Tuesday, September 27, 2016
මහෞෂධ
නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.
පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ගත් මවයි. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි සෙනෙහස පිරුණු දෑසේ අද ගෞරවයක සළකුනු ද රැඳී තිබෙනු ඔහු දුටුවේය. ලිප මත කිරිබත් මුට්ටියක් දුම් දමමින් කෑම මේසය මතට යාමට බලා හිඳී. මේසය මත කළමනා විසුරුවා ගෙන තේ හදන අක්කා ගේ සහ ලුණුමිරිස් සෑදීම පිණිස කඳුළු පෙරාගෙන ළූණු කපන නංගී ගේ වෙනදා උදෑසනට දක්නට ඇති නිදිබර නොරිස්සුම් බව වෙනුවට ඇත්තේ කඩිසර උනන්දුවකි.
දත් බුරුසුව සහ බාල්දිය දෑතින් ගෙන තුවාය කරේ දමාගෙන මුහුණ සේදීමට ළිඳට යාමට මිදුලට බැස්ස මහේෂ් දුටුවේ දිරාගිය ඇඳ ඇතිරිල්ලකින් හිස සහ දෙවුර පොරවාගෙන, අඟුරු කැටයක් සපමින් මිදුල අමදින පියාය. බොහෝ විට පියාගේ උදේ වරුවෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳ මතයි. නමුත් අද ඔහු ඇඟේ අමාරුව මදකට කල් දමා ඇති සෙයකි.
අද මහේෂ් ගේ සමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නා දිනයයි. මහේෂ් ගමේ පාසැලේ එකොළහ වසරේ පමණක් නොව විද්‍යාලයීය ඉතිහාසයටම සිටි දක්‍ෂතම සිසුවෙක් බව විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේම අදහස විය.
මහේෂ්ලා ගේ ගමේ වැසියන්ගෙන් බහුතරය ගම කෙළවර ඇති කුඩා වැව මෝසම් වැස්සෙන් පිරෙන තුරු අහසට යදින ගොවීහු වූහ. වියළි කලාපීය දුෂ්කර කුඩා ගම්මානයක් වූ එහි ගැමියෝ ගම වටා පැතිර ගත් කටු පඳුරු සහිත වන බූටෑවත්, ඉඳහිට ගම් වදින වල් අලි රංචුවත්, මන්ද පෝෂණයෙන් වියළී ගිය දෙතනක් බඳු නියං අහසත් සමඟ කරන්නා වූ නිරන්තර අරගලයකින් හෙම්බත් වූ පිරිසක් වූහ. නියඟයත් සමඟ කුඩා වැව පතුලටම් සිඳී යන්නේ වැව් පතුල තැනින් තැන පැලී ගිය මැටි කට්ටක් බවට පත් කරමිනි. තැන තැන ඉතිරිවන කුඩා මඩ කඩිති මදුරුවන්ට රජදහනකි. වරින් වර පැතිරයන කැලෑ උන හෙවත් මැලේරියාව, නියඟයත් වියළි පොළොවත් සමඟ පොරබදන ගැමියන් ගේ ඉතිරි වූ සාරය උරා දමන්නේ ඔවුන් හපා ඉවත දමන උක් රොඩු බවට පත් කරමිනි. මෙම කුඩා ගම්මානයේ අවුරුදු පණහක් පමණ ජීවත් වූ මහේෂ් ගේ පියාද මැලේරියාවත් සමඟ කල අඛණඩ සටනින් කෙමෙන් පරාජය ලබමින් සිටින මහළු ගැමියන් ගෙන් අයෙකි.
මහපොළොවත් සමඟ පොරබැදීමට පියාට වලංගු නැතිවන විට පාසල් දිවියට ඒ වන විටත් සමු දී උන් මහේෂ් ගේ අයියා උදැල්ල අතට ගත්තේය. යන්තම් අවුරුදු විසි දෙක පිරුනු තරුණයෙක් වූ ඔහුට පියාට තරම් කැත්ත උදැල්ල දෑතට හුරු නැතත්, ධෛර්‍යය සහ උත්සාහය මගින් ඒ අඩුව පිරවීමෙහි ලා සමත් විය. අට වසරෙන් පසු පාසල පැත්තේ වත් නොගිය අක්කා අයියාට උදව් කිරීම භාර ගත්තාය. මහේෂ් ද පාසල් ගමන නවතා අයියා පසු පස යාමට උත්සාහ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් විදුහල්පති තුමාගේ සිට අයියා දක්වා වූ සියළුම දෙනා ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුට එම අදහස අත්හැරීමට සිදුවිය.
සාමාන්‍ය පෙළ සමත්වී නගරයේ මධ්‍යමහා විද්‍යාලයට යාමට හැකි වුවහොත් ඔහුට විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා සරසවි වරම් ලැබිය හැක. එවිට ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වී පවුල ගොඩ ගැනීමට හැක. අයියාට අත්ට්‍රැක්ටරයක් හා තව කුඹුරු කෑල්ලක්, අක්කාට හොඳ පෙලවාසියක්, නංගීට සහ මල්ලීට අක්කා සහ අයියා ගිය පාරේ නොයා හොඳ අධ්‍යාපනයක්, ඉපදුණු දවසේ සිට සැපක් විඳ නැතැයි සිතිය හැකි අම්මාට නිවිහැනහිල්ලේ පිනක් දහමක් කර ගැනීමට ඉඩක්, මේ සියල්ලටම වඩා පියාට හරි හමන් බෙහෙත් වේලක් යනාදී වශයෙන් බලාපොරොත්තු, සැලසුම් පොදියක් මහේෂ් ගේ සිත පතුලේ ඇත.
යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම පාසල් ගමන අතහැර දමන ගමේ කොළුකුරුට්ටන් සහ ගැටිස්සියන් තම මුතුන් මිත්තන් කළ ලෙසටම වියළි පොළොව සමඟ පොරබැදීම අරඹති. අනෙක් උන්ට වඩා නාහෙට නාහන කොළු ගැටව් කුමක් හෝ රැකියාවක් සොයා නගරයට ඇදෙති. නගරයට ඇදෙන උන්ගෙන් සමහරු වෙළඳාමක් හෝ වාහනයක් එළවීම වැනි රැකියාවකට වැටී නගරයේම රැඳෙතත්, බොහෝ උන් නැවතත් වියළි පොළොව සොයා ගමට ඇදෙති. නැතහොත් නගරයේම රස්තියාදු වෙමින් පල්වෙන ලුම්පන් සමාජයට එක්වෙති. එවැනි පසුබිමක් තුල මහේෂ් අධ්‍යාපනයෙන් ඉහළට යාම අනෙකුත් සිසුවන්ට ආදර්ශයක් සහ දිරියක් වන බවට විදුහල්පතිතුමා තුල ඇත්තේ දැඩි විශ්වාසයකි.
කිරිසුදු නිල ඇඳුමකින් සැරසුනු මහේෂ් අම්මාගේ අතින් බෙදන ලද කිරිබත් කැට දෙක නංගීගේ අතින් සාදන ලද ලුණුමිරිස් සමඟ බොහෝවේලාවක් තිස්සේ කෑවේය. පළමු දිනයේ නියමිතව තිබුනේ සිංහල විෂයයි. නමුත් මහේෂ්ගේ සිතේ වැඩිපුර තිබුනේ සිංහල විෂයට වඩා දෙමාපිය සොයුරු සොයුරියන් පිළිබඳ සිතුවිලිය. කිරිබත් පිඩක් සෙමෙන් සපන අතරතුර ඔහුගේ නෙත් රැඳී තිබුනේ වීදුරුබෝල වැනි දිළිසෙන පිරිසිදු විශාල ඇස් දෙකෙන් තමාදෙස බලා සිටි කුඩා මල්ලී දෙසයි. ඔහුගේ උගුරේ දැවිල්ලක් හදිසියේම හට ගත්තේ නංගීගේ අතින් ලුණුමිරිසට මිරිස් වැඩිවූ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි කීමට ඔහු නොදත්තේය.
තවමත් හිමිදිරිය නිසා රාත්‍රියේ වට පිනිබිඳු තණපත් මත රැඳී ඇත. නමුත් පෙරදිගින් නැගෙන හිරු රැස් කෙමෙන් චණ්ඩ වත්ම ඒවා මැකී යන්නේ තම කෙටි දිවිය පිළිබඳ සලකුනකුදු තණපත් මත ඉතිරි නොකරමිනි. දැලි රැවුළු කොට මෙන් මුරණ්ඩුව නැගීගත් ගොයම් ගස් කොට මතින් හමාඑන වියළි සුලඟින් ඇවිස්සුනු දුවිලි නිසා මුහුණ හකුළුවා ගනිමින් මහේෂ් ඉපනැලි අතරින් බස් නැවතුම කරා පිය මනින්නට විය. සති ගණනක් නොවට වැස්ස දැන් දැන් එතැයි බලාපොරොත්තුවෙන් කොළ හැලී ගිය ගස් අහසට දෑත් ඔසවාගෙන සිටියදී, සිඳී ගිය වැව දෙසින් හමන සුළඟ ඒවාට ලබාදෙන්නේ දූවිලි මිශ්‍ර මඩ සුවඳක් පමණි. මේ සියල්ල දෙස අකම්පිතව බලා සිටින දැවැන්ත මහල්ලෙක් බඳු සුවිසල් සියඹලා ගස සෙවනේ නගරයට යාම සඳහා බස් රථය එනතුරු රැඳී සිටින ගැමියන් කිහිප දෙනෙකු අලස ලෙස උනුන් හා දොඩමළු වූහ. සියල්ලන් ගේම නෙත් හදිසියේ තමාට යොමු වීම නිසා මද සබකෝලයකට ලක් වූ මහේෂ් යන්තමට ඔවුන් හා සිනා පාමින් කොනෙක අටවා තිබූ බංකුවේ හිඳ ගත්තේය.
බසයට නැගගත් වේලේ සිට මහේෂ්ගේ ගතට දැනුනේ මද නොසන්සුන් හැඟිමකි. කිසිදිනෙක විභාගයකට පෙර බියක් ඔහුගේ සිතට නොදැනුනද, තම දිවියේ තීරණාත්මක කඩඉමට මුහුණ දීමට යන ගමනේදී ගත සිත මදක් සැලීම ස්වභාවික දෙයකැයි සිතමින් ඔහු සන්සුන් වීමට උත්සාහ දැරීය. පහේ කණුව හන්දියට බසය ලඟාවන විට ඔහුගේ දෙපයට මද වෙහෙසකර බවක් දැනුණු අතර සිරුරේ හන්දිපත් වලින් සියුම් වේදනාවක් දැනෙන්නට විය. විවර කරන ලද කවුළු වලින් බස් රථය තුලට ගලා ආ සුළඟ බසය තුල ක්‍රමයෙන් ඉහල යන උණුසුම මකාලීමට කිසිදු උදව්වක් නොදුන්නද, එය මහේෂ් ගේ මුහුණට කඩා වැදුනේ ගතේ හිරිගඩු නංවමිනි. විනාඩි හතළිස් පහක අලස ගමනකින් පසු බස් රථය නගර සීමාවට ළඟා වන විට මහේෂ්ට මද හිසරදයක් සෑදී තිබිණි.
විභාග ශාලාවේ හිඳගත් මහේෂ් මදින් මද නැගී එන හිසරදය සහ නොසන්සුන් බව පලවා හරිනු වස් ප්‍රශ්න පත්‍රයේ තිබිය හැකි යැයි සිතෙන ප්‍රශ්න වලට සිතින් පිළිතුරු සපයන්නට විය. සිංහල මහේෂ්ට කෙදිනකවත් අමාරු විෂයක් වූයේ නැත. එමනිසා බිය වීමට කිසිදු හේතුවක් නොවුවත්, තමාට දැනෙන නුහුරු නොසන්සුන් බව නිසා මහේෂ් තීරණය කලේ සාහිත්‍යය කොටසට මුලින් පිළිතුරු ලිවීමටයි. සිංහල සාහිත්‍යය මහේෂ්ගේ ප්‍රියතම මෙන්ම ඔහු කවදත් වැඩි ලකුණු ලබාගත් විෂයකි.
ප්‍රශ්න පත්‍ර බෙදීම පටන් ගන්නා විට මහේෂ්ගේ හිසරදය සහ හන්දි අතරින් එන වේදනාව තරමක් තදින් දැනෙන්නට පටන් ගෙන තිබිණි. ඒ මදිවාට මෙන් කුස පෙරළාගෙන දැනෙන ඔක්කාරයක් ඔහුගේ අපහසුතාව තීව්‍ර කිරීමට විය. අසහනකාරී සිතුවිලි පලවා හැරීමට ඔහු තමාගේ පෑන් පැන්සල් ඒ මේ අත පෙරලමින් අසාර්ථක උත්සාහයක නිරත විය. ප්‍රශ්න පත්‍රය අතට ලැබුනු සැනින් වෙන කිසිවක් නොබැලූ මහේෂ් කෙලින්ම සිංහල සාහිත්‍යය කොටසේ සාහිත්‍යය විග්‍රහ කොටසට පිළිතුරු ලිවීම ඇරඹූයේ සාර්ථක ලෙස ප්‍රශ්නයකට පිළිතුරු දුන් විට අසහනකාරී හැඟීම් පහව යතැයි බලාපොරොත්තු වෙමිනි. ඔහු තෝරාගත්තේ උම්මග්ග ජාතකය ඇසුරෙන් අසා තිබූ පැනයකි.
මහෞෂධ පණ්ඩිතයන්, කේවට්ටයා, වේදේහ රජතුමා ආදීන් සමඟ විනාඩි හත අටක් සිත වෙහෙසන මහේෂ්ට නිතැතින් ම ශාරීරික සහ මානසික අපහසුතාව අමතකව ගියේය. නමුත් හිටි හැටියේම තමා හිඳගෙන සිටින පුටුවෙන් ඉහළට එසවී පාවීයන බවක් දැනුනු නිසා හේ හිස ගසා දමමින් වට පිට බැලීය. ශාලාධිපතිනිය සහ අනෙකුත් සිසු සිසුවියන් ඔහුට පෙනුණේ තමාට සම්බන්ධ නැති ඈත ලොවක සිටින්නන් මෙන් කුඩාවටය. නිදහසේ ගලා හැලෙන දහඩිය බිඳු නළල මතින් රූරා ගොස් ප්‍රශ්න පත්‍රයේ කිහිප පොළක් තෙත් කලේය. ඉඳිකටු තුඩු දහසකින් අනිනා කලෙක මෙන් හිරිගඩු පිපී යන සීතලක් ඔහුගේ සිරුර පුරා දිව ගිය අතර, පෑන අල්ලාගෙන සිටිය නොහැකි තරම් අත් අප්‍රානවත් විය. ඒවනතුරු කුස තුල පෙරළි කරමින් තිබූ ඔක්කාරය ක්‍රමයෙන් උගුර ඔස්සේ ඉහළට නැගී එනු ද, ඊට සමගාමීව ඔහුගේ කටට වේගයෙන් කෙළ උනන අයුරු ද මහේෂ්ට දැනෙන්නට විය.
මුළු ගතම අප්‍රානිකව යද්දී නිතැතින්ම ඔහුගේ හිස මේසයට පහත් වුවද සිරුර තුලින් ඒ මේ අත දිව යමින් එළියට පැමිණීමට වෙර දරන සත්වයා දමනය කිරීමට එය කිසිදු පිටිවහලක් නොදිනි. ඊළඟ මොහොතේ පසෙකට නැවී වමනය කල මහේෂ් තම කුසත් උගුරත් දවාලමින් අම්මාගේ කිරිබත්, නංගීගේ ලුණුමිරිස් සහ අක්කාගේ තේ වතුර එකම ප්‍රවාහයක් බවට පත්වී විභාග ශාලාවේ බිම පුරා විසිරී යනු දිටීය. කුස හිස් වීමත් සමඟම අවට වටපිටාව අඳුරු වී යන බවක් දැනුනු ඔහු සෙමෙන් පොළොවට පහත් වී බිම වැතිර ගත්තේය. කවුදෝ ගැහැණු ළමයෙක් යටි උගුරෙන් කෙටි විලාපයක් නැගුවාය.
නෙත් හැර බලන විට ඔහු දුටුවේ සුදු පැහැයක් පමණි. සුදු පැහැති බිම, සුදු පැහැති සිවිලිම, සුදු පැහැති බිත්ති, සුදු පැහැති ජනෙල් තිර සහ කඩිසරව ඔබ-මොබ සරන සුදු පැහැති ඇඳුම් ඇඳගත් ගැහැණු සහ පිරිමි යන මේ සියල්ල දිස්වූයේ අපැහැදිලි ඡායාවක් මෙනි. තව්තිසා දෙව්ලොව පිළිබඳ අපැහැදිලි මතකයක් ඔහුගේ සිතට නැගිනි.
තව්තිසා දෙව්ලොවෙන් ව්‍යුතවැ, මව් කුස පිළිසිඳ ගත් මහ බෝසතාණන් වහන්සේ, දස මසකින් අභිනව චන් ද්‍ර රේඛාව සේ දෝහො නොහොත් ඝන රන් පිළිමයක් බඳු වූ රන් වන් පුතණු කෙනෙකුන් සේ මහෞෂධ නමින් මෙලොවට බිහිවිය. එතුමන් මව්කුසින් නික්මුනු බව දැන, සක් දෙව් රජාණෝ නොපෙනෙන ශරීරැතිව අවුත් ඔහු අත රන් සඳුන් ගැටයක් තබා නික්මුනහ. මහෞෂධ කුමරුන් ගේ පියාණන් වූ සිරිවඩ්ඪන සිටාණන්ට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලේ පහරන හිස රුජාවක් තිබිණි. එතුමෝ තුටු පහටුවැ සඳුන් ගැටය අතට ගෙන මඳක් ගලගා නළල ගැල්වූහ. සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි පහල හිස රුජාව නෙළුම් පතක නොඇලී රූරාගෙන යන දියත්තක් සේ නැතිවැ ගියේය.
අයියාට අක්කාට දිවි සටන ජය ගන්නට, නංගීට මල්ලීට සිප් නැණ පහන දල්වාලන්නට, මවට සැනසීමක් ළඟා කර දෙන්නට, ගැමියන්ට බලාපොරොත්තුවක වැසි පොදක් ලබා දෙන්නට, පියාණන් ගත පෙළෙන් අසනීප සුව කර ලන්නට යනාදී මේ සියළු පැනයන්ට විසඳුම් ලබා දෙන්නට පැමිණි පින්වත් පුත් කුමරුවා මහේෂ් නම් වූ තමාය. තව්තිසා දෙව්ලොවින් චුත වී මහපොළොවට පැමිනෙන්නට හෝරාව එලැඹ තිබේ.
සුදු හැඳගත් ස්ත්‍රීන් සහ පුරුෂයන් තමා අසලින්ම කඩිසරව උනුන් කතාබහ කරමින් ගමන් කරති. මේ තමාට මහ පොළොවට බිහිවන්නට උපකාර කරන්නන් විය යුතුය.
"මැලේරියාව" සුදු හැඳගත් කාන්තාවක් පවසනු ඔහුට ඇසිණි. "තව ටිකකින් හරියයි". පියාගේ ගත පෙළෙන මැලේරියාව තව මොහොතකින් හරි යනු ඇත. එපමණක් නොවේ. අනෙකුත් සියළු අතුරු අන්තරා ද සමඟම...
සුදු හැඳගත් කාන්තාව තමාගේ අතට මොනවාදෝ දී අත මිට මොළවා ඉවතටා ගියාය. සියළු දේට පිළියම් දෙන රන් සඳුන් ගැටය. ජයග්‍රාහී හැඟීමෙන් මහේෂ් රන් සඳුන් ගැටය තදින් මිට මොළවා ගත්තේය. ඉන්පසු මෙළවූ මිට දෙනෙතට ළංකොට සෙමෙන් අත දිගහැර එදෙස බැලීය.
මොන හත් ඉලව් හඳුං ගැටයක් ද?
ඒ කුවිනැයින් පෙති!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment