Monday, May 1, 2017

කොරියාව දෙකඩ වීම - 3 (කොරියානු යුද්ධය​)



කොරියාවේ බල තුලනය​


කොරියානු අර්ධද්වීපයේ බල තුලනය හදිසියේම වෙනස් වෙන සිද්ධියක් වෙනවා 1949 ඔක්තෝබර් මාසෙදි. ඒ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය අල්ලා ගැනීමෙන්. චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය වෙනුවෙන් කළ යුද්ධයේදී කොරියානු කොමියුනිස්ට් වරුන් ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ දුම්.රිය, ආයුධ සහ සෙබළු සැපයීමෙන්. මේ නිසා කොමියුනිස්ට් චීනය උතුරු කොරියාවේ කිට්ටු මිතුරෙක් වෙනවා.

ජෙජු කැරැල්ල පරාජය වීමත් එක්ක කිම් ඉල්-සුං වටහා ගන්නවා රී ගෙ මර්ධනකාරී පාලනයත් එක්ක දකුණු කොරියාවේ කොමියුනිස්ට් විප්ලවයක් කියන්නෙ අපහසු ඉලක්කයක් කියල​. ඒ නිසා ඔහු තෝරා ගන්නවා උතුරු කොරියානු හමුදාව විසින් කරන ආක්‍රමනයක්.

රී ත් කල් යල් බල බල ඉන්නෙ උතුරු කොරියාව ආක්‍රමනය කිරීමේ පොටක් පෑදෙන තුරු.

නමුත් මෙතනදි උතුරු කොරියාවට පැහැදිලි වාසියක් තියෙනවා. ඒ කොමියුනිස්ට් චීනය​. සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවේ යුද්ධයකට පැටලෙන්න අකැමැති නිසා යුද්ධයක් වෙනුවෙන් කිම් ඉල්-සුං සහ රී ව දිරිමත් කරන්නෙ නෑ. නමුත් මාඕ කිම් ඉල්-සුං ට පොරොන්දු වෙනවා ආක්‍රමනයකදී චීන සහය උතුරු කොරියාවට ලබා දෙන්න​.

මාඕ සහ කිම් ඉල්-සුං


උතුරු කොරියාව සහ දකුණු කොරියාව සන්සන්දන​යක්


1950 වෙනකොට උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ දේශපාලන - ආර්ථික තත්වයන් වල ලොකු වෙනස්කම් තිබ්බ​.

1. භූමි ප්‍රමානය : 

උතුරු කොරියාව වර්ග කිලෝමීටර 120,000; දකුණු කොරියාව වර්ග කිලෝමීටර 100,000. නමුත් උතුරු කොරියාවේ භූමියෙන් වැඩි හරිය කඳු.

2. ජනගහණය :

උතුරු කොරියාව මිලියන 9; දකුණු කොරියාව මිලියන 16

3. ආර්ථිකය :

ජපන් යටත් විජිත සමයේදී ජපන්නු කොරියාවේ බැර කර්මාන්ත ඔක්කොම පාහේ ස්ථානගත කරේ උතුරේ. ඒ නිසා කාර්මික හැකියාව අතින් උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා සෑහෙන ඉදිරියෙන් හිටියා.

4. දේශපාලන තත්වය :

උතුරු කොරියාවේ දේශපාලන තත්වය සාපේක්‍ෂව සාමකාමීයි. ජාතිකවාදීන් ගේ සහය අඩු වැඩි වශයෙන් කිම් ඉල්-සුං ට ලැබුනා. නමුත් දකුණු කොරියාවේ දේශපාලනය ඉතාමත් අවුල් සහගතයි. ජනගහණයෙන් විශාල කොටසක් රී ගේ රජයට සහය දුන්නේ නෑ. කොමියුනිස්ට් වරු කෙලින්ම උතුරු කොරියාවට පක්‍ෂපාතී වුනා.

දකුණු කොරියානු හමුදාව 1950

5. යුධමය හැකියාව :

දෙවෙනි ලෝක යුද්ධ සමයේ ජපනුන්ට එරෙහිව යුද්ධ කරපු කොරියානු ගරිල්ලන් ගෙන් සමන්විත වුන ඉතා පළපුරුදු හමුදාවක් උතුරු කොරියාවට හිටියා. අමතරව ඔවුන්ට චීන විප්ලවයේදී සටන් කරල ලද අත්දැකීමුත් තිබිනා. සෝවියට් දේශය විසින් ලබා දුන්න නවීන ආයුධ වලින් සන්නද්ධ වුන මේ හමුදාව ඉතාමත් ක්‍රියාකාරී හමුදාවක්.

නමුත් දකුණු කොරියාවට ඒ වගේ පළපුරුදු හමුදාවක් හිටියෙ නෑ. ඔවුන් රඳාපැවතුනේ දකුණු කොරියාවේ ස්ථානගත කරල හිටපු ඇමරිකන් හමුදා ඛන්ඩ මත​.

සංඛ්‍යාත්මකව උතුරු කොරියානු හමුදාව දකුණු කොරියානු හමුදාව වගේ දෙගුණයකට ආසන්න වුනා.

උතුරු කොරියානු හමුදාව - 1950

යුද්ධය ඇරඹීම​


1950 ජූනි 11 වෙනිදා උතුරු කොරියානු නියෝජිතයන් තුන් දෙනෙක් සියොල් නුවරට එනවා සාම සාකච්ඡා සඳහා. කිම් ඉල්-සුං ගෙ යෝජනාව වෙන්නෙ මුළු කොරියාව පුරාම පැවැත්වෙන ඡන්දයකින් පසුව කොරියාව එක්සත් කිරීම​.

නමුත් රී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කරනවා. රී ඡන්දයක් පිළිබඳව විශ්වාසය තියන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු යුද්ධයකින් උතුරු කොරියාව අල්ලා ගැනීම ගැන විශ්වාසය තියනවා.

නමුත් රී දන්නෙ නෑ ඒ වෙනකොටත් උතුරු කොරියාව යුද්ධයට සූදානම් වෙලා අවසන් බව​.

ජූනි 25 වෙනිදා කොරියාවේ බටහිර වෙරළේ 38 වෙනි දේශාංශය මත තියෙන ඔංජින් අර්ධද්වීපයේ උතුරු - දකුණු කොරියා හමුදා අතර ගැටුමක් ඇතිවෙනවා. පළමු වෙඩිල්ල තියන්නෙ කවුද කියල පැහැදිලි නෑ. නමුත් පැය කීපයක් ඇතුළත දේශසීමාව දිගටම උතුරු කොරියානු හමුදාව විසින් දැවැන්ත ආක්‍රමනයක් දියත් කරනවා.

සෝවියට් T-34 යුධ ටැංකි සමඟ උතුරු කොරියන් හමුදාව දකුණු කොරියාවට ඇතුල් වීම​.

කොරියානු යුද්ධය ඇරඹෙනවා.



පළමු අදියර - උතුරු කොරියානු ආක්‍රමනය​


යුද්ධයේ පලමු අදියර වෙන්නේ උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමනය කිරීම​.

ජූනි 25 වෙනිදා ආක්‍රමනය ඇරඹිලා දවස් දෙකක් ඇතුලත දකුණු කොරියානු හමුදාව සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. උතුරු කොරියානු යුධ ටැංකි වලට සහ බර කාලතුවක්කු වලට පිළිතුරු දෙන්න දකුණු කොරියාවට​ හැකි වෙන්නෙ නෑ. ඔවුන් ගේ හමුදාව සේනාංක පිටින් පසු බසිනවා.

ජූනි 27 වෙනිදා උතුරු කොරියන් හමුදාව සියොල් නගරය අසලටම එනවා. එතකොට රී සහ ඔහුගේ කැබිනෙට්ටුව නගරය අත හැරලා දකුණට පසු බසිනවා. හැබැයි වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කුරිරු විදිහට.

හැන්ගැං පාලමේ සිද්ධිය​

උතුරු කොරියන් හමුදාව සියොල් නගරයට එන පාරෙ තියෙනවා හැන්ගැං කියල පාලමක්. ආක්‍රමනය අවහිර කරන්න දකුණු කොරියානු හමුදාව පාලම පුපුරුවනවා. නමුත් ඒ වෙනකොට නගරයෙන් පලායන සියොල් වැසියන් 4000 පමණ පාලම මත ඉන්නවා, පාලම තරණය කරමින්. ඔවුන් ගෙන් 1000 පමණ මිය යනවා.


බොදෝ ලීග ඝාතනය​

දකුණු කොරියාවේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා රී විසින් ඔහුගේ ප්‍රතිවාදීන් ව බොදෝ ලීගය නම් සංවිධානයක ලියාපදිංචි කරනවා. ඒකෙ අරමුණ වෙන්නෙ ඔවුන්ට "නැවත අධ්‍යාපනය ලබා දීම​". මේ අය අතර කොමියුනිස්ට් වරු, ජාතිකවාදීන් වගේම සාමාන්‍යය ගොවියනුත් ඉන්නවා.

රී ට අවශ්‍යය වෙනවා ඔහුගේ විරුද්ධ වාදීන් උතුරු කොරියානු හමුදාවට සහය දීම වලක්වන්න​. ඒ නිසා ඔහු ජූනි 28 වෙනිදා අණ දෙනවා දකුණු කොරියාව පුරාම ඉන්න බොදෝ ලීගයේ ලියාපදිංචි කල සියළුම දෙනා ඝාතනය කරන්න​. මේ අණ නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත​ බොදෝ ලීග සාමාජිකයන් ලක්‍ෂ දෙකක් පමණ ඝාතනය වෙනවා.


ජූනි 28 වෙනිදා සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා. ඔවුන් එතැනින් නොනැවතී දිගටම දකුණට පහර දෙනවා.

යුද්ධය පටන් ගද්දි දකුණු කොරියානු හමුදාවේ සෙබළු 95,000 ඉන්නවා. නමුත් දවස් පහකට පස්සෙ ඉතුරු වෙලා ඉන්නෙ 20,000 ක් විතරයි.

දකුණු කොරියානු හමුදාව විනාශ වුනු බව දැක්ක ඇමරිකාව ලහි ලහියේ යුධ ආධාර සූදානම් කරනවා. ඒ වෙනකොට දකුණු කොරියාවේ ස්ථානගත වෙලා ඉන්න ඇමරිකානු යුධ සේනාංක යුදවනවා උතුරු කොරියානු හමුදාව පුළුවන් තරම් පරක්කු කරන්න​. ඒ අතරෙදි ඇමරිකානු හමුදාව කොරියාවේ දැවැන්ත ගොඩ බැසීමකට සූදානම් වෙනවා. ඒ අතරෙම එක්සත් ජාතීන් ගේ හමුදාවකුත් සූදානම් කරනවා කොරියාවට යවන්න​.

ජූලි මාසය පුරාවටම ඇමරිකන් හමුදාව උතුරු කොරියන් හමුදාව එක්ක සටන් කරනවා. නමුත් ඒ හැම සටනකින්ම උතුරු කොරියාව දිනනවා. ඔවුන් ක්‍රමයෙන් කොරියානු අර්ධ ද්වීපය දිගේ පහළට එනවා.

ඕසන්, චොචිවොන්, පියොංතායෙක්, චෝනන්, තයෙජොන් කියන ස්ථාන වල සිදු වෙන සටන් වලින් ඇමරිකන් හමුදාව පරාජය වෙලා පසු බසිනවා. මේ සටන් වලින් ඇමරිකන් සෙබළු 3500 පමණ මිය යනවා. තවත් 3000ක් හිර භාරයට පත් වෙනවා.

ඇමරිකානු සෙබළු - තයෙජොන් සටනේදී

උතුරු කොරියන් හමුදාව ඉදිරියට යන්නෙ ඔවුන්ට යටත් වෙන ප්‍රදේශ වල ඉන්න දක්‍ෂිනාංශිකයන් සහ රජයට සම්බන්ධ අය ඝාතනය කරමින්. දකුණු කොරියන් හමුදාව පසු බසින්නෙත් විරුද්ධ වාදීන් ඝාතනය කරමින්. මුළු කොරියාවම ඝාතන කඳවුරක් බවට පත් වෙනවා.

අගෝස්තු මාසෙ වෙද්දි දකුණු කොරියාවට ඉතුරු වෙන්නෙ දකුණු කොනේ තියෙන පූසාන් නගරය වටා තියෙන කුඩා බිම් කොටසක් විතරයි. කොරියාවෙන් 90% ක්ම​ උතුරු කොරියානු හමුදාව යටතට පත් වෙනවා.



දෙවෙනි අදියර - රැල්ල ආපසු හැරවීම​​


කොරියාවම බිඳ වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි කොරියන් යුද්ධය මෙහෙයවීම බාර වෙනවා ඇමරිකානු හමුදාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර් ට​. මැක් ආතර් කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙදි ජපානයට එරෙහිව යුද්ධය මෙහෙයවපු ප්‍රධාන සෙනෙවියා. ඔහු යුධ වීරයෙක් වගේම දක්‍ෂ  සෙනවියෙක්.

ජනරාල් ඩග්ලස් මැක් ආතර්

මැක් ආතර් මුලින්ම කරන්නෙ දකුණු කොරියානු හමුදාවේ ඉතිරිය සහ දකුණු කොරියාවේ ඉතුරු වුන ඇමරිකන් හමුදාවේ ඉතිරිය සංවිධානය කරලා පූසාන් නගරය වටා ආරක්‍ෂක වළල්ලක් හැදීම​. එතනින් උතුරු කොරියන් ආක්‍රමනය නවත්තන්න ඔහු අදහස් කරනවා. ඒකට එක්සත් ජාතීන් ගේ හමුදාව සහ ජපානයෙන් එවන ඇමරිකන් හමුදාවකුත් යොදාගන්නවා.

දෙවෙනි පියවර විදියට සියොල් නගරය අවට තැනකට දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන්න ඔහු සැලසුම් කරනවා. නමුත් ඒ හමුදාව සංවිධානය කරනතුරු පූසාන් නගරය යටත් නොවී තබා ගැනීම අවශ්‍යයයි.

පූසාන් සටන​ (Battle of Pusan)


අගෝස්තු 4 වෙනිදා ලක්‍ෂයක උතුරු කොරියන් හමුදාවක් පූසාන් නගරය වටා තියෙන ආරක්‍ෂක වලල්ලට පහර දෙනවා. ඔවුන්ට එරෙහිව ඉන්නෙ දකුණු කොරියන්, ඇමරිකන්, බ්‍රිතාන්‍යය​, ඕස්ට්‍රේලියන්, නවසීලන්ත සහ නෙදර්ලන්ත හමුදා වලින් සමන්විත වන 140,000 ක හමුදාවක්.

පූසාන් සටන ඇරඹෙනවා.

උතුරු කොරියානු හමුදාව මාසයක් පුරාවට පහර දුන්නත්, ආරක්‍ෂක වළල්ල බිඳ දමන්න ඔවුන්ට පුළුවන් වෙන්නෙ නෑ. ජපානයේ ඉඳල ඇමරිකන් යුධ ආධාර දිගටම එවන්න පුළුවන් වෙන නිසා ආරක්‍ෂකයන් ගේ යුධ බලය නොවැටී තියාගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම ජපානයේ ගුවන් හමුදා කඳවුරු වලින් එන ගුවන් යානා වලින් එල්ල වෙන ප්‍රහාර වලින් උතුරු කොරියානු හමුදාවට දැඩි අලාභ සිද්ධ වෙනවා.

ආරක්‍ෂිත ස්ථාන වල සිට සටන් වදින ඇමරිකන් සෙබළු

අගෝස්තු මාසය අවසන් වෙද්දි දෙපැත්තේම මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව 60,000 බැගින් වෙනවා.

සටන අතරතුර දෙපැත්තම යුධ අපරාධ කරනවා. උතුරු කොරියන් හමුදාව සිර භාරයට ගන්න ඇමරිකන් සෙබළු සිය ගනනක් ඝාතනය කරනවා. දකුණු කොරියන් හමුදාව උතුරු කොරියාවට පක්‍ෂපාතී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරනවා. විශේෂයෙන්ම බොදෝ ලීග සාමාජිකයන්. වඩාත් කැපී පෙනෙන සිද්ධිය වෙන්නෙ නෝ ගං රී හිදි පූසාන් නගරය දෙසට එන සරණාගතයන් ට ඇමරිකන් හමුදාව වෙඩි තැබීම​. එහිදී 400 පමණ මිය ගිය බව විශ්වාස කෙරෙනවා.

නෝ ගං රී හිදී මරා දැමුණු සරණාගතයන්

මැක් ආතර් ගේ දෙවෙනි පියවර​, ඒ කියන්නෙ සියොල් නගරය අවටින් දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන තුරු, පූසාන් නගරය ආරක්‍ෂා කරගන්න ආරක්‍ෂකයන් සමත් වෙනවා. ඒ සැප්තැම්බර් 10 වෙනිදා.

ඉන්චොන් සටන​ සහ සියොල් සටන​ (Inchon Landing and Battle of Seoul)


සැප්තැම්බර් 10 වෙනිදා 40,000 ක ඇමරිකන් හමුදාවක් සියොල් නගරයට නුදුරෙන් තියෙන ඉන්චොන් වෙරළට ගොඩ බසිනවා. උතුරු කොරියන් හමුදාවේ බහුතරය මේ වෙනකොට පූසාන් අවට ස්ථානගත වෙලා ඉන්න නිසා ඉන්චොන් වෙරළේ ආරක්‍ෂාවට ඉන්නෙ 6,500 ක කුඩා හමුදාවක් පමණයි.

දින නවයක සටනකින් පස්සෙ ඉන්චොන් වෙරළ ඇමරිකානු හමුදා යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදාව ඉන්චොන් වෙරළේ

මේ ගොඩ බැසීම සැලකෙන්නෙ යුධ ඉතිහාසයේ විශිෂ්ඨම ප්‍රහාරයක් විදිහට​.

සැප්තැම්බර් 22 වෙනිදා ඇමරිකන් හමුදාව සියොල් නගරයට පහර දීම අරඹනවා. මේ වෙනකොටත් ආධාරක හමුදා සියොල් නගරයට අරගෙන එන්න උතුරු කොරියාවට හැකිවෙන්නෙ නෑ. ඒ නිසා 40,000 ක ඇමරිකන් හමුදාවට මුහුණ දෙන්න සියොල් නගරයේ ඉන්නෙ 7000 ක උතුරු කොරියන් හමුදාවක් විතරයි.

ඇමරිකන් හමුදා සියොල් නගරයේ

දින තුනක සටනකින් පස්සෙ සියොල් නගරය ඇමරිකාව යටතට පත් වෙනවා.

සියොල් නගරය අල්ලගත්තට පස්සෙ දකුණු කොරියන් හමුදාව සහ රී ගෙ මිලිෂියා කණ්ඩායම් මර්ධනය පටන් ගන්නවා. කොමියුනිස්ට් වරු පමණක් නෙවෙයි උතුරු කොරියන් හමුදාවත් එක්ක මොනයම් හෝ සම්බන්ධයක් පවත්වපු සියළුම දෙනා ඝාතනය කෙරෙනවා. මේ ඝාතන වලින් නම්‍යැංජූ සහ ගොයැං ගෙයුම්ජියොං ගුහා වල ඝාතන ප්‍රසිද්ධයි. 1950 සැප්තැම්බර් මාසයේදී ඝාතනය කෙරුණු සියොල් වැසියන් ගණන 30,000 පමණ වෙනවා කියල සැලකෙනවා.

නම්‍යැංජූ හිදී ඝාතනය වූවන් ගේ ඇටසැකිළි

මේ ඝාතන වලට ඇමරිකන් හමුදාව කෙළින්ම සම්බන්ධ නොවුනත් ඒවා කෙරෙන්නෙ ඔවුන් ගේ අනුදැනුම යටතේ.

සියොල් නගරය අල්ලා ගැනීමට සමගාමීව පූසාන් නගරයේ ඉඳල ඉදිරියට කෙරෙන පහරදීමකින් උතුරු කොරියානු හමුදාව ආපසු හරවන්න පුළුවන් වෙනවා. දෙපැත්තකින් කෙරෙන පහර දීම් වලින් උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා.



පසු බසින උතුරු කොරියානු හමුදාවෙන් ආපහු දේශසීමාවට ළඟා වෙන්න පුළුවන් වෙන්නෙ 30,000 කට විතරයි.

මහජන ස්වේච්ඡා හමුදාව​ (People's Volunteer Army)


උතුරු කොරියානු හමුදාව පසු බසින්න පටන් ගන්නවත් එක්කම චීනය ආධාරක හමුදා සංවිධානය කරන්න පටන් ගන්නවා. මේ ආධාරක හමුදාව හැඳින්වෙන්නෙ මහජන ස්වේච්ඡා හමුදාව (People's Volunteer Army) කියලා. එහි අණදෙන නිලධාරියා වෙන්නෙ චීනයේ එවකට හිටපු විශිෂ්ඨම සෙනවියා වන මාෂල් පෙං ඩෙහුවායි.

මාෂල් පෙං ඩෙහුවායි


දකුණු කොරියානු සහ ඇමරිකන් හමුදා උතුරු කොරියාවට ඇතුල් වීම​


සැප්තම්බර් මාසෙ ඉවර වෙද්දි උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම දකුණු කොරියාවෙන් පළවා හැරල ඉවරයි. මේ වෙද්දි දකුණු කොරියන් හමුදාව නැවත ගොඩ නංවලා තියෙන්නෙ.

ඔක්තෝබර් පළවෙනිදා දකුණු කොරියන් හමුදාව 38 වෙනි දේශාංශය හරහා උතුරු කොරියාවට ඇතුල් වෙනවා. ඊට දවස් හයකට පස්සෙ ඇමරිකන් සහ එක්සත් ජාතීන් ගේ හමුදා ඔවුන් අනුගමනය කරනවා.

චීන යුධ උපදේශකයන් ගෙ උපදෙස් අනුව උතුරු කොරියන් හමුදාව ඇමරිකන් සහ දකුනු කොරියන් හමුදා සමඟ ඍජු සටන් වලට එළඹෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් චීන දේශසීමාවේ තියෙන කඳුකරයට පලා යනවා.

ඔක්තෝබර් 17 වෙනිදා දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා පියොංයැං නගරයට ඇතුල් වෙනවා. දින දෙකකින් සම්පූර්න නගරයම ඔවුන් යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදා උතුරු කොරියාවේ හුංනම් නගරයේ

නොවැම්බර් මාසය අවසන් වෙද්දි චීන දේශ සීමාව අවට කුඩා තීරුවක් හැරුණු විට මුළු උතුරුකොරියාවම දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා විසින් අල්ල ගෙන ඉවරයි. ජනරාල් මැක් ආතර් අදහස් කරනවා චීන-කොරියන් දේශ සීමාව මායිම් වන යාලු ගංගාව තරණය කරලා දේශ සීමාවෙන් එපිට තියෙන උතුරු කොරියන් හමුදා කඳවුරු වලට පහර දෙන්න​. 

නමුත් ඇමරිකන් ජනාධිපති හැරී ටෲමන් එසේ නොකරන ලෙස ඔහුට තදින් අවවාද කරනවා.




තුන්වෙනි අදියර - චීන මැදිහත් වීම​


ඇමරිකන් සහ දකුණු කොරියානු හමුදා ක්‍රමයෙන් චීන දේශසීමාවට ලං වෙද්දි කඳුවැටි නිසා ඔවුන් ගේ හමුදා නැගෙනහිර සහ බටහිර ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේ අවාසිය ගැන ඔවුන් වැඩි තැකීමක් කරන්නෙ නෑ - උතුරු කොරියන් හමුදාව විනාශ වෙලා ඉවරයි.

ඒත් ඔක්තෝබර් 19 වෙනිදා ලක්‍ෂ තුනක චීන හමුදාවක් හොරෙන්ම යාලු හඟ තරණය කරලා උතුරු කොරියාවට ඇතුල් වෙනවා.


ඔක්තෝබර් 25 වෙනිදා යාලු ගංගාව අසබඩ තියෙන ඔන්ජොං ගම අසලදී දකුණු කොරියානු හමුදාවට මුල් වරට චීන හමුදා මුණ ගැහෙනවා. එතැන ඇතිවෙන සටනෙන් දකුණු කොරියානු හමුදාවේ සේනාංක තුනක් සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.

නොවැම්බර් පළවෙනිදා ඇති වෙන උන්සං සටනේදී චීන හමුදා ඇමරිකන් රෙජිමේන්තු දෙකක් පසු බස්සවන්න සමත් වෙනවා.

චීන හමුදා
චීන හමුදාව සටන් බිමට ඇවිල්ල කියල දැනගන්න මැක් ආතර් වහාම දැවන්ත ප්‍රහාරයක් දියත් කරනවා. ඇමරිකන් හමුදා දෙකක් කොරියාවේ බටහිර වෙරළ සහ නැගෙනහිර වෙරළ ඔස්සේ ඉදිරියට යවනවා. ඔවුන් ගේ අරමුන වෙන්නෙ කොරියාවේ ඉන්න චීන හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම​. ඇමරිකානු සහ දකුණු කොරියන් හමුදාවල සම්පූර්න ශක්තිය 250,000 ක්.

ඔවුන්ට එරෙහිව ඉන්නෙ 200,000 ක චීන හමුදාවක්.

උතුරු කොරියානු හමුදාව වගේ නෙවෙයි චීන හමුදාව ගරිල්ලා සටන් සහ උපක්‍රමශීලී ස්ථානගත වීම් වල විශේෂඥයෝ. ඔවුන් අන්තිම මොහොත වෙනකම් පහර දෙන්නෙ නෑ. පහර දෙන්නෙ ප්‍රතිවාදියා අසලටම ඇවිල්ලා. ඒ වගේම ප්‍රහාරය අවසන් වුන වහාම නැවතත් කඳුකරයට පලා ගිහින් සැඟවෙනවා. ඒ නිසා ඇමරිකන් හමුදාවේ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර ඒ තරම් ඵලදායී වෙන්නෙ නෑ.

චොංචොන් ගංගාවේ සටන(Battle of Chongchon River)


බටහිර දෙසින් යන හමුදාව සමන්විත වෙන්නෙ ඇමරිකන් අටවෙනි හමුදාවෙන් සහ සහයක දකුණු කොරියන් සේනාංක වලින්.

නොවැම්බර් 24 වෙනිදා චොංචොන් ගංගාව අසලදී චීන හමුදා ඉදිරියට ඇදෙන ඇමරිකන් අටවෙනි හමුදාවේ දකුණු අංශයට පහර දෙනවා. දින දෙකකින් ඔවුන් දකුණු අංශය සම්පූර්නයෙන්ම විනාශ කරලා සතුරාගේ පසුපසට පහර දෙනවා. චීනුන් ගෙ අරමුණ වෙන්නෙ ඇමරිකන් හමුදාවේ පසුබැස්ම වලක්වලා සම්පූර්නයෙන්ම සතුරා විනාශ කරන්න​.

නමුත් තුර්කි සේනාංකයක් විසින් චීන ප්‍රහාර මැඩපවත්වගෙන ඉන්න අතරේ ඇමරිකන් හමුදාවට වටකිරීමෙන් මිදිලා පසු බසින්න පුළුවන් වෙනවා. චීන හමුදා ලුහුබැඳ පහර දෙන්න උත්සහ කළත් දරුණු කාලතුවක්කු ප්‍රහාරයකින් ඔවුන් නවතන්න ඇමරිකන් හමුදාවට පුළුවන් වෙනවා.

මේ සටනෙන් මිය යන සහ තුවාල ලබන ඇමරිකන් සහ දකුණු කොරියන් සෙබළු ගණන 11,000 කට අධිකයි. චීන හමුදාවේ මිය යන සහ තුවාල ලබන ගණග 20,000 කට අධිකයි.

කොහොම වුනත් අටවෙනි හමුදාවේ සංග්‍රාමික හැකියාව සම්පූර්නයෙන්ම විනාශ කරන්න චීන හමුදාව සමත් වෙනවා. දෙසැම්බර් 5 වෙනිදා වෙද්දි චීන හමුදා නැවතත් පියොංයැං නගරය අත්පත් කරගන්නවා.

කාලතුවක්කු ප්‍රහාර මැද ඉදිරියට ඇදෙන චීන හමුදා


චෝසින් ජලාශයේ සටන​ (Battle of Chosin Reservoir)


බටහිර දෙසින් ඇදෙන හමුදාව ඒ විදිහට විනාශ වෙද්දි නැගෙනහිරින් යන ඇමරිකන් දහවෙනි හමුදාවට චීනුන් මුණ ගැහෙන්නෙ නොවැම්බර් 27 වෙනිදා.

ඉදිරියට ඇදෙන ඇමරිකන් හමුදාවට චෝසින් ජලාශය අසලදී චීන හමුදාව පහර දෙනවා. දෙපැත්තටම දරුණු හානි සිද්ධ වුනත් පැහැදිලි ජයක් ලබන්න දෙපැත්තම අසමත් වෙනවා. නමුත් ඇමරිකන් හමුදාවේ ඉදිරි ගමන වලක්වන්න චීනුන්ට පුළුවන් වෙනවා. දහවන හමුදාව අටවන හමුදාව වගේ දරුණු පරාජයක් නොලබන්න​ ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඇමරිකන් දහවෙනි හමුදාවේ බහුතරය මැරීන් සෙබළු වීම​.

දෙසැම්බර් පළවෙනිදා වෙද්දි ක්‍රමයෙන් ඇමරිකන් හමුදාව කුඩා කණ්ඩායම් කීපයකට කඩලා වෙන් වෙන් ව වට කරන්න චීන හමුදාව සමත්‍ වෙනවා. මේ හේතුවත්, ඇමරිකන් අටවෙනි හමුදාවේ පසු බැසීමත් නිසා මැක් ආතර් අණ දෙනවා දහවෙනි හමුදාවටත් පසු බසින්න​.

ඔවුන් දරුණු ලෙස සටන් වදිමින් චීන වටලෑම් බිඳගෙන ආපසු හුංනම් නගරයට පසු පසු බසිනවා.

දෙසැම්බර් 25 වෙනිදා වෙද්දි ඔවුන් ඉදිරියට ඇදෙන චීන හමුදා ඉදිරියේ හුංනම් නගරය අතහැර පසු බසිනවා.

පසුබසින ඇමරිකන් හමුදා
මේ සටන් දෙක සැලකෙන්නෙ ඇමරිකන් යුධ ඉතිහාසයේ දරුණුම පරාජයන් දෙකක් විදිහට​.

1951 වෙද්දි මුළු උතුරු කොරියාව සම්පූර්නයෙන්ම මුදාගන්න චීන හමුදා සමත් වෙනවා.

හතරවෙනි අදියර - එක තැන හිර වීම​


උතුරු කොරියාව මුදාගත්තට පස්සෙ චීන හමුදාවේ සහ ප්‍රතිසංවිධානය කළ උතුරු කොරියානු හමුදාවේ ඊළඟ අරමුණ වෙන්නෙ නැවත දකුණු කොරියාවට පහර දීම​. ඒ අනුව ඔවුන් 1951 ජනවාරි මාසෙ දේශසීමාව හරහා දකුණට පහර දෙනවා.

විසිරී ඉන්න ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදාවලට මේකට මුහුණ දෙන්න ශක්තියක් ලැබෙන්නෙ නෑ. ඔවුන් නැවත පසුබසිනවා. ජනවාරි 4 වෙනිදා නැවතත් සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා.
මුළු කොරියාවම අහිමි වෙන ලකුණු පේනකොට ජනරාල් ඩග්ලස් මැක් ආතර් යෝජනා කරනවා චීනයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන්න​. ඒ එක්කම උතුරු කොරියාව හරහා වැටී තියෙන හමුදා සැපයුම් මාර්ග වලට විකිරනශීලී අපද්‍රව්‍යය වලින් පහර දෙන්න​. මේ අදහස් නිසා ඇමරිකානු රජය තුල මැක් ආතර් දැඩි අප්‍රසාදයට ලක් වෙනවා. ඔහුව 1951 අප්‍රේල් 11 වෙනිදා තනතුරෙන් පහ කෙරෙනවා

අටවෙනි ඇමරිකන් හමුදාවේ නව අණදෙන නිලධාරියා ලෙස පත්වී එන ජනරාල් රිජ්වේ යටතේ නැවත ප්‍රතිසංවිධානය වෙන්න ඔවුන් කටයුතු කරනවා. 1951 පෙබරවාරි මාසය වෙද්දි බටහිරින් සුවොන් නගරයේදීත්, මධ්‍යයෙන් වොන්ජූ නගරයේදීත් නැගෙනහිරින් සැම්චියොක් නගරයේදීත් චීන ප්‍රහාරය නවත්වන්න ඇමරිකාව සමත් වෙනවා. 38 වෙනි දේශාංශයට මදක් දකුණෙන් සටන් සීමා ස්ථාවර වෙනවා.


මේ අවස්ථාවේදී ඇමරිකාව තමාගේ සංග්‍රාමික උපක්‍රම වල වෙනසක් කරනවා. ඒ අනුව ඔවුන් උතුරු කොරියාවට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ ප්‍රහාර වල අරමුණ වෙන්නෙ චීන සහ උතුරු කොරියන් හමුදා වල සැපයුම් මාර්ග විනාශ කිරීම​ සහ උතුරු කොරියාවේ මානසික තත්වය බිඳ දැමීම​.

මේ ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු කොරියාවේ සෑම ප්‍රධාන නගරයක්ම සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. විශාල ජන ඝාතනයකුත් සිද්ධ වෙනවා.

පියොංයැං නගරය යුද්ධයට පෙර සහ පසු

මේ හේතුවෙන් චීන - උතුරු කොරියන් හමුදා වල සඵල​ භාවයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මෙතැනින් ඉදිරියට යන්න ඔවුන්ට අපහසු වෙනවා.

මේ අතර ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදා ප්‍රති ප්‍රහාර අරඹනවා. ක්‍රමයෙන් උතුරුදෙසට ඉදිරියට යන්න ඔවුන්ට පුළුවන් වෙනවා. 1951 මාර්තු 7 වෙනිදා සම්පූර්නයෙන්ම විනාශ වුනු සියොල් නගරය නැවත අල්ල ගන්න ඔවුන් සමත් වෙනවා.

විනාශ වුනු සියොල් නගරය​


වසන්ත ප්‍රහාරය​ (Spring Offensive)


1951 අප්‍රේල් මාසයේදී චීනුන් නැවත පහර දෙනවා. මේ ප්‍රහාරය හැඳින්වෙන්නෙ වසන්ත ප්‍රහාරය කියලා. මේ වෙනකොට ඔවුන් සෝවියට් ආයුධ වලින් සන්නද්ධයි. නමුත් ඉම්ජින් ගංගාව අසලදී ඔවුන්ව නවතන්න ඇමරිකන් හමුදාව සමත් වෙනවා. මේ සටනෙන් චීන සහ උතුරු කොරියන් සෙබළු 15,000 ක් මිය යනවා සහ තුවාල ලබනවා.

ඉම්ජින් සටනෙන් චීන ප්‍රහාරය අඩපණ වුනාට පස්සෙ ඇමරිකාව ප්‍රති ප්‍රහාර දෙනවා. බටහිරෙන් එල්ල වෙන ප්‍රහාරය ඉදිරියට යන්න අසමත් වුනත්, නැගෙනහිර පෙරමුණේ ප්‍රහාරය චීන සහ උතුරු කොරියන් හමුදා 38 වෙනි දේශාංශයෙන් උතුරට එලවා දමන්න සමත් වෙනවා.

සටන් සීමා - 1951 මැයි

සටන් විරාමය​


මෙතැන් සිට 1953 වෙනකන් දිගටම සටන් පැවතුනත් එක පාර්ශවයක් වත් ඉදිරියට යන්න සමත් වෙන්නෙ නෑ.

1953 ජූලි 27 වෙනිදා උතුරු කොරියාව​, චීනය සහ ඇමරිකාව සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුමට දකුණු කොරියාව අත්‍සන් කරන්නෙ නෑ. ස්ථිර සාමයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන්න දෙපාර්ශවයම එකඟ වුනත්, ඒ සාකච්ඡා දුර දිග යන්නෙ නෑ.

සටන් විරාම ගිවිසුම අත්සන් තැබීම​
යුද්ධය නිල වශයෙන් අවසන් නෑ. අදටත් කොරියාවේ තියෙන්නෙ සටන් විරාමයක් පමනයි.

කෙසේ නමුත් වෙඩි තබාගැනීම් එතැනින් අවසන් වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් 1950 ට පෙර දේශසීමා වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මිලියන ගනනක් මිය යාම පමණයි එකම ප්‍රතිඵලය​.


උතුරු දකුණු කොරියා දේශ සීමාවල අද තත්වය​

Sunday, April 30, 2017

කොරියාව දෙකඩ වීම - 2 (උතුරු කොරියාව සහ දකුණු කොරියාව බිහි වීම​​​)


බෙදීම් උත්සන්න වීම​


1947 අග භාගය වෙද්දි කොරියාව දරුනු දේශපාලන අවුලක පැටලිලා ඉන්නෙ.

උතුරේ සෝවියට් දේශය එක්සත් කොරියාවකට සහය පළ කරන අතරම​, ජාතිකවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් මහජන කමිටු වල වැදගත් තනතුරු වලට කොමියුනිස්ට් වාදීන් ඇතුල් කිරීමෙන් ක්‍රමයෙන් කොමියුනිස්ට් වාදීන් ගේ බලය වැඩි කර ගන්නවා.

දකුණේ තත්වය ඊට වඩා ප්‍රචන්ඩයි. කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් දක්‍ෂිනාංශිකයන් සහ ඔවුන් ගේ ඇමරිකානු මිතුරන් එක්ක දරුණු ගැටුම් ඇති කර ගන්නවා. මේ ගැටුම් මැඩ පවත්වන්න ඇමරිකාව බලයට ගේනවා උග්‍ර කොමියුනිස්ට් විරෝධී සහ ඒකාධිපති අදහස් ඇති දේශපාලකයෙක් ව​. ඔහු තමයි සිංමාන් රී.

සිංමාන් රී

සිංමාන් රී තමයි චීනයේ පිහිටුවන පළවෙනි විකල්ප කොරියන් රජයේ ජනාධිපති වෙන්නෙ. නමුත් බලය අයුතු ලෙස පාවිච්චි කරන නිසා ඔහුව ඒ තනතුරෙන් ඉවත් කෙරෙනවා.ඔහු ඊට පස්සෙ වැඩිපුර ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. ඔහු නැවත කොරියාවට​ එන්නෙ ජපානය යටත් වීමෙන් පස්සෙ. කොරියානු ජනතාව අතර ඔහුට ලොකු පිළිගැනීමක් නෑ.

රී ගේ ප්‍රධාන දේශපාලන අරමුණක් වෙන්නෙ දකුණේ කොමියුනිස්ට් වරුන් ගේ බලය විනාශ කිරීම​. මේ සඳහා ඔහු ජාතිකවාදීන් ගේ සහය පතනවා. නමුත් බොහෝ ජාතිකවාදීන් ඔහුට සහය දෙන්නෙ නෑ. ඒ ජාතිකවාදීන් ගේ "එක කොරියාවක්" සටන් පාඨයට ඔහු අකැමති නිසා. කොමියුනිස්ට් බලය විනාශ කරන්න රී ප්‍රධාන වැඩ පිළිවෙල තුනක් අනුගමනය කරනවා.

1. පොලිසියේ බලය වැඩි කිරීම​

2. කොමියුනිස්ට් වරු සහ ඔවුන්ට සහය දෙන ජාතිකවාදීන් "බොදෝ ලීගය​" ලෙස හඳුන්වන සංවිධානයක ලියා පදිංචි කරලා ඔවුන්ට "නැවත අධ්‍යාපනය​" ලබා දීම​.

3. මිලිෂීයා කණ්ඩායම් සංවිධානය කිරීමෙන් කොමියුනිස්ට් වරුන්ට එරෙහිව දැඩි මර්ධනයක් එල්ල කිරීම​. මේ මිලීෂියා කණ්ඩායම් වල වැඩි පුර ඉන්නෙ උතුරේ කොමියුනිස්ට් වරුන් ගෙ මර්ධනය නිසා දකුණට පැනල ආපු පවුල් වල තරුණයක්. ඔවුන් කොමියුනිස්ට් වරු එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ.


මැතිවරණය​ සහ දෙකඩ වීම​


මේ අර්බුධය පුපුරා යන්නෙ 1947 නොවැම්බර් මාසෙ. ඒ එක්සත් ජාතීන් ගේ සංවිධානය කොරියාවට නිදහස ලබා දීමේ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන්.

මේ වෙද්දි උතුරු කොටසේ ජනගහණය මිලියන 9 යි. නමුත් දකුණු කොටසේ ජනගහණය මිලියන 16 ක්. ඒ නිසා යෝජිත පාර්ලිමේන්තුවේ ආසන බෙදෙන්නෙ උතුරු කොටසට 100 ක් සහ දකුණු කොටසට 200 ක් විදිහට​.

නමුත් කොමියුනිස්ට් වරු සැක කරනවා රී ගේ දැඩි මර්ධනකාරී වැඩ පිළිවෙල යටතේ ඔවුන්ට දකුණේ මැතිවරන දිනන එක සිහිනයක් වෙයි කියලා. ඒ නිසා සෝවියට් දේශය මැතිවරණයට විරුද්ධ වෙනවා. ඒත් ඇමරිකාව දකුණු කොටසේ විතරක් මැතිවරණය පවත්වන්න සූදානම් වෙනවා.

1948 පෙබරවාරි මාසෙ දි දකුණ පුරාම දැවැන්ත වැඩ වර්ජන සහ උද්ඝෝෂන රැල්ලක් ඇති වෙනවා මැතිවරණයට විරුද්ධව​. කොමියුනිස්ට් වරු සහ රී විරෝධී ජාතිකවාදීන් තමයි මේක සංවිධානය කරන්නෙ. රී මේ උද්ඝෝෂන මර්ධනය කරනවා.

1948 අප්‍රේල් මාසෙදි සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් එක්සත් කොරියාවක් වෙනුවෙන් සම්මන්ත්‍රනයක් පියොංයැං නුවර පැවැත්වෙනවා. මේ සමුළුවට මේ වෙනකොට දකුණේ ජාතිකවාදී කඳවුරේ නායකයන් වන කිම් කූ සහ කිම් ක්‍යූ-සික් සහභාගී වෙනවා. මේ නිසා දක්‍ෂිනාංශිකයන් ඔවුන් ව ද්‍රෝහීන් විදිහට නම් කරනවා. කිම් කූ 1949 දි දක්‍ෂිනාංශික අන්තවාදියෙක් විසින් වෙඩි තියල මරනවා.

කිම් කූ

1948 මැයි 10 වෙනිදා දකුණේ මැතිවරණය පැවැත්වෙනවා. ඒකෙන් කාටවත් පැහැදිලි ජයක් ලැබෙන්නෙ නෑ. නමුත් රී ට හිතවාදී පිරිස් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන රජයක් පිහිටුවනවා.

1948 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රී ජයග්‍රහනය කරලා ජනාධිපති ධූරයට පත් වෙනවා. ඒ ප්‍රකාශිත ඡන්ද වලින් 92% ලබා ගැනීමෙන්.

කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් මේ මැතිවරණ දෙකම වර්ජනය කරනවා. ඒවා සාධාරන මැතිවරන නොවන බවට චෝදනා කරනවා. දකුණ පුරා නොසන්සුන්තා ඇති වෙනවා.

ඡන්දය ප්‍රකාශ කරන කොරියානුවන්
කොහොම වුනත් 1948 අගෝස්තු 15 වෙනි දා රී නව රටක් ප්‍රකාශ කරනවා. ඒ "කොරියානු ජනරජය (Republic of Korea)". එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ දකුණු කොරියාව කියලා.

දකුණු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ​

ඒකට පිළිතුරු වශයෙන් සෝවියට් අනුග්‍රහය ඇතුව උතුරේ කොමියුනිස්ට් වරු 1948 සැප්තැම්බර් 9 වෙනිදා "කොරියානු ප්‍රජාතන්‍ත්‍රවාදී මහජන ජනරජය (Democratic People's Republic of Korea)" ප්‍රකාශ කරනවා. එහි නායකයා වෙන්නෙ කිම් ඉල්-සුං. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ උතුරු කොරියාව කියලා

උතුරු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ

කොරියාව නිල වශයෙන් දෙකඩ වෙනවා

ජෙජු කැරැල්ල​


කොරියානු අර්ධ ද්වීපයට දකුනෙන් ලොකු දූපතක් තියෙනවා "ජෙජු" කියලා. මේ දූපතේ කොමියුනිස්ට් වරුන් ගේ බලය බොහෝ දුරට පැතිරිලා තිබ්බා. 1948 දි ප්‍රකාශිත මැතිවරණයට එරෙහිව ඇති වුන විරෝධතා රැල්ල ජෙජු දූපතටත් එනවා. නමුත් ජෙජු දූපතේදී උද්ඝෝෂන කරුවෝ පොලිස් මර්ධනයට එරෙහිව අවි ගන්න තීරණය කරනවා.

1948 අප්‍රේල් තුන් වෙනිදා කොමියුනිස්ට් වරු විසින් සංවිධානය කරපු කැරලි කණ්ඩායම් ජෙජු දූපතේ පොලිස් ස්ථාන වලට පහර දීලා අවි පැහර ගන්නවා. ඉන් පස්සෙ ගරිල්ලා යුද්ධයක නිරත වෙනවා. මේ යුද්ධය කොයිතරම් දරුණු වෙනවද කිව්වොත් 1948 මැයි 10 වෙනිදා පැවතුන මැතිවරණය ජෙජු දූපතේ පවත්වන්න බැරි වෙනවා. කැරලි කරුවෝ දූපතේ බලය සම්පූර්නයෙන්ම වගේ අල්ල ගන්නවා.

පොලිසියට තත්වය පාලනය කරගන්න බැරි වෙන නිසා 1948 ඔක්තෝබර් මාසෙදි රී හමුදාව යොදවන්න තීරණය කරනවා. ඔහු ජෙජු දූපතට යාබද දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ස්ථානගත කර තිබුනු හමුදා බල ඇණියක් ජෙජු දූපතට යවන්න අණ දෙනවා.

ජෙජු දූපත (තැඹිලි) සහ දකුණු ජෙයෝලා ප්‍රාන්තය (කහ​)

නමුත් මේ අණ ලද වහාම ඒ හමුදා බල ඇණිය කැරලි ගහනවා. ඔවුන් ජෙජු දූපතට යාම ප්‍රතික්‍ෂේප කරලා කැරලි කරුවන්ට සහය පල කරමින් දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ප්‍රධාන නගර කීපයක්ම අල්ල ගන්නවා. යෙඕසු, සන්චියොන් ඒ අතරින් ප්‍රධානයි.

රී මේ සිද්ධියෙන් දැඩි ලෙස කුපිත වෙලා තමාට පක්‍ෂපාතී හමුදා බල​ඇණි යොදවලා කැරැල්ල දරුණු විදිහට මර්ධනය කරනවා. ඒ සඳහා ඔහුට ඇමරිකන් සහය ලැබෙනවා. මුලින්ම දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ කැරැල්ල මර්ධනය කරන ඔහු ඉන් පසු ජෙජු දූපතට හමුදාව යවනවා.

යෙඕසු නගරයේ දී කැරලිකාරී හමුදා භටයන් වෙඩි තබා ඝාතනය කිරීම​
හමුදාවත් එක්ක යන රී ගේ මිලිෂීයා කණ්ඩායම් ජෙජු දූපතේ දරුණු මිනිස් ඝාතන රැසක් කරනවා. ගම් පිටින් සමූල ඝාතනය කරනවා. මේ ඝාතන වලින් 30,000 පමණ මිය ගියා කියල හිතනවා. ඒ ජෙජු දූපතේ ජනගහණයෙන් 20% ක්.

මරා දැමූ ගම්වාසීන්
1949 මාර්තු වෙද්දි ජෙජු දූපතේ කැරැල්ල සම්පූර්නයෙන්ම මර්ධනය කෙරෙනවා.


මේ වෙනකොට උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන රටවල් දෙකම සලකන්නෙ තමාට සම්පූර්ණ කොරියාවේම අයිතිය තියෙනව කියලා. කිම් ඉල්-සුං වගේම රී ගේත් ප්‍රධාන ප්‍රතිපත්තියක් වෙන්නෙ යුධමය ක්‍රියා මාර්ගයකින් කොරියාව එක්සත් කිරීම​.

ඒ නිසා 1949 අග වෙද්දි කොරියාව කියන්නෙ පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක්.

Saturday, April 29, 2017

කොරියාව දෙකඩ වීම - 1 (පසුබිම​)


ජපන් පාලන සමය​


කොරියාවේ වර්තමාන ඉතිහාසය පටන් ගන්නෙ 1910 දි. ඒ ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව යටත් කර ගැනීමෙන්.

ජපානයේ පාලනය ඉතාමත් කෲර එකක්. නමුත් ඔවුන් කොරියාව නවීකරනය කරනවා. විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය​. හැබැයි ඒ කොරියන් කාරයන්ට ආදරේට නෙවෙයි - සොබාවික සම්පත් ජපානයට අරගෙන යන එක පහසු කරන්න​.

1937 දි ජපන්-චීන යුද්ධය පටන් ගැනීමත් එක්ක ජපන් පාලනය තවත් දරුණු වෙනවා. කොරියානු සංස්කෘතිය සම්පූර්නයෙන්ම විනාශ කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ කොරියානු භාෂාව කතා කිරීම තහනම් කරනවා. ඒ වෙනුවට ආදේශ වෙන්නෙ ජපන් බස​. කොරියානු නම් ජපන් නම් වලට මාරු කරනවා. බුද්ධාගම ඇදහීම තහනම් කරනවා. ඒ වෙනුවට ෂින්ටෝ ආගම ඇදහීම අනිවාර්‍ය වෙනවා. පාසැල් වල කොරියන් ඉතිහාසය ඉගැන්වීම තහනම් කරනවා.

කොරියානු ජාතිකයන් වහල් ශ්‍රමිකයන් විදිහට ජපන් කර්මාන්තශාලා වල වැඩ කරන්න ගෙනියනවා. කොරියානු ජාතිකයන් ලක්‍ෂ හතරක් පමණ මේ විදිහට වහල්ලු විදිහට ජපානයට ගෙනිහිල්ල තියෙනවා. ඔවුන් ගෙන් පැවත එන අය ලක්‍ෂ පහක් පමණ අදටත් ජපානයේ ඉන්නවා. ඔවුන්ව අද හැඳින්වෙන්නෙ "සයිනිචි" කියලා.


ඊට අමතරව කොරියානු කාන්තාවන් ලක්‍ෂ පහක් පමණ ජපන් හමුදා සෙබළුන්ට ගණිකාවන් විදිහට යොදාගැනීම සඳහා බලෙන් අරගෙන යනවා.



මේ විදිහට ජපන් පාලනයෙන් කොරියාවට ඉමහත් විනාශයක් අත් වෙද්දි කොරියානු ජනතාව ජපනුන්ට විරුද්ධව සටන් කරනවා. මේ සටන්කාමී ගරිල්ලා කණ්ඩායම් ගොඩක් ස්ථානගත වෙන්නෙ චීන​-කොරියන් දේශසීමාවේ. ඔවුන්ට චීන සහ සෝවියට් සහය ලැබනවා.

කොරියන් ගරිල්ලන් තිදෙනෙක් ජපන් හමුදාව විසින් ඝාතනය කිරීම​

දෙවෙනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්ක කොරියානු විමුක්ති අරගලය ප්‍රධාන ධාරාවන් දෙකකට බෙදෙනවා.

පළවෙනි කොටස සමන්විත වෙන්නෙ චීනයට පලා ගිය පිරිසක් විසින් එහිදී පිහිටුව ගන්න දේශපාලන සංවිධානයකින්. ඔවුන්ට චීනයේ සහ බටහිර රටවල සහය ලැබෙනවා. ඔවුන් චීනයේ විකල්ප රජයක් ඇති කර ගන්නවා. මේ සංවිධානයේ මිලිටරි අංශය හැඳින්වෙන්නෙ "කොරියානු විමුක්ති හමුදාව (Korean Liberation Army)" කියලා.

දෙවෙනි කොටස සමන්විත වෙන්නෙ කොරියන්-චීන දේශසීමාවේ ස්ථානගත වෙලා ඉන්න ගරිල්ලන් ගෙන්. ඔවුන්ට සෝවියට් දේශයේ සහ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලැබෙනවා. ඒ නිසාම මේ කොටස සමාජවාදයට නැඹුරු වෙනවා. ඔවුන් ගේ මිලිටරි අංශය හැඳින්වෙන්නෙ "කොරියානු ස්වේච්ඡා හමුදාව (Korean Volunteer Army)" කියල​.

කොහොම නමුත් මේ ගරිල්ලා සටන් වලින් ජපන් හමුදාවට වෙන බලපෑම අවමයි. විශේෂයෙන්ම කොරියානු විමුක්ති හමුදාවට කොරියාව ඇතුලෙ තීරනාත්මක දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය​

1943 දී ඇතිවෙන කයිරෝ සාකච්ඡා වලදි ඇමරිකාව​, සෝවියට් දේශය සහ බ්‍රිතාන්‍යය එකඟ වෙනවා යුද්ධෙන් පස්සෙ කොරියාව නිදහස් රාජ්‍යයක් විදිහට පවත්වාගන්න​. 

1945 අගෝස්තු 6 වෙනිදා ඇමරිකාව හිරොෂිමාවට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා.

අගෝස්තු 8 වෙනිදා සෝවියට් දේශය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

අගෝස්තු 9 වෙනිදා නගසකි නගරයට දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයත් එල්ල වෙනවා.

එදාම සෝවියට් යුධ ටැංකි චීන​-කොරියන් දේශසීමාව හරහා කොරියාවට​ ඇතුල් වෙනවා.

රතු හමුදාව කොරියාවට ඇතුල් වෙමින්
ඇමරිකාව මෙතනදි බය වෙනවා මුළු කොරියාවම සෝවියට් ග්‍රහනයට නතු වෙයි කියල​. ඔවුන් ලහි ලහියේ සැලසුමක් හදනවා කොරියාව තාවකාලිකව කොටස් දෙකකට බෙදලා කොටසක් සෝවියට් දේශයේ ආරක්‍ෂාව යටතේත්, අනෙක් කොටස ඇමරිකාවේ ආරක්‍ෂාව යටතේත් තියන්න​.

මෙතනදි ඔවුන් සීමාව ලෙස තෝර ගන්නෙ 38 වෙනි දේශාංශ රේඛාව​. ඒකට හේතු වෙන්නෙ ඒ සීමාවෙන් කොරියාව දළ වශයෙන් සමාන කොටස් දෙකකට බෙදෙන අතරම​, විශාලම නගරය වන සියොල් නගරය ඇමරිකන් කොටසට හසු වීම​.

සෝවියට් දේශය මේ සැලසුමට එකඟ වෙනවා. පෝස්ට්ඩෑම් නගරයේ පැවැත්වෙන සාකච්ඡාවකදී කොරියාව තාවකාලිකව කොටස් දෙකකට කඩනවා, අවුරුදු හතරකට පස්සෙ එක්සත් කොරියාවකට නිදහස දීමේ එකඟතාවය මත​.


බෙදුනු කොරියාව​


මේ වෙනකොට කොරියාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුනක් තියෙනවා.

1. ඇමරිකන් හිතවාදී දක්‍ෂිනාංශිකයන්
2. සෝවියට් හිතවාදී කොමියුනිස්ට් වරු
3. සමාජවාදී නැඹුරුවක් සහිත ජාතිකවාදීන්

ඇමරිකන් හිතවාදී දක්‍ෂිනාංශිකයන් ප්‍රධාන වශයෙන්ම සමන්විත වෙන්නෙ චීනයේ පිහිටවපු විකල්ප රජයේ සහ කොරියානු විමුක්ති හමුදාවට සම්බන්ධ කොටස් වලින්. කොමියුනිස්ට් වරු සෝවියට් ආධාර ලබන කොමියුනිස්ට් වාදීන් ගෙන්. ජාතිකවාදීන් සමන්විත වෙන්නෙ කොරියාව ඇතුලේ සහ චීන-කොරියන් දේශසීමාවේ ඉඳන් ක්‍රියාකාරී වුන අරගල කරුවන් ගෙන්. කලින් දැක්ක වගේ මොවුන්ට සෝවියට් සහ මාඕ ගේ සහය ලැබුන නිසා මොවුන් අතර සමාජවාදී අදහස් ස්ථාපිත වෙලා තිබ්බා.

මේ අය අතරින් වඩාත්ම බලවත් වුනේ ජාතිකවාදීන්. අනිත් කොටස් කොරියානු ජනතාව දැක්කෙ විදේශිකයන් ගෙ ඒජන්තයො විදිහට​.

ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව බෙදන්න සැලසුම් හදද්දි ජාතිකවාදීන් කොරියාවේ නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා. ඒක හඳුන්වන්නෙ "කොරියානු මහජන ජනරජය (People's Republic of Korea)" කියලා. ඒ 1945 අගෝස්තු මාසයේදී.
කොරියානු මහජන ජනරජයේ කොඩිය​
ඔවුන් කොරියාව පුරා ප්‍රධාන නගර වල මහජන කමිටු පිහිටුවනවා. පාලනය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ හරහා. මේ මහජන කමිටු ආභාෂය ලබන්නෙ සෝවියට් දේශයේ මුල් කාලයේ තිබ්බ සෝවියට් සභා වලින්.

ජාතිකවාදීන් අතර නායකයන් දෙන්නෙක් කැපී පේනවා. ඒ සියොල් නගරයේ නායකයා වන ල්‍යු වූන්-හ්‍යුං (යෝ උං-හ්‍යුං) සහ පියොංයැං නගරයේ නායකයා වන චෝ මං-සික්.


කොරියානු මහජන ජනරජයේ පළවෙනි නායකයා වෙන්නෙ ල්‍යු වූන්-හ්‍යුං.

ජාතිකවාදීන් ඇමරිකන්-සෝවියට් ආරක්‍ෂාව යටතේ අවුරුදු හතරක් කොරියාව පවතිනවට තදින්ම විරුද්ධ වෙනවා. ඔවුන් ඊට විරුද්ධව දිගින් දිගටම උද්ඝෝෂන වල නිරත වෙනවා.
ඇමරිකන් ආරක්‍ෂාවට එරෙහිව සියොල් නගරයේ උද්ඝෝෂනයක්

ඒ අතරෙ ඇමරිකාව සහ සෝවියට් දේශය තම තමාගේ කොටස් වල තමාගේ බලය පැතිරවීමේ නිරත වෙනවා. මේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියේ දී උතුරු කොටසේ ඉන්න දක්‍ෂිනාංශිකයන්ටත්, දකුණු කොටසේ ඉන්න කොමියුනිස්ට් වරුන්ටත් එරෙහිව දරුණු භීෂනයක් ක්‍රියාත්මක වෙනවා. මේ නිසා 38 වෙනි දේශාංශය හරහා උතුරට සහ දකුණට විශාල ජන සංක්‍රමනයක් සිද්ධ වෙනවා.

මේ සංක්‍රමනිකයන් දරුණු භීෂනයකට මුහුණ දුන් නිසා අන්තවාදී අදහස් දරන අය​. ඔවුන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් ඉවසන්නෙ නෑ.

ඇමරිකාව කොරියානු මහජන ජනරජය සහ ඔවුන් ගේ මහජන කමිටු ඉවසන්නෙ නෑ. ඒ නිසා 1945 සැප්තැම්බර් මාසයේදී ඔවුන් කොරියානු මහජන ජනරජය සහ ඔවුන් ගේ මහජන කමිටු නීති විරෝධී ලෙස ප්‍රකාශ කරනවා. එතැන ඉඳන් දකුණේ ජාතිකවාදීන් නිරත වෙන්නෙ යටි බිම් ගත දේශපාලනයක​. 
නමුත් සෝවියට් දේශය ඊට වඩා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඒකාබද්ධ කොරියාවක නායකයා වශයෙන් පියොංයැං මහජන කමිටුවේ නායක චෝ මං-සික් පත් කරන්න​. ජාතිකවාදීන් ගේ සමාජවාදී නැඹුරුව නිසා නව කොරියාව සෝවියට් හිතවාදී රටක් වෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඒත් චෝ මං-සික් සෝවියට් බලපෑම් වලට කැමති වෙන්නෙ නෑ. ඔහුට අවශ්‍යය වෙන්නෙ ස්වාධීන කොරියාවක්. ඒ නිසා සෝවියට් දේශය වටහා ගන්නවා චෝ මං-සික් නායකයා වශයෙන් තබා ගැනීම ඔවුන් ගේ වැඩ පිළිවෙලට අවහිරයක් කියලා. 1946 ජනවාරි මාසයේදී සෝවියට් දේශය චෝ මං-සික් ව නිවාස අඩස්සියට ගන්නවා.

1946 පෙබරවාරි මාසයේදී ඔවුන් උතුරු කොටසේ පාලනය සඳහා මහජන කමිටු ඒකාබද්ධ කරලා එක සභාවක් හදනවා. ඒකෙ නායකත්වයට පත් කරන්නෙ දැඩි සෝවියට් හිතවාදී තරුණ නායකයෙක් වන කිම් ඉල්-සුං.
කිම් ඉල් සුං 1945 දී
මේ අතරෙදි 1946 දී උතුරු සහ දකුණු කොටස් අතර සංක්‍රමනය වීම තහනම් කෙරෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජනතාව අතර ගැටුම් ඇති වීම වැලැක්වීම​. නමුත් මේකෙන් උතුරු-දකුණු බෙදීම තවත් වැඩි වෙනවා.

ඒ වගේම උතුරෙන් දකුණට සංක්‍රමනය වුන දක්‍ෂිනාංශිකයන් සහ දකුණෙන් උතුරට සංක්‍රමනය වුන කොමියුනිස්ට් වරු එක්සත් කොරියාවකට විරුද්ධ වෙනවා. ඔවුන්ට ඕනෙ වෙන්නෙ තමාගේ බලය සහිත වෙනම රාජ්‍යයන්. ඇමරිකාව සහ සෝවියට් දේශය මේ අදහස් පෝෂනය කරනවා.

නමුත් ජාතිකවාදීන් දිගටම එක්සත් කොරියාවක් වෙනුවෙන් සටන් කරනවා. 1946 සැප්තැම්බර් මාසෙදි ජාතිකවාදීන් දකුණේ දැවන්ත විරෝධතාවක් සංවිධානය කරනවා. අරගල කරුවන් ගේ සටන් පාඨය වෙන්නෙ "එක කොරියාවක්". මෙහිදී උද්ඝෝෂන කරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ඇති වෙනවා. මේ අරගලය මැඩ පවත්වන්න ඇමරිකන් යුධ ටැංකි පවා යොදා ගන්න සිද්ධ වෙනවා. ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 38 ක් සහ සාමාන්‍යය වැසියන් 240 ක් මිය යනවා.



නමුත් 1947 ජූලි මාසෙදි ල්‍යු වූන්-හ්‍යුං දක්‍ෂිනාංශික අන්තවාදියෙක් අතින් ඝාතනය වීම සහ චෝ මං-සික් නිවාස අඩස්සියට ගැනීමත් එක්ක ත් සමඟම ඔවුන් ගේ ව්‍යාපාරය ක්‍රමයෙන් දුර්වල වෙනවා.

කොරියාව දෙකඩ වීම වඩ වඩාත් වියහැකියාවක් බවට පත් වෙනවා.

.විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 3



මේ ලිපියෙන් කතා කරන්නෙ විදුලි ලාම්පු වලින් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන​.

අපි දන්නවා ආලෝකය හැදිල තියෙන්නෙ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසකින් කියල​.


සූර්‍යයා  ගෙන් ලැබෙන ස්වාභාවික ආලෝකයේ මේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙනවා. ඒ නිසා ඒ ආලෝකය අපිට පේන්නෙ සුදු පාටට​. ඒ වගේම ඒ ආලෝකය යටතේ සියළුම වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ ආකාරයෙන්ම කිසිම විකෘති වීමකින් තොරව අපිට පේනවා.

නමුත් විදුලි ලාම්පු වලින් ලැබෙන ආලෝකයේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා අපිට වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ විදිහටම පේන්නෙ නෑ.

උදාහරණයකට අපි දන්නව සූත්‍රිකා පහනකින් ලැබෙන ආලෝකය කහට හුරුයි. ඒ වගේම සෝඩියම් ලාම්පුවකින් ලැබෙන ආලෝකය කහ පාටයි. රසදිය ලාම්පුවකින් ලැබෙන ආලෝකය ලා දම් පාටයි.

මේ නිසා විවිධ විදුලි ලාම්පු වල ආලෝකය යටතේ අපිට වස්තූන් ගේ පාට පේන්නෙ තරමක් විකෘති වෙලා. උදාහරණයකට සෝඩියම් ලාම්පුවක ආලෝකය යටතේ අපිට රතුපාට පේන්නෙ දුඹුරු පාටට​.

මේකෙ තියෙන වැදගත් කම මොකද්ද​?

1. සමහර අවස්ථා වලදී අපිට වස්තුවක වර්ණය ඉතාමත් නිවැරදිව දකින එක වැදගත් වෙනවා. උදාහරණයකට ඇඟළුම් කම්හලක​.

2. ඒ වගේම වර්ණ විකෘති වෙලා පේන ආලෝකයක් යටතේ දීර්ඝ වෙලාවක් ඉන්න එක ඇස් දෙකට සහ මනසට වෙහෙසකර වෙන්න පුළුවන්.

ඒ නිසා ගෙදරක් ආලෝකමක් කරද්දි මේක එච්චරම වැදගත් නොවුනත්, කර්මාන්තශාලාවක් වගේ තැනකදි මේක ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්.

විදුලි ලාම්පු වල ආලෝකයේ වර්ණ ගැන කතා කරද්දි සංකල්ප දෙකක් තියෙනවා.

1. වර්ණ උෂ්ණත්වය​ (Colour Temperature)

මේ සංකල්පයෙන් කියවෙන්න ලාම්පුවෙන් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන​. මේකට උෂ්ණත්වයේ සම්බන්ධයක් නෑ. ඒ කෑල්ල එන්නෙ වෙනත් හේතුවක් නිසා.

විදුලි ලාම්පුවකින් එන ආලෝකය නිල් පාටේ සිට කහපාට දක්වා පරාසයක වෙනස් වෙනවා. සුදු පාට තියෙන්නෙ මේකෙ මැද හරියෙ. ඒ නිසා මේ වර්ණ පොදුවේ වර්ග කෙරෙනවා "උණුසුම් වර්ණ​" (කහ පාටට හුරු වර්ණ​) සහ "සිසිල් වර්ණ​" (නිල් පාටට හුරු වර්ණ​) කියල​.



නමුත් මෙතනදි ගැටළුවක් එනව​. ඒ තමයි මේක නිවැරදිය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි වීම. ඒ ගැටළුව ගොඩ දා ගන්න තමයි "වර්ණ උෂ්ණත්වය​" කියල සංකල්පය හඳුන්වා දීල තියෙන්නෙ.

අපි දන්නවා යකඩයක් රත් කරද්දි ඒක මුලින්ම රතු පාට වෙනව​. ඊට පස්සෙ කහ පාට​. ඊට පස්සෙ සුදු. ඊටත් පස්සෙ නිල් පාට​. මේ එක එක පාට ලැබෙන නියමිත උෂ්ණත්වයන් තියෙනවා.

විදුලි ලාම්පුවක ආලෝකයේ වර්ණය ප්‍රකාශ කරන්න යොදා ගන්නෙ මේ උෂ්ණත්වය​. ඒකට පාවිච්චි කරන්නෙ උෂ්නත්වය මණින ඒකකයක් වන කෙල්වින්.

උදාහරණයකට විදුලි ලාම්පුවක වර්ණ උෂ්ණත්වය කෙල්වින් 1000 යි කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නෙ කෙල්වින් 1000 කට රත් කරපු යකඩයකින් විහිදෙන ආලෝකයේ පාට ඒ විදුලි ලාම්පුවෙන් විහිදෙනව කියල​. ඒකට ලාම්පුවේ උෂ්ණත්වයේ සම්බන්ධයක් නෑ.



හැබැයි මෙතන මතක තියා ගන්න ඕනෙ දේ තමයි අපි "උණුසුම් වර්න​" කියල හඳුන්වන වර්න වල කෙල්වින් අගය "සිසිල් වර්ණ​" කියල හඳුන්වන වර්න වල කෙල්වින් අගයට වඩා අඩුයි කියන එක​.

එතකොට අපි මිලදී ගන්න විදුලි ලාම්පුවක වර්ණ උෂ්නත්වය කෙල්වින් 1500 කියල ගහල තිබ්බොත් සම්මත වර්ණ උෂ්නත්ව සටහනක් අරගෙන කෙල්වින් 1500 ට අදාල පාට මොකද්ද කියල බලාගන්න පුළුවන්.

2. වර්ණ ප්‍රකාශක දර්ශකය​ (Colour Rendering Index - CRI)

වර්ණ ප්‍රකාශක දර්ශකය කියන්නෙ විදුලි ලාම්පුවක ආලෝකය යටතේ වස්තුවක ස්වාභාවික වර්ණය කොයිතරම් විකෘති වෙනවද කියන එක පිළිබඳ මිනුමක්.

අපි සලකනවා ස්වාභාවික හිරු එළියේ වර්ණ ප්‍රකාශක දර්ශකය 100 කියල​. ඒ කියන්නෙ කිසිම විකෘතියක් නෑ. අනිත් ආලෝකයන් ගේ වර්න ප්‍රකාශක දර්ශකය 100 ට අඩු අගයක් ගන්නව​.

පහළ ප්න්තූරයේ තියෙන්නෙ විවිධ වර්ණ ප්‍රකාශක දර්ශක සහිත ආලෝක යටතේ එකම ඇපල් ගෙඩිය අපිට පේන හැටි.



ඒ ඒ විදුලි ලාම්පු වලට නියමිත වර්ණ ප්‍රකාශක දර්ශකය සඳහන් කරල තියෙනවා. 


ඒ වගේම ඒ ඒ ස්ථානයන්ට තිබිය යුතු අවම වර්ණ ප්‍රකාශක දර්ශකයන් සම්මත කරගෙන තියෙනවා.

උදාහරණ කීපයක්:
කාර්‍යාල - > 80
ඉලෙක්ට්‍රොනික් කර්මාන්තශාලා - > 70
කර්මාන්තශාලා - > 60
ගබඩා - > 20

විදුලි ලාම්පු මිලදී ගනිද්දි මේ ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ.

ඒ වගේම ලාම්පු පිරිවැද්දුම (Light Fitting) මගිනුත් මේ දෙකේ අගයන් වලට බලපෑමක් තියෙනවා. ඒ නිසා පිරිවැද්දුම් මිලදී ගද්දි ඒ ගැනත් හොයල බලන්න වෙනවා.

විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 2



මුලින්ම අපි බලමු ආලෝකය මනින ඒකක කීපයක් ගැන​.

අපි දන්නවා අපි විදුලි බලය මනින්නේ "වොට් (W)" ඒකකයෙන්. අපි ගන්න විදුලි ලාම්පු වොට් 20, වොට් 60, වොට් 100 ආදී වශයෙන් සටහන් කරල තියෙනවනෙ. ඒකෙන් කියැවෙන්නේ ඒ ලාම්පුව පාවිච්චි කරද්දි කොයිතරම් විදුලි බලයක් වැය වෙනවද කියල​. ඒ කියන්නෙ වොට් 60 ක ලාම්පුවක් වොට් 20 ක ලාම්පුවකට වඩා විදුලි බලය පාවිච්චි කරනව.

හැබැයි වොට් වලින් කියැවෙන්නෙ නෑ අපිට ලැබෙන ආලෝකය ගැන​. ඒ ඒ ලාම්පු වල විදුලි බලය ආලෝකය බවට හැරවීම වෙනස්. උදාහරණයකට වොට් 10 ක CFL ලාම්පුවක් වොට් 60ක සූත්‍රිකා ලාම්පුවකට වඩා අලෝකය දෙනව වෙන්න පුළුවන්.

ආලෝකය මනින ප්‍රධාන ඒකක තුනක් තියෙනවා.

1. කැන්ඩෙලා (Cd)

යම්කිසි ආලෝක ප්‍රභවයකට ආලෝකය නිකුත් කිරීමේ හැකියාව මනින්නෙ කැන්ඩෙලා වලින්. මේක ආලෝක ප්‍රභවයේ ගුණයක්.

2. ලූමෙන් (lm)

යම්කිසි ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක ප්‍රමානය මනින්නෙ ලූමෙන් වලින්. මේක ආලෝකයේ ගුනයක්.

3. ලක්ස් (lux)

යම්කිසි ආලෝක ප්‍රභවයකින් නිකුත් වල ආලෝක ප්‍රමානයෙන් කොයිතරම් දීප්තියක් යම්කිසි තැනකට ලැබෙනවද කියල මනින්නෙ ලක්ස් වලින්. මේක ස්ථානයේ ගුණයක්.


හරියට තේරුනෙ නෑ නෙ? උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

අපි ගන්නව විදුලි ලාම්පුවක්. මේකට තියෙනව ආලෝකය නිකුත් කිරීමේ හැකියාවක්. අපි හිතමු කැන්ඩෙලා 100 කියල​.

දැන් මේක දල්වනවා. මේකෙන් යම්කිසි ආලෝක ප්‍රමානයක් නිකුත් වෙනව​. දැන් අපි මේකෙ මතුපිටෙන් බාගයක් වැහෙන්න කළු කඩදාසි අලවනව​. එතකොට මේකෙන් නිකුත් වෙන ආලෝක ප්‍රමානය බාගෙකින් අඩු වෙනව​.

නමුත් ලාම්පුවේ හැකියාවට මොකුත් වෙනසක් වුනේ නෑ නෙ. ඒක කැන්ඩෙලා 100 ම තමයි.

එතකොට අඩු වුනේ මොකද්ද​? ලාම්පුවෙන් එන ආලෝකයේ ලූමෙන් ප්‍රමානය​.

දැන් අපි සුදු කඩදාසියක් අරගෙන ලාම්පුවට මීටරයක දුරින් අල්ලනව​. එතකොට කඩදාසිය යම්කිසි ප්‍රමානයකට දීප්තිමත් වෙනව​. ඒ කඩදාසියම මීටර් 10ක දුරින් අල්ලනව​. කලින්ට වඩා දීප්තිය අඩුයි.

නමුත් ලාම්පුවෙන් නිකුත් වෙන ආලෝකයේ ලූමෙන් ප්‍රමානයේ වෙනසක් වුනේ නෑ.

එතකොට අඩු වුනේ මොකද්ද​?

අපි ලාම්පුවෙන් ඈතට යද්දි ලාම්පුවේ ආලෝකය වැඩි වර්ගඵලයක් පුරා විහිදෙනව​. ඒ කියන්නෙ වර්ග මීටරයකට වැටෙන් ආලෝක ප්‍රමානය අඩු වෙනව​. ඒ කියන්නෙ ආලෝකයේ ඝනත්වය (එහෙම නැත්තං දීප්තිමත් බව​) අඩුවෙනව​.

ඒ කියන්නෙ අඩු වුනේ ආලෝකයේ ලක්ස් ප්‍රමානය​. ඒක තැනෙන් තැනට වෙනස්.

දැන් අපි ආපහු එනව විදුලි ලාම්පු මිලදී ගැනීමට​.

අපිට ඇඟට දැනෙන්නෙ විදුලි ලාම්පුවකින් දෙන ආලෝක ප්‍රමානය​. ඒකෙ විදුලි බල පාවිච්චිය නෙවෙයි. නමුත් අපි සල්ලි ගෙවන්නෙ විදුලි බලයට. ආලෝකයට නෙවෙයි. එතකොට විදුලි බලය සහ අලෝකය අතර සම්බන්ධයක් ගොඩ නගා ගන්න ඕනේ.

මේ සම්බන්ධයට කියනව "ආලෝක කාර්‍යක්‍ෂමතාවය (luminous efficacy)" කියල​.

ආලෝක කාර්‍යක්‍ෂමතාවය කියන්නෙ විදුලි බලය වොට් එකක් පාවිච්චි කරල විදුලි ලාම්පුවකින් නිපදවන ආලෝකයේ ලූමෙන් ප්‍රමානය​. මේකෙ ඒකකය "වොටයට ලූමෙන් (lm/W)"

අපිට පේනව ආලෝක කාර්‍යක්‍ෂමතාවය වැඩියි කියන්නෙ විදුලි ලාම්පුවකට අඩු විදුලි බලයකින් වැඩි ආලෝකයක් නිපදවන්න පුළුවන් කියන එක​. ඒ කියන්නෙ ආලෝක කාර්‍යක්‍ෂමතාවය වැඩි ලාම්පු පාවිච්චි කිරීම සාක්කුවට හොඳයි.

අපි කලින් පෝස්ට් එකේ දැන ගත්ත විදුලි ලාම්පු වර්ග වල ආලෝක කාර්‍යක්‍ෂමතාවය කොහොමද කියල බලමු.

සූත්‍රිකා ලාම්පු : 12 lm/W
හැලජන් ලාම්පු : 18 lm/W
ප්‍රතිදීප්ත ලාම්පු (ටියුබ් ලයිට්) : 50 ~ 100 lm/W
සංයුක්ත ප්‍රතිදීප ලාම්පු (CFL) : 60 lm/W
රසදිය වාෂ්ප ලාම්පු : 40 ~ 60 lm/W
අඩු පීඩන සෝඩියම් ලාම්පු : 100 ~ 200 lm/W
අධි පීඩන සෝඩියම් ලාම්පු : 100 ~ 150 lm/W
ලෝහ හේලයිඩ ලාම්පු : 100 lm/W
ආලෝක විමෝචක ඩයෝඩ ලාම්පු (LED) : 130 lm/W

මේ ලැයිස්තුව බැලුවම අපිට පේනව සූත්‍රිකා ලාම්පු කියන්නෙ ඉතා අඩු කාර්‍යක්‍ෂමතාවයක් තියෙන ලාම්පු වර්ගයක් කියල​. ඒ වෙනුවට CFL සහ LED ලාම්පු පාවිච්චි කරන්න පුළුවන් නං සාක්කුවටත් හොඳයි. රටටත් හොඳයි.

සාක්කුව ගැන විතරක්ම බැලුවොත් හොඳම ලාම්පු වර්ගය අඩු පීඩන සෝඩියම් ලාම්පු. හැබැයි මතක ඇති මේ ලාම්පු වල ආලෝකය කහ පාටයි කිව්ව​. ඒ නිසා මේ ලාම්පුවක් දැම්මම අවට වර්ණ ටික ඔක්කොම විකෘති වෙලා පේන්නෙ. උදාහරණයකට රතු පාට පේන්නෙ දුඹුරු පාටට​.