Tuesday, May 6, 2014

වහාබි වාදයේ ඉතිහාසය - 1


සලාෆි

සලාෆි යනු මුස්ලිම් සමාජය මුහම්මද් තුමාගේ කාලයේ තිබූ අකාරයට අනුව සකස් විය යුතුය යන විශ්වාසය මත පදනම් වූ ආගමික ව්‍යාපාරයකි. ඔවුන් කුරානය අකුරටම අනුගමනය කිරීම මත තම ව්‍යාපරය පදනම් කරන අතර, ඉස්ලාමීය සමාජයට බැහැරින් පැමිනෙන සංස්කෘතික බලපෑම් සම්පූර්නයෙන්ම ඉවත හෙලිය යුතු බවට විශ්වාස කරති.


මුහම්මද් අල්-වහාබ් (1703-1792)

මුහම්මද් ඉබ්න් අද්-අල්-වහාබ් යනු දහඅටවන සියවසේ ජීවත් වූ අරාබි ජාතික ආගමික නායකයෙකි. ඔහු "සලාෆි" නමින් හැඳින්වෙන ඉස්ලාමීය ව්‍යාපාරයේ සාමාජිකයෙක් විය. වහාබි වාදයේ පියා ලෙස සැලකෙන්නේ ඔහුයි. ඔහු 1703 දී අරාබියේ නජ්ද් ප්‍රදේශයේ උපත ලැබීය. නජ්ද් යනු වර්තමාන සවුදි අරාබි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශය වන අතර, සවුදි අරාබියේ අගනුවර වන රියාද් පිහිටා ඇත්තේ ද නජ්ද් ප්‍රදේශයේ ය. නජ්ද් හි වැසියන් බොහොමයක් කාන්තාරයේ වාසය කරන සංචාරක අරාබි ගෝත්‍ර (බෙදූවියන් වරු) වන නමුත් අල්-වහාබ් අයත් වූයේ බෙදූවියන් නොවන අරාබි ගෝත්‍රයක් වූ බානු තමීම් ගෝත්‍රයටයි.

තරුණ වයසේ දී ඔහු අරාබි ලෝකය පුරා සංචාරය කරමින් ඉස්ලාමය හැදෑරීය. නමුත් මක්කමේ ඔහුගේ ගුරුවරයා පැවසුවේ ඔහු දුර්වල, උද්දච්ඡ සහ ගුරුවරුන්ට ගරු නොකල සිසුවෙක් වූ බවයි. ඔහු මෙම කාලයේ දී මක්කම, මදීනා, බස්‍.රා සහ බැග්ඩෑඩ් වැනි අරාබි ලෝකයේ ප්‍රමුඛ නගර වලට ගියේය.

1740දී නැවත තම ගම රට බලා පැමිණි අල්-වහාබ් ප්‍රාදේශීය පාලකයා සමඟ එක්ව තමාගේ අදහස් ක්‍රියාවට නංවන්නට විය. ඔහු සලාෆි වාදී අදහස් අන්තයට ක්‍රියාවට නංවමින් ප්‍රාදේශීය අරාබි වරුන් ගේ වන්දනාවට ලක්වූ නබිතුමාගේ සහචරයෙකු ගේ සොහොනක් කඩා බිඳ දමා අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීමේ නීතිය නැවත ස්ථාපිත කළේය (සටහන : අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීම කුරානයේ කිසිම තැනක සඳහන් නොවේ). අසල්වැසි අරාබි ගෝත්‍ර මෙම සිද්ධීන් ගෙන් කලබලයට පත්වී අල්-වහාබ් මරා දමන ලෙස බානු තමීම් ගෝත්‍රයේ පාලකයාට බලපෑම් කලහ. විශේෂයෙන්ම මෙම බලපෑම් එල්ල වුනේ වෙරළබඩ නාගරිකයන් ගෙනි. එබැවින් අල්-වහාබ් ට තම ගම අතහැර පලා යන්නට සිදුවිය.

ඔහු තව දුරටත් අරාබි අර්ධද්වීපයේ අභ්‍යන්තරයට පලා යමින් දිරියා නගරයට පැමිණියේය. දිරියා හි ප්‍රාදේශීය පාලකයා වූ මුහම්මද් බින් සාවුද් ඔහු පිළිගත් අතර දෙදෙනා අතර 1744දී ගිවිසුමක් ඇතිවිය. එයින් අල්-වහාබ්, සාවුද් ට අරාබිය පුරා තම බලය පැතිරවීමට සහාය දෙන බවටත්, සාවුද්, අල්-වහාබ් ට තමාගේ බල ප්‍රදේශය තුල අල්-වහාබ් ගේ ආගමික අදහස් පැතිරවීමට ඉඩ දෙන බවටත් ගිවිස ගැනිනි. පසුව සාවුද් ගේ පුතා සහ අල්-වහාබ් ගේ දියණිය අතර ඇතිවූ විවාහයෙන් මෙය වඩාත් තහවුරු විය.

සාවුද් සහ ඔහුගේ පුත් අබ්දුල් අසීස් ඉබ්න් සාවුද් යටතේ දිරියා හි හමුදා දකුණු සහ බටහිර වෙරළ හැරුනු විට මුළු අරාබි අර්ධ ද්වීපයම තමා යටතට ගත් අතර, 1792 දී අල්-වහාබ් මිය යන විට දිරියා එමීර් රාජ්‍යය ඉතා බල සම්පන්න තත්වයේ පැවතිනි.


  දිරියා එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)

දිරියා එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)


අල්-වහාබ් ගේ ඉගැන්වීම්


අල්-වහාබ් ගේ ඉගැන්වීම් වලට අනුව, මුස්ලිම් සමාජයේ සෑම අංගයක්ම කුරානයේ හෝ හදීසයන් ගේ ඉගැන්වීම් මත පදනම් විය යුතුය. 


අල්-වහාබ් ගේ ඉගැන්වීම් සමහරක් පහත දැක්වේ

1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
5. දුම්පානය තහනම් වේ
6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
12. කඩදාසි මුදල් භාවිතය තහනම් වේ
13. වහල් සේවය අනුමත කරයි
14. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ


වහාබි වාදය සුන්නි ඉස්ලාම් නිකායේම උප කුලකයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔවුන් ගේ සමහර ඉගැන්වීම් සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් වරුන් ගේ විවේචනයට ලක් වේ. ෂියා සහ සුෆී මුස්ලිම් වරුද වහාබි වාදය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරති.


 මුහම්ම්ද් අල්-වහාබ් ගේ මරණින් පසු


අල්-වහාබ් මිය ගිය පසුවද දිරියා එමීර් රාජ්‍යයේ පැතිරීම දිගටම සිදු වූ අතර 1801 දී ඔවුන් ගේ හමුදා වර්තමාන ඉරාකයේ ඇති ෂියා වරුන් ගේ වඩාත්ම පූජනීය නගරය වන කර්බාලා නගරයට පහර දී එහි තිබූ ෂියා ඉමම් වරුන් ගේ සොහොන් රාශියක් විනාශ කලහ.


1804 දී මුස්ලිම් වරුන් ගේ පූජනීය නගර වන මක්කම සහ මදීනා පිහිටි හෙජාස් (අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ) ප්‍රදේශයට පහර දුන් දිරියා එමීර් රාජ්‍යයේ හමුදා ඒවා එතෙක් පාලනය කල ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙන් අල්ලා ගත්හ. මේ හේතුවෙන් බලවත් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය සහ දිරියා එමීර් රාජ්‍යය අතර යුද්ධයක් ඇති වූ අතර තුර්කි හමුදා 1818 දී දිරියා නගරයට පහර දී එය අල්ලා ගත්හ.

දිරියා හි එමීර් වරයා සහ වහාබි ආගමික නායකයන් ගනනාවක් මරණයට පත් කරන ලද අතර, මුළු අරාබි අර්ධද්වීපයම තුර්කි බලයට නතු විය. පළමුවන සවුදි රාජ්‍යයේ අවසානය අසේ සිදුවිය.


දෙවන සවුදි රාජ්‍යය (නජ්ද් එමීර් රාජ්‍යය)

1824 දී සවුද් පෙළපතට අයත් අබ්දුල්ලාහ් ඉබ්න් මොහොමඩ් විසින් තුර්කි හමුදා පලවා හැර රියාද් නගරයේ බලය අල්ලා ගැනීමත් සමඟම දෙවන සවුදි රාජ්‍යය ආරම්භ විය. එය නජ්ද් එමීර් රාජ්‍යය ලෙස හැඳින්වුනු අතර අගනුවර වූයේ රියාද් නගරයයි. නජ්ද් එමීර් රාජ්‍යයේ පැතිරීම නැගෙනහිර දෙසට වූ අතර 1890 වන විට එය මධ්‍යම අරාබි අර්ධද්වීපය සහ පර්සියානු බොක්ක අවට ප්‍රදේශ වසා පැතිරිනි.



නජ්ද් එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)



 නජ්ද් එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)


1891 දී අල් රෂීඩ් පෙළපත විසින් පාලනය කල​ උතුරු අරාබියේ නගරයක් වූ හෛල් අගනුවර කරගත් ජබල් ෂමාර් එමීර් රාජ්‍යය සහ නජ්ද් එමීර් රාජ්‍යය අතර ආගමික ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටුමක් ඇති විය. තුර්කි වරුන් ගේ සහය අල් රෂීඩ් වරුන්ට ලැබුනු අතර, ඔවුහු 1891දී රියාද් නගරයත්, නජ්ද් එමීර් රාජ්‍යයේ වැඩි කොටසකුත් අල්ලා ගත්හ. මෙය දෙවන සවුදි රාජ්‍යයේ අවසානයයි.

ජබල් ෂමාර් එමීර් රාජ්‍යය තුර්කි වරුන් ගේ සහයෙන් අරාබි අර්ධද්වීපයේ වැඩි කොටසක සිය බලය පැතිරවූහ​. වහාබි වරුන්ට සහ ඔවුන් ගේ අනුග්‍රාහකයා වූ සාවුද් වරුන්ට පසු බසින්නට සිදුවිය​.

 ජබල් ෂමර් එමීර් රාජ්‍යයේ කොඩිය​ (උපුටා ගැනීම විකීපීඩියා)

ජබල් ෂමර් එමීර් රාජ්‍යය​ (උපුටා ගැනීම විකීපීඩියා)

No comments:

Post a Comment