Tuesday, October 9, 2018

ජපන්නු කන හැටි - තවත් කෑම​



මේ ජපානයේ ජනප්‍රිය තවත් කෑම වර්ග කීපයක්


1. සෂිමි



සෂිමි කියන්නෙ සිහින් පෙති වලට කපපු අමු මාළු. ජපන්නු මාළු උයල කනවට වඩා කන්නෙ අමුවෙන්. මාළු වල අලුත් බව සෂිමි වල තියෙන්න ඕනෙ අනිවාර්‍ය අංගයක්.

මාළු ඉතා හොඳින් හෝදලා සකස් කරල තියෙන නිසා අපි හිතන තරම් සෂිමි කන්න අපහසුවක් නෑ. අප්‍රියජනක ගඳක් හෝ පිලී රසයක් ඇත්තේම නැති තරම්. සාමාන්‍යයෙන් සෂිමි ආහාරයට ගන්නෙ ෂෝයූ සෝස් සමඟ​. ඒ වගේම සෂිමි සහිත ආහාර වේලක් එක්ක සකේ ත් බහුලව පාවිච්චි වෙනවා.

යොදා ගන්න මාළු වර්ගය අනුව සෂිමි වර්ග ගණනාවක් තියෙනවා.

මගුරෝ - කෙළවල්ලා මාළු (ටූනා)
සකෙ - සැමන් මාළු
තයි - සී බ්‍රීම්
සබ - තෝර මාළු (මැකරල්)
කත්සුවො - බල මාළු (ටූනා)
කංපචි - ඇම්බර්ජැක් මාළු
ඉක - දැල්ලා
තකො - බූවල්ලා
අමඒබි - ඉස්සා
හොතතෙ - බෙල්ලන් වර්ගයක්
හොක්කිගයි - බෙල්ලන් වර්ගයක්
ඉකුරා - සැමන් මාළු බිත්තර​
උනි - මුහුදු කැකිරි


2. තෙම්පුරා



තෙම්පුරා කියන්නෙ පිටි මිශ්‍රනයක (batter) ඔබාගෙන ගැඹුරු තෙලේ බැදගත්ත මාළු හෝ එළවළු. "කර​-කර​" ගාල හැපෙන සොබාවයෙන් සහ ඉතාමත් ප්‍රියජනක රසයකින් යුක්තයි. ජපන් කෑම හුරු නැති ලංකාවෙ කෙනෙක්ට ජපන් කෑම වලට හුරු වෙන්න පාලමක් විදිහට තෙම්පුරා පාවිච්චි කරන්න පුළුවන්.

තෙම්පුරා සාමාන්‍යයෙන් කෑමට ගන්නෙ බත් හෝ නූඩ්ල්ස් එක්ක​. තෙම්පුරා කන්න කලින් ෂෝයූ සෝස් වල ඔබල ගන්න ඕනෙ.

යොදා ගන්න මාළු හෝ එළවළු වර්ගය අනුව තෙම්පුරා වර්ග ගණනාවක් තියෙනවා.

එබි - ඉස්සන්
සකන - මාළු
නසු - වම්බටු
කිනොකො - බිම්මල්
කබොච - වට්ටක්කා
සත්සුමයිමො - බතල​
ෂිසො - කොල්ලන්කොල (කොල වර්ගයක්)
කකියගෙ - මාළු සහ එළවළු මිශ්‍රනයක්


3. තෝෆු



සෝයා කිරි මිදවීමෙන් තමයි තෝෆු හදන්නෙ. තෝෆු තියෙන්නෙ සුදු පාට කුට්ටි විදිහට​. මුදවපු කිරි වලට සමාන පෙනුමක් සහ සොබාවයක් තියෙනවා.

තෝෆු කෑම වර්ග ගණනාවක් එක්ක ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ජපන් කෑම වල මස් හෝ මාළු අනිවාර්‍ය අංගයක්. ජපානයේ ගන්න පුළුවන් නිර්මාංශික ආහාර අතලොස්සෙන් එකක් තමයි තෝෆු. මේ නිසා බෞද්ධ ආහාර ක්‍රම වල තෝෆු වැදගත් තැනක් ගන්නවා.

සකස් කරන ක්‍රමය අනුව තෝෆු වර්ග ගණනාවක් තියෙනවා

මෘදු තෝෆු - මේ තෝෆු මෘදු සොබාවයක් ගන්නවා.
දැඩි තෝෆු - මේ තෝෆු සොබාවයෙන් දැඩියි.
අබුරාගේ - ගැඹුරු තෙලේ බැදගත්ත සිහින් තෝෆු පෙති.
කොයදෝෆු - ශීත කිරීමෙන් වියළා ගත් තෝෆු.
තෝෆුයෝ - සහල් සහ අවමොර් මධ්‍යසාර යොදාගෙන පැසවූ තෝෆු.


4. යකිතෝරි



යකිතෝරි කියන්නෙ කෙටි කෑමක් විදිහට භාවිතාවන ඉතාමත් ජනප්‍රිය ආහාර වර්ගයක්. බැදපු කුකුළු මස් කැබලි ඉරටුවක අමුණාගැනීමෙන් තමයි යකිතෝරි හදන්නෙ.

පිළියෙල කරන ක්‍රමය අනුව යකිතෝරි වර්ග ගණනාවක් තියෙනවා.

නෙගිමා - කුකුළු මස් කැබලි අතරට බැදපු ලීක්ස් කැබලි සහිතව සකස් කරන යකිතෝරි වර්ගයක්
මොමො - කුකුළාගේ කලවා මස් වලින් පිළියෙල කරන යකිතෝරි
ත්සුකුනෙ - අඹරාගත් කුකුල් මස් බිත්තර සහ එළවලු වර්ග සමඟ මිශ්‍ර කරල හදන මස් බෝල​
තොරිකව - මේදය සහිත කුකුල් හම් කැබලි
තෙබසකි - කුකුල් අත්තටු
රෙබ - කුකුල් පීකුදු
නන්කොත්සු - කුකුලාගේ පපු අස්ථියේ කාටිලේජය​


5. ඔකොනොමියකි



ඔකොනොමියකි පිළියෙල කරන්නෙ විවිධ කෑම වර්ග ගණනාවක් යකඩ තැටියක් මත රත් කර ගැනීමෙන්. මේකට යොදන කෑම වර්ග ගැන හරියටම නීතියක් නෑ. තමන්ට කැමති දේ යොදන්න පුළුවන්. ඇත්තෙන්ම "ඔකොනොමි" කියන එකේ තේරුම "තමන්ට කැමති දෙයක්" කියන එක​.

ඔකොනොමියකි හදන්නෙ පිටි මිශ්‍රනයක් (batter) සහ ඒකට එකතු කරන දේ එකට කලවම් කරලා රත් කළ යක්ඩ තැටියක් මත රවුම් හැඩයකට අතුරාගෙන ඔම්ලට් එකක් වගේ රත් කර ගැනීමෙන්. පිසුවට පස්සෙ ඒකට උඩින් සිහින්ව කපා ගෙන වියළා ගත් මාළු තීරු (කත්සුවොබුෂි), සෝස් සහ මැයොනීස් එක් කරනවා.

ඔකොනොමියකි හදන්න ගන්න දේවල් අතර බිත්තර​, ගෝවා, මස් වර්ග​, මාළු සහ වෙනත් මුහුදු කෑම​, චීස් ජනප්‍රියයි.

ඔකොනොමියකි ගොඩක් ප්‍රචලිත බටහිර ජපානයේ.


6. කරෙ



කරෙ නැත්තම් "ජපන් කරි" කියල හඳුන්වන්නේ අපේ හොදි වලට සමාන කෑමක්. කරෙ ජපානයේ අතිශයින්ම ජනප්‍රිය කෑම වර්ගයක්.

කරෙ හදන්න මස් වර්ග​, අල​, කැරට් සහ ළූණු යොදා ගන්නවා. ඊට අමතරව තුනපහ වලට සමාන කුළුබඩු මිශ්‍රනයකුත් යොදාගන්නවා. සකස් කරන්නෙ අපේ හොද්දක් හදනවට ගොඩක් සමාන ක්‍රමයකට​.

කරෙ අපේ හොද්දකට වඩා උකුයි. ඒ වගේම සැර ගතියෙන් අඩුයි. යන්තම් පැණි රසින් යුක්තයි.


7. මිසෝ සුප්



මිසෝ සුප් තමයි සාම්ප්‍රදායික ජපන් කෑම අතරින් ජනප්‍රියම සුප් වර්ගය​.

මිසෝ සුප් හදන්නෙ මිසෝ කියල හැඳින්වෙන සෝයා බෝංචි ඇට, ලුණු සහ දිලීර වර්ගයක් යොදාගෙන හදන කුඩු වර්ගයකින්. මේ කුඩු දෂි කියල හැඳින්වෙන සුප් වතුරේ දිය කරගැනීමෙන් තමයි මිසෝ සුප් හදන්නෙ. මිසෝ සුප් වලට තෝෆු කැබලි, එළවළු, මුහුදු කෑම සහ මස් වර්ගත් එකතු කරන්න පුළුවන්.

උදෑසන ආහාරයක් විදිහට මිසෝ සුප් ඉතා ජනප්‍රියයි.


8. එදමමෙ



එදමමෙ කියල හැඳින්වෙන්නේ ලුණු දාපු සෝයා බෝංචි. ගොඩක් අවන්හල් වල එදමමෙ යොදා ගැනෙන්නෙ බියර් හෝ සකෙ බොද්දි කටගැස්මක් විදිහට​.


9. සුකියකි



සුකියකි කියල හැඳින්වෙන්නේ හරක් මස් ඉස්ටුවක්. සුකියකි වල සිහින්ව කැපූ හරක් මස් කැබලි වලට අමතරව එළවළු සහ තෝෆු ත් අඩංගු වෙනවා. ඉස්ටුව පිළියෙල කරන්නේ කෑම කන මේසය උඩම තියපු කුඩා උඳුනක් මත තියලා. ශීත කාලයට ගන්න ශක්තිජනක ආහාරයක් විදිහටයි සුකියකි සැලකෙන්නේ.


10. නත්තෝ



සෝයා බෝංචි ඇට වතුරේ පොඟවලා, හුමාලයෙන් තම්බලා, පැසවීමට ඇරීමෙන් තමයි නත්තෝ හදන්නේ. ඇලෙන සුළු මැලියම් සොබාවයකින්, අප්‍රසන්න රසකින් සහ අප්‍රසන්න ගඳකින් යුක්ත වුනත්, ජපන්නු නත්තෝ ආහාරයට ගන්නේ එහි ඇති සෞඛ්‍ය සම්පන්න කම නිසා. ඇඟේ තියෙන විෂ උරාගෙන පිට කිරීමට නත්තෝ වලට හැකියාව තියෙනවා.


11. ෆුගු



ෆුගු කියල හැඳින්වෙන්නේ පෆර් ෆිෂ් පවුලට අයත් මාළු වර්ග කීපයකින් පිළියෙල කරන කෑමක්. ෆුගු වල විශේෂත්වය වෙන්නේ මේ සඳහා යොදාගන්නා මාළු ඉතා අධික විෂ සහිත වීම​. මේ නිසා ෆුගු පිළියෙල කරන කෝකියන් විශේෂ පුහුණුවක් ලබාගත්ත අය​. පිළියෙල කිරීමේදී අත් වැරැද්දක් වුනොත් ආහාරයට ගන්න කෙනා ක්‍ෂනිකව මරණයට පත් වෙන්න පුළුවන්. ෆුගු අමුවෙන් වගේම උයලත් කෑමට ගන්නවා.


12. ෂෝයූ



සෝයා සෝස්. ජපන් කෑම වල ඉතාමත් බහුලව යොදා ගන්න සෝස් වර්ගය​. තරමක් ලුණු රසින් යුක්ත ෂෝයූ සෝස් කෑම උයද්දි වගේම සමහර කෑම වර්ග කන්න කලින් ඔබා ගන්නත් පාවිච්චි කරනවා.


13. වසබි



සාම්ප්‍රදායික ජපන් කෑම වේලක නොවරදින අංගයක් තමයි වසබි. වසබි කියන්නේ "ජපන් අශ්වරාබු" කියන රාබු අල වලින් හදන තලපයක්. කොළ පැහැයෙන් යුක්ත වසබි නාසය දවාගෙන යන සුළු රසකින් යුක්තයි. ප්‍රධාන කෑම වර්ග වල රස වැඩි කරන "කටගැස්මක්" විදිහට තමයි වසබි පාවිච්චි වෙන්නෙ.


14. බසෂි



සිහින් තීරු වලට කැපූ අමු අශ්ව මස්. බසෂි සාමාන්‍යයෙන් කෑමට ගන්නෙ ඉඟුරු සහ කොළ ළූණු එක්ක​. බසෂි සැලකෙන්නෙ තරමක් මිල අධික කෑමක් විදිහට​.


15. කෝබේ හරක් මස්




කෝබේ හරක් මස් සැලකෙන්නේ ලෝකයේ ඉස්තරම්ම හරක් මස් විදිහට​. ජපානයේ කෝබේ නගරය ආශ්‍රිතව තියෙන හරක් ගොවිපොළ වල නිෂ්පාදනය කරන හරක් මස්. මේ සඳහා යොදා ගන්නේ "තජිමා" කියල හැඳින්වෙන ජපානයටම ආවේනික හරක් වර්ගයක කෝබේ නගරය ආශ්‍රිතව උපත ලබන හරක් පමණයි. මේ හරකුන් මස් පිණිසම ඇති කරන අතර​, විශේෂ සැලකීම් වලට ලක් කෙරෙනවා. උන්ට කෑමට දෙන්නෙ විශේෂ කෑම වර්ග​. මේ කෑම වර්ග වලට බියර් අඩංගු වෙනවා. කෝබේ හරක් මස් ඉතාම මෘදු සොබාවයෙන් සහ උසස් රසයෙන් යුක්තයි. ඒ වගේම ඉතාමත් අධික මිලෙන් යුක්තයි. කෝබේ හරක් මස් අමුවෙන්, ස්ටීක් විදිහට​, ඉස්ටු විදිහට වගේම බැදලත් කෑමට ගන්න පුළුවන්.

7 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  2. හපොයි බාගේට බාගයක් අමුයි

    ReplyDelete
  3. ගොඩාක් තොරතුරු හොයාගන්න පුළුවන් වුනා.
    ありがとお ございます。

    ReplyDelete
  4. Loved readding this thank you

    ReplyDelete