Tuesday, December 26, 2017

දිවෙහි රාජ්ජේ ජන කතා - 10 (කුස්සියට ආ පෙරේතයා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

තැනට සුදුසු නුවණ ගැන කියැවෙන කතාවක්

කුස්සියට ආ පෙරේතයා


එකෝමත් එක කාලෙක "දයිතා" (කාන්තාවන් සඳහා භාවිතාවෙන ගෞරවාර්ථ නමක්) කියල කාන්තාවක් හමේ රෝගයක් නිසා මිනිස්සු ජීවත් නොවෙන කුඩා දූපතකට පිටුවහල් කරල තිබුනා. 

දූපත බොහොම පුංචියි. දූපතේ එක පැත්තක මුහුදු වෙරළට ගියාම අනික් පැත්තෙ මුහුද පේනවා. දූපත මැද්දෙ පොඩි වන රොදක් තිබ්බා. වන රොද අයිනෙ අටව ගත්ත පොඩි නිවහනක​​ තමයි දයිතා ජීවත් වුනේ. ඇය මේ කුඩා දූපතේ ජීවත් වුනේ තට්ට තනියම​. ඇගේ තනියට හිටියේ දූපත වටේට තිබ්බ කොරල් පරය සහ කොරල් පරයේ හැපිලා රළ ගෙඩි බිඳෙන හඬ විතරයි.


දවසක් "ෆරු ෆුරේත​"යෙක් (කොරල් පරයේ ජීවත් වෙන පෙරේතයෙක්) දූපතට බඩ ගාගෙන ආවා. ඌ  මිනිහෙක්ට වඩා උසයි. ඇඟ පුරා සෙවල පෙරෙනවා. දයිතා ගෙ කුස්සියෙ ලිපේ එළිය දැකපු ෆරු ෆුරේත ඒ දිහාට බඩගාගෙන ගියා.

දයිතා ඒ වෙලාවෙ කුස්සියට වෙලා පොල් පැණි වලින් කැවිලි හදනව​. කැවිලි සුවඳට ෆරු ෆෙරේත වශී වුනා. ඌ හෙමින් හෙමින් කුස්සියට කිට්ටු කරා. කුස්සියෙ දොරකඩ​ ළඟ ඇණ තියල ඉඳගත්ත ෆරු ෆුරේත අඳුරු හෙවනැලි වලට මුවා වෙලා දයිතා කෑම හදන දිහා බලාගෙන හිටියා.

කැවිලි සුවඳෙන් කුස්සිය පිරිල තිබුනෙ. ඒත් හදිසියේම දයිතාට අමුතු කුයිලක් දැනුන​. හරියට කොරල් පරයකින් එන කුණු වෙච්ච මාළු ගඳ වගේ එකක්. ඒක ආවෙ කුස්සියෙ දොර පැත්තෙන්.

දයිතට තේරුනා ගඳට හේතුව මොකද්ද කියලා. ඇයගේ මුළු ඇඟම භීතියෙන් ගල් ගැහුනා. ඒත් ඇය බය වෙච්ච බව එළියට පෙන්නුවෙ නෑ. කැවිලි හදන ගමන්ම ඇය ඇස් කොණෙන් දොර දිහා බැලුව​.

අඳුරු හෙවනැලි අතරින් ඇය දැක්කා විශාල ගෙම්බෙක් වගේ විරූපි සතෙක් තමන් දිහා බලාගෙන ඉන්න බව​. උගෙ ඇඟෙන් සෙවල පෙරෙනවා. කට පුරා උල් දත්. ඒ දතක් ඇගේ අතක් විතර විසාලයි.


දයිතා සිහි නැති වෙන තරම් බය වුනා. ඒත් ඇය බය එළියට පෙන්නුවෙ නෑ.

ඇය තමාගෙ ඇඟට මුවා කරගෙන ලොකු පොල් කෑල්ලකින් උල් පිහියක් හැඩේට පේන පොල් කෑල්ලක් කපා ගත්තා. ඊට පස්සෙ ඇය එක අතකින් පොල් කෑල්ල අරගෙන අනිත් අතින් ලිපේ ඇවිලෙන ගිනි පෙල්ලක් ගත්තා. ෆරු ෆුරේතට පේන විදිහට හැරුන ඇය ඉස්සෙල්ලම පොල් කෑල්ල කටේ දාගෙන ඒකෙන් ලොකු කෑල්ලක් කඩාගෙන හපන්න ගත්තා. ඊට පස්සෙ ගිනි පෙල්ලත් කටේ දානව වගේ බොරුවට පෙන්නුවා. ඊට පස්සෙ හොඳට පේන විදිහට පොල් කෑල්ල සද්දෙන් හපල ගිල්ලා.

පිහි තල සහ ගිනි අඟුරු කන මේ අමුතුම ගෑණි දැකපු ෆරු ෆුරේත හොඳටම බය වුනා. හෙමින් සැරේ ආපහු මුහුද දිහාවටම ඇදිලා ගියා.

ආයෙ කවදාවත් දයිතා ගෙ දූපතට ෆරු ෆුරේත ආවෙ නෑ෴

- කතාව කිව්වේ අබ්දුල් හාදි (කුඩ හුවාදු දූපත​)

අටුවාව​

1. දයිතා
දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

2. දූපත් වලට පිටුවහල් කිරීම​
ඉස්සර කාලෙ දිවෙහි රාජ්ජේ වැසියන්ට දරුණු බෝවෙන රෝගයක් හැදුනම මිනිස්සු ජීවත් නොවෙන දූපත් වලට ගෙනිහින් දාන සිරිතක් තිබිලා තියෙනවා. රෝගය සුව වෙනකන් ඒ දූපතේ තනියම ජීවත් වෙන්න ඕනෙ. රෝගියාගේ නෑදෑ හිත මිතුරන් ඉඳහිට කෑම බීම අරගෙන ඒ දූපතට යනවා. ලාදුරු සහ සමේ රෝග හැදුන අය තමයි වැඩිපුරම මේ ඉරණමට ගොදුරු වුනේ. කුඩා දූපත් වල ජීවත් වෙද්දි බෝවෙන රෝග පිළිබඳ නිරන්තර බයකින් තමයි දිවෙහි රාජ්ජේ වැසියන් ඉඳල තියෙන්නෙ.

3. ෆරු ෆුරේත​
කොරල් පර වල ජීවත් වෙන අමනුස්ස කොට්ඨාශයක්. දිවෙහි බසින් "ෆරු" කියන්නෙ කොරල් පරය​. "ෆුරේත" කියන්නෙ අමනුස්ස විශේෂයක්. ඒක ඇවිත් තියෙන්නෙ සිංහල "පෙරේත​" කියන එකෙන්.

4. කුස්සිය​
පැරණි දිවෙහි රාජ්ජේ ගෙවල් වල කුස්සිය තිබුනෙ වෙනම පොඩි පැලක් වශයෙන්. ඒකට දොරක් තිබුනෙ නෑ. කුස්සිය වෙනම හදන්න හේතුව වුනේ කුස්සියේ වහලයට නිතරම ගිනි ඇවිලීම​.

Sunday, December 24, 2017

දිවෙහි රාජ්ජේ ජන කතා - 9 (අඹොෆ්ෆුලු සහ දඹොෆ්ෆුලු)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

තමාගෙ කාරිය අමතක කරල අනුන් ගෙන් පළි ගැනීමේ ආදීනව ගැන කියැවෙන කතාවක්.

අඹොෆ්ෆුලු සහ දඹොෆ්ෆුලු (අඹ ඇටේ සහ දඹ ඇටේ)


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක හිටිය යාළුවො දෙන්නෙක් අඹොෆ්ෆුලු (අඹ ඇටේ) සහ දඹොෆ්ෆුලු (දඹ​ඇටේ) කියලා.

දවසක් මේ දෙන්නා මූදු වෙරළෙ ඇවිදිනකොට දැක්කා මිදිලි (කොට්ටම්බා) ගහක්. මිදිලි ගහේ ගෙඩියක් තිබ්බා. ගෙඩිය කඩා ගන්න හිතාගෙන දඹොෆ්ෆුලු ගහට නැග්ගා.

ඒ වෙලාවෙ තද හුළඟක් හමමින් තිබ්බේ. හුළඟට එකට ඇඹරිල තිබ්බ අතු දෙකක් පොඩි වෙලාවකට ඈත් වුනා. හරියටම ඒ වෙලාවෙම දඹොෆ්ෆුලු අතු දෙක මැදට ආවා. එකපාරටම අතු දෙක ආපහු තද වුනා. දඹොෆ්ෆුලු බොහොම අවාසනාවන්ත විදිහට අතු දෙක මැද්දට හිර වුනා.

යාළුවාට අත් වුන ඉරණම දැකපු අඹොෆ්ෆුලු දුවල ගියා "මාවඩියා" (මහ වඩුවා) හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. උඹේ පොරවත් අරගෙන හනිකට වරෙං"

"මට බෑ. මගේ පොරවෙ තලේ මුවාත් නෑ"

අඹොෆ්ෆුලු ඊළඟට දුවල ගියා "කම්බුරු" (කම්මල්කාරයා) හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. මාවඩියා ගහේ අත්ත කපන්න බෑ කියනවා. උඹ හනිකට ගින්නක් අවුළුවලා මාවඩියගෙ පොරවෙ තලේ මොට්ට කරපං"

"මට බෑ. මගේ අඟුරු රස්නෙ නෑ"

අඹුෆ්ෆුලු ඊළඟ දුවල ගියා වැස්ස හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. මාවඩියා ගහේ අත්ත කපන්න බෑ කියනවා. කම්බුරු මාවඩියගෙ පොරවෙ තලේ මොට්ට කරන්න බෑ කියනවා. උඹ හනිකට වැස්සක් වැහැල කම්බුරු ගෙ ගින්න නිවල දාපං"

"මට බෑ. මේ නියං කාලෙ. මම ළඟ වතුර නෑ"

අඹුෆ්ෆුලු ඊළඟ දුවල ගියා අලියා හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. මාවඩියා ගහේ අත්ත කපන්න බෑ කියනවා. කම්බුරු මාවඩියගෙ පොරවෙ තලේ මොට්ට කරන්න බෑ කියනවා. වැස්ස කම්බුරු ගෙ ගින්න නිවල දාන්න බෑ කියනවා. උඹ හනිකට වැහි වතුර ටික ඔක්කොම බීපං."

"මට බෑ. මම මේ දැන් පොකුණෙන් වතුර බීල ආවෙ. මගෙ බඩ පිරිලා"

අඹුෆ්ෆුලු ඊළඟ දුවල ගියා මීමැස්සා හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. මාවඩියා ගහේ අත්ත කපන්න බෑ කියනවා. කම්බුරු මාවඩියගෙ පොරවෙ තලේ මොට්ට කරන්න බෑ කියනවා. වැස්ස කම්බුරු ගෙ ගින්න නිවල දාන්න බෑ කියනවා. අලියා වැහි වතුර බොන්න බෑ කියනවා. උඹ හනිකට අලියගෙ කණ ඇතුලට රිංගල දෂ්ඨ කරපං"

"මට බෑ. අලියගෙ කණ ගොඩක් ගැඹුරුයි. ඒක ඇතුලෙ ගොඩක් අඳුරුයි. මට බයයි"

අඹුෆ්ෆුලු ඊළඟ දුවල ගියා "ඉරුවායි හුදු" (ගව කොකා) හොයාගෙන​.

"මගේ යාළුවා දඹොෆ්ෆුලු ගහක අත්තක හිර වෙලා. මාවඩියා ගහේ අත්ත කපන්න බෑ කියනවා. කම්බුරු මාවඩියගෙ පොරවෙ තලේ මොට්ට කරන්න බෑ කියනවා. වැස්ස කම්බුරු ගෙ ගින්න නිවල දාන්න බෑ කියනවා. අලියා වැහි වතුර බොන්න බෑ කියනවා. මීමැස්සා අලියගෙ කණ ඇතුලෙ දෂ්ඨ කරන්න බෑ කියනවා. උඹ මීමැස්සව කාපං"

"හරි!"

එහෙම කියපු ඉරුවායි හුදු මීමැස්සව කන්න ගියා. ඉරුවායි හුදු එනවා දැකපු මීමැස්සා අලියගෙ කණ ඇතුලෙ දෂ්ඨ කරන්න ගියා. මීමැස්සා එනවා දැකපු අලියා වැහි වතුර බොන්න ගියා. අලිය එනව දැකපු වැස්ස කම්බුරු ගෙ ගින්න නිවන්න ගියා. වැස්ස එනව දැකපු කම්බුරු මාවඩියා ගෙ පොරවෙ තලේ මොට්ට කරන්න ගියා. කම්බුරු එනව දැකපු මාවඩියා ගහේ අත්ත කපන්න ගියා.

ඒත් මාවඩියා එනකොට දඹොෆ්ෆුලු මැරිලා෴


 - කතාව කිව්වේ නෙදුන් ගේ අලි නජීබු (මාලේ දූපත​)


අටුවාව​

1. මිදිලි
කොට්ටම්බා. මාලදිවයිනේ ලුණු මිශ්‍ර වැලි පොළවේ වැවෙන්නේ ගස් වර්ග කීපයක් විතරයි. කොට්ටම්බා ඉන් එකක්. කොට්ටම්බා ගෙඩි වලට දිවෙහි බසින් කියන්නෙ "කනමදු".

2. මාවඩියා
දිවෙහි බසින් වඩුවට කියන්නෙ "වඩි". මාවඩියා කියන්නෙ මහ වඩුවා නැත්තං වඩු කර්මාන්තයේ කෙළ පැමිණි දක්‍ෂ වඩුවෙක් හඳුන්වන ගෞරව නාමයක්. දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ ප්‍රධාන කර්මාන්තය වන ධීවර කර්මාන්තයට උපයෝගී වෙන බෝට්ටු හදන නිසා වඩුවා දිවෙහි රාජ්ජෙ බොහොම වැදගත් පුද්ගලයෙක්.

3. කම්බුරු
දිවෙහි බසින් කම්මල්කාරයා හඳුන්වන්නෙ කම්බුරු කියල​. දිවෙහි රාජ්ජෙ දියුණු යකඩ කර්මාන්තයක් තිබිල නෑ. ඔවුන් ගේ යකඩ කර්මාන්තය එදිනෙදා භාවිතා වන ආයුධ නිපදවා ගැනීමට සීමා වුනා.

4. ඉරුවායි හුදු
ඉරුවායි හුදු කියල හඳුන්වන්නෙ මාලදිවයිනේ වගුරු බිම් ආශ්‍රිතව නිතර හමුවෙන සුදු පාට කොකෙක්. මූ ඉංග්‍රීසියෙන් "Eastern Cattle Egret" කියල හඳුන්වනවා. ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක මූ හමුවෙනවා. නිතර හරකුන් ගෙ පිටවල් උඩ වහල කිණිතුල්ලො කන්න ලැදිකමක් දක්වන නිසාවෙන් සිංහලෙන් මූ හඳුන්වන්නෙ "ගව කොකා" කියල​.


Tuesday, December 19, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 8 (හෙරා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සරල විනෝදාත්මක කතාවක් වගේ පෙනුනත්, ඉතා ගැඹුරු අදහසක් තියෙන කතාවක්.

හෙරා


බොහොම කාලෙකට ඉස්සර මාලේ දූපතේ හිටියා "හෙරා" කියලා මනුස්සයෙක්. ඔහු කළු විසාල ශරීරයක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම "කොලොප්පම් කාරයෙක්" විදිහට නම් දරාපු අයෙක්.

දවසක් හෙරා මාලේ වරාය අසල ඉන්නකොට ඈත අතොළුවකින් ආපු බෝට්ටුවක් වරායට සේන්දු වුනා. හෙරා දන්නවා ඔවුන් නවාතැන්පොළක් හොයන බව​. ඔහු ඒ පැත්තට කිට්ටු කරා.

"ඔහෙලට අද නවතින්න තැනක් තියෙනවද​?"

"නෑ. ඔහේ දන්නවද හොඳ තැනක්?"

"මට පුළුවන් හොඳ ගෙයක් ඔහෙලට ලාබෙට හොයල දෙන්න​"

"කීයද ගාන​"

"ලාරි දෙකයි"

ලාරි දෙකක් කියන්නෙ ඉතාම සුළු මුදලක්. මේ හදිසියේ කඩාපාත් වුන නොසිතූ ලාබයෙන් උද්දාමයට පත් වුන මිනිස්සු  වැඩේට කැමති වුනා.

හෙරා ඔවුන් ව එක්කරගෙන ගියා මාලේ නගරයේ තිබ්බ ප්‍රසිද්ධ පල්ලියක් වුන "එතෙරෙකෝලු මිස්කි" යට​. ඔවුන්ට පල්ලිය පෙන්නපු හෙරා ලාරි දෙකක ගාස්තුවත් අරගෙන එතැනින් අතුරුදහන් වුනා.

ලාරි දෙකක් වගේ සුළු මුදලකට ඒ වගේ ඉස්තරම් නවාතැනක් හමුවීම ගැන උද්දාමයට පත් මිනිස්සු තමාගේ බඩු බාහිරාදිය අඩුක් කරගෙන බුලත් විටක් කමින් මහන්සි අරින්න පටන් ගත්තා.

මද්දහන වෙනකොට "මුදීමු" (පල්ලිය බලාගන්න නිලධාරියා) දහවල් "සුහුර්" යාඥාව සඳහා පල්ලිය අස් කරන්න ආවා. මිනිස්සු ටිකක් පල්ලියේ ඉන්නව දැකපු ඔහු බොහොම කෝප වෙලා ඔවුන්ව එතැනින් එලව ගත්තා.

මිනිස්සු හෙරා ඔවුන්ට කරපු වංචාව ගැන රදුන් ට පැමිණිලි කරා. රදුන් හෙරාව අත් අඩංගුවට ගන්න හේවා පන්නයක් පිටත් කරල ඇරියා. ඔවුන් හෙරා ව අල්ල ගත්තා.

"හෙරා මේ පාර නං උඹ අමාරුවෙ වැටුනා. අන්න මිනිස්සු වගයක් උඹ උන්ට වංචාවෙන් පල්ලියක් කුලියට දුන්න කියල රදුන් ට පැමිණිලි කරලා"

ඔවුන් හෙරා ට කිව්වා.

"නෑ. මම උන්ට වංචා කරේ නෑ. උන් තමයි මට වංචා කරන්න හැදුවෙ"

"මොන මගුලක් ද උඹ කියන්නෙ"

"මොළයක් තියෙන ඕන එකෙක් දන්නවා ලාරි දෙකකට ගෙයක් කුලියට ගන්න බැරි බව​. මුළු මාලදිවයිනේ ම ඉන්න හැම මනුස්සයම ඒ බව දන්නවා. ඉතින් ඒ බව දැන දැනත් උන් මට ලාරි දෙකක් දීලා ගෙදරක් කුලියට ගන්න හැදුව නෙ. ඒක වංචාවක් නෙවෙයි ද?"

හේවායෝ ටික තක්කු මුක්කු වෙද්දි හෙරා හෙමීට එතැනින් මාරු වුනා෴


- කතාව කිව්වේ ගා ගේ නයිමා (මාලේ දූපත​)

අටුවාව

1. ලාරි
දිවෙහි බසින් "ලාරි" කියන්නෙ "කාසි" නැත්තම් මුදල් කියන අර්ථය​. පැරණි මාලදිවයිනේ භාවිතා වුන මුදල් ඒකකය ලාරි. වර්තමාන මාලදිවයිනේ රුෆියා සහ ලාරි භාවිතා වෙනවා (ලාරි 100 = රුෆියා 1). පර්සියානු කාසියක් වන "ලැරින්" ඇසුරෙන් තමයි "ලාරි" හැදිල තියෙන්නෙ.


වර්තමාන ලාරි දෙකේ කාසියක්

Monday, December 18, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 7 (බර කුරුම්බා ගෙඩිය)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

බර කුරුම්බා ගෙඩිය


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක හිටියා අන්ධ මනුස්සයෙක්. ඔහු දවසක් හවස තමාගේ දූපතේ ඇවිදින්න ගියා. ඔහොම ඇවිදගෙන යනකොට එකපාරටම ඔහු තවත් මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුනා. ඒ මනුස්සයත් අන්ධයෙක්.

"තමුසෙ අන්ධයෙක් ද​?"

දෙවෙනියා පළවෙනියාගෙන් ඇහුවා.

"ඉතින් තමුසෙත් මාව දැක්කෙ නෑ නෙ? උඩ බලාගෙනද යන්නෙ?"

පළවෙනියා උත්තර දුන්නා.

"මම තමුසෙව දැක්කා. ඒත් මම මේ දූපතට ආගන්තුකයෙක්. තමුසෙල මෙහෙමද ආගන්තුකයන්ට සලකන්නෙ? මම මේ දූපත ගැන දන්නෙ නෑ. තමුසෙට තිබ්බ මම එනකොට අයින් වෙන්න​"

"අනේ මට සමාවෙනවා. මම ඇඳින්නෙ නෑ තමුසෙ මේ දූපතේ මිනිහෙක් නෙවෙයි කියලා. අපි දෙන්නා ඇවිදින්න යමු. මම තමුසෙට මේ දූපත පෙන්නන්නං"

"නියම අදහස​. එහෙනං යමු"

අන්ධයො දෙන්න දූපතේ "සිරි නරඹමින්" එකට ඇවිදගෙන ගියා. ඇවිදින ගමන් ඔවුන් කතා බහ කරා. සැරින් සැරේ එක අන්ධයෙක් අනෙකාගෙන් අහනවා

"අර බලනවකො අරක​. තමුසෙ ඒක දැක්කද​?"

"මොකද නැතුව​? මම දැක්කා"

ඔහොම ඇවිදගෙන යනකොට දූපත් වාසී අන්ධයා පොල් ගහක හැප්පුනා.

"ආ මෙන්න නියම පොල් ගහක්. තමුසෙ ඒක දැක්කද​?"

"මොකද නැතුව​? නියම පොල්ගහක් නේන්නං"

"අද උදේ මම පොල් ගස් ගොඩක නැග්ගා. දැන් මගේ කකුල් හම ගිහින්. තමුසෙ මේ ගහ නැගල අපි දෙන්නට බොන්න කුරුම්බා ගෙඩි දෙකක් කඩල දානවා. මම බිම ඉඳගෙන ඒව කපන්නං"

දූපත් වාසී අන්ධයා ගේ ඉල්ලීම අනුව ආගන්තුක අන්ධයා පොල් ගහ නගින්න පටන් ගත්තා. ටික වේලාවකින් බිම ඉන්න අන්ධයා මෙහෙම කියනවා.

"ඕක නෙවෙයි. අර එහා පැත්තෙ තියෙන ලා පාට වල්ල​. ඔය තමුසෙගෙ දකුණු පැත්තෙ තියෙන්නෙ. ඒක නං හොඳයි වගේ. තමුසෙ ඒක දැක්කද​?"

"මොකද නැතුව​? මම ඒක දැක්ක. ඒක හොඳයි තමා. මම ඒකෙන් ගෙඩි දෙකක් කඩන්නම්"

එකපාරටම බිම හිටපු අන්ධයාට ලොකු බර දෙයක් බිම වැටෙන සද්දෙ ඇහුනා.

"මොකද්ද ඕයි ඒ? ඒක නං කුරුම්බයක් වෙන්න බෑ."

"තමුසෙ හරි. ඒ කුරුම්බයක් නෙවෙයි. ඒ මම​"

පොල් ගහ මැරිච්ච ගහක්. ඒකෙ කරටියක් නෑ, කඳක් විතරයි෴



- කතාව කිව්වේ ගා ගේ අයිෂාත් නාස්නීන්

Saturday, December 16, 2017

දිවෙහි රාජ්ජේ ජන කතා - 6 (ෆූලු දිගු හන්ඩි)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


මේ කතාව දිවෙහි රාජ්ජේ ඉතාම ප්‍රසිද්ධ ජනකතාවක්.

ෆූලු දිගු හන්ඩි (බුරිය දිග යකින්න​)


එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ එක දූපතක කාන්තාවක් හිටියා "අයිමිනා බි" කියලා. දවසක් ගොම්මන් වෙලාවෙ අයිමිනා බි ළිඳට ගියා වතුර ගේන්න​. ළිඳ තිබ්බෙ පල්ලිය ළඟ තියෙන කනත්තට යාබදව​.

ළිඳෙන් කලේට වතුර පුරවගත්ත අයිමිනා බි ගෙදර යන්න ආපහු හැරුන විතරයි ඇය දැකපු දසුනෙන් ඇයගේ ඇඟේ ලේ වතුර වුනා. "ෆූලු දිගු හන්ඩි" අළුත් සොහොනක් ළඟ වාඩි වෙලා මිනිස් හිස් කබලකට සොහොනෙන් වැලි පුරවලා ඒවා හිස මත වක්කර ගනිමින් හිටියා.

(ෆූලු දිගු හන්ඩි කියන්නෙ දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන යකින්නක්. ඇගේ පෙකණිය ඉතාම දිගයි)

ෆූලු දිගු හන්ඩි ගේ හම අළු පාටයි. ඇඟ ඇට සැකිල්ලක් වගේ කෙට්ටුයි. කට පුරා උල් දත්. කෙස් වැටිය අවුල් වෙලා. ඇය නැවත නැවතත් හිස් කබලට සොහොනෙන් වැලි පුරවමින් ඒවා තමාගේ හිස මත වක්කර ගත්තා.

භීතියෙන් මුසපත් වුන අයිමිනා බි ගෙදර දුවගෙන ගිහින් දොර අගුළු දාගත්තා. අයිමිනා බි ගෙ සැමියා, තකුරුෆානු, වෙළඳාමේ ගිහින්. ගෙදර හිටියේ ඇය විතරයි. ඇය පහනක් පත්තු කරලා ඇඳේ ඇල වුනා. ඇයට අසනීප ගතියක් දැණුනා. බියෙන් සහ තද උණකින් ඇය වෙව්ලන්න පටන් ගත්තා.

රෑ මැදියම් වෙද්දි අයිමිනා බි ට ඇහුනා ගෙය වටේට කවුදෝ ඇවිදින සද්දය​. ඒ ෆූලු දිගු හන්ඩි. යකින්න ගෙදර බිත්ති පහුරු ගාමින් ගෙට ඇතුල් වෙන්න උත්සහ කරා. ඒත් ඇයට ඇතුල් වෙන්න තැනක් හොයා ගන්න බැරි වුනා.

"අයිමිනා බි, අයිමිනා බි, මම සොහොනේ වැලි හිස්කබලකින් මගේ ඔළුවට වක්කර ගන්නවා උඹ දැක්කා කියල උඹ මිනිස්සුන්ට කිව්වද​?"

ඇඟ හිරිවට්ටන සුළු ස්වරයකින් යකින්න අයිමිනා බි ගෙන් ඇහුවා.

"නෑ. මම කිව්වෙ උඹ රත්තරන් කුඩු ඇඟට දාගන්නවා දැක්ක කියලා"

අයිමිනා බි බියෙන් වෙව්ලමින් උත්තර දුන්නා.

"හොඳයි. හොඳයි. මම හෙට රෑත් ආපහු එනවා"




පහුවදාට එළි වුනා. අයිමිනා බි දූපතේ කාන්තාවන් සේරටම සිදු වුන දේ කිව්වා. එදා රෑ වෙද්දි මුළු දූපතම බියෙන් තැති ගෙන හිටියේ.

මැදියම වෙද්දි ෆූලු දිගු හන්ඩි ගෙදර වටේට ඇවිදින සද්දෙ අයිමිනා බි ට ඇහුනා.

"අයිමිනා බි, අයිමිනා බි, මම සොහොනේ වැලි හිස්කබලකින් මගේ ඔළුවට වක්කර ගන්නවා උඹ දැක්කා කියල උඹ මිනිස්සුන්ට කිව්වද​?"

"නෑ. මම කිව්වෙ උඹ රත්තරන් කුඩු ඇඟට දාගන්නවා දැක්ක කියලා"

"හොඳයි. හොඳයි. මම හෙට රෑත් ආපහු එනවා"

පහුවදා තකුරුෆානු ආපහු ආවා. ගෙදර ආව ඔහු දැක්කේ අයිමිනා බි බියෙන් හඬමින් ඇඳට වෙලා ඉන්න හැටි. ඇයට සහලෝලා උණ​.

සිද්ධ වුන දේ අහගත්තු තකුරුෆානු හොඳටම කෝප වුනා.

"බය වෙන්න එපා. අද රෑට යකින්න ආපු දෙන්. අපි අද රෑට මේ කරදරෙන් ගැලවෙමු"

තකුරුෆානු ඔවුන් ගේ අසල්වැසි කාන්තාවක් වුන මරියම්බු හමුවෙන්න ගියා.

"අද අයිමිනා බි අසනීපෙන්. ඇයට වැඩ කරන්න බෑ. මට ලොනුමිරුස් (ලුනුමිරිස්) ටිකක් අඹරල දෙන්න පුළුවන් ද​?"

අඳුර වැටෙද්දි මරියම්බු ඔල්හු අල (අලකොළ) කොළයක ඔතාගත්ත ලොකු ලොනුමිරුස් ගුලියකුත් අරගෙන අයිමිනා බි ගෙ ගෙදරට ආවා. තකුරුෆානු යකින්න ආවම බය නොවී යකින්න දැකපු බව මිනිස්සුන්ට කිව්වා කියල උත්තර දෙන්න කියලා අයිමිනා බි ට උපදෙස් දුන්නා.

තුන් දෙනාම මැදියම වෙනතුරු බලාගෙන හිටියා. මරියම්බු අතේ ලොනුමිරුස් ගුලිය​. තකුරුෆානු අතේ පිහියක්. අයිමිනා බි බයෙන් වෙව්ලනවා.

එකපාරටම ගෙදර බිත්ති හූරන සද්දයක් ඇහුනා. ෆූලු දිගු හන්ඩි ගෙය වටේ ඇවිදින සද්දය ඇහෙන්න ගත්තා.

"අයිමිනා බි, අයිමිනා බි, මම සොහොනේ වැලි හිස්කබලකින් මගේ ඔළුවට වක්කර ගන්නවා උඹ දැක්කා කියල උඹ මිනිස්සුන්ට කිව්වද​?"

"ඔව්. උඹ ඇඟට වැලි දාගන්නවා දැක්ක කියල මම හැමෝටම කිව්වා"

යකින්න බියකරු හඬකින් විලාප දුන්නා.

"අයිමිනා බි, අයිමිනා බි, උඹ මොකද්ද කිව්වේ? මම උඹට අමතක නොවෙන පාඩමක් උගන්වන්නං"

ෆූලු දිගු හන්ඩි තමාගේ දිග පෙකණිය බිත්තියේ පොල් අතු දෙකක් මැදින් ගෙට ඇතුල් කරා. පෙකණිය ගෙට ඇතුල් වෙලා සර්පයෙක් වගේ ඒ මේ අත හැරෙමින් ගේ පුරා ඇදෙන හැටි අයිමිනා බි, තකුරුෆානු සහ මරියම්බු භීතියෙන් මුසපත් වෙලා බලාගෙන හිටියා.

දහිරිය වඩා ගත්තු තකුරුෆානු බිත්තියට ළං වෙලා එකපාරටම තමාගෙ පිහියෙන් පෙකණිය කපල දැම්මා. ඊට පස්සෙ ලොනුමිරුස් ගුලිය තුවාලයේ ඇතිල්ලුවා.

ෆූලු දිගු හන්ඩි වේදනාවෙන් හූ කියමින් ගේ වටේට දුවන හැටි ඔවුන්ට ඇහුනා. ටික වේලාවකින් යකින්න ගේ හූ හඬ ක්‍රමයෙන් ගෙදරින් ඈතට ගියා. තවත් ටිකකින් ඔවුන්ට ඇහුනේ නිසල රාත්‍රියේ නිහඬ බව විතරයි. ඔවුන් තුන් දෙනා සෑහෙන වෙලාවක් තිස්සේ ඇහුම්කන් දීගෙන හිටියත් ආයෙමත් කිසිවක් ඇහුනේ නෑ.

ඊට පස්සෙ ඒ දූපතේ කිසි කෙනෙක් ආයෙමත් ෆූලු දිගු හන්ඩි ව දැක්කේ නෑ෴


- කතාව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත​)

අටුවාව​

1. ෆූලු දිගු හන්ඩි

ෆූලු දිගු හන්ඩි කියන්නේ දිවෙහි රාජ්ජේ ජන කතා වල එන යකින්නක්. ඇගේ පෙකණිය ඉතාම දිගයි. සාමාන්‍යයෙන් ඇයව නිරූපනය කරන්නේ කළු හෝ අළු පාට හමක් තියෙන​, ඇට සැකිල්ලක් වගේ සිහින් ඇඟක් තියෙන​, අවුල් වුන දිග කෙස් වැටියක් සහ උල් දත් තියෙන යකින්නක් විදිහට​. දරු උපතකදී මිය ගිය කාන්තාවන් ඇසුරෙන් ෆූලු දිගු හන්ඩි ව නිර්මානය කරල තියෙනව කියල හිතන්න පුළුවන්.

දිවෙහි බසින් "ෆූලු" කියන්නෙ පෙකණිය​. "දිගු" කියන්නෙ දිග​. "හන්ඩි" කියන්නෙ යකින්න​. ඒ අනුව ෆූලු දිගු හන්ඩි ගේ නම "බුරිය දිග යකින්න​" කියලා පරිවර්තනය කරන්න පුළුවන්.

2. ලොනුමිරුස්

ලොනුමිරුස් කියන්නෙ අපේ ලුනුමිරිස් වලට ඉතාම සමාන කෑමක්. ලොනුමිරුස් හදන්නෙ බැදපු මිරිස්, ගම්මිරිස්, ළූනු, සුදු ළූනු සහ ලුණු එකට අඹරා ගැනීමෙන්. අපේ ලුනුමිරිසට වඩා ලොනුමිරුස් වලට ළූනු දාන්නෙ අඩුවෙන්.




3. ඔල්හු අල​

අලකොළ​. හබරල​, කිරිඅල වගේ අල වර්ග කීපයක් ම මාලදිවයිනේ හැදෙනවා. මේ අල වර්ග දිවෙහි රාජ්ජෙ වැසියන් ගේ ප්‍රධාන ආහාරයක්. විශේෂයෙන් ෆුවාමුලා, අඩ්ඩු වගේ දකුණු දිග දූපත් වල මේ අල වර්ග බහුලව වගා කරනවා.

Thursday, December 14, 2017

දිවෙහි රාජ්ජේ ජන කතා - 5 (ලේ බිඳිති)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ලේ බිඳිති

එක හවස් වරුවක අරි අතොළුවේ නැගෙනහිර පැත්තේ දූපතක වාසය කළ මනුස්සයෙක් මාළු අල්ලන්න ගිහින් ආපහු ගෙදර ආවා. ඔහු බොහොම කඩවසම්, ධනවත් තරුණයෙක්. ඔහු ගෙදර ආව ගමන් කළේ දොරවල් ඔක්කොම වහල අගුළු දාන්න කියලා තමාගේ බිරිඳට කියපු එක​. ඔහුගේ බිරිඳ​, කම්බුලෝ, මේ කතාවෙන් පුදුමයට පත් වුනා. දිවෙහි රාජ්ජේ සිරිත් අනුව ගෙදර දොරවල් අගුළු දාන්නේ නිදා ගද්දි විතරයි. අනෙක් හැම වෙලාවෙම අමුත්තන් පිළිගැනීමේ සූදානමෙන් ගෙදර දොරවල් ඇරලයි තියෙන්නෙ.

සාමාන්‍යයෙන් නිර්භීත මනුස්සයෙක් වුන තමාගේ සැමියා බියෙන් තැතිගෙන වෙව්ලන බව දැකපු කම්බුලෝ තිගැස්සුනා.

"මොකද වුනේ" ඇය සැමියාගෙන් ඇහුවා.

"අපි ඈත මුහුදේ මාළු අල්ලමින් හිටියා. තවත් මස්දෝනියක් (ධීවර බෝට්ටුවක්) අපේ මස්දෝනිය අසලින් ගියා. ඒ බෝට්ටුවේ හිටියා මම අඳුනන මනුස්සයෙක්. ඔහු මගේ නම කියලා මට කතා කළා"

දිවෙහි රාජ්ජේ වැසියන් ගේ පිළිගැනීම අනුව භූතාත්මයක් ට කෙනෙක් ගේ නම දැනගත්තොත්  ඔහුට හෝ ඇයට පහසුවෙන් හානි කරන්න පුළුවන්.

"අපි ඒ වෙලාවේ යාත්‍රා කරමින් හිටියේ ඉතා ගැඹුරු අඳුරු මුහුදක. ඒ මුහුදේ නපුරු භූතාත්ම ඕනෑ තරම් සැරිසරන්න ඇති"

කම්බුලෝ බියපත් වුනත් ඇය ඒ බව සැමියාට පෙන්නුවේ නෑ. ඇය ඔහු කැමතිම කෑම පිළියෙල කරලා ඔහුව සනසන්න උත්සහ කළා.

රාත්‍රිය උදා වුනා. කම්බුලෝ ගේ සැමියා බියෙන් වෙව්ලමින් පසු වුනා. ගෙදරින් එළියේ ඇහෙන ඉතාමත් කුඩා ශබ්ධයකින් පවා ඔහු තැති ගත්තා. මූත්‍රා කරන්න වත් ගෙදරින් එළියට යන්න ඔහු කැමති වුනේ නෑ. කම්බුලෝ ඔහුට එළිබහින්න ලොකු මුට්ටියක් ගෙනත් දීලා ඔහු ළඟින්ම ඉඳගෙන ඔහුව සනසන්න උත්සහ කළා. ඒත් එළිවන තුරු ඔහුට නින්දක් ලැබුනේ නෑ.

පහුවදා උදේ ඔහු මුහුදු ගියේ නෑ. ඒ වෙනුවට ගෙදර දොරවල් අගුළු ලාගෙන ගේ ඇතුලෙම හිටියා. කම්බුලෝ දූපතේ ෆන්ඩිත (යකැදුරා) කැඳවාගෙන ආවා. ෆන්ඩිත කම්බුලෝ ගේ සැමියාට සහ ඔවුන් ගේ නිවෙසට ආරක්‍ෂාවක් කළා.

දින තුනක් මේ විදිහට ගත වුනා. කම්බුලෝ ගේ සැමියා ගෙදරින් එළියට වත් බැස්සේ නෑ. දූපතේ මිනිස්සු ඔහුට පිස්සු හැදිලා කියල තැන තැන කතා වෙන්න පටන් ගත්තා. ඒත් කම්බුලෝ ඒක විශ්වාස කළේ නෑ. ඇය හැම විටම සැමියා සනසන්න උත්සහ කරමින් ඔහු ළඟින්ම උන්නා.

පස් වෙනි දවසේ ඔහුගේ තත්වය ටිකක් යහපත් අතට හැරුනා. එදා තමයි ඔහුගේ පියා මිය ගිහින් අවුරුද්දක් සම්පූර්න වෙන දවස​. කෙනෙක් ගේ මරණ සංවත්සරයක් වෙනුවෙන් ෆතිහා කියවීම (කුරාන පාඨ කියවීමේ උත්සවයක්) පැවැත්වීම දිවෙහි රාජ්ජේ සිරිතක්.

"අද ෆතිහා කියවීම වෙනුවෙන් අපි ඔයාලගෙ මහ ගෙදර යන්න ඕනෙ"

කම්බුලෝ සැමියාට කිව්වා. ඒත් ඔහු ගෙදරින් එළියට යන්න බය වුනා.

"අද රෑ උත්සවය වෙනුවෙන් ගෙදර වැඩ ගොඩක් තියෙයි. අමුත්තන් වෙනුවෙන් ගොඩක් කෑම උයන්නත් වෙයි. ඒ නිසා මම යන්නම ඕනේ. මම ගියේ නැත්තම් ඔයාගේ නෑයෝ මම ගැන ආඩපාලි කියාවි"

සැමියාගේ මුහුණේ තිබ්බ බය කම්බුලෝ දැක්කා.

"බය වෙන්න එපා. දැන් දවස් පහක් ම ගත වුනත් මොකුත් වුනේ නෑ නොවැ"

කම්බුලෝ දොර ඇරලා එළියට බැස්සා. හොඳින් ඉර පායලා අව්ව වැටිලා තිබ්බත් සැමියා කම්බුලෝ එළියට ගිය සැනෙන් දොර වහලා අගුළු දාගත්තා. දොරට හේත්තු වුන ඔහු ගැහෙන හදවතින් යුක්තව ක්‍රමයෙන් ඈත් වෙන කම්බුලෝ ගේ පියවර හඬ අහගෙන හිටියා.

කම්බුලෝ උත්සවයට සහබාගී වුනා. ඇයට ගොඩාක් වැඩ​. උයන්න​, වළං පිඟන් හෝදන්න​, අමුත්තන් පිළිගන්න​. ඇයගේ සැමියා ගැන ගොඩක් දෙනා ඇහුවා. ඇය කිව්වේ ඔහු අසනීපයෙන් ඉන්න නිසා එන්න බැරිවුන බව පමණයි.

රාත්‍රිය ගෙවී යන කොට උත්සවය අවසන් වෙලා අමුත්තෝ එකා දෙන්නා බුලත් විට හපමින් යන්න පිටත් වුනා. අමුත්තන් සියළුම දෙනා ගියාට පස්සේ කාන්තාවෝ ගෙදර අස් පස් කරා.

වැඩ ඔක්කොම ඉවර වෙද්දි මැදියමට ළං වෙලා. කම්බුලෝ ට හොඳටම මහන්සියි. ඒත් ඇය සැමියා බලන්න යන්නම ඕනෙ නිසා ඔහු වෙනුවෙන් කෙසෙල් කොලයක ඔතා ගත්ත ඉස්තරම් කෑම පාර්සලයකුත් අරගෙන අඳුරු පාරවල් ඔස්සේ හනි හනික ගෙදර බලා පිටත් වුනා.

කම්බුලෝ ගෙදර එනකොට ගෙදර දොර "හායි ගාලා" ඇරල දාල තිබ්බා. ගේ ඇතුලෙ පහන නිවිලා. මුළු ගෙදරම අඳුරෙන් පිරිලා. ඇය සැමියාට කතා කරා. ඒත් කිසි උත්තරයක් ලැබුනේ නෑ. ඇය ගෙට ඇතුල් වෙලා පහන පත්තු කරා. ගේ ඇතුලේ කවුරුත් නෑ. ඇය බියෙන් ගැහෙමින් ඇඳ පරික්‍ෂා කරා.

ඇඳ උඩ තිබ්බේ ලොකු ලේ පැල්ලමක් විතරයි.

කම්බුලෝ බිම හොඳට පරික්‍ෂා කරලා බැලුවා. ලේ බිඳිති ඇඳේ ඉඳලා දොර දක්වා වැටිලා තියෙනවා ඇය දැක්කා. ඇය පහනේ ආලෝකයෙන් ලේ පාර දිගේ ගියා. ලේ පාර ගෙදරින් එළියට ඇවිත් මුහුද දිහාවට දිවෙනවා ඇය දැක්කා. ඇය දිගටම ලේ පාර දිගේ ඇවිදගෙන ගියා.

ලේ පාර මුහුදු වෙරළ ළඟටම තිබ්බා. ඇය වෙරළට ආවා. පාළු රාත්‍රියේ ශබ්ධයකට ඇහුනේ මුහුදේ රළ බිඳෙන හඬ විතරයි. මුහුදු රළ ඇගේ දෙපා ළඟටම ආවා. එකපාරටම ආපු හුළං රළකින් ඇගේ පහන නිවිලා ගියා. තරු එළියෙන් ඇයට පෙනුනේ අඳුරු වළාකුලෙන් වැහුනු ක්‍ෂිතිජය විතරයි.

කම්බුලෝ සැමියාට කෑගහලා කතා කරා. ඇයට පිළිතුරු වශයෙන් ලැබුනේ කොරල් පරයේ හැපිලා බිඳෙන රළ වල දුක්මුසු හඬ විතරයි.

උණුසුම් කඳුළු වැල් ගංගාවක් වගේ ඇගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා෴



- කතාව කිව්වේ මුහම්මදු නූරි (ෆුවා මුලාකු දූපත​)

අටුවාව​

1. නම​

දිවෙහි රාජ්ජේ වැසියන් ගේ පිළිගැනීම අනුව භූතාත්මයක් ට කෙනෙක් ගේ නම දැනගත්තොත්  ඔහුට හෝ ඇයට පහසුවෙන් හානි කරන්න පුළුවන්. මේ නිසා කෙනෙක් ගේ නියම නමින් ඔහුට කතා කෙරුනේ ඉතාම කලාතුරකින්. ඒ වෙනුවට කොක්කො, තුත්තු, තුත්තා, දොම්බේ, බේබේ වගේ සුරතල් නාම තමයි කෙනෙක් අමතන්න භාවිතා වුනේ. මේ සිරිත අදත් දකින්න පුළුවන්.

2. මස්දෝනි

මසුන් මරන්න යන මුහුදු ගමන් වලට පාවිච්චි කරන ධීවර බෝට්ටු. දිවෙහි මසින් "මස්" කියන්නෙ මාළු. "දෝනි" කියන්නෙ බෝට්ටුව​. මස්දෝනියක් මසුන් මරන්න පාවිච්චි කරන විවෘත තට්ටුවකින් සහ නිදාගන්න පාවිච්චි කරන වහලයකින් ආවරණය වුන කොටසකින් යුක්තයි. වර්තමාන මස්දෝනි මෝටර් වලින් ක්‍රියාත්මක වුනත්, පැරණි මස්දෝනි පණගැන්වුනේ රුවල් වලින්

3. ෆතිහා කියවීම​

කෙනෙකුගේ මරණයක සංවත්සරයක් වෙනුවෙන් (අවුරුද්දක්, අවුරුදු තුනක් වැනි) ගෙදරට නෑදෑ හිත මිතුරන් රැස් කරලා ඔවුන්ට ආහාරා පාන වලින් සංග්‍රහ කරලා කුරානයේ පාඨ හඬ නගා කියැවීමේ සිරිතක් දිවෙහි රාජ්ජේ තියෙනවා. මේ උත්සව වලදී කියවන්නේ කුරානයේ පළවෙනි පරිච්ඡේදය වන අල්-ෆතිහා පරිච්ඡේදය නිසා මේ උත්සවය හැඳින්වෙන්නේ ෆතිහා කියවීම කියලා. මේ උත්සවය දූපත් වාසීන් ගේ වැදගත්ම සංස්කෘතික උත්සවයක්. මේක අපේ දානෙ ගෙදරකට ඉතා සමානයි.

4. බුලත් විට​

ඕනෑම කෑම වේලකින් පස්සෙ බුලත් විටක් කෑම දිවෙහි රාජ්ජේ වැසියන් ගේ සිරිතක්. දිවෙහි බසින් බුලත් වලට කියන්නේ "බිලේ". පුවක් වලට කියන්නේ "ෆුවා". අදටත් මාලදිවයිනේ ඕනෑම අවන්හලකින් කෑම වේලක් ගත්තම බුලත් විටක් නොමිලේ ලැබෙනවා. දිවෙහි රාජ්ජේ බුලත් විට සමන්විත වෙන්නේ බුලත්, පුවක්, හුණු, කරාබු නැටි සහ "හීර පන්නා" නමින් හැඳින්වෙන රසකාරල කුඩු වර්ගයකින්.

Sunday, December 3, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 4 (ගස යට තිබූ හිස් කබල​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ගස යට තිබූ හිස් කබල


එකෝමත් එක කාලෙක මාදිවයිනේ උතුරට වෙන්න තිබ්බ දූපතක ඊබ්‍රහිමු කියල ඉතාම දුප්පත් මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු කොයිතරම් දුප්පත් ද කිව්වොත් ඔහු බඩගින්නක් ආවම කෑමක් හොයා ගත්තෙ එහෙ මෙහෙ ඇවිදලා.

දවසක් ඔහුට ගමේ කොතනින් වත් කෑම ටිකක් හොයා ගන්න බැරි වුනා. ඔහුට බඩගින්න ඉවස ගන්න බෑ. ඔහු ඇවිදගෙන ආවා ගම කෙලවර තියෙන මිදිලි (කොට්ටම්බා) ගහ යටට​. ගහේ ගෙඩි තිබ්බෙ නෑ.

බලාපොරොත්තු සුන් වුන ඔහු කෑමක් හොයා ගන්න අරමුනෙන් කැලයට ඇතුල් වුනා. කැලයේ ඇතුලටම ගමන් කළ ඔහුට ලොකු ගහක් යට සුදු පාටින් බබලන මොකද්දෝ දෙයක් දකින්න ලැබුනා. බයෙන් බයෙන් ගහ යටට ආව ඔහු සුදු පාට දේ දිහා හොඳට බැලුවා. ඒ ඉර එළියට පිච්චිලා සුදු පාට වුන මිනිස් හිස් කබලක්.

ඔහු ළං වෙද්දිම හදිසියේ ඇහුන කටහඬකින් ඔහු තිගැස්සුනා.

"ළඟට එන්න​"

ඒ කතා කලේ හිස් කබල​.

ඊබ්‍රහිමු බයෙන් තැති ගත්තා.

"ඔබ කතාකරනවා? මට පුදුමයි"

"ළඟට එන්න මිත්‍රයා. මම ඔබට හානියක් කරන්නේ නෑ. මම මෙතැන දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නවා. මට කවදාවත් කවුරුවත් හමු වෙලා නෑ. මට හරි කාන්සියි. කියන්න​, ඔබ කොහෙද මේ යන්නේ?"

"මම දුප්පත් මිනිහෙක්. මම මේ කන්න යමක් හොයනවා. මේ දූපතේ කෑම හරි හිඟයි"

"අහා ඔබට බඩගිනියි ද​? බය වෙන්න එපා. මේ ගහ පිටිපස්සෙ තියෙන කරා (කොමඩු) වැලෙන් කොමඩු කඩාගෙන කන්න​"

"මේ කැලේ මැද කොමඩු වැලක්?" ඊබ්‍රහිමු පුදුමයෙන් හිතුවා. ඒත් හිස් කබල කිව්ව වගේම ගහ පිටිපස්සේ විශාල ලස්සන කොමඩු ගෙඩි පිරිච්ච කදිම කොමඩු වැලක් තිබ්බා.

"ඔබට ඇති තරම් කන්න. හැබැයි ඔබ හැමදාම ඇවිත් මාත් එකක් කතා කරන්න ඕනෙ"

කොමඩු ගෙඩි කදිමයි. ඊබ්‍රහිමු බඩ පිරෙන්නම කෑවා. ඔහු යන්න ලෑස්ති වෙද්දි හිස් කබල නැවතත් ඔහුට මතක් කරා.

"ඔබ කාපු කොමඩු  ගැන හෝ මේ ගහ යට ඉන්නෙ කවුද කියල හෝ කාටවත් කියන්න එපා. මතක තියාගන්න​. අපි දැන් යාළුවෝ"

"මම ඒක මතක තියා ගන්නම්"

ඊළඟට එලඹුනේ ඊබ්‍රහිමුට ඉතාම සතුටු දායක කාලයක්. ඔහු හැමදාම කැලයට ගිහින් හිස් කබල එක්ක කතා කරල බඩ පිරෙන්නම කොමඩු කෑවා. හැමදාම ඊබ්‍රහිමු යද්දි හිස් කබල තමා ගැන හෝ කොමඩු ගැන කිසි කෙනෙක්ට කියන්න එපා කියල මතක් කරා.

එක දවසක් ඊබ්‍රහිමු හිස් කබලෙන් මෙහෙම ඇහුවා.

"මම දැන් ගොඩක් දවසක් තිස්සේ මෙතැනට ඇවිත් ඔබත් එක්ක කතා කරනවා. ඔබ මට කියන්න ඕනෙ ඔබ කවුද කියල සහ ඔබට මෙහෙම වුනේ ඇයි කියලා"

"අහා. ගොඩක් ඉස්සර මම ධනවත් වැදගත් මිනිහෙක්. ඒත් මගේ කට මාව මැරුවා"

"ඔබේ කට කොහොමද ඔබව මරන්නේ?"

"ඒක එහෙම තමයි සිද්ධ වුනේ. ඒ ගැන ආයෙ මගෙන් අහන්න එපා" හිස් කබල අකැමැත්තෙන් කිව්වා.

ඊබ්‍රහිමු එදා පිටත් වුනේ අතෘප්තියෙන්.තවත් දවස් ගණනාවක් ගත වුනා. හිස් කබල දවසක් ඊබ්‍රහිමු ට මෙහෙම කිව්වා.

"දැන් අපි දෙන්නා හොඳ යාළුවෝ. ඔබ දැන් ඉස්සරට වඩා හොඳින් කාල බීලා ඉන්න බව බැලූ බැල්මට පේනවා. මිනිස්සු ඔබෙන් ඒ කොහොමද කියල අහන්න පුළුවන්. ඔව හැමදාම කැලේට එනවා මිනිස්සු දැකල ඇති. මිනිස්සු ඒ ගැනත් අහන්න පුළුවන්. කවුරු මොනවා ඇහුවත් මම ගැනවත් කොමඩු ගැනවත් කිසි දෙයක් නොකියන්න ඔබ පොරොන්දු වෙන්න ඕනෙ"

"මම කාටවත් කිසි දෙයක් කියන්නෙ නෑ" ඊබ්‍රහිමු පොරොන්දු වුනා.

මේ විදිහට කාලය ගත වෙලා ගියා.

දවසක් මද්දහනේ තමාගේ ගෙදරට වෙලා මුහුදෙ සද්දෙට ඇහුම් කන් දීගෙන හිටපු ඊබ්‍රහිමු හිස් කබල තමාට කිව්ව කතාව ගැන කල්පනා කරන්න පටන් ගත්තා.

"මොන තරම් පුදුමයක් ද​? ඔහු කිව්වේ ඔහුගේ කට ඔහුව මැරුවා කියල​. මම මේ ගැන රදුන් (රජතුමා) ට කියන්න ඕනෙ. තමාගේ රටේ මේ වගේ පුදුම දේවල් වෙනව කියල දැනගන්න එතුමා ගොඩක් ආස වෙයි. එතුමා හරි ත්‍යාගශීලියෙක්. මට ලොකු තෑග්ගක් දෙන්නත් බැරි නෑ"

දවසක් ඔහු මාලදිවයිනේ අගනුවර වුන මාලේ දූපත බලා යන බෝට්ටූවක නැගලා රදුන් හමුවෙන්න ගියා. සම්පූර්න කතාවම එතුමාට කිව්වා.

රදුන් පුදුමයෙන් පුදුමයට පත් වුනා.

"මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ද​?" රදුන් තමාගේ ඇමතිවරුන් ගෙන් ඇහුවා.

ඇමතිවරු ඊබ්‍රහිමු ව විශ්වාස කරේ නෑ.

"මේ පිස්සෙක් ගේ පිස්සු කතා වලට ඔබ වහන්සේ කන් දෙන්න එපා"

රදුන් ඊබ්‍රහිමු ගෙන් මෙහෙම ඇහුවා.

"හොඳයි. ඔබේ දූපතේ කැලේ ගහක් යට කතා කරන හිස් කබලක් තියෙනව කියලත්, ඒ ගහ පිටිපස්සෙ හැමදාම කොමඩු ගෙඩි හටගන්න කොමඩු වැලක් තියෙනව කියලත් දිවුරන්න ඔබට පුළුවන් ද​?"

"ඔව්. මම සෑහෙන දවසක් තිස්සේ එතැනට යනවා. මම හැමදාම ඉතාම රසවත් කොමඩු කනවා. ඒ හිස් කබල කියන විදිහට ඔහුව මරලා තියෙන්නේ ඔහුගේම කට​. මේ හැම දෙයක්ම ඇත්ත රජතුමනී"

රදුන් ගේ මුහුණ බැරෑරුම් ස්වරූපයක් ගත්තා.

"උඹ මාව රවට්ටන්න හදනවා නෙවෙයි නේද​?"

"ඔබ වහන්සේ රැවටෙන්නෙ නෑ" ඊබ්‍රහිමු හිනාවෙලා කිව්වා.

රදුන් තමාගේ ඇමතිවරුනුත් එක්ක රාජකීය නැවේ නැගලා ඊබ්‍රහිමු ගේ දූපත බලා යාත්‍රා කලා. ඔවුන් ගොඩ බැස්සට පස්සෙ ඊබ්‍රහිමු රදුන් සහ පිරිවර කැඳවාගෙන හිස් කබල තිබ්බ තැනට ගියා.

ඒත් එතන තිබ්බෙ ලොකු ගහක් විතරයි. කතා කරන හිස් කබලක් වත් කොමඩු වැලක් වත් පේන්න තිබ්බෙ නෑ.

ඔවුන් හැම තැනම හෙව්වා. ඒත් කාටවත් කිසි දෙයක් හමුවුනේ නෑ.

ඇමතිවරු ඊබ්‍රහිමු දිහා කෝපයෙන් බැලුවා.

"උඹ බොරු කාරයා"

ඊබ්‍රහිමු භීතියෙන් ගල් ගැහිලා ඔවුන් දිහා බලාගෙන හිටියා.

රදුන් ගේ මුහුණ කෝපයෙන් දැඩි වුනා.

"ඇයි උඹ මට බොරු කිව්වේ? තමාගේ රදුන්ට බොරු කියන්න තරම් නිර්භීත වෙන කෙනෙක්ට මොකද වෙන්නෙ කියල උඹට දැන් දැනගන්න ලැබෙයි"

ඊබ්‍රහිමු හඬා වැලපෙමින් තමා බොරු නොකිව්ව බව දිවුරන්න පටන් ගත්තා.

"මොහුට අනුකම්පා කරන්න එපා රජතුමනී. අපි හැමෝටම පැහැදිලියි මේ මිනිහා කිසිම බයක් හැකක් නැතුව බොරු කිව්වා කියල​. ඒත් මූ තාමත් ඒ බව පිළිගන්න ලෑස්ති නෑ. මූ තාමත් හිතන්නෙ අපිව රවට්ටන්න පුළුවන් කියලා."

ඇමතිවරු නොඉවසිල්ලෙන් රදුන්ට කියා හිටියා.

රදුන් ගේ මුහුනේ කිසිම අනුකම්පාවක් ඇති වුනේ නෑ. ඊබ්‍රහිමු ව ගහට තියල ගැට ගහන්න ඔහු තමාගේ සෙබළුන්ට අණ කරා. ඊට පස්සෙ රදුන් සහ පිරිවර ගමට ඇවිත් සියළු දෙනාම කැඳවලා ඊබ්‍රහිමු ට උදව් කරන එක රාජ අණ කැඩීමක් බවත්, කවුරු හරි රාජ අණ කැඩුවොත් ඔහුටත් ඊබ්‍රහිමුට අත් වුන ඉරණම ම අත්වන බවත් ප්‍රකාශ කලා.

ගහේ ගැට ගහල කැලේ මැද තනි වුන ඊබ්‍රහිමු හඬා වැලපුනා. හදිසියේම ඔහුට වියරු හිනාවක් ඇහුනා. වටපිට බලද්දි ඔහු දැක්කා ගහ යට හිස් කබල තියෙන හැටි.

"මගේ කට මාව මැරුවා. උඹේ කට උඹව මැරුවා"

"උඹ කොහෙද ගිහින් හිටියේ? මාව බේර ගනින්"

"නෑ. නෑ. උඹ කිසි විශ්වාසයක් තියන්න බැරි මෝඩයෙක්. මම උඹේ යාළුවා. මම උඹට හැමදාම කොමඩු කන්න දුන්නා. ඒත් උඹ මට වුන පොරොන්දුව කඩ කලා. උඹත් එක්ක කතා කරන්නවත් වටින්නෙ නෑ. අපි පොරොන්දුවකින් බැඳිලා හිටියේ. උඹ ඒක කැඩුවා. උඹට ඔය දඬුවම සුදුසුයි"

ආපහු වියරු හඬින් හිනා වුන හිස් කබල අතුරුදහන් වුනා.



- කතාව කිව්වේ ගා ගේ අයිෂාත් නස්නීන් (මාලේ දූපත​)

අටුවාව​

1. මිදිලි
කොට්ටම්බා. මාලදිවයිනේ ලුණු මිශ්‍ර වැලි පොළවේ වැවෙන්නේ ගස් වර්ග කීපයක් විතරයි. කොට්ටම්බා ඉන් එකක්. කොට්ටම්බා ගෙඩි වලට දිවෙහි බසින් කියන්නෙ "කනමදු".

2. කරා
කොමඩු. මාලදිවයිනේ වැවෙන පළතුරු අතලොස්සෙන් එකක් කරා හෙවත් කොමඩු. මාලදිවයිනේ උෂ්ණාධික දේශගුණයට කොමඩු කියන්නෙ කදිමට ගැලපෙන පළතුරක්.

3. රදුන්
රජතුමා. මාලදිවයිනේ පාලකයා දිවෙහි බසින් හැඳින්වුනේ "රදුන්" කියලා. මාලදිවයිනේ පාලකයන් ඉස්ලාමය වැළඳගත්තට පස්සෙ ඔවුන් "සුල්තාන්" කියන පදවිය භාවිතා කලා. ඒත් සාම්ප්‍රදායික දිවෙහි ක්‍රමයටත් තමාව හඳුන්වා ගත්තා.

උදාහරණයකට 1306 ඉඳලා 1341 වෙනකං මාලදිවයින පාලනය කළ පාලකයා ඉස්ලාමීය ක්‍රමයට "සුල්තාන් අබ්දුල් ෆාත් ජලාලුදීන් ඔස්මාර්" ලෙසත් දිවෙහි ක්‍රමයට "වීරු සිරි ලෝකාභරන මහා රදුන්" ලෙසත් හැඳින්වුනා.

Friday, December 1, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 3 (ෆියලා බොලා ඔඩි දුව්වි)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ෆියලා බොලා ඔඩි දුව්වි (ෆියලා ගේ හිස දෙසට ගමන් කරනු!)


බොහොම කාලෙකට ඉස්සර අරි අතොළුවේ (atoll) ෆෙරිදූ දූපතේ හිටියා බොදු නියාමි තකුරුෆානු කියලා ඉතාමත් දක්‍ෂ නියමුවෙක් (navigator).

දවසක් බොදු නියාමි තකුරුෆානු නාවික පිරිසක් එක්ක වෙළඳ සංචාරයක් ගියා. ඔවුන් ගියේ ලොකු නැවකින්. ගමනේ තුන්වෙනි දවසේදී මහ කුඹගහ උඩ නැගලා මග සලකුණු බලන තකුරුෆානු දැක්කා ලොකු ෆියලා මාළුවෙක්. ඔහු කෑගහලා නැවියන්ට ඒ බව දැණුම් දුන්නා. නැවියෝ මාළුවා අල්ලගත්තා. ඌ ඉතාම විශාල​, ලස්සන මාළුවෙක්. නැවියෝ මාළුවා උයල කෑමට සූදානම් වුනා. තකුරුෆානු කුඹගහ උඩ ඉඳගෙනම කිව්වා මාළුවගේ ඔළුව ඔහු වෙනුවෙන් ඉතිරි කරන්න කියලා.

පැයක් හමාරක් ගතවුනා. තකුරුෆානුට හොඳටම බඩගිනියි. ඔහු තමාගේ උපකරණ ටිකත් අරගෙන කුඹ ගහෙන් බැස්සේ මාළු ඔළුව කන්න හිතාගෙන​. ඒත් බැහැල ඇවිත් බලද්දි කවුදෝ මාළුවගෙ ඔළුව කාලා. ඔළුව කාපු නාවිකයා ඔළු කට්ට මුහුදට විසි කරලා. කටුවක් වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.

තකුරුෆානු කේන්තියෙන් වියරු වැටුනා. මුළු මාලදිවයිනේම ප්‍රසිද්ධ නියමුවෙක් වන තමාගේ ඉල්ලීම පැහැර හැරලා. ඔහුට අපහාස කරලා. ඒ මදිවට ඔහුට හොඳටම බඩගිනියි. කෝප වුන තකුරුෆානු තව දුරටත් නැවට මග පෙන්වීම ප්‍රතික්‍ෂේප කළා. නැවේ කප්පිත්තා ඔහුගෙන් මග ඇහුවම තකුරුෆානු දුන්නේ එකම උත්තරයක්.

"ෆියලා ගේ ඔළුව දිහාට පදවපන්!"



මග පෙන්වන්නෙක් නැතිව නැව ඔහේ ඉබාගාතේ ගියා. දවස් අසූ අටක් මේ විදිහට ඉබාගාතේ ගිය නැවියෝ අසූ අටවෙනි දවසෙදි ලොකු "එන්දෙරි" (කළු කොරල්) ගහක් දැක්කා.  මේක දැකපු නාවිකයෝ භීතියෙන් පිස්සු වැටුනා. ඒ තිබ්බෙ "දගස්" හෙවත් ලෝකාන්තයේ තියෙන ගහ​. එතැනින් තමයි ලෝකය කෙලවර වෙන්නේ. ගහට ඔබ්බෙන් තියෙන්නෙ දැවැන්ත ප්‍රපාතයක්. මුහුද ප්‍රපාතයෙන් පහළට වැටෙනවා. එතැන මුහුද ඉතාම රළුයි. නැව වේගයෙන් ප්‍රපාතය දිහාට ඇදිලා ගියා. නාවිකයෝ ලොකු ලණුවක් අරගෙන නැව ප්‍රපාතයෙන් වැටෙන්න කලින් එන්දෙරි ගහේ ගැට ගැහුවා.

භීතියෙන් මුසපත් වුන නැවියෝ තකුරුෆානු ඉදිරියේ දණින් වැටිලා ඔහුගෙන් සමාව ඉල්ලලා ඔවුන්ව බේර ගන්න ලෙස ආයාචනා කරා. නාවිකයෝ බය වෙලා හිටපු තරම දැක්ක තකුරුෆානු ගේ තරහ නිවිලා ගියා. ඔහු නැව බේරගන්න එකඟ වුනා. නමුත් එතැන මුහුද යාත්‍රා කරන්න තරම් සැර වැඩියි. තකුරුෆානු කිව්වා මුහුද නිසල වෙනකං එතැන ඉන්න වෙන බව​.

නැවියෝ භීතියත් බලාපොරොත්තුවත් මුසු වුන රැයක් එන්දෙරි ගහ යට ගත කරා.

පහුවෙනිදා උදේ ඇහැරිලා බලද්දි මුහුද සන්සුන් වෙලා. ඔවුන් කවදාවත් දැකල නැති අමුතුම මාළු අහිනක් එන්දෙරි ගහ අවට පීනනවා. මාළු දැක්ක තකුරුෆානුට හිතුනා "මේ මාළුවා බොහොම හැඩ වැඩ ඇති එකෙක්. මුගේ මස් කෑමට සුදුසු ඇති" කියලා.

ඔහු කඩදාසියක් අරගෙන මාළුවගෙ පින්තූරයක් ඒකෙ ඇන්දා. ඊට පස්සෙ මාළුවාගේ ආත්මය කඩදාසියට එන විදිහට ඒකට මැතිරුවා. මාළුවගේ ආත්මය කඩදාසියට ආවට පස්සේ තකුරුෆානු කඩදාසිය නවලා උණ බම්බුවකට දාල ඒකෙ කට මුද්‍රා තිබ්බා.

දවස් තුනක් ඔවුන් එන්දෙරි ගහ යට ගත කළා. තුන්වෙනි දවසෙදි හුළං හමන්න ගත්තා. තකුරුෆානු තීරනය කළා දැන් යාත්‍රා කරන්න සුදුසු වෙලාව කියලා. ඔවුන් නැවත දිවෙහි රාජ්ජේ බලා ගමන් ඇරඹුවා. අර මාළු අහිනත් නැව පස්සෙම ආවා.

දවස් අසූ අටකට පස්සෙ ඔවුන්ට මාලදිවයිනේ උතුරු කොන වුන තිලදුම්මති අතොළුව පේන්න පටන් ගත්තා. නැවියෝ ප්‍රීතියෙන් ඉපිළ ගියා. මේ වෙද්දි මාළු අහින නැව වටේට මුහුද පේනතෙක් මානයේ වහ ගන්න තරම් ලොකුයි. සමහර මාළු නැව ඇතුලට පවා පැන්නා.

ක්‍රමයෙන් ඔවුන් බරවෙලි ඕඩය පහු කරමින් ඔවුන් ගේ නිවහන වුන අරි අතොළුව බලා ගමන් කරා. එක පාරටම ඔවුන් දැක්කා මුහුද දෙබෑ කරගෙන ලොකු කඳු දෙකක් මතු වෙනවා. තකුරුෆානු දැනගත්තා ඒ තාපස කකුළුවන් ගේ රැජිණ බව​. කඳු දෙකක් වගේ ඔවුන් දැක්කේ ඇයගේ අඬු. ඇය මුහුදු පතුලේ තමාගේ වාසස්ථානයෙන් මුහුදු මතුපිටට ඇවිත් තියෙන්නෙ මාළු අහින දැකලා.

තකුරුෆානු ට තේරුනා වහාම මාළු අහින මුහුදු පතුලට යවන්න ඕනෙ කියලා. නැත්තම් කකුළු රැජිණ ගේ අඬු වලට මැදිවෙලා නැව සුන් වේවි.

ඔහු වහාම මුද්‍රා තැබූ උණ බම්බුවෙන් මාළුවගෙ රූපය ඇඳපු කඩදාසිය එළියට ගත්තා. ඒකෙ බරක් ගැට ගහලා ඔහුට පුළුවන් තරම් ඈතට ඒක විසි කලා. මාළු අහින කඩදාසිය පස්සෙන් මුහුදු පතුල දිහාට ගමන් කළා. කකුළු රැජිනත් ඒ එක්කම නොපෙනී යනවා දැකපු නාවිකයෝ සැනසුම් සුසුම් හෙළුවා.

ආපහු ෆෙරිදූ දූපතට ආපු නාවිකයෝ සතුටෙන් තමාගේ නිවෙස් බලා ගියා. පහුවෙනිදා උදේ කුඩා බෝට්ටුවක නැග ගත්තු තකුරුෆානු දූපතෙන් බටහිර දිශාවට මුහුද මැදට ගිහින් උණ් බම්බුව මුහුදට දැම්මා.

එදා ඉඳලා අද වෙනතුරු දිවෙහි රාජ්ජේ අවට මුහුදේ කවදාවත් බල මාළු හිඟ වුනේ නෑ෴

- කතාව කිව්වේ නිහානි රිසා (මාලේ දූපත​)

 අටුවාව​

1. නියමුවා
නැවක නියමුවා හෙවත් "navigator" ගේ කාර්‍යය වෙන්නේ නැවට මග පෙන්වීම​. මේ සඳහා ඔහු ඉර සහ තාරකා යොදා ගන්නවා. නියමුවා ගණිත ශාස්ත්‍රයේ ඉතා දක්‍ෂයෙක් වෙන්න ඕනේ. නැවක සියළු දෙනාගේම ජීවිතය රඳා පවතින්නේ නියමුවා අතේ නිසා ඔහු ඉතාම වැදගත් පුද්ගලයෙක් විදිහටයි සැලකුනේ. දිවෙහි බසින් නියමුවා හඳුන්වන්නේ "මාලිමි" කියලා. ඒ ඔහු පාවිච්චි කරන මාලිමාව ඇසුරෙන්.

2. අතොළුව​
අතොළුව කියන්නේ දූපත් පොකුරක්. විශාල කොරල් පරයක මැද කොටස ඛාදනය වීමෙන් එහි දාරය වටේට නිර්මානය වෙන දූපත් මාලාව තමයි අතොළුවක් විදිහට හඳුන්වන්නේ. දිවෙහි බසින් අතොළුවට කියන්නේ "අතොල්හු". ඒකෙන් තමයි අතොළුවේ ඉංග්‍රීසි නම වෙන "atoll" හැදිල තියෙන්නේ.

මාලදිවයින සමන්විත වෙන්නේ මේ වගේ අතොළු 26 කින්. මේ අතොළු 26 දූපත් 2000 කින් යුක්ත වෙනවා.


3. බොදු නියාමි තකුරුෆානු
බොදු නියාමි කියන්නේ තකුරුෆානුට දුන්නු ගෞරව නාමයක්. දිවෙහි බසින් "බොදු" කියන්නෙ "ලොකු" නැත්තං "මහ​". "නියාමි" කියන්නෙ "නියමුවා". බොදු නියාමි නම තකුරුෆානුට ලැබුනේ ඔහු දක්‍ෂ නියමුවෙක් නිසා.

4. ෆියලා
ෆියලා නමින් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ ඉංග්‍රීසියෙන් "Mahi-Mahi" නැත්තං "Dolphinfish" කියල හැඳින්වෙන අඩි පහක් විතර දිග ලොකු මාළුවෙක්. වේගයෙන් පිහිනන්න සමත් ශක්තිමත් මාළුවෙක් නිසා විනෝදයට මාළු බෑමේ ක්‍රීඩාවේදී ජනප්‍රිය මාළුවෙක්.


5. එන්දෙරි
එන්දෙරි කියල දිවෙහි බසින් හැඳින්වෙන්නේ ගැඹුරු මුහුදේ හැදෙන හැඩයෙන් ගහකට සමාන කොරල් විශේෂයක්. ඒවා කළු පාටයි.


6. දගස්
මාලදිවයින් ජනවහරට අනුව ලෝකය කෙලවර වෙන තැන තියෙන ගහ තමයි "දගස්" කියන්නේ.

7. තාපස කකුළුවා
ඉංග්‍රීසියෙන් "Hermit Crab" නමින් හැඳින්වෙන තාපස කකුළුවා මාලදිවයිනේ දූපත් වල සහ අවට මුහුදේ බෙහෙවින් දකින්න පුළුවන් කකුළු වර්ගයක්. 


8. බලයා
මාලදිවයිනේ ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඉංග්‍රීසියෙන් "Tuna" නමින් හැඳින්වෙන මාළු පවුලේ සාමජිකයන් දෙන්නෙක් මත​.

පළමුවැන්නා සිංහලෙන් බලයා ලෙස හැඳින්වෙන "Skipjack Tuna". මූ දිවෙහි බසින් හැඳින්වෙන්නේ "කලුබිලමස්" කියලා. මාලදිවයිනේ වැඩියෙන්ම අල්ලන මාළුවා බලයා. අඩි තුනක් විතර දිගට වැඩෙන බලයා කිලෝ ග්‍රෑම් 20 ක් විතර බරයි.

දෙවැන්නා සිංහලෙන් කෙලවල්ලා ලෙස හැඳින්වෙන "Yellowfin Tuna". මූ දිවෙහි බසින් හැඳින්වෙන්නේ "කන්නෙලි" කියලා. කෙලවල්ලා අඩි 7 ක් විතර දිග කිලෝ ග්‍රෑම් 200 ක් විතර බර දැවැන්ත මාළුවෙක්.

මීට අමතරව තවත් Tuna මාළු වර්ග ගණනාවක් මාලදිවයින අවට මුහුදේ ඉන්නවා.

බලයා හෙවත් කලුබිලමස් කියන්නේ දිවෙහිරාජ්ජේ වැසියන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඔවුන් ගේ ප්‍රධානම ආහාරයක් වගේම​, ඔවුන් ගේ ප්‍රධානම අපනයනයක්. ඔවුන් ගේ ජීවිතයට බලයා ගේ ඇති වැදගත් කම නිසාම බලයා වෙනුවෙන්ම ජනකතාවක් නිර්මානය වෙලා තියෙනවා.

Thursday, November 30, 2017

දිවෙහි රාජ්ජේ ජනකතා - 2 (පළවෙනි පොල්ගස්)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

පළවෙනි පොල්ගස්


පොල් ගහ කියන්නෙ පුදුම ගහක්. පොල් ගහෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම දිවෙහි රාජ්ජෙ ඇත්තන්ට​. කෑම​, බීම​, සෙවන​, ගෘහ උපකරණ​, බෝට්ටු හදන්න ලී, ඉන්ධන​, බෙහෙත්, සෙල්ලම් බඩු, නලා, පෙට්ටි, භාජන​, තෙල්, කෙසු, ලණු - මේ දිවෙහි රාජ්ජෙ ඇත්තො පොල් ගහෙන් ගන්න ප්‍රයෝජන කීපයක්.

ගොඩාක් ඉස්සර මාලදිවයිනට මුලින්ම ආපු පදිංචිකාරයන්ට ජීවත් වෙන්න ගොඩාක් අමාරු වුනා. ඒ ඉස්සර කාලෙ මාලදිවයිනේ පොල් ගස් තිබ්බෙ නැති නිසා.

සොබාවික සම්පත් හිඟ කම නිසා මාලදිවයිනේ මුල් පදිංචිකාරයො ජීවත් වුනේ ඉතාම අපහසුවෙන්. කෑම හිඟකම සහ ලෙඩ රෝග වලින් මිනිස්සු මැස්සො වගේ මැරුන​. ගොඩක් දෙනා ජීවත් වුනේ ඉතා කෙටි කාලයයි. ඒ කෙටි කාලයත් ඉතා අපහසුවෙන්. මරණය කියන්නෙ ඔවුන්ට ඉතා හුරු දෙයක්.

මේ මුල් පදිංචිකාරයො අතරෙ හිටියා ඉතා දක්‍ෂ "ෆන්ඩිත​" කෙනෙක් (යකැදුරෙක්).  දැන් ඔහුගේ නම කාටවත් මතක නෑ. මේ ෆන්ඩිතයා තමාගේ මිනිස්සු මැරෙන හැටි දැකලා කම්පාවට පත් වුනා. ඉතා ඉක්මනින් සියළුම දෙනා මිය ගිහින් දූපත් ඔක්කොම ජනශුන්‍ය වෙයි කියල ඔහුට තේරුනා. ඒ වෙනුවෙන් යමක් කරන්න ඔහු හිතට ගත්තා.

ඔහු පොත් පත් කියවලා බොහෝ කරුණු කාරනා සොයා බලලා විශේෂ ආලේපයක් හැදුවා. ඊට පස්සෙ මිය යන හැමෝගෙම - පිරිමි, ගෑණු, ළමයි - වලලන්න කලින් මේ ආලේපයෙන් ටිකක් කටට දැම්මා. මිනිස්සු දිගටම මැරුනා. ඒ හැම කෙනාගෙම කටට අර ආලේපයෙන් ටිකක් දාල තමයි වැලලුවේ.

මේ විදිහට සති කීපයක් ගත වුනා.

හැම මල සිරුරේම හිස් කබලේ කටෙන් පොඩි කොල පාට අංකුරයක් මතු වුනා. මේ අංකුරය ශක්තිමත් ගහක් බවට පත් වුනා. සමහර ගස් උසයි. සමහර ගස් පොඩියි. සමහර ගස් අඳුරු පාටයි. සමහර ගස් ලා පාටයි. ඒ ගස වැවුන හිස් කබල අයිති කෙනා ගේ සොබාවය අනුව​.

ටික කාලයකින් මේ අළුත් ගස් මුළු මාලදිවයින පුරාම වැවෙන්න පටන් ගත්තා. ගස් වැඩුනට පස්සෙ ෆන්ඩිතයා ඉතුරු වෙලා හිටපු මිනිස්සුන්ට කියල දුන්නා මේ ගහේ හැම කොටසක්ම ප්‍රයෝජනයට ගන්න හැටි.

අළුත් ගහේ පිහිටෙන් මිනිස්සුන් ගෙ ජීවිතය ක්‍රමයෙන් යහපත් වුනා. ජනගහනය ආපහු වර්ධනය වෙන්න පටන් ගත්තා. මාලදිවයින ක්‍රමයෙන් ජීවත් වෙන්න සුදුසු තැනක් බවට පත් වුනා. මිනිස්සු ධනවත් වුනා. සතුටෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.

අදටත් දිවෙහි රාජ්ජේ පියෙක් ට තමාගෙ දරුවෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග විදිහට සලකන්නේ තමාගේ අතින් හිටවපු පොල් ගහක්෴

- කතාව කිව්වේ "වයිජෙහේ ගේ දූන්ඩිගන් අලි ඩීඩී" (ෆුවාමුලාකු දූපත​)


අටුවාව​


1. ෆන්ඩිත​

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.




2. වසංගත​

මාලදිවයින් වාසීන් ජීවත් වෙන්නේ කුඩා දූපත් වල​. මේ බොහොමයක් දූපත් දිග පළලෙන් කිලෝ මීටර් එකක් දෙකකට වඩා ලොකු නෑ. ඒ වගේම මේ දූපත් වල වැවෙන ගස් වැල් වර්ග ඉතා සීමිතයි. ඒ නිසා ඔවුන් ගේ ආහාර වේල සමන්විත වෙන්නෙ ඉතාම සීමිත ආහර වර්ග කීපයකින්. එළවළු, පලා සහ පළතුරු ආහාරයට එක් වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ඔවුන් ගේ ප්‍රතිශක්තිකරනය දුර්වලයි.

මේ හේතුවත්, කුඩා දූපත් වල ලං ලං ව ජීවත් වීමත් නිසා වසංගත රෝග මාලදිවයිනේ ජීවිතයේ ඉතා සුලබ දෙයක්. වසංගතයක් දූපතකට ආවම දූපතේ ජනගහණයෙන් සෑහෙන දෙනෙක් මිය යන එක සුලබ දෙයක්. මේ නිසා ඔවුන් ජීවත් වුනේ වසංගත රෝග පිළිබඳ නිරන්තර බයකින්.  වසංගතයක් ඇවිල්ලා දූපතක් සම්පූර්නයෙන්ම ජන ශුන්‍යය වුන අවස්ථා ඔවුන් ගේ ඉතිහාසයේ සුලබයි.

වසංගත රෝග වලට හේතුව විදිහට ඔවුන් තදින්ම විශ්වාස කලා භූතාත්ම වල බලපෑම​. ෆන්ඩිත ගේ කාර්‍ය භාරය වැදගත් වුනේ මේ නිසා. 




3. පොල්

දිවෙහි බසෙන් පොල් ගහට කියන්නෙ "දිවෙහි රුහ්". ඒකෙ තේරුම "මාලදිවයිනේ තාල ගස (Maldives Palm)". අතීතයේ මාලදිවයින් වැසියෙක් ගෙ ධනවත් කම මැන්නේ ඔහු සතුව තිබ්බ ධීවර බෝට්ටු ගණනෙන් සහ ඔහු සතුව තිබූ පොල් ගස් ගණනෙන්.


කතාවේ කියන විදිහටම පොල් ගහ කියන්නේ මාලදිවයින් වැසියන්ට නැතුවම බැරි දෙයක්. අතීතයේදී මේ බැඳීම තවත් දැඩි වෙන්න ඇති. පොල් ගස් නැතුව මාලදිවයිනේ ජීවත් වෙනවා කියන එක හිතන්න බැරි දෙයක්. ඒ නිසා ඔවුන් ගේ පැවැත්මට පොල් ගහේ ඇති වැදගත් කම මේ කතාවෙන් නිරූපනය කෙරෙනවා.

මේක මාලදිවයින් වැසියන් ගේ මූලාරම්භ කතා (origin myths) හතරෙන් එකක්. (අනෙක් තුනේ තියෙන්නෙ ඔවුන්ට බල මාළුවා හමුවුන හැටි, මාලදිවයින එක්සත් රටක් වුන හැටි සහ මාලදිවයිනට ඉස්ලාමය ආව හැටි).


මාලදිවයින් වාසීන් පිළිගන්න විදිහට පොල් ගෙඩියේ නැට්ට පැත්තේ තියෙන කුඩා රවුම් සලකුණු තුන හිස් කබලේ ඇස් දෙක සහ කට. පොල් ගහේ අංකුරය මතු වෙන්නේ මෙතැනින්.

පොල් ගහට මාලදිවයින් වැසියන් දක්වන ගෞරවය කොයිතරම් ද කියනව නං අද ඔවුන් ගේ රාජ්‍ය ලාංඡනයේ තියෙන්නෙත් පොල් ගහක්.



දිවෙහි රාජ්ජේ ජනකතා - 1 (මාකන කලෝ)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

පළවෙනි කතාව විදිහට තෝර ගත්තෙ දිවෙහි රාජ්ජෙ බෞද්ධ මූලයන් පෙන්නුම් කරන කතාවක්. මේ කතාවේ අනිත්‍යය සොබාවය සහ ධනය රැස් කිරීමේ නිසරු බව ගැන කියවෙනවා.

මාකන කලෝ (කොක් කොලුවා)


එකෝමත් එක කාලෙක "මාකන" (අළු කොකෙක්) මුහුදු වෙරළ කිට්ටුවෙන් පියාඹගෙන ගිහින් වැල්ල තෙමෙන හරියෙ වැහුවා. ඌ වැල්ලේ වසුරු පිඩක් හෙලලා යන්න ගියා. ආපහු ඇවිත් බලනකොට ඌ දැක්ක උගේ වසුරු පිඩ රළ පාරට හේදිලා ගිහින් කියලා.

කොකා බොහොම තරහෙන් මුහුදු රළයෙන් මෙහෙම ඇහුවා.

"කෝ මගේ වසුරු පිඩ​?"

"මම ඒක හෝදලා දැම්මා"

"මට ඒක ආපහු ඕනෙ"

මුහුදු රළය යටහත් පහත් විදිහට මෙහෙම කිව්වා.

"මට ඒක ආපහු දෙන්න බෑ. ඒක හේදිල ගිහින් ඉවරයි. මම ඒ වෙනුවට බල මාළුවෙක් දෙන්නම්"

කොකා බලයවත් අරගෙන පියාඹලා ගියා.


කොකා පියාඹලා ගියේ ගම්මැද්දට​. ගම්මැද්දෙ තිබ්බ පොඩි පැල් කොටේක වහලයක් උඩ බලයව තියල ඌ යන්න ගියා. ආපහු ඇවිත් බලනකොට බලයා නෑ. එතන තරුණයො කීප දෙනෙක් මාළු තම්බලා හිකිමස් (උම්බලකඩ) හදනවා.

කොකා කේන්තියෙන් පිඹිමින් මෙහෙම ඇහුවා.

"කෝ මගේ මාළුවා?"

"අපි ඌව කපල, තම්බලා දැන් මේ වේලන්නයි ලෑස්ති වෙන්නෙ"

"මට ඌව ආපහු ඕනෙ"

තරුණයො ටික බයවෙලා මෙහෙම යෝජනා කරා

"අපිට ආපහු මාළුවෙක් ව දෙන්න බෑ. ඒ වෙනුවට උම්බලකඩ කෑල්ලක් දෙන්නං"

කොකා කැමති වෙලා ලොකු උම්බලකඩයක් අරගෙන එතනින් පියාඹලා ගියා.

ඌ ගියේ ගෙදරක කුස්සියක් ළඟට​. එතැන උම්බලකඩයව දාල ඌ යන්න ගියා. ආපහු ඇවිත් බලද්දි උම්බලකඩයා නෑ. එතන කෙල්ලො ටිකක් බෝකිබා (කෑමක්) හදනවා.

කොකාට හරිම තරහයි.

"කෝ මගේ උම්බලකඩයා?"

"අපි ඒක කෑලි වලට කපලා බෝකිබා හැදුවා"

"මට ඒක ආපහු ඕනෙ"

කෙල්ලො ටික හොඳටම බය වෙලා මෙහෙම කියනවා.

"අපිට ඒක ආපහු දෙන්න බෑ. ඒ වෙනුවට අපි බෝකිබා ටිකක් දෙන්නම්"

කොකා කැමති වෙලා බෝකිබා ටිකකුත් අරගෙන එතනින් පියාඹලා ගියා.


ඌ එතනින් ගියේ ගෙදරක ඉස්තෝප්පුවට​. එතන බෝකිබා ටික තියලා ඌ යන්න ගියා. ආපහු එද්දී බෝකිබා නෑ. එතන පිරිමියෙකුයි කාන්තාවකුයි පොල් කොහු වලින් ලණු අඹරනවා.

කොකා තරහෙන් පිපිරෙමින් අත් තටු ගැහුවා.

"කෝ මගේ බෝකිබා?"

"අපි ඒක කෑවා"

"මට ඒක ආපහු ඕනෙ"

පිරිමියයි කාන්තාවයි බයවෙලා මෙහෙම කිව්වා.

"අපිට ඒක දෙන්න විදිහක් නෑ. අපි ඒක ඔක්කොම කෑව​. ඒ වෙනුවට හොඳ ලණු කැරැල්ලක් දෙන්නම්"

කොකා කැමති වෙලා ලණු කැරැල්ලත් අරගෙන පියාඹලා ගියා.

ඌ එතනින් ගියේ ලොකු ගහක් යටට​. එතන ලණු කැරැල්ල තියලා ඌ යන්න ගියා. ආපහු එද්දි ලණු කැරැල්ල නෑ. එතන වයසක මිනිස්සු කීප දෙනෙක් බෙර හදනවා.

කොකාට තරහ ඉවසගන්න බෑ.

"කෝ මගේ ලණු කැරැල්ල​?"

"අපි ඒකෙන් තමයි මේ බෙර වලට හම් බැන්දෙ"

"මට ඒක ආපහු ඕනෙ"

බෙර හදන මිනිස්සු බය වෙලා මෙහෙම යෝජනා කරනවා.

"අපිට ඒක ආපහු දෙන්න පුළුවන් කමක් නෑ. ඒ වෙනුවට ඔබ කැමති බෙර දෙකක් තෝර ගන්න​"

කොකා කැමති වෙලා අළුත් බෙරේකුයි පරණ බෙරේකුයි අරගෙන පියාඹලා ගියා.

ඌ එතනින් ගියේ මුහුදු වෙරළේ තියෙන පොල් ගහක් උඩට​. පොල් අත්තක් උඩ ඉඳගෙන බෙර දෙකට හොටෙන් ගහන්න පටන් ගත්තා. බෙර දෙකෙන් ඉතාම මිහිරි නාදයක් පැතිරුනා. අළුත් බෙරෙන් "ටො-ට්ටෝ" ශබ්ධයකුත්, පරණ බෙරෙන් "ඩන්-ඩන්" ශබ්ධයකුත් ආවා.

මේ අතරේ දුප්පත් මහළු කාන්තාවක් මුහුදු රළපාරට අහුවෙලා ගහගෙන ආපු දෙයක් වෙරළේ තියෙනවද බල බල වෙරළ දිගේ ආවා. ඇයට බෙර සද්දෙ ඇහුනා. උඩ බැලුවම ඇය දැක්කා කොකා බෙර වයන හැටි. ඇය ඉතාම දුප්පත්. ඇය සන්තකව කිසි දෙයක් නෑ. ඇයට බෙර දෙක ගැන ආසාවක් ඇති වුනා. "මටත් මේ වගේ බෙරයක් තිබ්බ නං..."

ඒ මොහොතේදීම පොල් අත්ත කඩාගෙන වැටුනා. කොකා පොල් අත්තයි බෙර දෙකයි එක්ක වැලි තලාව උඩට වැටුනා. බෙරයක් ඔළුවට වැටිල කොකා එතනම මැරුනා.

මහළු කාන්තාව බෙර දෙක අහුලගෙන බෙර වයමින්, ගී ගයමින් සතුටින් ගෙදර ගියා෴

- කතාව කිව්වේ "ගාගේ නයිමා" (මාලේ දූපත​)


 අටුවාව​:


1. මාකන
අළු කොකා හෙවත් "Grey Heron". ලංකාවේත් ඉන්න අළු පාට ලොකු කොකෙක්. අඩි තුනක් විතර උසයි. කලපු ආශ්‍රිතව දකින්න පුළුවන්. තනිව දිවි ගෙවන අළු කොකා දිවෙහි රාජ්ජේ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්.




2. කලෝ
කොල්ලා, ගැටයා, තරුණයා, කුමාරයා අරුත දෙන වචනයක්. මාකන කලෝ "කොක් කොලුවා" කියල පරිවර්තනය කරන්න පුළුවන්.

3. හිකිමස්
උම්බලකඩ. බල සහ කෙලවල්ලා මාළු තීරු වලට කපලා තම්බලා, අව්වේ වේලීමෙන් තමයි උම්බලකඩ හදන්නේ. මාලදිවයිනේ ප්‍රධාන නිෂ්පාදනයක්.



4. බෝකිබා
පොඟා ගන්නා ලද හාල් කොටලා, ඒකට උම්බලකඩ​, ගාපු පොල් සහ මිරිස් එකතු කරලා ලිපේ තබා පුළුස්සා ගන්නා කෑමක්. මේක හදන්නෙ වන්ඩු ආප්ප වගේ යටින් වගේම උඩිනුත් ගින්දර දැමීමෙන්. ඒකට පුළුස්සන භාජනයේ පැතලි මූඩිය උඩ තියන ගිනි අඟුරු පාවිච්චි කරනවා. බෝකිබා සොබාවයෙන් පොල් කේක් වගේ. හවස තේ එක්ක තමයි බහුලව කෑමට ගන්නේ.





5. ලණු
මාලදිවයිනේ සාම්ප්‍රදායිකව ලණු අඹරන්නේ පොල් කෙඳි වලින්. අතේ ඇඹරීම තමයි බහුලව යොදා ගන්න ක්‍රමය​.




6. බෙර​
මාලදිවයිනේ බහුලව පාවිච්චි වෙන බෙරය "ලොකු බෙරය​" කියන තේරුම ඇති "බොදු බෙරු". බොදු බෙරු ඉනේ එල්ලා ගෙන අත් දෙකෙන්ම වාදනය කරන බෙරයක්. බොදු බෙරු වලට තියෙන්නෙ නැගෙනහිර අප්‍රිකාණු සම්භවයක්. මීට අමතරව තවත් කුඩා බෙර වර්ග කීපයකුත් භාවිතා වෙනවා.




7. මුහුදු වෙරළේ ඇවිදීම​
රැල්ලට ගහගෙන ඇවිත් වෙරළට ගොඩ ගහපු භාණ්ඩ හොයාගෙන මුහුදු වෙරළේ ඇවිදීම මාලදිවයින් වැසියන් ගේ පුරුද්දක්. විශේෂයෙන් දුප්පත් අය මේ වැඩේ කරනවා. මුහුදු බත් වුන නැව් වලින් ගහගෙන එන බඩු, නැව් වලින් ඉවත දාන බඩු, "තවක්කෂි" හෙවත් දෙබිඩි පොල් ගෙඩි, තල්මස්සුන් ගෙන් පිටවෙන සුවඳ විලවුන් හදන්න ගන්න ද්‍රව්‍යයක් වෙන "මාවහරු" හෙවත් "ambegris" වගේ දේවල් තමයි වැඩිපුරම හම්බෙන්නෙ.




8. දිවෙහි නම්
දිවෙහි නම් සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. එකක් පැරණි දිවෙහි සම්ප්‍රදාය​. අනෙක අරාබි සම්ප්‍රදාය​. මේ දෙවිදිහටම නම් දකින්න පුළුවන්.

අරාබි සම්ප්‍රදායට අනුව මුලින්ම තමාගේ නමත්, දෙවනුව පියාගෙ නමත් එනවා. උදාහරණයකට "මොහොමතු බසම්". මොහොමතු කියන්නෙ තමාගේ නම​. බසම් කියන්නෙ පියාගේ නම​.

දිවෙහි සම්ප්‍රදායට අනුව මුලින් එන්නෙ පෙලපත් නම හෙවත් වාසගම​. දෙවනුව එන්නෙ තමාගෙ නම​. උදාහරණයකට "ගාගේ නයිමා". ගාගේ කියන්නෙ වාසගම​. සිංහල මුදලිගේ වගේ. නයිමා කියන්නෙ තමාගේ නම​.

අරාබි සම්ප්‍රදාය මාලදිවයින ඉස්ලාමය වැළඳගත් පසු ඇති වුන එකක්. මාලදිවයිනේ පැරණි සම්ප්‍රදාය වන දිවෙහි සම්ප්‍රදාය සිංහල සම්ප්‍රදායට සමානයි. ඒකෙන් ඔවුන් ගේ සිංහල මූලයන් තහවුරු වෙනවා.