(මෙච්චර බුකියෙ පොර ටෝක් දුන්නට මාව තාම මීඩියා එකකින් ඉන්ටර්විව් කරල
නෑ නෙ බොලව්. ඉතිං මාත් ආසයි එහෙම එකකට. ඉතිම් මේ පොඩි පැන්ටසි ආතල්
එකක්.)
"ඔව් හිතවත් ප්‍රේක්‍ෂකයනී/අසනන්නනී/පාඨකයනී අපි අද කතා
කරන්නේ වර්තමාන ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන උමා ඔය අර්බුධය පිළිබඳව. ඒ
පිළිබඳ කතා කිරීමට අපි දැන් සම්බන්ධ කර ගන්නවා ප්‍රවීන හාන්සි පුටු විචාරක
සසර සැරිසරන පාදඩයා මහතාව."
"අහ් එහෙනම් ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා. හොඳයි අපි සාකච්ඡාවට යොමු වෙමු. මොකද්ද මේ උමා ඔය කියන්නෙ?"
"උමා ඔය කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ගඟක්. ඒක මහවැලි ගඟේ අතු
ගංගාවක්. මේකෙ ප්‍රධාන ශාඛාවන් දෙකක් තියෙනවා. එකක් ඔහිය පැත්තෙන් පටන්
ගන්න මාතොටිල්ල ඔය. අනිත් එක අඹේවෙල - පට්ටිපොළ පැත්තෙන් පටන් ගන්න උමා
ඔය. මේ දෙක එකතු වෙනවා හාලි ඇල - වැලිමඩ පාරේ තියෙන වැල්ලවෙල ට නුදුරින්.
ඊට පස්සෙ මේක ගිහිල්ල වැටෙනවා රන්ටැඹේ ජලාශයට. එතනදි තමයි උමා ඔය සහ
මහවැලි ගඟ එකතු වෙන්නෙ"
"උමා ඔය බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියෙන් කරන්නෙ මේ උතුරු පැත්තට යන උමා
ඔය දකුණට හරවලා ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයට යවන එක. ඒ අතරෙදි මේ
වතුරෙන් ජල විදුලි උත්පාදනයකුත් සිද්ධ වෙනවා"
"බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ අරමුණු කීපයක් සහිත ව්‍යාපෘති.
උදාහරණයකට උමා ඔය ව්‍යාපෘතියෙ කෘෂි කර්මයට ජලය සපයන අරමුණක් සහ ජල විදුලි
උත්පාදනය කරන අරමුණක් වශයෙන් අරමුණු දෙකක් තියෙනවා"
"ඔව්. උදාහරණයකට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය ගන්න පුළුවන්. ඒකෙන් කරන්නෙ විදුලි බල උත්පාදනය විතරයි"
"මේකට ප්‍රධාන වශයෙන් සල්ලි දෙන්නෙ ඉරාන රජයෙන්. ඒත් සම්පූර්න වියදමෙන්
15% ක් දරන්නෙ ශ්‍රී ලංකා රජය. සල්ලි දෙනව කියන්නෙ අධාරයක් නෙවෙයි. ණයක්
විදිහට තමයි අරමුදල් ලැබෙන්නෙ."
"මේ ව්‍යාපෘතියෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ෆරාබ් කියල ඉරාන සමාගමක්. ඔවුන් තමයි සිවිල් ඉංජිනේරු කොටස කරන්නෙ."
"පොඩ්ඩක් ඉන්න, ණය දෙන්නෙත් ඉරානයෙන්, ප්‍රධාන කොන්ත්‍රාත්කරුත් ඉරානයෙන්. මේක මොකක් හරි ජිල්මාට් එකක් ද?"
"නෑ. ගොඩක් රටවලින් රජයකින් රජයකට ණයක් දෙද්දි ඔවුන් කොන්දේසියක් දානවා
තමාගේ රටක සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දිය යුතුයි කියල. උදාහරණයකට ජයිකා
ආයතනය හරහා ලැබෙන ජපන් ණය වලින් කරන ව්‍යාපෘති වල කොන්ත්‍රාත්තුව යන්නෙ
ජපන් සමාගම් වලට"
"හොඳයි, ඒ සිවිල් ඉංජිනේරු කොටස නෙ. එතකොට විදුලි ඉංජිනේරු කොටස?"
"ඒ කොටස කරන්නෙ ඇන්ඩ්‍රිට්ස් කියල ඕස්ට්‍රියන් සමාගමක්. ඔවුන් තමයි ජෙනරේටර් ඇතුළු විදුලි උපාංග ලබා දෙන්නෙ"
"හොඳයි. උමා ඔය ව්‍යාපෘතියෙ සැලසුම මොන වගේද?"
"උමාඔය ව්‍යාපෘතියෙ ප්‍රධාන අංග තුනක් තියෙනවා. පළවෙනි එක ජලාශ දෙකක්.
දෙවෙනි අංගය උමං මාර්ගයක්. තුන්වෙනි එක භූගත ජලවිදුලි බලාගාරයක්."
"අපි ජලාශ දෙකෙන් පටන් ගමු. මේ ජලාශ කොහෙද තියෙන්නෙ?"
"එක ජලාශයක් හැදෙන්නෙ මාතොටිල්ල ඔය හරස් කරලා ඩයරාබ හන්දිය ආසන්නයේ. ඒ
ජලාශය හඳුන්වන්නෙ ඩයරාබ ජලාශය කියල. අනිත් ජලාශය හැදෙන්නෙ උමා ඔය හරස් කරල
පුහුල්පොළ ආශ්‍රිතව. ඒ ජලාශය හඳුන්වන්නෙ පුහුල්පොළ ජලාශය කියල"
"නෑ. මේ ජලාශ දෙකම ඉතාම පොඩි ජලාශ දෙකක්. ඩයරාබ ජලාශයේ සම්පූර්න ධාරිතාව
ඝන මීටර් මිලියන 0.97 ක්. පුහුල්පොළ ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර්
මිලියන 0.63 . අපි මේ දෙක වික්ටෝරියා ජලාශය එක්ක සසඳලා බැලුවොත් වික්ටෝරියා
ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 722 ක් වෙනවා."
"අපෝ හරි පොඩියි නෙ. මේවයින් වැඩක් තියෙයි ද?"
"වැඩ ගන්න ක්‍රම තියෙනවා. මම පස්සෙ පැහැදිලි කරන්නම්."
"හොඳයි. මොනවද මේ උමං මාර්ග?"
"උමං මාර්ග තියෙන්නෙ ජලාශ දෙකේ ඉඳල විදුලි බලාගාරයට වතුර අරන් යන්න. විදුලි බලාගාරය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ රන්දෙණිය අසල."
"රන්දෙණියෙදි තමයි උඩරට හමුදාව කොන්ස්තන්තීනු ද සා ගේ පෘතුගීසි හමුදාව
සමූල ඝාතනය කරල විශිෂ්ඨ යුධ ජයක් ලැබුවෙ. ඒක තියෙන්නෙ වැල්ලවායට පොඩ්ඩක්
උතුරු දිශාවට වෙන්න."
"එතකොට මේ උමං මාර්ගය කොටස් තුනකින් සම්න්විත වෙනවා. පළවෙනි එක පුහුල්පොළ
ජලාශයේ ඉඳලා ඩයරාබ ජලාශය දක්වා තියෙන කෑල්ල. ඒකෙ දිග කිලෝ මීටර් 4 යි.
දෙවෙනි කොටස යන්නෙ ඩයරාබ ජලාශයේ ඉඳල විදුලි බලාගාරයට. ඒ කෑල්ල කිලෝ මීටර්
15 යි. තුන්වෙනි කොටස විදුලි බලාගාරයෙන් පිටවෙන ජලය කිරිඳි ඔය දක්වා
ගෙනියනවා. ඒ කෑල්ල කිලෝ මීටර් 4ක් දිගයි. එතකොට උමඟේ සම්පූර්න දිග කිලෝ
මීටර් 23 ක් වෙනවා. සම්පූර්න කරාට පස්සෙ මේක තමයි ලංකාවේ දිගම උමං මාර්ගය
වෙන්නෙ."
"පොඩි අතුරු ප්‍රශ්නයක්. දැන් ඔය උමඟක්ම ඕන වෙන්නෙ ඇයි? අපිට ඕක ඇළක් දිගේ ගෙනියන්න බැරිද?"
"පුළුවන්, ජල විදුලි බලාගාරයක් නොතිබ්බ නම්. උමඟක් පාවිච්චි කරන්නෙ ජලයේ
පීඩනය පවත්වාගෙන යන්න. විවෘත ඇළක ජලයේ පීඩනය වෙන්නෙ වායුගෝලීය පීඩනය. ඒ
නිසා ඒ වතුරෙන් ටර්බයින් කරකවන්න බෑ. උමඟක් දිගේ යන වතුරේ තියෙන්නෙ ජලාශය
මගින් ඇති කරන තෙරපුමෙන් එන පීඩනය. ඒ පීඩනය තරමක් ලොකු එකක්. ඒ පීඩනය තමයි
ටර්බයින් කරකවන්න උපයෝගී කර ගන්නෙ."
"හොඳයි. අපි දැන් එමු විදුලි බලාගාරයට."
"ඔව්. විදුලි බලාගාරයේ මෙගාවොට් 60 බැගින් වන ජෙනරේටර් දෙකක් තියෙනවා.
එතකොට බලාගාරයේ සම්පූර්න ධාරිතාවය මෙගාවොට් 120 යි. මේ බලාගාරයෙන්
අවුරුද්දකට විදුලිය ගිගාවොට් පැය 230 ක්, ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230
ක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා."
"මේ ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගොඩක්
තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳී
සිටින්න. දැන් අපි යොමු වෙනවා විරාමයකට"
"හොඳයි
විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙනවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර
සැරිසරන පාදඩයා සමඟ. අපි දැන් කතා කරමු ව්‍යාපෘතියෙන් ඇති වෙලා තියෙනවා
යැයි කියන ප්‍රශ්න පිළිබඳව. ඇත්තටම මේ ව්‍යාපෘතිය නිසා ප්‍රශ්න ඇතිවෙලා
තියෙනවද?"
"ඔව්. ලෝකෙ හැම ව්‍යාපෘතියකින් වගේම මේකෙනුත් පාරිසරික, සමාජයීය ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා."
"ඒ මොනවද?"
"ප්‍රධාන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ දෙකක්. එක, ප්‍රදේශයේ ජල උල්පත් සිඳී
යාම. දෙක, ප්‍රදේශයේ පොළව ගිලා බැසීම. මේ නිසා ගෙවල් කැඩී යාම,
ඉරිතැලීම, ළිං සහ ඇළ දෙළ සිඳී යාම වගේ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා.
ඒකෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා."
"ජල උල්පත් සිඳී යන්නෙ කොහොමද?"
"අපි දන්නවා පොළවේ තියෙනවා භූ පාෂාන ස්ථර. මේ පාෂාන ස්ථර අතර ජලය රැඳිලා
තියෙනවා. මේ භූගත ජලය තමයි අපි උල්පත් කියල හඳුන්වන්නේ. මේ උල්පත් ජලය
ජලාශයක් වගේ නෙවෙයි තියෙන්නෙ. පාෂාන ස්ථර අතර තියෙන පැලීම්, වැලි සහිත
කොටස්, දුර්වල පාෂාන ස්ථර වගේ තැන වල රැඳිලා. මේ ජලය රඳවාගෙන ඉන්න සමත් භූ
පාෂාන වලට අපි කියන්නෙ 'ඇක්විෆයර්ස්' කියල. ඉතින් පොළවේ තැන් තැන් වල
විවිධ උස මට්ටම් වල මේ ඇක්විෆයර්ස් තියෙනවා. අපි උමඟක් හාරද්දි ඇක්විෆයර්
එකක් තුවාල වුනොත් එතැන රැඳී තිබ්බ වතුර සියල්ලම උමඟේ කුහරය තුලට කාන්දු
වෙනවා."
"උමා ඔය තියෙනවා කියල ජල කාන්දුවත් ඒ වගේ එකක් ද?"
"ඔව්."
"මේ වගේ ජල කාන්දු වෙලා තියෙන්නෙ උමා ඔය විතරද?"
"අපොයි නෑ. ඕනම උමඟක් හාරද්දි මේ වගේ ජල කාන්දු සිද්ධ වෙනවා. ඒක
බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි උමා ඔය උමඟේ ජල කාන්දුව තරමක් විශාල එකක්. ඒ
නිසා තමයි ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ."
"එතකොට පොළව ගිලා බහින්නෙ කොහොමද?"
"පාෂාන ස්ථරයේ තිබුන ජලය ඉවත් වුනාම එතැන හැදෙනවා හිස් අවකාශ. මේ හිස්
අවකාශ ගොඩක් ලොකු වුනොත් ඊට ඉහළ තියෙන ගල්, පස් තට්ටු වල බර නිසා පොළව
එතැනින් ගිලා බහින්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වල හදල තියෙන ගෙවල්
ඉරිතැලෙන්න හෝ සම්පූර්නයෙන්ම කැඩී යන්න පුළුවන්."
"ඉතින් මේක දිගටම සිද්ධ වෙන තත්වයක් ද?"
"උමඟ හිස් වෙලා තියෙන තාක් කල් මේ වැඩේ වෙනවා. නමුත් උමඟ ජලයෙන් පිරෙව්වම කාන්දු වෙන එක නවතිනවා."
"ඒ කොහොමද එහෙම වෙන්නෙ?"
"උමඟට වතුර පිරෙව්වම උමඟ ඇතුලෙ වතුර තියෙන්නෙ පීඩනයක් යටතේ. ඒ නිසා ඇතුලට වතුර කාන්දු වෙන්නෙ නෑ"
"එතකොට උමඟ සම්පූර්නයෙන් පිරිල නැති වෙලාවට?"
"මට පේන්නෙ ඔබට උමඟේ වතුර තියෙන ආකාරය ගැන පැහැදිලි වැටහීමක් නෑ. මම ඒක
පැහැදිලි කරන්නම්. ජල විදුලි බලාගාරයක ජලාශයේ ඉඳලා බලාගාරය දක්වා ජලය
ගෙනියන උමඟට කියන්නෙ "හෙඩ් රේස් ටනල් එක" නැත්තං "පෙරාර උමඟ" කියල.
ජලාශයෙන් පෙරාර උමඟට වතුර ඇතුල් වෙන තැන හඳුන්වන්නෙ "ටනල් ඉන්ටේක් එක"
හෙවත් "තුළු මග" කියල (A). ඊට පස්සෙ පෙරාර උමඟ පොඩි ආනතියක් සහිතව දිවෙනවා
(B). පෙරාර උමඟේ අවසන් කොටස එකපාරටම ලොකු ආනතියකින් ඉවර වෙන්නෙ. ඒ කෑල්ල
හඳුන්වන්නෙ පෙන්ස්ටොක් එක හෙවත් "කොටු දොර" කියල (C). පෙන්ස්ටොක් එක කෙළවර
වෙන්නෙ බලාගාරයෙන්. එතන තමයි ටර්බයින් එක තියෙන්නෙ (D)."
"මේ පින්තූරයෙන් පේන්නෙ ඒක නේද?"
"ඔව්. ඔය තියෙන්නෙ මේ සැකැස්මේ සරල නිරූපනයක්. එතකොට ජලාශයේ ජල මට්ටම හැම
වෙලේම පවත්වාගන්නෙ ඉන්ටේක් එකට උඩින්. කිසිම අවස්ථාවක ජලාශයේ ජල මට්ටම
ඉන්ටේක් එකට පහලට යන්න දෙන්නෙ නෑ. ඒ නිසා හැම වෙලේම උමඟ සම්පූර්නයෙන්ම
ජලයෙන් පිරිල තියෙන්නෙ. අපි කොයි වෙලේවත් ඉන්ටේක් එක ළඟින් වතුර පාර වහන්නෙ
නෑ. එතනින් උමඟ හැමවෙලේම විවෘතයි."
"එතකොට වැස්ස අඩු කාලෙට මොකද වෙන්නෙ?"
"වැස්ස අඩු කාලෙට ටර්බයින් යන්ත්‍ර හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මුළු
දවස තිස්සෙම ජලාශ දෙකට එකතු වෙන වතුර දවසේ විදුලි ඉල්ලුම වැඩිම පැය දෙක
තුන තියෙන වෙලාවට විතරක් ක්‍රියාත්මක කරනවා. ටර්බයින ක්‍රියාත්මක වෙන්නෙ
නැති වෙලාවට උමඟ ඇතුලෙන් වතුර ගලන්නෙ නෑ. නමුත් උමඟ වතුරෙන් පිරිල
තියෙන්නෙ."
"හැමනියං කාලෙටම එහෙමද?"
"හැමනියං කාලෙටම එහෙමයි"
"එතකොට උමඟ ඇතුලෙ වතුර පීඩනයෙන් තියෙනව කිව්වෙ?"
"උමඟට වඩා ජලාශයේ ජලමට්ටම වැඩි නිසා උමඟ ඇතුලේ තියෙන ජල කඳට හැම වෙලේම
ජලාශයේ තියෙන ජල කඳ මගින් පීඩනයක් එල්ල වෙලා තියෙන්නෙ. ඒ නිසා ටනල් එක
ඇතුලෙ ජල කඳ හැම වෙලේම පීඩනයක් යටතේ තියෙන්නෙ. මේ පීඩනය තියෙන්නෙ ඇතුලේ සිට
එළියට. ඒ කියන්නෙ ජල කඳ විසින් උමඟේ ඇතුලත බිත්ති එළියට තෙරපිලා තියෙන්නෙ
හැම වෙලේම (රූප සටහන). ඒ නිසා උමඟ ඇතුලට ජල කාන් දුවක් වෙන්නෙ නෑ."
"ඒත් භූ ගත ජල කඳේ උස ජලාශයේ උසට වැඩා වැඩි නම් ඇතුලට කාන්දු වෙන්න පුළුවන් නේද?"
"එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. හේතු දෙකක් නිසා. පළවෙනි එක ඩයරාබ
ජලාශයේ උපරිම ජල මට්ටම තියෙන්නෙ ඉන්ටේක් එකට වඩා මීටර් 22 ක් උඩින්. එහෙනං
භූ ගත ජල කඳේ උස මීටර් 22 ට වඩා වැඩි වෙන්න ඕනෙ. ඒක ටිකක් විශාල අගයක්.
දෙවෙනි එක, භූ ජල කඳ තියෙන්නෙ ජලාශයක් වගේ එක පොදියට නෙවෙයි. ඒ නිසා
ජලාශයෙන් එන පීඩනය වගේ කන්ටිනිවස් පීඩනයක් එන්නෙ නෑ. ජල කඳ ෆ්‍රැග්මන්ට්
වෙලා තියෙන්නෙ. ඒ නිසා ලොකු පීඩනයක් දෙන්න අමාරුයි."
"හරි. එතකොට ඔබ කියන විදිහට උමඟ ජලයෙන් පිරෙව්වට පස්සෙ තව දුරටත් කාන්දු වෙන්නෙ නෑ. ඒත් දැනටම වෙලා තියෙන හානිය එහෙම්මමයි නේද?"
"පොළව ගිලා බැහැපුවා සහ ගෙවල් කැඩිච්ච ඒව ආයෙ හරියන්නෙ නෑ. නමුත් ආපහු
වැහි කාලයක් ආව ගමන් අර හිඳිච්ච උල්පත් ආපහු පිරෙනවා. ඒ නිසා වතුර හිඳිච්ච
එක ආපහු හරියනවා. හැබැයි 100% හරියන එකක් නෑ. නමුත් බොහෝ දුරට හරියනවා. ඒ
වගේම උමඟ ඇතුලෙ පීඩනය වැඩි නිසා සමහර තැන් වල උමඟෙන් එළියට වතුර කාන්දු
වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන් වල භූගත ජල මට්ටම කලින් තිබුනටත් වඩා යහපත්
වෙනවා. මොකද නියං කාලෙටත් උමඟෙන් වතුර කාන්දු වෙන නිසා. ඒ වගේම කලින් තිබ්බ
උල්පත් නැවත හරි නොයන්නත්, කලින් නොතිබුන උල්පත් මතු වෙන්නත් පුළුවන්."
"එතකොට මේ සමහරු කියනව නේද රාවණා ඇල්ල හිඳිල ගියා කියල. ඒ මොකද්ද?"
"එතන පොඩි පටලැවිල්ලක් තියෙන්නෙ. අපි ඔය රාවණා ඇල්ල කියල හඳුන්වන ඇල්ල -
වැල්ලවාය පාර අයිනෙ තියෙන දිය ඇල්ල ඇත්තටම රාවණා ඇල්ල නෙවෙයි. ඒකට කියන්නෙ
බඹරගල ඇල්ල. බඹරගල ඇල්ලට කිසි දෙයක් වෙලා නෑ. නියම රාවණා ඇල්ල තියෙන්නෙ තව
ටිකක් ඇතුළට වෙන්නෙ. ඒක පාරට පේන්නෙ නෑ."
"එතකොට ඒ ඇල්ල හිඳිල කියන්නෙ බොරු ද?"
"නෑ. ඒක බොරුවක් නෙවෙයි. මේ දවස් වල රාවණා ඇල්ල හිඳිල තියෙන්නෙ. හැබැයි ඒක
හැමනියං කාලෙටම වෙන දෙයක්. සමහර දිය ඇලි මතුවෙන්නෙ වැහි කාලෙට විතරයි. ඒක
කඳුකර වැසියන්ට නං බොහොම සාමාන්‍යය දෙයක්. රාවණා ඇල්ලත් ඒ වගේ වැහි කාලෙට
විතරක් මතු වෙන දිය ඇල්ලක්."
"එතකොට රාවණා ඇල්ලට උමඟෙන් බලපෑමක් නැද්ද?"
"උමඟ ඔය ආසන්නයෙන් යනවා. ඒ කියන්නෙ පොඩි බලපෑමක් ඇති. නමුත් රාවණා ඇල්ල
තියෙන්නෙ වැහි කාලෙට විතරයි. වැස්ස පටන් ගත්තම ආපහු දිය ඇල්ල මතු වෙලා එයි.
උමඟෙන් බලපෑමක් තිබ්බත් මම කලින් කිව්ව වගේ උමඟට වතුර පිරෙව්වම ඒක නැති
වෙලා යනවා."
"ඔබ ඔය උමඟ වතුරෙන් පිරුනම හරියයි කිව්වට මට නං හිතෙන්නෙ ඕක සුරංගනා කතාවක් වගේ. ඕක ඇත්තටම වෙයි ද?"
"මේක කලින් උමං වලදිත් වුන දෙයක්. වික්ටෝරියා, ඉහළ කොත්මලේ, කොත්මලේ වගේ උමං හදපු තැන් වලත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වුනා."
"එතකොට ප්‍රදේශවාසීන් ට කිසිම බලපෑමක් නැද්ද?"
"බලපෑමක් තියෙනවා. ගෙවල් වෙලට වුන හානිය. ඒක ආපහු හරියන්නෙ නෑ."
"ඒකට මොකද කරන්න පුළුවන්?"
"සුළු හානියක් විතරක් වෙලා තියෙන තැන් වල ගෙවල් අළුත්වැඩියා කරල දෙන්න
පුළුවන්. නමුත් ලොකු හානියක් වුන තැන්වල සමහර විට ගෙවල් අළුතෙන්ම හදන්න
වෙයි. පොළව ගොඩක් ගිලා බැහැල නම් ඔවුන් ව නැවත පදිංචි කරන්න වෙයි. එතකොට
උලපත් සිඳී ගිය අයට විකල්ප ජල මූලාශ්‍ර ලබා දෙන්න වෙයි. මේ හැමෝටම වන්දි
දෙන්න වෙයි."
"ඒක කවුද කරන්න ඕනෙ?"
"ඒක ව්‍යාපෘතියේම කොටසක් වෙන්න ඕනෙ."
"මේක මෙච්චර ප්‍රමාද වෙලා තියෙන්නෙ ඇයි? කාගෙද ඒකෙ වැරැද්ද?"
"මම හිතන්නෙ කාන්දුවෙ මෙච්චර දරුණු වෙයි කියල බලාපොරොත්තු නොවුන නිසා තමයි
මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. තත්වය මේ තරම් දරුණු වෙන්න කලින් පාලනය
කර ගන්න බැරිවුන එක ව්‍යාපෘතියේ අඩුපාඩුවක්."
"එතකොට දැන් අපිට මොකද කරන්න පුළුවන්? මේ මිනිස්සුන්ට සාධාරන විසඳුමක් ලැබන කං හරි ව්‍යාපෘතිය නවත්තන එක නේද වෙන්න ඕනෙ?"
"නෑ. ඒක තමයි කරන්න පුළුවන් නරකම දේ. කරන්න ඕනෙ පුළුවන් තරම් ඉක්මනට
ව්‍යාපෘතිය ඉවර කරල උමඟ ජලයෙන් පුරවන එක. උමඟ ජලයෙන් පිරුනට පස්සෙ කාන්දුව
සහ හානිය නවතිනවා. ව්‍යාපෘතිය නැවැත්තුවොත් ඒ නවත්තල තියෙන හැම තප්පරයකින්
ම වෙන්නෙ හානිය තවත් වැඩි වෙන එක. දැන් ව්‍යාපෘතිය නවත්තනව කියන්නෙ
හානියට පත් ජනතාව කබලෙන් ලිපට ඇදල දානව වගේ වැඩක්."
"හොඳයි අපි
නැවතත් විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා මේ
ව්‍යාපෘතියේ ඉතිහාසය, සිද්ධ වුනා යැයි කියන ඩොලර් මිලියන ගාණක වංචාව සහ මේ
ව්‍යාපෘතියෙන් අපිට වැඩක් තියෙයි ද කියන දේ ගැන කතා කරන්න."
=======================================================================
"හොඳයි
අපි නැවතත් සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවේ තුන් වෙනි අදියර සඳහා. අපිත් එක්ක
අද කතා කරන්නෙ ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා. අපි කතාව
පටන් ගමු මේ උමඟ හාරන්න පාවිච්චි කරන ක්‍රමවේදය ගැන කතා කරල."
"ඔව්. මේ උමඟ හාරන්න පාවිච්චි කරන්නෙ ටනල් බෝරිං මැෂින් (TBM) ලෙස හඳුන්වන
ලොකු ඩ්‍රිල් එකක්. මේ ඩ්‍රිල් එකේ විෂ්කම්භය උමඟේ විෂ්කම්භයට සමානයි.
මේකෙන් කරන්නෙ උමඟේ එක පැත්තක ඉඳල හාරගෙන උමඟේ ගමන් මාර්ගය දිගේ මැෂින් එක
අරගෙන යන එක. ටනල් මක් එක ලෙස හඳුන්වන ඉවත් වන ගල් සහ ගල් කුඩු මැෂින් එකේ
පිටුපසින් ඉවත් කරනවා."
"එතකොට උමඟේ ඇතුලත බිත්තිය සකස් වෙන්නෙ කොහොමද?"
"ඒ මැෂින් එකෙන්ම උමඟේ ඇතුලත බිත්තියට කොන්ක්‍රීට් ලයිනින් එකක් දාගෙන යනව."
" ඒ කියන්නෙ එතනම කොන්ක්‍රීට් සකස් කරනවද?"
"නෑ. ලයිනින් එක සමන්විත වෙන්නෙ පෙර සෑදූ කොන්‍ක්‍රීට් කෑලි වලින්. මේ
කෑලි ජිග්සෝ පසල් එකක කොටස් වගේ එකිනෙක් සම්බන්ධ කරල උමඟේ ඇතුලත වළලු
ආකාරයට සකස් කරනවා. කෑලි අතරට රබර් ලයිනින් එකක් යනවා."
"පොඩ්ඩක් ඉන්න. උමඟේ ඇතුලත බිත්තිය කොන්ක්‍රීට් වෙනව නම් ලීක් එකක් ආවෙ කොහොමද?"
"ඩ්‍රිල් එක සහ කොන්ක්‍රීට් ලයිනින් එක දමන තැන අතර මීටර් 20 විතර ගැප්
එකක් තියෙනවා. කොන්ක්‍රීට් ලයිනින් එක දාන්න කලින් ලීක් එක ආවොත් ලයිනින්
එක දාන්න බැරි වෙනවා."
"පැහැදිලියි. එතකොට දැන් ලීක් එක තියෙද්දි ලයිනින් එක දාන්න බෑ නෙ. ලීක් එක නවත්තන්න බැරිද?"
"සාමාන්‍යයෙන් මේ වගේ උමඟක් හාරද්දි එන ලීක් නවත්තන්නෙ බදාම (ග්‍රවුට්)
පාවිච්චි කරල. නමුත් මෙතන වතුර පාර එහෙම වහන්න සැර වැඩියි. මෙතන අධි ශීත
කරල වතුර අයිස් කිරීමෙන් ලීක් එක නවත්තන යෝජනාවක් තිබ්බ. ඒකට මොකද වුනේ
කියන්න මම දන්නෙ නෑ. සමහර විට තාක්‍ෂනික ගැටළු නිසා කරන්න බැරි වෙන්න ඇති."
"මේ උමඟ හෑරුවෙ ශක්තිමත් පාෂාන ස්ථරයක් හරහා නෙවෙයි ද?"
"උමං හාරද්දි හමුවන පාෂාන ශක්තිය අනුව ඛාණ්ඩ කීපයකට වර්ග කරනවා. ශක්තිමත්ම
එකට කියන්නෙ ග්‍රේඩ් A කියල. නමුත් ටනල් බෝරිං මැෂින් එකෙන් උමඟක්
හාරද්දි ග්‍රේඩ් A පාෂාන උවමනාවෙන්ම මග හරිනවා. ඒ අධික කාලයක් ගත වන නිසා.
ඊට වඩා අඩු ශක්තියෙන් යුක්ත පාෂාන ස්ථර තමයි තෝර ගන්නෙ. නමුත් උමඟ ඇතුලට
කොන්ක්‍රීට් ලයිනින් එකක් දාන නිසා පාෂාන ශක්තිය අඩු වීම ප්‍රශ්නයක් වෙන්නෙ
නෑ. මෙතනදි වගේ වතුර ලීක් ආවෙ නැත්තම්."
"හොඳයි මේ තාක්‍ෂනික කරුණු
පොඩ්ඩක් පැත්තකින් තියල අපි යොමු වෙනවා මේ ව්‍යාපෘතියෙ ඉතිහාසයට. මේ
ව්‍යාපෘතිය මහින්ද මහත්තයගෙ අදහසක් කියන්නෙ ඇත්තද?"
"උමා ඔය
නිම්නයේ ජලය විදුලි බල උත්පාදනයට සහ කෘෂිකර්මය සඳහා යොදාගන්න පුළුවන් ද
බලන්න මුලින්ම ශක්‍යතා අධ්‍යයනයක් කරේ 1959 ඇමරිකානු සහ කැනේඩියානු සමාගම්
දෙකකින්. එතකොට මහින්ද මහත්තයට වයස අවුරුදු 14 යි."
"එහෙමද? එතකොට ඊට පස්සෙ මොකද වුනේ?"
"ඊට පස්සෙ ශක්‍යතා අධ්‍යයන කීපයක්ම වුනා. වැදගත්ම එකක් තමයි 1987 දි
ජර්මන් සමාගමකින් කරපු එක. ඒකෙදි විදුලි බලාගාර තුනක් සහ ජලාශ තුනක් හදන්න
යෝජනා කරා. මේ මුල් කාලීන යෝජනා ක්‍රම වලදි උමා ඔයේ සොබාවික ගමන් මාර්ගයේ
වෙනසක් කරන්න උත්සහ කරේ නෑ. වතුර ටික අවසානයේදී රන්ටැඹේ ජලාශයටම වැටෙන
විදිහට තමයි යෝජනා වුනේ."
"එතකොට මේක වෙනස් කරල උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන සංකල්පය මහින්ද මහත්තයගෙ යෝජනාවක් ද?"
"උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න මුලින්ම යෝජනා කරන්නෙ 1989 දි. ඒ මධ්‍යම ඉංජිනේරු උපදේශක බියුරෝවෙන් (CECB)."
"ඊට පස්සෙ මොකද වුනේ?"
"2002 දි කැනේඩියානු සමාගමකින් නැවතත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනවා.
ඒකෙදිත් බලන්නෙ උමාඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න. ඊට පස්සෙ 2004 දි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තවත් ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. 2009 දි තමයි
වර්තමාන යෝජනාව ඉදිරිපත් වෙන්නෙ."
"එතකොට මහින්ද මහත්තය මේකට කිසිම සම්බන්ධයක් නැද්ද?"
"මහින්ද මහත්තය කරේ ලංකාවෙ දීර්ඝ කාලයක් තිස්සෙ එක තැන පල් වෙවී තිබ්බ
ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම. මේ අතරින් 1990 ගණන් වල ඉඳල පල් වුන
ගල් අඟුරු බලාගාරය, 1985 ඉඳල පල් වුන ඉහළ කොත්මලේ එහෙම ප්‍රධානයි. ඔබ
දන්නවනෙ ලංකාවෙ ඕනම ව්‍යාපෘතියක් යෝජනා වුනාම ඒකට නොයෙක් සංවිධාන මගින්
විවිධ විරෝධතා එන බව? ඉතින් දේශපාලඥයන් මේ විරෝධතා ඉදිරියේ මේ ව්‍යාපෘති
දියත් කරන්න අදි මදි කරනවා. මහින්ද මහත්තය එහම පල් වෙවී තිබ්බ ව්‍යාපෘතියක්
තමයි මේ විදිහට පටන් ගත්තෙ."
"මේ විරෝධතා කියන්නෙ නරක දෙයක් නේද?"
"නෑ. අනිවාර්‍යෙන්ම ඒ විරෝධතා එන්න ඕනෙ. ඒවයින් තමයි ව්‍යාපෘති වල තියෙන
අඩුපාඩු සකස් වෙන්නෙ. නමුත් ඒ විරෝධතා සාධාරන සහ නම්‍යශීලී වෙන්න ඕනෙ.
විවිධ යටි අරමුණු සහිතව මස් රාත්තලම ඉල්ලල කරන විරෝධතා වලින් වෙන්නෙ
අනර්ථයක්."
"ඔබ සඳහන් කලා 2002 කැනේඩියානු ශක්‍යතා අධ්‍යනයක් ගැන.
මේකෙදි ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තුව සහ වර්තමාන ඇස්තමේන්තුව අතර ලොකු
වෙනසක් තියෙනව නේද?"
"ඔව්. එහෙම චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා.
නමුත් අපි වටහා ගන්න ඕනෙ ශක්‍යතා අධ්‍යයනයක් සහ ව්‍යාපෘතියක් දියත් වීම
අතරතුරේදී ව්‍යාපෘතියේ සැලැස්ම සහ වපසරිය වෙනස් වෙන්න පුළුවන් කියන එක.
උදාහරණයකට 2002 යෝජනාවේ අඩංගු විදුලි බලාගාරය මෙගාවොට් 90 යි. වර්තමාන
විදුලි බලාගාරය මෙගාවොට් 120 යි. මේ වගේ නොයෙකුත් වෙනස්කම් තවත් තියෙන්න
පුළුවන්. උදාහරණයක්ට කිරිඳි ඔය නිම්නයේ සංවර්ධන කටයුතු මේ ඇස්තමේන්තු වලට
අයත් වෙනවද? එහෙනම් ඒ මොනවද? වගේ කරුණු මත මේ ඇස්තමේන්තු වෙනස් වෙන්න
පුළුවන්."
"එතකොට ඔබ කියන්නෙ මෙතන දූෂනයක් වෙලා නෑ කියලද?"
"අපෝ නෑ. මම එහෙම කියන්නෙ නෑ. මම කියන්නෙ හරිහැටි දත්ත නැතුව දූෂනයක් වුනා
හෝ නොවුනා කියන නිගමනයට එන්න බෑ කියල. චෝදනාව ඉදිරිපත් කරන අය මේ දත්ත
ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සෙ සාධාරන සැකයක් තියෙනව නම් පරීක්‍ෂනයක් තියල
දූෂනයක් වුනාද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. දූෂනයක් වුනා වෙන්නත්
පුළුවන්. මේක ලංකාව නෙ. ඒත් "අර ඇස්තමේන්තුව අච්චරයි. මේ ඇස්තමේන්තුව
මෙච්චරයි. අටෙන් පහක් අඩු කරාම තුනයි." කියල මේ නිගමනයට එන්න බෑ."
"හරි අපි දැන් කතා කරමු මේ උමා ඔයෙන් අපි හරවන වතුරට මොකද වෙන්නෙ කියල."
"මේ වතුර මුලින්ම පාවිච්චි වෙන්නෙ මෙගාවොට් 120 ක විදුලි බලාගාරයෙන්
විදුලි උත්පාදනයට. ඊට පස්සෙ ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 127 කට
ලබා දෙනවා. ඒ මගින් අළුත් කුඹුරු හෙක්ටාර 3800 ක් සහ දැනට මහ කන්නය විතරක්
වගා කරන කුඹුරු හෙක්ටාර 1500 වගා කෙරෙනවා. මේ මගින් දැනට තියෙන වැව් විශාල
කිරීම වගේම අළුතින් වැව් කීපයක් සෑදීමත් සිද්ධ කෙරෙනවා. ඒ වැඩ කටයුතු දැනටම
පටන් අරන් තියෙන්නෙ."
"හම්බන්තොට ටත් වතුර දෙනවද?"
"නෑ. හම්බන්තොටට වතුර දෙන්න වෙනම වයාපෘතියක් ක්‍රියාත්මකයි. උමා ඔයේ වතුර ඒ සඳහා පාවිච්චි වෙන්නෙ නෑ."
"ඔබ ඔහොම කිව්වට ව්‍යාපෘති වාර්තා වල මේ වතුර හම්බන්තොටට ගෙනියනව කියල තියෙනවා නෙ."
"ව්‍යාපෘති වාර්තා කියන්නෙ ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ එකක් නෙවෙයි. ඒව
කාලයත් එක්ක අවශ්‍යයතාවයන් අනුව වෙනස් කරනවා. 2010 දි මේ වතුර හම්බන්තොටට
ගෙනියන්න සැලසුම් කරා. ඒත් දැන් ඒ සැලසුම වෙනස් කරලා. දැන් මේ වතුර
පාවිච්චි වෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ විතරයි."
"හොඳයි. මේ
ව්‍යාපෘතියට තියෙන තවත් චෝදනාවක් තමයි ඊශාන දිග මෝසමෙන් ජලය ලබා ගන්න
ගංගාවක වතුර ඊශාන දිග මෝසමෙන් ජලය ලැබෙන පැත්තකට ගෙනියනව කියල."
"ඔය චෝදනාවෙ අවුල් කීපයක් තියෙනවා. මුලින්ම උමා ඔයේ අතු දෙකම පටන් ගන්නෙ
හපුතලේ-ඔහිය-පට්ටිපොළ ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයට නිරිත දිග මෝසමෙනුත් වතුර
ලැබෙනවා. ඒත් උමා ඔයට වැඩිපුර වතුර ලැබෙන්නෙ ඊශාන දිග මෝසමෙන්. ඊළඟට ඊශාන
දිග මෝසමෙන් හැම තැනටම එක ගානට වතුර ලැබෙන්නෙ නෑ. උමා ඔය නිම්නයට වහින
ප්‍රමානය කිරිඳි ඔය නිම්නයට වහින ප්‍රමානයට වඩා ගොඩක් වැඩියි. ඊ ළඟට කිරිඳි
ඔය නිම්නයේ වැව් සංවර්ධනය කරන නිසා ඊශාන දිග මෝසමට වැස්සත් උමා ඔයෙන් එන
වතුර රඳවා ගන්න ඒ වැව් වලට පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් වියළි කාලයට
වගා කරන්න පුළුවන්. ඒ නිසා ඔය චෝදනාවෙ පදනමක් නෑ."
"එතකොට තවත් ලොකු චෝදනාවක් තියෙනව නේද උමා ඔයේ විශාල රොන් මඩ ප්‍රමානයක් එන නිසා අළුත් ජලාශ දෙක ඉක්මනින්ම පිරෙයි කියල?"
"උමා ඔය කියන්නෙ විශාල රොන් මඩ ප්‍රමානයක් සහිත ගඟක්. ඒක හරි. ඒත් දැනටමත්
මේ මඩ රන්ටැඹේ ජලාශයේ තැන්පත් වෙනවා. ඒ මඩෙන් කොටසක් පුහුල්පොළ සහ ඩයබරා
ජලාශ වලට ගන්න එක කරන්නෙ. එතකොට රන්ටැඹේ ට නැති අමුතු ප්‍රශ්නයක්
පුහුල්පොළටයි ඩයබරා ටයි එන්නෙ නෑ. ඊට අමතරව අළුත් ජලාශ දෙකේ මඩ ඉවත් කිරීම
සඳහා තියෙන යාන්ත්‍රනය ගැන විශේෂ අවධානයක් යොමු කරල තමයි සැලසුම් කරල
තියෙන්නෙ. අවසාහ වශයෙන්, දැනට රන්ටැඹේ පිරෙන මඩ ටික ජලාශ තුනකට බෙදා දීමෙන්
ඒ ප්‍රශ්නය විසඳ ගන්න පහසු වීමකුත් වෙනවා."
"මේ ව්‍යාපෘතියේ
කොන්ත්‍රාත් කරන ෆරාබ් සමාගම කාන්තාර වල තෙල් ළිං හාරන මේ වගේ ව්‍යාපෘති
ගැන කිසිම අත්දැකීමක් නැති සමාගමක් ලු නේද?"
"සම්පූර්නයෙන්ම වැරදි
කතාවක්. මේ සමාගම ජල විදුලි ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ අත්දැකීම් තියෙන සමාගමක්.
ඔවුන් ඉරානය, කෙන් යව, ආමේනියාව, තාජිකිස්ථානය, ඉරාකය සහ පාකිස්ථානය යන
රටවල ජල විදුලි ව්‍යාපෘති 30 කට අධික ප්‍රමානයක් කරල තියෙනවා. මේ සමහර
ව්‍යාපෘති මෙගාවොට් 1000 ක දැවැන්ත බලාගාර."
"හොඳයි මේ ව්‍යාපෘතියේ ප්‍රයෝජන මොනවාද?"
"ප්‍රධාන ප්‍රයෝජනය තමයි කුඹුරු හෙක්ටාර 5000 කට අධික ප්‍රමානයක් වගා
කරන්න ජලය ලැබීම. මේකෙන් රටේ කෘෂි කාර්මික නිෂ්පාදනය වගේම මොණරාගල
දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන මට්ටමත් ඉහළ යනවා. මොණරාගල කියන්නෙ අද ලංකාවෙ
යුද්ධය නොතිබූ දිස්ත්‍රික්ක අතරින් දුප්පත්ම දිස්ත්‍රික්කය."
"එතකොට විදුලි බලය පැත්තෙන්?"
"බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 120 ක්. මේක උපයෝගී කර ගන්නෙ විදුලි ඉල්ලුම
වැඩිම පැය කීපයේ ජනනය සඳහා. ඒ කියන්නෙ හවස 6 සිට රාත්‍රී 9 දක්වා. මේ
කාලසිමාවේ විදුලි ඉල්ලුම සම්පූර්න කිරීම තමයි අද ලංකාවේ විදුලි බල
ක්‍ෂේත්‍රයේ ලොකුම අභියෝගය. මේකෙන් ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. බලාගාරයේ
වාර්‍ෂික ශක්ති ජනනය ගිගාවොට් පැය 230 ක්. ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230
ක්."
"මේක රුපියල් වලින් කිව්වොත් මොන වගේ ලාබයක් ද?"
"මේ
බලාගාරය නැත්තම් අපිට මේ විදුලි ප්‍රමානය උත්පාදනය කර ගන්නෙ වෙන්නෙ ඩීසල්
වලින්. එතකොට ඩීසල් වලින් විදුලි ඒකකයක් නිපදවන්න ජල විදුලියට වඩා රුපියල්
25 ක් යනව කියල උපකල්පනය කරොත් අවුරුද්දකට රුපියල් බිලියන 5.57 ක ඉතිරියක්.
ඊට අමතරව ඒ ඉතුරු වෙන ඩීසල් කියන්නෙ අපිට ඉතුරු වෙන විදේශ විනිමය. මේ
ව්‍යාපෘති වලට එරෙහි වෙන පරිසර වේදීන් මෙමගින් ඩීසල් දහනය අඩු වීම මගින්
වක්‍රව ඇතිවන පරිසර හිතකාමී බව නොසලකා හැරීම කණගාටුවට කරුණක්."
"එච්චරද?"
"නෑ. ඌව-හම්බන්තොට-අම්පාර ප්‍රදේශයේ දැනට තියෙන්නෙ විදුලි බලාගාර ඉතාම
ස්වල්පයක්. ඒවත් අඩු ධාරිතාවක ඒවා. ඉතින් දුර ඉඳල මේ ප්‍රදේශ වලට විදුලිය
සම්ප්‍රේෂනය කිරීමේදී ලොකු ශක්ති හානියක් වෙනවා. ඊට අමතරව පද්ධතියේ
වෝල්ටීයතා පාලනය අපහසු වීමෙන් පද්ධතිය අස්ථාවර වෙනවා. මේ බලාගාර ආවොත් ඒ
සියළු ප්‍රශ්න වලට හොඳ විසඳුමක් ලැබෙනවා."
"හොඳයි පාදඩයා. අපි මේ සාකච්ඡාව මෙතැනින් අවසන් කරනවා. ඔබට බොහොම ස්තූතියි. අවසාන වශයෙන් කියන්න යමක් තියෙනවද?"
"අපි වර්තමාන ලෝකයේ පිළිපදින්නෙ නූතන බටහිර සංවර්ධන මොඩලය. මේ මොඩලය අනුව
කෙරෙන සංවර්ධන කටයුතු වලදී පරිසරයට බලපෑම් වෙන එක නවත්තන්න බෑ. අපිට කරන්න
පුළුවන් බලපෑම් අවම කිරීම පමණයි. ඒ නිසා මේ වගේ දැවැන්ත සංවර්ධන
වයාපෘතියකදී පරිසරයට බලපෑමක් වෙන එක අරුමයක් නෙවෙයි. ඉතින් අපි ඒ වගේ
වෙලාවකදි කරන්න ඕනෙ ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වුන මිනිස්සු මරාගෙන කන එක
නෙවෙයි. ඉවසීමෙන් ගැටළු විසඳගෙන ඉදිරියට යන එක. පරිසරයට හානි නොවී
සංවර්ධනය කරන්න බෑ. එහෙම අවශ්‍යය නම් අපි මේ සංවර්ධන මොඩලය ඉවත් කරලා වෙනත්
සංවර්ධන මොඩලයක් කරා යන්න ඕනෙ. ඒක රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර ඇති
වෙන්න ඕනෙ කතිකාවක්. ඒත් අවාසනවට අපේ රටේ එවැනි කතිකා ඇති වීම වෙනුවට
දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් සහ ජන මාධ්‍යය මගින් ප්‍රශ්න වවාගෙන කෑමක් තමයි
සිදු කරන්නෙ. මේ දීර්ඝ සාකච්ඡාව නැරඹූ/සවන්දුන්/කියැවූ ඔබ සැමට ස්තූතියි."