Wednesday, February 4, 2015

නිදහස ගැන​



මේ ලංකාවේ 67 වන නිදහස් දිනයේ මා ලියූ ෆේස්බුක් කොමන්ට් කීපයක දැක්වූ අදහස් එක් කර තැනූ සටහනකි.

සුද්දා අපිට නිදහස දුන්නේ ඇයි?




ඕනම ප්‍රශ්නයක් දිහා සාධක තුනක් ඔස්සේ බලන්න වෙනවා. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (සංස්කෘතික කිව්වෙ පුළුල් අරුතකින්).

දේශපාලන සාධක ඔස්සේ බැලුවම සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

කාරනා කීපයක් තියෙනවා. වැදගත්ම එක දෙවෙනි ලෝක යුද්ධෙන් නට්ටං වෙන්න කාල හිටපු සුද්දට යටත් විජිත පාලනය කරන්න තරම් යුධ ශක්තියක් තිබ්බෙ නෑ.
දෙවෙනි එක ඉන්දියානු නිදහස් සටන. ඉන්දියාව ට නිදහස දුන්නට පස්සෙ ලංකාව යටත් විජිතයක් වශයෙන් පවත්වාගෙන යාම අපහසුයි වගේම එච්චර ලාභදායී වැඩක් නෙවෙයි.
තුන්වෙනි එක බ්‍රිතාන්‍යයේ බලයට පත්වෙන්නෙ කම්කරු පක්‍ෂ රජයක්. දැන් කම්කරු පක්‍ෂය වගේ නෙවෙයි ඒ කාලෙ ඇට්ලී ගේ කම්කරු පක්‍ෂය ඇත්තටම සමාජවාදියි. ඒ නිසා යටත් විජිත ගැන ඔවුන් කන්සර්වේටිව් පක්‍ෂයට වඩා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා.
හතරවෙනි එක, ලංකාවේ නිදහස් සටනේ ඉදිරියෙන්ම හිටියෙ වාමාංශිකයො. ඒ නිසා නිදහස නොදී ඉඳල නිදහස් සටන ඇවිලිලා ගියොත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බලවත් වෙයි කියන බය සුද්දට තිබ්බ.

ආර්ථික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

ප්‍රධානම හේතුව යටත් විජිත ආර්ථික ක්‍රමයට වඩා නව යටත් විජිත ආර්ථික ක්‍රමය ලාභදායී වීම. මිනිහෙක් ගෙන් බලෙන් වැඩගන්නවට වඩා ඌව අන්දවල වැඩ ගන්න එක හැම අතින්ම ලාභදායී. වහල් ක්‍රමයට වඩා ලාබ කම්කරු ශ්‍රමය ලාභදායී වීම නිසා ඇමරිකන් සිවිල් යුද්ධය ඇතිවෙනවා වගේ මෙතනදිත් නව යටත් විජිත වාදයට ඉඩ දීලා යටත් විජිත වාදය හැලිල යනවා.
ඊළඟට සුද්ද ලංකාව තියාගත්තේ "ෂෝ පීස්" එකක් හැටියට. තේ, කුරුඳු වගේ ලක්‍ෂරි වෙළඳ ද්‍රව්‍යය තමයි මෙහෙ හැදුවෙ. වෙන යටත් විජිත වගේ තොග ගානට ස්වාභාවික සම්පත් හෝ මානව සම්පත් කොල්ල කන තැනක් වශයෙන් නෙවෙයි. ඉතින් ඉන්දියාව නැතුව ලංකාව විතරක් තියාගන්න එක ආර්ථික අතින් පාඩුයි.

සංස්කෘතික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

වැදගත්ම දේ. ඉන්දියාවෙ වගේ ලංකාවෙ ජාතික සටනක් ඇති වුනේ නෑ. ලංකාවේ දේශපාලන නායකත්වය සුද්දට කඹුරපු උගෙ සුවච කීකරු බලු කුක්කො සෙට් එකක්. ඉන්දියාවේ දේශපාලන නායකත්වය දෙවෙනි ලෝක යුද්ධයට සහය නොදීමේ ප්‍රතිපත්තියක ඉන්නකොට ලංකාවෙ අය අත් දෙකම උස්සල ඒකට සහය දුන්න. ඒ නිසා ඊනියා නිදසහ දුන්නත් රටේ ඇත්තම මාස්ටර්ල තමා බව සුද්ද දැනගෙන හිටියා.

පණස් හයේ පෙරලියෙන් සුද්දගෙ මේ කැල්කියුලේෂන් එකට නොසිතූ හෙණ ගෙඩියක් පාත් වෙනවා. ඒත් ඒක වෙනම කතාවක්.


සුද්ද ආවෙ නැත්තං අපි කොහොමට ඉඳියි ද​?



මේ ප්‍රශ්නෙට ගොඩක් අය දෙන උත්තරේ ජිස්ට් එක "සුද්ද ආවෙ නැත්තං අපි තාම වැඩවසම් රාජාණ්ඩුවක් වෙලා තියෙයි" කියන එක​.

මේ ගොල්ලො අමතක කරන වැදගත් කාරණාව තමයි සුද්දා ආවත් නැතත් ලංකාවට (හෝ ලෝකයේ ඕනම රටකට​) ලෝකය හරහා හමා යන දේශපාලන - ආර්ථික - සංස්කෘතික ප්‍රවාහයන් ගෙන් මිදෙන්න බෑ කියන එක​. ලංකාවට දවසක්වත් සුද්දට යටත් නොවී තිබ්බ නං ඒත් ලෝකයේ සිද්ධ වෙන සමාජ පරිණාමය ලංකාවට දැනෙනවා. රාජාණ්ඩුවක් විදිහට තියෙන්න බෑ. ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවා.

ලෝකයේ සුද්දට යටත් නොවී තිබ්බ රටවල් තියෙනවා. අද ඒවයේ ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. ජපානය​, රුසියාව​, තායිලන්තය​, ඉතියෝපියාව​, තුර්කිය උදාහරණ​.

ඒ වගේම අද ලෝකයේ රාජාණ්ඩු තියෙන්නෙ හයයි. ඒ සවුදි අරාබිය​, ඕමාන්, කටාර්, එක්සත් අරාබි එමීර්, බෲනෙයි, ස්වාසිලන්තය​. මේ අතරින් සවුදි අරාබිය ඇරෙන්නෙ අනික් හැම රටක් ම සුද්දට යටත් වෙලා තිබ්බ රටවල්. ඒකෙන් පේනවා රාජාණ්ඩු සහ සුද්ද අතර කිසිම සම්බන්ධයක් නෑ කියල​. මේ රටවල රාජාණ්ඩු තියෙන්න හේතු වෙනස්. සවුදි අරාබිය​, කටාර් සහ එක්සත් අරාබි එමීර් රටවල් වල රාජාණ්ඩු තියෙන්නෙ වහාබි වාදයේ අනුහසින්.

ආයෙ ඇහෙන කතාවක් තමයි සුද්දො පාරවල් හදලා දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරා (පන් ටෝටලි ඉන්ටෙන්ඩඩ්) කියන එක​.

මේ අය අමතක කරණ කාරණය තමයි 1505 පරංගි එනකොට අපේ රට කොහොමත් ආර්ථික අතින් සෑහෙන ඉදිරියෙන් හිටපු රටක් කියන එක​. එතකොට මේ අය අහනවා "එහෙනම් කර්මාන්ත මොනවද තිබ්බෙ" කියල​. ඒකට මම දෙන උත්තරය තමයි "1505 යුරෝපයේ මොනවද තිබ්බ කර්මාන්ත?" කියන එක​. 1505 ලංකාවයි 2005 යුරෝපයයි සසඳන්න බෑ නේ. 1505 සුද්දො ආවත් නැතත් ලෝකය පොදුවේ ලබන කාර්මික දියුණුව අපිටත් ලැබෙනවා. ලංකාව 1505 වෙනකං ලබාගෙන තිබ්බ දැණුම 100% ලංකාවෙ නිෂ්පාදනයක් නෙවෙයි නෙ. ඒකත් බාහිරින් උකහා ගත්ත දැණුමක් තමයි. ඒ ක්‍රියාවලියම අනිවාර්‍යයෙන්ම 1505 පස්සෙත් සිද්ධ වෙනවා. පරංගින් ගෙ තුවක්කු අනුකරණය කරල අපි හදපු තුවක්කු උංගෙ ඒවටත් වඩා හොඳ තත්වයේ තිබ්බ කියන එක විතරක් මෙතන සටහන් කරල තියනවා.

ඒ වගේම ඒ දේශපාලන - ආර්ථික - සංස්කෘතික පරිණාමය සිද්ධ වෙන්නෙ අපිට ඕනෙ විදිහට මිසක් සුද්දට ඕනෙ විදිහට නොවන නිසා ලංකාවේ අද තියෙන විකෘති සමාජය බිහි නොවී මීට වඩා හැම අතින්ම සමබර දියුණු සමාජයක් තියෙන්න තිබ්බ​. සුද්ද අපිට උගේ සංස්කෘතියෙ කෑලි පටවල ගියාට ඒවට පසුබිම් වුන දේශපාලන - ආර්ථික - සංස්කෘතික සාධක අපේ රටේ ඒ විදිහටම නොතිබුණ නිසා ඒව අපිට ලැබුණේ ශක්තිමත් පදනමකින් තොරව​. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය​, සර්වජන ඡන්ද බලය මඩේ හිටවපු ඉණි වගේ වැනෙන්නෙ ඒ නිසා.


සුද්ද ගියේ නැත්තං අපි අද කොහොම ඉඳියි ද​?

 

සුද්ද ගියේ නැත්තං මේක අද ඕස්ට්‍රේලියාවක් කැනඩාවක් කියන කතාව තමයි ඇහෙන්නෙ.

මේක වෙන්න පුළුවන් එකම විදිහ ඕස්ට්‍රේලියාවෙ කැනඩාවෙ සිද්ධ වුනා වගේ ස්වදේශිකයන්ව සමූල ඝාතනය කරල සුද්දො බුරුතු පිටින් ඇවිල්ල ලංකාවෙ පදිංචි වෙන එක​. වාසනාවකට වගේ නුවරඑළියෙ සුදු ජනපදයක් හදන්න දරපු ප්‍රයත්නය අසාර්ථක වුන නිසා එහෙම අබග්ගයක් අපිට වුනේ නෑ.

ලංකාව ස්වදේශිකයො පිටින්ම සුද්දට දිගටම යටත් වෙලා තිබ්බ නම් තත්වය බලන්න පුළුවන් උදාහරණ දෙක තුනක් තියෙනවා අප්‍රිකාවෙ. එක්කො දකුණු අප්‍රිකාවෙ වගේ උපන් බිමේ දෙවෙනි පන්තියේ පුරවැසියො වෙලා ඉන්න තිබ්බ​. නැත්තං මොසැම්බික්, නමීබියාව වගේ සුද්ද එක්ක ලේ හැලෙන යුද්ධයක් කරන්න තිබ්බ​.

බැරිවෙලාවත් සුද්ද නොගියනං එහෙම​...

ඉංග්‍රීසි උගත් කොළඹ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

හරි හමං අධ්‍යාපනයක් නැති නිසා සමාජ සදාචාරය, සෞඛය මට්ටම එහෙම මීට වඩා ගොඩක් දුර්වල තත්වයක තියෙයි.

සුද්දො නීතියට උඩින් ඉඳියි (දැන් මැරයො නීතියට උඩින් ඉන්නව වගේ).

උතුරු නැගනහිර බොහෝ දුරට දකුණෙන් ගොඩාක් ස්වාධීන වෙලා තියෙයි. වෙනම රටක් වෙන එකක් නෑ - ඔක්කොම සුද්දගෙ රට නෙ. එහෙත් ඉංග්‍රීසි උගත් යාපනේ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

රටේ ආර්ථික ප්‍රතිපත්ති සුද්දට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ තේ කර්මාන්තය වගේ ඌට ඕනෙ කර්මාන්ත පට්ටෙටම දියුණු වෙලා තියෙයි. අනික් ඒවට අබ සරණ වෙලා තියෙයි.

යටිතල පහසුකම් එහෙමත් සුද්දගෙ බිස්නස් වලට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ උඩරට දුම්.රිය මාර්ගය, එයාපෝට් එකට යන පාර එහෙම ෆුල් සුපිරියට තියෙයි. ඈත පැති වල පාරවල් එහෙම කරත්ත පාරවල් වගේ තියෙයි.

අතින් පාඩු කරගෙන ලංකාවෙ උන්ට කරන්ට් දෙන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා එක්කො ලංකාවෙන් 75%කට විතර විදුලි බල පහසුකම් නැතිවෙයි. නැත්තං ලයිට් බිල පට්ට ගණන් වෙලා තියෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ බයියන්ට උගන්නන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ලංකාවෙ සාක්‍ෂරතාවය 50% විතර වෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ උන්ට බෙහෙත් කරන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ඉස්පිරිතාල වල සල්ලි වලට බෙහෙත් දෙයි. දුප්පත් උන්ට අබ සරණ වෙයි.

මොනවහරි ඉල්ලල සද්දයක් දැම්මොත් ඌව-වෙල්ලස්සෙ කරා වගේ නැත්තං අම්‍.රිත්සාර් වල කරා වගේ නැත්තං 1914 සිංහල-මරක්කල කෝලහලෙ කාලෙ කරා වගේ හැත්ත බුරුත්තටම වෙඩි තියල දායි. සුද්දට ජිනීවා වල මානව හිමිකම් චෝදනා ගේන්නත් කවුරුත් නැතිවෙයි

2 comments:

  1. ඉතා සාධාරණ විග්‍රහයක් .ඉස්තුතියි

    ReplyDelete
  2. +++ සාධාරණ විග්‍රහයක්

    ReplyDelete