Tuesday, April 7, 2015

සමරකෝන් සහ මහින්ද මහත්තයා.




අපේ වැඩපොළේ සමරකෝන් (අන්වර්ථ නමකි) කියා ඩයල් එකක් සිටී. අවුරුදු පනස් පහක් පමණ වයසය. හිත හොඳ මනුස්සයෙකි. පොතේ උගතෙක් නොවෙතත් (සමරකෝන් පාස් සාපේ පමණි) නියම වැඩකරුවෙකි. අපි වැනි (සාපේක්‍ෂව​) තරුණ වයසේ අයට සමරකෝන් හරි ආදරේය​.

පහගිය සති අන්‍තයේ සමරකෝන් පවුලේ උදවියත් සමඟ කතරගම ගොස් ඇත​. අද උදේ මා වැඩට එන විට කොම්පියුටරයක් වට කරගෙන වැඩපොළේ සගයන් සමරකෝන් කතරගම ගිය ෆොටෝ බලයි.

ෆොටෝ බලන ගමන් මම විහිළුවට "සමරකෝන් ගියෙ නැද්ද මැදමුලනෙ?" කියා ඇසීමි.

බලද්දී මූ ඇත්තටම මැදමුලනේ ගොස් ඇත​.

"ගියා මහත්තයා - ජනාධිපතිතුමා බලල ආවෙ".

සමරකෝන්ට තවමත් මහින්ද රාජපක්‍ෂ මහතා "ජනාධිපතිතුමා" ය​. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ගැන කතා කළේ සංවේගයෙනි.

"කොළ පාට අත්කොට ෂර්ට් එකක් ඇඳල හිටියෙ. ගාඩ්ල තුන හතරක් හිටියා. එස්ටීඑෆ් කාරයෙක් ටොම්බ ගන් එකක් තියාගෙන හිටිය​. එච්චර තමයි. බොහොම සාමාන්‍යය විදිහට හිටියෙ. ටිකක් ඇදිල ගිහිල්ල වගේ මහත්තයා. මට දුකේ බෑ. රජෙක් වගේ හිටපු මනුස්සය නෙ. හැබැයි හොඳට මාත් එක්ක කතා බහ කරා"

මට එක පාරටම මතක් වුනේ සමරකෝන් පහුගිය ඡන්දයේ ඡන්දය දුන්නේ මයිත්‍රීපාල සිරිසේන මහතාට බවයි.

"සමරකෝන් ගිය පාර හංසයට නේද ගැහුවෙ?"

"ඔව් මහත්තය​. හංසයට කියන්නෙ අලියට. අපි එදා ඉඳල අලියට නෙ"

"එහෙනං මොකද මහින්ද මහත්තය බලන්න ගියේ?"

"යුද්ධෙ ඉවර කරපු මනුස්සයනෙ මහත්තය​. අනිත් එක හිත හොඳ මිනිහ​. ඔය අනික් උං වගේ නෙවෙයි කිසි ආඩම්බරයක් නෑ."

"ඒ කියන්නෙ සමරකෝන් මේ පාර මහින්දට ද දෙන්නෙ?"

"අනේ නෑ මහත්තය​. සතා දැක්කම වෙන එකකට ගහන්න හිතෙන්නෙ නෑ"

සමරකෝන් "සතා" කිව්වේ අලියාටය​

මෙහෙව් උං ඉන්න රටක දේශපාලනය කතා කරන අපිට පුකේ ඉඳන් පිස්සුය​.

No comments:

Post a Comment