යාපනයේ දේශපාලන ඉතිහාසය
1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්‍රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.
කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.
1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්‍රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ලංකාව ආක්‍රමනය කරනවා. ඔහු මැලේ ජාතිකයෙක් සහ බෞද්ධයෙක්. නමුත් මේ කාලයේ අග්නිදිග ආසියා කලාපයේ සියළුම ජනවර්ග සිංහලයන් විසින් හැඳින්වුයේ "ජාවක" නමින්. ඒ නිසා අපේ වංශකතාවල චන් ද්‍රභානු හැඳින්වෙන්නෙ ජාවක රජෙක් විදිහට.
චන් ද්‍රභානු ගෙ හමුදාව ලංකාවේ දකුණ ආක්‍රමනය කළත්, ඒ වෙනකොට දඹදෙණියේ රජු වුන දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔවුන්ව පසු බස්සවන්න සමත් වෙනවා. එතකොට චන් ද්‍රභානු උතුරට ගොඩ බැහැලා කාලිංග මාඝව මරලා යාපනය යටත් කරනවා. ඔහුගේ හමුදාව විෂ ඊතල භාවිතා කළ බව ඉතිහාසයේ කියැවෙනවා.
එතැන් සිට ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය වෙන්නෙ තාම්‍රලිංග රාජධානියේ කොටසක් විදිහට. චන් ද්‍රභානු ගෙ බලකොටුව පිහිටි ප්‍රදේශය එදා හැඳින්වුනේ "ජා බලකොටුව" කියන අරුත දෙන "ජාවකකෝට්ටේ" නමින්. අද එය දෙමළ ඌරුවට "චාවාකච්චේරි" කියල හැඳින්වෙනවා.
මේ කාලයේ කලාපයේ බලවත්ම රාජධාණිය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යය. චන් ද්‍රභානු නැවත වතාවක් දඹදෙණිය ආක්‍රමනය කරන්න සූදානම් වුනාම දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය අධිරාජ්‍යයා ගෙන් උදව් ඉල්ලනවා. ඒ අනුව 1263 දි පාඬ්‍යය සේනාවක් යාපනයට ගොඩ බැහැල තාම්‍රලිංග හමුදාවන් පරාජය කරනවා. සටනෙන් චන් ද්‍රභානු මිය යනවා.
පාඬ්‍යය වරු චන් ද්‍රභානු ගෙ පුතා වන "සවකන්මයින්ඩන්" කුමාරයා යාපනයේ පාලකයා කරනවා. නමුත් පාඬ්‍යය අධිරාජ්‍යයට කප්පම් ගෙවන කොන්දේසිය මත.
ප්‍රකට දේශ සංචාරකයෙක් වන මාර්කෝ පෝලෝ ලංකාවට එන්නෙ මේ කාලයේදී. ඔහු ත්‍රිකුණාමලයෙන් ගොඩ බැහැල එන්නෙ යාපනය ප්‍රදේශයට. ඔහුගේ විස්තරයේ වැඩිපුර සඳහන් වෙන්නෙ යාපනය ප්‍රදේශය සහ එහි වැසියන් ගැන. ලංකාවෙ රජු ලෙස ඔහු විස්තර කරන්නෙ සවකන්මයින්ඩන් ව. ඔහුගේ විස්තරයේ ලංකාවේ රජු ගෙ නම ලෙස සඳහන් වෙන්නෙ "සෙන්ඩෙමයින්".
1277 දි සවකන්මයින්ඩන් දඹදෙණිය ආක්‍රමය කරන්න තැත් කරනවා. නමුත් ආයෙත් පාඬ්‍යය අධිරාජ්‍යය සිංහල රජුගෙ උදව්වට හමුදාවක් යාපනයට එවනවා. ඔවුන් සවකන්මයින්ඩන් මරා දමල යාපනයේ පාලකයා වශයෙන් පාඬ්‍යය රජුගේ අමාත්‍යයෙක් වන "කුලසේකර සින්කෛයාරියම්" පත් කරනවා. ඔහු තමයි "ආර්‍ය චක්‍රවර්තී" කියල ලංකා ඉතිහාසයේ සඳහන් වන යාපනයේ දෙමළ පාලකයන් ගෙ ආරම්භකයා.
ලංකාව සහ පාඬ්‍යය අධිරාජ්‍යය |
දඹදෙණිය යුගය
දඹදෙණි යුගයේ පළවෙනි රජතුමා වෙන්නෙ තුන්වෙනි විජයබාහු. ඒ 1220 දි. ඔහුගෙන් පස්සෙ 1234 දි දෙවෙනි පරාක්‍රමබාහු (පණ්ඩිත පරාක්‍රමබාහු) සහ 1269 දි හතරවන විජයබාහු රජවෙනවා.
දඹදෙණියේ දළදා මැදුර ලෙස භාවිතා වුනු විජයසුන්දරාරාමය |
1302 දි තුන්වෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය රජු ගෙන් නැවත දළදා වහන්සේ ලබාගෙන රජකමට පත්වෙනවා. ඔහු රාජ්‍යය කරන්නෙ පොළොන්නරුවෙ ඉඳල.
ඔහු ගෙන් පස්සෙ 1310 දි රජවෙන දෙවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්න තෝරගන්නෙ කුරුණෑගල. ඊට පස්සෙ 1325 දි හතරවන පරාක්‍රමබාහු රජකමට පත් වෙනවා. ඒ අවුරුද්දෙම තුන්වෙනි භුවනෙකබාහු (වන්නි භුවනෙකබාහු) ඔහුගෙන් රාජ්‍යය පැහැර ගන්නවා. නමුත් නැවතත් ඒ අවුරුද්දෙම පස් වෙනි විජයබාහු (සවුළු විජයබාහු) රාජ්‍යය පැහැර ගන්න සමත් වෙනවා. සවුළු විජයබාහු රජතුමා 1345 වෙනකං කුරුණෑගල ඉඳලා රාජ්‍යය කරනවා.
මේ කාලයේදී ආර්‍ය චක්‍රවර්තීන් ඉතා බලවත් තත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔවුන් ගේ බලය නැගෙනහිර වෙරළෙන් ත්‍රිකුණාමලය දක්වාත්, බටහිර වෙරළෙන් කොළඹ දක්වාත් පැතිරුනා. ඒ ප්‍රදේශවල බදු රැස් කිරීමට පවා ඔවුන්ට බලය තිබ්බා. මේ කාලයේදී තමයි (1344) ප්‍රකට දේශ සංචාරකයෙක් වන ඉබන් බතූතා ලංකාවට එන්නෙ. ඔහුගේ විස්තරයේ පැහැදිලිවම සඳහන් වෙනවා කුරුණෑගල රජු සහ ආර්‍ය චක්‍රවර්තීන් දිවයිනේ කොටස් වෙන වෙනම පාලනය කළ බව.
අලගක්කෝණාර පරපුර
පොළොන්නරු යුගයේ දි දකුණු ඉන්දියාවේ කාංචිපුරම් නගරයේ ඉඳලා "අලගක්කෝන්" කියල හැඳින්වුන පවුලක් ලංකාවට සංක්‍රමනය වෙනවා.
කාංචිපුරම් නගරය දකුණු ඉන්දියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේම කාලයක් ථෙරවාද බෞද්ධ ආගම තදින් පැතිරී තිබුණ ප්‍රදේශයක්.
කාංචිපුරම් නගරයේ ඉඳල අලගක්කෝන් වරු ලංකාවට එන්නෙ සිංහල රජතුමාගෙ හමුදාවේ නිලධාරීන් විදිහට සේවය කරන්න. පසුව මොවුන් සිංහලයන් බවට පත්වෙලා ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන් ලංකාවෙදි හැඳින්වෙන්නෙ "අලගක්කෝනාර" හෙවත් "අලකේෂ්වර" නමින්. සිංහල රජුගේ රාජ්‍ය සභාවේ ප්‍රභල තැනක් ලබාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
අලගක්කෝනාර පවුලේ වැඩි දෙනෙක් පදිංචි වෙන්නෙ ලංකාවෙ බටහිර වෙරළ ප්‍රදේශයේ. මේ කාලයේදී ලංකාවෙ ප්‍රධාන වෙළඳ වරාය වෙන්නෙ බේරුවල. ඒ නිසා බටහිර වෙරළ ආශ්‍රිතව පදිංචි වෙන අලගක්කෝණාර වරුන්ට ලංකාවෙ විදේශ වෙළඳාමට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔවුන් සැලකිය යුතු ධනයක් රැස් කර ගන්නවා.
අලගක්කෝණාර පරපුරේ ප්‍රභලයෙක් වන නිශ්ශංක අලගක්කෝණාර බටහිර ප්‍රදේශයේ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බලය බිඳීමට කටයුතු කරනවා. ඔහු කොළඹ, වත්තල, මීගමුව සහ හලාවත (මේ සියල්ලම වෙළඳ තොටවල්) ආදී ප්‍රදේශ වල රඳවා තිබූ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බදු එකතු කරන්නන් සහ ඔවුන් ගේ සේනා පලවා හැරලා බටහිර ලංකාවේ සිංහල රජතුමාගෙ බලය නැවතත් තහවුරු කරනවා.
ඊට පස්සෙ ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් එල්ල වෙන්න පුළුවන් ආක්‍රමනයකට මුහුණ දෙන්න කොළඹට නුදුරෙන් විශාල සහ ශක්තිමත් බලකොටුවක් ඉඳි කරනවා. එතැන හැඳින්වෙන්නෙ "බලකොටුව" යන අරුත ඇති "කෝට්ටේ" නමින්.
මේ සිද්ධිය සිදු වන වර්‍ෂය හරියටම පැහැදිලි නැතත්, 1344 දි නිශ්ශංක අලකක්කෝණාර විසින් පිහිටවූ සෙල්ලිපියක් කැළණියේ කිත්සිරිමෙවන් විහාරයේ තියෙන නිසා ඒ ආසන්න කාලයකදි සිදු වූ දෙයක් බව හිතන්න පුළුවන්.
අලගක්කෝණාර වරු තමාගේ වාසයට තෝර ගන්නෙ රයිගම නගරය. රයිගම නගරය පිහිටල තිබ්බෙ අද පානදුර නගරයට නුදුරෙන් තියෙන ගැලනිගම ප්‍රදේශයේ. එතැන අද පිහිටුවලා තියෙන පුෂ්කරාරාමය නම් විහාරය තිබ්බ තැන තමයි අලගක්කෝණාර වරුන් ගෙ නිවාසය පිහිටුවල තිබ්බෙ. ඒ වටා ඉඳි කරල තිබ්බ කොටු පවුරේ නටබුන් අදත් දකින්න පුළුවන්.
කොටු පවුරේ නටබුන් |
ගම්පොළ රාජධාණිය
සවුළු විජයබාහු රජතුමා ගේ අවසාන කාලයේදී ඔහුගේ අමාත්‍යය වරු ඔහුට විරුද්ධව කුමන්ත්‍රනයක් කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු අන්ධ වෙනවා.
1345 දි සවුළු විජයබාහු රජතුමා මිය යනවා. එතැනදි ඔහුගේ පුතුන් දෙදෙනා අතර රාජ්‍යත්වයට ආරවුලක් ඇති වෙනවා. එක් පුතෙක් හතරවන භුවනෙකබාහු නමින් ගම්පොළ ඉඳගෙනත්, අනෙක් පුතා පස්වන පරාක්‍රමබාහු නමින් දැදිගම ඉඳගෙනත් රාජ්‍යත්වයට උරුමකම් කියනවා.
නමුත් රාජ්‍යත්වයේ සලකුණ විදිහට සැලකුන දළදා වහන්සේ වැඩ සිටියේ ගම්පොළ නිසා නීත්‍යානුකූල රජු විදිහට සැලකුනේ හතරවන භුවනෙකබාහු. මේ කාලයේ දී දළදා වහන්සේ වැඩ සිටියේ වර්තමාන ගම්පොළ නගරයට නුදුරෙන් පිහිටි නියම්ගම්පාය විහාරයේ. ගම්පොළ රාජමාළිගය පිහිටල තිබ්බෙ වර්තමාන ගම්පොළ නගරයේ බස්නැවතුම් පොළ පිහිටා ඇති ස්ථානයේ.
නියම්ගම්පාය විහාරය |
1353 දි හතරවන භුවනෙකබාහු රජතුමා මියගිය පසු පස්වන පරාක්‍රමබාහු දැදිගම ඉඳල ගම්පොළට ඇවිල්ල දළදා වහන්සේ සහ රාජ්‍යත්වය භාරගන්නවා.
නමුත් හතරවන භුවනෙකබාහු රජු ගේ පුතා වන වික්‍රමබාහු කුමාරයා පස්වන පරාක්‍රමබාහු රජතුමා ගෙන් රජකම පැහැරගන්න උත්සහ කරනවා. මේ සඳහා ඔහු ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් සහය ලබාගත්ත බව කියැවෙනවා. 1357-1359 කාලය තුල මේ දෙන්නගෙ බල ආරවුල තියෙනවා. 1359 දි වික්‍රමබාහු කුමාරයා බලය තහවුරු කරගන්න සමත් වෙනවා. ඔහු තුන්වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා.
ඔහුට ලබා දුන් උදව් වල හිලව්වට ආර්‍ය චක්‍රවර්තීන්ට හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වලින් බදු එකතු කරගැනීමට ඉඩ ලබා දෙනවා. හාරිස්පත්තුව දක්වා බදු එකතු කරන්න පුළුවන් කම තිබ්බ කියන්නෙ ආර්‍ය චක්‍රවර්තීන් මේ වෙද්දි ඉතා බලවත් තත්වයක හිටිය කියන එක.
ගම්පොළ රාජසභාවෙ මොන තත්වය තිබ්බත් මේ වෙද්දි දකුණේ සැබෑ බලවතුන් වුනේ අලකක්කෝණාර වරු. කඳුකරයෙන් පහල කිසිම බලයක් රජතුමාට තිබ්බෙ නෑ. ඒ සියල්ල පාලනය කලේ රයිගම හිටපු අලගක්කෝණාර වරු (මේ තත්වය ජපානයේ අධිරාජ්‍යයා නාමික තත්වයේ තියලා සැබෑ බලය ෂෝගුන් විසින් හෙබවීමට සමාන කරන්න පුළුවන්).
මේ කාලයේදී නිශ්ශංක අලකක්කෝණාර වික්‍රමබාහු රජු ගේ සොහොයුරිය විවාහ කර ගන්නවා. වික්‍රමබාහු රජුට පුතුන් නොමැති නිසා එම විවාහයෙන් ලැබෙන පුතා තමයි ඔහුගේ ඇවෑමෙන් 1370 දි ගම්පොළ රජ වෙන්නෙ. ඒ පස්වන භුවනෙකබාහු නමින්.
මේ කාලය වෙද්දි පස්වන පරාක්‍රමබාහු රජු ගේ පුතා ගම්පොල රාජ සභාවේ ඇමති වරයෙක් වශයෙන් කටයුතු කරල තියෙනවා. ඔහු හැඳින්වුනේ "ජයමහලේන" සිටුවරයා ලෙස. මේ ජයමහලේන සිටුවරයා නියම්ගම්පාය විහාරය ප්‍රතිසංස්කරණය කරවන්න සහ වල්ලහගොඩ විහාරය සහ දේවාලය ඉඳි කරන්න කටයුතු කරල තියෙනවා (1917 සිංහල-මුස්ලිම් කෝලහලයට හේතු වෙන්නෙ මේ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පල්ලියකින් බාධා කිරීම). අද නියම්ගම්පාය විහාරය සහ වල්ලහගොඩ ප්‍රදේශය හැඳින්වෙන්න ජයමහලේන සිටුවරයා ගෙ නමින් "ජයමාලපුර" කියල.
ඔහුගේ බිරිඳ වෙන්නෙ සුනේත්‍රා. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. ඒ පුතා හැඳින්වෙන්නෙ ජයමහලේන කුමාරයා කියල.
රයිගමයයි - ගම්පොළයයි
පස්වන භුවනෙකබාහු රජතුමා රාජවාංශිකයෙක් නොවුන අලකක්කෝණාර වරයෙක් ගෙ පුතෙක් නිසා ඔහුට ලොකු සහයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම ඔහුගේ පාලන කාලය තුල ගම්පොළ රාජ්‍ය බලය ඉතා දුර්වල තත්වයට පත්වෙනවා.
මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න ආර්‍ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමනය කරනවා. මේ ආක්‍රමනය මුහුදු ආක්‍රමනයක් සහ ගොඩබිම් ආක්‍රමනයක් විදිහට දෙපැත්තකින් සිද්ධ වෙන්නෙ.
ගොඩබිම් ආක්‍රමනය එල්ල වෙන්නෙ අනුරාධපුරය හරහා. ආර්‍ය චක්‍රවර්තී සේනාව මාතලේ දක්වා ඇවිල්ල මාතලේ කඳවුරු ලා ගන්නවා. එතකොට පස්වන භුවනෙකබාහු රජතුමා කරන්නෙ රයිගමට පලා යාම.
මේ සිද්ධියෙන් රජුගේ හමුදාව දැඩි ලෙස කලකිරෙනවා. "අපේ සේනාව හැර දමා පලාගිය නිවට රජෙක් ගෙන් කුමන ප්‍රයෝජනයක් දැ" යි කලකිරුණු සේනාව තමා විසින්ම සංවිධානය වෙලා මාතලේ දක්වා ගමන් කරනවා. රාත්‍රියේදී ආර්‍ය චක්‍රවර්තී කඳවුරට එල්ල කරන හදිසි ප්‍රහාරයකින් ඔවුන්ව පළවා හරින්න මේ හමුදාවට පුළුවන් වෙනවා.
මුහුදෙන් එල්ල වෙන ආක්‍රමනය එන්නෙ කෝට්ටේ ට එරෙහිව. මේ සේනාව පානදුරෙන් ගොඩබැහල ගොරකානෙ (මොරටුව) සහ දෙමටගොඩ කඳවුරු ලා ගන්නවා. අලගක්කෝණාර ගෙ හමුදාව ඔවුන්ට පහර දීල දරුණු සටනකින් පස්සෙ ඔවුන්ව පළවා හරින්න සමත් වෙනවා. මේ නිශ්ශංක අලගක්කෝණාර ද නැත්තම්, ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ද කියල පැහැදිලි නෑ.
මේ විදිහට සිංහල රාජ්‍ය බලය ගම්පොළ සහ රයිගම අතර බෙදිලා රට දුර්වල වීම සිංහල ගැමියන් ගෙ කලකිරීමට හේතු වෙනවා. ඒ නිසාම ඔවුන් රයිගමයා සහ ගම්පොළයා කියල ජනකතා චරිත දෙකක් නිර්මානය කරනවා. මේ චරිත දෙකෙන් කියැවෙන්නෙ තමන් කපටියන් කියල හිතාගෙන ඉන්න, එකිනෙකාට එරෙහිව උපායන් යොදලා තමාගෙ වාසිය සලසවා ගන්න උත්සහ කරන, නමුත් ඇත්තෙන්ම හද්ද මෝඩ "යාළුවො" දෙන්නෙක් ගැන.
ගම්පොළ රජ පවුල |
මේ සිද්ධියෙන් පස්සෙ ගම්පොළ රජතුමාට නාමික බලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ. සම්පූර්න රාජ්‍යබලය හිමිවෙන්නෙ රයිගම ඉන්න අලගක්කෝණාරට. නමුත් දළදා වහන්සෙ වැඩ ඉන්නෙ ගම්පොළ නිසා අලගක්කෝණාර වරුන්ට "රජ" පදවිය ලැබෙන්නෙ නෑ.
පස්වන භුවනෙකබාහු රජතුමා 1408 දි මිය යාමෙන් පසුව රජවෙන්නෙ පරාක්‍රමබාහු ඈපා. පරාක්‍රමබාහු ඈපා රජවූ පසුත් යුවරජ කියන අරුත දෙන "ඈපා" නමින් ම හැඳින්වීමෙන් ම ඔහුගේ බෙලහීන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ කාලය අරාජික සමයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.
රයිගම මේ වෙද්දි බලයේ ඉන්නෙ වීර අලකේෂ්වර නමින් හැඳින්වෙන අලකක්කෝණාර වරයා. ඔහු සහ ඔහුගේ සහෝදරයෙක් වන මෙහණවර වීරබාහු අතර බල අරගලයක් තිබූ බවත් ඉතිහාසයේ සඳහන්. ඊට අමතරව අර්ථනායක සහ දේවමන්ත්‍රී නමින් හැඳින්වුන සොහොයුරන් දෙන්නෙක් ගැනත් සඳහන් වෙනවා.
1405 වෙද්දි ලංකාවෙ දේශපාලන තත්වය ඔය වගේ.
(ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ)
දැන් "අලහකෝන් " ඔවුන්ද?
ReplyDelete