ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.
මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.
(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)
ඉස්ලාමයේ කුළුණු පහ
1. ෂහදා (ශ්‍රද්ධාව)
2. සලාහ් (නැමදීම)
3. සකාත් (දානය)
4. සව්ම් (උපවාසය)
5. හජ් (වන්දනාව)
හතරවැනි කුළුණ - සව්ම් (උපවාසය)
රමදාන් කියන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ නව වැනි මාසය. මෙය අරාබි බසින් නිවැරදිව උච්චාරනය කරන්නේ "රමදාන්" කියලා. සමහර අවස්ථා වලදී ඒක "රමසාන්" කියලත් යෙදෙනවා.
රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන්ට ඉතාමත් වැදගත් මාසයක්. ඒ නබි තුමාට දේව පණිවුඩය ලැබුනේ රමදාන් මාසයේදී වීම නිසා. මේ නිසා රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන් ගත කරන්නේ ආගමට කැප වෙමින්.
"රමදාන්" කියන අරාබි වචනයේ තේරුම "ගිනිගෙන දැවෙන උණුසුම" යන්නයි. ඒ රමදාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් තම දේව භක්තිය පිළිබිඹු කිරීම සඳහා උපවාසයේ නිරත වීම නිසා.
හදීසයන් ගේ දැක්වෙන අන්දමට "රමදාන් මාසය එළැඹෙද්දී පාරාදීසයේ ගේට්ටු විවර වෙන අතර, නරකයේ ගේට්ටු වසා දැමේ. සියළුම යක්‍ෂයන් දම්වැල් වලින් බැඳ දමයි."
ඉතිහාසය
දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම මැද පෙරදිග කලාපයේ ඉස්ලාමයට පෙර සිට පැවත එන සිරිතක්. ඒක නබි තුමා විසින් විධිමත් ආකාරයෙන් ඉස්ලාමීය සිරිත් තුලට අවශෝෂනය කරගෙන තියෙනවා.
රමදාන් උපවාසය සියළුම මුස්ලිමුන්ට අනිවාර්‍ය වෙන්නේ ක්‍රි.ව. 624 දී. ඒ නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මෙකාවේ සිට මදීනාවට පැමිණ මාස 18 කට පසු. ඒ ආඥාව දෙවියන් ගෙන් ලැබුන එකක්. ඒ බව කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ (සුරාහ්-අල්-බකරාහ්) 185 වැනි පැදියේ සඳහන්.
රමදාන් මාසයේ ආරම්භය සහ නිමාව
ඉස්ලාමීය කැලැන්ඩරයේ ඕනෑම මාසයක් ආරම්භ වන්නේ නව සඳ හෙවත් "හිලාල්" දර්ශනය වීමෙන්. රමදාන් මාසයේ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය ඇරඹෙන අතර, ඊළඟ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය අවසන් වෙනවා.
රමදාන් මාසය අවසන් වන දවස මුස්ලිම් වරුන්ට උත්සව දිනයක්. එය "ඊද් අල්-ෆිත.ර්" නමින් හැඳින්වෙනවා.
රමදාන් උපවාසය කළ යුතු අය සහ නොකළ යුතු අය
රමදාන් මාසයේ දෙවියන් වෙනුවෙන් උපවාස කළ යුතු සහ නොකළ යුතු අය කුරානයේ පැහැදිලිවම දක්වා තියෙනවා.
සියළුම වැඩිහිටි ඉස්ලාම් බැතිමතෙක්ම රමදාන් උපවාසයට සහභාගී විය යුතුයි.
නමුත්, පහත සඳහන් අයට එහි නිරත නොවීමට අවසර ලැබෙනවා.
1. රෝගීන්
2. මහළු අය
3. දුර බැහැර ගමනක් යන අය
4. ගැබිණි මව්වරු
5. කිරි දෙන මව්වරු
6. දියවැඩියාවෙන් පෙළෙන අය
7. මාසික ශුද්ධිය සිදු වන කාන්තාවන්
මේ අය රමදාන් මාසයේ තමාට උපවාස කිරීමට නොහැකි වන දින ගණන අවුරුද්දේ වෙනත් කාලයක උපවාසයේ නිරත වීමෙන් හිලව් කළ යුතුයි.
රමදාන් උපවාසය
රමදාන් මාසයේ මුස්ලිම් වරයෙක් සිදු කළ යුතු ප්‍රධානම වතාවත උපවාසයේ යෙදීම. සෑම දිනකම උදෑසන සිට සවස දක්වා කාලය තුල උපවාසය කළ යුතුයි.
උපවාසය ඇරඹීම සහ උපවාසයෙන් මිදීම සටහන් වෙන්නේ "සලාත්" (යාඥා කිරීම) මගින්. උපවාසය ඇරඹෙන්නේ "සලාත් අල්-ෆජ්.ර්" (උදෑසන යාඥාව) සමඟම. උපවාසයෙන් මිදෙන්නේ "සලාත් අල්-මග්‍රිබ්" (බටහිර යාඥාව) එක්ක.
මුස්ලිම් වරු උදෑසන යාඥාවට කලින් සැහැල්ලු ආහාරයක් ගන්නවා. ඒ දහවල් දවස පුරා සිදු කරන උපවාසයට සූදානම් වීමක් විදිහට. මේ ආහාරය හඳුන්වන්නේ "සුහූර්" නමින්. හිමිදිරි පාන්දර ගැනෙන මේ ආහාරය බොහෝ විට කැඳ හෝ ඕට්ස් වැනි ආහාරයක්.
උපවාසය සිදු කරන අතරතුර ආහාර ගැනීම, වතුර පානය කිරීම සහ දුම් පානය සම්පූර්නයෙන්ම තහනම්. උපවාසයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහතික කිරීම සහ කායික, වාචික සහ මානසික සංවරය ඇති කිරීම.
උපවාසයෙන් මිදෙන්නේ සවස් කාලයේ ආහාර ගැනීමෙන්. සාම්ප්‍රදායිකව පළමුවෙන්ම කෑමට ගන්නේ රට ඉඳි ගෙඩි තුනක්. ඒ නබි තුමා උපවාසයෙන් මිදුනු පුරුද්ද අනුගමනය කරමින්. නමුත් මේක අනිවාර්‍ය දෙයක් නෙවෙයි. තමාට කැමති ඕනෑම ආහාරයක් ගන්න පුළුවන්.
උපවාසයෙන් මිදුනු පසු ගන්නා සවස ආහාර වේල හැඳින්වෙන්නේ "ඉෆ්තාර්" නමින්. ඉෆ්තාර් කෑම වේල බොහෝ විට සාමූහිකව ගැනෙනවා.
ඉන් පසු මුස්ලිම්වරු බටහිර යාඥාව සඳහා පල්ලියට යා යුතුයි.
වෙනත් සිරිත් විරිත්
රමදාන් මාසයේ මුස්ලිම් වරු පිළිපදින එකම වතාවත උපවාසය නෙවෙයි. ඊට අමතරව තවත් පිළිවෙත් ගණනාවක් අනුගමනය කළ යුතුයි.
ඉස්ලාමයේ දිළින්දන්ට දන් දීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමාගේ ඉතිරිකිරීම් වලින් 2.5% වශයෙන් අනිවාර්‍යයෙන් දිය යුතු "සකාත්" දානය සහ ඊට අමතරව තම කැමැත්ත පරිද්දි දෙන "සදකා" දානය. රමදාන් මාසයේදී මුස්ලිම්වරු වැඩි වැඩියෙන් සකාත් සහ සදකා දන් දීමේ නිරත වෙනවා.
මුස්ලිම් වරයෙක් සාමාන්‍යයෙන් දිනකට පස් වතාවක් යාඥා කළ යුතුයි. නමුත් රමදාන් මාසයේදී රාත්‍රී කාලයට තවත් අමතර යාඥාවක් පැවැත්වෙනවා. එය හැඳින්වෙන්නේ "තරවිහ්" නමින්. තරවිහ් යාඥාවේදී කුරානයෙන් තිහෙන් එකක කොටසක් ("ජුස්") කියැවීම සිදු කෙරෙනවා. එතකොට මාසය සම්පූර්න වෙද්දී සම්පූර්න කුරානයම කියැවිලා.
ඊට අමතරව හැකි සෑම විටකම කුරාන පාඨ කියැවීම රමදාන් මාසයේදී සිදු කෙරෙනවා.
රමදාන් මාසය තුල උදෑසන සහ බටහිර යාඥා අතරතුර (උපවාසය සිදු කෙරෙන කාලසීමාව ඇතුලත) කිසිදු ලිංගික සබඳතාවයක් නොපැවැත්විය යුතුයි.
ඒ වගේම රමදාන් මාසය තුල පරුෂ වචන කතා කිරීම, ශාප කිරීම, කේලාම් කීම, අපහාස කිරීම ආදියෙන් වැලකී උපරිම වාචික සංවරය පවත්වා ගැනීමට මුස්ලිම් වරු උත්සහ කරනවා.
රාමදාන් මාසය තුල කෝප ගැනීම සහ ද්වේෂ සහගත සිතුවිලි ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආත්මාරක්‍ෂාවට හැර කිසිම කෙනෙක්ට කායික හිංසාවක් නොකළ යුතුයි.
ඊද්
රමදාන් උපවාසය අවසන් වෙන්නේ "ඊද් අල්-ෆිත්.ර්" උත්සවයෙන්. එහිදී ප්‍රධාන වතාවත් දෙකක් සිදු කෙරෙනවා.
පළමුවැන්න "සකාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන දුප්පතුන් සඳහා දෙන දානයක්. මෙහිදී බොහෝ විට ලබා දෙන්නේ ධාන්‍ය වර්ග.
දෙවැන්න "සලාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන විශේෂ ඊද් යාඥාව. මෙය රමදාන් මාසයෙන් පසු එළැඹෙන පළමුවන දවසේ උදේ වරුවේ පැවැත්වෙනවා.
"ඊද් අල්-ෆිත්.ර්" උත්සවය විශේෂ කෑම වර්ග පිළියෙල කිරීමෙන් සමරනවා. ලංකාවේදී නම් වටලප්පන් වැනි ආහාර ඊද් උත්සවයේදී සුලභයි.