Saturday, April 23, 2016

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1 ස්ටාලින් බලයට පැමිණීම

යකඩ සහෝදරයා - ස්ටාලින් - 1ස්ටාලින් බලයට පැමිණීම


ලෝකයේ ඒකාධිපතීන් බිහි වන්නේ බල රික්තයක් තුළිනි. බොහෝ විට ඒකාධිපතියාව බලයට ගෙන එන්නේ එම රික්තය තුලට පැනගැනීමට ඇති වල බල අරගලයේ යම් කිසි පාර්ශව කරුවෙක් විසින් තම ප්‍රතිවාදීන් පාලනය කිරීමේ උපක්‍රමයක් විසිනි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම විරුද්ධවාදීන් මර්ධනය කළ පසු ඒකාධිපතියා බලයෙන් පහ කිරීමෙන් හෝ ඔහුව තමාට අවශ්‍යය ආකාරයට හසුරුවා ගැනීමෙන් බලය තමා අතට ගැනීමටය. ඔවුන් සැමවිටම වරද්දා ගනිති.

හිට්ලර් ජර්මනියේ බලයට ගෙන එන්නේ කොන්සර්වේටිව් පක්‍ෂ විසින් ක්‍රමයෙන් වර්ධනය වන සමාජවාදී-කොමියුනිස්ට් වාදීන් මර්ධනය කිරීමේ මෙවලමක් වශයෙනි. නමුත් බලයට ආ පසු හිට්ලර් කොන්සර්වේටිව් වරු තුට්ටුවකට මායිම් නොකලේය. හිට්ලර් ජර්මනිය සන්නද්ධ කරද්දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව ඇස් කන් පියා සිටියේ හිට්ලර් ලවා සෝවියට් දේශය විනාශ කරවීමටය. නමුත් එය ඔවුන්ටම පාරා වළල්ලක් විය.

ස්ටාලින් ගේ බලයට ඒමේ කතාවේද මෙම රටාව දැකිය හැක.

රුසියන් විප්ලවය සමයේ ස්ටාලින් බොල්‍.ෂෙවික් පක්‍ෂයේ දැවැන්තයෙක් නොවීය. ඔහු පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට පත් වන්නේ 1917 අප්‍රේල් මාසයේදීය. මේ සමයේදී පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස සැලකුනේ ට්‍රොට්ස්කි ය. එමෙන්ම ග්‍රිගෝරි සිනොවිව්, ලෙව් කමනෙව් සහ නිකොලායි බුකාරින් පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් ලෙස සැලකිනි.

1917 ඔක්තෝබර් විප්ලවය සිදු කිරීමට ලෙනින් තීරණය කල අවස්ථාවේදී සිනොවිව් සහ කමනෙව් ඊට දැඩි විරෝධයක් එල්ල කළහ. ලෙනින් විසින් ස්ටාලින් මධ්‍යයම කාරක සභාවට පත් කරන ලද්දේ ඔවුන් ගේ බලය අඩු කිරීමේ ඉලක්කය ඇතිවය. බලාපොරොත්තු වූ ලෙසටම ස්ටාලින් ලෙනින් ගේ විශ්වාසවන්ත සගයෙක් ලෙස ප්‍රකට විය.

1919
දී රුසියානු සිවිල් යුද්ධය ඇති වූ අවස්ථාවේදී ලෙනින් විසින් පස් දෙනෙකුගෙන් සමන්විත පොලිට්බියුරෝවක් ඇති කළ අතර, එහි සාමාජිකත්වය හිමි වූයේ ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින්, කමනෙව් සහ ට්‍රොට්ස්කි ගේ සගයෙක් වූ නිකොලායි ක්‍රෙස්ටින්ස්කි හටය. මෙහිදී සිනොවිව් අභිබවා ස්ටාලින් ඉදිරියට ඒම කැපී පෙනිනි.

රුසියානු සිවිල් යුද්ධයේදී රතු හමුදාව ගොඩ නැංවීමේ වගකීම පැවරෙන ලද්දේ ට්‍රොට්ස්කිටය. එහිදී ඔහුගේ විශිෂ්ඨ සංවිධාන ශක්තිය කැපී පෙනුනු අතර, සිවිල් යුද්ධයෙන් බොල්.ෂෙවික් වරු ජයග්‍රහනය කිරීමත් සමඟම ඔහුගේ බලය වර්ධනය විය.

1921
දී ලෙනින් විසින් යුද්ධයෙන් විනාශ වූ සෝවියට් ආර්ථිකය ගොඩ නැංවීමට "නව ආර්ථික ප්‍රතිපත්තිය" හඳුන්වා දෙන ලදී. මෙමගින් සීමිත දේපල අයිතියකට ඉඩ දුන් අතර, ධනවාදී-සමාජවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් විය. ට්‍රොට්ස්කි ඇතුළු බොල්.ෂෙවික් පක්‍ෂයේ වාමාංශය මෙයට තදින්ම විරුද්ධ වූහ. නමුත් ස්ටාලින් සහ බුකාරින් ගේ සහයෙන් ලෙනින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය.

මෙම මත ගැටුම නිසා ට්‍රොට්ස්කි සහ ලෙනින් අතර දුරස්ථ වීමක් වර්ධනය වූ අතර, ලෙනින් ගේ සමීපතමයෙක් ලෙස ස්ටාලින් තම බලය වර්ධනය කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්තේය.

ට්‍රොට්ස්කි ගේ වර්ධනය වන බලය හමුවේ සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් තෝරා ගත්තේ ස්ටාලින් බලවත් කිරීමයි. ස්ටාලින් මගින් ට්‍රොට්ස්කි මර්ධනය කරවීමටත්, ලෙනින් ගෙන් පසු ලෙනින් ගේ සහය අහිමිවන ස්ටාලින් පහසුවෙන් බලයෙන් ඉවත් කොට පක්‍ෂයේ බලය අල්ලා ගැනීම ඔවුන් ගේ අභිප්‍රාය විය.


1922 දී කමනෙව් ගේ සහය ඇතිව ලෙනින් විසින් ස්ටාලින්ව පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත් කෙරෙන්නේ මේ අනුවය.

මෙතෙක් ලෙනින් ගේ විශ්වාසවන්තයා ලෙස පෙනී සිටි ස්ටාලින් තම බලය නංවා ගැනීම අරඹන්නේ මින් පසුවය.

1922
දෙසැම්බරයේ දී ලෙනින් ට හෘදයාබාධයක් ඇති වූ අතර පිරිහුනු සෞඛයෙන් යුත් ලෙනින් පාලන කටයුතු වලින් ඈත් විය. බොල්.ෂෙවික් පක්‍ෂයේ බල අරගලය උග්‍ර වන්නේ මින් පසුවය.

ලෙනින් ගේ අනුප්‍රාප්තිකයා ලෙස සාමාන්‍යයෙන් සැලකුණු ට්‍රොට්ස්කි සහ ඔහුගේ වාමාංශික කණ්ඩායම එක් පසෙකින් විය. සිනොවිව් සහ ඔහුගේ සගයා වූ කමනෙව් එක් පසෙකින් විය. බුකරින්, ඇලෙක්සි රයිකොව් සහ මිඛායිල් ටොම්ස්කි ගේ මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම අනෙක් පසින් විය.


ලෙනින් තමා මියගියහොත් ඔහු මහ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලෙස පක්‍ෂ නායකයන්ට රහසේ උපදෙස් දුන්නේය. ඒ ස්ටාලින් පාලනය කළ හැක්කේ තමන්ට පමණක් බව ඔහු හොඳින් වටහාගෙන සිටි නිසාය.

නමුත් ට්‍රොට්ස්කි ඉවත් කිරීමට කුරුමානම් ඇල්ලූ සිනොවිව් සහ කමනෙව් ස්ටාලින් සමඟ එක්ව "ත්‍රොයිකා" ලෙස හැඳින්වුන සංධානයක් සාදා ට්‍රොට්ස්කි ගේ බලය මර්ධනය කිරීමට සමත් වූ අතර, මීට බෙහෙවින් උපකාරී වූයේ මහ ලේකම් ධූරයේ සිටි ස්ටාලින් පක්‍ෂයේ වැදගත් නිල තල වලට තම සගයන් පත් කරගෙන තිබීමයි.

1924
දී ලෙනින් මියගිය විට බලය අත්කර ගැනීමට ස්ටාලින් සමත් විය.

බලය ලබා ගත් පසු ස්ටාලින් සිනොවිව් සහ කමනෙව් මර්ධනය ඇරඹූ අතර ඔවුන් දෙදෙනා පක්‍ෂයේ සියළු වැදගත් තනතුරු වලින් ඉවත් කෙරිනි. එවිට සිනොවිව් සහ කමනෙව් ට්‍රොට්ස්කි සමඟ සංධානගත වූහ. ස්ටාලින් මෙවිට බුකරින් ගේ මධ්‍යස්ථ කණ් ඩායම සමඟ සන්ධානගත වී ඔවුන්ට එරෙහිව තම බලය තහවුරු කර ගත්තේය. මෙම අරගලය අවසන් වූයේ 1927 දී ට්‍රොට්ස්කි, සිනොවිව් සහ කමනෙව් තිදෙනාම පක්‍ෂයෙන් නෙරපීමෙනි.

තව දුරටත් බුකාරින් ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරීන් ගේ සහය අවශය නොවූ ස්ටාලින් මීළඟ මර්ධන එල්ල කලේ ඔවුන් දෙසටය.

බොල්.ෂෙවික් පක්‍ෂයේ ප්‍රභලයන්ට අත්වූ ඉරණම මෙලෙස දැක්විය හැක:

ලියොන් ට්‍රොට්ස්කි - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1928 දී පිටුවහල් කරන ලදී. 1940 දී මෙක්සිකෝවේදී ඝාතනය කෙරිනි.

ග්‍රිගෝරි සිනොවිව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ලෙව් කමනෙව් - 1927 දී පක්‍ෂයෙන් නෙරපන ලදී. 1936 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි ක්‍රෙස්ටින්ස්කි - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

නිකොලායි බුකාරින් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

ඇලෙක්සි රයිකොව් - 1938 දී මරණ දඬුවමට ලක් කෙරිනි.

මිඛායිල් ටොම්ස්කි - 1936 දී අත් අඩංගුවට ගැනීමට ගිය විට සිය දිවි නසා ගත්තේය.


1938
දී ස්ටාලින් සෝවියට් දේශයේ අසාහය නායකයා බවට ඉතිරි විය.


No comments:

Post a Comment