Wednesday, January 25, 2017

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 2 (ඔත්සුකරෙ)





ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

දෙවෙනි වචනය : ඔත්සුකරෙ


"ඔත්සුකරෙ"කියන එකේ තේරුම "මහන්සියි" කියන එක​.

හැබැයි මේක පාවිච්චි වෙන්නෙ අපි මහන්සියි කියනවට වඩා වෙනස් අරුතකින්.

මේ යෙදුම පාවිච්චි වෙන්නෙ එක විශේෂ අවස්ථාවක සුබ පැතීමක් විදිහට​. ඒ වැඩ ඉවරවෙලා වැඩපොළෙන් නික්මෙන අවස්ථාවේ. එහෙම නැත්නම් මොකක් හරි වැදගත් වැඩක් අවසානයේ.

උදාහරනයකට ඔබ වැඩ ඇරිල ගෙදර යන්න ඔෆිස් එකෙන් පිටත් වෙද්දි යාළුවෙක් ඔබට "ඔත්සුකරෙ" කියල සමු දෙයි. නැත්තනම් වැදගත් මීටින් එකකදි ඔබ හොඳට පර්ෆෝර්ම් කරොත් ඔබේ බොස් ඔබට "ඔත්සුකරෙ" කියල සුබපතයි.

මේ යෙදුම පාවිච්චි වෙන ක්‍රම කීපයක් තියෙනව​

ඔත්සුකරෙ - කෙටි යෙදුම​

ඔත්සුකරෙ දෙස් - ඊට වඩා ටිකක් ෆෝමල්

ඔත්සුකරෙ දෙෂිත - ඒකෙ අතීත කාලය​. තවත් ටිකක් ආචාරශීලී වැඩියි

ඔත්සුකරෙසමා දෙස් - වඩාත්ම බහුලව යෙදෙන විදිහ

ඔත්සුකරෙසමා දෙෂිත - ඒකෙ අතීත කාලය​. වඩාත්ම ආචාරශීලී විදිහ​


ඇයි මේ වැඩ ඉවරවෙලා ගෙදර යද්දි "මහන්සියි" කියන්නෙ?

මේ යෙදුමේ අරුත "ඔබට මහන්සි පාටයි" කියන එක​.

ජපන්නු මේක පාවිච්චි කරන්නෙ "ඔබ අද දවසෙ ගොඩක් මහන්සි වෙලා වැඩ කරල​. ගුඩ් ජොබ්. ඔබ හොඳ කැපවීමෙන් වැඩ කරන දක්‍ෂ පුද්ගලයෙක්" කියන අරුතෙන්.

ජපන් සංස්කෘතියේ ඔවුන් ඉතාමත් ඉහළින්ම අගය කරන දේ තමයි මහන්සි වෙලා වැඩ කරන එක​. මහන්සි වෙලා වැඩ නොකරන පුද්ගලයෙක් සමාජයේ වැදගත් සාමාජිකයෙක් විදිහට සලකන්නෙ නෑ. ඕන රස්සාවක්, වැසිකිළිය පිරිසිදු කිරීමේ ඉඳල මැනේජර් දක්වා, කරද්දි ඒක මහන්සි වෙලා කැපවීමෙන් කරන එක ඉතාමත් උසස් ගුණයක් විදිහට සැලකෙන්නෙ.



ඇත්තෙන්ම යම්කිසිවෙක් වැඩ ඉවරවෙලා ගෙදර යද්දි ඔහු හෝ ඇය වැඩ කරල හෙම්බත් වෙලා නැත්තං ඒක මදි කමක් වගේ.

ඒ නිසා තමයි "ඔබට අද මහන්සි පාටයි" කියල කොම්ප්ලිමන්ට් එකක් දෙන්නෙ.

මේක යොදා ගන්න තව තැනක් තියෙනව​.

ජපානයේ වැඩ ඉවරවෙලා එකට වැඩ කරන සෙට් එක රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල එකට රෑ කෑම ගන්න එක ටිකක් සුලභව කෙරෙන දෙයක්. සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ එහෙම ෆන්ක්‍ෂන් එකක් වැටෙනව​.

ජපන් සංස්කෘතියේ හැටියට ඒ වගේ රෑ කෑමක් එක්ක සකේ හෝ බියර් අනිවාර්‍යයි.

ඉතින් ඒ වගේ වෙලාවට බොන්න කලින් චියර්ස් කියන්නෙ "ඔත්සුකරෙසමා දෙස්" කියල​. ඒ කියන්නෙ "අපි කැපවීමෙන් වැඩ කරා. අපිට මහසියි. ඒ නිසා අපි මේ බියර් එක බොන්න සුදුසුයි" කියන අරුතෙන්.

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 1 (ඉතදකිමස්)



ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

පළවෙනි වචනය : ඉතදකිමස්


"ඉතදකිමස්" කියන්නෙ කෑම වේලකට කලින් ජපන්නු කියන වචනයක්.

හරියටම ඉතදකිමස් කියන්නෙ මෙහෙමයි:

1. අත් දෙක වඳින ඉරියව්වට ගේනවා

2. පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා

3. "ඉතදකිමස්" කියල කියනව

4. කෝටු දෙක අරගෙන කන්න පටන් ගන්නවා



සමීක්‍ෂනයකදි හෙළි වෙලා තියෙනවා ජපනුන් ගෙන් 90% පමණ කෑම වේලකට පෙර මේ වැඩේ කරන බව.

"ඉතදකිමස්" කියන වචනයේ තේරුම "මම නිහතමානීව, බැගෑපත්ව ලබා ගනිමි" කියන එක.

ඉතදකිමස් කියන වචනය ඔබට යම් කෙනෙක් ද්‍රව්‍යයමය දෙයක් දෙනකොට, උදාහරණයකට යම් කෙනෙක් ඔබට අව්ව වෙලාවක තොප්පියක් දුන්නොත්, ඒක ගද්දි ඉතදකිමස් කියන්න පුළුවන්.

මේක කෑම කන්න පෙර යොදා ගැනීම පටන් අරන් තියෙන්නෙ 1812 දී පළවුන පොතකින්. ඒ පොතේ නම "කෝකෝ මිචිබිකි ගුසා". ඒ පොතේ තියෙන්නෙ එදිනෙදා ජීවිතයේදී පිළිපැදිය යුතු හොඳ පුරුදු ගැන උපදෙස්. ඒකෙ එක තැනක තියෙනව "ආහාර ගැනීමට පෙර සොබාවධර්මයට, සියළුම ජීවත් වෙන සතුන්ට, අධිරාජ්‍යයාට සහ ඔබේ දෙමාපියන්ට ස්තූති කරන්න" කියල.

මේ පොත පළවුනාට පස්සෙ "ජෝදෝ-ෂින්‍ෂු" කියන බෞද්ධ නිකාය විසින් කෑම වේලකට පෙර ඉතදකිමස් කියන්න මිනිස්සුන්ව පොළඹවන්න පටන් අරගෙන තියෙනවා. මේ සිරිත විශේෂයෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නෙ බටහිර ජපානයේ. විශේෂයෙන්ම හිරෝෂිමා නගරය ආශ්‍රිතව.

1920 ගණන් වලදි වගේ ජපන් රජය මේ සිරිත පාසැල් වල උගන්වන්න පටන් අරන් තියෙනව. ඊට පස්සෙ මේක බටහිර ජපානයෙන් පිටතටත් පැතිරිලා මුළු රටේම පිළිපදින සිරිතක් වෙලා තියෙනවා.

ඉතදකිමස් පිටිපස්සෙ තියෙන චින්තනය මොකද්ද? අපි කන්න කලින් සොබාවධර්මයට, සත්තුන්ට ස්තූති කරන්නෙ ඇයි?

මේක පිටිපස්සෙ බෞද්ධ ආභාෂය වගේම ජපානයේ සාම්ප්‍රදායික ආගම වන ෂින්ටෝ ආගමේ ආභාෂයත් තියෙනවා.

බෞද්ධ ඉගැන්වීම් අනුව සියළුම පණ ඇති දෙයට වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පණතියෙන සත්තු (සාමාන්‍යයෙන් ජපන් ආහාරයක මස් මාළු - විශේෂයෙන් මාළු - අනිවාර්‍ය අංගයක්) ඔවුන් ගේ පණ අපේ ආහාරය වෙනුවෙන් පූජා කරලා. අපි අපේ පැවත්ම සඳහා ඒ පූජාව ලබා ගන්නවා. නමුත් අපි ඔවුන් කළ ඒ පූජාව මතක් කරල, ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. හැම කෑම වේලකටම කලින් අපි මතක් කරනවා අපි මේ කන්නෙ පණතියෙන සතෙක් කියල. ඒක අපිට ආහාරයක් වීම වෙනුවෙන් ඒ සතාට කරන පින් දීමක්.

ෂින්ටෝ සම්ප්‍රදාය අනුව, පණ ඇති, නැති සියළුම දේ තුල දෙවියන් ඉන්නවා (දෙවියන් කිව්වම ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් නෙවෙයි. අපේ රුක් දෙවියො වගේ අදහසක්).

ජපන් කියමනක් තියෙනවා "එක හාල් ඇටයක දෙවියන් හත් දෙනෙක් ඉන්නවා" කියල.

ඇත්තටම හාල් ඇටය ඇතුළේ දෙවියන් ඉන්නව කියනවටත් වඩා මේකෙ අරුත, හාල් ඇටය කියන්නෙ දෙවියෙක් කියන එක.

ඉතින් අපේ ආහාරයක ඇති පණ තියෙන, නැති සියළුම දේ ෂින්ටෝ සම්ප්‍රදාය අනුව දෙවියෙක්. අපි ඉතදකිමස් කියල ගෞරවයෙන්, බැගෑපත්ව ලබා ගන්නෙ ඒ දෙවියන්ව. අපේ ආහාරය සඳහා අපි ලබා ගන්න සියළුම දේ දෙවියන් ලෙස සැලකීම තමයි මෙතනදි වෙන්නෙ.

කොටින්ම, සොබාවධර්මය දේවත්වයෙන් සැලකීම.

ජපන් සිරිත් විරිත් වලට අනුව කෑම ඉතිරි කිරීම ඉතාමත් නරක දෙයක් විදිහට සැලකෙන්නෙ. ඊට හේතු දෙකයි.

එක, නාස්තිය.

දෙක, අපි වෙනුවෙන් ප්‍රාණය අතහැරපු සතුන් ගේ සහ ශාක වල කැපකිරීමට කරන නිගරුවක්.

ඉතින්, කෑම වේලක් අවසාන කරන්න කලින් පිඟානේ තියෙන අන්තිම බත් ඇටයත්, නූඩ්ල්ස් රැලත් කන්න ජපන්නු පරිස්සම් වෙනවා. බත් කෝප්පය අතට අරගෙන කෝටු දෙකෙන් අන්තිම බත් ඇටය ගන්න උත්සහ කරන එක (කෝටු දෙකෙන් එක බත් ඇටයක් ගන්න එක ටිකක් අමාරු වැඩක්) ඉතාමත් ලස්සන දෙයක් විදිහට ඔවුන් සලකන්නෙ.


Friday, December 2, 2016

මිත්සුබිෂී - 1


මිත්සුබිෂී ආයතනයේ කතාව වැදගත් වෙන්නෙ, ඒක ජපානයේ කාර්මීකරනය පිළිබඳ කතාවට ඉතා සමගාමීව යන නිසා. මිත්සුබිෂී කතාව කියන්නෙ ජපානයේ කතාවමයි කියල කියන්න පුළුවන්.

ඇරඹුම​

1835 ජනවාරි 9 වෙනිදා ජපානයේ බටහිර කෙලවරට වෙන්න තියෙන "තෝසා" ප්‍රාන්තයේ අකි නගරයේ ඉපදුනා යතාරෝ ඉවසාකි කියල කෙනෙක්.
ඉවසාකි ගෙ මහ ගෙදර​

ඔහුගේ පවුල සමුරායි පවුලක් වුනත්, ඔහු ඉපදෙන විට ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් ගේ සමුරායි තත්වය නැති වෙලා තිබුනෙ.

වයස 19 දී ඔහු තෝකියෝ නගරයට යනවා අධ්‍යාපනය සඳහා. ඒ 1854 දි. ඒ කාලය වෙද්දි ජපානය නවීකරනය කිරීම පිළිබඳ ලොකු කතිකාවක් තෝකියෝ වැනි ප්‍රධාන නගර වල ඇති වෙමින් තිබූ කාලයක්. ඉවසාකි තරුණයාත් මේ නවීකරනය සහ වෙළඳාම පිළිබඳ නව සංකල්ප ගැන උනන්දුවක් දක්වනවා.

ඉවසාකි නැවත ඔහුගේ ගම් පළාතට එනවා. ඒ කාලයේ ඒ ප්‍රාන්තයේ බලවතුන් වෙලා හිටියෙ "තෝසා" සමුරායි වංශය​. ඔහු තෝසා සමුරායි වරුන් ගේ හිත් දිනාගෙන ඔවුන් ගේ වෙළඳ ව්‍යාපාර වල කළමණාකරුවෙක් වශයෙන් පත් වෙනවා. තෝසා ප්‍රාන්තය අවට තියෙන විශාලම නගරය වුන ඕසකා නගරයේ තෝසා සමුරායි වරුන් ගේ වෙළඳාම සම්පූර්නයෙන්ම පාලනය කරන්නෙ ඉවසාකි.

1870 දි තෝසා සමුරායි වරුන් ගේ "ත්සුකුමෝ ෂෝකායි" ලෙස හැඳින්වුන නැව් සමාගම ඉවසාකි මිලදී ගන්නවා.

ඒ තමයි මිත්සුබිෂී ආයතනයේ ආරම්භය​.
යතාරෝ ඉවසාකි


ත්සුකුමෝ මිත්සුබිෂී වුන හැටි

ත්සුකුමෝ ෂෝකායි නැව් සමාගම මිලදී ගත්තට පස්සෙ ඉවසාකි කීප සැරයක්ම ඒකෙ නම වෙනස් කරනවා. අන්තිමේදී 1873 දි ඔහු "මිත්සුබිෂී" කියන නම තෝරගන්නව​.

මිත්සුබිෂී නම හැදෙන්නෙ "මිත්සු" සහ "බිෂී" කියන නම් දෙක එකතු වෙලා.

"මිත්සු" කියන එකේ තේරුම තුන.

"බිෂී" එහෙම නැත්තන් "හිෂී" කියන්නෙ "water caltrop" කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන ජලජ ශාකයක ගෙඩිය​. මේ ගෙඩිය තාරුකා හැඩයෙන් යුක්තයි. මේ හැඩය නිසා ජපන් සාහිත්‍යයේ හිෂී ගෙඩිය දියමන්ති වලට උපමා කරනවා.

හිෂී ගෙඩි
ඉතින් මිත්සුබිෂී කියන නමේ තේරුම​, හිෂී ගෙඩි තුනක්, එහෙම නැත්තං දියමන්ති තුනක් කියන එක​.

මිත්සුබිෂී ආයතනයේ ලාංඡනයේ තියෙන්නෙත් එකිනෙකට යාවුන දියමන්ති තුනක්.
මිත්සුබිෂී සලකුණේ පරිනාමය

මේ දියමන්ති තුන සකස් කරල තියෙන්නෙ තෝසා සමුරායි වරුන් ගේ සලකුනේ තියෙන ඕක් කොල තුන සකස් කරල තියෙන හැඩයටමයි.
තෝසා සමුරායි වංශයේ සලකුණ​
වර්තමාන මිත්සුබිෂී සලකුණ​

මිත්සුබිෂී ආයතනයේ මුල් කාලය

මිත්සුබිෂී නැව් සමාගම චීනය එක්ක වෙළඳ ගනුදෙනු පටන් ගන්නව​. ඒ ජපන් සමාගමක් විදෙස් රටක් එක්ක ස්ථිර වෙළඳ මාර්ගයක් ඇති කරගත්ත පළමුවන අවස්ථාව​.

මේ කාලය ජපානයේ දේශපාලනික වශයෙන් ඉතාමත් කලබලකාරී කාලයක්. සමුරායි වරු අතේ තිබ්බ දේශපාලනික බලය ජපන් අධිරාජ්‍යයා තමාගෙ අතට ගත්තා. ඒකට එරෙහිව සමුරායි වරු කැරලි ගැහුවා.

ඉවසාකි මේ කලබල දැක්කෙ ව්‍යාපාරික අවස්ථාවක් විදිහට​. ඔහු ජපන් රජය එක්ක ගිවිසුමකට ආවා සොල්දාදුවන් ප්‍රවාහනය කරන්න තමාගෙ නැව් යොදවන්න​. මේ ගනුදෙනුවෙන් මිත්සුබිෂී සමාගම විශාල ලාබයක් ලැබුවා.

මිත්සුබිෂී සමාගම දියුණු වීමත් එක්කම​ ඉවසාකි ට තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒ වෙනකොට ජපානය කාර්මික සහ වෙළඳ අංශ වලින් ඉතා ප්‍රාථමික අවධියක පැවතීම​. ඒ නිසා ඔහුට තමාගේ සමාගමට අවශ්‍යය සහය සේවා (supporting services) ලබා ගන්න ක්‍රමයක් තිබ්බෙ නෑ.

ඉවසාකි ගෙ පිළිතුර වුනේ ඔහුම ඒ සේවාවන් උපදවා ගැනීම​.

ඒ වෙනුවෙන් ඉවසාකි ක්‍රමයෙන් වෙනත් අංශ වලට මිත්සුබිෂී ආයතනය යොමු කරා.

1881 දී ඉවසාකි ගල් අඟුරු පතල් කර්මාන්තයට අත ගහනව​. ඒ ඔහුගේ නැව් වලත අවශ්‍යය ගල් අඟුරු ලබා ගන්න​.

1884 දි ඔහු නාගසකි වරායේ කොටසක් මිලදී ගෙන නැව් අළුත්වැඩියා කරන ව්‍යාපාරයක් පටන් ගන්නවා.

ඒ එක්කම ඔහුගේ නැව් වලින් ගෙනියන බඩු රක්‍ෂනය කරන්න රක්‍ෂන සමාගමක් පටන් ගන්නවා.


නරක කාලය​

මිත්සුබිෂී සමාගම නැව් ව්‍යාපාරයෙන් ලබන ලාබය දැකපු ජපන් රජයත් නැව් සමාගමක් පටන් ගන්න අදහස් කරනවා. ඒ අනුව 1882 දී "කියෝදෝ උන්‍යු කයිෂා" කියල නැව් සමාගමක් රජයේ අනුග්‍රහයෙන් පටන් ගන්නවා.

මේ සමාගම් දෙක අතර දරුණු තරගකාරීත්වයක් ඇති වෙනවා. ඒකෙන් සමාගම් දෙකම බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තත්වයකට පත් වෙනවා.


ඒ අස්සෙ 1885 දී යතාරො ඉවසාකි මිය යනවා. ඒ බඩවැලේ පිළිකාවකින්. ඔහු මිය යනකොට වයස අවුරුදු 50 යි.

Saturday, November 19, 2016

සමාජයීය වගකීම ගැන ජපන් කතාවක්



ජපානයේ සමාජයීය වගකීම ආරක්‍ෂා කෙරෙන හැටි ගැන​ පොඩි කතාවක් කියන්න යන්නෙ.

ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න​​.

හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.

මුලින්ම​, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.

ඊළඟට, කසල එකතු කරල ප්‍රතිචක්‍රීකරණය කරන නිසා ඒව වර්ගීකරනය කරන්න ඕනෙ. ඒ කරදරයෙන් මිදෙන්න ඔවුන් අපූරු උපක්‍රමයක් යොදනවා. සතියේ එක එක දිනවල එකතු කරන්නෙ එක එක වර්ගයේ කසල පමණයි.

උදාහරණයකට​, සඳුදට පොලිතීන්. අඟහරුවාදට ප්ලාස්ටික් බෝතල්. බදාදට කඩදාසි. බ්‍රහස්පතින්දට වීදුරු. සිකුරාදට කාබනික දේවල්. සෙනසුරාදට ලෝහමය දේවල්. ඒ වගේ. (උදාහරණයක් විතරයි ඈ)

කසල එකතු කරන ආයතනය තමාගෙ වසමේ පදිංචිකාරයන්ට කසල එකතු කරන දවස් සහ එදාට එකතු කරන වර්ගය සටහන් කාල සටහනක් දීල තියෙනවා.

මේ වගේ එකක්

කවුරුහරි වැරදි දවසට වැරදි කසල එළියෙන් තිබ්බොත් හෝ නියමිත බෑගයේ නැතුව කසල එළියෙන් තිබ්බොත් හෝ කසල පාර පුරා විසිරෙන අන්දමට තිබ්බොත් හෝ වෙනත් පිස්සුවක් කෙලියොත් ඔවුන්ට දඩයක් ගෙවන්න වෙනව​. මේ දඩය ටිකක් ලොකු ගාණක්.

වැඩේ ස්මූත්ලි වෙනවද කියල මොනිටර් කරන්න පදිංචිකාරයො පිහිටුවගෙන ඉන්නව කමිටුවක්. සාමාන්‍යයෙන් කාන්තාවො තමයි කමිටුවෙ ඉන්නෙ. (ජපානයේ ගොඩක් කාන්තාවො රැකියා කරන්නෙ නෑ).

මම දන්න මහත්තයෙක් ඔහුගේ පවුලත් එක්ක මාස හයක විතර කාලයක් ජපානයේ පදිංචි වෙලා හිටිය​. මේ ඔහු මට කියපු ඔහුගේ අත්දැකීමක්.

පදිංචි වුන මුල දවස් වල මේ සෙල්ලම හරියටම මේ මහත්තයට මීටර් වෙලා නෑ. වැඩිය සීරියස් අරගෙනත් නෑ. දවසක් එයා ප්ලාස්ටික් බෝතල් දවසෙ ගෙදර තිබ්බ කාඩ්බෝඩ් වගයකුත් එළියෙන් තියල​.

කුණු එකතු කරන එවුන් එන්නෙ හවස හතරට විතර​. හවස තුනට විතර කවුදෝ ගෙදර දොරට තට්ටු කරාලු. දොර ඇරල බැලුවම තරුණ ගෑණු ළමයෙක්.

එයා මුලින්ම තමන්ව හඳුන්වල දුන්නලු. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. එයාගෙ අම්ම තමයි ඒ පැත්තෙ කුණු කමිටුවෙ සභාපති. අම්ම තමයි මෙයාව එවල තියෙන්නෙ.

මේ ගෑණු ළමය බොහෝම විනීතව මේ මහත්තයට සහ බිරිඳට පැහැදිලි කරල දුන්නලු කුණු එකතු කරන සිස්ටම් එක​. ඒ කරල වැරදි දවසෙ වැරදි කුණු බැහැර කරන්න එපා ඔබට ලොකු දඩයක් ගෙවන්න වෙයි කියල කිව්වලු.

මේ මහත්තය සහ ඔහුගේ බිරිඳ බොහෝම ලැජ්ජාවට පත් වෙලා. ගෑණු ළමය ගියාම මහත්තය දඩබඩ ගාල දුවගෙන ගියාලු කාඩ්බෝඩ් ටික අරගෙන එන්න​. හැබැයි ඒ බෑග් එක තිබිල නෑ.

පස්සෙ කඩදාසි දවසෙ ඒ මහත්තය දැක්කලු තමාගෙ කාඩ්බෝඩ් ටික​ අර ගෑණු ළමයගෙ ගෙදර ඉස්සරහ තියල තියෙනවා.

ඒ ගෑණු ළමය ඒක තමාගෙ ගෙදරට අරගෙන ගිහිල්ල නියමිත දවස එනකං තියාගෙන ඉඳල.

මුලින්ම​, උං කුණු බැහැර කරන්න පාවිච්චි කරනව හරිම සරළ නමුත් හරිම දියුණු සිස්ටම් එකක්.

ඊළඟට ඒක කඩන එවුන්ට දැඩි දඬුවම් දෙනව​.

නමුත්, සිස්ටම් එක රන් කරන්න රජයට දීල මිනිස්සු බලාගෙන ඉන්නෙත් නෑ. මිනිස්සු සිස්ටම් එක හරියට රන් කරවන්න තමන්ම ස්වේඡාවෙන් ඉදිරිපත් වෙනවා.

වැරැද්දක් දැක්කම වැරැද්ද කරපු මිනිහා ඒක නිවැරදි කරනකං බලාගෙන ඉන්නෙ නැතුව ඒක තමාගෙ වගකීමක් බවට පත් කරගෙන තමා විසින්ම ඒක නිවැරදි කරනවා.

ඔන්න සෙල්ලම​.



ජපන් බස - 2 (කතා කරන ජපන්)



ඔන්.යොමි සහ කුන්.යොමි

මුලින්ම ජපන් භාෂාවෙ වචන හඬ නගන ආකාර දෙකක් තියෙනව​.

1. ඔන්.යොමි
2. කුන්.යොමි

ඔන්.යොමි කියන්නෙ ඔරිජිනල් ජපන් කියැවීම​. කුන්.යොමි කියන්නෙ චීනෙන් ආපු එක​.

උදාහරණයකට "කන්ද" කියන අර්ථය දෙන ජපන් වචනය (山) ඔන්.යොමි විදිහට කියන්නෙ "සන්" කියල​. නමුත් කුන්.යොමි විදිහට කියන්නෙ "යම​" කියල.

ඒ කියන්නෙ එකම වචනය​, එකම කන්ජි අකුර​, නමුත් කියවන විදි දෙකයි. සමහර වචන වල ඔන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ. සමහර වචන වල කුන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ.

නමුත් සමහර වචන වල දෙවිදිහම පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ "ෆුජි" ගිනි කන්ද හඳුන්වන්නෙ "ෆුජියම​" කියල​. ඒත් කෝබේ නගරය අසල තියෙන තවත් ප්‍රසිද්ධ කන්දක් වන "රොකො" කන්ද හඳුවන්නෙ "රොකොසන්" කියල​.

ෆූජි කන්දට "ෆුජිසන්" කිව්වොත් ටෙක්නිකලි වැරදි නෑ. නමුත් එහෙම ව්‍යවහාර වෙන්නෙ නෑ. කොතනට එන්නෙ මොන ව්‍යවහාරයද කියන එක අපි දැනගන්න ඕනෙ පාවිච්චියෙන්.

හැබැයි "සන්" කිව්වත් "යම​" කිව්වත් ලියන්නෙ "山" කියල​.

තවත් උදාහරණයක් ගත්තොත් "හත​" කියල ඔන් ව්‍යවහාරයෙන් කියන්නෙ "නන​" කියල​. කුන් ව්‍යවහාරයෙන් කියන්නෙ "ෂිචි" කියල​.

එතකොට අපි එක දෙක තුන කියල ගණන් කරද්දි හත වෙනුවට කියන්න ඕනෙ ෂිචි. නමුත් "විසි හත​" කියද්දි හත වෙනුවට කියන්න ඕනෙ නන (නිජූ නන​).

ඉතින් කලිනුත් කිව්ව වගේ මේවගෙ කිසි ලොජික් එකක් නෑ. ව්‍යවහාරයෙන්ම තමයි හරි විදිහ දැනගන්න ඕනෙ.


වාක්‍යය හැදෙන විදිහ​.

වාක්‍යය හැදෙන විදිහෙන් ජපන් භාෂාව සමාන වෙන්නෙ සිංහල භාෂාවට​. ජපන් ඉගෙන ගද්දි තියෙන ලොකුම වාසිය ඒකයි.

උදාහරණයක්.

අපි සිංහලෙන් කියන්නෙ "මම වතුර බොනව​".

එතකොට වාක්‍යය ඇතුලෙ පද ගැලපෙන පිළිවෙල එන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය​. මම - වතුර - බොනව​.

නමුත් ඉංග්‍රීසියෙන් ලියද්දි "I drink water". එතකොට පද ගැලෙපෙන්නෙ උක්තය - ආඛ්‍යාතය - කර්මය කියන පිළිවෙලට​.

ජපන් වලින් කියද්දිත් පද ගැලපෙන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය පිළිවෙලට​. "වතෂිව මිසු වො නොන්දෙ ඉමස්". වතෂිව (මම​) මිසු (වතුර​) නොන්දෙ ඉමස් (බොනව - හරියටම කිව්වොත් බොමින් සිටිනවා).

මේක ජපන් ඉගෙන ගද්දි ලොකු පහසුවක්. සිංහලෙන් වාක්‍යය හිතල ගෙඩිය පිටින් ජපන් වචන ටික ආදේශ කරන්නයි තියෙන්නෙ.


ඒක වචන බහු වචන​

ජපන් භාෂාවේ ඒක වචන බහු වචන නෑ. ජපන් වලින් "පූසා" කියල කියන්නෙ "නෙකො". පූසෝ කියල කියන්නෙත් "නෙකො" මයි. අපි දැන ගන්න ඕනෙ කතා කරන්නෙ එක පූසෙක් ගැන ද පූසො ගොඩක් ගැන ද කියල​.

එතකොට "The Last Samurai" ෆිල්ම් එකේ කියවෙන්නෙ එක සමුරායි කෙනෙක් ගැනද සමුරායි ල සෙට් එක ගැනමද කියල දන්නෙ ඒකෙ නම දාපු එකා විතරයි.

ඒක වචන බහු වචන වෙන් වෙන එකම තැන පුද්ගල නාම පද වලදි විතරයි. මම (වතෂි), අපි (වතෂිතචි), ඔබ (අනත​) ඔබලා (අනතත​චි) වලට වෙනම වචන තියෙනවා.

සමහර වෙලාවට වචනය දෙපාරක් යෙදීමෙන් බහු වචනය හඟවන්න පුළුවන්. උදාහරණයකට කන්දට කියන්නෙ "යම​". කඳු කියල කියන්නෙත් "යම​" කියල​. හැබැයි ඕනෙ නම් කඳු කියන එක "යමයම​" කියල කියන්න පුළුවන්.


ගෞරව නාම

අපි ඉංග්‍රීසියෙන් කතා කරද්දි මනුස්සයෙක් ගෙ නමක් ඉස්සරහට Mr.. Mrs. Miss කියල දානව ගෞරව නාමයක් වශයෙන්.

සිංහලෙන් කතා කරද්දි ඒක දාන්නෙ නම අගට​. නිමල් මහතා. කුමාරි මහත්මිය​. අනූෂා මෙනවිය​. ඒ වගේ.

ජපන් වලින් ගෞරව නාමය දාන්නෙ සිංහලෙන් වගේ අගට​. හැබැයි ඔක්කොටම දාන්නෙ එකයි. "සන්".

ඒ කියන්නෙ මොරිකාවා මහතා කියන්නෙ මොරිකාවා සන්. අයිකෝ මහත්මිය කියන්නෙ අයිකෝ සන්. හරුකෝ මෙනවියත් හරුකෝ සන්.

හැබැයි විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු දෙකක් තියෙනව​.

එක​, තමා ගැන කතා කරද්දි "සන්" දාන්නෙ නෑ.

දෙක​, අනුන් ගැන කතා කරද්දි හොඳම යාළුවෙක් නෙවෙයි නං අනිවාර්‍යයෙන් "සන්" දාන්න ඕනෙ.

අපි එදිනෙදා කතා කරද්දි එකිනෙකාට කතා කරගන්නකොට "අනුර මහතා" කියන්නෙ නැති වුනාට ජපනා අනිවාර්‍යයෙන්ම "උමිනෝ සන්" කියල කියනව​.

එහෙම කිව්වෙ නැත්තං සැලකෙන්නෙ ඔබ කතා කරන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක් විදිහට​.

ජපන්නු හරි ආචාරශීලියි.


විශේෂ වචන​

ආචාරශීලී කම ගැන කියද්දි නොකියම බැරි වචන තුනක් තියෙනවා.

ගොසයිමස්
මේ වචනයට​ අනුරූප සිංහල හෝ ඉංග්‍රීසි වචනයක් නෑ. ඒක නිකං ගෞරවය හඟවන යෙදුමක්. උදාහරණයකට රෙස්ටුරන්ට් එකකට මිනිහෙක් ඇතුල් වෙද්දි කැෂියර් හෝ වේටර් කෙනෙක් ඔහුව පිළිගන්නෙ "ගොසයිමස්" කියල​.

ඒ වගේම වචනයක ආචාරශීලී කම වැඩි කරන්නත් "ගොසයිමස්" පාවිච්චි කරනවා. උදාහරණයක්ට ජපන් වලින් "ස්තූතියි" කියල කියන්නෙ "අරිගතෝ" කියල​. නමුත් ඒක ටිකක් වැඩි කරල කියන්න ඕනෙ නම් "අරිගතෝ ගොසයිමස්" කියනව​.

සුමිමසෙන්
"සුමිමසෙන්" කියන එක සාමාන්‍යයෙන් "සමාවෙන්න​" කියල පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ඒක ඊට වඩා පුළුල් අරුතකින් පාවිච්චි වෙනව​.

ඔබ පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් "සුමිමසෙන්" කියල සමාව ගන්න පුළුවන්.

ඒ වගේම පොඩි උදව්වකට ස්තූති කරන්න්නත් "සුමිමසෙන්" පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට ඔබ අතින් යමක් වැටිල කෙනෙක් ඒක අහුලල දුන්නොත් "සුමිමසෙන්" කියන්න පුළුවන්. එතනදි ඒක යෙදෙන්නෙ "මම නිසා ඔබට​ කරදර වීමට සිදුවීම ගැන මට කනගාටුයි" කියන අරුතෙන්.

ඒ වගේම "එක්ස්කියුස් මී" කියන්නත් "සුමිමසෙන්" පාව්විච්චි වෙනව​. පිරිසක් ඉන්න කාමරයකට ඇතුල් වෙද්දි "සුමිමසෙන්" කියන්න ඕනෙ. වේටර් කෙනෙක් ගෙ අවධානය ගන්නත් "සුමිමසෙන්" කියන්න පුළුවන්.


කුදසායි"කුදසායි" කියන්නෙ කරුණාකරල කියන එක​. හැබැයි මේක අපි කතාකරද්දි කරුණාකරල කියනවට වඩා සිය ගුණයක් විතර වැඩියෙන් පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි සිංහලෙන් වතුර ඉල්ලද්දි කියන්නෙ "මට වතුර ටිකක් දෙන්න​" කියල​. ඒකට කරුණාකරල කියන කෑල්ල දාන්නෙ අලංකාරයක් විදිහට. ඕනෙ නම් නොකිය ඉන්න පුළුවන්.

නමුත් ජපන් වලින් වතුර ඉල්ලන්නෙ "මිසු වො කුදසායි" කියල​. එතනදි "කුදසායි" කියන්නෙ වාක්‍යයේ කෑල්ලක්. අලංකාරයක් නෙවෙයි. "මිසු වො" කියල විතරක් වතුර ඉල්ලන සිරිතක් නෑ.


ඇඟෙන්ම කතා කිරීම​

අනිත් වැදගත් දේ තමයි ඔබ නිවැරදි විදිහට ජපන් කතා කරනව නම් ඇඟෙන්ම කතා කරන්න ඕනෙ.

පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් අපි නිකම්ම "සොරි" කියල ගියාට ජපන් වලින් නිකම්ම "සුමිමසෙන්" කියල යන්න බෑ. "සුමිමසෙන්" කියන ගමන් නැමිල ආචාරශීලීත්වය පෙන්නන්න ඕනෙ. නැමෙනකොට එක අතක් වඳින මුද්‍රාවෙන් පපුව ඉස්සරහ තියාගන්න ඕනෙ.

එහෙම නොකළොත් ඔබ හැසිරෙන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක්.



ඒ වගේම පාරක් අහගගෙන ස්තූති කරද්දි නිකම්ම "අරිගතෝ" කියල බෑ. අරිගතෝ කියන ගමන් නැමෙන්න ඕනෙ. එතනදි අත් දෙක ඇඟ දෙපැත්තෙ තියෙන්න ඕනෙ.

නිලයෙන්, වයසෙන්, තත්වයෙන් උසස් කෙනෙක් එක්ක කතා කරද්දි නිතරම හිස නවල ආචාරශීලි වෙන්න ඕනෙ. උදේට සුබ පතද්දි හිස නවල ආචාර කරන්න ඕනෙ. නිකම්ම "ඔහායෝ ගොසයිමස්" කිව්වොත් ඒක නිකං කණට ගැහුව වගේ.

නැවෙන එක ගැන කියනව නං, ඒක ඉතාම සංකීර්න හැසිරීමක්. එක එක සිටූවේෂන් එකට අනුව කොන්ද නවන්න ඕනෙ ප්‍රමානය වෙනස්. මේව ළමයින්ට ජපන් පාසැල් වල උගන්නනව​. නමුත් මේ ඒ ගැන කතා කරන්න තැන නෙවෙයි.

බොහෝ දෙනා කරන කොමන් මිස්ටේක් එකක් ගැන විතරක් කියන්නම්. ඔබ කෙනෙක්ට අතට අත දෙනව නම් නැවෙන්න ඕනෙ නෑ. එක්කො නැවෙන්න. නැත්තම් අතට අත දෙන්න​. දෙකම කරොත් වැරදියි.

ඔබාමා වගේ වෙන්න එපා

චියර්ස් කියන හැටි

බොද්දි චියර්ස් කියන හැටි දැන ගත්තෙ නැත්තං ඒක ලොකු අඩුවක් නෙ, ඒ නිසා ඒකත් කියන්නම්.

බොන්න කලින් ජපන්නු කියන්නෙ "කන්පායි". වීදුරුව මූණ මට්ටමට උස්සල "කන්පායි" කියන්න ඕනෙ. වීදුරු හප්පන එක සාමාන්‍යයෙන් කෙරෙන්නෙ නෑ.

කන්පායි කියන එකේ තේරුම "bottoms up" කියන එක​.


අන්තිමට - අපි ජපානය කිව්වට, සුද්ද ජැපෑන් කිව්වට​ ජපන්නු කියන්නෙ "නිහොන්"


ජපන් බස​ - 1 (ලිඛිත ජපන්)



ජපන් භාෂාව කියන්නෙ ලෝකයේ භාවිතාවෙන භාෂා අතරින් අමාරුම භාෂාව කිව්වොත් නිවැරදියි.

මුලින්ම අපි බලමු ජපන් භාෂාව ලියන හැටි.


ලිඛිත ජපන්

ජපන් භාෂාව ලියන හැටි එහෙම්පිටින්ම අපභ්‍රංසයක්. ඒ ගැන අහද්දි පුදුම හිතෙනව මේ තරම් දියුණු නිර්මානශීලී ජාතියක් තමන් ගෙ ලිඛිත භාෂාව වශයෙන් මේ වගේ වඳුරු කුණුහරුපයක් භාවිතා කිරීම ගැන​.

සාම්ප්‍රදායිකව ජපන් භාෂාව ලියන්නෙ උඩ ඉඳන් පහලට සහ දකුණේ ඉඳන් වමට​. නමුත් දැන් සමහර අවස්ථා වලදී ඉංග්‍රීසි භාෂාවේ ආරයට වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට ජපන් ලියන අවස්ථා තියෙනවා. නමුත් සාම්ප්‍රදායික විදිහට ලියන තැනුත් තියෙනවා. විශේෂයෙන් දැන්වීම්, පෝස්ටර්, පුවත්පත්, සඟරා එහෙම සාම්ප්‍රදායික විදිහට ලියල තියෙනව​. භාවිතය අතින් මේ දෙකම 50-50 පාවිච්චි වෙනව කියල කියන්න පුළුවන්.

ජපන් හෝඩිය​.

හෝඩිය කිව්වට ඇත්තටම ජපන් භාෂාවේ හෝඩි තුනක් තියෙනවා.

1. කන්ජි

2. හිරගන​

3. කතකන​

කන්ජි

කන්ජි කියන්නෙ රූපාක්‍ෂර හෝඩියක් (Logographic). ඒ කියන්නෙ එක එක භාෂාමය අදහසක් වෙනුවෙන් වෙනම අකුරක් (සංකේතයක්) තියෙනවා.

උදාහරණයකට "අම්මා" කියන අදහස වෙනුවෙන් වෙනම අකුරක් තියෙනවා. "තාත්තා" ටත් එහෙමයි. ගඟ​, ගහ​, ගේට්ටුව​, කුඹුර මේ හැම අදහසක් වෙනුවෙන් ම වෙනම අකුරක් තියෙනවා.

කන්ජි වලින් ලියපු ලියවිල්ලක්
 උදාහරණ :
අම්මා 母 තාත්තා 父 ගඟ 川 ගේට්ටුව 門 කුඹුර 田

මේ අකුරු බොහෝ විට ඒ අකුරේ අර්ථය දෙන රූපයට සමාන හැඩයකින් යුක්තයි. බලන්න තාත්තා අකුර රැවුලක් තියෙන මූනක් වගේ. ගඟ අකුර ගඟක දිය රැළි වගේ. ගේට්ටුව අකුර ගේට්ටුවක් වගේ. කුඹුර අකුර ලියැදි හතරක කුඹුරක් වගේ.

කන්ජි අකුරු ජපානයට ඇවිල්ල තියෙන්නෙ ක්‍රි.ව​. 50 දි විතර චීනයේ ඉඳල. ඇත්තෙන්ම "කන්ජි" කියන වචනයේ තේරුම "චීන අකුරු" කියන එක​.

දැන් මේ සිස්ටම් එකේ බැලූ බැල්මට වාසියක් සහ අවාසියක් පේන්න ඕනෙ.

වාසිය තමයි අඩු අකුරු ගාණකින් වැඩි අදහස් ප්‍රමානයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අවාසිය තමයි අකුරු විශාල ප්‍රමානයක් ඕනෙ.

ඇත්තෙන්ම කන්ජි අකුරු ඔක්කොම 50,000 විතර තියෙනව​.

ඉතින් මෙලෝ යකෙක්ට ඔය පණස් දාහම මතක තියා ගන්න බැරි නිසා නිතර දෙවේලෙ අවශ්‍යය වෙන අකුරු විතරක් අඩංගු කෙටි හෝඩි කීපයක් ජපන්නු පාවිච්චි කරනව​.

ක්‍.යොයිකු කන්ජි - අකුරු 1006 - ප්‍රාථමික පාසැල් වල උගන්වන හෝඩිය​. මේකෙ තියෙන්නෙ මූලිකම අකුරු ටික​.

ජෝයෝ කන්ජි - අකුරු 2136 - ද්වීතික පාසැල් වල උගන්වන හෝඩිය​. ක්.යොයිකු කන්ජි හෝඩියට තවත් අකුරු 1130 ක් එක් කර ගෙන හදල තියෙන්නෙ. ජපන් භාෂාව එදිනෙදා භාවිතයට නම් ජෝයෝ කන්ජි අත්‍යාවශ්‍යය වෙනවා.

ජින්මෙයියෝ කන්ජි - අකුරු 3119 - ජෝයෝ කන්ජි වලට අමතර අකුරු 983 ක් එකතු කරල හදල තියෙන්නෙ. මේ අමතර අකුරු වලින් කියැවෙන්නෙ පුද්ගල නාම​.

හිරගන​

දෙවෙනි හෝඩිය තමයි හිරගන​. මේක රූපාක්‍ෂර හෝඩියක් නෙවෙයි. ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). ඒ කියන්නෙ එක එක ශබ්ධයට වෙනම අකුර ගානෙ තියෙනවා.

උදා :
ක か කි き කු く කෙ け කො こ

හිරගන හෝඩියෙ අකුරු 46 ක් තියෙනවා. සමහර ශබ්ධ (උදාහරණයකට "ඇ") ජපන් භාෂාවේ භාවිතා නොවෙන නිසා ඒවට අනුරූප හිරගන අකුරු නෑ.

හිරගන භාවිතා වෙන්නෙ කන්ජි වලින් ලියන්න බැරි වචන ලියන්න​. ශබ්ධ අනුව අකුරු තියෙන නිසා ඕන වවනයක් හිරගන වලින් ලියන්න පුළුවන්.

හිරගන හෝඩිය සකස් කරගෙන තියෙන්නෙ ක්‍රි.ව​. 500 දි විතර. කන්ජි හෝඩිය උගත්තු අතරේ භාවිතා වුනත්, සාමාන්‍යය ජනතාවට විශාල අකුරු ප්‍රමානයක් මතක තබා ගන්න බැරි නිසා හිරගන හෝඩිය සකස් කරගෙන තියෙනවා. හිරගන හෝඩිය මුලින්ම භාවිතා කරල තියෙන්නෙ කාන්තාවන්. ඒ කාන්තාවන්ට අධ්‍යාපන පහසුකම් අඩු නිසා. ඊට පස්සෙ සාමාන්‍යය පොදු ජනයා අතර මේක පැතිරිලා තියෙනවා.

හිරගන වලින් ලියපු නාම පුවරුවක්

කතකන​

තුන්වෙනි හෝඩිය තමයි කතකන​. කතකන හෝඩියත් හිරගන වගේ ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). කතකන හෝඩියෙ අකුරු 48ක් තියෙනවා.

උදා:
ම マ මි ミ මු ム මෙ メ මො モ

කතකන හෝඩිය ක්‍රි.ව​. 800 දි පමණ බෞද්ධ භික්‍ෂූන් විසින් ධර්ම ග්‍රන්ථ ලිවීමට තමයි මුලින්ම සකස් කරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ කතකන හෝඩිය රාජ්‍යය ලියැවිලි ලිවීමට යොදා ගෙන තියෙනවා.
අද කතකන අකුරු භාවිතා වෙන්නෙ විදේශීය භාෂා වලින් අවශෝෂනය කරගත්ත වචන (උදා : කොම්පියුතා - පරිගණකය​) ලියන්න​.

කතකන අකුරු වලින් ලියල තියන වචනයක් කියවද්දි අපි දැනගන්න ඕනෙ මේක විදේශීය භාෂාවකින් ආපු එකක් කියල​.

විදේශිකයන් ගෙ නම් ලියන්නෙත් කතකන වලින්. ඔබේ නම ජපන් වලින් ලියනව නම් ලියන්න ඕනෙ කතකන වලින්
කතකන වලින් ලියපු නාම පුවරුවක්

ජපන් භාෂාවෙන් ලියනකොට මේ හෝඩි තුනේම අකුරු එකට භාවිතා වෙනව​. ඒ කියන්නෙ එකම වාක්‍යයක හෝඩි තුනේම අකුරු තියෙන්න පුළුවන්.
මේ දැන්වීම් පුවරුවේ කන්ජි, කතකන​, හිරගන සහ ඉංග්‍රීසි හෝඩි හතරම පාවිච්චි කරල තියෙනව​.

ඒ මදිවට සාම්ප්‍රදායික ජපන් භාෂාවේ විරාම ලකුණු නෑ. ඒ කියන්නෙ කොමා, තිත්, වචන අතර හිස්තැන් මොකවත් නෑ. ඔක්කොම ලියන්නෙ එක ගොඩේ. කියවන කෙනා දැනගන්න ඕනෙ වචන, වාක්‍යය කඩා ගන්න​.

දැන් ඉහත ඡේදය සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට ලියනව නම් ලියන්නෙ මෙහෙම​:

ඒමදිවටසාම්ප්‍රදායිකජපන්භාෂාවේවිරාමලකුණුනෑඒකියන්නෙකොමාතිත්වචනඅතරහිස්තැන්මොකවත්නෑඔක්කොමලියන්නේකගොඩේකියවනකෙනාදැනගන්නඕනෙවචනවාක්‍යයකඩාගන්න​

හැබැයි දැන් නැවතීමේ ලකුණ වෙනුවට පොඩි බින්දුවක් සමහර අවස්ථා වලදි පාවිච්චි කරනව​. හැබැයි එහෙම නැති තැන් ඊට ගොඩක් වැඩියි.

ඔළුව කැරකෙනව වගේද​? තව පටන් ගත්ත විතරයි.

Tuesday, September 27, 2016

මහෞෂධ



නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.

පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ගත් මවයි. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි සෙනෙහස පිරුණු දෑසේ අද ගෞරවයක සළකුනු ද රැඳී තිබෙනු ඔහු දුටුවේය​. ලිප මත කිරිබත් මුට්ටියක් දුම් දමමින් කෑම මේසය මතට යාමට බලා හිඳී. මේසය මත කළමනා විසුරුවා ගෙන තේ හදන අක්කා ගේ සහ ලුණුමිරිස් සෑදීම පිණිස කඳුළු පෙරාගෙන ළූණු කපන නංගී ගේ වෙනදා උදෑසනට දක්නට ඇති නිදිබර නොරිස්සුම් බව වෙනුවට ඇත්තේ කඩිසර උනන්දුවකි.

දත් බුරුසුව සහ බාල්දිය දෑතින් ගෙන තුවාය කරේ දමාගෙන මුහුණ සේදීමට ළිඳට යාමට මිදුලට බැස්ස මහේෂ් දුටුවේ දිරාගිය ඇඳ ඇතිරිල්ලකින් හිස සහ දෙවුර පොරවාගෙන, අඟුරු කැටයක් සපමින් මිදුල අමදින පියාය​. බොහෝ විට පියාගේ උදේ වරුවෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳ මතයි. නමුත් අද ඔහු ඇඟේ අමාරුව මදකට කල් දමා ඇති සෙයකි.

අද මහේෂ් ගේ සමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නා දිනයයි. මහේෂ් ගමේ පාසැලේ එකොළහ වසරේ පමණක් නොව විද්‍යාලයීය ඉතිහාසයටම සිටි දක්‍ෂතම සිසුවෙක් බව විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේම අදහස විය.

මහේෂ්ලා ගේ ගමේ වැසියන්ගෙන් බහුතරය ගම කෙළවර ඇති කුඩා වැව මෝසම් වැස්සෙන් පිරෙන තුරු අහසට යදින ගොවීහු වූහ​. වියළි කලාපීය දුෂ්කර කුඩා ගම්මානයක් වූ එහි ගැමියෝ ගම වටා පැතිර ගත් කටු පඳුරු සහිත වන බූටෑවත්, ඉඳහිට ගම් වදින වල් අලි රංචුවත්, මන්ද පෝෂණයෙන් වියළී ගිය දෙතනක් බඳු නියං අහසත් සමඟ කරන්නා වූ නිරන්තර අරගලයකින් හෙම්බත් වූ පිරිසක් වූහ​. නියඟයත් සමඟ කුඩා වැව පතුලටම් සිඳී යන්නේ වැව් පතුල තැනින් තැන පැලී ගිය මැටි කට්ටක් බවට පත් කරමිනි. තැන තැන ඉතිරිවන කුඩා මඩ කඩිති මදුරුවන්ට රජදහනකි. වරින් වර පැතිරයන කැලෑ උන හෙවත් මැලේරියාව, නියඟයත් වියළි පොළොවත් සමඟ පොරබදන ගැමියන් ගේ ඉතිරි වූ සාරය උරා දමන්නේ ඔවුන් හපා ඉවත දමන උක් රොඩු බවට පත් කරමිනි. මෙම කුඩා ගම්මානයේ අවුරුදු පණහක් පමණ ජීවත් වූ මහේෂ් ගේ පියාද මැලේරියාවත් සමඟ කල අඛණඩ සටනින් කෙමෙන් පරාජය ලබමින් සිටින මහළු ගැමියන් ගෙන් අයෙකි.

මහපොළොවත් සමඟ පොරබැදීමට පියාට වලංගු නැතිවන විට පාසල් දිවියට ඒ වන විටත් සමු දී උන් මහේෂ් ගේ අයියා උදැල්ල අතට ගත්තේය​. යන්තම් අවුරුදු විසි දෙක පිරුනු තරුණයෙක් වූ ඔහුට පියාට තරම් කැත්ත උදැල්ල දෑතට හුරු නැතත්, ධෛර්‍යය සහ උත්සාහය මගින් ඒ අඩුව පිරවීමෙහි ලා සමත් විය​. අට වසරෙන් පසු පාසල පැත්තේ වත් නොගිය අක්කා අයියාට උදව් කිරීම භාර ගත්තාය​. මහේෂ් ද පාසල් ගමන නවතා අයියා පසු පස යාමට උත්සාහ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් විදුහල්පති තුමාගේ සිට අයියා දක්වා වූ සියළුම දෙනා ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුට එම අදහස අත්හැරීමට සිදුවිය​.

සාමාන්‍ය පෙළ සමත්වී නගරයේ මධ්‍යමහා විද්‍යාලයට යාමට හැකි වුවහොත් ඔහුට විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා සරසවි වරම් ලැබිය හැක​. එවිට ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වී පවුල ගොඩ ගැනීමට හැක​. අයියාට අත්ට්‍රැක්ටරයක් හා තව කුඹුරු කෑල්ලක්, අක්කාට හොඳ පෙලවාසියක්, නංගීට සහ මල්ලීට අක්කා සහ අයියා ගිය පාරේ නොයා හොඳ අධ්‍යාපනයක්, ඉපදුණු දවසේ සිට සැපක් විඳ නැතැයි සිතිය හැකි අම්මාට නිවිහැනහිල්ලේ පිනක් දහමක් කර ගැනීමට ඉඩක්, මේ සියල්ලටම වඩා පියාට හරි හමන් බෙහෙත් වේලක් යනාදී වශයෙන් බලාපොරොත්තු, සැලසුම් පොදියක් මහේෂ් ගේ සිත පතුලේ ඇත​.

යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම පාසල් ගමන අතහැර දමන ගමේ කොළුකුරුට්ටන් සහ ගැටිස්සියන් තම මුතුන් මිත්තන් කළ ලෙසටම වියළි පොළොව සමඟ පොරබැදීම අරඹති. අනෙක් උන්ට වඩා නාහෙට නාහන කොළු ගැටව් කුමක් හෝ රැකියාවක් සොයා නගරයට ඇදෙති. නගරයට ඇදෙන උන්ගෙන් සමහරු වෙළඳාමක් හෝ වාහනයක් එළවීම වැනි රැකියාවකට වැටී නගරයේම රැඳෙතත්, බොහෝ උන් නැවතත් වියළි පොළොව සොයා ගමට ඇදෙති. නැතහොත් නගරයේම රස්තියාදු වෙමින් පල්වෙන ලුම්පන් සමාජයට එක්වෙති. එවැනි පසුබිමක් තුල මහේෂ් අධ්‍යාපනයෙන් ඉහළට යාම අනෙකුත් සිසුවන්ට ආදර්ශයක් සහ දිරියක් වන බවට විදුහල්පතිතුමා තුල ඇත්තේ දැඩි විශ්වාසයකි.

කිරිසුදු නිල ඇඳුමකින් සැරසුනු මහේෂ් අම්මාගේ අතින් බෙදන ලද කිරිබත් කැට දෙක නංගීගේ අතින් සාදන ලද ලුණුමිරිස් සමඟ බොහෝවේලාවක් තිස්සේ කෑවේය​. පළමු දිනයේ නියමිතව තිබුනේ සිංහල විෂයයි. නමුත් මහේෂ්ගේ සිතේ වැඩිපුර තිබුනේ සිංහල විෂයට වඩා දෙමාපිය සොයුරු සොයුරියන් පිළිබඳ සිතුවිලිය​. කිරිබත් පිඩක් සෙමෙන් සපන අතරතුර ඔහුගේ නෙත් රැඳී තිබුනේ වීදුරුබෝල වැනි දිළිසෙන පිරිසිදු විශාල ඇස් දෙකෙන් තමාදෙස බලා සිටි කුඩා මල්ලී දෙසයි. ඔහුගේ උගුරේ දැවිල්ලක් හදිසියේම හට ගත්තේ නංගීගේ අතින් ලුණුමිරිසට මිරිස් වැඩිවූ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි කීමට ඔහු නොදත්තේය​.


තවමත් හිමිදිරිය නිසා රාත්‍රියේ වට පිනිබිඳු තණපත් මත රැඳී ඇත​. නමුත් පෙරදිගින් නැගෙන හිරු රැස් කෙමෙන් චණ්ඩ වත්ම ඒවා මැකී යන්නේ තම කෙටි දිවිය පිළිබඳ සලකුනකුදු තණපත් මත ඉතිරි නොකරමිනි. දැලි රැවුළු කොට මෙන් මුරණ්ඩුව නැගීගත් ගොයම් ගස් කොට මතින් හමාඑන වියළි සුලඟින් ඇවිස්සුනු දුවිලි නිසා මුහුණ හකුළුවා ගනිමින් මහේෂ් ඉපනැලි අතරින් බස් නැවතුම කරා පිය මනින්නට විය​. සති ගණනක් නොවට වැස්ස දැන් දැන් එතැයි බලාපොරොත්තුවෙන් කොළ හැලී ගිය ගස් අහසට දෑත් ඔසවාගෙන සිටියදී, සිඳී ගිය වැව දෙසින් හමන සුළඟ ඒවාට ලබාදෙන්නේ දූවිලි මිශ්‍ර මඩ සුවඳක් පමණි. මේ සියල්ල දෙස අකම්පිතව බලා සිටින දැවැන්ත මහල්ලෙක් බඳු සුවිසල් සියඹලා ගස සෙවනේ නගරයට යාම සඳහා බස් රථය එනතුරු රැඳී සිටින ගැමියන් කිහිප දෙනෙකු අලස ලෙස උනුන් හා දොඩමළු වූහ​. සියල්ලන් ගේම නෙත් හදිසියේ තමාට යොමු වීම නිසා මද සබකෝලයකට ලක් වූ මහේෂ් යන්තමට ඔවුන් හා සිනා පාමින් කොනෙක අටවා තිබූ බංකුවේ හිඳ ගත්තේය​.

බසයට නැගගත් වේලේ සිට මහේෂ්ගේ ගතට දැනුනේ මද නොසන්සුන් හැඟිමකි. කිසිදිනෙක විභාගයකට පෙර බියක් ඔහුගේ සිතට නොදැනුනද, තම දිවියේ තීරණාත්මක කඩඉමට මුහුණ දීමට යන ගමනේදී ගත සිත මදක් සැලීම ස්වභාවික දෙයකැයි සිතමින් ඔහු සන්සුන් වීමට උත්සාහ දැරීය​. පහේ කණුව හන්දියට බසය ලඟාවන විට ඔහුගේ දෙපයට මද වෙහෙසකර බවක් දැනුණු අතර සිරුරේ හන්දිපත් වලින් සියුම් වේදනාවක් දැනෙන්නට විය​. විවර කරන ලද කවුළු වලින් බස් රථය තුලට ගලා ආ සුළඟ බසය තුල ක්‍රමයෙන් ඉහල යන උණුසුම මකාලීමට කිසිදු උදව්වක් නොදුන්නද, එය මහේෂ් ගේ මුහුණට කඩා වැදුනේ ගතේ හිරිගඩු නංවමිනි. විනාඩි හතළිස් පහක අලස ගමනකින් පසු බස් රථය නගර සීමාවට ළඟා වන විට මහේෂ්ට මද හිසරදයක් සෑදී තිබිණි.

විභාග ශාලාවේ හිඳගත් මහේෂ් මදින් මද නැගී එන හිසරදය සහ නොසන්සුන් බව පලවා හරිනු වස් ප්‍රශ්න පත්‍රයේ තිබිය හැකි යැයි සිතෙන ප්‍රශ්න වලට සිතින් පිළිතුරු සපයන්නට විය​. සිංහල මහේෂ්ට කෙදිනකවත් අමාරු විෂයක් වූයේ නැත​. එමනිසා බිය වීමට කිසිදු හේතුවක් නොවුවත්, තමාට දැනෙන නුහුරු නොසන්සුන් බව නිසා මහේෂ් තීරණය කලේ සාහිත්‍යය කොටසට මුලින් පිළිතුරු ලිවීමටයි. සිංහල සාහිත්‍යය මහේෂ්ගේ ප්‍රියතම මෙන්ම ඔහු කවදත් වැඩි ලකුණු ලබාගත් විෂයකි.

ප්‍රශ්න පත්‍ර බෙදීම පටන් ගන්නා විට මහේෂ්ගේ හිසරදය සහ හන්දි අතරින් එන වේදනාව තරමක් තදින් දැනෙන්නට පටන් ගෙන තිබිණි. ඒ මදිවාට මෙන් කුස පෙරළාගෙන දැනෙන ඔක්කාරයක් ඔහුගේ අපහසුතාව තීව්‍ර කිරීමට විය​. අසහනකාරී සිතුවිලි පලවා හැරීමට ඔහු තමාගේ පෑන් පැන්සල් ඒ මේ අත පෙරලමින් අසාර්ථක උත්සාහයක නිරත විය​. ප්‍රශ්න පත්‍රය අතට ලැබුනු සැනින් වෙන කිසිවක් නොබැලූ මහේෂ් කෙලින්ම සිංහල සාහිත්‍යය කොටසේ සාහිත්‍යය විග්‍රහ කොටසට පිළිතුරු ලිවීම ඇරඹූයේ සාර්ථක ලෙස ප්‍රශ්නයකට පිළිතුරු දුන් විට අසහනකාරී හැඟීම් පහව යතැයි බලාපොරොත්තු වෙමිනි. ඔහු තෝරාගත්තේ උම්මග්ග ජාතකය ඇසුරෙන් අසා තිබූ පැනයකි.

මහෞෂධ පණ්ඩිතයන්, කේවට්ටයා, වේදේහ රජතුමා ආදීන් සමඟ විනාඩි හත අටක් සිත වෙහෙසන මහේෂ්ට නිතැතින් ම ශාරීරික සහ මානසික අපහසුතාව අමතකව ගියේය​. නමුත් හිටි හැටියේම තමා හිඳගෙන සිටින පුටුවෙන් ඉහළට එසවී පාවීයන බවක් දැනුනු නිසා හේ හිස ගසා දමමින් වට පිට බැලීය​. ශාලාධිපතිනිය සහ අනෙකුත් සිසු සිසුවියන් ඔහුට පෙනුණේ තමාට සම්බන්ධ නැති ඈත ලොවක සිටින්නන් මෙන් කුඩාවටය​. නිදහසේ ගලා හැලෙන දහඩිය බිඳු නළල මතින් රූරා ගොස් ප්‍රශ්න පත්‍රයේ කිහිප පොළක් තෙත් කලේය​. ඉඳිකටු තුඩු දහසකින් අනිනා කලෙක මෙන් හිරිගඩු පිපී යන සීතලක් ඔහුගේ සිරුර පුරා දිව ගිය අතර​, පෑන අල්ලාගෙන සිටිය නොහැකි තරම් අත් අප්‍රානවත් විය​. ඒවනතුරු කුස තුල පෙරළි කරමින් තිබූ ඔක්කාරය ක්‍රමයෙන් උගුර ඔස්සේ ඉහළට නැගී එනු ද, ඊට සමගාමීව ඔහුගේ කටට වේගයෙන් කෙළ උනන අයුරු ද මහේෂ්ට දැනෙන්නට විය​.

මුළු ගතම අප්‍රානිකව යද්දී නිතැතින්ම ඔහුගේ හිස මේසයට පහත් වුවද සිරුර තුලින් ඒ මේ අත දිව යමින් එළියට පැමිණීමට වෙර දරන සත්වයා දමනය කිරීමට එය කිසිදු පිටිවහලක් නොදිනි. ඊළඟ මොහොතේ පසෙකට නැවී වමනය කල මහේෂ් තම කුසත් උගුරත් දවාලමින් අම්මාගේ කිරිබත්, නංගීගේ ලුණුමිරිස් සහ අක්කාගේ තේ වතුර එකම ප්‍රවාහයක් බවට පත්වී විභාග ශාලාවේ බිම පුරා විසිරී යනු දිටීය​. කුස හිස් වීමත් සමඟම අවට වටපිටාව අඳුරු වී යන බවක් දැනුනු ඔහු සෙමෙන් පොළොවට පහත් වී බිම වැතිර ගත්තේය​. කවුදෝ ගැහැණු ළමයෙක් යටි උගුරෙන් කෙටි විලාපයක් නැගුවාය​.

නෙත් හැර බලන විට ඔහු දුටුවේ සුදු පැහැයක් පමණි. සුදු පැහැති බිම​, සුදු පැහැති සිවිලිම​, සුදු පැහැති බිත්ති, සුදු පැහැති ජනෙල් තිර සහ කඩිසරව ඔබ​-මොබ සරන සුදු පැහැති ඇඳුම් ඇඳගත් ගැහැණු සහ පිරිමි යන මේ සියල්ල දිස්වූයේ අපැහැදිලි ඡායාවක් මෙනි. තව්තිසා දෙව්ලොව පිළිබඳ අපැහැදිලි මතකයක් ඔහුගේ සිතට නැගිනි.

තව්තිසා දෙව්ලොවෙන් ව්‍යුතවැ, මව් කුස පිළිසිඳ ගත් මහ බෝසතාණන් වහන්සේ, දස මසකින් අභිනව චන් ද්‍ර රේඛාව සේ දෝහො නොහොත් ඝන රන් පිළිමයක් බඳු වූ රන් වන් පුතණු කෙනෙකුන් සේ මහෞෂධ නමින් මෙලොවට බිහිවිය​. එතුමන් මව්කුසින් නික්මුනු බව දැන, සක් දෙව් රජාණෝ නොපෙනෙන ශරීරැතිව අවුත් ඔහු අත රන් සඳුන් ගැටයක් තබා නික්මුනහ​. මහෞෂධ කුමරුන් ගේ පියාණන් වූ සිරිවඩ්ඪන සිටාණන්ට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලේ පහරන හිස රුජාවක් තිබිණි. එතුමෝ තුටු පහටුවැ සඳුන් ගැටය අතට ගෙන මඳක් ගලගා නළල ගැල්වූහ​. සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි පහල හිස රුජාව නෙළුම් පතක නොඇලී රූරාගෙන යන දියත්තක් සේ නැතිවැ ගියේය​.

අයියාට අක්කාට දිවි සටන ජය ගන්නට, නංගීට මල්ලීට සිප් නැණ පහන දල්වාලන්නට​, මවට සැනසීමක් ළඟා කර දෙන්නට, ගැමියන්ට බලාපොරොත්තුවක වැසි පොදක් ලබා දෙන්නට, පියාණන් ගත පෙළෙන් අසනීප සුව කර ලන්නට යනාදී මේ සියළු පැනයන්ට විසඳුම් ලබා දෙන්නට පැමිණි පින්වත් පුත් කුමරුවා මහේෂ් නම් වූ තමාය​. තව්තිසා දෙව්ලොවින් චුත වී මහපොළොවට පැමිනෙන්නට හෝරාව එලැඹ තිබේ.

සුදු හැඳගත් ස්ත්‍රීන් සහ පුරුෂයන් තමා අසලින්ම කඩිසරව උනුන් කතාබහ කරමින් ගමන් කරති. මේ තමාට මහ පොළොවට බිහිවන්නට උපකාර කරන්නන් විය යුතුය​.

"මැලේරියාව​" සුදු හැඳගත් කාන්තාවක් පවසනු ඔහුට ඇසිණි. "තව ටිකකින් හරියයි". පියාගේ ගත පෙළෙන මැලේරියාව තව මොහොතකින් හරි යනු ඇත​. එපමණක් නොවේ. අනෙකුත් සියළු අතුරු අන්තරා ද සමඟම​...

සුදු හැඳගත් කාන්තාව තමාගේ අතට මොනවාදෝ දී අත මිට මොළවා ඉවතටා ගියාය​. සියළු දේට පිළියම් දෙන රන් සඳුන් ගැටය​. ජයග්‍රාහී හැඟීමෙන් මහේෂ් රන් සඳුන් ගැටය තදින් මිට මොළවා ගත්තේය​. ඉන්පසු මෙළවූ මිට දෙනෙතට ළංකොට සෙමෙන් අත දිගහැර එදෙස බැලීය​.

මොන හත් ඉලව් හඳුං ගැටයක් ද​?
ඒ කුවිනැයින් පෙති!