේම, භාෂාමය අතින් සාවද්‍යය​ වේ.

මගේ අත්දැකීම අනුව සිංහලෙන් හයිකු ලිවීමේදී 6-8-6 හෝ 6-7-6 හෝ 6-6-6 වැනි ආකෘතියක් යොදා ගැනීම වඩා සුදුසු වේ.

මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණේ" පහත සිංහල පරිවර්තනය බලමු.

පැරණි පොකුණ;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ

පළමු පදය - මාත්‍රා 6 යි ( පැ.ර.ණි.පො.කු.ණ )
දෙවන පදය - මාත්‍රා 6 යි (ගෙ.ඹි.පි.නු.ම.ක් )
තෙවන පදය - මාත්‍රා 6 යි ( ව.තු.රේ(2).හ.ඬ )

ඉංග්රීසි හයිකුවක මාත්රා


ඉංග්රීසි බසේ "මාත්‍රා" යන සංකල්පය වෙනුවට යෙදෙන්නේ syllable සංකල්පයයි. syllable එකක් යනු පණකුරකි (vowel).

උදාහරණයකට Japan යන වචනයේ මාත්‍රා 4 ක් ( ජැ.පෑ(2).න් ) තිබුනද, syllable ඇත්තේ 2 (a.a) ක් පමණකි.

එම නිසා syllable 5-7-5 ආකෘතියට ඉංග්රීසි හයිකු ලියුවොත්, ඉතා දීර්ඝ පද යොදා ගැනීමට සිදුවෙන අතර එය හයිකුවේ මූලික පරමාර්ථයට හානි කරය.

එම නිසා බොහෝ ඉංග්රීසි කවියෝ හයිකු ලිවීමේදී 4-5-4 ආකෘතියක් යොදා ගනිති.

මගේ අදහස නම් syllable සංකල්පය සම්පූර්නයෙන්ම ඉවත ලා මාත්‍රා සංකල්පය යොදා ගැනීම වඩා උචිත බවයි.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ ගේ "පැරණි පොකුණේ" පහත ඉංග්රීසි පරිවර්තනය බලමු.

Old pond;
A frog jumps in
Sound of water

පළමු පදය - මාත්‍රා 5 යි (o(2).ld.po.nd)
දෙවන පදය - මාත්‍රා 8 යි (a.fro.g.ju.mp.s.i.n)
තෙවන පදය - මාත්‍රා 8 යි (so.u.nd.o.f.wa(2).te) - r is silent

(සැලකිය යුතු කරුණක් වන්නේ ඉංග්රීසි මාත්‍රා ගණන් කිරීමේදී එක ළඟ හල් අකුරු දෙකක් යෙදෙන අවස්ථා වල එය එක මාත්‍රාවක් ලෙස සැලකිය යුතු වීමයි).



අවසාන වශයෙන් සාරාංශ ගත කිරීමේදී, ජපන් හයිකු ලිවීමේදී 5-7-5 ආකෘතිය ස්ථාපිත සම්ප්රදායක් වන අතර, ඉංග්රීසි හෝ සිංහල හයිකු පිළිබඳ එවන් ස්ථාපිත සම්ප්රදායක් නැත. බොහෝ කවියන් තම අත්දැකීම අනුව සුදුසු යැයි හැඟෙන ආකෘති භාවිතා කරති.

කෙසේ නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ආකෘතිය කුමක් වුවත් එය හයිකුවේ ජීව ගුණය සහ මූලික පරමාර්ථය හානි නොකළ යුතු බවයි.

1 comment:

  1. නිරාගමිකතුමා රෙන කොල්ලන් එලවනු බලන්නටයි පාදඩ අසපුවට ගොඩවැදුනෙ.. ඒත් ඊටවඩා වටිනා කියන ලිපියක් ඇස ගැටුනෙ. හයිකු ගැන මීට කලින් අහල තිබුනත් ඒ ගැන හොයා බලන්න රසවිදින්න බැරිඋනේ ඇයි කියන පශ්චත්තාපය ට අමතරව හිඩැසක් පිරෙන්න පටන් ගනිද්දි ඇතිවන ආශ්වාදයත් එකම මොහොතකදි විඳගන්න මේ ලිපිය නිසා හැකිඋනා. කලින් අතපත ගාල නැති අලුත් ඉසව්වකට මගපෙන්නුවට මේක ලියන ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete