Saturday, April 25, 2015

මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුත්තේ ඇයි?



පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් ඇත​.
1. කේවල ආසන ක්‍රමය​
2. සමානුපාතික ක්‍රමය​

කේවල ආසන ක්‍රමයේදී එක් එක් මැතිවරණ කොට්ඨාශය සඳහා වෙන වෙනම මන්ත්‍රීවරයෙක් පත් කරගනු ලබයි. මෙහිදී ඡන්ද දායකයන් විසින් කෙලින්ම අපේක්‍ෂකයා වෙත ඡන්දය ප්‍රකාශ කරන අතර​, ඒ කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලැබූ අපේක්‍ෂකයා මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත් වෙයි. ලංකාවේ 1947 සිට 1977 දක්වා යොදා ගැනුනේ මෙම මැතිවරණ ක්‍රමයයි.

සමානුපාතික ක්‍රමයේදී ඒ ඒ පක්‍ෂය (හෝ ස්වාධීන කණ්ඩායම) විසින් දිස්ත්‍රික්කය සඳහා අපේක්‍ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලබන අතර​, දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පක්‍ෂය වෙනුවෙන් ඡන්දය ලකුණු කොට, ඊට අමතරව මනාප තුනක් ලබා දෙයි. ඒ ඒ පක්‍ෂ විසින් ලබා ගන්නා ඡන්ද අනුව එම දිස්ත්‍රික්කය වෙනුවෙන් ඒ ඒ පක්‍ෂයට හිමි මන්ත්‍රී ධූර ගණන වෙන් කෙරෙන අතර​, මනාප වැඩියෙන් ලබාගත් අපේක්‍ෂකයන් මන්ත්‍රීවරු වශයෙන් තේරී පත් වෙයි. ලංකාවේ 1977 සිට මේ වන තෙක් ක්‍රියාත්මක වන්නේ මේ මැතිවරණ ක්‍රමයයි.

බැලූ බැල්මට සමානුපාතික ක්‍රමය වඩා සාධාරන බව පෙනෙන්නට තිබුනත්, අත්දැකීමෙන් පෙනෙන්නේ පෙර තිබූ ක්‍රමය වඩා සාර්ථක බවයි. ඇත්තෙන්ම ලංකාවට වඩා ගැලපෙන්නේ කේවල ආසන ක්‍රමයයි.

ඊට හේතු ගණනාවක් ඉදිරිපත් කළ හැක​.


1. ඡන්ද දායකයන්ට "තමාගේ" මන්ත්‍රීවරයෙක් සිටීම​


සමානුපාතික ක්‍රමය ඇරඹුණු පසු දැකගත හැකි වූ ප්‍රධානම වෙනසක් නම් මන්ත්‍රීවරු සහ ඡන්ද දායකයා අතර ඇති වූ දුරස්ථ භාවයයි. කලින් මැතිවරණ කොට්ඨාශයට පමණක් අයත් වූ මන්ත්‍රීවරයා දැන් මුළු දිස්ත්‍රික්කයටම අයත්‍ වේ. එම නිසා එදා සිටි "අපේ මන්ත්‍රීතුමා" වෙනුවට නිකම්ම "මන්ත්‍රීතුමා" ආදේශ වී ඇත​. නමුත් කේවල ආසන ක්‍රමය යටතේ මන්ත්‍රීවරයා කෙලින්ම මැතිවරණ කොට්ඨාශයට වග කියන නිසා නිතැතින්ම ඔහු හා ජනතාව අතර සමීප බවක් වර්ධනය වේ.


2. විශාල මුදලක් නොමැතිව ඡන්දයක් කිරීමට හැකි වීම​


කේවල ආසන ක්‍රමය යටතේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කළ යුතු වූයේ මැතිවරණ කොට්ඨාශය තුළ පමණි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මුළු මහත් දිස්ත්‍රික්කය තුළම මැතිවරණ ව්‍යාපාර කටයුතු කිරීමට අපේක්‍ෂකයාට සිදු වෙයි. මෙය විශාල ධනයක් සහ පිරිස් බලයක් අවශ්‍යය වන ක්‍රියාවකි. විශේෂයෙන්ම තමාගේ මනාප අංකය ඡන්ද දායකයා ගේ මතකයේ එබ්බීම සඳහා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක යෙදීමට අපේක්‍ෂකයාට සිදු වී තිබේ. මෙය සුවිසල් ධන නාස්තියකි.

මේ නිසා එක්කෝ නොයෙකුත් බාහිර පාර්ශවයන් ගෙන් මුදල් ආධාර ලබා ගැනීමට අපේක්‍ෂකයාට සිදුවන අතර​, ජයග්‍රහනයෙන් පසු ඔවුන් ගේ විෂමාචාර කටයුතු වලට සහය දීමට ඔහුට සිදු වේ. නැතහොත් මැතිවරණය සඳහා ඉදිරිපත් විය හැක්කේ සල්ලිකාරයන්ටය​. මෙය විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ වලදී කැපී පෙනෙන අතරම් ජයග්‍රාහකයන් සියළුදෙනාම පාහේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හෝ වෙනත් ධනවතුන් බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. අනාගත දේශපාලක පරම්පරාව මෙසේ ධනවතුන් ගේ ග්‍රහණයට ලක්වීම ඉතාමත් භයානක බව පැහැදිලිය​.

කේවල ආසන ක්‍රමය පැවතුන යුගයේ ප්‍රාදේශීයව හොඳ නමක් දිනා සිටි පුද්ගලයන් විශාල මුදලකින් තොරව හොඳ හිත මත යැපෙමින් කළ මැතිවරණ ව්‍යාපාර තවදුරටත් දකින්නට නැත​.


3. සුළු පක්‍ෂ නැවත හිස එසවීම​


බැලූ බැල්මට පෙනෙන පරිදි සමානුපාතික ක්‍රමය සුළු පක්‍ෂ වලට වාසිදායකය​. තනි මැතිවරණ කොට්ඨාශයක් ජය ගැනීමට නොහැකි වුවත් දිස්ත්‍රික්කය පුරා එකතු කරගන්නා ඡන්ද වලින් මන්ත්‍රීධූර දිනා ගැනීමට සුළු පක්‍ෂ වලට හැක​.

නමුත් දත්ත පිරික්සා බැලීමේදී පෙනෙන්නේ ඉඳුරාම වෙනස් කතාවකි.



පැහැදිලිවම පෙනෙන පරිදි කේවල ආසන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 15%-20% අතර නියෝජනයක් ලැබීමට සුළු පක්‍ෂ වලට හැකි විය​. (මෙම තත්වය වෙනස් වන්නේ එජාපය දැවැන්ත ජයක් ලැබූ 77 දී පමණි).

ඇත්තෙන්ම ස්වාධීන මන්ත්‍රීවරු ද සුළු පක්‍ෂ ගොඩටම දමා සැලකුවොත් මේ ප්‍රතිශතය 20%-25% දක්වා ඉහළ යයි (1947 දී මෙය​ 48% තරම් ඉහළ අගයක් ගත්තේය​). එනම් පාර්ලිමේන්තුවෙන් හතරෙන් එකක් පමණ සමන්විත වූයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වලින් බැහැර වූ මන්ත්‍රීවරුන් ගෙනි.

මෙය එජාප​-ශ්‍රිලනිප දේශපාලන අධිකාරියට කදිම ප්‍රතිභාරයක් විය​. අද කාලයේ නිතර ඇසෙන "පාර්ලිමේන්තුවේ රිමෝට් කන්ට්‍රෝල් එක​" එදා සැබැවින්ම සුළු පක්‍ෂ සතුවිය​.

නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මේ නියෝජනය 5%-10% දක්වා පහත වැටී ඇති බව ඉහත දත්ත වලින් පෙනේ. සුළු පක්‍ෂ එජාප​-ශ්‍රිලනිප විසින් ගිලගෙන ඇති අතර​, පාර්ලිමේන්තුව සම්පූර්නයෙන්ම එජාප​-ශ්‍රිලනිප ප්‍රධාන පක්‍ෂ වලට නතුවී ඇත​.

මෙහි අවාසි තුනකි.
1. එජාප - ශ්‍රිලනිප පක්‍ෂ වලට අසීමිත බලයක් ලැබීම​
2. ඡන්ද දායකයන්ට විකල්ප නොමැති වීම​
3. සුළු ජාතික පක්‍ෂ වල කේවල් කිරීමේ හැකියාව ඉහළ යාම​

මෙම තත්වයට හේතු කිහිපයක් දැක්විය හැක​.

1. දැවැන්ත මැතිවරණ ව්‍යාපාර වල යෙදීමට සුළු පක්‍ෂ වලට ආර්ථික හැකියාවක් නොමැති වීම​
2. අපේක්‍ෂකයාට වඩා පක්‍ෂයට ඡන්දය දෙන සමානුපාතික ක්‍රමය යටතේ සුළු පක්‍ෂ වලට අවාසියක් සිදු වීම​


4. පක්‍ෂයට නොව අපේක්‍ෂයාට ඡන්දය දීමේ හැකියාව​


කේවල ආසන ක්‍රමයේදී ඡන්ද දායකයාට ඇත්තේ සරළ තේරීමක් කිරීමටය​. එනම් අපේක්‍ෂකයන් කීපයක් අතුරින් තමා කැමතිම අපේක්‍ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමයි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ මෙය වඩා සංකීර්න වේ.

උදාහරණක් සලකා බලමු.

ගාල්ල දිස්ත්‍රික්කයට A පක්‍ෂයෙන් (b, c, d) යන මන්ත්‍රී වරු ඉදිරිපත් වී ඇතැයි සිතමු. A පක්‍ෂයෙන් ඉදිරිපත් වී ඇති b අපේක්‍ෂකයා කාගෙත් සිත දිනූ යහපත් දේශපාලකයෙක් යැයි ද​, එම පක්‍ෂයේ අනෙක් අය දූෂිත අදක්‍ෂයන් යැයි ද සිතමු.

b අපේක්‍ෂකයා හට කෙතරම් කැමති වුවත්, ඔහුට මනාපය දීමට නම් ඡන්ද දායකයෙක්ට A පක්‍ෂයට ඡන්දය දීමට සිදුවේ. එය වක්‍රාකාරයෙන් c සහ d අපේක්‍ෂකයන්ට ඡන්දය දීමකි (පක්‍ෂයට දෙන ඡන්දය නිසා A පක්‍ෂයෙන් තේරෙන මන්ත්‍රීවරුන් ගණන වැඩි වන නිසා).

එම නිසා එක්කෝ හිත හදාගෙන A පක්‍ෂයේ දූෂිතයන්ටද වාසි වන අයුරින් ඡන් දය ප්‍රකාශ කළ යුතුය​. නැති නම් තම සගයන් නිසා දක්‍ෂ දේශපාලකයෙක්ට මන්ත්‍රී ධූරයක් අහිමි වෙයි.

මේ අයුරින් ජන මතය විකෘති වීම සමානුපාතික ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවයකි.

නමුත් කේවල ආසන ක්‍රමයේදී පක්‍ෂයට අකැමැති වුවත් හොඳ දක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වේ නම්, ඡන්ද දායකයාට ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. ඇත්ත වශයෙන්ම අතීතයේ එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන වැනි අපේක්‍ෂකයන්ට එක්සත් ජාතික පාක්‍ෂිකයන් පවා ඡන්දය ප්‍රකාශ කළ බව කියැවේ.

මෙය අතීතයේ සුළු පක්‍ෂ වලට තිබූ ප්‍රධාන වාසියක් ඒවාට අහිමි වීමකි. සුළු පක්‍ෂ වලින් සහ ස්වාධීනව ඉදිරිපත් වූ දක්‍ෂ දේශපාලකයන් (එන්.එම්. පිලිප් කොල්වින් වැනි) නිරතුරුව පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කේවල ආසන ක්‍රමයේ තිබූ මේ පක්‍ෂය වෙනුවට අපේක්‍ෂකයාට ඡන්දය දෙන ක්‍රමය නිසාය​. නමුත් අද තම ඡන්දය අපතේ යයි යන බිය නිසා සුළු පක්‍ෂවලින් ඉදිරිපත් වන දේශපාලකයන්ට දැවැන්ත අවාසියක් සිදු වී ඇත​.

මෙසේ අපේක්‍ෂකයා අභිබ්වා පක්‍ෂය ඉදිරියට එන ක්‍රමය නිසා සිදුවන අනෙක් අවාසිය නම් මන්‍ත්‍රීවරයා අසීමිත ලෙස පක්‍ෂය මත යැපීමයි. තමා පත්වූයේ පක්‍ෂයට ලැබුණු ඡන්දය නිසා බව දන්නා මන්ත්‍රීවරයාට පක්‍ෂයට එරෙහිව හඬ නැගීමේ හැකියාවක් නැත​. එය මන්ත්‍රීවරයාගේ ස්වාධීනත්වයට එල්ල වන බාධාවකි.


6. සුළු පක්‍ෂ වල ස්වාධීනත්වය ආරක්‍ෂා වීම​


කේවල ආසන ක්‍රමය පැවතුණු සමයේ මැතිවරණ සංධාන ඉතාමත් දුලබ විය​. එසේ සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වූ එකම අවස්ථාව 1956 ශ්‍රිලනිපය ප්‍රමුඛ පක්‍ෂ කීපයක් මහජන එක්සත් පෙරමුණ සෑදීමයි. එදා පැවති ක්‍රමය වූයේ පක්‍ෂ කීපයක් එක්ව නිතරග ගිවිසුම් වලට එළැඹීමයි. එහිදී සුළු පක්‍ෂ වල අපේක්‍ෂයන් තම පක්‍ෂයේ ලකුණෙන්ම මැතිවරණයට ඉදිරිපත් වූහ​. එවිට පාර්ලිමේන්තුවේදී ඔවුන් සැලකුණේ තම පක්‍ෂයේ මන්ත්‍රීවරු වශයෙනි. එය පක්‍ෂයේ ස්වාධීනත්වය රැක් ගැනීමට කදිම පිටුවහලක් විය​.

උදාහරණයකට 1970 දී ශ්‍රිලනිපය සමඟ නිතරග ගිවිසුමකට එළඹුණු ලංකා සමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂයන් 19 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු අතර ඔවුහු පාර්ලිමේන්තුවේ දී කටයුතු කලේ සමසමාජ මන්ත්‍රීවරු වශයෙනි. එහිදී ඔවුන්ට සභාග රජය තුළ විශාල කේවල් කිරීමේ හැකියාවක් ලැබිණි.

නමුත් සමානුපාතික ක්‍රමයත් සමඟ මැතිවරණ සංධාන ඇති වුණු අතර​, මේ සංධාන තුළ ප්‍රධාන පක්‍ෂය විසින් සුළු පක්‍ෂ ගිල ගන්නා ලදී. ප්‍රධානම වෙනස වූයේ සුළු පක්‍ෂ වල මන්ත්‍රීවරු සැලකුණේ සංධානයේ මන්ත්‍රීවරු වශයෙන් වීමය​. ඊට අමතරව දිස්ත්‍රික්කයටම ඉදිරිපත් වන පොදු ලැයිස්තුවකින් තරග කිරීමේදී සුළු පක්‍ෂ වල අපේක්‍ෂකයන්ට ප්‍රධාන පක්‍ෂයේ අපේක්‍ෂකයා සමඟ මනාප වලට තරග කිරීමට සිදු වීම විශාල අවාසියක් විය​.

උදාහරණයකට කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉදිරිපත් වන හෙළ උරුමය අපේක්‍ෂකයාට මනාප සඳහා තරග කිරීමට සිදුවන්නේ ශ්‍රිලනිප අපේක්‍ෂකයන් සමඟය​. එය ඔහුට පැහැදිලි අවාසියක් ගෙන දෙයි.


7. මනාප පොරය නැති වීම​


එකම පක්‍ෂවල අපේක්‍ෂකයන් මනාප සඳහා කුලල් කා ගැනීම සිතල යුද්ධ වල තත්වයෙන් බැහැරව ඇණ කොටා ගැනීම් දක්වා දුර දිග ගිය අවස්ථා එමට දකින්නට ලැබිණි. මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමට විශාල හේතුවක් විය​. නමුත් කේවල ආසන ක්‍රමයේදී පක්‍ෂ අතර ගැටුම් ඇති වුනත්, එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර ගැටුම් ඇති වීමේ අවස්ථාවක් නැත​.


8. ස්ථාවර ආණ්ඩු පිහිටුවීමේ හැකියාව 


1947 සිට අද දක්වා පාර්ලිමේන්තු මැතිවරණ වලදී ජයග්‍රාහී පක්‍ෂය ලැබූ ආසන ප්‍රතිශතයන් සලකා බලමු



කේවල ආසන ක්‍රමය යටතේ 1947, 1960 මාර්තු, 1965 යන අවස්ථා වලදී හැරුණු විට අනෙක් සියළුම අවස්ථා වල ජයග්‍රාහී පක්‍ෂයට පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් හිමි වී ඇත​. දේශපාලන පක්‍ෂ හරිහැටි සංවිධාන නොවුණු පසුබිමක පැවැත්වුණු 1947 පළමු මහ මැතිවරණය සහ මාස තුනක ආයු කාලයකට සීමා වූ 1960 මාර්තු මැතිවරණය අමතක කළහොත් කේවල ආසන ක්‍රමය යටතේ සරළ බහුතරය ලබා ගැනීමට ජයග්‍රාහී පක්‍ෂයට නොහැකි වන්නේ 1965 දී පමණි.

නමුත් සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වුණු මැතිවරණ වලදී ජයග්‍රාහී පක්‍ෂයට සරළ බහුතරය හිමි වන්නේ අතිශය ප්‍රශ්නකාරී පසුබිමක පැවැත්වුණු 1989 මැතිවරණයේදී සහ යුධ ජයග්‍රහනය සමඟ තිබූ 2010 මැතිවරණයේදී පමණි. සාමාන්‍යයෙන් සුවිශේෂී ජයක් ලෙස සැලකෙන 1994 පොදු පෙරමුණු ජයග්‍රහනයේදී පවා ජයග්‍රාහකයාට සරළ බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය​.

මෙයට හේතුව වන්නේ ප්‍රභල ප්‍රධාන පක්‍ෂ දෙකක් සිටිනා පසුබිමක පක්‍ෂ දෙකටම ආසන්න වශයෙන් සමාන ඡන්ද ලැබීමයි.

මෙසේ සරළ බහුතරය අහිමි පක්‍ෂ රජයක් පිහිටුවීමට යාමේදී ඒවා වාර්ගික පක්‍ෂවල සහය ලබා ගත යුතු තත්වයක් යටතේ වාර්ගික දේශපාලනයට දැවැන්ත කේවල් කිරීමේ බලයක් හිමිවිය​. එහි ප්‍රතිපල අමුතුවෙන් විස්තර කළ යුතු නැත​.



කේවල ආසන ක්‍රමයේ අවාසි


කේවල ආසන ක්‍රමයේ ඇති එකම අවාසිය නම් සමහර අවස්ථා වලදී පරාජිත ප්‍රධාන පක්‍ෂයට හිමි වන ආසන ගණන මගින් එය ලබා ගන්නා සම්පූර්ණ ඡන්ද ගණනට සාධාරනයක් ඉටු නොවීමයි. ප්‍රධාන පක්‍ෂ දෙක මැතිවරණ වලදී ආසනයකට ලැබූ ඡන්ද සලකා බැලීමෙන් මෙය මනාව පැහැදිලි වේ.



කේවල ආසන ක්‍රමය යටතේ පරාජිත පක්‍ෂයේ ආසනයකට ලැබුනු ඡන්ද ගණන ජයග්‍රාහී පක්‍ෂයට වඩා බෙහෙවින් වැඩි බව පෙනේ. උදාහරණයකට 1970 දී එජාපයේ සෑම ඡන්ද 111,325 කටම එක් ආසනයක් ලැබුණු අතර​, ශ්‍රිලනිපයට ලැබුණු සෑම ඡන්ද 20,220 කටම ආසනයක් ලැබී ඇත​!

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙය බොහෝ දුරට අඩු වී ඇති බව පෙනේ.

මෙය වළක්වා ගැනීම සඳහා හොඳම විසඳුම නම් කේවළ​-සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමයි. මෙහිදී යම් ආසන සංඛ්‍යාවක් සමානුපාතික ක්‍රමය යටතේ ලබා දීමෙන් (මනාප වලින් තොරව​) ක්‍රම දෙකේම ඇති යහපත් ලක්‍ෂන ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත​.

No comments:

Post a Comment