Sunday, July 29, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 52 (බොර වතුර​)

 (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


බොර වතුර


එකෝමත් එක කාලෙක අඩ්ඩු අතොළුවේ දූපතකට වෙළඳ බෝට්ටුවක් ආවා. ඒ බෝට්ටුවේ හිටියා ඉතාම කඩවසම් මැදි වියෙ මනුස්සයෙක්. ඔහු වෙළඳාමට දූපතේ සති කීපයක් නැවතිලා හිටියා. ඒ කාලයේදී ඔහු නැවතිලා හිටියේ දූපත් වාසියෙක් ගෙ ගෙදරක​. ඒ සති කීපයට ගෙදර මිනිස්සු එක්ක ඔහු බොහොම සුහද වුනා.

ඒ ගෙදර හිටියා ලස්සන ගෑණු ළමයෙක්. ඇගේ නම "එළ ෆාතුමා". ෆාතුමා ඒ ගෙදර පවුලේ කෙනෙක් නෙවෙයි. ඒ දූපතේම දුප්පත් පවුලක තරුණියක්. ඇය පුංචි කාලෙ ඉඳලම ඒ ගෙදර වැඩපළ කරගෙන ඒ ගෙදරම හැදුනු කෙනෙක්. ගෙදර අය ෆාතුමාට බොහොම හොඳින් සැලකුවා. ඒ නිසා ඇය හිටියෙ බොහොම සතුටින්.

අමුත්තා ආවට පස්සෙ ෆාතුමා ගෙදර දොරේ වැඩ පොළ කරේ වෙනදටත් වඩා සතුටින්. ඇය හැම වෙලේම හිටියෙ මද සිනාවක් මුහුණේ රඳවාගෙන​. ඇය හැම වෙලේම සින්දුවක් මිමිනුවා. අමුත්තට දිනපතා කෑම​, බීම, බුලත් විට දෙන්න නියම වෙලා තිබුනෙ ඇයට. එක දවසක් ඔහුට බුලත් විටක් දෙද්දි ඔවුන් ගේ දෑස් මුණගැහුනා. ඇය කෝල විදිහට හිනා වුනා. එදා ඉඳල ඇය ඔහුට වතුර වීදුරුවක් දෙන හැම වෙලේම ඔහු සෙල්ලමට වගේ ඇගේ ඇඟිලි තුඩු ස්පර්ශ කලා.

ටික දවසකින්ම ඔවුන් දෙන්නා ආදරයෙන් වෙළුනා.

අමුත්තා ඇයට විවාහ යෝජනා කළා. ඒත් ඔහු කිව්වා ඔහු තමාගෙ දූපතට ආපහු යන්නම ඕනෙ බව​. ඇය දුර ඈත දූපතක ජීවත් වෙන්න කැමතිද කියලත් ඔහු ඇහුවා. ෆාතුමා ඔහුට බොහොම ආදරය කළ නිසා ඒකට කැමත් වුනා. ටික දවසකින් ඔවුන් දෙන්නා විවාහ වුනා.


විවාහ උත්සවයෙන් පස්සෙ ඔවුන් බෝට්ටුවක නැගල ඔහුගේ දූපත බලා පිටත් වුනා. ඈත උතුරු දිග දූපත් බලා බෝට්ටුව යත්‍රා කරද්දි ඇගේ හිත පුරාම තිබුනේ ඔහුත් එක්ක ගෙවන අළුත් සුන්දර දිවිය ගැන​. ඇයට නිතර හිතුනා ඇය කොයිතරම් වාසනාවන්තද කියල​.

ඒත්, ඔවුන් ඔහුගේ දූපතට ඇවිල්ල බෝට්ටුවෙන් ගොඩ බැස්ස විතරයි ඔහුව පිළිගන්න තරුණ ගෑණු ළමයි දෙන්නෙක් දුවගෙන ආවා. ෆාතුමා ගේ හිත කඩා වැටුනා. ඇගේ සැමියා වැන්දඹු මිනිහෙක්. ගෑණු ළමයි දෙන්නා ඔහුගේ දුවලා. ඔවුන් දෙන්නා බොහොම ආඩම්බර පාටයි. ෆාතුමාට වඩා ඔවුන් ලාබාල වුනේ අවුරුදු පහක්-හයක් විතරයි.

ෆාතුමා ලැජ්ජාවෙන් සහ දුකෙන් නොමැරුණා විතරයි. ඇගේ ලෝකය එක පාරටම බොහොම අඳුරු වුනා. ඇය ඉතාම අමාරුවෙන් ඇගේ හැඟීම් යටපත් කරගෙන සැමියාගෙ ගෙදර හැමෝටම හිනා මූණක් පෙන්නුවා.

දවස් දෙක තුනක් ගතවුනා. ඇය තමාගේ ලැජ්ජාව​, කේන්තිය සහ දුක පිටතට නොපෙන්වා ඉන්න පරිස්සම් වුනා. ඒත් ඇගේ සැමියාට ඇගේ වෙනස තේරුනා.

"මම දන්නවා ඔයා තරහෙන් ඉන්නෙ ඇයි කියල​"

"මම ඉන්නෙ තරහෙන් නෙවෙයි"

ඒත් ඇය ඉන්නෙ තරහින් කියල ඔහුට තේරුනා. ඇගේ ලස්සන හිනාව අතුරුදහන් වෙලා. ඇගේ තොරතෝංචියක් නැති කතාව නිහඬ වෙලා.

"මම දුවල ගැන ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා මාව කසාද බඳින්න අකැමැති වෙයි කියල බය හිතුන නිසා. බය වෙන්න එපා. ඒගොල්ලො ඔයාට ගෙදර වැඩට උදව් කරයි. ඔයාට ලේසි වෙයි."

ෆාතුමා දුක යටපත් කරගෙන ඉන්න උත්සහ කළා. ඇය කෙල්ලො දෙන්න එක්ක යාළු වෙන්න උත්සහ කළා. ඒත් ඔවුන් ඇයව මායිම් කලේ නෑ. ඔවුන් ගේ පියාගේ සැලකිල්ල සහ ආදරය මේ ඈත දූපතකින් ආපු ගෑණිට යොමු වෙලා තියෙන එක ගැන ඔවුන් සතුටු වුනේ නෑ.

මාස කීපයක් ගතවුනා. කෙල්ලො දෙන්නගෙ වෙනස්කම් එන්න එන්නම වැඩි වුනා. ෆාතුමාට ඒවා තනියම විඳ දරාගන්නව ඇරෙන්නෙ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ඇගේ හදවතේ තුවාලය බොහොම ගැඹුරට විහිදුනා. ඇයට ලොකු පාළුවක්, තනිකමක් දැනුනා. ඇයට දැනුනේ ඇය හිර වෙලා වගේ. ඇය කලින් ගත කරපු නිදහස් ජීවිතය ගැන ඇයට නිතරම සිහි වුනා. ඒ හැම සැරේම ඇගේ ඇස් දෙක කඳුළෙන් තෙත් වුනා.

ෆාතුමාට ආදරයක් පෙන්නුවේ ඇගේ සැමියා විතරයි. ඒත් ඔහුගේ හිතත් බිරිඳ සහ දූවරු දෙන්නා අතර බෙදිලා තිබුනා. ෆාතුමා තමාට කෙල්ලො දෙන්නගෙන් වෙන වෙනස් කම් ගැන සැමියට කිව්වෙ නෑ. ඔහු තමාගේ දූවරුන්ට බොහෝම ආදරෙයි.

තනිවුන හැම වෙලාවකම ෆාතුමා අඳුරු මුල්ලක් ගුලි වෙලා ඉඳගෙන හොඳටම ඇඬුවා.


මාළු අල්ලන කාලය ආව​. දූපත් වාසීන් මාළු වලින් උම්බලකඩ හදන්න ලෑස්ති වුනා. හැමෝම මාළු තම්බන්න දර හොයන්න හැමෝම අවට මිනිස් වාසයෙන් තොර දූපත වලට ගියා.

එක දවසක් උදේ පාන්දරම ෆාතුමා ගේ සැමියත් ෆාතුමා සහ දූවරු දෙන්න එක්ක ඔවුන් ගේ දූපත ළඟ තිබුන මිනිස් වාසයෙන් තොර දූපතකට ආව​. ඔවුන් ගියේ කුඩා රුවල් ඔරුවක​. ඔවුන් දවල්ට කෑම හදන්න වළං දෙක තුනක්, හාල්, එළවළු සහ දර කපන්න කතිවලි (ලොකු පිහියක්) අරගෙන ගියා.

දූපතට ගොඩබැස්සම ඔවුන් වෙරළේ තිබුන පොඩි පැල් කොටයක් අස පස් කරල ගත්තා. ඒ ඔවුන් ගෙ වාඩිය. ඊට පස්සෙ සැමියා ආපහු ඔරුවෙ නැගල ගියේ ඔවුන්ට කෑමට මාළු දෙතුන් දෙනෙක් අල්ලගන්න​. ඔහු යන්න කලින් කිව්ව ඉර බහින්න කලින් ආපහු එනව කියලා.

ෆාතුමා බාල දුවට කිව්වා වාඩියට වෙලා බතක් උයන්න කියල. ඇය වැඩිමල් දුවත් එක්ක කැලයට ගියා දර කපන්න​.

ඔවුන් දෙන්නා කැලය ඇතුලටම ගියා. ඉදිරියෙන් ගියේ ෆාතුමා. ඇය බොහොම වේගෙන් ඇවිදගෙන ගියා. ගෑණු ළමයා ඇය පසුපස ආවෙ බොහොම අමාරුවෙන්. ටික වෙලාවකින්ම ගෑණු ළමයගෙ ඇඟ දාඩියෙන් වැහුනා.

"ඇයි අපි මේ තරම් ඈතට යන්නෙ? අපිට මේ හරියෙන් දර කපාගන්න පුළුවන්. මේ හරියෙ කොච්චර ගස් තියෙනවද​?"

ඇය හති දමමින් ෆාතුමාට කිව්වා.

ඒත් ෆාතුමා ඇයට උත්තර දුන්නෙවත් නැවතුනේවත් නෑ. ඇය දිගටම කැලේ ඇතුලටම ගියා. ගෑණු ළමයට නවතින්න හිතුනත්, ඒ ගණ කැලේ තනියම ඉන්න ඇයට බය හිතුනා. ඒ නිසා ඇය අමාරුවෙන් ෆාතුමා එක්කම කැලේ ඇතුලට ගියා.

කැලේ එන්න එන්නම ගණ වුනා. ඔවුන්ට තමාගෙ කතිවලි වලින් අතු කපාගෙන පාර හදා ගන්න සිද්ධ වුනා. ඒත් ෆාතුමා ගමන නැවැත්තුවෙ නෑ.

ඔවුන් පොඩි එළිමහනකට ආවා. එතැනදි එක පාරටම ෆාතුමා නැවතුනා. ඇය ආපහු හැරුනා. ගෑණු ළමයට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. ෆාතුමා කතිවලියෙන් ගෑණු ළමයගෙ බෙල්ලට බොහොම වේගයෙන් කෙටුවා. පිහිපාර කොයිතරම් වේගවත් ද කිව්වොත් ගෑණු ළමයගෙ බෙල්ල එක පාරින්ම කඳින් වෙන් වෙලා ගිහින් ළඟ තිබුන පඳුරක් අස්සට විසි වුනා. ඇගේ ලේ විදින කඳ අප්‍රාණික වෙලා එතැනම වැටුනා.


ෆාතුමා කෙලින්ම මුහුදු වෙරළට ගියා. ඇය ඇගේ ඇඳුම් වල සහ පිහියෙ තිබුන ලේ හෝද ගත්තා. වෙරළේ ටිකක් වෙලා මහන්සි ඇරපු ඇය හෙමින් හෙමින් වාඩිය පැත්තට ඇවිදගෙන ගියා.

බල දුව වාඩිය ඇතුලෙ ගල් තුනකින් ලිපක් හදල, ගහක් යට හෙවනේ වාඩි වෙලා ලිපේ ගිනි මෙළවමින් හිටියා.  ලිප උඩ බත් හැළියක් ඉදෙමින් තිබුනා. ෆාතුමා එන සද්දය ඇයට ඇහුනත් ඇය හැරිල බැලුවෙ නෑ. ෆාතුමා කතිවලිය තද කරල අල්ලගෙන ඇය ළඟටම ආවා. කෙල්ල යන්තම් හැරිල බැලුවා.

"කෝ අක්කා?"

ෆාතුමා ඇය පිටිපස්සෙ හිට ගත්තා.

"එයා දූපත අනික් පැත්තෙන් මුහුදට ගියා නාන්න​."

කෙල්ල ලිපට පිඹින්න පහත් වුනා විතරයි ෆාතුමා ගේ කතිවලිය වේගයෙන් ඇගේ බෙල්ල පිටිපස්සට වැදුනා. ඇගේ කඳෙන් වෙන් වෙලා ගිය හිස බත් හැලියත් පෙරළගෙන ලිපට වැටුනා. ඇගේ දිග කොණ්ඩය ලිපට වැටිල "චිරි-චිරි" ගාල පිච්චිල ගියා. ඒ එක්කම බත් හැළියේ වතුරෙන් ලිප නිවිල ගියා.


ෆාතුමා ගහකට හේත්තු වෙලා ටිකක් විවේක ගත්තා. ඊට පස්සෙ ඇය ආපහු කැලයට ගිහින් වැඩිමල් ගෑණු ළමයහෙ හිස අරගෙන ආවා. ඊට පස්සෙ ඇය පොල් අතු දෙකක් කපාගෙන පොල් කොල වලින් "මුදෙයිසි" දෙකක් (පොල්කොල වියල හදන ලොකු පෙට්ටි) වියුවා.

ෆාතුමා ගෑණු ළමයි දෙන්න ගෙ හිස් පරිස්සමෙන් පෙට්ටි අස්සෙන් තිබ්බා. ඊට පස්සෙ ඇය අත් දෙකට පෙට්ටි දෙකත් අරගෙන නොගැඹුරු මුහුදට ඇවිදගෙන ගියා. වතුර ඇගේ ඉනක් දක්වා එනතුරු ඇය මුහුදට ඇවිදගෙන ගියා. ඊට පස්සෙ පෙට්ටි දෙක මුහුදු වතුරේ පා කරල ඇරියා. මුහුදු රළ වලින් පෙට්ටි දෙක ඈතට අරගෙන යන හැටිත්, පෙට්ටි දෙක පිටුපස්සෙ රතු පාටින් ඇඳිල ගිය ලේ පාරවල් දෙක ක්‍රමයෙන් මැකිල යන හැටිත් ඇය බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හිටියා.

පෙට්ටි දෙක නොපෙනී ගියාට පස්සෙ ෆාතුමා ඇඟේ සහ ඇඳුම් වල තිබුන ලේ හේදිලා යනතුරු හොඳට නෑවා. ඊට පස්සෙ ඇය වෙරළේ තිබුන ගහක හෙවනේ වාඩි වෙලා ඇගේ සැමියා ආපහු එනතුරු බලාගෙන හිටියා.

පැය ගාණක් ගත වුනා. දීප්තිමත් හිරු රැස් නිසා ඇගේ ඇස් රිදෙන්න පටන් ගත්තා. මහන්සියට ඇගේ ඇස් නිදිමතෙන් පියවෙන්න හැදුවා. ඒත් ඇය දිගටම ඈත ක්‍ෂිතිජය දිහා බලාගෙන හිටියේ සැමියගෙ ඔරුවේ රුවළ පේන තුරු.

හවස් වෙද්දි ඇයට රළ ගෙඩි අස්සෙන් කුඩා රුවලක් පේන්න පටන් ගත්තා. ඇය ඔරුව ළඟට එනතුරු නොසෙල්වී බලාගෙන හිටියා. ඔරුව ටික ටික ලොකු වෙමින් පේන්න පටන් ගත්තා. ඔරුව සෑහෙන තරම්  ළං වුනාම ඇය අත් දෙකට කතිවලි දෙකක් අරගෙන මුහුදු රැල්ලට වැල්ල තෙමෙන හරියට ඇවිදගෙන ගියා.

ඔරුව වෙරළට ගොඩ ගහද්දිම ෆාතුමා ගේ සැමියා ඔරුවෙන් එළියට පැන්නා. ෆාතුමා ඔහුට පියවර කීපයක් ඈතින් හිටගෙන කෙලින්ම ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස් වල බිය උපදවන වන සුළු දීප්තියක්. යන්තම් ඇරුණු තොල් අතරින් ඇය වේගයෙන් හුස්ම ගත්තා. මුහුදු හුළඟට ඇගේ කෙස් වැටිය විසිරිලා ගියා.

මුළු දූපතම බියකරු නිහඬතාවයක ගිලිලා තිබුනා. ෆාතුමා ගේ සැමියට ඇහුනේ මුහුදු රළ බිඳෙන සද්දෙ සහ ෆාතුමා හුස්ම හෙළන සද්දෙ විතරයි.

"කෝ කෙල්ලො දෙන්නා?"

වෙව්ලන කටහඬකින් ඔහු ඇහුවා.

ඒත් ෆාතුමා උත්තර දුන්නෙ නෑ. ඇය මුවහත් තලය ඇතුල් පැත්තට තියෙන විදිහට කතිවලි දෙක ඇගේ බෙල්ල ඉදිරියෙන් තියා ගත්තා. ඊට පස්සෙ හෙමිහිට ඇගේ බෙල්ල පිහි තල දෙකට මැදි කලා.

ඇගේ සැමියට වචනයක් වත් කියන්න ඉඩ ලැබුනේ නෑ. ෆාතුමා වේගයෙන් අත් දෙක දෙපැත්තට ඇද්දේ තමාගේ හිස කඳෙන් වෙන් වෙලා යන විදිහට​. වටයක් දෙකක් කැරකුණු හිස ඇගේ සැමියාගේ දෙපා මුල මුහුදට වැටුනා. ලේ උතුරන කඳ සෙමින් මුහුදු වතුරේ පාවෙලා ගියා.

තමාගේ දෙපා මුල මුහුදු වතුර ෆාතුමා ගේ උණු ලෙයින් බොර වෙලා යන හැටි සැමියා බලාගෙන හිටියෙ භීතියෙන්෴


කතාව කිව්වේ මාගිදුරුගේ ඊබ්‍රහිම් ඩිඩී (ෆුවාමුලාකු දූපත​)


අටුවාව

1. කතිවලි

අපේ වක් පිහියට ඉතා සමාන ලොකු පිහියක්. මේ පිහියෙන් දර කැපීමේ ඉඳලා මාළි කැපීම දක්වා ගෙදර දොර වැඩ රාශියක් දිවෙහි රාජ්ජෙ වැසියො කර ගන්නවා.






2. මුදෙයිසි

ආහාර අසුර ගන්න පාවිච්චි කරන පොල් කොල වලින් වියපු ලොකු පෙට්ටි  


 








Sunday, July 22, 2018

සෙන් කතා - 3


බිමින් තැබීම​



තරුණ සෙන් භික්‍ෂුන් වහන්සේලා දෙනමක්, තන්සන් සහ එකිදෝ, වන්දනා ගමනක් යමින් හිටියා. කලින් දවසෙ වට වැස්සකින් පාරවල් මඩ වෙලා තිබුනේ.

පාරේ හතරමං හන්දියක දි ඔවුන් දැක්කා තරුණියක් පාර පනින්න බලාගෙන ඉන්නවා. ඇය ඉතාම ලස්සනයි. ඇය ඇඳල හිටියේ ඉතාම වටිනා සිල්ක් කිමෝනාවක්. පාරේ මඩ කිමෝනාවේ ගෑවෙයි කියන බය නිසා ඇය පාර පනින්න පැකිලෙමින් හිටියා.

තන්සන් ඇයව ඔසවාගෙන පාරෙ එහා පැත්තට ගෙනිච්චා. එකිදෝ ඒ දිහා බලාගෙන හිටියෙ අදහගන්න බැරි පුදුමයෙන්.

එදා දවසෙම එකිදෝ වචනයක් වත් කතා කලේ නෑ.

ඔවුන් රාත්‍රී නවාතැන් පොළට ඇවිත් නිදගන්න සූදානම් වුනා. එකපාරටම එකිදෝ කතා කළා.

"තන්සන් ඔබට වටින්නේ නෑ ඒ වගේ වැඩක් කරන්න​. අපි භික්‍ෂූන්. අපි බ්‍රහ්මචර්‍යාව ගැන දිවුරල තියෙන්නෙ. අපි කාන්තාවන් ළඟට යන්නෙ නෑ. විශේෂයෙන් ඒ වගේ තරුණ ලස්සන කෙල්ලො ගාවට​. ඇයි ඔබ ඒ වගේ වැඩක් කලේ?"

"මම ඇයව හතරමං හන්දියේ බිම තියල ආව​. ඒත් ඔබ තාමත් ඇයව ඔසවාගෙන යනව වගේ?"


මාර්ග දෙකක්



සටන් කලාව උගන්වන ගුරුවරයෙක් ගෙන් දවසක් ඔහුගේ ගෝලයෙක් මෙහෙම ඇහුවා.

"මම කැමතියි මගේ සටන් කලාව තවත් ප්‍රගුණ කරන්න​. මම තවත් ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තට කමක් නැද්ද​? මට තවත් සම්ප්‍රදායක් දැන ගන්න පුළුවන් වෙයි."

"හාවො දෙන්නෙක් පස්සෙ එළවන දඩයක්කාරයෙක් එක හාවෙක් වත් අල්ලගන්නෙ නෑ"


තාරුකා මාළුවෝ



ර්.යෝකන් නැමැති සෙන් ගුරුතුමා මුහුදු වෙරළේ ඇවිදිමින් උන්නා. කලින් දවසෙ රෑ කුණාටුවක් හැමුවා. කුණාටුව නිසා සිය ගණන් තාරුකා මාළුවො වෙරළට ගොඩ ගහල හිටියා. ඉර ක්‍රමයෙන් මුදුන් වෙද්දි සැඩ හිරු රැස් වලින් තාරුකා මාළු එක එකා මැරෙන්න පටන් ගත්තා.

ර්.යෝකන් තාරුකා මාළුවෝ එකා බැගින් ඇහිදිමින් මුහුදට විසි කළා.

වෙරළේ හිටපු ධීවරයෙක් දැක්කා ර්.යෝකන් කරන වැඩේ. ඔහු භික්‍ෂුව ළඟට ආවා.

"ඇයි ඔබ මේ වගේ පිස්සු වැඩ කරන්නෙ? කුණාටුවක් හමන හැම සැරේම සිය ගණන් තාරුකා මාළු ගොඩ ගහනවා. ඔබට ඔවුන් ඔක්කොම බේරගන්න බෑ. ඔබ ඔය කරන වැඩෙන් කිසිම වෙනසක් වෙන්නෙ නෑ."

"ඒත් මම වෙනස් වෙනවා."

ර්.යෝකන් තවත් තාරුකා මාළුවෙක් මුහුදට විසි කළා.


දෛවය​



සමුරායි වරයාගේ හමුදාව හිටියේ ඉතාම මහන්සි වෙලා. ඔවුන්ට වඩා තුන් ගුණයක් විශාල බලවත් සතුරු හමුදාවක් ඔවුන් පසුපස ලුහුබඳිමින් හිටියා. තවදුරටත් පලා ගියොත් ඔවුන් සියළු දෙනාම විනාශ වන බව සමුරායි වරයාට තේරුණා. ඒත් ඔහුගේ සෙබළු හිටියේ සටන් කරන්න සුදුසු තත්වයක නෙවෙයි.

ඔවුන් කඳුකරයේ ඈතට පලා ගියා. අතරමගදි ඔවුන්ට කුඩා දේවාලයක් හමුවුනා. ඔවුන් දෙවියන් පුද සත්කාර කරන්න මොහොතක් එතැන නතර වුනා.

සමුරායි වරයා හමුදාව අමතලා මෙහෙම කිව්වා.

"අපි කොයි වෙලේ හරි සතුරාට මුහුණ දෙන්න ඕනෙ. ඒත් අපේ දෛවය මොනවගේද කියල අපි කවුරුත් දන්නෙ නෑ. අපි දෙවියන් ඉදිරියේ දෛවය පිරික්සලා බලමු. මම මේ කාසිය උඩ දානවා. හිස වැටුනොත් අපි සටනෙන් දිනනවා. අගය වැටුනොත් පරදිනවා."

සෙබළු ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා. සමුරායි වරයා කාසිය උඩ දැම්මා. වැටුනේ හිස​.

සෙබළු එකා වගේ නැගිටලා ජයඝෝෂා කලා. ආපහු හැරිල ගිහින් තමාව ලුහුබඳින සතුරාට පහර දුන්නා. ඔවුන් එදා රෑ වෙද්දි විශිෂ්ඨ ජයක් ලැබුවා.

තරුණ සමුරායි වරයෙක් සමුරායි වරයාට කිට්ටු කලා.

"දෛවය වෙනස් කරන්න කාටවත් බෑ නේද​?"

"ඔව්. කාටවත් දෛවය වෙනස් කරන්න බෑ."

සමුරායි වරයා උඩ දාපු කාසිය පෙන්නුවා. ඒකෙ දෙපැත්තම තිබුනේ හිස​.


නිරය සහ දෙව්ලොව​



එක දවසක් සමුරායි වරයෙක් හකුයින් නැමැති ඉතාම ප්‍රසිද්ධ සෙන් භික්‍ෂුව හොයාගෙන ආව​.

"මට දැන ගන්න ඕනෙ නිරය සහ දෙව්ලොව ගැන​. ඒව ඇත්තටම තියෙනවද​?"

හකුයින් සමුරායි වරයා දිහා බැලුවා.

"ඔබ කවුද​?"

"මම සමුරායි කෙනෙක්"

"හා!" හකුයින් අවඥාවෙන් හිනා වුනා.

"ඒ වගේ සියුම් දේවල් තේරුම් ගන්න ඔබට පුළුවන් ද​? ඔබ නිකම්ම නිකම් සොල්දාදුවෙක්. මෙතනින් යනවා. ඔය වගේ මෝඩ ප්‍රශ්න අහල මගේ කාලය නාස්ති කරන්න එපා."

සමුරායි වරයාට යකා වැහුනා. ඔහු කඩුව ඇදල ගත්තේ හකුයින් ගෙ හිස දෙපළු කරන්න​. ඔහු කඩුව ඔසවද්දිම හකුයින් බොහොම සන්සුන්ව ආයෙත් කතා කළා.

"මේ තමයි නිරය​"

සමුරායි වරයා එක පාරටම ගල් ගැහුනා. ඔහු කඩුව බිම දාල භික්‍ෂුව ඉදිරියේ දණින් වැටුනා.

"මේ තමයි දෙව්ලොව​"

ඉතිහාස රස කතා - 1 (සැපරෝෂියානු කොසෑකයන් ගේ පිළිතුර)


සැපරෝෂියාව කියන්නෙ 16 වෙනි සියවසේ ඉඳල 18 වෙනි සියවස වෙනතුරු ක්‍රිමියානු අර්ධ ද්වීපයට ටිකක් උතුරට වෙන්න ද්නීපර් ගඟ අසබඩව පැවතුනු කොසෑක් වරුන්ගේ අර්ධ​-ස්වාධීන රාජ්‍යයක්.

1676 දී සැපරෝෂියානු කොසෑකයන් සහ තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය අතර යුධ ගැටුම් ඇති වෙනවා. ඔටෝමන් හමුදා සැපරෝෂියාව ආක්‍රමනය කළත්, ඔවුන්ව පරාජය කරන්න කොසෑකයන් සමත් වෙනවා.

නමුත් ඔටෝමන් අධිරාජ්‍යයා වුන හතරවන මෙහ්මඩ් කොසෑකයන්ට යටත් වන ලෙසට අණ කරමින් ලියුමක් එවනවා. ඒ ලියුම තියෙන්නෙ මේ වගේ :

සුල්තාන් මෙහ්මඩ් විසින් සැපරෝෂියානු කොසෑකයන් වෙත​,

මුහම්මද් නබි තුමාගේ පුත්‍රයා වන​, හිරු සහ සඳු ගේ සහෝදරයා වන​, දෙවියන් වහන්සේ ගේ මුණුපුරා සහ ප්‍රතිරාජයා වන​, මැසිඩෝනියාව​, බැබිලෝනියාව​, යෙරුසෙලම​, ඉහළ සහ පහළ ඊජිප්තුව​, ය​න රාජධාණි වල පාලකයා වන​, අධිරාජ්‍යයන් ගේ අධිරාජ්‍යයා වන​, රජුන් ගේ රජු වන​, අසාමාන්‍යය නයිට් වරයෙක් වන​, අපරාජිත​, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන් ගැබේ අචල ආරක්‍ෂකයා වන​, දෙවියන් වහන්සේ විසින්ම තෝරාගනු ලැබූ උන්වහන්සේ ගේ විශ්වාසවන්තයා වන​, මුස්ලිම් වරුන් ගේ බලාපොරොත්තුව සහ සහනය වන​, ක්‍රිස්තියානින් ගේ ආරක්‍ෂකයා වන​, සුල්තාන් වරයා වශයෙන් මම ඔබට​, සැපරෝෂියානු කොසෑකයන්ට​, ස්වේච්ඡාවෙන් යටත් වන ලෙසත්, කිසිදු ප්‍රතිරෝධයක් නොදක්වන ලෙසත්, නුඹලාගේ ප්‍රහාර වලින් මට තවදුරටත් කරදර නොකරන ලෙසත් අණ කර සිටිමි.

- තුර්කි සුල්තාන් මෙහ්මෙඩ්

සැපරෝෂියානු කොසෑකයෝ ඒ ලියුමට පිළිතුරක් යවනවා. ඒ පිළිතුර තියෙන්නෙ මේ වගේ:

සැපරෝෂියානු කොසෑකයන් විසින් තුර්කි සුල්තාන් වෙත​,

සුල්තාන් වරය, තුර්කි යක්‍ෂය, මකබෑවෙච්ච යක්‍ෂයාගේ ඥාති වරය​, ලුසිෆර් ගේ ලේකම් වරය​.

උඹ මොන යකාගේ නයිට් වරයෙක් ද​? උඹට උඹේ හෙළුවැලි පුකෙන් ඉත්තෑවෙක් මරන්නවත් පුළුවන් ද? යක්‍ෂයා රෙන කොට උඹේ හමුදාව කනවා. වේසිගෙ පුතෝ, උඹට කිසිම ක්‍රිස්තියානි කාරයෙක් ව පාලනය කරන්න බෑ. අපි උඹේ හමුදාවට බය නෑ. අපි ගොඩබිමත් මුහුදෙත් උඹට විරුද්ධව සටන් කරනවා. උඹේ අම්මට හැමනියං.

තෝ බැබිලෝනියාවේ කුස්සි අතුගාන එකෙක්. මැසිඩෝනියාවේ කරත්ත රෝද හදන එකෙක්. යෙරුසලමේ කසිප්පු පෙරන එකෙක්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ එළුවන්ට හැමනෙන එකෙක්. ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඌරන් බලන එකෙක්. ආමේනියාවේ ඌරෙක්. පොඩෝලියාවේ හොර දෙටුවෙක්. ටාටාර් වරුන් ගේ බච්ච කොල්ලෙක්. කම්‍යානෙට් හි අළුගෝසුවෙක්. මේ ලෝකයේ සහ අනිත් ලෝකයේ විහිළුකාරයෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ පල් මෝඩයෙක්. සර්පයෙක් ගේ මුණුපුරෙක්. අපේ පයියවල් වල උළුක්කුවක්. ඌරු හොම්බෝ, වෙළඹ ගෙ පුකෝ, මස්මඩුවේ අවලම් බල්ලෝ, බෞතීස්ම නොකළ කුකුළ් පෙන්දෝ ගිහිං උඹේ අම්මට හැමනියං.

නීචයා, ඒක තමයි සැපරෝෂියාවේ පිළිතුර​. උඹට ක්‍රිස්තියානි කාරයෙක් ගෙ ඌරන් බලන්නවත් ලැබෙන්නෙ නෑ. දැන් අපි නතර වෙන්නම්, මොකද අපි දන්නෙ නෑ අද දවස මොකද්ද කියලා. අපිට කැලැන්ඩරයක් නෑ. ආකාසේ හඳ තියෙනවා; අවුරුද්ද දෙවියන් සමඟ​; උඹලට උදාවෙන දවසම තමයි අපිටත් උදාවෙන්නේ. ඒ නිසා අපේ පුක ඉඹපං.

- ප්‍රධාන අටාමාන් ඉවාන් සිර්කෝ, මුළු මහත් සැපරෝෂියාවම සමඟ​

Wednesday, July 18, 2018

සෙන් කතා - 2



ධර්මාවබෝධය​



අධිරාජ්‍යයා දවසක් ප්‍රසිද්ධ මහළු සෙන් භික්‍ෂුවක් හමු වෙන්න ගියා.

"ගුරුතුමනී, ධර්මාවබෝධය ලබපු කෙනෙක් මිය ගියාම වෙන්නෙ මොකද්ද​?"

"මම දන්නෙ නෑ"

අධිරාජ්‍යයා පුදුම වුනා.

"ඒත් ඔබවහන්සේ ධර්මාවබෝධය ලබපු කෙනෙක් නෙ?"

"ඒත් මම මැරිල නෑ නෙ?"


ගෝනුස්සා



මහළු සෙන් භික්‍ෂුවක් ගඟක් ළඟ තිබුණ ගහක් මුල භාවනා කරමින් සිටියා. විවේක ගන්නා මොහොතක ඇස් දෙක ඇරල බැලුවම ඔහු දැක්කා ගඟේ ගෝනුස්සෙක් ගහගෙන එන හැටි. ඌ අසරණ වෙලා අඬු විහිදමින් බේරෙන්න උත්සහ කළත්, සැඩ රළ පාර ඌව දිහටම ගඟ පහලට ඇදගෙන ගියා.

භික්‍ෂුව ගහේ මුලක් අල්ල ගෙන ගඟට එබිලා ගෝනුස්සව අතින් අරගන්න උත්සහ කළා. ඒත් අත දැම්ම විතරයි ගෝනුස්සා අතට දෂ්ඨ කලා. දළ පාර යන්තම් වැදුනත්, ගෝනුස්සා විෂ සහිත එකෙක් නිසා භික්‍ෂුවට තද වේදනාවක් දැණුනා. ඔහු අත ආපහු ඇදල ගත්තා.

ඒත් ඊළඟ මොහොතේදී භික්‍ෂුව ගහේ මුල තවත් තදින් අල්ලගෙන ආපහු සැරයක් ගඟට අත දැම්මෙ ගෝනුස්සව බේරගන්න​.

ඒ සැරෙත් ගෝනුස්සා අතට දෂ්ඨ කළා. ඒ සැරේ නම් දළ පාර තදින්ම වැදුනා. භික්‍ෂුව වේදනාවෙන් මිරිකෙමින් බිම පෙරළුනා. ඔහුගේ අතෙන් ලේ බින්දු කඩා හැලුනා. ටික වේලාවකින්ම අත ඉදිමුනා.

අසලින් ගිය මගියෙක් භික්‍ෂුව වේදනාවෙන් පෙළෙනවා දැකල එතැනට දුවගෙන ආවා. සිද්ධ වුන දෙය දැනගත්තම ඔහු භික්‍ෂුවට දොස් පැවරුවා.

"ඔබට මොකද වෙලා තියෙන්නෙ? ඒ වගේ නපුරු, විසකුරු සතෙක් බේරගන්න තමාගෙ ජීවිතය අනතුරේ දාගන්නෙ මෝඩයෙක් විතරයි. ඔබ දන්නවද ඔය විෂෙන් ඔබ මිය යන්න වුනත් පුළුවන් කියලා?"

භික්‍ෂුව බිම වැතිර ඉන්න ගමන්ම ඔහුට උත්තර දුන්නා.

"දෂ්ඨ කිරීම ගෝනුස්සගෙ සොබාවය​. ඒත් ඒක එහෙමයි කියල මට මගේ සොබාවය වෙනස් කරගන්න පුළුවන් ද​?"


හොඳ නරක​



බන්කෙයි කියන්නේ ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක්. ඔහුගෙන් භාවනාව ඉගෙන ගන්න ජපානයේ හතර කොනේ ඉඳලම භික්‍ෂූන් ආවා.

එක දවසක් මේ භාවනා පන්තියක හිටපු ගෝල භික්‍ෂුවක් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් "සොර භික්‍ෂුව​" බන්කෙයි ඉදිරියට අරගෙන ආවා. ඒත් බන්කෙයි ඒක ගැන කිසි දෙයක් කළේ නෑ.

දවස් කීපයකට පස්සේ ඒ භික්‍ෂුවම ආයෙත් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් ආපහු සැරයක් බන්කෙයිට පැමිණිලි කලා. ඒත් ඔහු ආයෙත් මොකවත් කරේ නෑ.

අනෙක් භික්‍ෂූන් මේකෙන් දැඩි කලකිරීමකට පත් වුනා. ඔවුන් එකතු වෙලා තීරණයක් ගත්තා. ඔවුන් පහුවදාම සියළු දෙනා අත්සන් කළ පෙත්සමක් බන්කෙයිට බාර දුන්නා. ඒ පෙත්සමේ තිබුනේ එක්කෝ බන්කෙයි සොර භික්‍ෂුව භාවනා පන්තියෙන් ඉවත් කරන්න ඕනෙ, නැතිනම් අනෙක් සියළු දෙනා පන්තියෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශයක්.

බන්කෙයි පෙත්සම කියවල බැලුවා. සියළුම භික්‍ෂූන් ව කැඳෙව්වා.

"ඔබ සියළුදෙනා හරි වැරැද්ද හොඳින් දන්නවා. ඔබලා කැමති නම් වෙනත් භාවනා පන්තියකට සහභාගී වෙලා ඔබේ අධ්‍යන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒත් මේ භික්‍ෂුව හරි වැරැද්ද මොකද්ද කියල දන්නෙ නෑ.  මම ඔහුව මෙතැනින් ඉවත් කළොත් ඔහුට උගන්වන්නෙ කවුද​? ඒ නිසා ඔබ සියළු දෙනා ඉවත් වුනත් මම ඔහුට උගන්වන්න ඕනෙ"


වාසනාව​



දුප්පත් මහළු ගොවියෙක් හිටියා. ඔහු තරුණ කාලෙ ඉඳල මහළු වෙනකම්ම කලේ කුඹුරු ගොවිතැන​.

එක දවසක් ඔහුගේ අශ්වයා කැලේට පැනල ගියා. ඔහුගේ අසල්වැසියෝ කණගාටුවෙන් හිස සලලා මෙහෙම කිව්වා.

"කොච්චර අවාසනාවක් ද​?"

ඒත් ගොවියා කලබල වුනේ නෑ.

"හ්ම්....... අපි බලමුකෝ"

පහුවදා පැනල ගිය අශ්වයා කැලෑ අශ්වයො තුන් දෙකනෙක් එක්ක ආපහු ආවා. ඒක දැකපු අසල්වැසියෝ ඉතාමත් ප්‍රීතියට පත් වුනා.

"කොච්චර වාසනාවක් ද​?"

ඒත් ගොවියා කිව්වෙ මෙච්චරයි.

"හ්ම්....... අපි බලමුකෝ"

ඊළඟ දවසේ ගොවියාගේ පුතා කැලෑ අශ්වයෙක් පිටේ නගින්න හදද්දි අශ්වයා පිටින් වැටිලා කකුල කැඩුනා. අසල්වැසියෝ ගොවියා හමුවෙලා තමාගෙ කණගාටුව ප්‍රකාශ කලා.

"කොයිතරම් අවාසනාවක් ද​?"

ඒත් ගොවියා කම්පා වුනේ නෑ.

"හ්ම්....... අපි බලමුකෝ"

පහුවදා හමුදා සේවයට බඳවා ගැනීමේ නිලධාරීන් ගමට ආවා. ඔවුන් ආවේ ළඟ එන යුද්ධයක් වෙනුවෙන් තරුණයන් හමුදාවට බඳව ගන්න​. ඒත් මහළු ගොවියාගේ පුතාගේ කැඩුණ කකුල නිසා ඔහුව හමුදාවට බඳවා ගත්තේ නෑ.

අසල්වැසියෝ ආයෙත් තමාගේ ප්‍රීතිය පළ කලා.

""කොච්චර වාසනාවක් ද​?"

"හ්ම්....... අපි බලමුකෝ"


පෙළහර​



තරුණ සෙන් භික්‍ෂූන් තුන් දෙනෙක් දිය පාරක් අසබඩ භාවනා කරා. ඔවුන් රාත්‍රියට නිදාගත්ත පැල තිබුනේ ගඟෙන් එහා පැත්තේ.

එක දවසක් ඔවුන් භාවනා කරන්න පටන් ගන්න හදද්දිම එක පාරටම එක භික්‍ෂුවක් නැගිට්ටා.

"මට මගේ පැදුර අමතක වුනා නෙ"

ඔහු කිසි අමුත්තක් නැතුව දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් පැදුරත් අරගෙන ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

ඒක බලාගෙන හිටපු දෙවැනි භික්‍ෂුවත් නැගිට්ටා.

"මට දැන් මතක් වුනේ, මට අද උදේ හෝදපු ඇඳුම් වේලෙන්න දාන්න අමතක වුනා"

ඔහුත් දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් ටික වෙලාවකින් ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

මේක බලාගෙන හිටපු තුන් වැනි භික්‍ෂුව කලබල වුනා. මේ දෙන්න මට පේන්න පෙළහර පානවද​? ඔවුන් මට වඩා භාවනාවෙන් ඉදිරියට ගිහින් ද​?

ඔවුන්ට දෙවෙනි නොවෙන්න හිතපු තුන්වැනි භික්‍ෂුවත් නැගිට්ටා.

"එහෙනං මට පෙළහර පාන්න බෑ කියලද හිතන්නෙ? ඔන්න බලාගන්නවා!"

ඔහුත් දිය පාර ළඟට ගිහින් වතුර උඩට අඩිය තියල දිය මතුපිට ඇවිදින්න හැදුවා. ඒත් ඔහු ඉණක් දක්වා වතුරේ ගිලිල ගියා. මුළු ඇඟම තෙත බරිත වෙලා තිබුනත් ඔහු නැවත නැවත වතුර මතුපිට ඇවිදින්න උත්සහ කළා. ඒ හැම සැරේම ඔහු වතුරේ ගිලුනා.

අනෙක් භික්‍ෂූන් දෙන්නා සගයා දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා.

ටික වෙලාවකින් එක් භික්‍ෂුවක් අනෙක් භිෂුවගෙන් මෙහෙම ඇහැව්වා.

"අඩිය තියන්න ඕනෙ ගල් තියන තැන අපි මිනිහට කියමුද​?"

Tuesday, July 17, 2018

මැග්යාර් මායාකාරයෝ - 4


ලෝක කුසලාන පරාජයෙන් පසු


ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වුනු පසු හන්ගේරියානු පිල නැවත සියරට බලා ආවා. ඒත් හන්ගේරියානු ක්‍රීඩා ලෝලීන් ගෙන් සහ හන්ගේරියානු රජයෙන් ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමක් නෙවෙයි.

ලෝක කුසලාන අවසන් තරගය දවසේ හන්ගේරියාවේ අගනුවර විශාල මහජන කැරලි ඇති වුනා. පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා ලෝලීන් වීදි බැහලා රජයේ ආයතන වලට පහර දුන්නා. විශාල පිරිසක් ගුවන් විදුලිය පිහිටි ගොඩනැගිල්ල වටකරලා විස්තර විචාරකයන් මරා දමන බවට තර්ජනය කළා.

මේ කැරලි වලින් හන්ගේරියානු රජය කලබල වුනා. මෙය ඔවුන් දැක්කේ රජයට එරෙහි නැගිටීමක් විදිහට​. ඒ වගේම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් කොමියුනිස්ට් සමාජයේ උසස් බව ලෝකයට කියාපෑමේ අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි වුනා. මේ කාරනා නිසා රජයත් පාපන්දු කණ්ඩායම කෙරෙහි දැක්වුයේ සතුරු ආකල්පයක්.

හන්ගේරියානු පාපන්දු පිළ සියරට බලා ආ විට දුම්‍.රිය පොළේ දී ඔවුන්ව පිළිගනිමින් හන්ගේරියානු රජයේ නායක රාකොස්කි ප්‍රකාශ කලේ "මේ තරගය වෙනුවෙන් ඔබ කිසි කෙනෙක්ට අපි දඬුවම් කරන්නේ නෑ" යනුවෙන්. එමගින් ඔහු ඉඟි කලේ ක්‍රීඩකයන් රාජ්‍යයට එරෙහිව කටයුතු කළ බව​.

පරාජයේ චෝදනා මූලික වශයෙන් එල්ල වුනේ කළමණාකාර සෙබෙස් සහ නායක පුස්කාස් වෙත​. විශේෂයෙන්ම පුස්කාස් අවසාන තරගයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කිරීම බොහෝ දෙනෙක් ගේ දැඩි විවේචනයට හේතු වුනා.

ඒත් නොබෝ කළකින්ම හන්ගේරියානු රජය සියළු වරද දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් වෙත එල්ල කලා. බටහිර ජර්මනිය ගෝල තුනක් ලබාගත්තේ ඔහුගේ දැල රැකීමේ දුර්වලතා නිසා බව චෝදනා කළ ඔවුන් ඔහු ඊට අමතරව බටහිර ධනවාදී රටවල් වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුනු බවට චෝදනා කළා. මේ සඳහා දඬුවම වශයෙන් ඔහුව ඈත කුඩා නගරයකට පිටුවහල් කරා. අවුරුද්දක කාලයක් ඔහුට පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුනා.


නැවතත් සුපුරුදු ගමනට​


පරාජයේ වේදනාවත් සමඟම මාස දෙකක විවේක කාලයකින් පසු මායාකාරයෝ නැවතත් පිටියට බැස්සා. ඒ රුමේනියාවට එරෙහිව 5-1 ක ජයක් ලබමින්. ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ සෝවියට් දේශයත් සමඟ​. මේ වන විට සෝවියට් දේශයත් හන්ගේරියාව අනුව යමින් ඉතා ශක්තිමත් පාපන්දු කණ්ඩායමක් ගොඩගනාගෙන හිටියා. තරගය 1-1 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

ඊට පස්සේ ස්විට්සර්ලන්තය 3-0 වශයෙන්, චෙකොස්ලොවැකියාව 4-1 වශයෙන් සහ ඕස්ට්‍රියාව 4-1 වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ ස්කොට්ලන්තයට එරෙහිව ග්ලාස්ගෝ නගරයේ. මේ තරගය ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ පැවැත්වුනා. දෙපිලෙන්ම ඉතාමත් ආක්‍රමන්ශීලී තරග රටාවක් දකින්න ලැබුනු මේ තරගය අවසානයේ 4-2 වශයෙන් ජයගන්න හන්ගේරියාව සමත් වුනා. ඒ ජයත් එක්ක නැවතත් ලෝකයේ පළමුවන කණ් ඩායම විදිහට හන්ගේරියාව ඉදිරියට ආවා.

ඊළඟට මායාකාරයෝ තවත් යුරෝපෝය තරග මාලාවකට සහභාගී වුනා. ඒවායින් නෝර්වේ 5-0, ස්වීඩනය 7-3, ඩෙන්මාර්කය 6-0, ෆින්ලන්තය 9-1, ස්කොට්ලන්තය 3-1 සහ ස්වීඩනය 4-2  වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඊළඟට සෝවියට් දේශයත් සමඟ පැවති තරගය නිම වුනේ ජය පැරදුමෙන් තොරව​. ඒ 1-1 වශයෙන්.


මධ්‍යම යුරෝපීය තරගාවලිය​


මේ අතර 1955 දී නැවතත් මධ්‍යම යුරෝපියානු තරගාවලියක් ආරම් භ කෙරුනා. එයට සහභාගී වුනේ චෙකොස්ලොවැකියාව​, හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, යුගොස්ලාවියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය​.

හන්ගේරියාව සහභාගී වුන පළවෙනි තරගය ඔස්ට්‍රියාවත් සමඟ 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ස්විට්සර්ලන්තයත් සමඟ තරගයෙන් 5-4 ලෙස තියුණු ජයක් ලබන්න හන්ගේරියාවට හැකි වුනා. ඊළඟට චෙකොස්ලොවැකියාව 3-1 වශයෙනුත් ඔස්ට්‍රියාව 6-1 වශයෙනුත් ඉතාලිය 2-0 වශයෙනුත් පරාජය කරමින් ලකුණු සටහනේ මුල් තැන ගන්න හන්ගේරියාව සමත් වුනා.


හන්ගේරියාවේ දේශපාලන තත්වය​


හන්ගේරියාවේ දේශපාලන බලය 1949 දී කොමියුනිස්ට් වරු අතට පත් වුනා. කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වුනේ මාතියාස් රාකොස්කි. ඔහු තමාව හඳුන්වාගත්තේ "ස්ටාලින් හේ හොඳම ගෝලයා" විදිහට​. ස්ටාලින් ගේ පන්නයේ ඉතා දැඩි මර්ධනකාරී පාලනයක් ඔහු හන්ගේරියාවේ ගෙනිච්චා. ඔහුගේ මර්ධනයට කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළත වගේම ඉන් පිටත් ඉන්න දේශපාලන විරුද්ධවාදීන් ලක් වුනා. මේ නිසා ඔහුගේ රජය මහජනයා අතර දැඩි අප්‍රසාදයක් දිනා ගත්තා.

මේ තත්වය වෙනස් වෙන්නේ 1953 දී ස්ටාලින් මිය යාමත් සමඟම​. සෝවියට් දේශයේ බලයට පත්වෙන කෘෂයෙව් ස්ටාලින් ගේ ප්‍රතිපත්ති ලිහිල් කරා. ඒ එක්කම හන්ගේරියාව තුල රාකොස්කි ගේ බලය පිරිහුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 1954 දී රාකොස්කි බලයෙන් පහ කරලා මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට් පාක්‍ෂිකයෙක් වන ඉම්.රේ නාගි හන්ගේරියාවේ අගමැති ධූරයට පත් වුනා. ඔහු රාකොස්කි ගේ පාලය සමයේ තිබුනු මර්ධනකාරී ප්‍රතිපත්ති බොහොමයක් නවතා දැම්මා.


නමුත් 1955 දී ස්ටාලින් වාදීන් නැවතත් කොමියුනිස්ට් පක්‍ෂය තුළ බලවත් වුනා. ඔවුන් නාගි අගමැති ධූරයෙන් පහ කරලා ඒ වෙනුවට අන්.ද්‍රාස් හෙගෙඩුස් පත් කරගත්තා. මේ බල පෙරළිය හන්ගේරියානු ජනතාවගේ සතුටට හේතුවක් වෙන්නේ නෑ. ඒ වගේම සෝවියට් හමුදාව තවමත් හන් ගේරියාවේ රැඳී සිටීමත් ඔවුඞේ දැඩි අප්‍රසාදයට ලක් වුනා. ඔවුන් ඒක දැක්කේ හන් ගේරියාවේ ස්වෛරී භාවයට කරන හානියක් විදිහට​. මේ නිසා හන්ගේරියානු ජනතාව තුළ දැඩි සෝවියට් විරෝධයක් ගොඩ නැගෙමින් තිබුනා.

සෝවියට් - හන්ගේරියා තරගය​


මේ අතර හන්ගේරියානු පාපන්දු පිළ බෙලිජියම අතින් 4-5 විදිහට පරාජය ලැබුවා. කළමණාකරු සෙබෙස් ගෙන් පලිගන්න අවස්ථාවක් බලමින් සිටි රජයට මේක හොඳ අවස්ථාවක් වුනා. ඔවුන් සෙබෙස් කළමණාකාර තනතුරෙන් ඉවත් කළා. මායාකාරයන්ට පළමු වරට තමාගේ නිර්මාතෘ වරයා අහිමි වුනා.

හන්ගේරියාවේ මීළඟ තරගය තිබුනේ සෝවියට් දේශයත් සමඟ​. සෝවියට් පාපන් දු කණ්ඩායම මේ වෙද්දී ඉතාමත් ප්‍රභල තැනක සිටියා. ඔවුන් හන්ගේරියාවත් සමඟ මීට පෙර පැවැත්වුන තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමා කරන්න සමත් වුනා. සෝවියට් දේශය දැක්කේ ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම තමා බව​. ඒ වගේම කොමියුනිස්ට් කඳවුරේ නායකයා විදිහට ඔවුන් හන්ගේරියාව තමාට ඉදිරියෙන් සිටීම ඉවසුවේ නෑ.

මේ නිසා තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය පැවැත්වුනේ මොස්කව් නුවර ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරිපිට​. ඉතාම තියුණු සහ රළු තරගයක් වුන මේ තරගයේ වාර්තා වුන එකම ගෝලය වුනේ සීබොර් 16 වැනි විනාඩියේදී ලබා ගත් ගෝලය​. හන්ගේරියාව 1-0 වශයෙන් තරගය ජය ගත්තා.

මේ ජය හන්ගේරියානු ජනතාවට ඉමහත් ආශ්වාදයක් ගෙන දුන්නා. සෝවියට් දේශය යනු පරාජය කළ හැකි බලවේගයක් බව ඔවුන්ට ඒත්තු ගියා.



විප්ලවය​


1956 ශිෂ්‍යය අරගලයක් හේතුවෙන් හන්ගේරියාවේ දේශපාලන තත්වය ඉතාම උණුසුම් සොබාවයක් ගත්තා. ඔක්තෝබර් 23 වැනිදා බූදපෙස්ට් නගරයේ එක්‍ රැස් වන 20,000 ක පමණ පිරිසක් ජාතිකවාදී ගී ගයමින් "විදේශ බලවේග​" වලට එර්හිව සටන් කරන බවට ප්‍රකාශ කළා. සවස් වෙද්දී මේ පිරිස ලක්‍ෂ 2 ක පිරිසක් බවට වර්ධනය වුනා. මේ පිරිස කොමියුනිස්ට් පක්‍ෂයේ සහ රජයේ ගොඩනැගිලි වට කරන්න පටන් ගත්තා. ඔවුන් මර්ධනය කිරීම සඳහා එවන හන්ගේරියානු හමුදා සේනාංක උද්ඝෝෂන කරුවන්ට එක් වීමත් සමඟම තත්වය කැරැල්ලක් දක්වා වර්ධනය වුනා.

රට පුරාම ජනතාව "කම්කරු කවුන්සිල​" සහ ජනතා මිලිෂියා සංවිධානය කරන්න පටන් ගත්තා. මේ කවුන්සිල සහ මිලිෂියාවන් ප්‍රාදේශීය පාලනය අත්පත් කර ගත්තා. බූදපෙස්ට් නගරයේදී කැරලි කරුවන් සෝවියට් හමුදාවත් සමඟ සටන් වැදුනා. ඔවුන් සෝවියට් හමුදා සේනාංක බැරැක්ක තුළට සීමා කරන්න සමත් වුනා.


ඒ එක්කම දැඩි මතධාරී කොමියුනිස්ට් පක්‍ෂ නායකයන් සෝවියට් දේශය වෙත පලා ගියා. පක්‍ෂයේ බලය නැවතත් නාගි ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරින් අතට පත්වුනා. නාගි නැවතත් අගමැති තනතුරට පත්වුන අතර​, යානොස් කාදාර් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා බවට පත් වුනා.

සෝවියට් දේශය විප්ලවය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නෑ. සෝවියට් හමුදා නැවත කැඳවන්න ඔවුන් තීරණය කළා. නාගි තමාගේ බලය තහවුරු කරගැනීමත් එක්කම රට නැවතත් සාමකාමී වුනා. නාගි නැවතත් තමාගේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.


ඒත් ඔක්තෝබර් 31 වැනිදා හන්ගේරියානු රජය වෝර්සෝ ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කිරීමත් සමඟම තත්වය වෙනස් වුනා. මෙය සෝවියට් දේශය දැක්කේ තමාගේ ආරක්‍ෂාවට තර්ජනයක් විදිහට​. ඔවුන් හන්ගේරියාව ආක්‍රමනය කරන්න තීරණය කළා.

ඒ අනුව නොවැම්බර් 1 වැනිදා යුධ ටැංකි ප්‍රමුඛ කරගත්ත විශාල සෝවියට් හමුදාවක් හන්ගේරියාව ආක්‍රමනය කළා. හන්ගේරියාවේ කුඩා හමුදාවට ඔවුන් සමඟ සටන් වදින්න හැකියාවක් තිබ්බේ නෑ. නොවැම්බර් 4 වැනිදා වෙද්දී සෝවියට් හමුදා හන්ගේරියාවේ බලය සම්පූර්නයෙන්ම තහවුරු කර ගත්තා.

ගැටුම් වලින් හන්ගේරියානු ජාතිකයන් 2500 සහ සෝවියට් සෙබළු 700 මිය ගියා.


සෝවියට් හමුදා විසින් යානොස් කාදාර්ට අගමැති තනතුර බාර ගන්න ආරාධනා කරනවා. ඔහු එය පිළිගත්තා. අත් අඩංගුවට පත් වෙන නාගිට 1958 දී මරණ දඬුවම හිමිවුනා.


මායාකාරයන් ගේ අවසානය​


විප්ලවය සිදුවෙද්දී හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෙන් අතිබහුතරය අයත් වුන හොන්වේඩ් ක්‍රීඩා සමාජය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ස්පාඤ්ඤයට ගිහිල්ලා හිටියා. තමාගේ රට සෝවියට් දේශය විසින් ආක්‍රමනය කිරීම පිළිබඳව කම්පාවට පත් වුන ක්‍රීඩකයන් ගෙන් බහුතරය විරෝධය පෑමක් විදිහට නැවත සියරට බලා නොයාමට තීරණය කළා.

දේශපාලනය මතින් බිහි වෙලා අවුරුදු හතක් පුරාවට පාපන්දු ලෝකය දෙවනත් කරමින් තම අනසක පැතිරවූ මැග්යාර් මායාකාරයන් ගේ අවසානය ඒ විදිහට දේශපාලනය මතින්ම සිදු වුනා.

1949 සිට 1956 දක්වා කාලය තුළදී මායාකාරයෝ තරග 62 කට සහභාගී වෙනවා. ඉන් තරග 50 ක් ම ජය ගන්න ඔවුන් සමත්වෙනවා. තරග 9 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වෙන අතර​, පරාජයට පත් වෙන්නේ තරග 3 ක් පමණයි.

1950 මැයි 14 වැනිදා සිට 1954 ජූලි 4 වැනිදා දක්වා තරග 32 ක අපරාජිත වාර්තාවක් තබා ගන්නත් ඔවුන් සමත් වෙනවා.

මේ කාලසීමාව තුල ඔවුන් ලබා ගත් ගෝල ගණන 264 ක්. තරගයකට ගෝල සාමාන්‍යය අදහාගත නොහැකි 4.26 ක් විදිහට වාර්තා වෙනවා. ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ගෝල 77 පමණයි.

මේ අද්විතීය වාර්තාව සහ ඔවුන් ගේ ආක්‍රමනශීලී අලංකාර ක්‍රීඩා රටාව නිසා අදටත් එතෙක් මෙතෙක් ලොව බිහිවුන හොඳම පාපන්දු කණ් ඩායම විදිහට සැලකෙන්නේ මැග්යාර් මායාකාරයන්ව​.


පසු කතාව​


යානොස් කදාර් ගේ නායකත්වය යටතේ හන්ගේරියාව 1989 දක්වා පාලනය වුනා. හන්ගේරියාව සැලකුනේ නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවල් අතරින් මර්ධනය සාපේක්‍ෂව අඩු රටක් විදිහට.


හන්ගේරියානු පිළෙන් ඉවත් වීමෙන් පසු ක්‍රීඩකයන් විවිධ මාර්ග වල ගමන් කළා.

නායක පුස්කාස් 1958 දී ස්පාඤ්ඤයේ රෙයාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. එහිදී ඔහු ආජෙන්ටිනා ජාතික ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ සමඟ එක්ව ලොව බිහිවූ විශිෂ්ඨතම ප්‍රහාරක සුසංයෝගයක් බිහි කළා. ඔවුන් දෙදෙනාගේ සහයෙන් රෙයාල් මැඩ්‍රිඩ් කණ්ඩායම යුරෝපීය කුසලාන හතරක් සහ ස්පාඤ්ඤය ලීග ශූරතා හතක් දිනා ගත්තා. පසුව ඔහු ස්පාඤ්ඤය පුරවැසිභාවය ලබාගෙන ස්පාඤ්ඤ්‍ය වෙනුවෙන් තරග හතරකට සහභාගී වුනා. ඉන් තුනක් 1962 ලෝක කුසලානයේ. නමුත් මේ තරග වලදී ඔහුට එක ගෝලයක්වත් ලබා ගන්න හැකි වෙන්නේ නෑ.

ක්‍රීඩාවෙන් සමුගත් පසු කළමණාකරුවෙක් විදිහට යුරෝපීය ක්‍රීඩා සමාජ ගණනාවක සේවය කරන පුස්කාස් නැවත හන් ගේරියාවට එන්නේ 1993 දී. ඔහු ඇල්සයිමර් රෝගය වැළඳීමෙන් 2006 දී මිය ගියා. අද ඔහු සැලකෙන්නේ හන්ගේරියාවේ ජාතික වීරයෙක් විදිහට​.

සාන්ඩෝර් කොචිස් 1958 දී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. බාසිලෝනා පිළ වෙනුවෙන් තරග 75 කට සහභාගී වෙන කොචිස් 1965 දී ක්‍රිඩාවෙන් ගත්තා. කළමණාකරුවෙක් විදිහට කෙටි කලක් කටයුතු කරන ඔහු ලියුකේමියාව සහ ආමාශයේ පිළිකාවක් වැළඳී ප්‍රතිකාර ගන්නා අතර 1979 දී බාසිලෝනා හි රෝහලක හතරවැනි තට්ටුවෙන් වැටීමෙන් මිය ගියා. බොහෝ දෙනා සිතන්නේ එය දිවි නසා ගැනීමක් බවයි. කොචිස් නැවතත් කිසි දිනෙක හන්ගේරියාවට යන්නේ නෑ.

නාන්ඩෝර් හිඩෙග්කුටි හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයෙක් නොවන නිසා හන්ගේරියාව හැර යන්නේ නෑ. නමුත් ඔහු 1958 දී ක්‍රීඩාවෙන් සමුගත්තා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ ගණනාවක කළමණාකරුවෙක් විදිහට කටයුතු කරන ඔහු මිය යන්නේ 2002 දී.

සොල්තාන් සීබොර් කොචිස් සමඟම 1958 දී බාසිලෝනා සමාජයට එක් වුනා. 1961 වන තුරු එහි ක්‍රීඩා කරන සීබොර් 1965 වන තුරු තවත් සුළු සමාජ ගණනාවක ක්‍රීඩා කළා. නැවත හන්ගේරියාවට එන සීබොර් 1997 දී මිය ගියා.

ජෝෂෙෆ් බොෂික් වර්ජනයට සහභාගී වුනේ නෑ. ඔහු නැවත හන්ගේරියාවට ඇවිත් දිගටම ජාතික කණ්ඩායමට සහ හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කළා. 1962 දී ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු හොන්වේඩ් සහ ජාතික කණ්ඩායම් වල කළමණාකරු විදිහට කටයුතු කළා. ඔහු 1978 දී හෘදයාබාධයකින් මිය ගියා.

දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් බටහිර යුරෝපයේ ජීවත් වෙන්න උත්සහ කළත් එය සාර්ථක වුනේ නෑ. ඔහු නැවතත් 1958 දී හන්ගේරියාවට ආවා. නමුත් ඔහුට හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කරන්න රජය ඉඩ දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහුව කුඩා ක්‍රීඩා සමාජයකට මාරු කෙරුනා. 1962 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තා. පෙණහළු වා සහ හදවතේ රෝග වලින් පීඩා විඳි ග්‍රොචිස් 2014 දී මිය ගියා.

හන්ගේරියාව නැවතත් කිසි දිනෙක් පාපන්දු ලෝකයේ බලවතෙක් වුනේ නෑ. 1962 සහ 1966 ලෝක කුසලාන වල අර්ධ අවසන් පූර්ව තරග දක්වා යාමට ඔවුන් සමත් වුනත්, එතැනින් එහාට යන්න ඔවුන්ට හැකි වෙලා නෑ. 1990 සිට අද දක්වා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට පවා ඔවුන් අසමත් වෙලා තියෙනවා.


Wednesday, July 11, 2018

සෙන් කතා - 1



තේ කෝප්පය​







බොහොම ඉස්සර කාලෙ ඉතාම බුද්ධිමත් සෙන් ගුරුතුමෙක් හිටියා. සෙන් බුදු දහම ගැන ඉගෙනගන්න බොහෝ දෙනා ඔහු හොයාගෙන ආව​.

එක දවසක් ඉතාම ප්‍රසිද්ධ උගතෙක් සෙන් ගුරුතුමා හොයාගෙන ආවා.

"මම ආවෙ ඔබෙන් සෙන් දහම ගැන ඉගෙනගන්න​. මගේ මනස සෙන් මගට විවෘත කරන්න​."

ඔහු ගුරුතුමාගෙන් ඉල්ලා හිටියා.

ගුරුතුමා ඔහුට තේ කෝප්පයක් බොන්න ආරාධනා කරා. වතුර උණුවෙන තුරු උගතා සෙන් දහම ගැන තමා දන්න දේවල් ගුරුතුමාට කියන්න පටන් ගත්තා. වතුර උණුවෙලා තේ පැහෙන තුරුම ඔහු දිගටම කතා කළා.

ඔහුගේ කතාවට ඇහුම්කන් දෙමින්ම ගුරුතුමා තේ කෝප්පයක් වත් කළා. ඒත් කෝප්පය පිරුණම තේ වත්කරන එක නැවැත්තුවේ නෑ. කෝප්පය උතුරා උණු තේ තතමි පැදුර දිගේ ගලාගෙන ගියා.

"නවත්තන්න මොනාද මේ ඔබ කරන්නෙ? ඔබට පිස්සුද​?"

උගතා කෑ ගැහුවා.

"තේ කෝප්පය පිරිලා නම් ඒකට තවත් තේ වත්කරන්න බෑ. ඔබේ කෝප්පය හිස් කරගන්න​."



දුණුවායා



මහළු සෙන් ගුරුතුමෙක් හිටියා. ඔහු තරුණ කාලේ දුණු ශිල්පය ගැන ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්.

දවසක් තරුණ ඉතාමත් දක්‍ෂ දුණුවායෙක් ගුරුතුමා හොයගෙන ආවා. ඔහු ආවෙ ගුරුතුමාට දුණු හරඹයකට අභියෝග කරන්න​. ගුරුතුමා එකඟ වුනා.

මුලින් විද්දේ තරුණයා. ඔහු ඉතාම ඈත තිබ්බ ඉල්ලක්කයකට හරියටම ඊතලය විද්දා. ඔහුගේ දෙවැනි ඊතලය මුල් ඊතලය දෙපලු කරගෙන ආයෙත් හරියටම ඉලක්කයට වැදුනා.

"පුළුවන් ද එහෙම කරන්න​?"

තරුණයා මහළු ගුරුතුමාගෙන් අවඥාවෙන් ඇහුවා.

"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි"

එහෙම උත්තර දීපු ගුරුතුමා තරුණයා කැඳවාගෙන කඳු ගැටයක් උඩට ගියා.

එතැන ඉතාම ගැඹුරු ප්‍රපාතයක් හරහා ඒදණ්ඩක් විදිහට දාපු දිරච්ච ලී කොටයක් තිබුනා. ගුරුතුමා ලී කොටය මැදට ගිහින් ඒ නුදුරේ තිබ්බ ගහක කඳකට ඊතලයක් විද්දා.

"දැන් ඔබේ වාරය​"

තරුණයා ප්‍රපාතය ළඟට ගියා. පහල බැලුවා. ඊතලයක් විදිනවා තියා ලී කොටය උඩට කකුලක් තියන්න වත් ඔහු බය වුනා.

"ඔබේ දුන්න පාලනය කිරීමේ හැකියාව පුදුම උපදවන සුළුයි. නමුත් ඊතලය මුදාහරින හිත පාලනය කිරීමේ හැකියාව ඉතාම දුර්වලයි."


සඳ



බොහෝම ප්‍රසිද්ධ සෙන් ගුරුතුමෙක් වුන ර්.යෝකන් ජීවත් වුනේ කඳුකරයේ තිබුන පුංචි ගෙපැලක​. ඔහු ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා.

දවසක් හොරෙක් ඔහුගේ පැලට පැන්නා. හැම තැනම හෙව්වත් හොරකම් කරන්න තරම් වටිනා දෙයක් හොයාගන්න බැරි වුනා. එතකොටම ර්.යෝකන් ආවා.

"ඔබ බොහොම දුර ඉඳල මාව බලල යන්න ඇවිත්. මට ඔබව හිස් අතින් යවන්න බෑ. මෙන්න මගේ ඇඳුම්, මේවා මගෙන් එන තෑග්ගක් විදිහට පිළිගන්න​."

ර්.යෝකන් තමා ඇඳගෙන හිටපු ඇඳුම් ටික ගලවලා හොරා අතට දෙන ගමන් කිව්වා.

තක්කු මුක්කු වෙලා මොහොතක් බලාගෙන හිටපු හොරා ඇඳුම් පොදියත් අරගෙන අතුරුදහන් වුනා.

ර්.යෝකන් නිරුවතින්ම එළියට ඇවිත් හඳ දිහා බැලුවා. හඳ බොහෝම ලස්සනට පායල තිබුනා.

"අසරණයා. මට මිනිහට මේ ලස්සන හඳ දෙන්න තිබුන නං....."


මාළු



චුවාං ත්සු සහ ඔහුගේ මිතුරෙක් දවසක් ගං ඉවුරක ඇවිදිමින් හිටියා. ඔවුන් දැක්කා මාළු රෑණක් එහෙ මෙහෙ පීනන හැටි.

"අර බලනවකො අර මාළු දිහා. උං කොයිතරම් සන්තෝසෙන් ද ඉන්නෙ."

චුවාං ත්සු යාළුවට කිව්වා.

"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ? තමුසෙ මාළුවෙක් ද​? තමුසෙ මාළුවො සන්තෝස වෙන හැටි ගැන මොකවත් දන්නෙ නෑ නෙ."

යාළුව එහෙම කිව්වා.

"තමුසෙ මම ද​? තමුසෙ දන්නෙ කොහොමද මම මාළු ගැන දන්නවද නැද්ද කියල​?"

චුවාං ත්සු පිළිතුරු දුන්නා.


අම්බලම​



දවසක් ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ගමනක් යමින් ඉද්දි රෑ බෝවුනා. ඔහු ඒ පළාතේ ප්‍රධාන සමුරායි වරයා ගේ මාළිගාවට ගියා. සමුරායි වරයා ඔහුව හඳුනා ගත්තා.

"සුබ සැන්දෑවක් ගුරුතුමනී, මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ"

සමුරායි වරයා ගුරුතුමාව පිළිගත්තා.

"මට අද රෑට මේ අම්බලමේ නවාතැන් ඕනෙ"

සමුරායි වරයා යක්‍ෂාවේෂ වුනා.

"මේක අම්බලමක් වුනේ කොහොමද​? මේක මගේ පරම්පරාවෙ මාළිගාව​."

"මට සමාවෙන්න​. ඔබට කලින් මෙහෙ හිටියෙ කවුද​?"

"මගේ තාත්තා"

"දැන් ඔහු කෝ?"

"ඔහු මැරිලා"

"හොඳයි. ඊට කලින් මෙහෙ හිටියෙ කවුද​?"

"මගේ සීයා"

"දැන් ඔහු කෝ?"

"ඔහුත් මැරිලා"

ගුරුතුමා හිස සැලුවා.

"මේ ගොඩනැගිල්ල​, මිනිස්සු කාලෙන් කාලට පදිංචි වෙලා ඉඳල නික්ම යන මේ ගොඩනැගිල්ල අම්බලමක් නෙවෙයි කියලද ඔබ කිව්වේ?"

Tuesday, July 10, 2018

බ්‍රසීලයේ පාපන්දු නිල ඇඳුම​


ලෝකයේ වඩාත්ම හුරුපුරුදු පාපන්දු නිල ඇඳුම හිමි රට මොකද්ද කියල ඇහුවොත් උත්තරය බ්‍රසීලය. කහ පාට කමිසය, නිල් පාට කලිසම සහ සුදු පාට මේස් දුටු පමණින්ම ඕනම කෙනෙක් දන්නවා ඒ බ්‍රසීල කණ්ඩායම කියලා.

ඒත් බ්‍රසීලය හැමදාම ඇන්දෙ මේ පාට නෙවෙයි.

1919 ඉඳල 1950 වෙනතුරු බ්‍රසීල පිලේ ඇඳුම වුනේ තනි සුදු පාට ඇඳුමක්. කමිසයේ කොලරය සහ අත් කෙලවර පමණක් නිල් පාට සිහින් ඉරක් තිබුනා.

1950 ලෝක කුසලානය පැවැත්වුනේ බ්‍රසීලයේ. ඒ වෙනුවෙන්ම බ්‍රසීල රජය අළුත් ක්‍රීඩාංගනයක් ඉඳි කළා. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ "මරකනා" ක්‍රීඩා පිටිය​.

පළමු වටයේ තරග පැවැත්වුනේ කාණ්ඩ හතරකට​. අර්ධ අවසන් පූර්ව​, අවසන් පූර්ව හෝ අවසන් තරගයක් පැවැත්වුනේ නෑ. ඒ වෙනුවට කාණ්ඩ හතරේ මුල් තැන ආපු රටවල් හතර සහභාගී වුන ලීගයක් පැවැත්වුනා. ලීගයේ වැඩිම ලකුණු ලබාගන්න කණ්ඩායම තමයි ජයග්‍රාහකයා වුනේ.

කාණ්ඩ හතරෙන් අවසන් වටයට සුදුසුකම් ලැබුනේ බ්‍රසීලය, ස්පාඤ්ඤය​, ස්වීඩනය සහ උරුගුවේ.

අවසන් වටයේ බ්‍රසීලය සහභාගී වුන පළමු තරගයෙන්ම ඔවුන් ස්වීඩනය 7-1 ලෙස පරාජය කිරීමත් එක්කම ලෝක කුසලානය පිළිබඳ බ්‍රසීල ජනතාව තුල උණුසුම් බලාපොරොත්තු ඇති වුනා. මේ වෙන තුරු බ්‍රසීලය ලෝක කුසලානයක් දිනල තිබුනේ නෑ.

ඒ බලාපොරොත්තු ඉහළ නංවමින් ස්පාඤ්ඤය සමඟ ඊළඟ තරගය ඔවුන් දිනුවේ 6-1 විදිහට​.

මේ අතර උරුගුවේ ස්පාඤ්ඤය තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා. ස්වීඩන් උරුගුවේ තරගයෙන් උරුගුවේත්, ස්පාඤ්ඤය ස්වීඩන් තරගයෙන් ස්වීඩනයත් ජය ලැබුවා.

මේ නිසා අවසන් තරගය වුන උරුගුවේ - බ්‍රසීල තරගයේ දී ලෝක කුසලානය ජය ගැනීම සඳහා බ්‍රසීලයට අවශ්‍යය වුනේ තරගය ජය පැරදුමෙන් තොරව නිම කිරීම පමණයි.

දකුණු ඇමරිකානු පාපන්දු දැවැන්තයන් දෙදෙනා අතර තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා.

47 වැනි විනාඩියේදී බ්‍රසීලය ගෝලයක් ලබාගෙන ඉදිරියට ආවත් 66 වෙනි සහ 79 වෙනි විනාඩි වලදී ගෝල දෙකක් ලබාගනිමින් උරුගුවේ කවුරුත් නොසිතූ විදිහට තරගයත්, ලෝක කුසලානයත් ජයග්‍රහනය කලා.


මේ පරාජයෙන් මුළු බ්‍රසීල ජාතියම කම්පා වුනා. බ්‍රසීල පිලේ ක්‍රීඩකයන් මානසික කඩා වැටීමකට ලක් වුනා. මානසික පීඩනය නිසා ඔවුන්ට තවදුරටත් පාපන්දු ක්‍රීඩා කරන්න නොහැකි වුනා.

මේ නිසා බ්‍රසීල ක්‍රීඩා කොන්ෆෙඩරේෂනය "සුවපත් වීමේ" වැඩසටහනක් හඳුන්වා දුන්නා. ඒ වැඩසටහනේ එක අංගයක් විදිහට කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කරන්න ඔවුන් තීරණය කලා.

අළුත් නිල ඇඳුම සඳහා ඔවුන් තරගයක් පැවැත්වුවා. ඕනෑම කෙනෙක්ට තරගය වෙනුවෙන් සැලසුම් එවන්න ආරාධනා කළා.

තරගයෙන් ජය ගත්තේ බ්‍රසීලයේ දකුණු කෙලවරේ ඈත කුඩා නගරය වාසය කළ 19 හැවිරිදි ගැටවරයෙක්. ඔහු "අල්ඩයීර් ෂ්ලී".

 අල්ඩයීර් නිර්මානය කළ ඇඳුම තමයි අද බ්‍රසීල කණ්ඩායමේ කවුරුත් දන්න කහ - නිල් - සුදු ඇඳුම​.


ඇඳුමේ යම් කිසි වාසනාවක් තියෙනවා කියල හිතන්න පුළුවන්. මොකද ඇඳුම මාරු කරලා අවුරුදු 8 කින් 1958 දී බ්‍රසීලය තමාගේ පළමු ලෝක කුසලානය දිනා ගත්තා. එදා ඉඳල අද දක්වා ඔවුන් ලෝක කුසලාන පහක් දිනල තියෙනවා.

මේ කතාවේ උත්ප්‍රාසය මේකයි.

බ්‍රසීල ජාතිකයෙක් වුනත් අල්ඩයීර් එදා ඉඳල අද දක්වාම පාපන් දු තරග වලදී සහය දක්වන්නේ උරුගුවේ කණ්ඩායමට​. මෙවර ලෝක කුසලානයේදීත් ඔහු සහය දුන්නේ උරුගුවේ පිලට​.

Monday, July 9, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 5 (හජ්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


පස් වැනි කුළුණ - හජ් (වන්දනාව​)



හජ් ලෙස හැඳින්වෙන්නේ සියළුම යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු මුස්ලිම් වරු මෙකා නගරයට යා යුතු වන්දනා ගමන​.

හජ් මගින් මුස්ලිම් වරයෙක් ගේ දෙවියන්ට ඇති පක්‍ෂපාතීත්වය නිරූපනය වෙනවා.

හජ් වන්දනාවට වෙනත් දේශපාලන හේතුවකුත් තියෙනවා. මුහම්මද් නබි තුමාට දේව පණිවුඩය ලැබීමට පෙර සිට මෙකා නගරයට වන්දනා ගමන් පැමිණීම අරාබීන් අතර පැවති සිරිතක්. මේ වන්දනාකරුවන් මෙකා නගරයට ආදායම ගෙන ආ ප්‍රධාන මාර්ගයක් වුනා. නබි තුමා නව ඉස්ලාම් දහම ප්‍රචාරනය කරන්න පටන් ගත්තම මෙකා වැසියන් බියපත් වුනා අළුත් ආගම මගින් වන්දනා ගමන් නැති වෙලා ඔවුන් ගේ ආදායම් මාර්ගය අඩු වෙයි කියලා. ඒ නිසා මෙකා නගරයේ වැසියන් නබි තුමාට දැඩි විරෝධයක් එල්ල කලා. නමුත් නබි තුමා ඉතාම උපක්‍රමශීලීව වන්දනා ගමන ඉස්ලාමය තුළට ඇතුල් කර ගැනීම මගින් මෙකා වැසියන් ගේ පක්‍ෂපාතීත්වය දිනා ගන්න සමත් වුනා.

හජ් කාල සීමාව පටන් ගන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ අවසන් මාසය වන "දූ අල්-හිජා" මාසයේ 8 වැනිදා. එය දවස් පහක කාලසීමාවක් පුරා පැවැත්වී ඒ මාසයේම 12 වැනිදා අවසන් වෙනවා.


හජ් වන්දනාවේ සිරිත් - විරිත්


හජ් වන්දනාව ඇරඹෙන්නේ වන්දනා කරුවන් "මිකට්" නමින් හැඳින්වෙන විශේෂ ස්ථාන කීපයකින් එකකට පැමිනි පසු. එතැනදී ඔවුන් වන්දනාව වෙනුවෙන් පේ වෙනවා. මේ පේ වීම හඳුන්වන්නේ "ඉහ්‍.රාම්" කියලා. විශේෂයෙන්ම ඔවුන් තමාගේ සාමාන්‍යය ඇඳුම් ඉවත් කරලා සුදු රෙදි දෙකකින් සමන්විත විශේෂ ඇඳුමක් අඳින්න ඕනෙ.


ඊට අමතරව හිස කෙස් කැපීම​, දඩයම් කිරීම, සජීවී තත්වයේ ඇති ගහක් හෝ පැලෑටියක් කැපීම හෝ උදුරා දැමීම සහ වෙනත් වන්දනා කරුවෙක් විසින් දමා ගිය දෙයක් අහුලා ගැනීම තහනම් වෙනවා.

ඊළඟට වන්දනා කරුවන් මෙකා නගරයේ ඇති විශාලම පල්ලිය වන "අල්-මස්ජිද් අල්-හරම්" වෙත පැමිණෙනවා. ඔවුන් එහිදී "තවාෆ්" නමින් හැඳින්වෙන වෘතයේ යෙදෙනවා. මෙහිදී කෙරෙන්නේ පල්ලිය මැද ඇති "කබාහ්" නමින් හැඳින්වෙන කළු පැහැති හතරැස් ගොඩනැගිල්ල වටා වාමාවර්තව වට හතක් ගමන් කිරීම​.


ඉන් පසුව වන්දනා කරුවන් "ඊබ්‍රහිම් ගේ මාළිගය​" නමින් හැඳින්වෙන ස්ථානයක්දී විශේෂ නැමදීමකට සහභාගී වෙනවා. නැමදීමෙන් පසු ඔවුන් "සම්සම්" නමින් හැඳින්වෙන ළිඳකින් වතුර පානය කරනවා.

ඊළඟට තියෙන්නේ "සායි" නමින් හැඳින්වෙන වෘතය​. මෙහිදී වන්දනා කරුවන් කබාවට නුදුරින් ඇති "අල්-සෆා" සහ "අල්-මර්වහ්" නමින් හැඳින්වෙන කුඩා කඳුගැට දෙකක් අතර හත් වරක් ගමන් කරනවා.

සායි වෘතයෙන් සමරන්නේ දෙවියන් විසින් ඊබ්‍රහිම් ගේ දේව භක්තිය පරික්‍ෂා කිරීමේ සිද්ධිය​. මෙය දෙවියන් කෙරෙහි ඇති අචල විශ්වාසය ප්‍රකාශ කිරීමක්.


මේ සියල්ල සිද්ධ වෙන්නෙ හිමිදිරි පාන්දර​. උදෑසන නැමදුමෙන් පස්සෙ වන්දනා කරුවන් සියල්ලම "මිනා" නම් ස්ථානයට එනවා. මිනා පිහිටල තියෙන්නෙ මෙකා නගරයේ සිට කිලෝ මීටර් 5 ක් දුරින්. එතැන ඔවුන් වෙනුවෙන් විශේෂ කූඩාරම් සූදානම් කරල තියෙනවා. ඔවුන් එතැන මුළු දවසම ගත කරනවා.


දෙවැනි දවසේ වන්දනා කරුවන් මෙකා නගරයෙන් කිලෝමීටර් 20 ක් දුරින් පිහිටි "අරෆත්" නම් ස්ථානයට පැමිණෙනවා. එතැන කාන්තාරය මැද පිහිටි විශාල ගල් කන්දක්. බොහොම දුෂ්කර තැනක් වෙන අරෆත් හිදී වන්දනා කරුවන් මද්දහනේ සිට හිරු බැස යන තුරු තමාගේ පසුගිය පාපයන් ගැන සිහි කරමින් පසුතැවිලි වෙමින් දෙවියන් ගෙන් සමාව අයැදිනවා. ඒ අතර අසල පිහිටි "ජබාල් අල් - රහ්මා" නම් කඳු ගැටයේ සිට ඉස්ලාමීය විද්වතුන් ගේ දේශනා විකාශය කෙරෙනවා. මේ වෘතය හැඳින්වෙන්නේ "වුකුෆ්" හෙවත් "දෙවියන් ඉදිරියේ සිටගැනීම​" නමින්.


මද්දහන සහ සවස් නැමදීම් අරෆත් හිදී සිදු කරන බැතිමතුන් බටහිර සහ රාත්‍රී නැමදීම් සඳහා "මුසදලිෆාහ්" නම් ස්ථානයට පැමිණෙනවා. එහිදී ඔවුන් පසුදින වෘතය සඳහා කුඩා ගල් කැට එකතු කරමින් රාත්‍රිය එළිමහනේ ගත කරනවා. නිදාගන්නේත් එළිමහනේදීමයි.


පසුදා උදෑසන වන්දනාකරුවන් නැවතත් මිනා වෙත එනවා. මිනා හි තියෙන යක්‍ෂයා නිරූපනය කෙරෙන විශාල ගල් කුළුණු තුන වෙත පෙරදා අහුලාගත් ගල් කැටවලින් දමා ගැසීම එහිදී සිදු කෙරෙනවා. මෙය හැඳින්වෙන්නේ "රමි අල් - ජමරත්" හෙවත් යක්‍ෂයාට ගල් ගැසීම නමින්. මෙයින් සංකේතවත් කෙරෙන්නේ යක්‍ෂයා විසින් නපුරට පොළඹවා ගැනීම සිත දමනය කර ගැනීම මගින් වැලැක්වීම​.


ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් සතෙක් බිලි දීම කෙරෙනවා. සාම්ප්‍රදායිකව මෙම බිලිදීම වන් දනාකරුවා විසින් හෝ ඔහුගේ/ඇයගේ ඉදිරිපිටදී වෙනත් අයෙක් විසින් සිදු කළත් වර්තමානයේදී බොහෝ විට සිදු කෙරෙන්නේ මුදලට සතෙක් මිලදී ගැනීම පමණයි. මුදල් ගනුදෙනුව පමණක් වන්දනා කරුවා සිදු කරන අතර ඒ මුදලට සරිලන සතෙක් වෙනත් ස්ථානයකදී බිලි දීම සිදු කෙරෙනවා. බිලි දෙන සතුන් ගේ මස් ලොව පුරා දුප්පතුන් සහ සාගතයෙන් පෙළෙන්නන් අතර බෙදා හැරෙනවා.

ඉන් පසු "හලක්" නමින් හැඳින්වෙන හිස මුඩු කිරීම සිදු කෙරෙනවා. සියළුම පිරිමි වන්දනා කරුවන් හිස සම්පූර්නයෙන්ම මුඩු කරන අතර කාන්තාවන් හිසකෙස් අග කපා දැමීම කරනවා.

හිස මුඩු කළ පසු වන්දනා කරුවන් නැවතත් මෙකා නගරය වෙත ගොස් තවත් වරක් කබාහ් ගොඩනැගිල්ල වටා ගමන් කරමින් තවාෆ් වෘතයක නියැලෙනවා. ඉන්පසු නැවත රාත්‍රිය ගත කිරීම සඳහා මිනා වෙත පැමිණෙනවා.

ඊළඟ දින දෙක වන්දනා කරුවන් මිනා හි ගත කරමින් යක්‍ෂයාට ගල් ගැසීමේ නිරත වෙනවා.

අවසාන දිනයේදී නැවතත් මෙකාව වෙත යන වන්දනා කරුවන් අවසාන තවාෆ් වෘතය සිදු කරනවා. මෙය හැඳින්වෙන්නේ "තවාෆ් අල් - වදා" හෙවත් "සමුගැනීමේ තවාෆය" නමින්. මෙහිදී ඉඩක් ලදහොත් කබාලාව ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම සිදු කෙරෙනවා.

හජ් වන් දනාව අවසන් වෙන්නේ වන්දනා කරුවන් මදීනා නගරයේ ඇති "අල් - මස්ජිද් අන් - නබාවි" හෙවත් නබි තුමාගේ මස්ජීදය නමින් හැඳින්වෙන පල්ලිය වෙත පැමිනීමෙන්. මෙය නබි තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇති ඉතාමත් වැදගත් ස්ථානයක්.


වන්දනාවට සහභාගී වීම​


හජ් වන්දනාව සිදු කෙරෙන මෙකා නගරය අයත් වන්නේ සවුදි අරාබියට නිසා එය පාලනය කිරීමේ සම්පූර්න බලය ඔවුන් සතු වෙනවා. ඒ ඒ රටින් කොපමන වන්දනා කරුවන් ගණනකට වීසා නිකුත් කරන්නේද යන්න තීරණය කරන්නේ සවුදි අරාබිය විසින්.

ඒ ඒ රටට කොපමණ වීසා ප්‍රමානයක් හිමි වන්නේද යන්න තීරණය වෙන්නේ ඒ රටේ මුස්ලිම් ජනගහණය අනුව​.

2016 වසරේ හජ් වන්දනාව සඳහා සවුදි අරාබි ජාතිකයන් මිලියන 0.5 ක් සහ විදේශිකයන් මිලියන 1.3 ක් සහභාගී වුනා. ඉතිහාසයේ වැඩිම පිරිසක් හජ් වන්දනාවේ යෙදුනේ 2012 වසරේ. ඒ සවුදි අරාබි ජාතිකයන් මිලියන 1.4 සහ විදේශිකයන් මිලියන 1.8 ක්.