Monday, February 26, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 26 (හමේ රෝගය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හමේ රෝගය​


එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ඉතාම ලස්සන තරුණියක් ජීවත් වුනා. ඇය දීග යන වයසේ හිටියත්, තරුණයන් ගෙන් ලැබුන හැම විවාහ යෝජනාවක් ම ප්‍රතික්‍ෂේප කරා.

මේ කාලයේ හැම අවුරුද්දකම බංගලිදේසෙන් වෙළඳ නැව් පන්තියක් මාලේ දූපතට එනවා. එක දවාසක් තරුණිය හැන්දෑ වරුවක වරාය අසලින් යද්දි බංගලිදේසෙන් ආව නැවක හිටපු නාවිකයෙක් දැක්කා. මේ බංගලි ජාතික නාවිකයා දිවෙහි රාජ්ජේ වැසියෙක්ට වඩා උස කඩවසම් ශක්තිමත් අයෙක්. දැකපු ගමන් තරුණියගේ හිත ඔහුට ඇදිල ගියා. තරුණිය ඔහුට හිනාවක් පෑවා. තමා එක්ක හිනා වෙන මේ ලස්සන තරුණිය දැකපු බංගලි නැවියාගේ හිතත් ඇයට ඇදිලා ගියා. ඔවුන් දෙන්නා ප්‍රේමයෙන් බැඳුනා.

ඔවුන් දෙදෙනා හැමදාම හවසට මුණගැහිලා ලොකු අඹ ගහක් යට තිබුන බංකුවක වාඩි වෙලා ඉර බහිනකං බුලත් විට හපමින් අල්ලාප සල්ලාපයේ යෙදුනා.

ටික දවසකින්ම බංගලි ජාතිකයාට ආපහු සියරට බලා යන්න දවස ආව​. එදා හවස තරුණිය ඔහු හමුවෙන්න ආවම ඔහු බැරෑරුම් හඬකින් තරුණියට මෙහෙම කිව්වා.

"හෙට රෑ තමයි මම මෙහෙ ගත කරන අවසාන රැය​. අනිද්දා උදේම අපි ආපහු බංගලිදේසෙට යනවා. හැබැයි මම යන්න කලින් ඔයා මාව විවාහ කරගන්න පොරොන්දු වෙන්න ඕනෙ."

තරුණිය බොහොම කැමැත්තෙන් එකඟ වුනා. තරුණයා ප්‍රීතියෙන් පිනා ගියා.

"හොඳයි. මම හෙට හවස ඔයාගෙ ගෙදර එන්නම්. මම එනකොට ඇඳුම්, සුවඳ විලවුන් සහ කුළුබඩු අරගෙන එනවා. ඔයාගෙ අම්ම එක්ක මේක කතා කරල වැඩේ තීන්දු කර ගමු."

පහුවදා තරුණිය ගෙදරට වෙලා තරුණයා එනතුරු නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටියා. ඒත් ඔහු ආවෙ නෑ. තරුණිය බොහොම කනස්සල්ලට පත් වුනා. අඳුර වැටීගෙන එද්දි ඇගේ ඇස් කඳුලෙන් පිරුනා.


ඇයට එක පාරටම මතක් වුනා ඔවුන් හමුවෙන අඹ ගහ​.

"සමහරවිට එයා ගෙදර එන්නෙ නැතුව අඹ ගහ යටට යන්න ඇති"

ඇය ඊ ගහක් වගේ අඹ ගහ දිහාවට දුවගෙන ගියා. ඈත තියාම ඇය දැක්කා අඳුරේ බංගලි ජාතිකයා ගහ යට බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඇය හෙමින් හෙමින් එතැනට ගිහින් ඔහු ළඟින් වාඩි වුනා. ටික වෙලාවක් ඇය ඔහු ළඟ වාඩි වෙලා උන්නත් ඔහු වචනයක් වත් කතා කරේ නෑ.

තවත් ඉවසන්න බැරි තැන ඇය කටහඬ අවදි කලා.

"ඔයා මෙච්චර දවස් මාත් එක්ක බොහොම ආදරෙන් හිටියනෙ. ඇයි මේ අන්තිම දවසෙ මාත් එක්ක තරහ වෙලා?"

එහෙම අහන ගමන් ඔහු ඇගේ බාහුවට අත තිබ්බා.

අත තිබ්බ සැනින් ඇය භීතියෙන් සහ පිළිකුලෙන් පස්සට පැන්නා. ඒ අත සෙවලයි. කොරපොතු පිරිලා. ඇය තරුණයා දිහා හොඳට බැලුවා. ඒත් බංකුවේ වාඩි වෙලා හිටියෙ ඇගේ පෙම්වතා නෙවෙයි. ඉතාම පිළිකුල් සහගත ෆුරේතයෙක් (අමනුෂ්‍යයෙක්). උගේ මුළු ඇඟම සැරව ගලන ගඩු සහ සෙවල පෙරෙන කොරපොතු වලින් වැහිලා.




තොල් අතරින් උල් දත් යන්තම් පේන විදිහට දත් විළිස්සාගෙන​, ඇස් දෙක දොට්ට පනින තරම් ලොකු කරගෙන ෆුරේතයා ඇය දිහා බලාගෙන හිටියා.

එදා ඇත්තෙන්ම බංගලි ජාතිකයා​ එන්න සූදානම් වුනත්, නැවේ කපිතාන් ඔහුට යන්න අවසර දුන්නෙ නෑ. පහුවදා නැව ආපහු යාත්‍රා කරන්න සූදානම් කරන්න ඕන නිසා වැඩ ගොඩක් කරන්න තිබුනා. ඒ අවසරයෙන් ෆුරේතයෙක් ඔවුන් ගේ බංකුවේ වාඩිවෙලා.

තරුණිය ඇයට පුළුවන් තරම් වේගෙන් ආපහු ගෙදර දිව්වා. 

ගෙදර ආපු සැනින් ඇය තමාගේ කාමරයට ගිහින් ඇඳට පැනල මහා හඬින් අඬන්න පටන් ගත්තා. ඇගේ අම්මා කලබල වෙලා ලාම්පුවක් පත්තු කරගෙන ඇවිත් බැලුවා. තරුණියගේ ඇඟේ කුඩා ගඩු මතු වේගෙන එන බව ලාම්පුවේ මද එළියෙන් අම්මා දැක්කා.

දවස් ගානක් යනකං තරුණිය ඇඳෙන් බැස්සෙ නෑ. ඇය මුළු දවසම අඬමින් උන්නා. ඇයට කොයිතරම් ප්‍රතිකාර කරත් දවස් දෙක තුනක් යද්දි ගඩු පිපිරිල සැරව එළියට ආව​. ඇගේ මුළු ඇඟම සැරව පිරුණු වණයක් බවට හැරුනා. ගඩු පිපිරිච්ච තැන් විශාල තුවාල බවට පත් වුනා. ඒ තුවාල වලින් ඉවසන්න බැරි තරම් ගඳක් හැමුවා.

ඇගේ දරුණු රෝගය ගැන ආරංචි වුන අසල්වැසියන් නිලධාරීන්ට ඒ බව දැණුම් දුන්නා. නිලධාරීන් ඇවිත් ඇයව පරික්‍ෂා කරල ඇයව පිටුවහල් කරන්න නියම කලා.


ඇයව යැව්වේ මාලේ දූපතේ ගිණිකොන අන්තයේ තිබුන "ලොනුසියාරයික්කොලු" කියල හැඳින්වුන තැනකට. එතැනට නම ලැබුනේ "සියාරායි" කියල මුණිවරයෙක් ගෙ සොහොන පිහිටා තිබීම නිසා. එතැන ඝන කැලයෙන් වැසුන බිම් කඩක් තිබුනා. මිනිස්සු මුහුදු වෙරළ ළඟ ඇය වෙනුවෙන් කුඩා පැලක් හැදුවා. ඇය මේ පැලේ තනියම ජීවත් වුනා. ඇයව බලන්න එන්න අවසර තිබුනේ ඇගේ මවට විතරයි. ඇගේ මව හැමදාම කෑම සහ වතුර අරගෙන ඇවිත් ඇගේ තුවාල හෝදලා බෙහෙත් දැම්මා. නමුත් ටික කාලෙකින් අනෙක් අයට ඇය හිටියද කියලත් අමතක වුනා.

අවුරුද්දක් ගත වුනා. බංගලිදේසෙන් එන වෙළඳ නැව් පන්තිය ආපහු මාලේ වරායට සේන්දු වුනා. තරුණ බංගලි නාවිකයාත් ඒ පිරිස අතරෙ හිටියා. ඔහු බංගලිදේසෙන්, ඉන්දියාවෙන් සහ ලංකාවෙන් වටිනා තෑගි රැසක් මිලදී ගෙන හිටියෙ තරුණියගේ පවුලට ඒවා තෑගි කරල තරුණියට විවාහ යෝජනා කරන බලාපොරොත්තුවෙන්.

නැව නැංගුරම් ලන පරක්කුවෙන් ඔහු තරුණියගේ ගෙදර හොයාගෙන ගියා. එහිදී ඔහුට තරුණිය ගේ මව හමුවුනා.

"එයා එදා හවස ඔයා එනකං බලාගෙන හිටියා. ඔයා ආවෙ නැති නිසා එයා ඔයාව හොයන්න පිටත් වුනා. ආපහු ආවෙ හරිම කලබලෙන්. ඇඟ පුරාම ගඩු ඇවිත් තිබුනා. ඒත් ඒ ගැන වචනයක් වත් අද වෙනකං ඇය කිව්වෙ නෑ."

"මට ඇය හමුවෙන්න ඕනෙ"

"ඒක කරන්න බෑ. රජතුමාගෙ නිලධාරින් ඇයව කාටවත් හමුවෙන්න තහනම් කරල තියෙන්නෙ."


ඒත් තරුණ නාවිකයා අධෛර්‍යයට පත් වුනේ නෑ. ඔහු ලේසියෙන් පසු බසින කෙනෙක් නෙවෙයි. ඔහු එඩිතරයි. ඒ වගේම උදාර හදවතක් තිබුන කෙනෙක්. මාලේ කඩ වීදි ගානේ ඇවිදිමින් ඔහු මාලේ වැසියන් ගෙන් ඇහුව මාලේ දූපතේ හොඳම "ෆන්ඩිත" (යකැදුරා) ඉන්නෙ කොහෙද කියල. මිනිස්සු ඔහුව ෆන්ඩිත කෙනෙක් ගාවට අරගෙන ගියා. ඒ ෆන්ඩිත දිවෙහි රාජ්ජේ දකුණු දිග අතොළුවකින් ආව ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්.

තරුණ නාවිකයා ඔහුගේ ප්‍රශ්නය ෆන්ඩිත ට කිව්වා. තරුණයාගේ කතාවට ඉතාම හොඳින් ඇහුම්කන් දුන්න ෆන්ඩිත මෙහෙම කිව්වා.

"ඔබේ මිතුරියට හැදිල තියෙන්නෙ සාමාන්‍යය ලෙඩක් නෙවෙයි. මොකෙක් හරි බලගතු අමනුෂ්‍යයෙක් ඇයට බැල්ම දාගෙන ඉන්නවා. ඌ ඇයව නිදහස් කරන්නෙ නෑ."

තරුණයා තමාගේ පෙම්වතිය සුවපත් කරල දුන්නොත් විශාල මුදලක් ෆන්ඩිතට දෙන්න​ පොරොන්දු වුනා. ෆන්ඩිත තරුණයා දිහා හොඳින් බැලුවා. ඔහු දැක්කා තරුණයා ගේ එඩිතර බව සහ අවංක කම​. ඔහු මේ බාරදූර වැඩේට අතගහන්න කැමති වුනා.

 "මේක ලේසි සෙල්ලමක් නෙවෙයි. මට වැඩේ වරදින්නත් පුළුවන්. වැඩේ හරිගියොත් විතරක් සල්ලි දෙන්න​."

ෆන්ඩිත වැඩේ බාර ගැනීම ගැන තරුණ නාවිකයා ප්‍රීතියෙන් ඉපිල ගියා.

"අපි දැන් මොකද කරන්න ඕනෙ?"

"අපිට ඕනෙ ශක්තිමත් මිනිස්සු දොළොස් දෙනෙක්. ඔවුන්ට "අවෙලි" (හුණුසල්) වලින් හදපු හොඳ කෑම වේලක් දෙන්න ඕනෙ. ඔවුන් හොඳට කෑවොත් ඔවුන් බියපත් වෙන එකක් නෑ. ඊට පස්සෙ අපි ඔවුන්ට "කුරෙදි" ලීයෙන් හදපු හොඳ සවිමත් පොලු දොළහක් දෙන්න ඕනෙ. උඹ මේ පොලු ගත්ත මිනිස්සු දොළොස් දෙනා එක්ක ගෑණු ළමය ඉන්න කැලෑව ළඟට අද රෑ ඉර බැස්සට පස්සෙ එන්න ඕනෙ. මම උඹලව එතනදි හමු වෙන්නං"


එදා හවස තරුණයා මාලේ කඩපිල් වල ඇවිදලා ශක්තිමත් මිනිස්සු දොළොස් දෙනෙක් තෝර ගත්තා. ඊට පස්සෙ ඔහු හුණුසල් වලින් බතක් උයල ඔවුන්ට බඩපිරෙන්න කන්න දුන්නා. ඊට පස්සෙ කුරෙදි ලීයෙන් හදපු පොල්ල බැගින් ඔවුන් අතට දුන්නා. ඉර බහිද්දිම ඔහු තමාගේ සගයන් දොළොස් දෙනා එක්ක තරුණිය ඉන්න කැලෑව අද්දරට ආව​.

ෆන්ඩිත ඒ වෙනකොටත් එතැනට ඇවිල්ලා හිටියෙ. ඔහු තමාගෙ "මස්දයිෆ්ෆියෝහි" පිහිය අතට අරගෙන පිරිසේ පෙරමුණ ගත්තා.

"මේ පිහිය මම අතේ තියෙනකං මොන අමනුස්සයෙක්ටවත් අපි කාටවත් අනතුරක් කරන්න බෑ"



ඔවුන් නිහඬවම ලොනුසියාරයික්කොලු කැලයට ඇතුල් වුනා. ටික වෙලාවකින්ම ඔවුන්ට ලාම්පුවක එළියෙන් යන්තම් ආලෝකමත් වුන පැල්කොටය පේන්න පටන් ගත්තා. ෆන්ඩිත අනිත් අයට නවතින්න සංඥා කරා. ඔහු රහසින් පිරිසට කිව්වා මොන දේ වුනත් බය නොවෙන ලෙසත්, ඔහු ගේ සංඥාව ලැබුන වහාම කිසි දෙයක් හිතන්නෙ නැතුව පහර දෙන්න පටන් ගන්න ලෙසත්.

ඔවුන් කැලේ අස්සෙ ඉඳගෙන පැල දිහාව නිහඬව බලාගෙන හිටියා. කිසි කෙනෙක් වචනයක් වත් කියන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන්ට ඇහුනේ මුහුදේ රළ බිඳෙන සද්දෙ විතරයි.



සෑහෙන වෙලාවක් මෙහෙම බලාගෙන ඉන්නකොට ඔවුන් දැක්කා ඈත අඳුරු ඡායාවක් වගේ පේන හුලුල්ලේ දූපතේ වෙරළේ කවුදෝ ඇවිදිනවා. ටිකකින් ඒ ඇවිදපු දෙය වෙරළේ නතර වුනා. ඊට පස්සෙ ඒක ටික ටික උසෙන් වැඩි වෙන්න පටන් ගත්තා. පිරිස අඳුන ගත්තා ඒ ෆුරේතයෙක් බව​. උගේ දෙපය හුලුලේ දූපතේ තියෙද්දිම කඳ ටික ටික දික් වෙලා මාලේ දූපත දිහාවට ඇදෙන්න පටන් ගත්තා. ටිකකින් උගේ ඔලුව තරුණියගේ පැල ට ළං වුනා. දැන් ෆුරේතය ගේ ඔලුව පැල ළඟ​. දෙපය හුලුලේ දූපතේ වෙරළේ. කඳ මුහුද උඩින්.

ෆුරේතයා ඔලුව පැල ඇතුලට දැම්මා. එතකොටම ෆන්ඩිත සංඥාව දුන්නා.


පිරිස එකා වගේ කුරෙදි පොලුත් අරගෙන ඉස්සරහට පැන්නා. ඔවුන් ෆුරේතයාට දිගට හරහට පහර දුන්නා. ඒ එක්කම ෆන්ඩිත තමාගෙ පිහියෙන් ෆුරේතයා ගෙ ඔලුවට ඇන්නා. පිහි පාරත් එක්ක ෆුරේතයා අඩපන වුනා. ඌට දිගටම පොලු පාරවල් වැදුනා. ෆුරේතයා මෙල්ල වුනා කියල ෆන්ඩිතට තේරුනාම ඔහු පිහිය ආපහු ඇදල ගත්තා. එතකොටම ෆුරේතයා ආපහු හුල්ලේ දූපතට පැනලා ගියා.

ෆුරේතයා ගියාට පස්සෙ ඔවුන් පැලට ඇතුල් වෙලා බැලුවා.

තරුණිය බොහොම ශාන්ත විදිහට නිදාගෙන හිටියා. ඇගේ ගඩු එකක් වත් පේන්න තිබුනෙ නෑ. ඇගේ හම ඉස්සර වගේම බොහොම ලස්සනට තිබුනා. තරුණ නාවිකයා ඇය නිදාගෙන ඉද්දිම ඔසව ගත්තා. පිරිස ආපහු ආව​.

ඔවුන් තරුණිය ගෙ ගෙදරට එද්දිත් තරුණිය නිදි.

පහුවදාම බංගලි තරුණයා සහ තරුණිය විවාහ වුනා. ඔහු නාවික රස්සාවට සමු දීලා මාලේ නගරයේ වෙළඳසැලක් පට්න් ගත්තා.

ඔවුන් බොහොම දිග කාලයක් සතුටින් ජීවත් වුනා෴




- කතාව කිව්වේ හුසේන් කොයිබේ (හොලුදූ දූපත​, දකුණු මිලදුම්මදුළු අතොළුව​)

අටුවාව​

1. බංගලි වෙළඳ නැව්

ඉස්සර කාලේ මාලදිවයින ගමනාන්තය කරගෙන වෙළඳ නැව් ආවෙ නෑ. අරාබිය​, අප්‍රිකාව, ඉන්දියාව සහ ලංකාව අතර ගමන් කරපු වෙළඳ නැව් මාලේ වරාය අතරමග නැවතුම් පොළක් විදිහට යොදා ගත්තා. බොහෝ වෙලාවට වුනේ මාලදිවයිනේ වැසියෝ වෙනත් රටවලට යාත්‍රා කරල වෙළඳාම් කරපු එක​. නමුත් බංගලිදේසෙ ඉඳල හැම අවුරුද්දෙම වෙළඳ නැව් පන්තියක් මාලේ වරායට ආවා. බංගලිදේසෙ තමයි මාලදිවයින ගමනාන්තය කරගෙන වෙළඳ නැව් එවපු එකම රට​.

2. පිටුවහල් කිරීම​

ඉස්සර කාලෙ දිවෙහි රාජ්ජේ වැසියන්ට දරුණු බෝවෙන රෝගයක් හැදුනම මිනිස්සු ජීවත් නොවෙන දූපත් වලට ගෙනිහින් දාන සිරිතක් තිබිලා තියෙනවා. රෝගය සුව වෙනකන් ඒ දූපතේ තනියම ජීවත් වෙන්න ඕනෙ. රෝගියාගේ නෑදෑ හිත මිතුරන් ඉඳහිට කෑම බීම අරගෙන ඒ දූපතට යනවා. ලාදුරු සහ සමේ රෝග හැදුන අය තමයි වැඩිපුරම මේ ඉරණමට ගොදුරු වුනේ. මාලේ වගේ ලොකු දූපතක නම් වෙනම දූපතක් වෙනුවට දූපතේම කවුරුත් පදිංචි නොවුන පාළු කොණක් මේ සඳහා භාවිතා වුනා. දූපත් වල එකිනෙකාට ඉතා ළඟින් ජීවත් වෙද්දි බෝවෙන රෝග පිළිබඳ නිරන්තර බයකින් තමයි දිවෙහි රාජ්ජේ වැසියන් ඉඳල තියෙන්නෙ.

3. ලොනුසියාරයික්කොලු

මාලේ දූපතේ ගිණිකොන කෙලවර ඉස්සර කාලෙ හැඳින්වුනේ මේ නමින්. ඒ සියාරායි කියන මුණිවරයෙක් ගෙ සොහොන පිහිටා තිබීම නිසා. ඉස්සර මේ හරිය ඝන කැලෑවක්. වර්තමානයේ මෑතක් වනතුරු මෙතැන "හෙනෙවේරු" නමින් හැඳින්වෙන උද්‍යානයක් තිබුනා. නමුත් ළඟදී ඒක එතැනින් ඉවත් කරල. මාලදිවයිනේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටි හුලුලේ දූපතට මේ කොණේ ඉඳල තියෙන්නෙ කෙටි දුරක්.

4. ෆන්ඩිත​

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.

5. කුරෙදි

ඉතාමත් ශක්තිමත් ලී සහිත ගහක්. තරමක් පොඩි පඳුරු විදිහට තියෙන මේ ගස් සිංහලෙන් "කෙරල​" කියල හැඳින්වෙනවා. වගුරු බිම් සහ වෙරළාශ්‍රිතව තමයි බහුලව වැවෙන්නෙ. මන්තර ගුරුකම් වලට බහුලව යොදා ගන්න ලීයක්.

6. මස්දයිෆ්ෆියෝහි

"මස්දයිෆ්ෆියෝහි" කියන දිවෙහි වචනයේ තේරුම "මාළු දත් පිහිය​". මේ නමින් හැඳින්වුනේ ෆන්ඩිත ල පාවිච්චි කරපු විශේෂ පිහි වර්ගයක්. මේ පිහියේ මිට තල්මස් දත් වලිනුත්, තලය ලෝහ වර්ග හතක් මිශ්‍ර කරල හදපු මිශ්‍ර ලෝහයකිනුත් හදල තිබුනා.

7. හුලුලේ දූපත​

හුලුලේ දූපත තමයි මාලේ දූපතට කිට්ටුවෙන්ම පිහිටි දූපත​. මේක අතීතයේ මිනිස්සු වාසය නොකළ දූපතක්. අඳුරු, ගුප්ත මැසි මදුරුවන් ගෙන් පිරුණු මේ දූපත දිහා මාලේ වැසියන් බැලුවෙ බයෙන් සහ සැකයෙන්. වර්තමානයේ හුලුලේ දූපතේ තමයි මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවතොටුපොළ පිහිටල තියෙන්නෙ. ලොනුසියාරයික්කොලු කැලේ පිහිටි තැන ඉඳල හුලුලේ දූපතට දුර කිලෝමීටර එකහමාරක් විතර​.



Saturday, February 24, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 25 (රෝනු එදුරු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 රෝනු එදුරු (කොහු ලණු ගුරුන්නාන්සේ)


එකෝමත් එක කාලෙක මාලෙ දූපතේ මනුස්සයෙක් වාසය කළා. ඔහු දවසක් දැක්කා තමාගෙ ගෙදර දකුණු පැත්තෙ හෙවනැල්ල අවුරුද්දේ කාලයත් එක්ක වෙනස් වෙන බව​. ඔහු මේ ගැන ගොඩක් කල්පනා කරා. අන්තිමේදී ඔහු මේ සංසිද්ධිය වඩා හොඳට නිරීක්‍ෂනය කරන්න උපායක් යෙදුවා.

ඔහු ගෙදර මිදුලෙ හොඳට අව්ව වැටෙන තැනක කෝටු දෙකක් හිටෙව්වා. ඊට පස්සෙ කෝටු දෙක අතරෙ කොහු ලණුවක් ගැට ගැහුවා. ඒ ලණුව නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේ තියෙන විදිහට​. ඊට පස්සෙ ඔහු හැමදාම හෙවනැල්ල වෙනස් වෙන විදිහ නිරීක්‍ෂනය කරා. ඒ අනුව ඉරේ ගමන් මාර්ගය වෙනස් වෙන හැටි දැනගන්න ඔහුට පුළුවන් වුනා.

ඔහු දැක්කා අවුරුද්දේ දවසත් එක්ක හෙවනැල්ල වැටෙන තැන වෙනස් වෙන හැටි. හෙවනැල්ල වඩාත්ම දකුණට යන්නේ "දොෂ" සහ "මුල" "නකායි" වලදී බව (දිවෙහි රාජ්ජේ දින දර්ශකයේ එන කාල පරිච්ඡේද​). ඔහු එතැන ගල් කැටයකින් ලකුණු කරා. ඒ වගේම හෙවනැල්ල වඩාත්ම උතුරට යන්නේ "මියහෙලි" සහ "අද​" "නකායි" වලදී බවත් ඔහු දැක්කා. ඔහු එතැනත ගල් කැටයකින් ලකුණු කරා.

ටික කාලයකින්ම ඔහුට අවුරුද්දේ ඕනම දවසක ඉර තියෙන්නෙ කොතැනද කියල හරියටම කියන්න පුළුවන් කම ලැබුනා.

ඒ එක්කම ඔහුගේ ඔළුවට මහන්තත්ත කමක් ආවා. ඔහු හිතුවේ ඔහු මහා සොයාගැනීමක් කරා කියල​. ඔහු අවස්ථාව ලැබුන හැම වෙලාවකම තමාගෙ සොයාගැනීම ගැන මහ ඉහළින් පාරම් බෑවා. තමා "එදුරු" (ගුරුන්නාන්සේ) විදිහට හඳුන්වා ගත්තා. ටික කාලෙකින්ම අදාල නැති තැන් වලදිත් තමාගේ සොයාගැනීම ගැන කියවන්න ඔහු පුරුදු වුනා.

ඒ විතරක් නෙවෙයි, තමා නොදන්නා දේවල් ගැනත් දන්නව වගේ කියවන්නත් ඔහු පුරුදු වුනා.

ටික කාලයක් යද්දි මිනිස්සුන්ට මේ මනුස්සයගෙ කියවිල්ල කරදරයක් වුනා.

ඔවුන් ඔහුට "රෝනු එදුරු" (කොහු ලණු ගුරුන්නාන්සේ) කියල නමක් පටබැන්දා.

අදටත් කවුරු හරි කෙනෙක් තමා දන්න ටික මහා ගොඩක් වගේ පෙන්නල පුරසාරම් දොඩවද්දි හරි නොදන්න දෙයක් ගැන දන්නව වගේ කියවද්දි දිවෙහි රාජ්ජේ වැසියෝ එයාට කියන්නෙ "රෝනු එදුරු" කියල​

- කතාව කිව්වේ බෂිමාගේ මුහම්මදු රෂීදු (මාලේ දූපත​)

අටුවාව​

1. දිවෙහි රාජ්ජේ දින දර්ශකය​
දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ ජීවිතය එකට ගැටගැහිල තියෙන්නෙ මෝසම් සුළං සහ මෝසම් වැහි එක්ක​. ඒ නිසා ඔවුන් ගේ සාම්ප්‍රදායික දින දර්ශකය හැදිල තියෙන්නෙ මෝසම් සුළඟේ වෙනස්කම් අනුව​.

ඔවුන් මුලින්ම අවුරුද්ද කොටස් දෙකකට බෙදුවා. ඒ ඉරුවයි සහ හුළංගු කියල​. ඉරුවයි කියන වචනයේ තේරුම "ඊශාන".ඉරුවයි අයිති වෙන්නෙ ඊශාන දිග මෝසමට​. හුළංගු කියන වචනයේ තේරුම "බටහිර​". හුළංගු අයිති වෙන්නෙ නිරිත දිග මෝසමට​.

ඊළඟට ඔවුන් මේ කාල පරිච්ඡේද දවස දහතුනේ ඒකක වලට කැඩුවා. ඒ එක ඒකකයක් හැඳින්වුනේ "නකායි" කියල​. නකායි කාලයක් තරු රාශියක් එක්ක සමපාත වෙනවා. නකායි කාල වල කාලගුණය තියෙන්නෙ එක විදිහට කියල ඔවුන් නිරීක්‍ෂනය කරා. මුහුදේ හැසිරීම සහ ධීවර කර්මාන්තයට සුදුසු - නුසුදුසු බව ඔවුන් ඒ අනුව තීරනය කලා.


 ඉරුවයි පටන් ගන්නෙ දෙසැම්බර් 10 වෙනිදා. ඉරුවයි වලට අයත් නකායි එන්නෙ මේ විදිහට :

දෙසැම්බර් 10 - දෙසැම්බර් 22 : මුල
දෙසැම්බර් 23 - ජනවාරි 5 : ෆුරහල

ජනවාරි 6 - ජනවාරි 18 : උතුරුහල
ජනවාරි 19 - ජනවාරි 31 : හුවාන්
පෙබරවාරි 1 - පෙබරවාරි 13 : දිනෂ
පෙබරවාරි 14 - පෙබරවාරි 26 : හියවිහ

පෙබරවාරි 27 - මාර්තු 11 : ෆුරබදුරුව
මාර්තු 12 - මාර්තු 25 : ෆස්බදුරුව
මාර්තු 26 - අප්‍රේල් 7 : රේව


හුළංගු පටන් ගන්නෙ අප්‍රේල් 8 වෙනිදා. හුළංගු වලට අයත් නකායි එන්නෙ මේ විදිහට :

අප්‍රේල් 8 - අප්‍රේල් 21 : අස්සිද​
අප්‍රේල් 22 - මැයි 5 : බුරුනු
මැයි 6 - මැයි 19 : කේති
මැයි 20 - ජූනි 2 : රෝනු
ජූනි 3 - ජූනි 16 : මියහෙලියා
ජූනි 17 - ජූනි 30 : අද​
ජූලි 1 - ජූලි 14 : ෆුනෝස්
ජූලි 15 - ජූලි 28 : ෆුස්
ජූලි 29 - අගෝස්තු 10 : අහුලිහ​
අගෝස්තු 11 - අගෝස්තු 23 : මා
අගෝස්තු 24 - සැප්තැම්බර් 6 : ෆුර​
සැප්තැම්බර් 7 - සැප්තැම්බර් 20 : උතුර​
සැප්තැම්බර් 21 - ඔක්තෝබර් 3 : අත​
ඔක්තෝබර් 4 - ඔක්තෝබර් 17 : හිත​
ඔක්තෝබර් 18 - ඔක්තෝබර් 30 : හේ
නොවැම්බර් 1 - නොවැම්බර් 13 : විහ​
නොවැම්බර් 14 - නොවැම්බර් 26 : නොර​
නොවැම්බර් 27 - දෙසැම්බර් 9 - දොෂ​


2. එදුරු
එදුරු කියන්නෙ අතීතයේ ගුරුවරයා කියන එකට පාවිච්චි වුන දිවෙහි වචනය​. වර්තමානයේ මේ වචනය පාවිච්චි වෙන්නෙ නෑ. මේක ගුරුන්නාන්සේ කියල පරිවර්තනය කරන්න පුළුවන්.

Friday, February 23, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 24 (මුරංගාගස්දෝෂුගේ මාලිමි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 මුරංගාගස්දෝෂුගේ මාලිමි (මුරුංගා ගහ යට නියමුවා)


එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ජීවත් වුනා මාලිමි කෙනෙක් (නියමුවෙක්). ඔහුගේ ගෙදර පිහිටල තිබ්බෙ මුහුදු වෙරළ ළඟමයි.

ගෙදර මිදුලෙ ලොකු මුරංගා (මුරුංගා) ගහක් තිබුනා. මාලිමි ගෙ බිරිඳ ගහේ කොළ සහ කරල් නිතර උයන්න ගත්ත නිසා ගහේ වැඩිපුර තිබුනෙ අතු ඉපල් විතරයි. ඒක මාලිමි ගෙ වැඩවලට ලොකු උදව්වක් වුනා. මොකද ඔහුට අතු අස්සෙන් පැහැදිලිව අහස පෙනුන නිසා.

මාලිමි ගෙ ප්‍රියතම රාජකාරිය වුනේ මුරුංගා ගහ යට වාඩි වෙලා ඔහුගේ මාලිමාව සහ ෂෂ්ඨකය (sextant) අරගෙන මැනීම් කරන එක​. ඔහු ළඟ නිතරම ගණිත වගු සහ ලඝු චක්‍ර තිබුනා. ඔහු දවස තිස්සෙම මාලිමාවෙන් සහ ෂෂ්ඨකයෙන් මිනුම් අරගෙන වගු දිහා බල බල ගණනය කිරීම් කරා.

මේ මාලිමිට ඔහුගේ වැටට උඩින් පේන ක්‍ෂිතිජය දිහා බලල ස්ථානයක පිහිටීම ඉතාම නිවැරදිව කීමේ හැකියාව තිබුනා. ඒ වගේම දවල් කාලයේදී ඉර දිහා බලලත්, රාත්‍රී කාලයේ තරු දිහා බලලත් අක්‍ෂාංශ දේශාංශ හරියටම ගණනය කරන්න ඔහුට පුළුවන් කම තිබුනා.

ඔහුගේ මුරුංගා ගහ වැටෙන දේශාංශය ඔහු අංශක - කලා - විකලා වලට ඉතාම නිවැරදිව ගණනය කරන්න ඔහුට පුළුවන්. දවසේ වෙලාව බලා ගන්න ඔහුගේ ගෙදර ඔරලෝසුව හැම වෙලේම තෙල් දාල වයින් කරල ඉතාම නිවැරදිව වෙලාව දක්වන විදිහට සකස් කරල තිබුනා.

හැබැයි ඔහු නැවක ගමන් කරද්දි ඔහු කලබල වුනා. ඔහුගේ ගණනය කිරීම් ඔක්කොම වැරදුනා. කවදාවත් නැව නියමිත ගමනාන්තයට යොමු කරන්න ඔහුට බැරි වුනා.

හැබැයි තමාගෙ ගෙදර මිදුලෙ මුරුංගා ගහ යටදී නම් ඔහු තමයි ලෝකෙ හොඳම මාලිමි.

පොතේ දැණුම විතරක් තියෙන​, ප්‍රායෝගිකව වැඩක් කරගන්න බැරි කෙනෙක් දැක්කම දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "මුරංගගස්දෝෂුගේ මාලිමි හෙන්" (මුරුංග ගහ යට මාලිමි වගේ) කියල​෴


- කතාව කිව්වේ බෂිමාගේ මුහම්මදු රෂීදු (මාලේ දූපත​)

අටුවාව​

1. නියමුවා
නැවක නියමුවා හෙවත් "navigator" ගේ කාර්‍යය වෙන්නේ නැවට මග පෙන්වීම​. මේ සඳහා ඔහු ඉර සහ තාරකා යොදා ගන්නවා. නියමුවා ගණිත ශාස්ත්‍රයේ ඉතා දක්‍ෂයෙක් වෙන්න ඕනේ. නැවක සියළු දෙනාගේම ජීවිතය රඳා පවතින්නේ නියමුවා අතේ නිසා ඔහු ඉතාම වැදගත් පුද්ගලයෙක් විදිහටයි සැලකුනේ. දිවෙහි බසින් නියමුවා හඳුන්වන්නේ "මාලිමි" කියලා. ඒ ඔහු පාවිච්චි කරන මාලිමාව ඇසුරෙන්.

2. මුරංගා
මුරංගා කියල දිවෙහි බසින් හැඳින්වෙන්නෙ මුරුංගා ගහ​. කටුක දේශගුණයක් සහිත මාලදිවයිනේ හැදෙන ගස් වර්ග අතළොස්සෙන් එකක් තමයි මුරුංගා. කෑමට වගේම ඖෂධයක් විදිහටත් මුරුංගා යොදා ගත්තා. අතීතයේ මාලදිවයිනේ ගෙදරක මිදුලෙ මුරුංගා ගහක් තිබීම සුලබ දෙයක්.

Tuesday, February 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 23 (අරුෆ්ෆන්නෝ ෆුරේත​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


අරුෆ්ෆන්නෝ ෆුරේත (අරුෆ්ෆන්නෝ හි පෙරේතයා)



බොහොම ඉස්සර කාලෙ දවසක් ෆුවා මුලාකු දූපතේ බටහිර වෙරළේ අරුෆ්ෆන්නෝ කියල හැඳින්වෙන වරාය ළඟින් ෆුරේතයෙක් (අමනුෂ්‍යයෙක්) ගොඩබිමට ආවා.

ඌ ගොඩබිමට එන හැටි ඒ අසල මුහුදේ මාළු දැල් එලමින් සිටි මිනිස්සු වගයක් දැක්කා. ෆුරේතයා පෙනුනේ කොරල් පරය උඩින් ඇදෙන විශාල අපැහැදිලි ගිනි දළුවක් වගේ.

ෆුරේතයා ගොඩබිමට රිංගගෙන දවල් කාලයේ හැංගිලා හිටියා. අසල තිබුන දිගුවාන්ඩු ගම තමයි ඌ ගොදුරු බිම හැටියට තෝර ගත්තෙ. රෑට රෑට ඌ එළියට ආවා. ගම් මැද්දට ගිහින් තනියම එළි පහළියට යන මිනිස්සු මරල ලේ බිව්වා. ගෑණු, පිරිමි, ළමයි ගොඩක් දෙනෙක් ෆුරේතයට බිලි වුනා. මිනිස්සු දිගුවන්ඩු ගම අත ඇරල යන්න පටන් ගත්තා.

ෆුවා මුලාකු දූපතේ හිටියා බොහොම ප්‍රසිද්ධ ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්). ඔහුගේ නම එදුරුතක්කාන් ගේ මුහම්මද් ඩීඩී. ඔහුට මේ කතාව ආරංචි වෙලා දිගුවාන්ඩු ගමට ආව​. ඔහු කොරල් පරයට ගිහින් දවල් රෑ ගණනාවක් එක දිගට මන්තර ගුරුකම් කරා.

ඒත් ෆුරේතයා දිගටම මිනිස්සු මැරුවා.

එක දවසක් මුහම්මද් ඩීඩී ඉතාම බලගතු ගුරුකමක් කරා. ෆුරේතයා ඒ ගුරුකමට අහුවුනා. ඌ ලොකු කොරල් ගලක් බවට හැරුනා.

මේ කොරල් ගල අදත් ෆුවාමුලාකු දූපතේ අරුෆ්ෆන්නෝ වරාය ළඟ තියෙනවා. එතැන කොරල් පරය පැතලියි. නමුත් එක කොරල් ගලක් විතරක් කැපී පේන විදිහට ඉහළට නෙරලා ඇවිත් තියෙනවා. ඒ තමයි ෆුරේතයා.

මිනිස්සු ඒකට කියන්නෙ "ෆුරේත ගල්" (පෙරේත ගල​). ඒ ගලට කවුරු හරි යකඩයකින් හයියෙන් පාරක් ගැහුවොත් රතුපාට දියරයක් ගලෙන් එළියට එනවා. ඒ ෆුරේතය ගෙ ලේ කියලයි මිනිස්සු කියන්නෙ෴


ෆුරේත ගල් (පෙරේත ගල​) - ඡායාරූපය අහ්මද් නයිෆ්
- කතාව කිව්වේ මාරියම් ෆාරුගු (ෆුනාදු, ෆුවා මුලාකු දූපත​)

මාරියම් ෆාරුගු කියන්නෙ මාලදිවයිනේ ඉතාමත් ප්‍රසිද්ධ උගතෙක් සහ ලේඛකයෙක් වන මාගීදුරු ගේ ඊබ්‍රහිම් ඩීඩී ගේ මිනිපිරියක්.

දිවෙහි රාජ්ජේ ජනකතා - 22 (උකුණුමනා සහ ලීමනා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 උකුණුමනා සහ ලීමනා


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක කෙල්ලො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගෙ ඔළුවෙ උකුණො පිරිලා. මිනිස්සු එයාට කිව්වෙ "උකුණුමනා" කියල​. අනිත් එක්කෙනා ගෙ ඔළුවෙ ලේඬි පිරිලා. මිනිස්සු එයාට "ලීමනා" කිව්වා.

මේ කෙල්ලො දෙන්න හරිම කම්මැලියි. නාල තෙල් ගාල කොණ්ඩෙ පිරිසිදුවට තියාගන්න කිසිම උනන්දුවක් නෑ. කොණ්ඩෙ පීරන්නෙ නෑ. ඉතින් දෙන්නෙගෙම කොණ්ඩ වල උකුණු සහ ලේඬි හොඳට බෝ වුනා.

කෙල්ලො දෙන්නගෙ ප්‍රියතම රාජකාරිය වුනේ පැත්තක වාඩි වෙලා එකිනෙකාගේ කොණ්ඩ වලින් උකුණො සහ ලේඬි ඇහිඳින එක​. ඇහිඳගත්ත උකුණා හෝ ලේඬියව මහපට ඇඟිලි දෙකේ නියපොතු වලට තද කරල පොඩි කරන්න මේ දෙන්න පුරුදු වෙලා හිටියා. එතකොට ඇහෙන "ටික්" සද්දෙට මේ දෙන්න හරි ආසයි.

මේ නිසා මේ දෙන්නගෙ කොණ්ඩෙ හැම වෙලේම අවුලක්. අත් වල ලේ පැල්ලම් සහ වේලිච්ච උකුණු සහ ලේඬි කෑලි. බලන්න අප්පිරියයි.


මේ දෙන්න උදේ ඉඳන් රෑ වෙනකං කරේ උකුණො ඇහිඳින එක​.

දූපතේ අනිත් වැඩිහිටි කාන්තාවෝ මේ දෙන්නට නිතරම අවවාද කලා. ඒ වුනාට මේ දෙන්නෙ නෙවෙයි ඒව කනකට වත් ගත්තෙ. හැම වෙලේම මිනිස්සු තමන්ට අවවාද කරන එක මේ දෙන්න සැලකුවේ කරදරයක් විදිහට​.

එක දවසක් උකුණුමනා යි ලීමනා යි මුහුදු වෙරළේ ඉන්නකොට ඔවුන් දැක්ක වෙරළේ හැඩය වෙනස් වෙලා "කන්දොබිස්සාවැලි" (කුඩා වැලි පරයක්) හැදිල තියෙන බව​.

"අපි දෙන්න අර වැලි පරයට යමු. එතන උකුණො බලන්න හොඳ තැනක් වගේ"

උකුණුමනා ලීමනා ට කිව්වා.

"ඔව් ඔව්. එතනට වෙලා කාගෙන් වත් කරදරයක් නැතුව උකුණො බලන්න පුළුවන් වෙයි"

ලීමනා එකපාරටම එකඟ වුනා.

වැලිපරය හැඩකාර විදිහට වක් වුන ලස්සන සුදු වැලි තීරයකින් ගොඩබිමට යා වෙලා තිබ්බා. ඒක දෙපැත්තෙම ලානිල් පාට නිශ්චල මුහුද​. වැලි තීරය කෙළවර පොඩියට වැලි පරය තිබුනා. උදේ නිසා වැලි රත් වෙලා තිබ්බෙ නෑ. යන්තම් උණුසුමක් තිබුනා. මුහුදු හුළඟ සීතලයි. හරිම සනීපයි.

කෙල්ලො දෙන්නා සනීපෙට වැල්ල උඩ දිගෑදිලා උකුණො බලන්න පටන් ගත්තා.

වඩදිය නැගගෙන ආවා. වැලි තීරය හෙමින් මුහුද විසින් ගිල ගත්තා. වෙරළේ හිටිය මිනිස්සු වගයක් කෙල්ලො දෙන්නට කෑ ගහල කතා කරත් ඔවුන් දෙන්නට ඒක ඇහුනෙ නෑ.

ටික ටික වැලි පරය වහගෙන මුහුද ඉහළ නැගුනා. කෙල්ලො දෙන්න ඒක දකිනකොට වැලි පරය සම්පූර්නයෙන්ම යට වෙලා ඉවරයි. ආපහු වෙරළට එන්න විදිහක් තිබුනෙ නෑ. කෙල්ලො දෙන්න මුහුදට යටවෙලා යන හැටි වෙරළේ හිටපු මිනිස්සු අසරණ වෙලා බලාගෙන හිටියා෴


- කතාව කිව්වේ කතීබු ගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවාන්ඩු ගම​, ෆුවා මුලාකු දූපත​)

අටුවාව

1. කන්දොබිස්සාවැලි
හදිසියේ ඇති වෙලා හදිසියේ නැති වෙලා යන පොඩි වැලි පර​. කුණාටුවක් නිසා මේ වැලි පර හැදෙන්න පුළුවන්. තරමක් දුර්ලභ සිද්ධියක් වශයෙන් තමයි කන්දොබිස්සාවැලි සැලකෙන්නෙ. බිස්සොවැලි කියල හැඳින්වෙන ස්ථිර වැලි පර වර්ගයකුත් තියෙනවා. ඒවා හැදෙන්න වගේම නැති වෙන්නත් දීර්ඝ කාලයක් යනවා.


Thursday, February 8, 2018

උමා ඔය කතා වස්තුව​


මම මේ උඹලට කියන්න යන්නෙ දේව රහසක් බොලව්. මේක මම දැනගෙන දැං අවුරුද්දක් හමාරක් විතර වෙනවා. මේක උඹලට කියනවද නැද්ද කියල දහ අතේ කල්පනා කොරල අන්තිමේදි උඹලට කියනව කියල කල්පනා කොරේ එහෙම නොකිව්වොත් ඒක ජාතියට කරන ද්‍රෝහි කමක් නිසා.

ඉරානෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල පටන් ගත්තෙ 1950 ගණං වල​. ඒත් අවුරුදු 50 විතර ගිහිල්ලත් න්‍යෂ්ටික බලාගාරයක්, මිසයිලයක් තියා වඳුරු පඩයක් වත් හදා ගන්න උන්ට බැරි වුනා.

ඔහොම ඉන්නකොට ඉරාන රජයේ ඔත්තු කාරයෙක් අතට පත් වෙනවා ඉතාම පැරණි ශිෂ්ඨාචාරෙක රහස් වගයක්. මේ ශිෂ්ඨාචාරෙ තමයි ලෝක ඉතිහාසෙටම තිබ්බ දියුණුම ශිෂ්ඨාචාරෙ. හැබැයි දැන් ඒක කාලයේ වැලි තලාවට යටවෙලා ගෙහුං. තොපි දන්නවද ඒක තිබ්බෙ කොහෙද කියල​? වෙන කොහෙවත් නෙවෙයි බොලව් මේ ලංකාවෙ. අපේ රාවණා මහ රජ්ජුරුවන් ගෙ රාජධාණිය​.

ආඩම්බරයි නේද බොලව්? ඇඟේ මයිල් කෙලිං වුනා නේද බොලව්?

ඉතිං මේ ඉරාන කාරය හොයල බැලුව මේ රහස් තියෙන්නෙ කොහෙද කියල​. ඒව තියෙන්නෙ රාවණා රජ්ජුරුවන් ගෙ අඩවියේ. ඒ කිව්වෙ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමෙ. ඌවෙ. ඌවෙ පොළව යට එහෙම් පිටින්ම පිරිල තියෙන්නෙ රාවණා රජ්ජුරුවන් ගෙ තාක්‍ෂනයෙන් සහ එතුම ගෙ වස්තුවෙන්.

ඉතිං දැං මේක තිබ්බ කියල එක පාරටම කඩාපාත් වෙලා හාරන්න බෑ නොවැ. ඉතිං උං ගැහුව දහංගැටයක්. හමස් පෙට්ටටියෙ දාල පුස් කකා තිබ්බ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දූවිලි පිහල ඇදල ගත්ත​. ඒ තමයි උමා ඔය ප්‍රොජෙක්ට් එක​. උං කිව්ව අපි මේක කොරන්න සල්ලි දෙන්නං, හැබැයි අපිම තමයි මේක හාරන්නෙ කියල​.

උඹල නිකං විහිළුවටවත් අහල තියෙනවද ඉරානෙං අපි වගේ රටවලට ප්‍රොජෙක්ට් කොරන්න සල්ලි දෙනව කියල​? ඒව කරන්නෙ බ්‍රිතාන්‍යය​, ජර්මනිය​, ජපානෙ, චීනෙ, ස්වීඩනේ වගේ රටවල් නෙ. ඉතිං මේ එක පාරටම ඉරාන කාරයන්ට මොකද මේ හැදිච්ච පුක් ගාය​? හිතල බලපියව්.

ඉතිං මුං මේක හාරන්න පටං ගත්තා. හාරගෙන හාරගෙන යද්දි මුන්ට රාවණා රජ්ජුරුවන් ගෙ තාක්‍ෂනය මතු වුනා. මුං ඒව රහසෙම රටෙන් පිට කර ගත්තා. ඒව හෙළි නොකරනවට ඒ කාලෙ හිටපු පාලකයන්ට කෝටි ගණං සල්ලි, රන්, රිදී, මුතු, මැණික් දුන්නා. උන්ට එච්චර සල්ලි කොහෙන් ද​? වෙන කොහෙං වත් නෙවෙයි. අර ඌවෙ මහපොළවෙන් මතු වෙච්ච නිධානෙං සොච්චමක්.

ගං කබරයන්ටත් ආයෙ සල්ලි කිව්වොත්. ගූ ගොඩක රුපියලක් තිබ්බත් දිවෙං හරි ගන්නව නෙ.

හැබැයි මෙහෙම හාරද්දි මුන්ට ලොකු බාධාවක් අහු වුනා. නෑ නෑ කළු ගලක් නෙවෙයි. කළු ගලක් වගේ මහා විසාල දැවැන්ත හස්ති රාජයෙක් වගේ මනුස්සයෙක්.

ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අකුදි සහෝ.

අකුදි සහෝ කියන්නෙ පෙර ආත්මෙක අපේ රාවණා මහ රජ්ජුරුවන් ගෙ අග සෙනවියා. කොටිංම කිව්වොත් හනුමන්ත ලංකාවට ආපු වෙලාවෙ උගෙ නැට්ටට පාංකඩ බැඳල ගිනි තිබ්බෙ අකුදි සහෝ.

අකුදි සහෝ මේ වෙනකොටත් මේ නිධානෙ, මේ තාක්‍ෂනය ගැන දැනගෙන හිටියෙ. ඒක මේ ලංකා බූමියෙ සුජාත පුත්තුන්ට දායාද කරන එක තමයි එතුමගෙ එකම අධිෂ්ඨානය වුනේ. ඒ නිසාමයි එතුමා ඉරාන කාරයො එන්නත් කලින් උමා ඔය ප්‍රොජෙක්ට් එකට කැබිනට් පේපර් එකක් එහෙම දැම්මෙ. ඒත් සල්ලි නෑ කියල ආණ් ඩුව ඒක කරන්න බෑ කිව්ව​. අකුදි සහෝ දැනගෙන හිටිය රාවණා රජ්ජුරුවන් ගෙ නිධානෙ ගොඩ දැම්මොත් උමා ඔය එකක් නෙවෙයි සීයක් වුනත් කරන්න සල්ලි තියෙන බව​. ඒක තමයි එතුමා කිව්වෙ "සල්ලි හොයන හැටි මම බලාගන්නං, මට ඕකේ එක දෙන්න​" කියල​. ඒත් අපේ කාලකන්නි එතුම කියන එක ඇහුවෙ නෑ.

ඉතිං අකුදි සහෝ මේ විනාසෙ නවත්තන එක බාර ගත්තා. එතුමගෙ හොඳම ගෝලය වුනේ සවී සහෝ. සවී සහෝ තමයි පෙර ආත්මෙක අකුදි සහෝ ට හනුමන්ත ගෙ නැට්ට ගිනි තියන්න පන්දම ගෙනත් දුන්නෙ.

අකුදි සහෝ යි සවී සහෝ යි එකතු වෙලා උමා ඔය ප්‍රොජෙක්ට් එක නවත්තන්න දන්න දහංගැට ඔක්කොම දැම්මා. ඒත් ඉරාන කාරයොත් වැඩේ ඇදගෙන ගියා. කොයි වෙලේ හරි දෙකෙන් එකක් වෙන්න ඔන්න මෙන්න වෙලා තිබ්බෙ.

එතකොට තමයි ඉරාන කාරයන්ට රාවණා රජ්ජුරුවන් ගෙ මහ මාළිගාව හම්බුනේ. එතුමගෙ මහ මාළිගාව තියෙන්නෙ බණ්ඩාරවෙල ටවුමට හරියටම යටින්. ඒකෙ ප්‍රධාන දොරටුව තියෙන්නෙ බණ්ඩාරවෙල ටවුමට කිලෝමීටර් දහයක් විතර දුරින්. ඉතිං හිතාගනියව් මාළිගාවෙ සයිස් එක​.

මහ මාළිගාවෙ දොරටුව හදල තියෙන්නෙ තනි කළු ගලෙන්. ඉරාන කාරයන් ගෙ මැෂින් වලට නෙවෙයි මේ තුන් ලෝකෙ කිසිම මැෂිමකට ඒ ගල විදින්න බෑ. ඉතිං ඉරාන කාරයන්ට තිබ්බ කුලප්පුවට මුං මේක වෙඩි දාල පිපිරෙව්ව​.

ඒකෙන් දොර කැඩිල මාළිගාව මතු වුනා. නමුත් ඒ පිපිරීමේ කම්පනයට මුළු ඌවෙම පොළව හෙල්ලුං කෑව​. පොළව තැන තැන ගිලා බැස්ස​. දිය ඇළි හිඳුන​. සමහර දිය ඇළි තිබ්බ තැනක් වත් හොයා ගන්න බැරි වුනා. ගෙවල් කැඩුනා. පොළව වේලුනා. ළිං හිඳුන​. ඇළ දොළ හිඳුන​. සතා සීපාව මැරුන​.

ඉරාන කාරයො ලහි ලහියෙ ම මේකෙ තිබ්බ තාක්‍ෂනෙයි වස්තුවයි ගොඩ දාගෙන ඉරානෙට පැටෙව්වා.

ඒ ධනස්කන්දෙනුයි දැණුමෙනුයි තමයි ඉරානෙ උංගෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාර්ථක කර ගත්තෙ. නැත්තං යකෝ අවුරුදු 50 ක් තිස්සෙ අහස් කූරක් වත් යවා ගන්න බැරුව හිටියෙ එව්වො එක පාරටම මේව මෙහෙම කොරන්නෙ කොහොමද​? හිතල බලපියව්.

ඇමරිකන් කාරයටත් මේක ඉව වැටිල තිබ්බෙ. උං දැන ගත්ත ඉරානෙ රාවණා ගෙ මහ මාළිගාව ගොඩ ගත්තොත් උන්ට හොම්බෙං යන්න තමයි වෙන්නෙ කියල​. උං ඉරානෙට ආර්ථික සම්බාධක දැම්ම​. බැරැක් ඔබාමා වහාම ඉරානෙත් එක්ක සාකච්ඡා කරල ඉරානෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාමකාමී වැඩ වලට විතරක් යොදා ගන්න ගිවිසුමක් ගැහුව​. මෙව්ව බොරු නෙවෙයි. බොරු කියල හිතෙනව නං ගූගල් කරල බලපියව්.

ඉරාන කාරයත් මාළිගාව ගොඩ දා ගන්නකං ෂේප් එකේ ඉන්න ඕනෙ නිසා එකඟ වුනා.

හැබැයි ඔබාමා කියන්නෙත් ගෝතයෙක් නෙවෙයි. මනුස්සය දැනගෙන හිටිය මාළිගාව ගොඩ දාපු ගමං ඉරාන කාරය ඇමරිකාව්ට අරිනව කියල​. ඒ නිසා උමා ඔය ප්‍රොජෙක්ට් එක නවත්තන්න උන්නැහේට ඕන වුනා.

අකුදි සහෝ කල් යල් බලල වැඩේට අත ගැහුව​. එතුමා ඉස්සෙල්ලම ඔබාම එක්ක සාකච්ඡා කරල රාවණා ගෙ කොල්ල කාපු වස්තුව වෙනුවෙන් රට පාවල දීපු ගං කබරයො එළවන්න සැලසුමක් ගැහුව​. ඒ සැලසුමේ මහ මොළ කාරය අකුදි සහෝ. දැන් ඔය නෑ නෑ කියන්නෙ නිහතමානී කමට​. එහෙම තමයි යකෝ උත්තම පුරුසයො. අපි උඹල වගේ එදා වේල හාල්පාරුවො නෙවෙයි.

ඊට පස්සෙ අකුදි සහෝයි සවී සහෝයි නගුලක බැඳපු මී හරක් දෙන්නෙක් කුඹුරක් හාල සරු පස මතු කරගන්නව වගේ ඌවේ මිනිස්සුං ගෙ හැංගිල තිබ්බ සටන්කාමී ජවය මතු කරල ගත්ත​. මිනිස්සු පාරට පස්සල දහ අට පාලිය නටවල ප්‍රොජෙක්ට් එක නැවැත්තුව​.

ඉරාන කාරයට හුප්පෙ.

දැන් අපේ රටේ තාක්‍ෂනයයි වස්තුවයි ආයෙමත් අපිට උරුමයි. උඹල හිතයි ඒව ඉරාන කාරය ගෙනිච්චනෙ කියල​. පිස්සුද යකෝ. උං ගෙනිච්චෙ සොච්චමයි. වස්තුව තාම එහෙම්මම පොළව යට​. ඒව අකුදි සහෝ කවද හරි ගොඩ අරගෙන ලංකා බූමියේ සුජාත පුත්තුන්ට බෙදල දෙන එක දෙනව මයි.

Wednesday, February 7, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 21 (මොහාන් ට දුන්නු දෝනිය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මොහාන් ට දුන්නු දෝනිය


එකෝමත් එක කාලෙක දවසක් මාලේ දූපතේ වරායට අළුතෙන්ම හදපු කදිම දෝනියක් (බෝට්ටුවක්) ළඟා වුනා. ළඟ පාත හිටපු මිනිස්සු ඔක්කොම වරායට රැස් වුනා දෝනිය බලන්න​. ඔවුන් දෝනියේ ලස්සන ගැන කතා වෙද්දි බෝට්ටුවේ ආපු නාවිකයන් බඩු බාන්න පටන් ගත්තා.



බඩු බාලා ඉවර වෙලා ඔවුන් ඒ බඩු අරගෙන මාලේ වෙළඳසැල් වලට යන්න පිටත් වුනා. යන්න කලින් දෝනියේ කප්පි (කප්පිත්තා) දෝනිය බලාගන්න තියල යන්න සුදුසු කෙනෙක් හොයල වට පිට බැලුවා.ඔහුගේ ඇස් නතර වුනේ දෝනිය බලන්න එක් රැස් වුන පිරිස අතර හිටි තරුණයෙක් ළඟ. තරුණයාගේ නම මොහාන්.

"උන්නැහේ, අපි එනකං දෝනිය පොඩ්ඩක් බලාගන්න පුළුවන් ද​?"

මොහාන් එක පයින් කැමති වුනා. ඔහු වහාම බෝට්ටුවට නැගලා ඒක මුර කරන්න පටන් ගත්තා. නාවිකයෝ බඩුත් අරගෙන යන්න ගියා.

ටික වෙලාවකින් එතැනින් ගිය මොහාන් දන්න අඳුනන කෙනෙක් ඔහු දෝනියට නැගල ඉන්නව දැකල මෙහෙම කිව්වා.

"මොහාන්, තමුසෙගෙ දෝනිය​ හරි ලස්සනයි නෙ!"

මොහාන් දුප්පත් මනුස්සයෙක්. මිනිස්සු තමාට මෙච්චර ලස්සන දෝනියක් තියෙයි කියල හිතයි කියල ඔහුට හිතාගන්න බැරි වුනා. ඔහුගේ හිතට සියුම් ආඩම්බරයක් දැනුනා. ඔහු ඊළඟට එතැනින් ගිය මනුස්සයට කතා කරල මෙහෙම කිව්වා.

"මේ දෝනිය මගේ"

ඔහු ඔළුව වනල ඒක පිළිගත්තා. මොහාන් නිර්භීත වුනා. ඔහු එතැනින් ගිය හැමෝටම දෝනිය ඔහුගේ කියල කිව්වා. මිනිස්සු වැඩිය මොකුත් හිතන්නෙ නැතුව ඒ කතාව බාර ගත්තා. ගොඩ දෙනෙක් මොහාන් කවුද කියල දැනගෙන හිටියෙ නෑ. ඉතින් ඔවුන්ට ඔහුව අවිශ්වාස කරන්න හේතුවක් තිබ්බෙ නෑ.

වෙලාව ටික ටික ගතවෙද්දි මොහාන් ගෙ පපුව ආඩම්බරයෙන් පිම්බුනා.

පින්තූරය ඔරිජිනල් පොතෙන්
දෝනිය බලන්න ආපු මිනිස්සු හැමෝම "මොහාන් ගෙ දෝනියේ" ලස්සන ගැන ඔහුට ප්‍රශංසා කලා. කවුරු හරි කෙනෙක් මොහාන් ගෙන් ඔහුට දෝනිය ලැබුන හැටි ඇහුවොත් මොහාන් ඒකට මෙහෙම උත්තර දුන්නා.

"මේක මට දුන්න එකක්"

හවස් වෙද්දි නාවිකයො ආපහු දෝනියට ආව​.

"එහෙනං බොහොම ඉස්තූතියි උන්නැහේ. අපි දැන් දෝනිය බලාගන්නම්. තමුසෙට ගෙදර යන්න පුළුවන්. මහන්සියට මෙන්න මේක තියාගන්නවා."

මොහාන් ගෙදර ගියා.

සති ගානක් යනකං දෝනියෙ කප්පි ලොකු ප්‍රෙහේලිකාවකට මැදි වෙලා හිටියෙ. මාලෙ මිනිස්සු හැමෝම ඔහුගේ දෝනියට කිව්වෙ "මොහාන් ගෙ දෝනිය" කියල​.

එදා ඉඳල තමයි කවුරු හරි කෙනෙක් තමා නොකරපු දේකට ප්‍රසංශා ලබද්දි ඒකට මිනිස්සු "මොහනා දෝනි දින් හෙන්" (මොහාන් ට දීපු දෝනිය වගේ) කියන්න පටන් ගත්තෙ෴
- කතාව කිව්වෙ ගා ගේ නයිමා (මාලේ දූපත​)

 
අටුවාව​

1. දෝනි

දෝනි කියල දිවෙහි බසින් හැඳින්වෙන්නෙ ලොකු බෝට්ටුවක්. මගී ප්‍රවාහය, මසුන් ඇල්ලීම​, බඩු ප්‍රවාහනය වගේ කාර්‍යයන් රාශියක් දෝනි වලින් කර ගන්න පුළුවන්. ඉස්සර කාලෙ දෝනි රුවල් වලින් යාත්‍රා කළත්, නවීන දෝනි ඔක්කොම පාහෙ දුවන්නෙ ඩීසල් එන්ජින් වලින්. මගී ප්‍රවාහනයට වහලක් සහිත ආවරණය කළ දෝනිත්, ධීවර කර්මාන්තයට "මස් දෝනි" කියල හැඳින්වෙන පිටුපස විවෘත දෝනිත් භාවිතා වෙනවා.
මගී ප්‍රවාහන දෝනියක්
මස් දෝනියක්
2. කප්පි
බෝට්ටුවක හෝ නැවක කපිතාන් හෙවත් යාත්‍රාව පදවන්නා හැඳින්වුනේ කප්පි කියලා. ඔහු තමයි යාත්‍රාවේ නායක නිලධාරියා.

Sunday, February 4, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 20 (විලාපය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


විලාපය​


(සත්‍ය කතාවකි)

මිලදුන්මදුලු අතොළුවේ මිනිස්සු වාසය නොකරන දූපතක් තියෙනවා බුරෙහිෆස්දූ කියලා. ඉස්සර කාලෙක බුරෙහිෆස්දූ දූපතේ පොල්වතු තිබ්බා. ඒ පොල් වතු අයිති වුනේ අසල තිබ්බ හෙංබන්දූ දූපතේ මිනිස්සුන්ට​. මේ පොල්වතු බලාගන්න වයසක මනුස්සයෙක් සහ තරුණ ගෑණු ළමයි දෙන්නෙක් විතරයි බුරෙහිෆස්දූ දූපතේ ජීවත් වුනේ.


බුරෙහිෆස්දූ දූපත
ගෑණු ළමයි දෙන්න අක්කයි නංගියි. ඔවුන් දෙන්නා සහ වයසක මනුස්සය ජීවත් වුනේ පොඩි පැලක​. මේ අය ඉතාම දුප්පත්. තුන් දෙනාටම බොහොම මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුනා.

පැලට තිබ්බේ එක දොරයි. පැල හදල තිබ්බේ වියපු පොල් අතු වලින්. වහලටත් පොල් අතු හෙවිලි කරල තිබ්බා. ගෑණු ළමයි දෙන්නා නිදාගත්තේ පැල ඇතුලේ. වයසක මනුස්සය ඉස්තෝප්පුවේ නිදාගත්තා.

එක දවසක් මේ තුන් දෙනා නිදාගෙන ඉද්දි බොහොම සැරට මදුරුවො පැල ඇතුලෙ සැරිසරන්න පටන් ගත්තා. තුන් දෙනාටම නිදාගන්න බොහොම අපහසු වුනා. වයසක මනුස්සයා වේලිච්ච පොල් හනසු ටිකක් එකතු කරල පැලේ දොර ළඟ ගොඩ ගහල ගිනි තිබ්බා. ටික වෙලාවක් ඇවිලුනාට පස්සෙ ඔහු ගින්න නිවල දැම්ම. මුහුදෙ ඉඳන් හමන හුළඟෙන් දුම පැල ඇතුලට ගියා. ටික වෙලාවකින්ම මදුරුවො නැති වෙලා ගියා.

ගෑණු ළමයි දෙන්න සුව පහසුවට නිදා ගත්තා. වයසක මනුස්සයා නිදා ගන්න කලින් අවසන් වතාවට පොල් වත්තෙ රවුමක් ගහල එන්න පිටත් වුනා.

ඒත් වයසක මනුස්සය හරියට ගින්න නිවල තිබ්බෙ නෑ. ටික වෙලාවකින්ම මුහුදු හුළඟෙ සැරට ගින්න ආපහු ඇවිලුනා. වේලිල තිබ්බ පොල් අතු වලට ලේසියෙන්ම ගිනි ඇවිලුනා. ගින්නෙ රස්නෙට ගෑණු ළමයි දෙන්න ඇහැරෙනකොට පැලේ ඉදිරිපස බිත්තිය සම්පූර්නයෙන්ම ගිනි අරගෙන ඉවරයි. ඔවුන් දෙන්නට එළියට පැන ගන්න තිබුන එකම දොර ගින්නෙන් වැහිලා. ඔවුන් ඇතුලෙ කොටු වෙලා.

කෙල්ලො දෙන්න පැල ඇතුලෙ කලබලෙන් කෑ ගැහුවා. ඔවුන්ට කර ගන්න කිසි දෙයක් තිබ්බෙ නෑ. එකපාරටම නංගි ගිනි ජාලාව මැදින් දොරෙන් එළියට පැන ගත්තා. ඇගේ ඇඟ පිච්චුනා. ඒත් කොහොමහරි එළියට පැන ගන්න ඇයට පුළුවන් වුනා. ඒත් අක්කා ගින්න මැදින් දුවන්න බය වුනා. ඇය ඒ වෙනුවට ඇඳ ළඟ ගුලි ගැහිලා අඬන්න පටන් ගත්තා. ටික වෙලාවකින් මුළු පැලම ගිනි දැල් වලින් වැහුනා.

අඳුර මැද්දෙන් ගිනි දැල් දැකපු වයසක මනුස්සයා පැල දිහාට දුවගෙන ආවා. ඔහුට හමුවුනා නංගි පැල ළඟ බිම වැටිල ඉන්නවා. ඇගේ ඇඟ පිච්චිලා.

"ඉක්මනට ගිහින් දත්තා (අක්කා) ව බේර ගන්න​"

ඇය කෑගහල කිව්වා.

ඒත් ඒ වෙද්දි ආපහු ගෙට ඇතුල් වෙන්න බැරි තරම් ගින්න දරුණුයි. වයසක මනුස්සයාට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා. නංගී පිස්සුවෙන් වගේ කෑ ගැහුවා.

"අනේ එයාව බේරගන්න​. මොනා හරි කරන්න​"

එතකොටම පැලේ බිත්ති ඇතුලට කඩාගෙන වැටුනා. මුළු පැලම සැනෙකින් ගිනි ගෙන දැවෙන දර සෑයක් බවට පත් වුනා. ඒ එක්කම ඔවුන්ට අක්කා ගේ මර විලාපය ඇහුනා.

"අද්දෝයි, මා සහරෝ!" (අනේ, මම ඉවරයි!)

ඒ විලාපය ඇහුන විතරයි නංගි පිස්සු වැටුනා. ඇය වියරුවෙන් එහෙ මෙහෙ දුවන්න ගත්තා. වයසක මනුස්සයාට ඇයව පාලනය කර ගන්න බැරි වුනා.

ඇය අඳුරේම දූපත ළඟ මුහුදේ තියෙන කොරල් පරයට දිව්වා. දණක් මුහුදු වතුරේ ගිලෙද්දි, කොරල් ගල් වලට කකුල් පතුරු ගැහෙද්දි ඇය මුහුදෙන්  උඩට මතුවෙලා තිබ්බ කොරල් ගලක් උඩ ලී ගොඩ ගැහුවා.

"අපි හෙංබන්දූ වල මිනිස්සුන්ට මේක කියන්න ඕනෙ. අක්කව කොහොම හරි බේර ගන්න ඕනෙ."

ඇය ගිනි මැලයක් අවුලන්න උත්සහ කරත් මුහුදු රළ පාර සහ හුළඟ නිසා ගින්න ඇවිලුනේ නෑ.

ඊට පස්සෙ ඇය දුවල ගියේ ඔවුන් ගේ ඩිංගිය (කුඩා බෝට්ටුවක්) ගාවට​. ඩිංගිය මුහුදට තල්ලු කරපු ඇය පිස්සුවෙන් වගේ හෙම්බදු දූපත පැත්තට හබල් ගාන්න පටන් ගත්තා.

ඒත් හුළං පාර සහ දිය වැල් බොහොම සැරයි. ඇයව හෙංබන්දූ දූපතට විරුද්ධ පැත්තෙ තියෙන බෝමස්දූ දූපතට ගහගෙන ගියා. බෝමස්දූ දූපතට ළං වෙද්දි ඇය මුහුදට පැනලා වෙරළට දුවගෙන ගියා. ඇය කවදාවත් බෝමස්දූ දූපතට ඇවිත් නෑ. රෑ බෝ වෙලා කවුරුත් පාරවල් වල පේන්න හිටියෙ නෑ. ඒත් ඇය නුපුරුදු අඳුරු පාරවල් දිගේ කෑ ගහමින් දුවන්න පටන් ගත්තා.

මිනිස්සු අවදි වෙලා ඇයව බොහොම අමාරුවෙන් අල්ල ගත්තා. ඇය දිහා බලන්න බයයි. ඇඟ හැම තැනම පිච්චිලා. කොරල් වලට කැපුන දෙපයින් ලේ ගලනවා. හබලට ඇගේ අත් හම ගිහින්. මිනිස්සු බොහොම අමාරුවෙන් සිද්ධ වුන දේ ඇගෙන් අහගත්තා.

මිනිස්සු ඇයව බෝට්ටුවක දාල හෙංබන්දූ දූපතට යැව්වා. ඊට පස්සෙ දූපත් දෙකේම මිනිස්සු බෝට්ටු වල නැගලා ගින්න ඇති වුන තැනට ගියා.

ඒ වෙද්දි ඉර පායගෙන එනවා. පැල තිබ්බ තැන තිබුනෙ දුම් දමන අඟුරු ගොඩක් විතරයි. වයසක මනුස්සයා එතැන බිම වාඩි වෙලා ඒ දිහා බලාගෙන උන්නා.

අඟුරු ගොඩ පරීක්‍ෂා කරපු ඔවුන්ට ඇඳ ළඟ ගුලි වෙලා ඉන්න ගමන්ම මියැදුන අක්කගෙ සිරුර හමු වුනා. පොඩි බඩවැල් කෑල්ලක් ඇරෙන්න මුළු ඇඟම අඟුරු කැටයක් වෙලා. ඇගේ රිදී වළල්ල අඟුරු ගොඩේ තිබ්බා.

එදා ඉඳන් අද වෙනකන් කිසිම කෙනෙක් බුරෙහිෆස්දූ දූපතේ ජීවත් වුනේ නෑ. ඒත් අදටත් දර කපාගෙන එන්න ඉඳ හිට දූපතට යන මිනිස්සුන්ට සමහර දවස් වලට වේදනාත්මක විලාපයක් ඇහෙනවා.

"අද්දෝයි, මා සහරෝ!" ෴


- කතාව කිව්වේ මොහොමඩ් ඊබ්‍රහිම් සෙල්වියෝ (මාලේ දූපත​)



අටුවාව​

1. බුරෙහිෆස්දූ

බුරෙහිෆස්දූ දූපත තියෙන්නෙ මාලදිවයිනේ උතුරට වෙන්න පිහිටි අතොළුවක් වුන මිලදුන්මදුලු අතොළුවේ.  මේ දූපත අදටත් ජන ශුන්‍යයයි. ඊට මදක් දකුණෙන් තමයි හෙංබන්දූ දූපත තියෙන්නෙ. ඒක අද මිනිස්සු පදිංචි වෙච්ච දූපතක්. බුරෙහිෆස්දූ දූපතට උතුරෙන් තියෙන බෝමස්දූ දූපතේ අද කවුරුත් පදිංචි වෙලා නෑ. ඒක පාවිච්චි කෙරෙන්නෙ ධීවර කටයුතු වලට​.





Thursday, February 1, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 19 (පෙරේත රජු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


පෙරේත රජු



එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ හිටපු හොඳම ෆන්ඩිත (යකැදුරා) වුනේ ඔඩිතාන් කලේගේ කියල මනුස්සයෙක්. ඔහු වැඩ රාජකාරි වලට මාලේ දූපතට ආවම නැවතිලා හිටපු ගෙදර හැඳින්වුනේ "කෙයොගේ" කියල​. මාලේ දූපත තමයි දිවෙහි රාජ්ජේ අගනුවර​. ඔඩිතාන් කලේගේ මාලේ දූපතට ආව කියල ආරංචි වුනාම ගොඩක් දෙනා විවිධ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඔහුව හොයාගෙන ආවා.

එක දවසක් රජ වාසල උසස් නිලධාරියෙක් ඔඩිතාන් කලේගේ හොයාගෙන ආව​. ආගිය කතා ඉවර වුනාට පස්සෙ ඔහු බොහොම බැරෑරුම් හඬකින් මෙහෙම කිව්වා.

"රජ වාසලේ අමුතු අමුතු වැඩ සිද්දවෙනවා. හැමදාම රෑට රදුන් (රජතුමා) එළු කොටුවට ඇතුල් වෙනවා. එළු පට්ටිය බලාගන්න මනුස්සය කියන විදිහට නිතර නිතර එළුවො අත්භූත විදිහට අතුරුදහන් වෙනව​. තියෙන එකම සලකුණ එළු කොටුව ඇතුලෙ බිම තියෙන ලේ පැල්ලම් කීපයක් විතරයි."

නිලධාරියා පිටත් වුනාට පස්සෙ ඔඩිතාන් කලේගේ ඔහු කියපු දේ ගැන කල්පනා කරා. දවල් වෙද්දි ඔහු පාරට බැහැල රදුන් ගේ පල්ලිය දිහාවට ඇවිදගෙන ගියා.

එදා සිකුරාදා දවසක්. සිකුරාදා ජුම්මා යාඥාවට රදුන් පිරිවරත් එක්ක මාළිගාවේ ඉඳල පල්ලිය දිහාවට යනවා. මග දෙපස සෙනඟ රැස් වෙලා ඒක බලාගෙන ඉන්නවා. ඔඩිතාන් කලේගේ සෙනඟ අස්සෙ මුහු වෙලා රදුන් දිහා හොඳ පරීක්‍ෂාවෙන් බැලුවා.


රදුන් "හයික්කොලු" (ලොකු, සුදු කුඩයක්) යටින් බොහොම ගාම්භීර විදිහට ඇවිදගෙන ගියා. ඔහු පස්සෙන් වාසල නිලධාරීන්. වටේට අත වැසියෝ. පෙරහැර බලන්න ලස්සනයි. ඒත් ඔඩිතාන් කලේගේ ට පෙරහැරේ ලස්සන පෙනුනේ නෑ. ඔහු ගැඹුරු කල්පනාවකට වැටිලා ආපහු ගෙදර ගියා.

ඔහු කා එක්කවත් වැඩිය කතා කලේ නෑ. දවල්ට සුළුවෙන් ආහාරයක් ගත්ත ඔහු පොඩ්ඩක් නිදා ගත්තා. ආපහු ඇහැරුනේ හවස් වෙලා. නැගිට්ට හැටියෙ ඔහු හොඳට නාගෙන අළුත් ඇඳුමක් ඇඳ ගත්තා.

ඉර බැහැගෙන යද්දි ඔඩිතාන් කලේගේ වරාය ළඟ තියෙන වෙළඳපොලට ගියා. එතැනදී ඔහු උස් හඬින් කතා කරල මිනිස්සු ඔහු ළඟට කැඳව ගත්තා. ලොකු පිරිසක් එක් රැස්වුනාට පස්සෙ ඔඩිතාන් කලේගේ ඔවුන්ට කිව්ව ඉතාම වැදගත් දෙයක් කියන්න තියෙන බව​.

"මේ අහපල්ලා, අපේ රදුන් මනුස්සයෙක් නෙවෙයි. ෆුරේතයෙක් (අමනුෂ්‍යය විශේෂයක්)."

මිනිස්සු බොහොම කලබල වුනා.

"උන්නැහේ කොහොමද එහෙම කියන්නෙ? පරිස්සමෙ වෙනවා! මේ බව රදුන්ට ආරංචි වුනොත් ඔහුට බොහොම තරහ යයි."

ඔඩිතාන් කලේගේ ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ.

"මොන රදුන් ද​? මේ දූපතේ රදුන් කෙනෙක් නෑ. ඉන්නෙ ෆුරේතයෙක්. මට ඌව අල්ලන්න සැලැස්මක් තියෙනවා. තමුසෙල මට උදව් කරනවද​?"

මිනිස්සු කසු කුසු ගාන්න පටන් ගත්තා.

ඔවුන් රදුන් ව කෝප කරන්න බය වුනා. ඒත් ඔඩිතාන් කලේගේ කියන්නෙ ඉතාම දක්‍ෂ යකැදුරෙක්. ඔවුන් ඔහුට බොහොම ගරු කරා.

ඔඩිතාන් කලේගේ දිගටම කතා කලා.

"මට දැම්ම මොකුත් ඔප්පු කරන්න බෑ. ඒත් තමුසෙල මට උදව් කරොත් හෙට උදේ වෙද්දි මම කියන්නෙ ඇත්තද බොරුද කියල තමුසෙලට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. හැබැයි තමුසෙලට මහන්සි වෙන්න වෙයි. මොකද ඉර බහින්න කලින් ඔක්කොම ලෑස්ති කරල ඉවර වෙන්න ඕනෙ."

මිනිස්සු අකැමැත්තෙන් වුනත් එකඟ වුනා.

"හරි. අපි මොකද කරන්න ඕනෙ?"

ඔඩිතාන් කලේගේ ගේ උපදෙස් වලට අනුව මිනිස්සු වැඩේ පටන් ගත්තා. මුලින්ම ඔවුන් වෙළඳපොළ මැද්දෙ ලොකු වලක් හෑරුවා. ඊට පස්සෙ ඔවුන් ලොකු පොල් කඳක් ගෙනත් වළ ඇතුලෙ හිටෙව්වා. ඊට පස්සෙ ලොකු යකඩ කොක්කක් පොල් කඳට හයි කරා.

මේ වැඩ ටික කරල ඉවර වෙද්දිම මාළු බෝට්ටු එක දෙක වරායට එන්න පටන් අරගෙන​. ඒව පිරෙන්න ටූනා මාළු. ඔඩිතාන් කලේගේ ධීවරයන්ට කිව්වා මාළු සුද්ද කරල ඉතුරු වෙන කරමල​, වරල්, බොකු බඩවැල් ඔක්කොම වලට දාන්න කියල​. ටික වෙලාවකින් වල මාළු සුන්බුන් වලින් පිරුනා.

වල පිරුණට පස්සෙ මිනිස්සු ඔඩිතාන් කලේගේ කියපු විදිහට තුනී වැලි තට්ටුවකින් වල වැහුවා. එතකොටම තමයි ඉර බැහැල ගියේ.

මේ ගැන කිසිදෙයක් කාටවත් නොකියන්න මිනිස්සුන්ව පොරොන්දු කත ගත් ඔඩිතාන් කලේගේ ආපහු ගෙදර ගියා. ගෙදර ගිහින් ඔහු රාත්‍රී ආහාරය අරගෙන නින්දට ගියා.

පහුවදා උදේම මිනිස්සු වෙළඳපොළට ආවා. වෙළඳපොළ පැත්තෙන් පුදුම අප්‍රසන්න දුගඳක් හැමුවා. ඈත තියාම කාටත් පෙනුනා වල මතුවෙලා තියෙන බව​. ඔවුන් පරිස්සමෙන් වලට කිට්ටු වෙලා ඇතුල බැලුවා.

වලේ තිබ්බ මාළු බොකු බඩවැල් වැඩි හරිය අතුරුදහන් වෙලා තිබ්බා. වල මැද යකඩ කොක්ක කටින් හපාගත්තු ඉතාම අවලක්‍ෂන ෆුරේතයෙක් මැරිල වැටිල හිටියා.


වටේ රැස් වෙලා හිටිය සෙනඟට ඔඩිතාන් කලේගේ පැහැදිලි කලා යකඩ කොක්ක ජීවම් කරපු එකක් බව​. හැමෝම සැනසුම් සුසුමක් හෙළුවා.

රජ වාසල හැමතැනම පරික්‍ෂා කරල බැලුවත් රදුන් පේන්න හිටියෙ නෑ. වල ඇතුලෙ මාළු බොකු බඩවැල් වලට යටවෙලා තිබිල රාජකීය සළු පිළි සහ තුප්පොට්ටිය හම්බුනාට පස්සෙ කවුරුත් සැක හැරල දැන ගත්ත රදුන් වෙසින් හිටියෙ ෆුරේතයක් කියල​.

මිනිස්සු වැඩි කලබලයක් නොකරම වල ඇතුලෙම ෆුරේතයව වැලලුවා. ඊට පස්සෙ ඔවුන් අළුත් රදුන් කෙනෙක් පත් කර ගත්තා.

හැමෝම ඔඩිතාන් කලේගේ ට ප්‍රශංසා කරා. අළුත් රදුන් ඔහුට රාජකීය භෝජන සංග්‍රහයකට ආරාධනා කලා. එහිදී ඔහුට වටිනා තෑගි බෝග ලැබුනා෴


- කතාව කිව්වේ බන්දේරි අබ්දුර් රහ්මානු (මාලේ දූපත​)

අටුවාව​

1. ෆන්ඩිත​
"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.
 
 

2. ඔඩිතාන් කලේගේ
දිවෙහි රාජ්ජේ ජනකතා වල එන ඉස්සර කාලේ හිටපු ඉතා දක්‍ෂ යකැදුරෙක්.

3. රදුන්
දිවෙහි රාජ්ජේ බෞද්ධ කාලයේදී රජතුමා හැඳින්වුන නම​. දිවෙහි රාජ්ජේ ඉස්ලාමයට හැරවුනාට පස්සේ රජතුමා ගේ නිල නාමය "සුල්තාන්" කියල වෙනස් වුනා. ඒත් බොහොමයක් රජවරු "රදුන්" කියන පදයත් පාවිච්චි කලා.
 
සුල්තාන් මුහම්මද් ෂාම්සුද්-දින් ඉස්කැන්ඩර් හෙවත් ශ්‍රී කුල සුන්දර කතිරි බුවන මහා රදුන් (1902 - 1934) ඔහුගේ නිලධාරීන් සමඟ​
 
 4. වරාය ළඟ තියෙන වෙළඳපොල
මාලේ දූපතට බොහොමයක් දේ ගේන්නෙ බෝට්ටු වලින් සහ නැව් වලින්. ඒ නිසා වෙළඳපොළ තියෙන්නෙ වරාය ළඟ මයි. අදත් ඒක එහෙමයි. වරායෙන් පාරෙන් පැනපු ගමන් මාළු බෝට්ටු වලින් බාපු ගමන් පණ ගැහෙන මාළු කූරි බිම දාගෙන විකුණන මාළු වෙළඳපොළත්, ඊට පොඩ්ඩක් එහායින් තියෙන එළවළු - පළතුරු වෙළඳපොළත් දැකගන්න පුළුවන්.
 
 
 
5. ෆුරේත​
දිවෙහි රාජ්ජේ ජනකතා වල එන අමනුස්ස කොට්ඨාශයක්. දිවෙහි බසට "ෆුරේත" කියන එක ඇවිත් තියෙන්නෙ සිංහල "පෙරේත​" කියන එකෙන්.