Sunday, August 21, 2016

හයිකු කවි - 2 (හයිකු කවියේ නීති)


කිගෝ හෙවත් සෘතු වදන

හයිකු කවියේ නීති තුනක් ගැන කලින් කියැවිනි. එම නීති තුනෙන් කිගෝ හෙවත් සෘතු වදන ගැන සවිස්තරාත්මකව බලමු.

හයිකු කවියකට හැමවිටම පාදක වන්නේ එක් තනි සිද්ධියකි. එම සිද්ධිය සිදුවන කාලය ගැන ඉඟියක් ලබා දීම සෘතු වදනේ අරමුණයි.

උදාහරණයකට මත්සුවෝ බාෂෝ විසින් රචිත පැරණි පොකුන ගනිමු.

ෆුරුයිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො ඔතෝ

පැරණි පොකුන;
ගෙඹි පිනුමක්
වතුරේ හඬ

Old pond;
A frog jumps in
Sound of water


මෙහිදී ගෙම්බා (කවාසු) යන වචනයෙන් වසන්ත කාලය ඇඟවේ. ජපානයේ ගෙම්බන් දැකිය හැකි වන්නේ වසන්ත කාලයටය. එබැවින් ගෙම්බා ගැන කියැවුනු සැනින් හයිකුවට අදාල සිද්ධිය සිදු වන්නේ වසන්ත කාලයේ බව කියැවේ.

සෘතු පිළිබඳ ජපන් සංස්කෘතියේ සංකල්පය වෙනත් සංස්කෘතීන්ට වඩා ඉතා ප්‍රභලය. ඔවුන් ගේ සංස්කෘතික උත්සව පමණක් නොව එදිනෙදා ජීවිතයේ බොහෝ දේ සෘතු සමඟ තදින් බැඳී පවතී. අවුරුද්ද පුරාවටම බොහෝ දුරට සමාන කාලගුණයක් අත් විඳින අපිට පමණක් නොව ජපානයට සමාන සෘතු වෙනසක් අත් විඳින බටහිර රටවල පුද්ගලයන්ටද මෙය තේරුම් ගැනීම තරමක් අපහසුය.

ජපානයේ ප්‍රධාන සෘතු හතරකි

1. හරු හෙවත් වසන්ත (spring) - පෙබරවාරි, මාර්තු, අප්‍රේල්
2. නත්සු හෙවත් ගිම්හාන (summer) - මැයි, ජූනි, ජූලි
3. අකි හෙවත් වස්සාන (autumn) - අගෝස්තු, සැම්තැම්බර්, ඔක්තෝබර්
4. ෆුයු හෙවත් ශීත (winter) - නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි



මේ සෑම ප්‍රධාන සෘතුවක්ම මුල මැද අග ලෙස කොටස් තුනකට බෙදා ඇත. ඒ අනුව වසරේ සෑම මාසයක්ම වෙනම සෘතුවක් ලෙස ජපන් ජාතිකයෝ සලකති. උදාහරණයකට අප්‍රේල් යනු වසන්තයේ අගයි. ජූනි යනු ගිම්හානයේ මැදයි. අගෝස්තු යනු වස්සානයේ මුලයි.

මේ හැම සෘතුවක්ම සහ උප-සෘතුවක්ම අඟවන කිගෝ වචන ජපන් සාහිත්‍යයේ අර්ථ දක්වා ඇත. ඒ වචන අඩංගු දීර්ඝ ලැයිස්තුවක් ජපන් කවියෝ භාවිතා කරති. එය හැඳින් වෙන්නේ "සයිජිකි" නමිනි.

කිගෝ හෙවත් සෘතු වදනේ වැදගත් කම ඇත්තේ හයිකුවට පාදකවන හයිකු මොහොත පිළිබඳ සිතුවිල්ල පාඨකයාට සන්නිවේදනය කිරීමේදීය. එකම සිද්ධියක් ගිම්හාන කාලයේ සිදුවන විට දැනෙන හැඟීම ශීත කාලයේ සිදුවන විට දැනෙන හැඟීමෙන් වෙනස් වේ.

නිවැරදි කිගෝව භාවිතා කිරීම මඟින් හයිකුවට අදාල සිදුවීම සිදුවන සෘතුව, මාසය පමණක් නොව සමහර විට දිනය පවා ඇඟවීමට හයිකු කවියෙකුට හැක.

සිංහල සංස්කෘතියේ එන සෘතු වදන්

ජපන් සංස්කෘතියේ තරම් ප්‍රභල නොවුවද සිංහල සංස්කෘතියේද සෘතු වදන් දැකිය හැක.

උදාහරණ :
එරබදු මල් - අප්‍රේල් මාසය
මැයි මල් - මැයි මාසය
බිනර මල් - සැප්තැම්බර් මාසය
අකුණු - අප්‍රේල් මාසය
කොහා - අප්‍රේල් මාසය
සරුංගල් - දෙසැම්බර් මාසය

No comments:

Post a Comment