Wednesday, April 13, 2016

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ ලොකු හාමුදුරුවෝ




අපේ ගමේ පන්සල අපි ගැටව් කාලේ අන්තයටම පිරිහිල තිබ්බෙ. එක කාලයක් තිබ්බ උපසම්පදා හාමුදුරුවො කෙනෙක් හිටියෙ නෑ. පොඩි සාමනේර උන්නාන්සෙල දෙන්නෙක් හිටියෙ.

පස්සෙ අළුත් නායක හාමුදුරුවො නමක් ආව. නායක හාමුදුරුවො කිව්වට උන්නාන්සෙට 30-35 ඇති. ටිකක් වෙනස් විදිහට හිතන්නෙ. හාමුදුරුවො පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න කොල්ලන්ට ඉඩ දෙනව. නිවාඩුවක් තිබ්බොත් හාමුදුරුවොත් ගහනව. කළු කෙට්ටු ඇඟයි, බූ ගාපු හිසයි නිසා ගමේ කොල්ලො හාමුදුරුවන්ට ආදරේට කියන්නෙ "උසේන් බෝල්ට්". හාමුදුරුවන්ට ෆාස්ට් බෝල් එහෙම හොඳට දාන්න ඇහැකි. කොල්ලන්ට පන්සල් වත්තෙ කුරුම්බ කඩන්න එහෙමත් තහනමක් නෑ.

දැන් පන්සල හරි වෙනස්. ඔක්කොම ගොඩනැගිලි අළුත්වැඩියා කරල, සුදුපාට ගාල. දහම් පාසල ආපහු පටන් අරන්. ධර්ම ශාලාව අළුතින්ම හදල.

අද අවුරුදු දවසෙ හවස හයට හාමුදුරුවො මුළු ගමටම පන්සලට එන්න කිව්ව. ගමේ එවුං තුනෙන් දෙකක් විතර ඇවිත් හිටිය. ඔක්කොටම පන්සිල් දීල අනුසාශනාවක් කරා. පොඩියට පිරිතක් කිව්ව. පිරිත් නූල් බැන්ද.

හාමුදුරුවො ගිය අවුරුද්දෙ වෙසක් එකට ගමේ හැම ගෙදරටම කැටයක් දීල තියෙනවා. අවුරුද්ද පුරාවටම කැටේට පුළු-පුළුවන් විදිහට සල්ලි දාන්න කියල. අද ගම්මු පන්සලට කැට අරගෙන ආව. සාමාන්‍යයෙන් එක කැටේක රුපියක් තුන්දහක් විතර තිබ්බ. ඊට වැඩි කැටත් තිබ්බ. අඩු කැටත් තිබ්බ. පන්සලේ වෙසක් උත්සවය කරන්නෙ ඒ සල්ලි වලින් ලු.

එක පාරට ලොකු ගානක් පිනට දෙන්න මිනිස්සුන්ට හැකියාවක් නෑ කියල - විශේෂයෙන් අවුරුදු මාසෙට පස්සෙ මාසෙ - හාමුදුරුවො දන්න නිසා අවුරුද්ද පුරාවටම සුළුවෙන් කීය කීය හරි එකතු කරන එක මිනිස්සුන්ට පහසුයි කියල හිතල තමයි කැට සංකල්පය දාල තියෙන්නෙ. ඒ වගේම එක පාර ලොකු ගානක් දෙනකොට දන් දෙන සිත පහළ වෙන්නෙ එක පාරයි, මෙහෙම කරද්දි අවුරුද්දෙ හැම දාම දන් දෙන සිත පහළ වෙනව කියලත් අනුසාශනාවෙදි කියවුනා.

අද වැඩේට බැහැල හිටියෙ ගමේ කොල්ලො සෙට් එක. පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න එන එවුන්. ජිම් යන ඇඟක් තියෙන රවීන්.ද්‍ර ජඩේජා වගේ රැවුලක් තියෙන මලයෙක් තමයි වැඩේ නායකත්වය දැරුවෙ.

කොල්ලො ටික හවස් වරුවෙම පන්සලේ නිසා ගමේ තැන තැන බූරු ගහන්නයි අරක්කු බොන්නයි ගිහිල්ල නෑ. (හැබැයි පන්සල් වත්තෙ කොනක හොරෙන් හොරෙන් සිගරට් එකක් ගහනව නං දැක්ක).

මේ වගේ හාමුදුරු නමක් ගමකට ආශිර්වාදයක්. සසර ගමන කෙටි වේවා! බුදුන් දැක නිවන් දකීවා!

1 comment:

  1. ප්‍රායෝගිකව වැඩේ කරල තියෙනවා ..

    ReplyDelete