Monday, January 14, 2019

පොම්ප ජල විදුලි බලාගාර​



මොකද්ද මේ පොම්ප ජල විදුලි බලාගාරයක් කියන්නෙ?

අපි දන්නව ජල විදුලි බලාගාරයක් කියන්නෙ ඉහළ උසක හදල තියෙන ජලාශයක තියෙන වතුර පහළින් තියෙන විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක් කරකවන්න පාවිච්චි කරල​, එමගින් විදුලිය උත්පාදනය කරන තැනක් කියල​.

ජල විදුලි බලාගාරයක වතුර ටර්බයින් එක කරකවල ඉවර වෙලා පිට කරන්නෙ ආපහු ගඟකට​. ඊට පස්සෙ ඒ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.

නමුත් පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයින් එක කරකවල පිට වෙන වතුර යන්නෙ තවත් ජලාශයකට​. ඒ පහළ තියෙන ජලාශයේ එකතු වෙන වතුර නැවත ඉහළ තියෙන ජලාශයට පොම්ප කෙරෙනවා. ඒ වතුර නැවතත් විදුලිය උත්පාදනයට යොදා ගන්න පුළුවන්.



මෙතන බැලූ බැල්මට ප්‍රශ්නයක් තියෙනවා.

පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට වතුර පොම්ප කරන්න වැය වෙන ශක්තිය ඉහළ ජලාශයේ ඉඳල පහළ ජලාශයට වතුර යවල ජනනය කරන ශක්තියට වඩා වැඩියි. ඒ කියන්නෙ මේ වැඩෙන් අපිට ශුද්ධ ශක්ති හානියක් සිද්ධ වෙනවා.

එහෙනම් මේ වැඩේ කරන්නෙ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා.


පොම්ප ජල විදුලි බලාගාර වල අවශ්‍යතාවය​.


1. ඉල්ලුම අඩු අවස්ථා වලදී තාප විදුලි බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය කරවීම


විදුලි බල පද්ධතියක ජල විදුලි බලාගාර වලට අමතරව තාප විදුලි බලාගාරත් තියෙනවා. තාප විදුලි බලාගාර කියල මෙතන අදහස් කරන්නෙ ගල් අඟුරු, සොබාවික වායු සහ න්‍යෂ්ටික බලය යොදාගෙන හුමාලයෙන් ටර්බයිනයක් කරකවල විදුලිය ජනනය කරන බලාගාර​.

අපි දන්නව පද්ධතියක විදුලි බල ඉල්ලුම නියත අගයක පවතින්නෙ නෑ. ඒක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. ඒ වගේ අවස්ථා වලදී අපි ජනනය කරන විදුලිය ප්‍රමානයත් හරියටම ඉල්ලුමට සමාන වෙන පරිදි වෙනස් කරන්න ඕනෙ.

එහෙනං දවසේ විදුලි බල ඉල්ලුම අඩු කාලසීමාවන් වලදි අපේ ජනනය අඩු වෙන්න ඕනෙ.

ඒත් මේ තාප විදුලි බලාගාර අපිට ඕන ඕන විදිහට නවත්තන්න බෑ. තාප විදුලි බලාගාරයක් නැවැත්තුවොත් ආපහු ක්‍රියාත්මක කරන්න විශාල කාලයක් යනවා. ඒ වගේම තාප විදුලි බලාගාරයක් අඩු ධාරිතාවකින් ජනනය කරද්දි ඒකෙ කාර්‍යක්‍ෂමතාවය සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙනවා. ඒ කියන්නෙ මෙගාවොට් එකක් නිපදවන්න යන මුදල සැලකිය යුතු ප්‍රමානයකින් වැඩි වෙනවා.

උදාහරණයකට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ජනන යන්ත්‍රයක පූර්ණ ධාරිතාව මෙගාවොට් 300. හැබැයි මේ ජනන යන්ත්‍රය මෙගාවොට් 150 ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුනොත් මේකෙ කාර්‍යක්‍ෂමතාවය ගොඩක් අඩුයි.

ඒ වගේ වෙලාවට අපි කරන්නෙ පද්ධතියේ කෘතිම ඉල්ලුමක් හදල දෙන එක​. එතකොට තාප විදුලි බලාගාර වලට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ කෘතිම ඉල්ලුම හදන්නෙ පොම්ප ජල විදුලි බලාගාර වල පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට ජලය පොම්ප කිරීමෙන්.

පහත ප්‍රස්ථාරයෙන් මේක පැහැදිලිව දකින්න පුළුවන්.



2. ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජල විදුලියෙන් සැපයුම වැඩි කර ගැනීම​


කලින් දැක්ක වගේ ඉල්ලුම අධික වෙලාවන් වලදී අපිට තාප විදුලි බලාගාර වලින් විතරක් සැපයුම සම්පූර්ණ කරගන්න බෑ. ඒ වෙලවට අපිට ජල විදුලි බලාගාර හෝ තෙල් විදුලි බලාගාර (ඩීසල්) යොදා ගන්න සිද්ධ වෙනවා.

නමුත්, තෙල් යොදාගෙන විදුලිය ජනනය කිරීම ඉතාමත් වියදම් අධික කටයුත්තක්. ඒ නිසා ඒ වගේ වෙලාවන් වලදී අපිට ජල විදුලියෙන් ලොකු විදුලි ප්‍රමානයක් ජනනය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.

පොම්ප ජල විදුලි බලාගාර වලින් ඉල්ලුම අඩු වෙලාවන් වලදී ඉහළ ජලාශයට පොම්ප කරන වතුර මේ වගේ ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජනනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපි තෙල් වලින් ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානය පහත දා ගන්න පුළුවන්.


3. ඉල්ලුම අඩු අවස්ථා වලදී සංඛ්‍යාත පාලනය කිරීම​


අපි දන්නවා හැම මොහොතේම පද්ධතියක ඉල්ලුම වෙනස් වෙන බව​. සෑම තප්පරයක් පාසාම ඉල්ලුම වෙනස් වෙනවා. ඉතින් අපි ජනනය කරන්න ඕනෙ හරියටම ඉල්ලුමට සමාන විදුලි ප්‍රමානයක් නිසා අපිට ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානයත් ඒ විදිහටම මොහොතින් මොහොත වෙනස් කරන්න ඕනෙ.

මේ කටයුත්තට කියන්නෙ සංඛ්‍යාත පාලනය (Frequency Controlling) කියල​.

මේ වැඩේට තාක්‍ෂනික පැත්තෙන් ගත්තම ඉතාම යෝග්‍යය වෙන්නෙ ජල විදුලි බලාගාර​.

ඒත් අපි කලින් දැක්ක වගේ ඉල්ලුම අඩු වෙලාවට අපි සම්පූර්න ඉල්ලුමම වගේ සපයන්නෙ තාප විදුලි බලාගාර වලින්. මේ නිසා ඒ වගේ වෙලාවට සංඛ්‍යාත පාලනය කිරීම සඳහාම ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම කලොත් ඉල්ලුම වැඩි වෙලාවට අපිට ප්‍රයෝජනයට ගන්න තියෙන ජල විදුලි ප්‍රමානය අඩු වෙනවා.

ඒත් පොම්ප ජල විදුලි බලාගාර වල පොම්ප කිරීමේ කටයුත්ත සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපිට ජල විදුලි බලාගාර වල වතුර ඉල්ලුම වැඩි අවස්ථා සඳහා ඉතුරු කරගන්න පුළුවන්.


4. පද්ධතියේ බැටරියක් වශයෙන් කටයුතු කිරීම​


ලංකාව වගේ රාත්‍රී කාලයේ අධික ඉල්ලුමක් තියෙන පද්ධති වලට තියෙන ප්‍රශ්නයක් තමයි සූර්‍ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීම​. මොකද සූර්‍ය ශක්තිය තියෙන දවල් කාලයේ ඉල්ලුම රාත්‍රියට සාපේක්‍ෂව අඩු නිසා. නමුත් ඒ වගේ අවස්ථා වලදී පොම්ප ජල විදුලි බලාගාරයකට පද්ධතියේ බැටරියක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්.

ඒ කියන්නෙ දහවල් කාලයේ නිපදවන සූර්‍ය විදුලි බලය ප්‍රයෝජනයට අරගෙන ඉහළ ජලාශයට වතුර පොම්ප කරගෙන​, ඉල්ලුම වැඩි රාත්‍රී කාලයට ජනනය කිරීමෙන්. මෙතනදි පොම්ප විදුලි බලාගාරය බැටරියක් ආරෝපණය කරලා අවශ්‍යය වෙලාවට ප්‍රයෝජනයට ගැනීමට සමාන ආකාරයකට ක්‍රියා කරනවා.


මේ විදිහට අපිට පේනවා පොම්ප ජල විදුලි බලාගාරයක ක්‍රියාවලියේ ශක්තිය අතින් ගත්තම ශුද්ධ පාඩුවක් තිබුනට​, මුදල් අතින් ගත්තම ලාබ දායකයි කියල​.


පොම්ප ජල විදුලි බලාගාරයක අංග​


පොම්ප ජල විදුලි බලාගාරය අංග සාමාන්‍යය ජල විදුලි බලාගාරයක අංග වලට බොහෝ දුරට සමානයි. ඒත් වැදගත් වෙනස් කම් කීපයකුත් තියෙනවා.

ප්‍රධාන වෙනස තමයි සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ජලාශ එකක් තියෙද්දි පොම්ප ජල විදුලි බලාගාරයක ජලාශ දෙකක් තිබීම​. මේ ජලාශ දෙක "ඉහළ පොකුණ​" (Upper Pond) සහ "පහළ පොකුණ​" (Lower Pond) කියල හඳුන්වනවා.



බොහෝ විට ඉහළ පොකුණ හදන්නෙ ගඟකට සම්බන්ධ කරල නෙවෙයි. වෙනම පිහිටි කෘතිම ජලාශයක් විදිහට​. ඒත් එකම ගඟේ ඉහළ සහ පහළ වේලි දෙකක් ඉඳි කරල ඉහළ පොකුණ සහ පහළ පොකුණ හදන අවස්ථාත් තියෙනවා.

ඒ වගේම තවත් වැදගත් වෙනසක් තමයි පොම්ප ජල විදුලි බලාගාරයක් දෙපැත්තටම ක්‍රියාකිරීම​. ඒ කියන්නෙ ජනනය සහ පොම්ප කිරීම​. මේ ක්‍රියාවන් දෙකට වෙන වෙනම උපාංග නෑ. ජනනය කිරීමේදී උපයෝගී කරගන්න ටර්බයිනය සහ ජනන යන්ත්‍රයම පොම්ප කිරීමේදී පොම්පය සහ මෝටරය විදිහට භාවිතා වෙනවා.

මේ නිසා පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයිනයේ හැඩය​ සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ටර්බයිනයට වඩා මදක් වෙනස් විදිහට සැලසුම් කරල තියෙනවා.



ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර භාවිතය​


අපිට දැකපු විදිහට පොම්ප ජල විදුලි බලාගාරයක් ප්‍රයෝජනවත් වෙන්න නම් පද්ධතියේ න්‍යෂ්ටික​, ගල් අඟුරු සහ සොබාවික වායු වලින් ක්‍රියා කරන තාප විදුලි බලාගාර විශාල ප්‍රමානයක් තියෙන්න ඕනෙ. පොම්ප ජල විදුලි බලාගාරයක වාසිය ලැබෙන්නෙ එතකොට​. මේ හේතුව නිසා පොම්ප ජල විදුලි බලාගාර වැඩි පුර තියෙන්නෙ කාර්මීකරණය වුනු රටවල​.

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර වැඩිපුරම භාවිතා කරන රටවල් පහ වෙන්නේ මේවා.

1. චීනය (32 GW)
2. ජපානය 28 GW)
3. ඇමරික එක්සත් ජනපදය (23 GW)
4. ස්පාඤ්ඤය (8 GW)
5. ඉතාලිය (7 GW)

ලෝකයේ විශාලම පොම්ප ජල විදුලි බලාගාර පහ මේවා.

1. බාත් කවුන්ටි (ඇමරිකා එක්සත් ජනපදය​) - 3003 MW
2. ගුවැංදොං (චීනය​) - 2400 MW
3. හුයිෂෝ (චීනය​) - 2400 MW
4. ඔකුතතරගි (ජපානය​) - 1932 MW
5. ලුඩිංටන් (ඇමරිකා එක්සත් ජනපදය​) - 1872 MW

බාත් කවුන්ටි පොම්ප ජල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර​

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න රට විදිහට සැලකෙන්නේ ජපානය​. ඔවුන් පොම්ප ජල විදුලි බලාගාර තාක්‍ෂනයේ පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා. ජපානයේ ජල විදුලි බලයෙන් 50% ක් ම සපයන්නේ පොම්ප ජල විදුලි බලාගාර වලින්.

5 comments:

  1. මේකෙන් තවත් ක්‍රමයක් තියෙනවා නේද සෝලා පවර් මගින් පොම්ප කරන?

    ReplyDelete